දියෙස්පොරාව

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    8722f6e4_2138_P_6_mr.jpg

    #දියෙස්පොරාව 1

    මේ කොලම සඳහා නමක් ලෙස ‘ඩයස්පෝරා’ වචනය යොදාගැනීමට මම පළමුව අදහස් කළෙමි. එහෙත් ‘ඩයස්පෝරා’ යන්න තරමක් සිංහලකරණය විය යුතු යැයි දෙවනුව හැඟුණු බැවින් එය ‘දියෙස්පෝරාව’ යනුවෙන් භාවිත කිරීමට තීරණය කළෙමි (වෙනත් යෝජනා ඇත් නම් දන්වා එවනු මැනවි). එනයින් මේ කොලම ‘දියෙස්පෝරාව’ යනුවෙන් නම් කරනු ලැබුවේ සමස්තයක් ලෙස රටින් පිටත ජීවත් වන (විදෙස්ගත) ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳ කථා කිරීමට සුදුසු ආවරණයක් ඒ වචනයෙන් සැපයෙන බැව් පෙනී ගිය බැවිනි.

    ‘ඩයස්පෝරා’ එසේත් නැති නම් ‘diaspora’ යන වචනය ශ්‍රී ලංකාවේදී අර්ථ ගැන්වෙන්නේ තරමක් විකෘත වී ඇති ආකාරයට බව පෙනෙන්න ඇත. ඒ අනුව ලංකාවේදී ‘ඩයස්පෝරා’ යන වදන යොදාගැනෙන්නේ හුදෙක් ‘විදෙස්ගත දෙමළ ඊළාම් බෙදුම්වාදීන්’ හැඳින්වීමට යොදන වචනයක් ලෙස පමණක් බව නිරීක්ෂණය කළ හැකිය. එය නිවැරදි විය යුතු යැයි සිතන අතර, අවශ්‍යම නම් ‘ශ්‍රී ලාංකික ඩයස්පෝරා’ (Sri Lankan diaspora) හෝ ‘ඩයස්පෝරාවේ සිටින දෙමළ කොටි’ (Tamil Tigers in the diaspora) යනුවෙන් වෙන් වෙන් වශයෙන් විශේෂණ පද සහිතව යෙදුවාට වරදක් නැත. කෙටියෙන් පවසතොත් ශ්‍රී ලංකික ඩයස්පෝරාවේ සිටින්නේ කොටි පමණක්ම නොවෙති.

    ‘ඩයස්පෝරා’ යනු යුදෙව්-හීබ්රු (Hebrew) වචනයකි. නාමපදයක් ලෙස එය අරුත් ගැන්වෙන්නේ ‘ඊශ්‍රාලයෙන් එපිට යුදෙව්වන්ගේ ව්‍යාප්තිය’ ලෙසයි (the dispersion of the Jews beyond Israel). වත්මන් ඊශ්‍රාලය ගොඩනැඟෙන තෙක් යුදෙව්වෝ ලොව විවිධ රටවල ජීවත් වූහ. ඒ අවස්ථාවේ තමන්ගේම රටක් නැතිව, රටින් රට ජීවත් වන ඒ යුදෙව් ජන කණ්ඩායම් හැඳින්වීමට යෙදුණු ‘ඩයස්පෝරා’ යන වචනය අද මවුරටින් පිටත ජීවත් වන ඕනෑම රටක ජනකොටසක් හැඳින්වීමට යොදන ඉංග්‍රීසි වදන බවට පත්ව තිබේ. කොටින්ම ‘ඩයස්පෝරා’ යනු ‘රටින් පිට රටක්’ ලෙස හැඳින්වුවොත් වඩාත් නිවැරදිය.

    මේ අර්ථය වටහා ගත් දෙමළ බෙදුම්වාදීන් ‘Transnational Government of Tamil Ealam’ නමින් වෙනම බෙදුම්වාදි සංවිධානයක් පිහිටුවා ඇත්තේද ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි කටයුතු විදෙස්ගත කිරීමේ අටියෙනි (Extending or operating across national boundaries).

    යුදෙව්වන් පමණක් නොව, අපේ අසල්වැසි ඉන්දීයයෝද විදෙස්ගත තම රටවැසියන් හඳුන්වන්නට වෙනම වචනයක් භාවිත කරති. ඒ වචනය නම් ‘දේශි’ යන්නය. එයම පාකිස්තානයෝද ඒ අර්ථයෙන්ම වහරට ගනිති.

    මා කැනඩාවේ ටෝරන්ටෝ නුවරට පැමිණි මුල් කාලයේදී මම ‘දේශ්ප්‍රදේශ්’ නමින් සංවිධානයක කටයුතු කළෙමි. එහි අරමුණ වුයේ දකුණු ආසියාතික මවුබිම්වල සංස්කෘති පිළිබඳ කතිකාවක් ඇති කිරීමය. කෙසේ වුවත් ‘ඩයස්පෝරා’, ‘දේශි’ හෝ ‘විදෙස්ගත’ යන පද තුනෙන්ම අරුත් ගැන්වෙන්නේ එකම අදහසකි.

    දියෙස්පෝරාවේ ජනතාව මවු රටේ කෙරෙන බොහෝ දෑ දියෙස්පෝරාවේදීද ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන අකාරයකින් හෝ අනුකරණ කරන බව දකින්නට පුළුවනි. මේ අනුකරණ සාමාජීය, සංස්කෘතික සහ ආර්ථික වශයෙන් විවිධ අංශවලට ව්‍යාප්තව ඇති බවක් දැකිය හැකි වුවත්, බහුල වශයෙන් මවුබිමේ සංස්කෘතිය පවත්වාගෙන යෑමට උත්සාහ ගැනීමක් දියෙස්පොරාවේදී දැකිය හැකිය. උදාහරණයක් ලෙස: අලුත් අවුරුදු උලෙළ මෙන්ම වෙසක්, පොසොන් උත්සව ඒ ආකාරයෙන්ම දියෙස්පොරාවේදීත් සමරනවා දක්නට පිළිවන‍.

    එය මෙසේද විය හැකිය: ජීවත් වන රටේදී කෙරෙන සමහර කටයුතු සිදු කිරීමේදී තම මවුබිමේ සංස්කෘතිය එයට කවලම් වීමක් සමහර අවස්ථාවල දක්නට හැකි වේ. තවත් සමහර අවස්ථාවල තම සංස්කෘතික අංගය පවත්වාගෙන යෑමට ආදේශනයක් ලෙස විදෙස් රටේ අංග භාවිත කළ අවස්ථාද දකින්නටත් පුළුවන. උදාහරණයක් ලෙස ලංකාවේ අඹරැල්ලා මාළුව අඹරැල්ලා වෙනුවට ආදේශනයක් ලෙස කොළ පාට ඇපල් (green apple) යොදාගෙන සැදිය හැකිය.

    මේ ලියන මම මාධ්‍ය ක්ෂේත්‍රයට ආධුනිකයෙක් නොවෙමි. මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ වන්නේ ‘රාවය’ පුවත්පතේ නිදහස් (freelance) මාධ්‍යවේදියකු හැටියටය. මම 1986 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ සිට 1992 නීතිඥයකු ලෙස දිවුරුම් දෙන තෙක්ම රාවයේ වැඩ කළෙමි. 1996 දී ලංකාවෙන් පිට වූ මම කැනඩාවේ ටොරන්ටෝ නුවර යෝර්ක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ‘CHRY FM’ ගුවන්විදුලියේ ‘රේඩියෝ ශාන්ති’ නමින් පැයක ගුවන්විදුලි වැඩසටහක් අවුරුදු දහයක් තිස්සේ කරගෙන ගියෙමි. මේ හේතුව නිසාම දියෙස්පෝරාවේ සිදු වන දෑ පිළිබඳ මනා අවබෝධයක් මා හට ඇත.

    එහිදී ටෝරන්ටෝවේ ජීවත් වන ගාමිණී දිසානායක නමැති, පැරණි ‘ටයිම්ස්’ පුවත්පතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු මෙන්ම දැනුත් ටෝරන්ටෝවේ සිට ලංකාව ගැන ලියන ඉංග්‍රීසි ලේඛකයකු වන ඩී.බී.එස්. ජෙයරාජ් ද විටින් විට හවුල් කරගතිමි. ඒ වැඩසටහන සඳහා ගුවන් කාලය වෙන් කරගැනීමට මට සහාය වූවේ ක්‍රිශාන්ත භාග්‍යදත්ත නම් තවත් දියෙස්පොරවේ වෙසෙන, ශ්‍රී ලංකික සම්භවයක් සහිත ඉංග්‍රීසි කවියෙකි. ඔහු මෙන්ම ඔහුගේ චීන ජාතික මිතුරිය මේ (May) ද දියෙස්පොරවේදී මට හමු වූ විශේෂ පුද්ගලයෙකි. ඔවුන් පිළිබඳ ඉදිරියේදී වැඩිදුර කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

    අධ්‍යාපනික කටයුුතුවල සහ නීතිඥ වෘත්තියේ කාර්යබහුලත්වය හේතු කොටගෙන ජනමාධ්‍යයෙන් තරමක් ඈත් වුවත්, විටින් විට ඉඩ ලැබුණු හැම විටම මා ‘බ්ලොග්’ මඟින් ජනමාධ්‍යයේ නොයෙදුණාම නොවෙයි.

    ඒ කෙසේ වුවත් මවුබිමේ තොරතුරු පිළිබඳ නිතරම අවදියෙන් සිටීම බොහෝ දියෙස්පෝරා වැසියන්ගේ සිරිතක් සේම එය අපගේද පුරුද්දකි. මේ හේතුව නිසාම ලංකාවේම ජීවත් වන සමහර මිතුරන් ලංකාවේ තොරතුරු නිවැරදි ලෙස දැනගැනීමට දියෙස්පෝරාවේ අපට කතා කරන අවස්ථාද නැතුවාම නොවේ! සමහර විට මවුබිමින් ඈත ජීවත් වන අය මවුබිමේ වටිනාකම වඩා හොඳින් වටහාගෙන ඇති බැවින් දෝ මවුබිමේ ජීවත් වන අයට වඩා මවුබිම පිළිබඳ සංවේදි පුද්ගලයන් ලෙස හැසිරෙනවා විය හැකිය. එමෙන්ම කිසි දිනක ශ්‍රී ලංකාවේ පය නොගැසූ සමහර විදේශිකයන් මවුබිම පිළිබඳ දක්වන විශේෂ උනන්දුව පිළිබඳවද දියෙස්පෝරාවේදී දකින්න පුළුවන් අවස්ථා තිබේ. ඔවුන් ගැනත් ඉදිරියේදී ‘දියෙස්පෝරාව’ මඟන් කතා කිරීමට අපේක්ෂා කරමි.

    ඔබ සතුවද දියෙස්පොරාවේ කටයුතු පිළිබඳ යම් තොරතුරක්, අදහසක් හෝ එහි විශේෂ පුද්ගලයන් සම්බන්ධ යම් විස්තරයක් ඇත් නම් පහත ඊමේල් ලිපිනය මඟින් අපට දන්වනු මැනවි. ඒවා හැකි අයුරින් ඉදිරි තීරුලිපි මඟින් එළිදැක්වීමට බලාපොරොත්තු වන්නෙමි.
     
    • Like
    Reactions: thinking_guy

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    8722f6e4_2138_P_6_mr.jpg

    #දියෙස්පොරාව 2

    මවු බස

    මවු බස යනු කෙනකුගේ අනන්‍යතාව හඟවන ප්‍රධානම සලකුණයි. යමකුගේ ජීවිතයට කුඩා කල සිට තම වර්ගයාගේ සංස්කෘතිය ඇතුළු වන්නේ ඔහුගේ මාතෘ භාෂාව මඟිනි. සාමාන්‍යයෙන් දියෙස්පෝරා වැසියන් ඔවුනොවුන් හමු වූ විට භාවිත කරන්නේ තම මවු බසයි. එනයින් චීන ජාතිකයන් හා ඉන්දීයයන් පමණක් නොව, අපේ රටෙන්ම පැමිණි දමිළයන්ද දියෙස්පෝරාවේදී තමන්ගේ මිනිසුන් හමු වූ විට භාවිත කරන්නේ තම මාතෘ භාෂාවයි. ඒ නිසාම ඔවුන්ට තම සංස්කෘතිය අමතක නොවෙයි.

    එහෙත් මෙය ශ්‍රී ලාංකික දියෙස්පෝරාවෙහි සමහරුන්ට තරමක් විචිකිච්ඡාවක් ගෙන එන කරුණකි. කුමන හෝ හේතුවකට අපේ රටේ සමහර පුද්ගලයන් විදෙස්ගත වී සිටියදී කෙසේ වෙතත්, මවු බිමේදී පවා මවු බස අමතක වීමේ හෝ අමතක කිරීමේ ප්‍රවණතාවකට හසුව ඇති බව පෙනේ.

    දිනක් දියෙස්පෝරාවේ මා සිටින ප්‍රදේශයේදී ඉතා මෑතක ශ්‍රී ලංකාවේ සිට පැමිණි පවුලක් හමු විය. ඔවුන්ගේ එකම දරුවාට සිංහල කථා කිරීමට අපහසු බව ඒ දරුවාගේ මවුපියෝ මහත් සතුටින් මට දන්වා සිටියහ. හොඳට සිංහල කථා කරන මවුපියන් සිටින දරුවකුට ලංකාවේ සිට පැමිණි විගස සිංහල කථා කිරීම අපහසු වීමට හේතුව කුමක්‌දැයි මම ඔවුන්ගෙන් විමසා සිටියෙමි. ඔවුන්ගේ පිළිතුර වූයේ පිටරටක පදිංචියට යෑමට කාලයක සිට සූදානම් වෙමින් සිටි බැවින් තම දරුවා අන්තර්ජාතික පාසලකට යවා උගැන්වූ අතර, දරුවාගේ ඉංග්‍රීසි භාෂා ඥානය වැඩිදියුණු කිරීමේ අදිටනින් ඔවුන්ද ගෙදරදී දරුවා සමග ඉංග්‍රීසියෙන් පමණක්ම කථා කළ බවයි. දැන් දරුවාට මවු බස අමතකය. මෙහි එන ඕනෑම වයසක දරුවකු පාසලේදී ඉංග්‍රීසි භාෂාව දවසෙන් දෙකෙන් අල්ලාගන්නා බව මම ඔවුන්ට පැහැදිලි කළෙමි; එසේ තිබියදී බලහත්කාරයෙන් තම දරුවාට මවුභාෂාව අමතක කරවීම අතිශය කනගාටුවට කරුණක් බව පහදා දුන්නෙමි.

    කලකට ඉහත මට හමු වුණු එවැනි පවුලක් මුහුණ පෑ අවාසනාවන්ත අත්දැකීමක් මට සිහි වෙයි. ඔවුන් මට මුලින්ම හමු වන්නේ ටොරන්ටෝ නුවරදීය. ඒ වන විට ඔවුන්ගේ එකම ගැහැනු දරුවාට අවුරුදු 15-16ක් පමණ වන්නට ඇත. තම දරුවාට සිංහල කථා කිරීමට අපහසු බව ඒ දරුවාගේ මව ඉතා ආඩම්බරයෙන් කියා සිටියාය. තම දරුවාගේ භාෂා නොහැකියාව පිළිබඳ ඇය මහත් සේ උද්දාමයට පත්ව ඇති බවක් මට හැඟිණි. මවුපියන් එතරම් හොඳින් ඉංග්‍රීසි භාෂාව කථා නොකළ අතර, ඔවුන් කැඩුණු ඉංගිරිසියෙන් තම දරුවාට කථා කරන ආකාරය දුටු විට තරමක කනගාටුවක්ද මසිතේ ඇති කළේය.

    කලකට පසු මට ඒ පවුලේ පියා නැවතත් හමු විය. ඔහු තමා බිරියගෙන් දික්කසාද වූ බව කී විට මම විමතියට පත් වීමි. ඔහු දිගු හෑල්ලක් කියාගෙන ගියේය. ඔවුන්ගේ දික්කසාදයට හේතුව සිය දියණිය බව ඔහු කියා සිටියේය. දිනක් සිය දියණිය සුදු තරුණයකු කැටිව රාත්‍රියේ සිය නිවෙසට පැමිණී බවත්, දෙදෙනා දියණියගේ කාමරයේ රාත්‍රිය ගත කිරීමට සූදානම් වන බව පෙනුණු විට තමා මහත් කෝපයෙන් කාමරයට කඩාවැද තරුණයා එළවා දැමූ බවත්, ඒ පිළිබඳ උරණ වූ දියණිය ඔහු සමඟ බහින්බස් වූ බවත්, අවසානයේ තමා ඇයට පහරක් ගැසූ බවත් කියා සිටි ඔහු, සිද්ධියේදී සිය බිරියද දියණියගේ පැත්ත ගත් බවත් දෙදෙනාම එක්ව පොලීසියට කථා කළ බවත් අනතුරුව පොලීසිය පැමිණ තමා අත්අඩංගුවට ගත් බවත් කියා සිටියේය. දැන් තමාට බිරිය හෝ දියණිය අසලට යා නොහැකි ලෙස තහනම් නියෝගයක් අධිකරණය මඟින් පනවා ඇති බවත් කියා සිටි ඔහු මේ හේතු නිසා ඔහු බිරියගෙන් දික්කසාද වූ බව පැවසූයේය.

    තවදුරටත් කථාවට වැටුණු ඔහු සිය පවුල කඩා විසිරුණු ඇත්තම හේතුව හෙළි කළේ මෙසේය:

    “අපි කැනඩාවට එනකොට අපේ දුව ගොඩාක් පොඩියි. එයා දවසෙන් දෙකෙන් ඉංග්‍රීසි භාෂාව අල්ලගත්තා. එයා ඉතා අමාරුවෙන් සිංහල කථා කරන කොට අපි එයාට හිනා වුණා. පස්සේ එයාට සිංහල කථා කරන එක ලජ්ජාවට කාරණයක් බවට පත් වුණා. අපේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් එයාට හොඳ-නරක කියල දෙන්න බෑ කියල අපට තේරෙන කොට අපි සෑහෙන ප්‍රමාදයි. භාෂාව දන්නේ නැති දරුවකුට කොහොමද ඒ භාෂාවත් එක්ක ගැටගැසුණු සංස්කෘතිය උගන්වන්නේ?” ඒ තමාට වූ විනාශය ඔහු නිවැරදි ලෙසම හඳුනාගත් ආකාරයයි.

    එහෙත් සියලු දියෙස්පෝරා වැසියෝ එසේ නොවෙති. දියෙස්පෝරාවේම ඉපිද දියෙස්පෝරාවේදීම සිංහල භාෂාව උගෙන ලංකාවේදී මෙන් ඉතා හොඳට භාෂාව උච්චාරණය කරන සිංහල දරුවෝද සිටිති. ටෝරන්ටෝවේ මා දන්නා එවැනි පවුලක තරුණ දරුවන් දෙදෙනකු නිහාල් නෙල්සන්ගේ බයිලා කියන්නේ ලංකාවේ ඉපදුණු දරුවන්ට නොදෙවැනි ආකාරකටය. පසුකාලයක ඔවුන් දෙදෙනා එක්ව උත්සව සඳහා සිංහල ගීත ගායනා කරන සංගීත කණ්ඩායමක්ද ආරම්භ කළා මට මතකය. දියෙස්පෝරාවේ ඇති සමහර ශ්‍රී ලාංකික නැටුම් කණ්ඩායම්වල රඟන තරුණ-තරුණියන්ගේ රංගන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාට්‍ය කණ්ඩායම්වල රැඟුම්වලට නොදෙවැනිය. ඔවුහු සියල්ලෝම හොඳන් සිංහල භාෂාව හසුරුවති.

    දියෙස්පෝරාවේදී මවු භාෂාව භාවිත කිරීමේ වැදගත්කම හඳුනාගත් සමහර මවුපියෝ තම නිවාස තුළදී භාවිත කළ යුතු භාෂාව ඉංග්‍රීසි නොව, සිංහල බවට දරුවන්ට නියම කරති. බොහෝ දියෙස්පෝරා කණ්ඩායම් තම දරුවන්ට වෙනම සිංහල භාෂා පන්ති පවත්වති. බොහෝ විහාරස්ථාන මේ සඳහා පෙරමුණ ගෙන ඇත. ඉතා දියුණු දියෙස්පෝරා කණ්ඩායම් විසින් රජයන්ට කරන ලද බලපෑම් මඟින් සිංහල භාෂාව විෂයයක් ලෙස ඉගැන්වීමට අවස්ථාව හිමි කරගත් අවස්ථාද ඇත. එවැනි අධ්‍යාපන කලාපයක සිංහල භාෂාව දැනසිටීම විශ්වවිද්‍යාලයට යෑමට අවශ්‍ය අතිරේක ලකුණු ප්‍රමාණයක් ලැබිය හැකි ක්‍රමයකි. එවැනි දියුණු දියෙස්පෝරා ක්‍රියාකාරිකයන් වෙසෙන ප්‍රදේශයක ජීවත් වීම බොහෝ දෙනාගේ යහපතට හේතු වේ. ඒ අතර සිංහල පන්ති කෙසේ වෙතත් සිංහල භාෂාවෙන් රැස්වීමේ කටයුතු ගෙනයෑමට විරුද්ධ සිංහල සංගම්ද දියෙස්පෝරාවේ නැත්තේම නොවේ. ඒ ගැන අපි පසුව කතා කරමු.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සංස්කෘතිය

    8722f6e4_2138_P_6_mr.jpg

    #දියෙස්පොරාව 3

    සංස්කෘතිය

    දියෙස්පෝරාව සම්බන්ධයෙන් දැන් විවිධ අදහස් ඉදිරිපත් වෙමින් තිබෙනවා. දියෙස්පෝරාවේ මුල් ලිපියේ සඳහන් මගේ diaspora නිර්වචනයට ඌනපූරණයක් ඉදිරිපත් කරන ටයිටස් පද්මසිරි diaspora වචනය සඳහා අලුත් සිංහල වචනයක් යෝජනා කරනවා. ටයිටස් කියන්නේ, ක්‍රි.ව. 18 දී රෝමයේ ටයිටස් අධිරාජයා විසින් ඊශ්‍රායෙලය යටත් කොට යුදෙව්වන් පරාජයට පත් කළ පසු වූ යුදෙව්වන්ගේ විසිරීම හැඳින්වීම සඳහා යෙදු dispora වචනය, 1815 අප රට පාවාදීමට සමාන වන අතර, පෙර අපේ රට සිංහලේ නමින් හැඳින්වූ හෙයින්, එයට වඩාත් ගැළපෙන ලෙස “සිංහලේ විසිරියාව” නැති නම් “හෙළ විසිරියාව” ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බවයි. එම අදහස තවදුරටත් සාකච්ඡාවට යොමු කරන අතර, පසුගිය සතියේ සාකච්ඡාවට බඳුන්වූ මවු භාෂාව පිළිබඳ සංවාදය තවදුරටත් පවත්වාගෙන යෑම කළ යුතු යැයි අදහස් කළෙමි.

    දියෙස්පෝරාවේ වැඩකටයුතු කිරීමට දරුවන්ට මවු භාෂාව අත්‍යවශ්‍යමද? යන ප්‍රශ්නය පසුගිය සතියේ ලිපිය කියවූ කෙනෙකුට නැඟෙන්නට පුළුවන. උත්තරය කිසිසේත්ම නැත යන්නයි. ඔබ ඔබේ මවුබිමේ සංස්කෘතිය පිළිබඳ දක්වන්නේ අඩු තක්සේරුවක් නම්, මවු භාෂාව ඔබට අදාළ නැත. එයින් අදහස් වන්නේ ඔබේ දරුවා කුමන කෙනෙකු සමග රාත්‍රියේ නිවසට ඇතුළු වන්නේද යන්න ඔබට ගැටලුවක් නොවන බවයි.

    එහෙත් ඔබ මවුබිමේ සංස්කෘතිය දියෙස්පෝරාවේදීත් අනුගමනය කිරීමට සිතන්නේ නම් එම සංස්කෘතිය සම්බන්ධයෙන් දරුවන් නඟන සහ ඇති කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට, ඔවුන් යහමඟට ගැනීම සදහා උපදෙස් දීමට, ඔබට හොඳ ඉංග්‍රීසි ඥානයක් තිබිය යුතුය. එසේ ඔබට ඉංග්‍රීසි ඥානයක් නැති නම් දරුවන්ට මවු භාෂාව අමතක නොකළ යුතුවා මෙන්ම, දරුවන්ට මවු භාෂාව ඉගැන්විය යුතු බව මගේ අදහසයි. එසේ නැති වුවහොත් දරුවන් ඔබට You guys mind your own business! යනුවෙන් අමතන විට ඔබ පමා වී හමාරය. මෙය දරුවන්ගේ වරදක් නොවේ ඔබ වැපුරු දේ ඵල ඔබ විසින්ම නෙළනා අවස්ථාවයි.
    මේ අතර මවු භාෂාව සම්පුර්ණයෙන්ම අමතක මවුපියන් මෙන්ම දරුවන් සිටින, එහෙත් සංස්කෘතිය අනුගමනය කරන පවුල්ද දියෙස්පොරාවේ නැත්තේ නොවේ. ඒ අනෙකක් නිසා නොව එම දරුවන්ට මඟ පෙන්වීම සදහා මවුපියන්ට හොඳ ඉංග්‍රීසි භාෂා ඥානයක් තිබීමේ හේතුවයි.

    සාමාන්‍යයෙන් බාල වයස් දරුවන් භාෂාවක් උකහාගන්නා වේගය වැඩිහිටියන් භාෂාව උකහාගන්න වේගයට වඩා වැඩිය. මගේ සොහොයුරාගේ දියණිය ඊට උදාහරණයකි. ඇය කැනඩාවට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 3ක් පමණ වන්නට ඇත. ඒ වන විට මොන්ටිසෝරි පාසලකට හෝ නොයන වයසක සිටි ඇය මාස තුනකටත් අඩු කාලයකදී ඉංග්‍රීසියෙන් තෙපලන්නට පටන්ගත්තාය. ගෙදරම සිටි ඇය කෙසේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත්තේද යන්න අපට ප්‍රශ්නයක් විය. පසුව හෙළි වුයේ දවස පුරා "ට්‍රී හවුස්" නම් ළමා නාළිකාව නරඹන ඇය භාෂාව එමඟින් උකහාගත් බවයි. ඒනිසා දියෙස්පොරා දරුවන්ට ඉංග්‍රීසි ඉගැනීම පිළිබඳ බියවිය යුතු නැති අතර අවශ්‍ය වන්නේ මවු භාෂාව අමතක නොකිරීමට වගබලා ගැනීමයි.
    අනෙක් අතින් වැඩිහිටියෙකු ලෙස දියෙස්පෝරාගත වූ පුද්ගලයෙකුට මවු භාෂාව අමතක වන්නේය යන්න තරමක් විහිළුසහගතය. දියෙස්පෝරවේ මගේ මිත්‍රයෙකු වන හැරිස් මාපා මට ප්‍රකාශ කළ පරිදි ඔහුට හමුවූ වයස අවුරුදු 42දී කැනඩාවට පැමිණි පුද්ගලයෙකුට අවුරුදු 62 දී මවු භාෂාව අමතක වීම එවැනි විහිළුවකි.
    එවැනි විහිළු සපයන්නෝ දියෙස්පොරාවේ ඕනෑ තරම් සිටිති. දිනක් ව්‍යාපාරික කටයුත්තක් සඳහා කාන්තාවකගෙන් මට ලැබුණු දුරකතන පණිවුඩයක් මතක් වන සෑම මොහොතකම තවමත් සිනහ උපදවයි. ශ්‍රී ලංකික ඌරුවකින් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ ඇය අමුතුම උච්චාරණයකින් යුතුව සිය සිංහල නම ප්‍රකාශ කර සිටියාය. ඇය ඇයගේ සිංහල නම සඟවන්ට බලවත් උත්සාහයක් ගන්නා බව පැහැදිලි විය. මහත් පටලැවිල්ලක් වූ එම ඌරුව නිසා ඇයගේ නම හරිහැටි තේරුම්ගැනීමට නැවතත් ඇයගෙන් විමසූ විට අවසානයේ මට පැහැදිලි වූයේ ඇයගේ නම “සිරියලතා” බවයි. ඇය නැවතත් එම කටයුත්ත සඳහා මට කතා කළේ නැත. පසුව හෙළි වූයේ ඇය සති කිහිපයක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට පැමිණ සිය නැන්දණියගේ නිවසේ නවාතැන් ගෙන සිටි තැනැත්තියක බවයි.

    එවැනි තවත් පුද්ගලයෙකු පිළිබඳ මගේ මතකය අවදි වෙයි. ඔහු මා මෙහි පැමිණි මුල් අවදියේ හමු වූ පුද්ගලයෙකි. කාලයකට පසුව ඔහු නැවත හමු වූ මට ඔහු ඔහුවම හඳුන්වා දුන්නේ "ගැමේජ්" යනුවෙනි. මගේ මතකයේ හැටියට දියෙස්පෝරවේ මා දන්නා ගැමේජ් කෙනෙකු නැත. නමුත් මේ පුද්ගලයාගේ කතාවෙන් මා හොඳින් දන්නා බව හැඟවුණු නිසා තවදුරටත් විමසා සිටින විට හෙළ වූයේ ඔහු “ගමගේ” බවයි. තමන්ගේ නම, තම සංස්කෘතියේ එක් අංගයකි එය ආත්ම ශක්තියකින් යුතුව ඉදිරිපත් කිරීමට ඔබට නොහැකි නම් එය ප්‍රශ්නයකි. මේ ආකාරයෙන් තම සංස්කෘතිය පිළිබද අඩු තක්සේරුවෙන් කටයුතු කරන්නේ අපේ රටේ අය පමණක්මද? ඒ පිළිබඳ අපි පසුව කතා කරමු.
    ඒ අනුව නැඟෙන අනෙක් ප්‍රශ්නය නම් සංකෘතිය දියෙස්පෝරාවට අවශ්‍යදමද? යන කාරණයයි. දියෙස්පෝරාව ගොඩනැඟෙන්නේ මවුබිමට ඇති බැඳීම මතය. එය සාපේක්ෂ වශයෙන් එකිනෙකාගේ තේරීම අනුව සිදුවන්නකි.

    බොහෝ මෑතක ගොඩනැඟුණු රටවල අවේණික පැරණි සංස්කෘතියක් දක්නට නොලැබුණද එම රටවල ජනතාව පවා තමන් විසින් ගොඩනඟාගත් නවීන සංස්කෘතික අංගෝපාංගවලට ඇලුම් කරති. උදාහරණයක් ලෙස කැනඩා යුදහමුදාව විදෙස් රටවල යෙදවූ එක අවස්ථාවක එම සොල්දාදුවන්ගේ ඉල්ලීම මත කැනඩාවේ ජනප්‍රිය "ටිම් හෝර්ටන්" (Tim Hortan) කෝපි අපනශාලාවේ ශාඛාවක් කැනඩා රජය විසින් එවැනි රටක පිහිටුවූවා මට හොඳට මතකය. ටිම් හෝර්ටන් කැනඩා සංස්කෘතික ලක්‍ෂණයකි. කැනඩාවේ ඕනෑම නගරයක ඕනෑම උදෑසනක ටීම් හෝර්ටන් ආපනශාලා අසල drive through (සිංහල වචනයක් යෝජනා කරන්න) වල ඇති රිය පෙළ දුටුවහොත් ඔබ එයට එකඟ වනු ඇති. උදෑසන වැඩට යනගමන් ටීම් හෝර්ටන් එකෙන් කෝපිඑකක් ගෙන ගමනේ යෙදීම සාමාන්‍ය කැනඩා සංස්කෘතියේ අංගයකි. (හැබැයි මේ කැනඩාවේ නියම භුමියේ උරුමකරුවන්ගේ සංස්කෘතිය නොවෙයි. ඒ ගැනත් අපි පසුව කතා කරමු.) ඉතින් අවුරුදු 150ක් වයස ඉතිහාසයක් ඇති කැනේඩියානුවන්ට තිබෙන තම සංස්කෘතිය පිළිබඳ ඇති ඇල්ම අවුරුදු දෙදහස් පන්සියයකට වඩා දිගු ඉතිහාසයක් හිමි අපිට නැති විය යුත්තේ ඇයි?

    මේ අතරම මේ ගැනත් කතා කළ යුතුය. සංස්කෘතියෙන් වියුක්ත සමාජයක් පිළිබඳ අදහසට ප්‍රමුඛත්වයක් පසුගිය වකවානුවේ බලයට පත් වූ මවුබිමේ රජයක් විසින් ලබාදී තිබු බව අපට මතකය. එලෙස උපුටා දක්වන සංස්කෘති වියුක්ත භාවය දියෙස්පොරාවේ කොයි ආකාරයෙන් පවතීදැයි ඒ අවධියේදී මම සොයා බැලුවෙමි. මා සිටිනා කැනඩාවේ ප්‍රධාන සංස්කෘතිය වන්නේ යුදෙව්-ක්‍රිස්තියානි සම්භවයක් සහිත යුරෝපා සංස්කෘතියයි. ලංකාවේ පසුගිය වකවානුවේ ආදේශ කරන්නට උත්සහ කළ සංස්කෘතික වියුක්ති තත්ත්වය මේ රටේ දක්නට ලැබෙන්නේ නම් එය මෙහි විශාල නගර ආශ්‍රිතව පවතින උප සංස්කෘතියකි. එවැනි උප සංස්කෘතියක් මේ රටවල ප්‍රධාන සංස්කෘතිය බවට පත් වීමට කිසිසේත්ම ඉඩක් නැත. එසේ නම් එවැනි උප සංස්කෘතියක් වසර දෙදහස් පන්සියකටත් වඩා ඉපැරණි මහා සංස්කෘතියක් සදහා ආදේශ කළ හැක්කේ කෙසේද?
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    නම් - ගම්

    8722f6e4_2138_P_6_mr.jpg

    #දියෙස්පොරාව 4

    නම් - ගම්

    ඉකුත් සතියේ තරමක් දුරට කතා-බහට ගැනුණු දියෙස්පෝරාවේ නම්-ගම් පිළිබඳ සාකච්ඡාව මේ සතියේදීත් තව දුරටත් පවත්වාගෙන යා යුතු යැයි සිතුවෙමි. දියෙස්පෝරාවේ ඇති නම්-ගම් අතර දිගම වාසගම් සහිත නම් ඇත්තේ අපේ ශ්‍රී ලාංකිකයන්ට යැයි කිව හොත් එය නිවැරදි විය හැකිය. අන් ජාතිකයන් අපේ නම්-ගම් දුටු විටම ඔබ ශ්‍රී ලාංකික දැයි අසන තරමට එය ලොව පුරා ප්‍රචලිත කරුණකි. මේ හේතුව නිසාම අපේ ඇත්තෝ ඇතැම් විට බලවත් අකරතැබ්බවලටද මුහුණ දෙති.

    දියෙස්පෝරාවේ රටවල පරිගණකවල පවතින සීමා හේතුවෙන් බොහෝ අවස්ථාවල මේ දිගු නම් කොට වෙයි. එසේ කොට වීම හේතු කොටගෙන සමහර නම් අපභ්‍රංශ බවට පත් වෙයි. තවත් අවස්ථාවල අපේ නම්-ගම් නිවැරදි නොවන ආකාරයෙන් ස්ථානගත කිරීමද දක්නට ඇත. කාර්යාලයක යම් රාජකාරි කටයුත්තකට ඔබ ගිය හොත් ඔවුන් මුලින්ම සොයන්නේ ‘ඔබගේ මුල් නම (first name) කුමක්ද?’ යන්නය. දෙවනුව ‘ඔබගේ අවසන් නම (last name) කුමක්ද?’ යන්නයි. එහෙත් අපට ඇත්තේ එවැනි ‘මුල් නම, මැද නම, අවසන් නම’ ආකාරයේ නාමකරණ සංස්කෘතියක් නොවේ. ශ්‍රී ලාංකිකයන්ට අවේණික සිංහල නාමයක පළමුවෙන් ග්‍රාම නාමයද, අනතුරුව පවුලේ නාමයද (වාසගම) අනතුරුව පාරම්පරික රැකියාවද අවසානයේ පුද්ගල නාමයද වෙයි. සමහර අවස්ථාවල මෙය ‘පවුලේ නාමය, පාරම්පරික රැකියාව, පුද්ගල නාමය’ යන ආකාරයෙන්ද විය හැකිය. එහෙත් දියෙස්පෝරාවේ රටවල අයට මෙය අපභ්‍රංශයකි. ඒ නිසා ඔවුන් ඔබේ පළමු නාමය කුමක්ද යන්න ඔවුන්ට පැහැදිලි නොකළ හොත් ඔවුන් ඔබේ පළමු නාමය ලෙස ඔබේ වසගමේ මුලින්ම ඇති ග්‍රාම නාමය හෝ වාසගම ලියාගනු ඇත; දෙවනුව ඔබේ සම්පූර්ණ නමේ අවසනට යෙදෙන නාමය අවසන් නාමය ලෙස සටහන් කරනු ඇත. එවිට උදාහරණයක් ලෙස ඔබේ නම ‘ඒකනායක මුදියන්සේලාගේ දුමින්ද ඒකනායක’ යැයි සිතමු. එවිට ඔබේ නම ඔවුනට අනුව ‘ඒකනායක ඒකනායක’ නම් වෙයි. මෙලෙස තම නාමය අපභ්‍රංශ කරගත් බොහෝ අය දියෙස්පොරාවේ වෙසෙති. මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා ප්‍රථම පිළියම ලෙස විදෙස්ගත වීමට වීසා අයදුම්පත් පුරවන අවස්ථාවේම ඔබේ නම නිවැරදිව පිරවීම සඳහන් කළ හැකිය. එවිට මුල් නම ලෙස ‘දුමින්ද’ යන්නත් අවසන් නම ලෙස ‘ඒකනායක’ යන්නත් සඳහන් කළ හැකිය. මැද නම් ලෙස ‘ඒකනායක මුදියන්සේලාගේ’ යන්න සඳදහන් කළ හැකිය. එවිට අවසානයේ යම් තාක් දුරට අපභ්‍රංශ නොවන පිළිතුරක් ලැබිය හැකි වනු ඇත. මෙය සැම විටම සාදාරණ නොවන බවද කිව යුතුය. ඒ නිසා මෙය ඔබේ නම අනුව උපක්‍රමශීලිව කළ යුතු දෙයකි. මෙලෙස අපභ්‍රංශ නම් ඇති දියෙස්පෝරා වැසියෝ තම නම් යථා තත්ත්වයට පත් කරගැනීමට විවිධ උපක්‍රම පාවිච්චි කරති. ඉන් ප්‍රධාන ක්‍රමයක් වන්නේ නම් කොට කිරීමයි. මෙහිදී ඔවුහු සම්පූර්ණ වාසගම වෙනුවට මුල් නමත් පවුල් නාමයත් ඉතිරි කර, සෙසු සියලු නම් කපා හරිති. උදාහරණයක් ලෙස: ‘ඒකනායක මුදියන්සේලාගේ දුමින්ද ඒකනායක’ යන්න ‘දුමින්ද ඒකනායක’ ලෙස ලියාපදිංචි කිරීම ගත හැකිය. මිට අමතරව මා මුලින් සඳහන් කළ පරිදි දියෙස්පෝරාවේ රටවල පරිගණකවල පවතින සීමා හේතුවෙන් අපේ නම් කොට වන අවස්ථාද තිබේ. උදාහරණයක් ලෙස ඒකනායක ‘ඒකනා’ ලෙසද මුදියන්සේ ‘මුදියන්’ ලෙසද පරිගණකගත විය හැකිය.
    දියෙස්පෝරාවේදී නම් නිසා ඇති වන ගැටලු අතර තවත් විශේෂ ගැටලුවක් වන්නේ අපේ නම් උච්චාරණය පිළිබඳ ඇති වන ගැටලුය. උදාහරණයක් ලෙස ඒකනායක ‘එකන-යකා’ ලෙසද දිසානායක ‘දිසන-යකා’ ලෙසද උච්චාරණය විය හැකිය. සේනානායක ‘සේනානා-යකා’ වේ. මේ අනුව දියෙස්පෝරාවේ යක්කු බහුලය!
    මගේ පවුල් නාමය වන රත්නමලල ‘රටන-ම-ලා-ලා’ ලෙස උච්චාරණය කරන අවස්ථා ඕනෑ තරම් අසා තිබේ. විශේෂයෙන් මා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවලය. සමහර නඩුකාරවරු මගේ නම උච්චාරණය කිරීමේදී අපහසුතාවක් දක්වති. එවැනි වැරදීම්වලදී “Mr. Ratana-ma-la-la, I will try to pronounce your name correctly next time” යනුවෙන් සදහන් කර, මගෙන් සමාව ඉල්ලූ අවස්ථා කිහිපයක්ම වෙයි. පුදුමයට මෙන් ඊළඟ අවස්ථාවේ ඔවුහු මගේ නම නිවැරදිව උච්චාරණය කරති. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ අවශ්‍ය නම් ඔවුන්ට අපේ නම්-ගම් නිවැරදිව උච්චාරණය කළ හැකි බවයි.

    මගේ හැඟීමේ හැටියට සාපේක්ෂ වශයෙන් උච්චාරණයට අපහසු නම් වන්නේ රුසියාව ඇතුළු නැඟෙනහිර යුරෝපයේ නම්ය. එහෙත් මේ සුද්දෝ එවැනි නම් ඉතා පහසුවෙන් උච්චාරණය කරති. එසේ ඒ නම් නිවැරදිව උච්චාරණය කිරීමටත්, අපේ බොහෝ නම්-ගම් නිවැරදිව උච්චාරණය නොකිරීමටත් හේතුව සමහර අවස්ථාවල වර්ගවාදය විය හැකිය. එවැනි අවස්ථාවල එයට විරුද්ධ වීම දියෙස්පෝරා වැසියකුගේ යුතුකම විය යුතුය. දිනක් එක්තරා කාර්යාලයකදී එක් සුදු ජාතික කාන්තාවක් මගේ වාසගම දිග වැඩි යැයිද, එය කොට කරගන්නැයිද එක් විට චෝදනාවක් සහ යෝජනාවක් කළාය. මගේ පිළිතුර වූයේ “ඒක මගේ නම. ඒක දිග කොට බව මම බලාගන්නම්. උඹ ඔන්න ඔය වැඩේ කරලා දීපන්...” යන්නය. කාන්තාව කට වසාගත්තාය. මා ආ කාර්යය ඉතා ඉක්මනින් කර දුන් ඇය මගෙන් නිදහස් වූවාය. මට දැනුණු ආකාරයට ඇය එවැනි ඉල්ලීමක් කළේ මගේ නමේ දිග වැඩිකමකට වඩා, ඇයගේ වර්ගවාදී හැඟීම් ඉස්මතු වීම නිසා බව ඉතා පැහැදිලි විය. එවැනි උදාහරණ විශාල සංඛ්‍යාවක් ඇති නමුත් සියල්ල මෙහි සඳහන් කළ නොහැකිය. ඒ අතරම එවැනි වර්ගවාදීන්ගේ සිත් අසතුටු කිරීමට අකැමැති දියෙස්පෝරා වැසියෝද සිටිති. ඒ අනුව ඔවුන් අතර සිටින ජයවර්ධනලා ‘ජේ’ලා (Jay) වෙති, විවිධ පාලලා ‘පෝල්’ලා වෙති, ක්‍රිෂාන්තලා ‘ක්‍රිස්’ලා (Kris) වෙති. මේ කියන්නේ හුරතලේට කරන්නා වූ නම් කෙටි කර ඇමතීම් නොවේ; නම් වෙනස් කිරීම් ගැනය. ඒ අතරම තවත් පිරිසක් රැකියා වෙළෙඳපොළේදී ප්‍රමුඛත්වය ගැනීමේ අරමුණින් ඉංග්‍රීසියට හුරු කෙටි නම්වලට මාරු වෙති. එහෙත් එලෙස නම් වෙනස් කළත් සංස්කෘතියට සහ මවුබිමට ඇති ළැදියාව අත් නොහළ අයද ඒ අතර එමට සිටිති. දියෙස්පෝරාවේදී මට හමු වූ එවැනි චරිතයකි ජොන්ටි (Jonty). ඔහු කුඩා අවධියේදීම මවුපියන් සමඟ කැනඩාවට සංක්‍රමණය වූ තැනැත්තෙකි. කැනඩාවේදී මැනිටෝබා විශ්වවිද්‍යාලයෙන් හොඳ උසස් අධ්‍යාපනයක් ලැබ ඇති ඔහු ඉංග්‍රීසිය මෙන්ම සිංහල භාෂාවද චතුර ලෙස හසුරවයි. ලංකාවේදී පවා තරුණයකුගෙන් හමු නොවන අන්දමේ ගුණාංගවලින් හෙබි ඔහු සැබවින්ම විශේෂ පුද්ගලයෙකි. මසකට වරක් හේ අසල විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට දානයක් පිරිනමයි. දානය උයන්නේත්, පිරිනමන්නේත් ඔහු තනිවමය. සිය සිංහල නම වෙනුවට බටහිර නමක් භාවිත කිරීමට තීරණය කළත්, අනෙකුත් භාවි‍තයන්හිදී සිය සංස්කෘතිය රැකගෙන කටයුතු කිරීමට ඔහු දරන උත්සාහය ප්‍රශංසාර්හය. ඒ අනෙකක් නිසා නොව, ඔහු ඔහුගේ මවුපියන් වැපිරූ දේහි ප්‍රතිඵලයක් වන බැවිනි.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මා කුමන වර්ගයේ ඉන්දියානුවෙක්ද?

    8722f6e4_2138_P_6_mr.jpg

    #දියෙස්පොරාව 5

    මා කුමන වර්ගයේ ඉන්දියානුවෙක්ද?

    මීට පෙරද සාකච්චා කල පරිදි දියේස්පෝරාව ගොඩ නැගෙන්නේ ජාතියක සංස්කෘතියක් හා බැදුණු පිරිස් විදේශයක එක් රැස් වීමෙනි. එහෙත් එම විදෙස් රාජ්‍යයේ සංස්කෘතිය කොයි ආකාරයෙන් එම දියෙස්පෝරාව පිළිගන්නේද යන්න රටින් රටට විවිධාකාරය. දියෙස්පෝරාව තම අනන්‍යතාව රැක ගන්නට උත්සාහ ගනිද්දී, එම විදෙස් රටේ සංස්කෘතිය එවැනි විශේෂ ප්‍රභේදනයක් නොකරයි. එසේ නැතිනම් වෙනස්ම අකාරයේ කුලකයකට ගොනුකරයි. වෙනත් ආකාරයෙන් කිවහොත් අප ශ්‍රී ලාංකික දියෙස්පෝරාව ලෙස ලගු වන්නට උත්සාහ දරද්දී විදෙස් සංස්කෘතිය අප ගොනු කරන්නේ “නැගෙනහිර ආසියාතික” (east Indian) යන කුලකයටය.

    කැනඩාවේ සංස්කෘතිය අද බහු සංස්කෘතිකත්වයක් (multi culturalism) ලෙස වර්ධනය වී තිබේ. ඒ අනුව සියලු ලෝක සංස්කෘතීන් කැනඩාවේ සංස්කෘතිය බව දේශපාලකයින් ප්‍රකාශ කරති. ජන්දය ලබා ගැනීමට දේශපාලකයින් එසේ කීවද එය හැමවිටම එසේ නොවිය.
    මා මෙරටට පැමිණි මුල් අවදියේ සුදු ජාතිකයින් විසින් දුඹුරු සම ඇති සියලු දෙනා හැදින්වුයේ "පාකීස්" යනුවෙනි. සාමාන්‍යයෙන් පාකීස් යනුවෙන් හදුන්වන්නේ පාකිස්තනුවන් වූවත් වර්ගවාදී ආමන්ත්‍රණයක් ලෙස සියලු දුඹුරු සම ඇත්තවුන් ඉන්දියානුවන් ලෙස සලකා "පාකීස්" ලෙස හැදින්වුහ. ඒ නිසා සියලු දුඹුරු සම ඇත්තෝ තමා කුමන වර්ගට අයත් ඉන්දියානුවෙක් දැයි යන අනන්‍යතා ගැටලුවට මුහුණ දුන්හ.

    ඒ අනුව සුද්දන්ට කරදරයක් වූ ඉන්දියානුවන් වර්ග ගණනාවක් වෙති. කැනේඩියානු භුමියේ නියම උරුමකරුවන් වන රතු ඉන්දියානුවන් ඉන් මුලික වෙයි. ඔවුන් වෙනුවෙන්ම වෙන් කොට ඇති ප්‍රදේශ වල ජිවත්වන රතු ඉන්දියානුවන් එසේ නොවුවද, නගරාශ්‍රිතව වෙසෙන රතු ඉන්දියානුවන් බහුල ලෙස මතට ඇබ්බැහිවී සිටිති. වීදි කොන්වල වෙරිමතින් වැනි වැනී සිගාකන ඔවුන් සුද්දන්ගේ පිළිකුලට ලක්වෙති. (ඔවුන් පිලිබදව වඩා සවිස්තරාත්මකව ඉදිරියේදී සාකච්චා කිරිමට බලාපොරොත්තු වෙමි.)
    ඊට අමතරව හතර වටේම තුනපහ සුවද වගුරුවමින් බස්රථවලට ගොඩවන නැගෙනහිර ඉන්දියානුවන් සහ පකිතානුවන් හෙවත් “curry smelling injiyans” ලගින් යනවිට නාසය වසා ගන්නා සුද්දන් ඒ ඉන්දියානුවන්ද පිළිකුල් කරති. (නගරාශ්‍රිත සුද්දන් indian යන්න ශබ්ද නගන්නේ "ඉන්ජියන්" යනුවෙනි)
    රැකියා ස්ථානවල අනිත් සේවකයින් පිළිබද වැරදි කියමින් ආයතන ප්‍රධානීන්ගේ සිත දිනාගෙන සිටින, බොහෝ ආයතනවල සුද්දන් පරයා සුපර්වයිසර් කම දරණ ගයනා, බබෙඩෝස් වැනි රටවලින් පැමිණි ඉන්දීය සම්බවයක් සහිත බටහිර ඉන්දියානුවන් සුද්දන්ගේ උදහසට ලක්වූ තවත් ඉන්දියානුවන් වර්ගයකි.
    මේ හැරුනුකොට, කෙඩිට් කාඩ් වංචාව, මත්ද්‍රව්‍ය වෙළදාම ඇතුළු විවිධ වංචා පිලිබදව නිතර පුවත්පත්වල තොරතුරු පලවන තම වර්ගයාගෙන්ම කප්පන් ගන්නා හන්දියක් ගානේ තුවක්කු සහිත කොටියෙකු ගේ කොඩි වනමින් මාර්ග අවහිර කරන්නාවූ ටැමිල් ඊළාම් යනුවෙන් හදුන්වන රටකින් පැමිනියේයයි කියන දෙමළ ඉන්දියනුවන්ද සුද්දන්ට හිසරදයකි. මේ අය අතරින් මා කුමන වර්ගයේ ඉන්දියානුවෙක්දැයි සුද්දන්ට පැහැදිලි කිරීම තරමක් අසීරු කාරණයකි.
    කැනඩාවට පැමිණි මුල් අවදියේ මගේ ගජයා වූ "ගජන්" දිනක් "බම්බක්ලාට්" ගාමීන් මගේ කාමරයට ඇතුළු විය. “බම්බක්ලාට්” යනු ජැමෙයිකානු භාෂාවෙන් අමු තිත්ත කුණුහරුපයකි. ජැමෙයිකානුවන් විශාල පිරිසක් ටෝරන්ටෝවේ වෙසෙති. ඒ හෙයින් සමහර ජැමෙයිකානු වචන ටොරන්ටෝ වැසියන්ගේ වචන ගොන්නට එකතුවී තිබේ. “මොකෝ මේ” මම ඇසුවෙමි. "නෑ මම දැන් බස් එකේ එනකොට මගේ ලග හිටපු සුදු ගෑනියෙක් නහය වහ ගත්තනේ කරි ගදයි කියල." "මේ වැඩේ හරියන්නේ නෑ මිටපස්සේ ජැකට් එක වෙනම ලොකර් එකක දාල වහන්න ඕන." ඔහු කියාගෙන ගියේය. පසුව ඔහුගේ කබාය අසල තිබුණු කබඩ් එකකට දමා සුවද විලවුන් බෝතලයක් ගෙන විදගෙන විදගෙන ගියේය. එලෙස සුද්දන්ගේ වර්ගීකරණයෙන් විතැන් වීමට උත්සාහ කරන්නාවූ ගජන්. යාපනයේ සිට පැමිණි දෙමල තරුණයෙකි. ගජන්ට එල්.ටී.ටී ය අරහන්ය. ශ්‍රී ලංකාව පිළිබද විවාදයන්හිදී හැමවිටම සිංහලයන්ගේ පැත්තේ සිටගන්නා ගජන් ටෝරන්ටෝවට එන සියලු සිංහල සංගීත සංදර්ශන, චිත්‍රපට එකක් නෑර නරඹයි. එකල පැවති එල්.ටී.ටී විරෝධී "තෙඩගම්" නම් වූ ටොරන්ටෝ ද්‍රවිඩ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

    මේ අතර අප කුමන වර්ගයේ ඉන්දියානුවෙක්ද යන අනන්‍යතා ගැටලුවට වෙනස් ආකාරයකින් පිළියම් සොයන්නට වෙහෙසුණු පුද්ගලයෙකු මට ටෝරන්ටෝවේදී හමු විය. ඔහු නමින් “ක්‍රිෂාන්ත ශ්‍රී භාග්‍යදත්ත” නම් විය. රාවණා රැල්ල එන්නට ගව් ගණනාවකට පෙර කොණ්ඩය දිගට වවා ගෙන සිටි ඔහු පෙනුමෙන් මහා කළු සිංහලයෙකි. එකපැත්තකින් අප ස්වයං ලෙස ගෙටෝගත (ghettoize) නොවිය යුතු බව කියන ඔහු අනික් අතින් ඊට පරස්පර ලෙස දියෙස්පොරවේ තම වර්ගයා ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට හුදෙකලා සටනක යෙදෙයි. (“ගෙටෝ” යනු අතීත වැනීසියේ නගරයේ යුදෙව්වන්ට වෙන්වූ ප්‍රදේශයයි.)
    ක්‍රිශාන්ත අද කොහි සිටීදැයි මම නොදනිමු. සිය මිත්තණිය අසනීපව සිටින බැවින් ශ්‍රී ලංකාවේ පවුලේ කිසිවකු නොවූ හෙයින්ද ඇයට උපස්ථාන කිරීමේ අරමුනුන් මීට වසර දහයකට පමණ පෙර ඔහු ලංකාවට පැමිණි අතර ඉන්පසු ඔහු පිලිබදව කිසිවක් අසන්නට නොලැබිණි. මේ ලිපිය ලිවීමට මත්තෙන් ඔහු ඉන්නා ඉසව්වක් සොයා ගතයුතු යයි හැගුනු හෙයින් ඒ සදහා සාමාන්‍යයෙන් උපකාරීවන google සෙවීමක් කලෙමි. මා අවබෝධ කරගෙන සිටි පරිදි ඔහුගේ චරිතයට සාදාරණයක් ඉටු කරමින් ගූගුල් මගින් ඔහු පිළිබදව සෙවීමට කල උත්සාහය කිසිදු සලකුණක් හෝ නොමැතිව අසාර්ථක විය. ඒ අයුරින්ම ඔහු හුදෙකලා සටන් කරුවෙකි.
    ක්‍රිශාන්තට අනුව බටහිරට එන්නට අපේ මිනිස්සුන්ට අයිතියක් තිබේ. දිනක් සුද්දෙක් ඔහුගෙන් “ඇයි උඹලා අපේ රටට එන්නේ?” යනුවෙන් අසා සිටියේය. කිශාන්ත ගේ පිළිතුර වුයේ “ඉස්සෙල්ලම කියන්න ඕන, මේක උඹලගේ රට නොවෙයි. මේක ඉන්දියානුවන් ගේ රටක්, අනිත් අතින් අපි මෙහේ එන්නේ උඹලගේ සීයලා අපෙන් හුරාගත් සම්පත් නැවත අපේ රටවල් වලට ගෙනයන්නටයි.” සුද්දා කට වහගෙන පල්ලම් බැස්සේය.
    තවත් දිනයක සුද්දෙක් ක්‍රිෂාන්ත ගෙන් උඹ කොයි සිට පැමිණියේදැයි ඇසුවේය ඔහුගේ පිළිතුර වුයේ. "Spadina and Bloor” යන්නයි “ස්පඩයිනා” සහ “බ්ලෝඕ” යනු ටෝරන්ටෝවේ එකට කැපෙන ප්‍රධාන මාර්ගයන් දෙකකි. ඔහුගේ නවාතැන පිහිටා තිබුනේ එම මංසන්දිය අසලය. ක්‍රිෂාන්තට වැරදී ඇතයි සිතූ සුද්දා තමන් ඇසුවේ මොන රටින් පැමිනිකෙනෙක්ද යන්න බව කියා සිටියේය. කිශාන්තට යකා ආරූඩ විය. “I have been living here over 30 years you keep asking me this question, because my skin is brown, but you never ask the same question from a white man who migrated to this country two days ago” ඔහුගේ පිළිතුර විය. (මම මේ රටට ඇවිත් අවුරුදු තිහකට වැඩියි එත් උඹල මගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ මගේ හම දුඹුරු නිසා. එත් දවස් දෙකකට කලින් මේ රටේ පදිංචිවෙන්න ආපු සුදු හම තියෙන එකෙක්ගෙන් උඹල ඔය ප්‍රශ්නය අහන්නේ නැත්තේ ඇයි?) සුද්දා නිරුත්තර විය. එක පැත්තකින් සුද්දන්ගේ වර්ගවාදී මානසිකත්වයට පහර ගසමින් අපට මෙහි සිටීමට ඇති අයිතිය ආරක්ෂාකරන ක්‍රිශාන්ත අනික් පැත්තෙන් වෙනම සංස්කෘතියක් ලෙස පෙනිසිටීමේ අයිතිය වෙනුවෙන්ද පෙනිසිටියි.
    සුද්දන්ගේ මේ වර්ගවාදී මානසිකත්වයට පිළිතුරු දෙමින් ක්‍රිශාන්ත ඉංග්‍රීසි භාෂාවෙන් දිග කවිපොතක් ලියුවේය. එහි නම "What kind of Injian am I?” එම හුදෙකලා දියෙස්පෝරා සටන් කරුවාට උපහාරයක් ලෙස අද මෙම ලිපියේ මාතෘකාව ලෙස එම නම යොදා ගතිමි. ඉදිරි සතියේදී අපි තව දුරටත් ක්‍රිෂාන්ත ගැන කතාකරමු.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    8722f6e4_2138_P_6_mr.jpg

    #දියෙස්පොරාව 7

    මෑත ඉරිදා දිනයක මිතුරන් දෙදෙනෙකු ගෙන් එකම කරුණක් පිලිබදව මැසෙන්ජර් පණිවුඩ දෙකක් ලැබුණි. පණිවුඩ දෙකෙහිම වූයේ ඔටාවා නුවර පිහිටි බෟද්ධ සිද්ධස්ථානයක වෙබ් පිටුවේ පළවූ දැන්වීමක් පිළිබදවය. එම දැන්වීම කැනඩාවේ පිහිටි බෟද්ධ සිද්ධස්ථානායක් සදහා ඉංග්‍රීසියෙන් සේවාවන් කල හැකි වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් සෙවීම පිළිබදවය. මිතුරන් දෙදෙනාටම මෙම දැන්වීමේ සදහන්වූ එක් කරුණක් පිලිබදව තිබුනේ සෑහෙන විවේචනයකි. "විසා දිගුව සිදුවන්නේ බදවා ගන්නා ලද ස්වාමින් වහන්සේගෙන් බෟද්ධ ආයතනයට සිදුවී ඇති වාර්ෂික ප්‍රගතිය සලකා බැලීමෙනි. (ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ පිලිබදව නිරතුරු අවදානයෙන් පසුවේ." යනුවෙන් එහි සදහන් විය.
    මිතුරන්ට අනුව මෙම සදහන මගින් පෙනීයන්නේ ස්වාමින් වහන්සේ කෙනෙකුගේ ධර්ම ඥානය සහ කටයුතු පිලිබදව ගිහියන් පිරිසක් විසින් අධීක්ෂණය කරනු ලැබීමකි. "ගිහි අධ්‍යක්ෂක මණ්ඩලයේ නිරන්තර පරීක්‍ෂාව යටතෙලු ඉන්නේ තනි කකුලෙන් පොඩි ඇගිල්ලෙන් සීරුවෙන් හිටගෙන වැඩ ඉන්න වෙන සීන් එකක්ලු තියෙන්නේ" මිත්‍රයෙකු කියයි. ඔවුන්ගේ සැකය වුයේ මේ ස්වාමින්වහන්සේලා සොයන්නේ ඔවුන් වෙසෙන ප්‍රදේශයේ ඇති ප්‍රශ්නගත විහාරස්‌ථානයටද යන්නයි.
    ස්වාමින්වන්සේලා රාත්‍රියට අනුභව කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සදහා රාත්‍රියේ ජනෙල් වලින් එබී බැලීම සහ උදෑසනම පැමිණ කසල බදුන්වල ආහාර ඇත්දැයි නිරීක්ෂණය කිරීම වැනි විහිලු සහගතලෙස කටයුතු කරන තමන් විශාල ධර්ම දැනුමකින් යුක්ත යයි අධිමානයෙන් පිරි, ස්වාමින්වහන්සේලාගේ අඩු පාඩු සොයන ගිහියන් කිහිපදෙනෙකු සිටින ප්‍රදේශයක සිටින මිතුරන් දෙදෙනා එම දැන්වීම පිලිබදව මේ තරම් කලබලයට පත්වීම සාධාරණය.

    බුද්ධ ධර්මය ශ්‍රී ලාංකික සංස්කෘතියේම එක් අංශයකි. දියෙස්පොරවේ බෟද්ධයින් මෙන්ම අන් ශ්‍රී ලාංකික ආගමිකයින් ද වෙසෙති. අනිකුත් ආගමිකයින් සදහා ඔවුන්ගේ ආගම්වලට අදාළ පොදු සිද්ධස්ථාන පිහිටුවා ඇති අතර බෟද්ධයින් සදහා එලෙස නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් එක්ව විහාරස්ථානයක් ඇතිකොට ස්වාමින් වහන්සේ නමක් වඩම්මවා සිය ආගමික කටයුතු වලවල යෙදෙති. මේ අනුව මවුබිමේ සිටින විට විහාරස්ථානයක් අහලකට නොගිය සමහර දියේස්පෝරා වැසියන්ට ධර්මය ඇසුරු කිරීමට වඩා වැඩි අවස්ථාවක් දියේස්පෝරාවේදී ලැබී තිබේ. එසේ වන්නේ ස්වාමින් වහන්සේලා ගේ ඉමහත් කැපවීම නිසාවෙනි.
    බුදුන්වහන්සේ ප්‍රකාශ කල පරිදි ප්‍රත්‍යන්ත දේශයන්හි ධර්මය නොඇසේ. ඒ අනුව දියෙස්පෝරාවේ බොහෝ රටවල් ප්‍රත්‍යන්ත දේශයන්ය. ස්වාමින්වහන්සේලාට සේනාසන පුජා කිරීමට ගිලන්පස බෙහෙත් හේත් පුජා කිරීමට ප්‍රත්‍යන්ත දේශයන්හි කිසිවකුත් නැත. උන්වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට එහි අවස්ථාවක් නැත. ඒ සදහා සුදුසු සංස්කෘතියක්ද ප්‍රත්‍යන්ත දේශයන්හි නැත. එසේ පින්ඩපාතයේ වැඩියහොත් නිවෙස් ඉදිරිපිටට පැමිණ හිගාකන්නේ යයි පොලිසියට දුර කථන ඇමතුම් ගලා යන්නටද බැරි නැත. ස්වාමින්වහන්සේලාට පොලිස් කුඩුවේ ලගින්නටද සිදුවනු ඇත.

    එවන්වූ ප්‍රත්‍යන්ත දේශයන් අද ධර්මය ඇසෙන ප්‍රදේශ බවට පත්වී ඇත්තේ සංස්කෘතික බෟද්ධයින්ගේ (Cultural Buddhists) ආගමනයත් සමගමය. එසේ නොවුනානම් යුදෙව් ක්‍රිස්‌තියානි සම්භවයක් සහිත මෙම ප්‍රදේශ තුල දාන සීල භාවනා සදහා පෙළඹවීමක් ඇති නොවනු ඇත. මේ සංස්කෘතික බෟද්ධයින් අතර ශ්‍රී ලංකික බෟද්ධයින් පෙරමුණේම සිටිති. එයට උදාහරණ අවශ්‍ය නම් ඕනෑම බටහිර රටක පවතින බෟද්ධ සංවිධානයක් ගෙන සොයා බැලුවහොත් එහි පිටුපස ශ්‍රී ලාංකික ගිහියකු හෝ හිමිනමක් සිටින බව ඔබට වැටහෙනු ඇත.
    "ලංකාවේ මිනිස්සු ජීවත්වෙන්නේ රත්තරන් කන්දක් උඩ, ඒත් ඒක ඒ අය දන්නේ නෑ. නමුත් ඒගොල්ල රටින් පිටඋනහම ඒක තේරුම් ගෙන ඇතිබව පෙනෙනවා" කලකට ඉහත ටොරන්ටෝ මහා විහාරයේ ධර්ම දේශනයකට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සුදු ස්වාමින් වහන්සේ නමක් ප්‍රකාශ කලේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ධර්ම නැඹුරුව මවුබිමේ සිටියදීට වඩා වැඩි බව හැගවිමටය. උන්වහන්සේගේ එම ප්‍රකාශය සම්පුර්ණ සත්‍යයකි. බුද්ධ ධර්මයේ වටිනාකම මව් බිමේදී නොදැන සිටි දියේස්පෝරා වැසියෝ මව් බිමෙන් පිටවූ විට ධර්මය සොයා යති. එහෙත් මෙවැනි ප්‍රත්‍යන්ත දේශයක එසේ සිදුවන්නේ කෙසේද?
    එය ක්‍රමක්‍රමයෙන් සිදුවන්නකි. යම් නගරයක ශ්‍රී ලාකික පිරිසක් එක්රැස්වූ කල ඔවුන්ගේ ආගමික අවශ්‍යතාවන් ඉටු කිරීමට එම පිරිස් විවිධ ක්‍රම අනුගමනය කරති. එම ශ්‍රී ලාංකික පිරිස කුඩා නම් ස්වාමින් වහන්සේ නමක් වැඩමවා විහාරයක් කරවීම කල නොහැක. එවැනි අවස්ථා වලදී ව්ද්‍යුත් මාර්ග හරහා ස්වාමින්වහන්සේලාගේ දේශනා සංවිධානය කරනු ලබන අතර සමහර අවස්ථා වලදී ස්වාමින් වහන්සේ අසල නගරයක විහාරස්ථානයකින් කැදවීම කර පොදු ශාලාවක් කුලියට ගෙන එම කටයුතු කරති. කාලාන්තරයක් තිස්සේ මෙලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ජනගහනය වර්ධනය වීමෙන් පසු ස්වාමින් වහන්සේ නමක් වඩම්මවා විහාරස්ථානයක් කරවීම කෙරෙති.

    අද දියෙස්පොරාවේ ජනප්‍රිය විහාරස්ථාන රැසක ආරම්භය එලෙස වෙයි. කැනඩාවේ එවැනි විහාරස්ථාන අතර ස්කාබොරෝ හි පිහිටි ටොරන්ටෝ මහා විහාරය සහ මිසුසාගා විහාරය ප්‍රධාන වෙයි. දැන් අන් සෑම ප්‍රධාන නගරයකම පාහේ විහාරස්‌ථානයක් පිහිටා තිබේ. මා කැනඩාවට පැමිණි අවදියේ ටොරන්ටෝ විහාරය පැවතියේ කුඩා නිවසකය අද ටොරන්ටෝ විහාරය ප්‍රදේශයම අලංකාරයට පත් කරන ශ්‍රී ලංකික ගෘහනිර්මාණ ශිල්පය විදහාපාන්නාවූ ගොඩනැගිල්ලක් සහිත විහාරයකි. මිසුසාගා විහාරයද එවැනිය එයත් ශ්‍රී ලංකික ගෘහ නිර්මාණ ශිල්පයෙන් අලංකාරවූ ගොඩනැගිල්ලකි. එහි පළමු බිම් සකස්කිරීමේ ශ්‍රමදාන කටයුත්ත සිදුකරනු ලැබුයේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථින්ගේ සංගමය මගිනි. එවකට එහි නිලධාරි මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මාද එයට සහභාගී විය.

    අද එය දියේස්පෝරාවේ බෟද්ධ විහාරස්ථාන අතර ප්‍රධාන ධර්ම ප්‍රචාරණ මද්‍යස්ථාන වන අතර එහි සහනය ලබන අය ශ්‍රී ලාංකිකයින්ම පමණක්ම නොවේ. කැනඩාව පුරාම සුප්‍රසිද්ධ හිමිනමක් එහි වාසය කරති. ඒ සරණපාල ස්වාමින් වහන්සේය. Urban Buddhist Monk යන අනවර්ථ නාමයෙන් වඩාත් ප්‍රසිද්ධ සරණපාල හිමියෝ ශ්‍රී ලාංකිකයින් අතර පමණක් නොව කැනේඩියානුවන් අතරද ඉමහත් සේ ජනප්‍රියය.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කොවිඩ්බුරුවෝ

    #දියෙස්පොරාව 8
    කොවිඩ්බුරුවෝ

    සමස්ථ ලෝකයම කොරෝනා වසංගතය සමග පොරබදින මොහොතක දියේස්පෝරාවේ අයද සිය නිවෙස් වලට වී ආරක්ෂාවී සිටීමට උත්සාහ කරති. කලින් අදහස් කල ලිපිය වෙනුවට කොරෝනා විසින් විවිධ සංස්කෘතීන් තුල ඇති කර ඇති වෙනස්කම් පිලිබදව මෙවර කතා කලයුතු යයි අදහස් කලෙමි.

    මේ ලියන මොහොත (මාර්තු 24) වනවිට කැනඩාවේ කොරෝනා අසාදිතයින් 1646ක් සොයාගෙන ඇති අතර මරණ 24ක් ද වාර්තා වේ. වඩාත් දරුණු තත්වයක් පවතින්නේ ඔන්ටාරියෝ සහ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත දෙකෙහිය. ඔන්ටාරියෝ ප්‍රාන්තයෙන් දැනට රෝගීන් 503 ක් සහ මරණ 6ක් වාර්තා වාර්තා වන අතර ප්‍රාන්තය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් රෝගීන් 472 ක් සහ මරණ 13ක් වාර්තාවේ. මා ජිවත්වන මැනිටෝබා ප්‍රාන්තයෙන් දැනට කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර රෝගීන් 11 සොයාගෙන ඇත.

    ඉදිරියේ තත්වය කොයි අතට පරිවර්ථනය වියහැකිදැයි නොදනිමි. සියලුම ගොඩබිම් දේශසීමා වසා ඇත රටට පැමිණිය හැක්කේ ගුවන් මගින් පමණි. එහෙත් ගුවන්තොටුපලේදී ස්වයං නිරෝධානය යොමුවන ලෙස ඉල්ලීමක් හැරුනුකොට වෛද්‍ය පරීක්ෂාවක් හෝ උෂ්ණත්ව පරීක්ෂාවක් නොමැත. සියල්ල තීරණය වන්නේ ස්වයං නිරෝධායනයේ යෙදෙන අයගේ අවංක භාවය මතය. ඔවුන් පිලිබදව පසු විපරමක් නැත. ප්‍රදේශයේ විවිධ රෝහල් වල සේවය කරන ශ්‍රී ලංකික වෛද්‍ය වරුන් කිහිපදෙනෙකු සමග කතාබහ කලෙමි. ඔවුන්ට අනුව රෝගයෙන් ආරක්ෂාවීම සදහා උපදෙස් හෙල්ත් කැනඩා (Health Canada) මගින් සිය වෙබ් අඩවියේ සදහන් කර ඇත. නමුත් රෝගය සදහා එතරම් සුදානමක් දක්නට නැත. මෙය කොතරම් භයානකද යත් එක් ශ්‍රී ලංකික වෛද්‍යවරයෙක් පවසා සිටියේ කොරෝනා ඇත්දැයි පරික්‍ෂා කර ගැනීමට සිය රෝහලට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවෙන් පසු රෝහල පුරා ඇවිදිමින් අනිකුත් රෝගීන්ට අතට අත දෙමින් හැසිරෙන ආකාරය දැක ඔහු මැදිහත්වී තත්වය පාලනය කිරීමට සිදුවූ බවයි. අනිත් අතින් රෝහලට භාරදෙන සාම්පල පිළිබද ප්‍රතිපල ලබාදීමට දින 2-3 අතර කාලයක් ගතවන බව වෛද්‍ය පරීක්ෂණ අංශයේ සේවය කරන ශ්‍රී ලංකික මිත්‍රයකු කියයි.

    මැනිටෝබා කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු වන තවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු පෙන්වාදෙන්නේ තත්වය වඩාත් භයානක බවයි. ඔහු කියන්නේ අඩු ලෙඩුන් ප්‍රමාණයක් වාර්තා වීමට හේතුව නම් රජය රෝග පරික්ෂා කරන්නේ ප්‍රතිපත්තියක් ලෙස පිටරට සිට පැමිණි සහ උණ සහිත පුද්ගලයින්ගේ පමණක් වීම නිසාය. සත්‍ය රෝගීන් ප්‍රමාණය වාර්තාවන රෝගීන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයකින් ඉහල බව ඔහු කියයි. (Under Reporting). එමනිසා නිවසේම රැදීසිටීම වඩාත් යෝග්‍ය බව ඔහු කියයි. එතරම් විශාල ප්‍රමාණයක් රෝගීන් සිටින නිසා රෝගය වැළදීම කොයි අකාරයෙන් හෝ විය හැකිය. මෙතරම් දියුණු රටක් උවද කැනඩාව පුරාම රෝහල්වල ඇත්තේ ICU BEDS 5000ක් පමණි. ජනතාව නිවෙස්වල සිට තත්වය පාලනය කර නොගතහොත් රෝහල් වල ධාරිතාව ඉක්මනින් ඉක්ම යනු ඇත. එය වැලැක්වීම සියලු දෙනාගේ යුතුකමකි.

    කොරෝනා මගින් ඇතිකළ සංස්කෘතක බලපෑම් ගැන සදහන් කරනවිට අතට අතදීම අවසන් වීම ප්‍රධාන ලෙස සැලකිය හැකිය. සමහර රාජ්‍ය නායකයින් අතට අත දීම වෙනුවට ආයුබෝවන් හෝ නමස්තේ ක්‍රමය අනුගමනය කිරීමට පටන්ගෙන ඇත. එහෙත් හැමදෙනාම එසේ නොකරති. සමහර සුදු ජාතිකයින් උද්ධච්චකම හේතුවෙන් ආසියාතික ක්‍රමයට අනුගත වීමට ඇති අභ්‍යන්තර විරෝධය නිසා අතට අතදීම වෙනුවට එල්බෝ බම්ප් (elbow bump) සිදුකරයි. එය තවත් භයානක ක්‍රියාවකි. අවශ්‍ය වන්නේ මීටරයක දුරස්ථ බවක් වුවද එල්බෝ බම්ප් මගින් එකිනෙකා අඩියක පමණ දුරකට සමීප කරයි. මේ අනුවන කම් නිසා ඉතාලියේ තත්වය වැනි තත්වයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමි.
    මේ අතර සුබදායි තොරතුරුද නැත්තේ නොවේ ඊයේ නගරය පුරා ගමන් කරද්දී දුටුවේ සමහර වෙළද ව්‍යාපාරිකයින් තත්වය සමනය කිරිම සදහා ඉදිරියට පැමිණි වගකි සමහර ව්‍යාපාර ඉදිරිපිට මීටරයක පරතරය සහිත පෝලිම් දකින්නට ලැබුණි. ව්‍යාපාරයට ඇතුළු විය හැක්කේ සීමාසහිත ප්‍රමානයකටය කෙනෙක් එලියට පැමිණි විට පමණක් තවකෙනෙක් ඇතුලට යයි. අතුලුවනවිටම පාවිචිය සදහා විෂබීජ නාශක තබා ඇත.

    වයිරසය ආරම්භයේ දීම අතට ඇත නොදෙන බවට මගේ කාර්යාලයේ දැන්වීමක් ඇලවුයෙමි. ගිය සතියේ සිට ඉදිරි දොර වසාදමන ලදී. දැන් පැමිණීමට අවශ්‍ය කෙනෙක් වෙතොත් දුරකතනයෙන් අමතන ලෙස දැන්වීමක් ඇලවුයෙමි. මා ගනුදෙනු කරන ආයතන සියල්ලම පාහේ වසාදමා හෝ online ක්‍රමයට පරිවර්තනය වී ඇත. අධිකරණය වසා දමා ඇත. බොහෝදෙනා නිවසේ සිට රැකියාව කරති. රජය විසින් යම් සහන ලබාදී ඇති බව කියතත් ඒවා තවමත් ක්‍රියාවට නැංවිනැති බව පමණක් කිව යුතුය.

    මේ අතර අලුත් ඉංග්‍රීසි වචනයක් නිර්මාණය වී තිබේ. කොවිඩ් නිරෝධායන ක්‍රම අනුගමනය නොකරන උඩගු පුද්ගලයින් සදහා යොදන මෙම වචනය COVIDIDIOTS නම් වේ. මේ හා සමාන සිංහල වචනයක් අපි නිර්මානය කරගමු. මගේ යෝජනාව "කොවිඩ්බුරුවෝ" ඔබගේ යෝජනාව කුමක්ද?
    ඉතින් මේ සියල්ල කවදාහෝ යතා තත්වයට පත් වනු ඇත. එතෙක් අප ඉවසාගෙන නිවසේම රැදී සිටිමු!
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔබ තුලම ඇති ආරක්ෂාවේ සහතිකය

    8722f6e4_2138_P_6_mr.jpg

    #දියෙස්පොරාව 9

    ඔබ තුලම ඇති ආරක්ෂාවේ සහතිකය

    කලකට ඉහත දිනයක මගේ මිත්‍ර ශ්‍රි ලාංකික යෙකුගේ නිවසේ රාත්‍රී ආහාරය සදහා ආරාධනාවක් ලැබුණි. ආහාර භෝජනයෙන් අනතුරුව සියලු දෙනා ආහාරවල රසවත් බව පිලිබදව ගෘහණියට ස්තුති කරද්දී ක්‍රමයෙන් කතාව වෙනත් වෙනත් දිශාවන්ට ඇදී යන්නට විය. අවසානයේ කතාව කේන්ද්‍ර ගත වුයේ මවුබිමේ වැවෙන හැදෙන ආහාර වල පවතින වඩා රසවත් බවට හේතුව කුමක්විය හැකිද යන්න පිළිබදවය. එය බොහෝවිට ශ්‍රී ලංකාවේ පවතින අඩු ගුරුත්වාකර්ෂණය හේතුව වියහැකිබව කෙනෙක් කීය. මේ අවස්ථාවේදී එතෙක් නිහඩව සිටි මගේ මිත්‍රයාගේ එකම පුත්‍රයා කථාවට එක්විය. විශ්වවිද්‍යාල ප්‍රවේශය අසන්නයේ සිටි එම තරුණයා කුඩා අවධියේ සිටම කැනේඩියානු අධ්‍යාපන ක්‍රමයෙන් පෝෂණය වූ අතර මේ හේතුව නිසාම ඔහුගේ චින්තන රටාව බටහිර සංස්කෘතිය මගින් නිවැරදියි හගවන ච්න්තන රටාවට වඩා වැඩි නැබුරුවක් ඇති බව පෙනෙන්නට තිබුණි. භෟතිකවාදියෙකු ලෙස කතාවට ප්‍රවිෂ්ට වූ ඔහු ගුරුත්වාකර්ෂනයේ අඩුබව හේතුකොටගෙන ශාඛයන් මිනිසුන් තුල වෙනස්කම් ඇතිවිය හැකි වුවත් එවැනි වෙනසක් ඇතිකිරීමට තරම් විශාල ගුරුත්වාකර්ෂණයේ අඩුවක් ශ්‍රී ලකාව අවට නොමැති බව ඔහු කියා සිටියේය.

    එවිට කෙනෙක් මෑතකදී සිට ගුගුල්හි සංසරණය වෙන නාසා ආයතනය මගින් ප්‍රසිද්ධ කර ඇත්තේ යැයි කියන ගුරුත්වාකර්ෂණ දත්තයන් සහිත ලෝක සිතියමක ජායාරුපයක් ඉදිරිපත් කළේය. සිතියමෙහි ශ්‍රී ලංකාව සහ අවට ප්‍රදේශය තද නිල පාටින් වර්ණවත් වී ඇති අතර එය අඩුම ගුරුත්වාකර්ෂණ සහිත ස්ථානය බව දර්ශකයේ සදහන් වී ඇත. තරුණයා තව දුරටත් කියන්නේ එය එසේ උවද එය විශාල වෙනසක් වීමට තරම් ප්‍රමාණවත් නොවන දශම ගණනක වෙනසක් පමණක් බවයි. එතන සිටි කිසිවකු ඒ සම්බන්ධ විශේෂඥයකු නොවූ නිසා සිද්ධිය එතනින් අවසන් විය. මෙලස කතාබහ වුනු ආහාරවල රසයේ ඇති වෙනස අවම වශයෙන් තම ජිවිත කාලයෙන් අවුරුදු තිහක් පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වූ වැඩිහිටි පිරිසක් තම ප්‍රත්‍යක්ෂයෙන් අත්දැක ඇති කාරනාවකි. මා මෙම සිද්ධිය යොදාගත්තේ යම් සිද්ධියකදී බටහිර සංස්කෘතිය යමක් පිලිබදව අනුගතවන ආකාරය සම්බන්දව යම් ඉගියක් මෙම සිද්ධිය සපයන බවට මට හැගුනු නිසාවෙනි.

    එකම ගැටළුවක් විසදා ගැනීම සම්බන්දයෙන් බටහිර සහ නැගෙනහිර සංස්කෘතීන් උපයෝගී කරගන්නා භාවිතාවන් පිළිබද පැහැදිලි තරගයක් ලෝකයා ඉදිරියේ නිර්මාණය වෙමින් තිබේ. ගැටලුව නම් කොරෝනා වසංගතය සහ ඒ හා බැදුණු අනිකුත් ගැටලු සදහා විසදුම් මොනවාද යන්නයි. මෙම තරගයේදී ජයගාහකයෙකු නොමැති උවද වඩාත් ප්‍රයෝගික භාවිතාව කුමක්ද යන්න අවසානයේදී හෙළිදරව් වීමට ඉඩ තිබේ. ගැටලුවකදී බටහිර භාවිතාව යනු කුමක්ද? මේ සිද්ධිය කොරෝනා සහ බටහිර සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?

    කොරෝනා භීෂණය පිලිබදව චීනයෙන් වාර්තා වෙද්දීම අපේ අය පෙරුම්කායන් සොයා අතේ බැදගත්තේය. ඒ පර්යේෂණ කර ලබාගත් නිගමනයන්ගෙන් පසුව නොවේ. ඉන්දියන් කඩයක් පීරා මාද පෙරුම්කායම් කුඩු බෝතලයක් සොයාගත්තේය. ඉන් කුඩුටිකක් කුඩා මුට්ටයක් ලෙස සාදා රෙදිපටියක බැද අතේ බැදගත්තේය. දන්නා කිහිප දෙනෙකුටද ඒ පිළිබද ආරංචිය ලබාදුන්නේය. සමහරුන් දැනටමත් එලෙස කර ඇතිබව දැන්විය. බටහිර සංස්කෘතිය මෙය දකින්නේ අතිමහත් ග්‍රාම්‍ය දෙයක් ලෙස විය හැක. එහෙත් අපේ මවුපියන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් අප ලැබූ යම් ඥාණසම්භාරයක් වීද ඒවා මෙවැනි අවස්ථාවන්හිදී අපට මහෝපකාරී වෙයි. විදෙස්ගත වුවද එය එලෙසමය.
    අනික් අතින් චීනයේ වෛරසය ක්‍රියාත්මක වෙද්දී බටහිර සංස්කෘතිය එය කිසිදු මායිමකට ගණන්ගත්තේ නැත. ඔවුන්ගේ කටයුතු සුපුරුදු ලෙසම කරගෙන ගියේය. ඔවුන්ගේ විද්‍යාව පිලිබදව ඒ තරමටම විශාල විශ්වාසයක් ඔවුනට තිබිණි. පිරිසක් මුඛ ආවරණ පලදද්දී ඔවුන් කියා සිටියේ විද්‍යාත්මකව මුඛආවරණයක් පැලදීම අවශ්‍ය දෙයක් නොවන බවය. සමහර ආයතනවල සමහර සේවකයින් මුඛ ආවරණ පලදිද්දී අනික් සේවකයින් ඒ පිලිබදව පැමිණිලි කල අවස්ථාද තිබේ. අද ලෝක සෞඛ්‍ය සංවිදානය කියන්නේ අනිකුත් අරක්ෂ්‍යාකාරී උපකරණ සමග මුඛ ආවරණ පැළදීම වැදගත් විය හැකි බවයි. මේ ආකාරයෙන් යමක් විද්‍යාත්මකව ඔප්පුකරනතෙක් තමන් ආරක්ෂා කාරී නොවිය යුතු බව සිතන බටහිර සංස්කෘතිය. ස්වභාවයෙන්ම තමන්ට ලැබී ඇති ආරක්ෂාවීමට අවශ්‍ය බවට හැගෙන සන්ඥා පාවිච්චියට නොගෙනම අතහැර දමා ඇත. ඒ නිසා ඔවුන් නිකරුනේ බලවත් ආපදාවන්ට ලක්වෙති. අද ඉතාලියේද ඇමරිකාවේද සිදුවෙමින් පවතින්නේ මෙලෙස ක්‍රියා කිරීමේ ප්‍රථිපලයන්ය.

    මේ හේතුව නිසා ලෝකයේ කොයි තරම් දියුණු රටක ජිවත් උවත් තමන්ට ස්වාභාවයෙන්ම ලැබී ඇති ආරක්ෂාවීමේ ඉගිය (Sense of protection) භාවිතා කිරීම ඉතා වැදගත්ය. දියෙස්පෝරවේ අපේ සමහර වැසියන්ද කාලයක් තිස්සේ "අපොයි ඔය තුන්වනලෝකයේ රටවල් වල දේවල් වගේද මෙහේ ...මෙහේ හෙන දියුණුයිනේ" යනුවෙන් ඇතිකරගෙන තිබු විශ්වාසය දැන් දැන් බිද වැටෙමින් තිබේ.

    අනිත් අතින් දෙයක් පිළිබද බටහිර භාවිතය සමහර අවස්ථා වලදී සම්පුර්ණයෙන්ම පදනම් වන්නේ ආර්ථිකය මතය. ජිවිත කුමන ප්‍රමාණයක් විනාශ උවද ආර්ථිකය රැක ගැනීමේ අවශ්‍යතාව බටහිර සංස්කෘතියේ ප්‍රමුඛ වේ. එය මේ අවස්ථාවේදීද කැපී පෙනෙයි. ඉහත මා දැක්වූ මුහුණු ආවරණ පිළිබද උදාහරණය එක අතකින් ආර්ථික තත්වය මත ගත් තීරණයක් නිසා සිදුවුවක්ද විය හැක. යම් සීමාසහිත මුඛ ආවරණ ප්‍රමාණයක් වෙළදපොළේ තිබේ ඒවා වෙළදපලින් වාෂ්ප වී ගියහොත්. එම හිගය පියවා ගැනීමට හදිසියේ විශාල නිෂ්පාදනයක් කිරීමට සිදුවේ. එවිට ඒවායේ මිල ඉහල යයි. ඒ හේතුවෙන් රජයේ සෟඛ්‍ය සැපයීම අංශයන්ට වඩා වැඩි මිලක් වියදම් කර ඒවා මිලට ගන්නට සිදුවේ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට මුඛ ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බවට මතයක් ප්‍රකාශ වේ. කුමන්ත්‍රණ න්‍යායක් (conspiracy theory) ලෙස පෙනුනද සිදුවන්නේ මෙයම බව දැන් පැහැදිලිය.

    ආරක්ෂා කාරී පියවර අනුගමනය කර අවශ්‍යදේ අවශ්‍ය අවස්ථා වේ නොකිරීමේ හේතුවෙන් සාමාන්‍ය ජනයාගේ ආර්ථිකය දැන් පහලටම වැටීතිබේ. දිනපතා රුපවාහිනිය ඉදිරියේ මොරදෙන දේශපාලකයෝ "Help is on the way!" යයි කියයි. මාසයක් තිස්සේ පාර්ලිමේන්තුව රැස්වී අවසානයේ හදිසි අවස්ථාවකදී ආර්ථික සහන ලබාදීමට මුදල් ඇමතිවරයාට බලය ලැබෙන විශේෂ පනතක් සම්මත කරගෙන තිබේ. බිලක් ගෙවද්දී අනිකා ගෙවන තෙක් සාක්කුවට අත තියාගෙන ගෙවන්න වගේ බලාගෙන ඉන්න ඔබේ මිත්‍රයා ඉන්නව නේද? අන්න ඒ වගේ තමයි බටහිර සන්කෘතියෙන් පෝෂනයවූ දේශපාලකයින් අද හැසිරෙන්නේ.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අභ්‍යන්තර රජ්‍යය

    8722f6e4_2138_P_6_mr.jpg

    #දියෙස්පොරාව 10

    අභ්‍යන්තර රජ්‍යය

    දෙදහස් නමය අවුරුද්දේ අප්‍රේල් මාසේ මුල ලංකාවේ එල්ටීටීඊ යුද්ධයේ අවසාන භාගයේ මම කැනඩාවේ අගනුවර වන ඔටාවා නුවර පිහිටි කැනේඩියානු පාර්ලිමේන්තුවේ විදේශ අමාත්‍යංශයට අයත් ජාත්‍යන්තර සබදතා සහ ජත්‍යන්තර සංවර්ධන කටයුතු පිළිබද කමිටුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ උප කොමිටියේ රැස්වීමකට සහභාගි උනා. ඒ අවස්ථාවේ රටේ තිබුනේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පක්ෂ යයි අප සිතු කන්සවේටිව් පක්‍ෂයේ රජයක් වුවත් විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය සාමාන්‍යයෙන් ලිබරල් මතදාරීන්ගේ කදවුරක් බවයි අප දැන සිටියේ. මේ හේතුව නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනේඩියානු රජයේ ප්‍රතිපත්ති තීරණය වෙද්දී හැමවිටම ලිබරල් මතවාදය ක්‍රියාත්මක වෙනු අප දැක තිබෙනවා. ඒ සදහා එල්ටීටියට සම්බන්ධ පිරිස් සහ එහි ඉදිරිපෙළ සංවිධාන නිතර ලිබරල් පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදෙනවා. ඒ තොරතුරු මත ක්‍රියාකර කැනඩාවේ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සැකසෙනවා. අවසානයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනඩාවේ ප්‍රතිපත්තිය සැකසෙන්නේ එල්ටීටීඊයට අවශ්‍ය ආකාරයට යයි කෙනෙක් කිව්වොත් එය නිවැරදියි. මේ හේතුව නිසා මෙම කොමිටියට සහභාගිවී විදේශ අමාත්‍යංශයේ ලිබරල් මතවාදයට යම් ප්‍රහාරයක් එල්ලකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වුනා. එදා එසේ නොකරානම් යුද්ධයේ අවසාන අවධියේදී යුද්ධය නවත්වා දැමිය යුතුයැයි ප්‍රකාශයක් කැනඩා රජයෙනුත් බලාපොරොත්තු විය හැකිව තිබුනා.

    එහිදී මා විසින් කරන ලද කතාව ගුගුල් සෙවුමක් කලොත් කියවන්න දැනුත් පුළුවන්. එම රැස්වීමෙන් අනතුරුව සවස් භාගයේ සිය නිල නිවසේ රාත්‍රී ආහාරය සදහා පැමිණෙන ලෙස ආරාධනාවක් එවකට ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් තුමාගෙන් ලැබුණු නිසා මාත් සමග එම කොමිටි රැස්වීමේදී ශ්‍රී ලංකාවට පක්ෂව කරුණු දැක්වූ චන්ද්‍රකුමරන්, නුර්නිසාම් සහ ඔහුගේ මිත්‍ර කැනේඩියානු විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකුද එහි ගියා. නුර්නිසාම්ගේ අද මතවාදය කුමක්දැයි මා නොදන්නා නමුත් එදා කැනඩාව තුල එල්ටීටීඊ විරෝධී මත වාදයට එරෙහි සටනේ ඔහු මෙන්ම චන්ද්‍රකුමරන්ද අපත් සමග ඉදිරියෙන්ම සිටි කෙනෙක්. මහා කොමසාරිස් තුමාගේ නිල නිවසේ එදා රාත්‍රියේ ඇතිවුණු කථාබහේදී එහිසිටි නියෝජ්‍ය මහකොමසාරිස් තුමා කැනේඩියානු ආචාර්යවරයා අමතා තරමක් මතබේදාත්මක ප්‍රකාශයක් කලා.

    ඔහු කැනේඩියානු ආචාර්ය වරයා අමතා මෙසේ කියනවා "අපේ සර්ලගේ ආණ්ඩුව තිබුනානම් එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ තත්වය මිට වඩා වෙනස් වෙන්න තිබුනා." කැනේඩියානු ජාතික ආචාර්ය වරයා උඩබිම බැලුවා "එතකොට දැන් තියෙන්නේ සර්ලගෙ ආණ්ඩුවක් නෙමෙයිද?" ඔහු ඇහුවා. පසුව නුර්නිසාම් මැද්දට පැන කතාව වෙන අතකට හැරෙව්වා. ඔය කියපු සර් එහෙමත් නැතිනම් ඒ කාලයේ කැනඩාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් තුමා දැඩි එක්සත්ජාතික පාක්‍ෂිකයෙක් ඒ නිසා තමයි නියෝජ්‍ය මහා කොමසාරිස් තුමා ඒ වගේ ප්‍රකාශයක් කලේ.

    ඉතින් ඉහත සිද්ධි දෙක ගත්තේ මම අද කතාබහ කිරීමට බලාපොරොත්තු වන මාතෘකාවට ප්‍රවිෂ්ට වෙන්න සුදුසු සිද්ධීන් දෙකක් ලෙස දුටුනිසා. මාතෘකාව තමයි “අභ්‍යන්තර රජ්‍යය” (deep state). සිද්ධීන් දෙකක් කිව්වේ කන්සවේටිව් ආණ්ඩුවක් තියෙද්දී ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සහ ශ්‍රී ලංකා රජය නියෝජනයට ලංකාවෙන් කැනඩාවට එවූ නියෝජිතයා එවකට රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම.
    මේ වගේ තත්වයන් ඕනෑම රටක තිබෙන්නට පුළුවන්. නමුත් සමස්ථ ලෝකයාටම බලපෑම් එල්ල කල හැකි බලවත්ම “අභ්‍යන්තර රජ්‍යය” ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ බවයි ඒ පිලිබදව අදහස් දක්වන්නන් කියන්නේ. කොටින්ම ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නත් මේ අභ්‍යන්තර රාජ්‍යයේ අවසරය අවශ්‍ය බවයි පැවසෙන්නේ. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වරයා අභ්‍යන්තර රාජ්‍යයේ අනුමැතියකින් තොරව බලයට පත් වීම නිසා ඔහුට දිගින් දිගටම කරදර වලට අත්විදීමට සිදුවී තිබෙන බව ඒ පිළිබද ලියවුනු ලිපි වල සදහන් වෙනවා.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද (state department) මෙම අභ්‍යන්තර රාජ්‍යයේ ම කොටසක් බව එම ලිපිවල සදහන්වෙනවා. ඒ බව ඇගවීමට මෑතක පැවති පුවත් පත් සාකච්චාවකදී එය “deep state department” ලෙස ට්‍රම්ප් ජනාධිපති වරයා විසින් උපහාසයෙන් යුතුව නම් කරනු ලැබුවා. ලෝකයේ බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම සදහා ඒ රටවල රාජ්‍ය නොවන සංවිධාන සදහා මුල්‍ය සහ අනිකුත් පහසුකම් සපයන්නේ මෙම රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරින්.

    රාජ්‍ය දෙපාර්තමේන්තුවට අමතරව මේ ඇමරිකානු අභ්‍යන්තර රජ්‍යය නිර්මාණය වී ඇත්තේ ඇමරිකාවේ සිටින මහා ධනවතුන් වන බිල්ගේට්ස්, සකර්බර්ග්, ජෝර්ජ් සොරෝස්, විශාල ඖෂධ නිෂ්පාදකයින් සහ දැවැන්ත ජනමාධ්‍ය ආයතන අයිතිකරුවන්, ක්ලින්ටන් පදනම, ඔබාමා පදනම ආදී ඉහල තලයේ පිරිසක් සහ ආයතන ජාලයකින් බවයි මේදිනවල ඔවුනට විරුද්ධව විවෘතව අදහස් දක්වන ශිවා අයියදොරෙයි කියන්නේ.

    දැනට අපි භාවිතා කරන email ක්‍රමයේ නිර්මාතෘවරයා වන ආචාර්ය ශිවා අයියදොරෙයි කුඩා කාලයේම දෙමවුපියන් සමග ඇමරිකාවට සංක්‍රමණයවු ඉන්දීයානුවෙක්. කෙටියෙන් කිව්වොත් ඉන්දීය දියේස්පෝරා වැසියෙක්. ඔහු කියන්නේ මේදිනවල අපි අත්විදින කොව්ඩ්-19 වෛරසය ඉහත දැක්වූ අභ්‍යන්තර රජ්‍යයේ නිර්මාණයක් බවයි. ඊට හේතුවශයෙන් ඔහු කියන්නේ අභ්‍යන්තර රජ්‍යයේ ක්‍රියාකාරිකයින් සියල්ලම පාහේ මහා ඖෂධ සමාගම් වල අයිති සහ කොටස් කරුවන් වනබවත් ඔවුන් මේදිනවල ලොවපුරා සියලු රාජ්‍යයන් මගින් නිර්දේශ කලහැකි කොවිඩ් එන්නතක් ලෝකයට හදුන්වා දීමෙන් විශාල වශයෙන් ලාභ ලැබීමේ සැලැස්මක් ඇති බවයි.

    මිට අමතරව බිල්ගේට්ස් විසින් දිගින් දිගටම කරනලද ඖෂධ නිෂ්පාදන ආයතන මිලදීගැනීම් වාර්තා වන අතර කලකට පෙරසිට ඉදිරියේ ඇතිවිය හැකි වයිරස් ප්‍රහාරයක් ගැන අනතුරු හැගවීම් පිළිබද දේශනාද බිල්ගේට්ස් විසින් කරනු දක්නට ලැබුනා. රජයන් වහා ක්‍රියාත්මක විය යුතු බවද අදාල එන්නත ලබාගත් බවට වෛද්‍ය සහතිකයක් රැගෙන යාම ජාත්‍යන්තර සංචාරහි යෙදෙන පුද්ගලයින්ට අනිවාර්ය විය යුතු බවට ඔහු නිදේශ කරනවා. ආචාර්ය ශිවා අයියදොරෙයි කියන්නේ මෙම කාරණා ඔහුගේ සැකය තවදුරටත් තහවුරු කරන කාරණාවන් බවයි.

    බැලූ බැල්මට කුමන්ත්‍රණ න්‍යායක් ලෙස පෙනෙන්නට තිබුනත් ආචාර්ය අයියදොරෙයි කියන්නේ සාමාන්‍යයෙන් වෛරස කෝටි ගණන් අප අවට ඇති අතර ඒවායෙන් ආරක්ෂාවීම සදහා අප ශරීරය සතුව ප්‍රමාණවත් ප්‍රතිශක්තීන් අඩංගුව පවතින බවයි. කොවිඩ් වෛරසයෙන් මිය යන්නේ මෙම ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්. එසේහෙයින් කලයුත්තේ එන්නත් අනිවාර්ය කර ඇමරිකානු “අභ්‍යන්තර රාජ්‍යය” පොහොසත් කිරීම නොව වෛරස් සදහා අප ශරීරයන් සතුව පවතින ස්වභාවික ප්‍රතිශක්තිය වැඩිකිරීම සදහා ඉක්මනින් ශරීරයට ප්‍රතිදේහ නිෂ්පාදනය සදහා අවශ්‍ය සහය සලසන ස්වාභාවික ක්‍රම අනුගමනය සහ හදුන්වා දීම කලයුතු බවයි.

    උදාහරණයක් ලෙස කැනඩාව වැනි රටවල ශීත සෘතුව අවසාන වීමත් සමගම එතෙක් සීතල නිසා නිද්‍රාව සිටි විවිධ වයිරස් වර්ග ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඒ සමගම විවිධ උණරෝග ව්‍යාප්තියක් දක්නට පුළුවන්. මේ කාලයේ රෝහල් පිරි ඉතිරී යන්නේ මේ උණ රෝගීන්ගෙන්. දුර්වල ප්‍රතිශක්තියක් ඇති කෙනෙක් මේ උණ රෝගයන්ගෙන් මිය යන්නත් පුළුවන්. මේ නිසා මහා පරිමාණ එන්නත් ව්‍යාපෘතියක් රජයේ අනුග්‍රහයෙන් නොමිලේ ක්‍රියාත්මක වෙනවා. එහෙත් මේ එන්නත පිලිබදව බොහෝදෙනා තුල විශ්වාසයක් නැහැ. මා වරක් මේ එන්නත පාවිච්චි කලත් මට උණ රෝගය වැළදුණු නිසා එතෙක් මෙතෙක් එම එන්නත ලබාගත්තේ නෑ. උන සෑදුනු සෑම අවස්ථාවකම ස්වභාවිකවම සුව වෙන්නට හැරියා. නමුත් එයින් මට වුනු හානියක් නෑ. නමුත් මෙම ඔෂධ නිෂ්පාදනය කරන ආයතනයන්ට අවශ්‍යනම් එම එන්නත හරහා මහා ජනකායකගේ ශරීර ඔවුන් විසින් මීලගට නිෂ්පාදනය කරන ඖෂධයට අදාළ රෝගය සදහා පහසුකම් සපයන ශරීර බවට පත් කරන්නටත් පුළුවන්.

    ඔහු කියන්නේ අභ්‍යන්තර රාජ්‍යය සිය සියලු ශක්තිය යොදා ජනතාව කොවිඩ් වෛරසය පිලිබදව බිය ගැන්වීමේ යෙදෙමින් සිටින අතර ලොවපුරා රාජ්‍ය නායකයින්ට ඉදිරියේදී ඔවුන් විසින් නිෂ්පාදනය කිරීමට නියමිත එන්නත මිලදී ගැනීමට විවිධාකාරයෙන් බලපෑම් කරනු ඇති බවයි.

    ශ්‍රී ලංකාව තුල මේ දිනවල ඇතිවෙමින් තිබෙන හෙළ ප්‍රතිකර්ම පිළිබද උනන්දුව අචාර්ය අයියදොරෙයි ප්‍රකාශ කරන්නාවූ ආකාරයේ ප්‍රතිශක්තිය වර්ධනය සදහා ඉතා හොද තත්වයක් උවත් ඇමරිකානු අභ්‍යන්තර රාජ්‍යයෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ ඔවුන්ගේ ආධාර මත විවිධ පර්යේෂණ වල යෙදෙන අචාර්ය මහාචාර්යවරු පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා වුවද අභ්‍යන්තර රාජ්‍යයේ බලපෑම අපේ රාජ්‍යයටත් එල්ලවිය හැකියි.

    එමෙන්ම එම උනන්දුව කඩාකප්පල් කිරීම සදහා හෙළ වෛද්‍ය වරුන් හරහාම පරස්පර මත ඉදිරිපත් කරමින් එම ව්‍යායාමය පිලිබදව සැක ඇති සහිත තත්වයක් ඇති කරන්නටද හැකියාවක් තිබෙනවා.

    කැනේඩියානු ලිබරල් ආණ්ඩු වේ අග්‍රාමාත්‍යවරයා දැනටමත් අභ්‍යන්තර රාජ්‍යය ඉදිරියේ පරාජය භාරගත් බව හැගවෙන කතාවක් පසුගිය සතියේ ඔහුගෙන් අසන්නට ලැබුනා. ඔහු කියන්නේ සුදුසු එන්නතක් සොයාගන්නා තෙක් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම තවදුරත් අවශ්‍ය වනු ඇති බවයි. ඉදිරියේදී මෙම ප්‍රකාශය මේ ආකාරයෙන්ම ලොවපුරා අනිකුත් රාජ්‍ය නායකයින් ගේ මුවින්ද පිටවිය හැකියි. එවිට අභ්‍යන්තර රාජ්‍යයේ බලවත්කම ඔබට වැටහෙනු ඇත.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඩී. එම්. ඕ

    8722f6e4_2138_P_6_mr.jpg

    #දියෙස්පොරාව 11

    ඩී. එම්. ඕ

    පසුගිය ලිපියේ මා ඉදිරිපත් කල පරිදි ඇමරිකානු ජනාධිපති වරයා සහ අභ්‍යන්තර රාජ්‍ය අතර ගැටුම තවදුරටත් වර්ධනය වී ඇති බව පෙනීයන කාරණාවක් එම ලිපිය පළවීමට පෙර සිදුවිය. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ලබන ඇමරිකානු ආධාර කපා හැරීමයි. පසුගිය ලිපිය මා විසින් ලියන අවස්ථාවේදී එවැන්නක් සිදුවී නොතිබුනි.
    ඒ අතර ලිබරල් මාධ්‍ය මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දක්වන පක්‍ෂපාතිත්වයට එරෙහිව චීනය සමග ඇති ගැටුමක් ලෙස පෙන්වන්නට උත්සාහ ගත්තද ඇත්තටම ගැටුම ඇත්තේ ආරක්ෂණවාදී ට්‍ර්ම්ප් සහ ගෝලීයකරණ වාදී, නව ලිබරල්වාදී අභ්‍යන්තර රාජ්‍ය අතර බව මෙම තත්වය හොදින් නිරීක්ෂණය කරනවිට පෙනී යයි.

    ගෝලීයකරණය සහ නවලිබරල්වාදය ගැන කියවෙනවිට නිතැතින්ම මතකයට එන්නේ ඉදිරියේ එන මැයි දිනයයි. ලොවපුරා බොහෝ රටවල් මැයි පළමු වැනිදා කම්කරු දිනය ලෙස හදුන්වා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති උවද ඇමරිකාව, කැනඩාව ඇතුළු සමහර බටහිර රටවල මැයි පළමු වැනිදා කම්කරු දිනය ලෙස නොසලකයි එදින රජයේ නිවාඩු දිනයක් ද නොවේ. කැනඩාවේ නම් කම්කරු දිනය වන්නේ සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පළමුවැනි සදුදා දිනයයි. එහෙත් විවිධ වෘර්තීය සමිති, කම්කරු සංවිධාන රජයේ ප්‍රකාශිත කම්කරු දිනය වෙනුවට සමරන්නේ ලෝක කම්කරු දිනය වන මැයි පළමු වැනිදා දිනයයි. ඔවුන් හැකි ආකාරයෙන් ආසන්න සති අන්තයක හෝ මෙම මැයි රැලි සංවිධානය කරයි. මේ ආකාරයෙන් ටෝරන්ටෝවේ කම්කරු සංවිධාන විසින් සවිධානය කරන මැයි උත්සවය May Festival නමින් හැදින්වෙයි.

    මතකයේ හැටියට එය 1998 වසරයි. එකල මා නිතර ආගිය ස්ථානයක් වූයේ ටොරන්ටෝහි තේඩගම් කාර්යාලයයි. තේඩගම් යනු ටෝරන්ටෝවේ සිටින එල්ටීටීඊ විරෝධී ද්‍රවිඩ පිරිස් එක්ව පවත්වාගෙන ගිය සංවිධානයකි. ටෝරන්ටෝවේ පාර්ලිමේන්තු වීදිය සහ වෙල්ස්ලි වීදිය හමුවන මංසන්ධිය අසල කුඩා කඩ කාමරයක කාර්යාලයක් සහ පුස්තකාලයක් පවත්වාගෙන ගිය මෙම සංවිධානය ටොරන්ටෝ එල්ටීටීඊ විරෝධීන්ගේ මද්‍යස්ථානය විය. මේ හේතුව නිසාම එල්ටීටීඊයේ ඉදිරි පෙළ සංවිධාන වල බලවත් ක්‍රෝධයට ලක්වී තිබුනි ඒ නිසාම මෙම ස්ථානය වරක් ගිනි තැබීමකටද ලක්විය.

    පුස්තකාලයේ සිංහල පුවත් පත් සැපයීම මගෙන් සිදුවිය. අද මෙන් අන්තර්ජාලය දියුණු මට්ටමක නොතිබුණු ඒ අවධියේ ලංකාවේ තොරතුරු දැනගැනීමට දුරකථනය හැරුනුකොට ඇති එකම මාර්ගය වුයේ පුවත් පත් ය. ඒත් ඒවා ලැබෙන්නේද සතියකින් පසුවය. අදමෙන් වයිබර්, වට්ස් ඇප් නොතිබුණි. එකම දුරකථන ආයතනයවූ බෙල් කැනඩා ආයතනයේ ජාත්‍යන්තර ගාස්තු ඉතා මිල අධික විය. අද මෙන් දිනපතා ලංකාවට කතාකරන්නට නම් ඒ විශාල ආදායම් ඇත්තකු විය යුතුය. ඒ නිසා පුවත් පත අත්‍යාවශ්‍ය භාණ්ඩයක් විය. තේඩගම් හි සාමාජිකයෝ ශ්‍රී ලංකාවේදී විවිධ මට්ටම් වල රැකියා කල අය විය. එහෙත් කැනඩාවේදී ඔවුන් බලාපොරොත්තු වන රැකියාව එක්වරම නොලැබෙයි. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ ලැබෙන වැටුපෙන් දායක වී මේ ආයතනය ඉතා අපහසුවෙන් හෝ පවත්වාගෙන යති.

    තේඩගම් හි ප්‍රධාන වැඩිහිටි සාමාජිකයින් අතර යාපන විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකුවසිටි රාජේන්ද්‍රන් මෙන්ම පැරණි කොමියුනිස්ට්ස් පක්ෂ සාමාජිකයකු වූ නිතරම සිනහ මුහුණින් සිටින ෂන් අයියා ද වෙයි ඔහු අද ජීවතුන් අතර නැතත් අමතක නොවන චරිතයකි. වඩා තරුණ චරිත අතර කුමරන්, තිලීපන් සහ එකල මගේ ගජයා වූ ගජේන්ද්‍රන් හෙවත් ගජන් ද ක්‍රියාශීලි සාමාජිකයින් විය. ශ්‍රී ලංකාව පිලිබදව පුදුම උනන්දුවක් දක්වන ඔවුන් කැනඩාවට පැමිණෙන සියලු ශ්‍රී ලාංකික කලාකරුවන් සහ දේශපාලඥයින් සදහා කුඩා හෝ සංග්‍රහයක් කිරීමට අමතක නොකරයි. එවැනි සංග්‍රහ බොහෝවිට පැවැත්වෙන්නේ ඒ අසලම ඇති සංක්‍රමණ නීති කටයුතු කරන තවත් ද්‍රවිඩ මහතකු ගේ කාර්යාලයේය. මා එහිදී හදුනාගත් තවත් සිංහල නිතිඥයකු වූ දොන් පතිරාජ එහි කාර්යාලයක් පවත්වාගෙන යයි. තේඩගම් සාමාජිකයින්ගේ ගුරුබුහුමනට ලක්වූ සිංහල කලාකරුවන් අතර ගුණදාස කපුගේ සහ ටීඑම් ජයරත්නයන් වෙති. ඔවුන් වෙනුවෙන් පැවැත්වූ සංග්‍රහයන් මගේ මතකයට නැගෙයි.
    නමසිය අනු අටේ මැයි දිනය ලංවෙද්දී May Festival එක සදහා යමක් කලයුතු යයි කතාබහක් ඇතිවිය. ඒ සදහා නාට්‍යයක් නිර්මාණය කිරීම සුදුසුයි තීරණය කෙරුණි. තේඩගම් සමග නිතර සම්බන්ධකම් පැවැත්වූ ක්‍රිශාන්ත භාග්‍යදත්ත පිටපත ලිවීමේ කාර්ය භාර ගත්තේය. නට්‍යය අධ්‍යක්ෂණය මට පැවරිණි. කාලයක් ගාමිණී හත්තොටුවගම සර්ගේ විදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි මට එය අපහසු කටයුත්තක් නොවීය. අලුත කැනඩාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජිවන තත්වය සහ ඔවුනට ලැබෙන රැකියා පිලිබදව නට්‍ය තුලින් කතාබහ කෙරුණි. නාට්‍යය විදි නට්‍යයක අකාරයෙන් නිර්මාණය කලෙමි. එය එම වසරේ May Festival හි ප්‍රධාන අංගයක් බවට පත් විය. නාට්‍යය සදහා තවත් සංදර්ශන ඉල්ලීම් ගලා ආවේය.

    කැනඩාවට පැමිනි මුල් පරම්පරාවට ලැබෙන රැකියා අත්දැකීම් පිලිබදව නාට්‍ය පුරා සාකච්චා කෙරුණි. කැනේඩියානු වෘර්තීය අත්දැකීම් රහිත පිරිසක් විදින අත්දැකීම් ඒ ගැන හඩා නොවැලපී තරමක් හාස්‍යමත් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කලමු. එහිදී නළුවන් වූ තේඩගම් සාමාජිකයින්ගේ පුද්ගලික අත්දැකීම් හැකිතාක් යොදා ගතිමු. කෙනෙක් රැකියාවක් සොයාගෙන යයි. ආයතන ප්‍රධානියා තමන්ට ඇති කැනේඩියානු වෘර්තීය අත්දැකීම් මොනවාදැයි ඔහුගෙන් අසයි එවිට ඔහුගේ පිලිතුරවන්නේ “Only Canadian experience I have is this freezing cold weather” දැඩි සීතල පමණක්” බවයි. තවෙකෙක් ලංකාවේ සිටින සිය මවට දුරකථන ඇමතුමක් ගනී. "mother, I am on Parliament now” එවිට මව “very nice, you always want to be in the Parliament” එවිට පුතා “ No mother, I mean I am living in Parliament street now” අනතුරුව “දැන් මගේ රස්සාව ඩී. එම්. ඕ.” පුතා කියයි. “අනේ හොදයි උඹ මෙහේ කරපු රස්සාවම ඔහේදිත් ලැබුණු එක”. අම්මා කියයි. “නෑ අම්මේ මෙහේ ඩී. එම්. ඕ. කියන්නේ Dishwashing Machine Operator කියන ජොබ් එකට District Medical Officer නෙමෙයි. මුළු ප්‍රේක්ෂකාගාරයම මහා හඩින් සිනාසෙයි.

    නාට්‍යය දෙබස් තුලින් සුපුරුදු ලෙස කැනේඩියානු සුදු අන්තවාදින්ටද ප්‍රහාරයක් එල්ල කිරීමටද ක්‍රිෂාන්ත අමතක නොකරයි. ටෝරන්ටෝවේ පලවන පුවත්පත් අතර Toronto Sun පුවත් පත තරමක් දක්ෂිනාංශික පුවත් පතකි. සමහර අවස්ථාවලදී එහි පලවන ප්‍රවෘති වර්ගවාදී ස්වරුපයක් ගනී. මේ නිසාම Toronto Sun පිලිබදව සංක්‍රමණික ජනතාව අතර එතරම් පැහැදීමක් නැත. නාට්‍යයේ කෙනෙක් සිල්ලර බඩු කඩයක වැඩ කරයි. කෙනෙක් Toilet Papers ඉල්ලාගෙන කඩයට ගොඩවෙයි. එවිට සේවකයා "sorry we don’t have toilet papers, can I give you Toronto Sun instead” යනුවෙන් සියලු දෙනා සිනහ ගන්වමින් පවසයි. කොතරම් කුඩා රැකියාවන් කලද මේ පිරිස ඉහල බුද්ධිමත් පිරිසක් බව ප්‍රේක්ෂකාගාරයේ සිටින බහුතර සුදු ජාතිකයින්ට පසක්වෙයි. “They are not stupid as they look.” පෙනුම මැට්ටන් ලෙස උවත් එය එසේ නොවනබව සදහන් කරමින් ඔවුන් ශාලාවෙන් පිටවෙනු මට ඇ සී තිබේ.