මෙලොව ජීවිතයේ අපගේ ක්‍රියා කලාපය මත අපගේ පරලොව ජීවිතය තීරණය වන අතර,නැවත නැඟිටවීමේ දිනයේදී ඒ සඳහා අපට විපාක විඳීමට සිදුවනු ඇත.බුද්ධිමත් මුස්ලිම්වරුන් ලෙස අප කළ යුත්තේ පරලොව සැපත ලබාගැනීම සදහා අවශ්‍ය කුසලයන් මෙලොවදී එක්රැස් කරගැනීමයි. ඒ සදහා වඩාත් ම උපකාරී වනු ඇත්තේ අප මනුෂ්‍ය සමාජය සමඟ පවත්වා ගෙන යනු ලබන යහපත් සබඳතාවයන්ය. මේ සඳහා ඔහු ජීවත් වන සමාජයෙන් ආරම්භ වී, ඉන්පසුව යහපත් මිතුරන් තෝරා ගැනීමෙන් හා අවසාන වශයෙන් ඔහුට ස්වර්ගයේ සදාකාලික සතුට ලබා ගැනීමට උපකාරී වන හොඳම සහකාරිය වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි දැහැමි බිරිඳක් තෝරා ගැනීම වැදගත් ය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම භාර්යාවන්ට කරුණාවන්තව,ගෞරවයෙන් හා ආදරයෙන් සැලකීමේ වැදගත්කම මෙලෙස අවධාරණය කරයි.
ඔබලාගෙන් හොඳම අය තම භාර්යාවන්ට හොඳම අයයි.
(සුනන් අත්-තිර්මිදි, 1162)
ධර්මිෂ්ඨ බිරිඳක් බොහෝ අංශවලින් යහපත් තැනැත්තියකි. සැමියා සිටින විට මෙන්ම ඔහු නොමැති විට පවා ඇගේ නිර්මලත්වය සහ ගෞරවය ඇය ආරක්ෂා කරගනී. ඇය යහපත් චරිතයක් ඇති,යහපත් හැසිරීම් ඇති තැනැත්තියකි. අසභ්‍ය කතා,නපුරුකම් හෝ නරක පුරුදු සඳහා ඇය ප්‍රසිද්ධ නැත. ඒ වෙනුවට ඇය යහපත් හා යටහත් පහත් ස්වභාවයක් ඇති,ආත්මයෙන් සහ හදවතින් පිරිසිදුය. මෘදු ලෙස කතා කරන අතර මිනිසුන්ට කරුණාවන්තව සලකයි. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඇය උපදෙස් පිළිගෙන අවධානයෙන් හා මුළු හදවතින්ම ඒවාට සවන් දීමයි. ඇය මුරණ්ඩු ලෙස හා අහංකාර ලෙස තර්ක කිරීමට පුරුදු වී සිටින අයගෙන් කෙනෙකු නොවේ. ඇගේ දරුවන් රැකබලා ගැනීම සහ ඇති දැඩි කිරීම,ඔවුන්ට ඉස්ලාම්, යහපත් පුරුදු සහ කුර්ආනය ඉගැන්වීම සහ අල්ලාහ් කෙරෙහි ආදරය,ඔහුගේ දූතයා කෙරෙහි ආදරය සහ මිනිසුන් කෙරෙහි හා යහපත කෙරෙහි තම දරුවන් තුළ ආදරය ඇති කිරීම පිළිබඳව බැරෑරුම් ලෙස කටයුතු කරන තැනැත්තියකි. ඇය සැළකිලිමත් වන්නේ ප්‍රසිද්ධිය,ධනය සඳහා නොවේ. ඒ වෙනුවට ඇය ඉහළ භක්තියක්,ආගමික කැපවීමක්,යහපත් චරිතයක් සහ දැනුම ලබා ගැනීම සඳහා කැපවෙයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ආගමිකව ලැදි කාන්තාවන් විවාහ කර ගැනීම දිරිමත් කළහ:
කාන්තාවන් කරුණු හතරක් සඳහා විවාහ විය හැකිය: ඔවුන්ගේ ධනය, ඔවුන්ගේ පරම්පරාව, ඔවුන්ගේ අලංකාරය සහ ඔවුන්ගේ ආගමික ලැදියාව. ඔබ ධාර්මිකව කැප වූ තැනැත්තා තෝරා ගන්න,එවිට ඔබේ දෑත් දූවිලි වලින් අතුල්ලනු ලැබේවා (එනම්, ඔබට සමෘද්ධිය ලැබේවා).
(5090 අල්-බුහාරි) (මුස්ලිම්, 1466)
අනෙකුත් ලක්ෂණ සිත් ඇදගන්නා සුළු වුවත් නබි (ﷺ) ආගමික කැපවීමක් ඇති කාන්තාවකගේ වැදගත්කම මෙහි අවධාරණය කර දක්වා ඇත. ආගමික කැපවීම යන්නෙන් අදහස් කරන්නේ යාඥාවන් සහ ධාර්මික ක්‍රියාවන් වල නිරත වීම සහ හරාම් දේවල්ලිවලින් වැළකී ආරක්ෂා වී සිටීමයි. ධාර්මික සහකරු හෝ සහකාරිය සාමකාමී,දැහැමි සහ අධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් ජීවිතයකට දායක වේ. "ඔබේ දෑත් දූවිලි වලින් අතුල්ලනු ලැබේවා" : උක්ත අරාබි ප්‍රකාශනය (تربت يداك) "ඔබට සාර්ථක වේවා" හෝ "ඔබට ආශීර්වාද වේවා" යන අර්ථය ඇති කථන රූපයකි. එය නිවැරදි තේරීමක් සඳහා දිරිගන්වයි. ඉස්ලාමයට අනුව ආගමික වශයෙන් කැපවී සිය දිවි පෙවෙත ගත කරන කාන්තාවන්ට අදාළ වන බොහෝ ගුණාංග අපට ලැයිස්තුගත කළ හැකිය.