ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!
"සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්ම රසො ජිනාති
සබ්බ රතිං ධම්ම රතිං ජිනාති
තණහකඛයො සබ්බ දුකඛං ජිනාති"
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන කාලයේ තව්තිසා දෙව්ලොව දෙවියෝ ‘දානයන් අතුරෙන් කවර දානයක් ශ්‍රේෂ්ඨද, රසයන් අතුරෙන් කවර රසයක් ශ්‍රේෂ්ඨද, ඇලීම් අතුරෙන් කවර ඇල්මක් ශ්‍රේෂ්ඨද, අර්හත් ඵලය කවර හෙයින් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද ? යනුවෙන් ප්‍රශ්න සතරක් ඉපද වූහ. දොළොස් අවුරුද්දක් මේ ප්‍රශ්න සතර විසඳාගත නොහැකි විය.
අන්තිමේදී සක්දෙව් රජුගෙන් විචාරණ ලදුව සක්දෙව් තෙමේ දෙවියන් පිරිවරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ විචාළේය. බුදුරජාණන් වහන්සේ ‘සබබ දානං ධමම දානං ජිනාති’ යනාදී වශයෙන් ඉහත සඳහන් ගාථාවෙන් ඒ ප්‍රශ්න සතර විසඳූ සේක. ‘සියලු දානයන් අතුරෙන් ධර්ම දානය ජය ගනී. සියලු රසයන් අතුරෙන් ධර්ම රසය ජයගනී, සියලු ඇලීම් අතුරෙන් ධර්මයෙහි ඇලීම ජයගනී. තෘෂ්ණාව නැති කිරීම (අර්හත් ඵලය) සියලු දුක් වලින් ජය ගනී’ යනු එහි අදහසයි.
ධර්ම දානය පිළිබඳව ධම්ම පදටඨකථාවෙහි මෙසේ සඳහන් වේ.
යම් සේ සක්වල ගැබ පුරා බ්‍රහ්ම ලෝකය දක්වා අතර නැතිව වැඩ සිටි බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා කෙසෙල් ගොබ සමාන සිනිඳු සිවුරු දෙන්නේ වේද, එය වඩා ඒ සමාගමයෙහි සිව් පදයකින් යුක්ත ගාථාවකි. කරන අනුමෝදනාව උතුම්ය. එසේම එම විවර දානය එය ධර්ම දානයෙන් සොළොස් වන කලාවෙන් කලාවටවන (දෙසිය පණස් හයෙන් පංගුවක් වත්) නො අගණේය.
එපරිද්දෙන්ම ධර්ම දේශනා කිරීමද, ධර්මය අනුන්ට කියවීමද, බණ ඇසීමද මහත් ඵල වේ. යම් පුද්ගලයකු විසින් ධර්ම ශ්‍රවණය අනුන් ලවා කරවන ලද්දේ ද ඔහුට ලැබෙන ආනිශංසය ද එසේම මහත්ය.
එබඳු වූ විශාල ආර්ය පිරිසට පාත්‍ර පුරවා දුන් ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ගිතෙල්, තල තෙල් ආදියෙන් පාත්‍ර පුරවා දුන් බෙහෙත් දානයට ද වඩා මහා විහාරය සමාන වූ ද ලෝවා මහා ප්‍රාසාදය සමාන වූ ද නොයෙක් සිය දහස් ගණන් ප්‍රාසාද කරවා දුන් සේනාසන දානයට වඩා අනාථ පිණ්ඩිකාදීන් විසින් විහාර උදෙසා කළ පරිත්‍යාගයනට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් අනුමෝදනා වශයෙන් පැවැත්වුණු ධර්ම දානයම උතුම්ය. කුමක් හෙයින් ද යත් එවැනි පින්කම් කරන්නාහු ද බණ අසාම කෙරෙත්. බණ නොඅසා නොකෙරෙත්. ඉදින් මේ සත්වයෝ ධර්මය නොඅසන්නාහු නම් ඔවුහු කිණිස්සක් පමණ කැඳවත් හැන්දක් පමණ බත් වත් අනුන්ට නොදෙන්නාහුය. මේ කාරණයෙනුත් සියලු දානයන්ට වඩා ධර්ම දානයම උතුම්ය.
යලිත් බුදු පසේ බුදුවරයන්වහන්සේ හැර කල්පයක් මුළුල්ලේ වසින්නා වූ වැස්සෙහි දිය බිංදු මෙපමණෙකැයි ගණන් ගන්නට සමර්ථ වූ මහත් ප්‍රඥාවෙන් යුත් ශාරිපුත්‍රාදී ස්ථවිරයන් වහන්සේලා ද ස්වශක්තියෙන් සෝවාන් ආදී මාර්ග ඵලයනට පැමිණෙන්ට අපොහොසත් වූහ.
අස්සජි ආදි ස්ථවිරයන් වහන්සේලා විසින් දේශනා කළ ධර්මය අසාම සෝවාන් ආදි මාර්ග ඵලයන් අවබෝධ කළාහුය. එසේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනය කරණකොට ගෙනම ශ්‍රාවක පාරමී ඥානය අවබෝධ කළාහුය. මේ කාරණයෙනුත් මහ රජාණෙනි, ධර්ම දානයම උතුම්ය. එහෙයින් ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ යනාදිය වදාරණ ලදී.
ඒ ධර්ම දේශනාවෙන් අසූ සාර දහසක් සත්වයන්ට ධර්මාවබෝධය විය. එවිට සක් දෙව් තෙමේ බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කොට ‘ස්වාමිනී, මෙසේ උත්තම වූ ධර්ම දානයෙහි ආනිශංසය අපට නොදෙන්නේ මක්නිසාද ? ධර්ම දේශනා කරන භික්ෂූන් වහන්සේ ලවාත් කුමක් හෙයින් අපට ධර්ම දානමය පින් අනුමෝදන් නොකර වන සේක්ද ? විචාළේය. බුදුරජාණන් වහන්සේ ද භික්ෂූන්ට අනුදැන වදාරණසේක් මහා ධර්ම දේශනාවන්හිදී ද ප්‍රකෘති ධර්ම දේශනාවන්හිදී ද උපනිසින්නක කතාවන්හි දීද යටත් පිරිසෙයින් අනුමෝදනා ධර්ම දේශනාවන්හි දී වුවද සිය සත්වයන්ට පින්දෙව යි වදාළ සේක. එතැන් පටන් දෙවියන්ට පින්දීම ආරම්භ විය.
තවද බඹලොව තරම් උසට බුදුන් උදෙසා චෛත්‍යය කරනවාට වඩා සතර පද ගාථාවකින් කෙරෙන ධර්ම දේශනය ආනිශංසයෙන් අධිකයයි කියනු ලැබේ.
දානයන් අතුරෙන් ධර්ම දානය දිනීමට හේතු
ධර්ම දානය අවුරුදු දහස් ගණනින් සීමා වූ බුද්ධෝත්පාදයෙහිම කළ හැකි වන්නේය. කල්ප ගණනින් අති දීර්ඝ වූ අබුද්ධොත්පාදයෙහි කළ නොහැකි වන්නේය. සංසාරයෙහි සැරිසරන සත්වයා සුගතියට නොපැමිණ අවුරුදු කල්ප කෝටි ගණන් හෝ ආත්මභාව සිය දහස් ගණන් හෝ සතර අපාය ස්වකීය ගෘහය කොට ගෙන වාසය කරයි. එහෙයින් එකල්හි දූ ධර්ම දානයක් නම් කළ නොහැකිවේමය. මිසදිටුව උපන් කල්හිදු, පිට සක්වල උපන් කල්හිදු, ගොළු - බිහිරි - මෝඩ – උම්මත්තකව උපන් කල්හිදු, ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලව උපන් කල්හි දු අල්ප මාත්‍ර වූ ද ධර්ම දානයක් නම් නොකෙරේමය. කය නැතිව සිත පමණක් ඇති දීර්ඝායුෂ්ක අරූපී බ්‍රහ්ම ලෝක සතරෙහි ද සිත නැතිව කය පමණක් ඇති අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයෙහි උපන් කල්හි වුවද ධර්ම දානය නොකළ හැකිය.
▬▬▬▬▬▬▬▬▬ 2. ධර්ම දානයේ ආනිශංස ▬▬▬▬▬▬▬▬▬
ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේය. ලොව්තුරා බුදුවරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ධර්මයක් හෙයින් ධර්මය අති පාරිශුද්ධ වන්නේය. ධර්ම දානය දුශ්ශීලයන්ට දුන්නේ ද විපාකය මහත්ඵල වන්නේය.
දාන වස්තුවෙහි ලෝභ ඉපදීමෙන් වන පුණ්‍ය හානියකුදු නැත්තේය. ධර්ම දානය දීමෙන් දිළිඳු නොවන හෙයින් පසුතැවිලි වීමකුදු නැත්තේය. දිවි හිමි කොට ධර්ම දානය කළේ ද අඩු වීමකුදු නැත්තේය. ධර්ම දානය සියල්ලවුන්ට සාධාරණ දානයක් නොවේ. ලොව්තුරා බුදු කෙනකුන් වහන්සේ විසින්ම ප්‍රථමයෙන් දුන් හෙයින් අසාධාරණ දානයකි. දුන් අයට මෙන්ම ලැබූ අයටද පින් පිරෙන දානයකි.
ධර්ම දානය නිවන් උදෙසා කෙරෙන දේශනාවක් හෙයින් නොපැතුවද නිවන් ලබාදෙන දානයකි. ඥාන විප්‍රයුක්තව බණකීම් විරළ හෙයින් බොහෝ විට ත්‍රිහේතුක කුසල්ම උපදින්නේය. ධර්ම දානය ඇසිල්ලකින් කර නිම වන කුසල කර්මයක් නොවේ. ධර්ම දේශනාව පටන් ගත් මොහොතේ සිට අවසාන වනතෙක් අප්‍රමාණ කුශල චිත්ත විථින්ගෙන් ද සද්ධා සති කරුණා මුදිතාදි කුසල චෛතසිකයන්ගෙන් ද සිදු කරන අති බලවත් කුශල කර්මයකි.
එළු, කුකුළු, ඌරු, බලු, බළල්, ගව ආදි තිරිසන් සතකුට දුන් ආහාර ආදිය සියයක් ජාතියෙහි ආයුවර්ණ, සැප, බල, ප්‍රඥා වශයෙන් පන්සියයක් විපාක දෙයි. වැදි කෙවුල් ආදී දුශ්ශීල මනුෂ්‍යයකුට දුන් දානය දහසක් ජාතියෙහි පන් දහසක් ආනිශංස දෙයි. බාහිර සිල්වත් දැහැමි මනුෂ්‍යයකුට දුන් දානය ලක්ෂයක් ආත්ම භාවයන්හි පන්ලක්ෂයක් විපාක වෙයි. අෂ්ට සමාපත්ති ලාභී බාහිර තාපසයකුට දුන් දානය කෙළ ලක්ෂයක් ජාතියෙහි උපදවා පස්කෙළ ලක්ෂයක් විපාක දෙයි. ඔවුන් සියයකට දුන් දානයට වඩා මේ සසුනෙහි තිසරණයෙහි පිහිටියකුට දෙන දානය උසස් වෙයි.
පන්සිල්හි, අටසිල්හි, දසසිල්හි පිහිටි උපාසකයින්ට දුන් දානය එකිනෙකට ආනිශංසයෙන් වැඩිවෙයි. අසංඛෙය්‍ය අප්‍රමෙය්‍යවූ විපාකම දෙයි. එයට වඩා මේ ශාසනයෙහි පැවිදි බවට ඇතුළත් වූ සාමණේරය, සාමාන්‍ය උපසම්පන්නය, ව්‍රතසාර උපසම්පන්නය, ආරබ්බ විදර්ශකය, මාර්ග සමන්ගීය, සොතාපන්නය, සකදාගාමීය, අරහත්ය, ප්‍රත්‍යෙක බුදධය යන දක්ෂිණාර්හ පුද්ගලයන්ට දුන්දානය පිළිවෙළින් එකිනෙකට සියක් දහසක් ගුණෙන් වැඩිවෙමින් අනන්ත අප්‍රමාණ ආනිශංස දෙයි. පසේ බුදු වරුන් සියක් දහසකට දුන් දානයට වඩා එක ලොව්තුරා බුදු කෙනෙකුට දුන් දානයම අනන්තාපරිමාණ ආනිශංස දෙයි.
බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දුන් සාංඝික දානය එයටත් වඩා අසීමිත ආනිශංස දෙයි. සතර දිගින් වඩින මහා සංඝයාට ආවාසයක් කර දුන්නේ නම් එහි ආනිශංසය එයටත් වැඩි වෙයි. ඇසිල්ලක් සියලු සතුන් වෙත මෛත්‍රීය වැඩුවේ නම් එයට සත සහශ්‍ර ගුණයෙන් වැඩි ආනිශංස වෙයි. විදර්ශනා වැඩුවේ නම් එයටත් වඩා අප්‍රමෙය්‍ය වූ ආනිශංස දෙයි. යමෙක් ධර්ම දානය දුන්නේ වී නම් හෙ දෙවුයේ වී නම් ඒ ධර්ම දානමය කුශල කර්මය ඉහත කී සියලුම දානයන්ට වඩා මහත් ඵල මහානිශංස වෙයි. ප්‍රමාණකල නොහැකි වූම සැප විපාක ඇති වෙයි.
ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධා ප්‍රඥා දියුණු කර ගත බොහෝ සත්වයෝ මසුරු මල හැරපියා තමන් සතු සියලු ධනය පරිත්‍යාග කරති. සමහරු ධනයද, ඇස්, ඉස්, මස්, ලේ, අත්පා ආදී අංග ප්‍රත්‍යංගද කරති. තෘෂ්ණාව හැරපියා එතෙක් දෑ දීමෙහි පොළඹවන ධර්මය දීම සියලු දීම් වලට වඩා උසස් වේමය.
ධර්ම දානය නිසා මරණය වැලකී රැකුණු ජීවිත මෙතෙකැයි පමණ නැත. සතර අපා දුකින් මිදී සුගතියෙහි ඉපදුණු සත්වයන් මෙතෙකැයි පමණ නැත. එහෙයින් ධර්ම දානය සියලු දානයන්ට ප්‍රමුඛ වෙයි.
ධර්ම දානය නිර්වාණ දානයකි
බණ කියන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් කෙරෙන අකුසල් වලින් තොරව කය සංවරව පවතී. වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව වචනය සංවරව පවතී. එසේ කය වචන දෙක සංවර වීමෙන් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද, ථීන මිද්ධ, ව්‍යාපාද, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ වේ. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තුන් වැදෑරුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර සම්පූර්ණ වීමෙන් මාර්ග ඵල අවබෝධය වේ. එවිට නිර්වාණය ප්‍රත්‍යක්ෂ වේ. එහෙයින් ධර්ම දානය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එවලේම විපාක ලබා දිය හැකි දානයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීමෙනුත් සිය ගණන් දහස් ගණන් එකවර මාර්ග ඵල අවබෝධ කොට නිවන් දුටු බව ත්‍රිපිටකයෙහි නොයෙක් තැන සදහන්ව ඇත.
යම් කිසි විදියකින් මෙලොව එබඳු විපාකයක් ලබා ගැනීමට නොහැකි වූයේද මේ මහා භද්‍රකල්පයට එක් තිස් කල්පයකින් මත්තෙහි ලෝ පහල වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේගෙන් මොහොතක් බණ ඇසූ මිගලුද්දක නම් වැදි පුත්‍රයා සතර අපා දුකින් මුදා කල්ප තිස් එකක් මුළුල්ලෙහි සදිව්‍ය ලෝකයෙහිත් මනුෂ්‍ය ලෝකයෙහිත් අප්‍රමාණ වූ සම්පත්තියට පමුණුවා කෙළවර ලෝකෝත්තර සැපත වූ නිර්වාණයටත් පමුණුවා ලුවාක්මෙන් අප්‍රමාණ වූ සුගති සංඛ්‍යාත ලෞකික සම්පත්තියටත් කෙළවර නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත්තියටත් පමුණුවා ලීමෙහි ධර්ම දානය සමත් වෙයි.
පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය.
නව කපපං සුත ධමමං
අට්ඨ කපපං ච යාචිතො
එක කපපං අනුමොදනතුං
දෙසිතො ච අසංඛයො
