දුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    වස්තු සම්පත්තිය ය, ප්‍ර‍ත්‍යය සම්පත්තිය ය, චේතනා සම්පත්තිය ය, ගුණාතිරේක සම්පත්තිය ය යන චතුස් සම්පත්තියෙන් යුක්ත දානය, දුන් අත් බැව්හි ම විපාක දෙන්නේ ය. වස්තු සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා අනාගාමි වූ හෝ රහත් වූ හෝ කෙනකු වීම ය. ප්‍ර‍ත්‍යය සම්පත්තිය යනු දාන වස්තුව ධර්මයෙන් ලද දෙයක් වීම ය. චේතනා සම්පත්තිය යනු දීමට පූර්වයෙහි හා දෙන කල්හි ද ඉන් පසුව ද සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත කුශල චේතනා ඇති බව ය. ගුණාතිරේක සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා එදින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙක් වීම ය. මේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා හා ධ්‍යාන ලාභී අනාගාමීන් ඇති කාලවල දී ය. චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතමකුට එදින ම විපාක ලැබේ. ඇතමකුට සත් දිනක් ඇතුළත ලැබේ. ඇතමකුට ඒ ජාතියේදී යම් කිසි අවස්ථාවක ලැබේ.

    චතුස්සම්පත්තියෙන් යුක්ත කොට මෙලොව ම විපාක ලැබෙන සැටියට දන් දීම පහසු කාර්‍ය්‍යයක් නොවේ. අනාගාමීන් හා රහතුන් නො ලැබිය හැකි බැවින් මෙ කල එය නො කළ හැකි ය. දහස් ගණන් රහතන් වහන්සේ වැඩ විසූ අතීතයේ ද මෙලොව විපාක ලැබෙන සේ දන් දිය හැකි වූයේ ඉතා ම ටික දෙනකුට පමණකි. මෙකල දන් දෙන්නවුන්ට ද ඉහතාත්ම භාවයේ ලැබෙන ආනිසංස සර්වාකාරයෙන් නැත්තේ ම නො වේ. දන් දීමෙන් මෙලොව දී ලැබෙන අනුසස් විචාළා වූ “සීහ සේනාපතියාට” බොහෝ දෙනාට ප්‍රිය වීමය, සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම ය, කීර්තිය පැතිර යෑම ය, නිර්භීත ව පිරිස් මැදට යා හැකි බව ය යන ආනිසංස සතරක් මෙලොව ලැබෙන බව බුදුන් වහන්සේ වදාල සේක. නිතර සැදැහැයෙන් දන් දෙන පින්වතුන්ට නිරෝගී බව, දීර්ඝායුෂ්ක බව, හදිස්සියෙන් ධනයෙන් නො පිරිහෙන බව, සතුරු උවදුරු මඳ බව යනාදි තවත් අනුසස් ලැබෙන්නේ ය. එය ග්‍ර‍හයන් ගෙන් වන ඵලාපලයන් සේ අප්‍ර‍කට ය.