#දියෙස්පොරාව 1
මේ කොලම සඳහා නමක් ලෙස ‘ඩයස්පෝරා’ වචනය යොදාගැනීමට මම පළමුව අදහස් කළෙමි. එහෙත් ‘ඩයස්පෝරා’ යන්න තරමක් සිංහලකරණය විය යුතු යැයි දෙවනුව හැඟුණු බැවින් එය ‘දියෙස්පෝරාව’ යනුවෙන් භාවිත කිරීමට තීරණය කළෙමි (වෙනත් යෝජනා ඇත් නම් දන්වා එවනු මැනවි). එනයින් මේ කොලම ‘දියෙස්පෝරාව’ යනුවෙන් නම් කරනු ලැබුවේ සමස්තයක් ලෙස රටින් පිටත ජීවත් වන (විදෙස්ගත) ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳ කථා කිරීමට සුදුසු ආවරණයක් ඒ වචනයෙන් සැපයෙන බැව් පෙනී ගිය බැවිනි.
‘ඩයස්පෝරා’ එසේත් නැති නම් ‘diaspora’ යන වචනය ශ්‍රී ලංකාවේදී අර්ථ ගැන්වෙන්නේ තරමක් විකෘත වී ඇති ආකාරයට බව පෙනෙන්න ඇත. ඒ අනුව ලංකාවේදී ‘ඩයස්පෝරා’ යන වදන යොදාගැනෙන්නේ හුදෙක් ‘විදෙස්ගත දෙමළ ඊළාම් බෙදුම්වාදීන්’ හැඳින්වීමට යොදන වචනයක් ලෙස පමණක් බව නිරීක්ෂණය කළ හැකිය. එය නිවැරදි විය යුතු යැයි සිතන අතර, අවශ්‍යම නම් ‘ශ්‍රී ලාංකික ඩයස්පෝරා’ (Sri Lankan diaspora) හෝ ‘ඩයස්පෝරාවේ සිටින දෙමළ කොටි’ (Tamil Tigers in the diaspora) යනුවෙන් වෙන් වෙන් වශයෙන් විශේෂණ පද සහිතව යෙදුවාට වරදක් නැත. කෙටියෙන් පවසතොත් ශ්‍රී ලංකික ඩයස්පෝරාවේ සිටින්නේ කොටි පමණක්ම නොවෙති.
‘ඩයස්පෝරා’ යනු යුදෙව්-හීබ්රු (Hebrew) වචනයකි. නාමපදයක් ලෙස එය අරුත් ගැන්වෙන්නේ ‘ඊශ්‍රාලයෙන් එපිට යුදෙව්වන්ගේ ව්‍යාප්තිය’ ලෙසයි (the dispersion of the Jews beyond Israel). වත්මන් ඊශ්‍රාලය ගොඩනැඟෙන තෙක් යුදෙව්වෝ ලොව විවිධ රටවල ජීවත් වූහ. ඒ අවස්ථාවේ තමන්ගේම රටක් නැතිව, රටින් රට ජීවත් වන ඒ යුදෙව් ජන කණ්ඩායම් හැඳින්වීමට යෙදුණු ‘ඩයස්පෝරා’ යන වචනය අද මවුරටින් පිටත ජීවත් වන ඕනෑම රටක ජනකොටසක් හැඳින්වීමට යොදන ඉංග්‍රීසි වදන බවට පත්ව තිබේ. කොටින්ම ‘ඩයස්පෝරා’ යනු ‘රටින් පිට රටක්’ ලෙස හැඳින්වුවොත් වඩාත් නිවැරදිය.
මේ අර්ථය වටහා ගත් දෙමළ බෙදුම්වාදීන් ‘Transnational Government of Tamil Ealam’ නමින් වෙනම බෙදුම්වාදි සංවිධානයක් පිහිටුවා ඇත්තේද ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි කටයුතු විදෙස්ගත කිරීමේ අටියෙනි (Extending or operating across national boundaries).
යුදෙව්වන් පමණක් නොව, අපේ අසල්වැසි ඉන්දීයයෝද විදෙස්ගත තම රටවැසියන් හඳුන්වන්නට වෙනම වචනයක් භාවිත කරති. ඒ වචනය නම් ‘දේශි’ යන්නය. එයම පාකිස්තානයෝද ඒ අර්ථයෙන්ම වහරට ගනිති.
මා කැනඩාවේ ටෝරන්ටෝ නුවරට පැමිණි මුල් කාලයේදී මම ‘දේශ්ප්රදේශ්’ නමින් සංවිධානයක කටයුතු කළෙමි. එහි අරමුණ වුයේ දකුණු ආසියාතික මවුබිම්වල සංස්කෘති පිළිබඳ කතිකාවක් ඇති කිරීමය. කෙසේ වුවත් ‘ඩයස්පෝරා’, ‘දේශි’ හෝ ‘විදෙස්ගත’ යන පද තුනෙන්ම අරුත් ගැන්වෙන්නේ එකම අදහසකි.
දියෙස්පෝරාවේ ජනතාව මවු රටේ කෙරෙන බොහෝ දෑ දියෙස්පෝරාවේදීද ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන අකාරයකින් හෝ අනුකරණ කරන බව දකින්නට පුළුවනි. මේ අනුකරණ සාමාජීය, සංස්කෘතික සහ ආර්ථික වශයෙන් විවිධ අංශවලට ව්‍යාප්තව ඇති බවක් දැකිය හැකි වුවත්, බහුල වශයෙන් මවුබිමේ සංස්කෘතිය පවත්වාගෙන යෑමට උත්සාහ ගැනීමක් දියෙස්පොරාවේදී දැකිය හැකිය. උදාහරණයක් ලෙස: අලුත් අවුරුදු උලෙළ මෙන්ම වෙසක්, පොසොන් උත්සව ඒ ආකාරයෙන්ම දියෙස්පොරාවේදීත් සමරනවා දක්නට පිළිවන.
එය මෙසේද විය හැකිය: ජීවත් වන රටේදී කෙරෙන සමහර කටයුතු සිදු කිරීමේදී තම මවුබිමේ සංස්කෘතිය එයට කවලම් වීමක් සමහර අවස්ථාවල දක්නට හැකි වේ. තවත් සමහර අවස්ථාවල තම සංස්කෘතික අංගය පවත්වාගෙන යෑමට ආදේශනයක් ලෙස විදෙස් රටේ අංග භාවිත කළ අවස්ථාද දකින්නටත් පුළුවන. උදාහරණයක් ලෙස ලංකාවේ අඹරැල්ලා මාළුව අඹරැල්ලා වෙනුවට ආදේශනයක් ලෙස කොළ පාට ඇපල් (green apple) යොදාගෙන සැදිය හැකිය.
මේ ලියන මම මාධ්‍ය ක්ෂේත්රයට ආධුනිකයෙක් නොවෙමි. මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ වන්නේ ‘රාවය’ පුවත්පතේ නිදහස් (freelance) මාධ්‍යවේදියකු හැටියටය. මම 1986 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ සිට 1992 නීතිඥයකු ලෙස දිවුරුම් දෙන තෙක්ම රාවයේ වැඩ කළෙමි. 1996 දී ලංකාවෙන් පිට වූ මම කැනඩාවේ ටොරන්ටෝ නුවර යෝර්ක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ‘CHRY FM’ ගුවන්විදුලියේ ‘රේඩියෝ ශාන්ති’ නමින් පැයක ගුවන්විදුලි වැඩසටහක් අවුරුදු දහයක් තිස්සේ කරගෙන ගියෙමි. මේ හේතුව නිසාම දියෙස්පෝරාවේ සිදු වන දෑ පිළිබඳ මනා අවබෝධයක් මා හට ඇත.
එහිදී ටෝරන්ටෝවේ ජීවත් වන ගාමිණී දිසානායක නමැති, පැරණි ‘ටයිම්ස්’ පුවත්පතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු මෙන්ම දැනුත් ටෝරන්ටෝවේ සිට ලංකාව ගැන ලියන ඉංග්‍රීසි ලේඛකයකු වන ඩී.බී.එස්. ජෙයරාජ් ද විටින් විට හවුල් කරගතිමි. ඒ වැඩසටහන සඳහා ගුවන් කාලය වෙන් කරගැනීමට මට සහාය වූවේ ක්‍රිශාන්ත භාග්‍යදත්ත නම් තවත් දියෙස්පොරවේ වෙසෙන, ශ්‍රී ලංකික සම්භවයක් සහිත ඉංග්‍රීසි කවියෙකි. ඔහු මෙන්ම ඔහුගේ චීන ජාතික මිතුරිය මේ (May) ද දියෙස්පොරවේදී මට හමු වූ විශේෂ පුද්ගලයෙකි. ඔවුන් පිළිබඳ ඉදිරියේදී වැඩිදුර කතා කිරීමට බලාපොරොත්තු වෙමි.
අධ්‍යාපනික කටයුුතුවල සහ නීතිඥ වෘත්තියේ කාර්යබහුලත්වය හේතු කොටගෙන ජනමාධ්‍යයෙන් තරමක් ඈත් වුවත්, විටින් විට ඉඩ ලැබුණු හැම විටම මා ‘බ්ලොග්’ මඟින් ජනමාධ්‍යයේ නොයෙදුණාම නොවෙයි.
ඒ කෙසේ වුවත් මවුබිමේ තොරතුරු පිළිබඳ නිතරම අවදියෙන් සිටීම බොහෝ දියෙස්පෝරා වැසියන්ගේ සිරිතක් සේම එය අපගේද පුරුද්දකි. මේ හේතුව නිසාම ලංකාවේම ජීවත් වන සමහර මිතුරන් ලංකාවේ තොරතුරු නිවැරදි ලෙස දැනගැනීමට දියෙස්පෝරාවේ අපට කතා කරන අවස්ථාද නැතුවාම නොවේ! සමහර විට මවුබිමින් ඈත ජීවත් වන අය මවුබිමේ වටිනාකම වඩා හොඳින් වටහාගෙන ඇති බැවින් දෝ මවුබිමේ ජීවත් වන අයට වඩා මවුබිම පිළිබඳ සංවේදි පුද්ගලයන් ලෙස හැසිරෙනවා විය හැකිය. එමෙන්ම කිසි දිනක ශ්‍රී ලංකාවේ පය නොගැසූ සමහර විදේශිකයන් මවුබිම පිළිබඳ දක්වන විශේෂ උනන්දුව පිළිබඳවද දියෙස්පෝරාවේදී දකින්න පුළුවන් අවස්ථා තිබේ. ඔවුන් ගැනත් ඉදිරියේදී ‘දියෙස්පෝරාව’ මඟන් කතා කිරීමට අපේක්ෂා කරමි.
ඔබ සතුවද දියෙස්පොරාවේ කටයුතු පිළිබඳ යම් තොරතුරක්, අදහසක් හෝ එහි විශේෂ පුද්ගලයන් සම්බන්ධ යම් විස්තරයක් ඇත් නම් පහත ඊමේල් ලිපිනය මඟින් අපට දන්වනු මැනවි. ඒවා හැකි අයුරින් ඉදිරි තීරුලිපි මඟින් එළිදැක්වීමට බලාපොරොත්තු වන්නෙමි.
