දේශීයත්වයේ විප්ලවය!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දේශීයත්වයේ විප්ලවය!


    දේශීයත්වයේ විප්ලවය

    අපේ සිංහල ශිෂ්ටාචාරයට ඇත්තේ දිගු ඉතිහාසයකි. එය වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේ බෞද්ධ සංස්‌කෘතිය හා සිංහල ස්‌වාධීනත්වයත් නිසාය. මේ ශිෂ්ටාචාරයට එල්ල වූ විදේශ බලපෑම් හමුවේ අතීතයේදී සටන්කළ දුටුගැමුණු, වළගම්බා, භාතිය, ගජබා, මහවිජයබා, මහ පැරකුම්බා වැනි ප්‍රතාපවත් සිංහල නර විරුවන් පහළ වී අපට අහිමි වන්නට ගිය ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය ආරක්‍ෂා කර ගත් අන්දම ඉතිහාසයෙන් අපට උගත හැකිය.

    අපේ රට විදේශ ආක්‍රමණවලට නතුවීමෙන් මෙරටේ තිබූ ශ්‍රේෂ්ඨ සංස්‌කෘතිය මෙන්ම බෞද්ධ අධ්‍යාපනයද උඩුයටිකුරු විය. පන්සලේදී අධ්‍යාපනය ලැබූ සිංහලයන්ට ඉංග්‍රීසින් විසින් ආරම්භ කල මිෂනාරි පාසල්වලට ඇතුළත්වී අධ්‍යාපනය ලැබීමට සිදුවිය. රජයේ උසස්‌ තනතුරු සියල්ලම මිෂනාරින්ට හිමිවිය. මේ අභාග්‍යසම්පන්න තත්ත්වය කොතෙක්‌ දරුණු වූයේදැයි පැහැදිලි වන්නේ මිෂනාරීවරුන් ප්‍රසිද්ධියේම බෞද්ධාගම හෙළා දකිමින් ඔවුන්ගේ මිෂනාරි ආගම් සත්‍ය බව හුවා දැක්‌වීමට පියවර ගැනීමෙන්ය.

    මේ අවාසනාවන්ත සමාජ පසුබිම පවතිද්දී 1864 සැප්තැම්බර් 17 දා උපන් සිංහල කුමරෙකු මෙරට උරුම ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයත් බෞද්ධ සංස්‌කෘතියත් ආරක්‍ෂා කර දීමට පසු කලක සමත්විය. උතුම් බැතිබර කාන්තාවක වූ මල්ලිකා ධර්මගුණවර්ධන මැතිනිය මේ කුමරුවාගේ මව විය. පියා වූයේ එවකට තරුණ ව්‍යාපාරිකයකු වූ දොන් කරෝලිස්‌ හේවාවිතාරණයන්ය. එකල උප්පැන්න ලියාපදිංචිය සිදුවූයේ පල්ලියේදී නිසා දේවගැතිතුමා ගේ මැදිහත්වීමෙන් මේ කුමරුවාට නම් තැබුණේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙසය.

    පාසල් යන වයසට පත්වූ ඩේවිඩ් දරුවා ඉගෙනීම සඳහා මුලින්ම ඇතුළත් කරනු ලැබුවේ පිටකොටුවේ පිහිටි බර්ගර් බාලිකාවන්ට ඉංග්‍රීසි උගන්වන පාසලකටය. පසුව පිටකොටුවේම පිsහිටි ශාන්ත මේරි නමින් හැඳින්වූ පාසලට ඇතුළත් කෙරිණි. අටහැවිරිදි වියට පත් ඩේවිඩ් ශිෂ්‍යයා පෞද්ගලික සිංහල පාසලකට ඇතුළු වී සිංහල භාෂාව උගත්තේය. මෙහිදී සිංහල භාෂාව පමණක්‌ නොව සිංහලෙන් ලියෑවී තිබුණු ගණදෙවි හෑල්ල වැනි පොත් පත් හැදැරීමෙන් ඩේවිඩ් ශිෂ්‍යාගේ පෞද්ගලික ඇවතුම් පැවතුම්වල වෙනසක්‌ සිදුවිය.

    ඩේවිඩ් හේවාවිතාරණ ශිෂ්‍යයා සිය දසවන වියේදී ශාන්ත තෝමස්‌ විදුහලට ඇතුළු විය. පාසලෙන් පිටවන විට ඔහුගේ වයස අවුරුදු 21 ක්‌ විය. එතැන් සිට සෙන්පති ඕල්කට්‌ තුමා ඩබ්. පී. බ්ලැවැට්‌ස්‌කි මැතිනිය, ලේඩිපීටර් මහතා, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි හික්‌කඩුවේ සුමංගල හිමි, හෙයින්තුඩුවේ දේවමිත්ත හිමි යන ගිහි පැවිදි ඇසුරෙන් අපේ සංස්‌කෘතිය අපේ උරුමයන් පිළිබඳව හා බෞද්ධකම පිළිබඳව අවබෝධයක්‌ ලබා ඒවා ආරක්‍ෂා කිරීමට ක්‍රියාකාරි ලෙස දායකවන්න අනගාරික ධර්මපාලතුමන් අධිෂ්ඨාන කර ගත්තේය.

    එතුමන්ගේ බොහෝ ක්‍රියාකාරකම් පිළිබඳව ලියා ඇති පොත් පත් ප්‍රමාණයද විශාලය. එතුමන් අපේ රටේ සිංහල නම් හා ජාතික, ඇඳුම පිළිබඳ ක්‍රියාකළද දේශීයත්වයට මුල්තැන දෙමිනි. එවන් අවස්‌ථා කීපයක්‌ මෙහි සඳහන් කිරීම වැදගත් යෑයි සිතමි.

    ඉඳුරුව ප්‍රදේශයේ ධර්මපාලතුමා චාරිකාවේ යෙදෙන විට වූ සිද්ධියක්‌ බොහෝදෙනකු කියවා ඇත. ඒ පාසලේදී ධර්මපාලතුමාව පිළිගනිමින් කථාව කළේ කොණ්‌ඩය බැඳි බැනියමක්‌ හා සරමක්‌ ඇඳගත් පාසල් ශිෂ්‍යයෙකි. ඔහුගේ කතාවට ධර්මපාලතුමා පැහැදුනි.

    "උඹේ නම මොකක්‌ද ළමයෝ?" කතාවෙන් පසු ධර්මපාලතුමා ඇසීය.

    "මගේ නම පේද්‍රිරිස්‌ සිල්වා. ඔහුගේ පිළිතුර විය. නෑ උඹට ඒ නම ගැළපෙන්නෙ නෑ.

    අද ඉඳල උඹේ නම පියදාස සිරිසේන යෑයි ධර්මපාලතුමා කීවේය.

    ඉන්පසු සිය දේශනය පැවැත්වූ ධර්මපාලතුමා මෙසේ පැවැසීය.

    "අපි ජාතියක්‌ හැටියට පුරුදු වී ඇත්තේ පිටරටින් ඇවිත් මේ රට ආක්‍රමණය කරන සතුරන්ගේ නම්ගම් සිරිත් විරිත් කෑම් බීම් යන මේ ඔක්‌කොම අනුකරණය කරන්නයි මේක වහල් චින්තනයයි. දැන් බලපල්ලා පරංගි ආවාම අපේ මිනිස්‌සු අපේ අප්පුහාමිලා ඔක්‌කොම කරොලිස්‌ලා පොරොලිස්‌ලා අබරන්ලා සරනේලිස්‌ලා වුණා. අපේ ගෑනු උදවියත් සෙලෙස්‌තිනා අද්‍රියානාල වුණා. ටික කලෙක පසු ඉංග්‍රීසින් ආව ගමන් අපි මිල්ටන්ලා ෂෙල්ටන්ලා, නෝමන්ලා වික්‌ටෝරියාලා එළිසෙබත්ලා වෙන්න පටන් ගත්තා. මීට පස්‌සෙ කවුරුත් හිතාගන්න ඕනේ තමන්ගේ දරුවන්ට සිංහල නම් දෙන්න.

    අපේ නාම විකාශනය පටන්ගත්තේ එදාය. ඉංග්‍රීසි නම් වෙනුවට බුද්ධදාස ධර්මසේන, චන්ද්‍රසිරිලා ගුණපාලලා, සෝවතීලා, චන්ද්‍රලතාලා, "උපන්නේ" ඒ අනුවය. ඒ හැඳින්වූයේ ධර්මපාල විප්ලවය නමිනි. එහෙත් කල්යත්ම අපේ මිනිසුන්ට මේවා පරණ "කොමන්" නම් වුණා. හොඳයි එහෙමත් වුණා යෑයි සිතමුකෝ. ඊළඟ අපි උතුරු ඉන්දියාවේ නම් භාවිත කරන්න පටන් ගත්තා. සුනිල්ලා දිනේෂ්ලා කුමාරලා ආවේ ඒ අනුවයි. තවකලක්‌ යත්ම කිසිවකුට නැති නම් හොයන්නට අපි පටන් ගත්තා. අරිසෙන් අහුබුදු සූරීන් වරක්‌ සඳහන් කළේ එක්‌ කාන්තාවක්‌ ළමයාට නියම කළ නම වෙනස්‌ කරලා ඔහුට "ඉරෝෂන්" යනුවෙන් නම තිබ්බා කියලයි. මේ මෝඩ කාන්තාව දන්නෙ නෑ ඉරෝෂන් කියන්නේ සෝදා පාළුව බව.

    අනගාරික ධර්මපාලතුමා හිටියනම් ඒ කාන්තාවට කියන්නේ හරකී කියලා. වරක්‌ ධර්මපාලතුමා රැස්‌වීමක්‌ අමතන වෙලාවේ එහි නීතිඥයකු පැමිණ සිටියා. ඔහුගේ ඇඳුම පුදුම එකක්‌ කලිසමකට උඩින් රෙද්දක්‌ ඇදලා දිග කෝට්‌ එකක්‌ ඇඳලා උස තොප්පියක්‌ දාගෙන (සුද්දෙකු වාගේ) හිටියා. ඔහු දෙසට ඇඟිල්ල දිගුකළ ධර්මපාල තුමා මෙසේ පැවැසුවා.

    "අර ඉන්නේ පරකදොරුවෙක්‌. මගේ ඥතියෙක්‌. බලපල්ලා උගෙ ඇඳුම. හරියට අර කුඹුරේ හිටවන පඹයා වාගේ නේද? අනේ... අනේ.... හරියට ඇඳුමක්‌ නැත්නම් තෝරා ගනිල්ලාකො දෙමළ මිනිස්‌සු ගේ ඇඳුම වේට්‌ටියක්‌ ඇඳලා හොඳ සුදොa සුදු බැනියමක්‌ ඇඳලා කරට සාටකයක්‌ දාගෙන කොච්චර ලස්‌සනද? එදා ධර්මපාලතුමා කීවේය. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, ආතර් ද සිල්වා, ගුණපාල මලලසේකර, පී. ද එස්‌. කුලරත්න දොස්‌තර ඇස්‌. ඒ. වික්‍රමසිංහ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක යනාදී නායකයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට මේ ඇඳුම අඳින්නට පටන් ගත්තේ ඒ අනුවය.

    තවත් වරක්‌ රැස්‌වීමක්‌ අමතමින් අනගාරික ධර්මපාලතුමා මෙසේ කීය.

    "මේ රැස්‌වීමේ එළියෙත් හිටියා හම්බන්කාරයෙක්‌ ඉන්දියාවෙන් ආපු. ඒ මිනිහා එතන මිනිසුන්ට බොම්බයි මොටයි විකුණනවා. විකුණල සල්ලි හම්බ කරගන්නවා. අපේ සිංහලයෙක්‌ ඉන්නවාද බොම්බායි මොටයි හදන්න දන්න."

    එවිට කෙනෙක්‌ නැගී සිටියා "මම දන්නවා බොම්බයි මොටයි හදන්න කීවේය." අන්න සිංහල ගොන් තඩියෙක්‌ වල් අලියෙක්‌ ඌ බොම්බයි මොටයි හදන්නත් දන්නවා. හදාගෙන කන්නත් දන්නවා. හැබැයි ඒවා විකුණලා සල්ලි හම්බ කරන්න දන්නෙ නෑ ධර්මපාලතුමා කීවේය. තමන්ගේ භාෂාව රළු බව ධර්මපාලතුමා දැන සිටියේය. ඒ නිසා සෑම රැස්‌වීමක්‌ අවසානයේ එතුමා පැවසූ වදන් මෙසේය.

    "උඹල තරහවෙන්න එපා. මම බනින්නෙ මේ රටේ මිනිසුන්ට මම ආදරේ නිසායි. උන්ගේ වැරදි හදාගෙන නැගිටින්නයි."

    ධර්මපාලතුමාගේ ඉන්දියාවේ බුද්ධගයාවේ "විප්ලවය" ගැන අපි කියවා ඇත්තෙමු. ධර්මපාලතුමාගේ ජීවිත කාලය තුළ එහි ප්‍රතිඵල දකින්නට නොලැබුනද ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු බුද්ධගයා පාලක මණ්‌ඩලය පත් කරනු ලැබිණි. මහබෝධි සමාගමේ නියෝජිතයෙක්‌, මහන්තාගේ නියෝජිතයෙක්‌බිහාර් ප්‍රාන්ථ රජයේ නියෝජිතයෙක්‌ සහ ඉන්දියානු මධ්‍යම රජයේ නියෝජිතයකු ගෙන්ද පාලක මණ්‌ඩලය සමන්විත විය. එපමණක්‌ නොව වෙසක්‌ දිනය (බුද්ධ පූර්ණිsමා) ඉන්දියානු රජයේ නිවාඩු දිනයක්‌ වූ අතර එදිනට බුද්ධගයාවේ විශාල උත්සවයක්‌ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්විණි. අවසාන වශයෙන් අනගාරික ධර්මපාලතුමා හා මහත්මා ගාන්ධිතුමා අතර තිබූ සම්බන්ධකම්ද සඳහන් කළ යුතුය. ඉන්දියාවේ ප්‍රකට බිර්ලා සිටුතුමා ගාන්ධිතුමාගේ මෙන්ම අනගාරික ධර්මපාලතුමාගේද අනුග්‍රාහකයකි. මහත්මා ගාන්ධි ඝාතනයට ලක්‌වූයේද නව දිල්ලියේ බිර්ලා සිටුවරයා සතු මන්දිරයකදීය. අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් බිර්ලා සිටුවරයා සාරානාත්හි අතිවිශාල බෞද්ධ විශ්‍රාම ශාලාවක්‌ද ගොඩනැඟීය. බිර්ලා සිටුවරයා නවදිල්ලියේ දැවැන්ත පූජා මන්දිරයක්‌ද ඉදිකළේය. එම මන්දිරය තුළ හින්දු ජෛන, සික්‌ හා බෞද්ධාගමික පූජා මන්දිර ඉදිකර තිබේ. එහි බෞද්ධ මන්දිරය අනෙක්‌ මන්දිරවලින් වෙන්කොට වෙනම ඉදිකරන ලද්දේ අනගාරික ධර්මපාලතුමාගේ ඉල්ලීමක්‌ මතයි. 1930 වසරේදී මෙම මන්දිරය විවෘත කරන ලද්දේ මහත්මා ගාන්ධි විසිනි.

    සරානාත් ඉසිපතන ශුද්ධ භූමිය වටා අනගාරික ධර්මපාලතුමන් විසින් මහා බෝධි සමාගම වෙනුවෙන් මිලදී ගෙන ඇති ඉඩම් ප්‍රමාණය අතිවිශාලය. විශාල අඹ උයනක්‌ද ඊට අයිතිය. වාර්ෂිකව ඒ අඹ උයනේ ඵලදාව බදු දීමෙන් ලැබෙන ආදායම, එහි වැඩසිටින භික්‍ෂූන්ගේ සිව්පසයට හොඳටම ප්‍රමාණවත්ය. අද ඉසිපතනය පුණ්‍ය භූමියක්‌ පමණක්‌ නොව සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන මධ්‍යස්‌ථානයකි.

    සංවාද සටහන
    *ජයසූරිය උඩුකුඹුර