දේවදූතයන් දුටිමි.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    දේවදූතයන් දුටිමි.

    පසුගිය දිනයක පාන්දර අකුණු සහිත ධාරානිපාත වර්ෂාවක් කඩා හැලුනා. බෝම්බයක් ගහල වගේ සද්දෙත්, තත්ත්පර ගණනාවක් පුරා රැඳුණු අලෝකයත් නිසා ගැස්සිලා ඇහැරුණු මට නින්ද ගියේ සෑහෙන වෙලාවකට පස්සෙ. උදෙන්ම මට වැඩට යන්න සිද්ද වෙලා තිබුණා. මොකට එළි වෙනවද කියල හිතමිනුයි පාරට බැස්සෙ.
    මහ වීදියේ පදික වේදිකාව පුරා ඇති පෙට්ටි කඩ පෙළ ඒ වනවිටත් නින්දේ. දහවලට පොත් පත්, රෙදි වර්ග, ප්ලාස්ටික් බඩු ආදී නොයෙක් දෑ තබා විකුණන මැස්සවල් උඩ මිනිසුන් නිදි. ඉරුණු රෙදි පොරොවාගෙන, සීතලේ ගැහෙමින්, අත පය අකුළගෙන නිදි.
    වැඩට යන්න වුණාට මොකද? මම හිතුවා. අඩු ගානෙ මම වහළක් යට උණුසුමට නිදා ගත්තනෙ.
    එදා සවස ආපසු එද්දි ඔවුන්ගේ සුපුරුදු ජීවිතය වීදි බැහැලා. ඒත් එතනින් එනකොට අමතක කරන්න බැහැ උදේ දැක්ක දේ. සමහරවිට ඒ නිසාම වෙන්නැති, මග දකින දේවල් තදින් සිතට කා වැදුණේ.
    හන්දියේ සිඟන්නෙක්, කිලිටි බිම හිඳගෙන සිරුර කසමින් සිටියා; ඔහුගෙ සිරුර පුරා සුදු පැහැ කුෂ්ටයක්. හැමෝම පිළිකුලෙන් ඔහුව මග ඇරලා යනවා. ඊට නුදුරින් වයසක සිඟන්නියක් යන එන හැමට අත පාගෙන ඉන්නවා. (හන්දිය නිසා වෙන්නැති එතන කිහිපදෙනෙක්ම හිඟමන් යදින්නේ) බස් නැවතුම අසළ විශාල නිමි ඇඳුම් සාප්පුව අසළ සැමදා සිටින අබ්බගාත කපුරු බෝල වෙළෙන්දා සුපුරුදු යාතිකාව: “අනේ නෝන, එකක් ගන්ඩ; අනේ නෝන, එකක් ගන්ඩ; අනේ”
    මිනිස්සු ඔහේ දුවනවා. තම තමන්ගේ ලෝකවල ගිලිලා.
    සෙනග දුව යන වීදිය අයිනේ, වසා ඇති ගොඩ නැගිල්ලක පිට පඩියේ වැරහැළි ගොඩක් නිදි.
    මී කුණක් වට කරගෙන කපුටු රැළක්, මිනිසුන් යන එන විට ඈත් මෑත් වෙමින්, උන්ගේ ලෝකයේ.


    මට මතක් වුණා….මමත් ඔය තත්ත්වෙට පත් වීමට ඇති ඉඩකඩ ඇහිරූ කෙනෙක් නොවෙයි.


    දේවදූත සූත්‍රයෙ හිඟන්නන් ගැනනම් කියන්නෙ නැහැ.
    මරණින් මතු අපාගත වන අයගෙන් යම රජු අහනවලු ‘නුඹ දුටුවෙ නැද්ද දේවදූතයින්?” කියල.
    කවුද දේවදූතයින්? දිවසළු හැඳගෙන, සුවඳ විහිදුවමින්, ආලෝකයෙන් බැබළි, අහසින් යන…. අප්පෝ ඒ උත්තමයො? නැහැ.
    දේවදූතයින් කිව්වෙ අපට සත්‍යය අවබෝධ කර ගැනීමට උපකාර කරන, යහමගට හැරීමට නිමිත්තක් වෙන අයට: අලුත උපන් දරුවන්- මළ මූත්‍ර ගොඩේ වැතිරගෙන, අනුන්ගෙන් පිළිසරණ බලාපොරොත්තුවෙන්, අවශ්‍යතා කියා ගන්න බැරුව ඉන්න දරුවන්; දැඩි සේ ගිලන්ව සිටින පුද්ගලයන්- අනුන් මත යැපෙමින්, වේදනා විඳිමින්, තමන්ගෙ කටයුතුවත් කර ගත නොහැකිව සිටින රොගීන්; මහල්ලන්- ජීවිතය ගෙවී ගොස්, ජරාවට පත්ව, වාරු නැතිව, රෝග පීඩාදියෙන් පෙළෙමින් සිටින මහල්ලන්; අපරාධවලට දඬුවම් ලබන්නන්- පරිභව කරනු ලැබ, නොයෙක් ආකාරයෙන් වදයට පමුණුවනු ලබන, තමන් විසින් කරන ලද දෙයට මෙලොවදීම විපාක ලැබී ඇති අපරාධකාරයන්; මළ මිණී- ප්‍රාණය ගිළිහුණු, ආදරය කළ අයගේ පවා පිළිකුලට/බියට බඳුන් වූ, දිරාපත් වූ, ඕජස් ගලන මළමිණී.
    මේවා දැක්කනම්, තේරුම් ගන්න ඕනෙ මමත් මෙහෙම පත්වන ස්වභාවය ඉක්මවූ කෙනෙක් නෙවෙයි; හිතට එන්න ඕනෙ, මමත් සිතින් කයින් වචනයෙන් කුසල් රැස් කරන්න ඕනෙ කියල. එදිනෙදා ජීවිතයේ නොයෙකුත් දේවල් මැද්දේ මේ දේවල් අපට දකින්න ලැබෙන්නෙ අපට සිහිය උපදවා ගන්නයි.
    සිහිය උපදවාගෙන අප්‍රමාදී වෙන්නයි.
    RTR2PIAK.jpg



    285732_370.jpg



    stock-footage-prisoner-in-jail-cell.jpg

    dachaumorgue1945.jpg