දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?

    ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම (Insulin resistance), හෝ එම කාරණා දෙකම නිසා දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයකි. ඉන්සියුලින් ඌණතාවය සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම නිසා ශරීරය තුළ ග්ලූකෝස් භාවිතා වීම අඩුවන අතර, ග්ලූකෝස් නිෂ්පාදනය ද වැඩිවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම වැඩිවේ.

    දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ. එවා නම්, විශාල රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Macrovascular complications) සහ කුඩා රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Microvascular complications) ය.

    විශාල රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Macrovascular complications)

    කිරීට හදවත් රෝග (Coronary heart disease) හෙවත් හදවත් රෝග
    අත් පා වල ප්‍රධාන වශයෙන් ඇතිවන පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease)
    අංශභාගය

    කුඩා රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Microvascular complications)

    ඇසේ දෘෂ්ටිවිතානයට හානි වීමෙන් පෙනීම දුර්වල වීම (Retinopathy)
    වකුගඩු රෝග (Nephropathy)
    ස්නායු දුර්වල වීම (Neuropathy)

    ඔබට දියවැඩියාව වැළඳුන පසු, දියවැඩියාව හොඳින් පාලනය කලද, විශාල රුධිර වාහිනී වල වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා ඇතිවීමේ අවදානම සම්පූර්ණයෙන් නැතිකිරීමට අපහසුය. නමුත්, එමගින් කුඩා රුධිර වාහිනී වල වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා ඇතිවීමේ අවදානම නැතිවී යයි.

    දියවැඩියා රෝගයේ ප්‍රධාන වර්ග

    දියවැඩියා රෝගය ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදනු ලැබේ.

    පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus)

    ශරීරය තුළ ඉන්සියුලින් හෝමෝනයේ දැඩි ඌණතාවයක් හටගැනීම නිසා පළමු වර්ගයේ දියවැඩියාව හටගනී. ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය කරන්නේ අග්න්‍යාශයේ ඇති ලැන්ගහැන්ස් ද්වීපිකා සෛල (Islets of Langerhans or Pancreatic islets) නම් වූ සෛල විශේෂයකිනි. මෙම සෛල සම්පූර්ණයෙන් හෝ විශාල වශයෙන් විනාශ වීම නිසා පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවේ. මෙම වර්ගයේ දියවැඩියා තත්ත්වය, අවුරුදු 40 ට අඩු අයට බහුලව වැළඳෙන වර්ගය වේ. මෙම රෝගය පාලනය කිරීම සඳහා දිනපතා ඉන්සියුලින් හෝමෝන නික්ෂේපන (Insulin injections) ලෙස විදීම, ආහාර පාලනය, සහ ජීවන රටාව වෙනස්කිරීම අවශ්‍ය වේ.

    දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus)

    අග්න්‍යාශයෙන් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය නොකිරීම හෝ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ශරීරය තුළ හටගැනීම දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට හේතුවේ. මෙය වැඩිපුරම ඇතිවන්නේ වයස අවුරුදු 40 ට වැඩි අයටය. දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම සඳහා මුඛයෙන් ගන්නා ඖෂධ, ආහාර පාලනය, සහ ජීවන රටාව වෙනස්කිරීම අවශ්‍ය වේ. ඇතැම් රෝගීන් සඳහා ඉන්සියුලින් හෝමෝන නික්ෂේපන විදීම ද අවශ්‍ය වේ.