"ජායාරුපයේ පලනොවූ නිහඩ කතාව"
දිනය - 2016/07/14
දුම්රිය - 1537 රඹුක්කන - කොටුව - පානදුර (S 8 ද්විත්ව බලවේග කට්ටලය)
වේලාව - උදැසන 06.00 පමණ
ස්ථානය - වළකුඹුර උප දුමිරිය ස්ථානයේ සිට අලව්ව දුම්රිය ස්ථානය දෙසට වන්නට පහල මාර්ගයේ සැතපුම් කණු අනුව සැතපුම් 41 දම්වැල් 35 ස්ථානය
පළමු කොටස -
දුම්රිය අංක 1537 රඹුක්කන සිට කොළඹ දෙසට සාමාන්‍ය පරිදි ගමන් කරන ලද්දේ වළකුඹුර සහ අලව්ව දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි සම්බන්ද කර ඇති ස්ථානයක දුම්රිය පීලි කොටසක් කැඩී ඇති බව නොදැනය. මෙම අසාමාන්‍ය තත්වයේ අනතුරුදායක බව වටහා ගත් කොසු ඉදල් කර්මාන්තයේ නියැලී අසල නිවසක නිවැසියෙක් ඉදිරියට එන දුම්රිය දෙසට දිවයමින් රතු පැහැති වස්ත්‍රයක් දෙපසට වනමින් දුම්රිය කාර්යය මණ්ඩලයේ අවධානය ලබා දුම්රිය නවතා සිදුවීමට ගිය මහා අනතුරක් වලක්වා ඇත. සිද්දියේ සම්පුර්ණ ගෞරවය වීරයානෙණි නම නොදත් ඔබටය.
දෙවන කොටස -
ස්ථානය පරීක්ෂා කර බැලීමේදී අගල් 10 ක පමණ පීලි කොටසක් නොමැත. දුම්රිය ගමන් කලේ නම් මහත් විපතකි. එහෙත් දුම්රිය ගමන් කල යුතුය. පොල්ලෙලි යොදා තාවකාලිකව මාර්ගයේ පීලි කොටස් කැඩී ගිය විටදී පිළියම් යෙදීම ජනප්‍රිය වුවද පොල්ලෙලි තබා බැලූ විට මෙවැනි දිගකට උචිත නොවන බව වටහා ගත් දුම්රියේ ප්‍රධාන නියාමක D.G.චන්ද්‍රදාස මහතා ස්ථානෝචිතව වෙනත් තාවකාලික පිලියමක් සැලසුම් කරන ලදී. එවරද පිහිට අසල්වැසි කොසු ඉදල් කර්මාන්තයේ නියැලී පිරිස්ය. ඔවුන්ගෙන් සපයාගත් ඝන ලී කැබැල්ලකින් පීල්ලේ උසට සහ දිගට ගැලපෙන සේ කොටසක් දුම්රියේ ප්‍රධාන නියාමක D.G.චන්ද්‍රදාස මහතා විසින්ම දුම්රියේ උප නියාමක D.M.H.කුමාර මහතාගේ සහායද ඇතිව සකසා හිඩැස ආවරණය කර දුම්රියේ රියදුරු සමගද කතිකාකර අඩු වේග සීමාවකින් දුම්රිය ඉදිරියට ධාවනය කරවන ලදී. සම්පුර්න සිදුවීමට ප්‍රමාදය විනාඩි 19 ක් පමණි. ප්‍රධාන නියාමකවරයා යෙදු තාවකාලික පිළියම මගින්ම පසුව පැමිණි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ සේවකයන්ද පරීක්ෂා කර දුම්රිය අංක 4857 (මහව), දුම්රිය අංක 1531 (රඹුක්කන සීග්‍රගාමී), දුම්රිය අංක 1030 (නුවර නගරාන්තර) ඇතුළු දුම්රිය කීපයක්ම ගමන් කරවන ලදී.
දුම්රිය බේරා ගත් නම නොදත් වීරයාට සහ ඉතා අඩු කාලයකින් ස්ථානෝචිතව ක්‍රියාකර දුම්රිය නියාමකවරයකුගේ භූමිකාව ඉටුකළ දුම්රිය ප්‍රධාන නියාමක D.G.චන්ද්‍රදාස මහතාණෙනි, ඔබටත් දුම්රිය නියාමක සංගමයේ ස්තුතිය හා ප්‍රසංශාව.
දුම්රිය සමාජ ජාලා කීපයක පළවූ ජායාරුප උපුටා ගැනීම - Gehan Jayawardana වෙතිනි.


