මුලින්ම කියන්නෝන මේකත් මගේ නිර්මාණයක් නම් නෙවෙයි ඕන්... ඒත් ඉතිං හොඳ වටිනා කියන නිර්මාණයක් දැක්කාම ඉතිං නිතැතින්ම මතක් වෙන්නේ අපේ ආදරණීය එලකිරියනේ...
ඔන්න ඉතිං මං තවත් ඒ වගේ කතාවක් අරන් ආවා යාලුවොත් එක්ක බෙදා ගන්න!!!
මේ නිර්මාණයේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ මෙහි නිර්මාණකරුටය...
වැස්සෙන් බේරෙන්නත් එක්ක බෑග් එක ඔලුවට තියාගෙන දුවල ඇවිල්ලා බස් එකට නැග ගත්තා. කවදත් බස් එකේ හොයන්නේ අන්තිම පේලියේ, දොරට එහා පැත්තේ සීට් එකනේ.. යන්තම් හිස්. බෑග් එක උඩින් දාලා. වාඩිවෙලා පොඩි කොටු ලේන්සුව අරන් තෙමුණ මූණ පිහදාන ගමන් ජනේලෙන් පිටත වැස්ස දිහා බැලුවා..
“ දෙනවා නේද මහත්තයා ඇට්ටි හැලෙන්න “ ඉස්සරහා සීට් එකේ මඟියා මා දෙස බලා පවසන්නේ වැස්ස ගැනය. මේ දවස්වල හවසට කොළඹ මොරසූරන වැස්සක් තිබේ.
“ හ්ම් “ වැඩිය භජනයට යාමට මා අකමැත්තක් දැක්වුයේ එලෙසය. මඟියාද එය වටහා ගත්තාක් මෙන් ඉදිරිපස හැරී වීදුරුවෙන් එපිට වැහිකැට වැටෙන සැටි දෙස නෙත් යොමා සිටී.
ලේන්සුව තෙත් වී ගොස්ය. දකුණු අත ඔළුවට ගෙන ඇඟිලිවලින් කොන්ඩය දෙපසට ගැසීමී.. ඉස්සරහා හිඳි මගියාටද වතුර පාර වැදුනු සෙයකි. පෙර මිතුරු වෙන්නට හැරුනු ඇස මෙවර හැරුනේ රවාගෙනය..
“සොරි“ කියා මම ද වීදුරුවෙන් එපිටට නෙත් යොමු කලෙමි.
දැන් සූරියවැව, බස් ගහන්නේ මෙහා පැත්තේ කොනේ මැදට වෙන්නටය. වැස්සට හසුවී හව් හරණක් නැතිව කඩ මණ්ඩිවල අගුපිලට වී…. නෙක මිනිසුන් වර්ෂාව තුරල්වන තුරු අසතුටු සිතින් බලා හිඳිති. මිනිසුන් කවදත් එසේමය.. වැස්ස නොමැතිව මාස ගණනක් යද්දී ඉහිලුම් නොදෙන තරමට කොළඹ උණුසුම් වෙයි.. එවිට පෑවිල්ලට බනින මිනිසුන්, මාස ගනනාවකට පසු මේ ඇදවැටෙන වර්ෂාව දෙස බලන්නේ ද අපුල සිතිනි…
මනෝලෝකයෙන් මිදුනේ අතේ තිබුනු ලේන්සුව ගිලිහීම සංවේදනය වූ නිසාය. ලේන්සුව අහුලා ඒ දෙස බැලුවෙමි. කොටු කොටු පුංචි ලේන්සුව. කඩේ වැඩිම උනොත් රුපියල් 20ක් වෙයි.. ඒත් මට මේ ලේන්සුවේ වටිනාකම ඊට වඩා සෑහෙන්න ඉහළය. මේ නඳුනි මට කොළඹ රස්සාවට එද්දී ලබා දුන් සිහිවටනයයි. “නඳුනි“ මතක් වීම .. ලොකු හුස්මක් ඉහළට සුසුමක් පිටකිරීමේ උත්තේජයක් වීය. සිත තුල නඳුනි ගැන පෙර මතකයන් ගලා එන්නේ එකපෙලටය.. ඉන් බොහෝමයකට මම ආසා කරමි. නමුත් වැඩිමනක් සිතට කා වැදී ඇත්තේ අල්පයක් වූ අමිහිරි මතකයන්ය.
““ නොදැක ඉන්න බෑ.. මට නම් මගේ ආදරේ….“ නඳුනි පිලිබඳ දැහැන බිඳුනේ .. ජංගම දුරකථනයේ ස්පීකරයෙන් නැගෙන ඇමතුම් නාදයේ සංගීතයෙනි.. තිරය දෙස බැලීමි. ඒ … අක්කාය.
“ හෙලෝ, කියන්න අක්කේ.. මම දැන් කොටුවෙන් බස් එකේ නැඟලා ඉන්නේ “
“ ම‘ අල්..ලිට අද ෂෝට් ලීව් දාන්න පුලුවන් උනාද ? , හා හා එහෙනම් පරිස්සමෙන් එන්න “
“ ඇයි හදිසියේ එන්න කිව්වේ.. මොකක් හරි අවුලක්ද ? “
“ හරියට ඇහෙන්නේ නෑ මල්ලි… පරිස්මෙන් එන්නකෝ.. එහෙම දෙයක් නෑ “
“බුදුසරණයි “
“බුදුසරණයි “
ගෙවල් ගාවට සිග්නල් නැත. ඇමතුම ගැනීමට අක්කා ගෙට ඉහල ගල්පොත්තටවත් නඟින්ට ඇත. දුරකතනය සාක්කුවේ දමාගත් මා.. බසය දෙස බැලීමි. කොන්දොස්තරවරයා ඉදිරියේ මුදල් එකතු කරමින් පැමිණේ.. බසයද ආසන ගණනට මගීන්ගෙන් පිරී ඇත. රියදුරු තෙමේ බසය පණගන්වා රේස් කරමින් ඉදිරියටත් පසුපසටත් මඳ වශයෙන් චලනය කරන්නේ.. දැන් යන්නයි හදන්නේ ඉඟිය දීමට විය හැක.
කොන්දොස්තරවරයාට මුදල් ගෙවූ මම හිමින් හිමින් බස් නැවතුම්පලෙන් ඉදිරියට ඇදෙන බසයේ සිට, මා සිටින තැන කව්ළුවෙන් එපිට පෙනෙන මැණිං මාර්කැට්ටුව දෙස ඔහේ බලා සිටිමි.. සිතට හිස් බවක් දැනේ.. මන් ආසම නැත්තේ ඒ හිස් හැඟීමටය. අලුත් හැඟිම් සිතට ආරෝපනය කරන්නට නඳුනි ගැන පෙර මිහිරි මතකයන් එකින් එක දිග හරින්නට ඉටාගතිමි. ඔළුව පැත්තට බරකොට කව්ළුවේ අගට හා ආසනයේ කොනට තබා නිදියන ඉරියව්වකට පැමිණියේ ඒ නිසාවෙනි.
නඳුනි යනු මගේ අම්මාගේ අයියාගේ එනම් මගේ ලොකු මාමාගේ දුවය.. නෑකමට නෑනා වෙයි. නිවෙස් තිබුනේ සමීපයේ බැවින්ද, එකම පාසලට යාමද, අප නෑදෑයන් වීමද, සමවයසේ වූ අප දෙදෙනා කුඩාකල සිට එකට හැදී වැඩෙන්නට හේතුවීය. ඇත්තටම නඳුනි මට වඩා මාස 2කින් වැඩිමල්ය. අපේ මිතුදම කොතෙක්ද යත් කුඩා කල සිටම නිවැසියන් අප හැඳින්වූයේ ඉඳිකට්ටයි නූලයි කියාය. කරන ඕන සෙල්ලමක් එකටය. ගෙදරින් මුල් වරට පාසල් යනකොට ලොකු නැන්දා මා කැඳවා කීවේ.. අක්කවත් බලාගන්න ඕනේ කියාය. නමුත් වූයේ අනෙකය. අක්කා මාව බලා ගත්තාය. නඳුනි කුඩා කල සිටම සබකෝලය අඩු එඩිතර කට හැකර එකියක් වූවාය. මම ඒකේ අනිත් පැත්තය.. සැමවිටම ඇය මා වෙනුවෙන් පෙනී සිටියාය. අප දෙදෙනා ගැන මුල්ම අනාගත අනාවැකිය කීවේ 8ශ්‍රේණියේ දී නන්දනයා විසිනි.
“බලපන් උඹට කවදහරි නඳුනිව කසාද බැඳ ගන්න වෙනවා “
ඒ වනතෙක් නොසිතූ අයුරකින් මා නඳුනිව දකින්න ගන්නේ එතැන් පටන්ය.. පාසල තුල කොලු කෙල්ලක මෙන් හැසිරෙන දඟකාර කෙල්ලගේ නාරි හැඩයන් මගේ නෙතට මානවන්නේ එතැන් පටන්ය. ඇයද නවයොවුන් විය සමඟ මා සමඟ තවත් මිතුරු වීය. ඇය වැඩිවියට පැමිණෙන්නේ අප 9ශ්‍රේණියේදීයි.. සතියක් දෑකැත්තක් සමඟ කාමරයක සිරවී සිටි ඇය බැලීමට ජනේලෙන් පැන හසුවී ගුටි කෑ සැටි මතක් වේ.. අම්මලා උත්සවයටද මාව යැව්වේ නැත. එතැන් පටන් නිවෙස්වලින් අප දෙදෙනාගේ සමීප ඇසුරට පල නොකියා පලා බෙදමින් තහංචි වැටෙන්නට විය. මා සමඟ පාසල වෙත ගිය ඇය.. ඉන් පසුව යෙහෙළියන් පිරිසක් සමඟ මුකුළු කරමින් .. පොත් තුරුළු කොටගෙන පාසැල වෙත ගියාය. මා ආශාකල දඟකාර ..කොලු කෙල්ල වෙනුවට ලජ්ජා බය ඇති කෙල්ලක ඇති වී තිබුනි. එතෙක් කොළුකෙලි ගතිය නිසා හා මා සමඟ තිබූ දැඩි බැඳීම හේතුකොට ඇය දෙස නොබැලූ අයියලාගේ නෙත් ඈ පසු පසින්ම වැටී තිබුනි. එතෙක් කට පුරා මල්ලී යැයි අමතන විට අවුලක් නොවූ මගේ සිතට එය මහා බරක් මෙන් දැනෙන්නට විය. නමින් ඈ අමතන්නටත්, ඇ නමින් මා අමතන්නටත් පටන් ගත්තේ ඒ හේතුවෙනි. මා නොදැනුවත්වම කාලවර්ණ හුරු තලෙළු වූ මගේ හිත … සුදු පැහැයට හුරු තලෙළු ඇයට බැඳී තිබුනි.
මා ඇයට සිතින් ප්‍රේම කරමින් උන්නෙමි. මා හැර එවකට මේ පිලිබඳ තතු දත්තෝ මා මිතුරු නන්දනයා පමණි. දිනක් නන්දනයා විවේකකාලය තුලදී හති දමමින් මා සොයා පැමින .. ඇය වෙනත් ලොකු පංතියක කොල්ලෙකුගෙන් හසුනක් ගන්නවා තමන් දුටු බව කීවේය. පෙර නොදුටුවිරූ ලෙස මසිත පෑරී ගියේය.. ඒ මා සිතින් ආලය කලවිනා පමණක් නොව ඒ වනතෙක් එකපත දෙකට බෙදා කෑ ඇය මට එය නොකී නිසාය. විපරම් කර බැලුවෙමි.. කොල්ලා මට වඩා දහගුණයකින් ලස්සනය. කිසිත් නොකර පරාජය භාර ගතිමි. සාමාන්‍යය පෙළ ආවේය. මම මඳක් ඉහළින් ගොස් මැදි විදුහලේ ජීව විද්‍යාවට තේරුනි. ඇය මඳක් පහළින් ගොස් හිටි පාසලේම කලා විෂයයන් තෝරා ගත්තාය. පෙර තිබූ සබඳකම මේ වනවිට ශේෂවී ගොස්ය.. විරහවෙන් වෙලී සිටි මගේ බොළඳ සිතට නන්දාමාලිනියන්ගේ කඩමණ්ඩියේ දොළ අයිනේ ගීතයේ අරුත සිත්පත්ලටම කිඳා බැස්සේය. ඒ නිසාම “කවදාවත්ම ඇය මට නොලැබෙන හන්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩ හන්දා“ කියා මා ඇය මඟ හැරියෙමි. ඇයද පස්සෙන් නාවාය.
ආයෙමත් නඳුනි.. හා බැඳීම් ඇති වන්නේ ඊට වසර 3කට පමණ පසුය. ඒ මා දෙවන වර උසස්පෙළට පෙනී සිටීමේදීය. එකවරින් සමුගත් ඈ.. මාගේ දෙවන වරට උදව් කලාය.. නමුත් කොපමණ හැකියාව, ඕනෑකම තිබුනත් මාගේ කුහකකම විසින් ඇය ළංකර ගැනීම ප්‍රතික්ෂේප කලේය. ඒ වන විටත් ඇය කොල්ලන් දෙතුන් දෙනෙකු සමඟ හාද වී සිට සම්බන්ධකම් නැතිව සිටි එකියකි. දිනක් ඈම පැනය නැඟුවාය.
“ මං ඔයාගේ පරණ ඩයරි වගයක් කියෙව්වා.. ඉස්කෝලේ යනකාලේ එහෙන් මෙහෙන් ලියපුවා… ඇත්තටම ඔයා මට ආදරේ කලාද? “ ඇය මගේ අතේ එතී තොදොල් වෙමින් ඇසුව හැටි මතකය…
“ හතර වටේ ගිහින් එනවා මෙතන මගේ කොල්ලවත් දැලේ දා ගන්න“ ඒ අම්මාගේ සිතිවිලිය.. වැඩි කලක් නොගොස්ම ගෙවල් දෙකහි ගිනි ඇවිලුනි. පසුව කපුවෙකු ලවා කතා කරනු ලදුව නඳුනි විවාහා වූවාය.. වෘත්තියෙන් ග්‍රාමසේවකයෙකු වූ සුරා සොඬෙකු ඇගේ අත ගත්තේ එලෙසය. කල්යත්ම බේබද්දා .. තව පවුලක් රකින්නෙකු බව හෙළිවිය. මේ සිදුවීම් අවසාන වූයේ මහාසංග්‍රාමයකිනි.“මොනා උනත් අපේ එකා“ හැඟීමෙන් අපේ ගෙදරද නඳුනි වෙනුවෙන් පෙනීසිටියේය. දෙවන වරත් එහෙන් මෙහෙන් විභාගය ගොඩ දැමූ මම රස්සාවකට කොළඹ ආවේ ඔය අතරතුරය. ඒ එන දවසේ කාටත් හොරෙන් ඈ මේ ලේන්සුව මගේ අකෙහි මිට මෙලවූවාය. කොතෙකුත් ගැහැණු කොළඹ ගෙන්දගම් පොළවේ හමුවන්නට ඇත. නමුදු මා සෙවූ නඳුනි එහි මට හමු නොවූයේය.
“ මේ පාර ගිහාම අහනවා… කැමති නම් අම්මලටත් කියලා … බඳිනවා.. අම්මල අකමැති උනොත් එනකොට හොරෙන් එක්කන් එනවා.. “ මම මටම සිහින්ව කෙඳිරීමි.
නඳුනි ගැන මතකය මා බොහෝ දුර බස්රථයෙන් රැගෙනවිත්ය.
දෙවැට ළඟින් බැස ගතිමි. වේලාව රාත්‍රී 7.30 පසුවී ඇති බව ජංගම දුරකථන තිරය පෙන්වයි. විදුලිය නොමැති අපේ කුඩාගම කවදත් මේ වෙලාවට කළුවරය. මෙතැන් පටන් දෙවැට දිගේ පොල් රුප්පාව මැදින් ගොස් .. මහ වෙලට වැටී නියර දිගේ ගමන්කර මහතුන් ආතාගේ පැළ ළඟින් එගොඩ වී රබර් කුට්ටිය හරහා කන්ද නැඟ ගුරුපාරට පිවිසිය හැක.. මේ පාසල් සමයේ අපගේ ගෙදර යන කෙටි මාවතයි.. මුල සිටම ගුරු පාරෙන් යනවා නම් හෙන වටයකි. ගමන්මළු බිම තබා දෙපසට ඔළුව වැනු මම කළුවරේම කෙටි පාර තෝරා ගතිමි. කළුවර මැකීමට යත් දරන අර්ධ චන්දද්‍රා ලෝකයට .. ඇස හුරු වීමට පෙරම දුරකතනයේ ඇති කුඩා පන්දම දැල්වූ මම එය ඉදිරියට එල්ල කරමින් දෙවැටට පිවිසියෙමි. සවස බසයේදී දැනුනු හිස් හැඟීම නැවතත් සිත වෙලා ගත්තේ මහා මූසල කමක්ද ඊට ආරෝපණය කර ගෙනයැයි සිතේ.
ගමන්මළු බිම තබා දෙපසට ඔළුව වැනු මම කළුවරේම කෙටි පාර තෝරා ගතිමි. කළුවර මැකීමට යත් දරන අර්ධ චන්දද්‍රා ලෝකයට .. ඇස හුරු වීමට පෙරම දුරකතනයේ ඇති කුඩා පන්දම දැල්වූ මම එය ඉදිරියට එල්ල කරමින් දෙවැටට පිවිසියෙමි. සවස බසයේදී දැනුනු හිස් හැඟීම නැවතත් සිත වෙලා ගත්තේ මහා මූසල කමක්ද ඊට ආරෝපණය කර ගෙනයැයි සිතේ.
ගමන් මහන්සිය විසින් ඉක්මණට යාමට මා පොළඹවා තිබුනි.. ගෙදර ගොස් කෑලි පහේ පන්දමත් රැගෙන, පහල වෙලේ පිං ළිඳට ගොස් සිහිල් වතුර පොදක් නාගත යුතුය.. ළිඳේ වතුර මේ වෙලාවට කොපමණ සීතලදැයි අත්දැකීමෙන් දන්නා නිසාවෙන් ඇඟ මදක් හිරිවැටී ගියේය.. අද අක්කා ගෙදර නිසාවෙන් නාගෙන එනවිට උණු කිරි තේ කෝප්පයට අමතරව සමපෝෂ ගුලි වරදින්නේ නැත. කෑම මතක් වීමෙන් සිහින් සිනාවක් මුවේ රැඳුනේ බඩගින්නට වඩා කවදත් අම්මගේ කෑමවලට වඩා අක්කාගේ කෑම ප්‍රියකල මගේ බඩජාරීකමට විය හැක. නුදුරු අනාගතය ගැන සිත මනෝ ලෝකයක් මැව්වත්, දෙපා මාත් රැගෙන පුරුදු පාරේ ගමන් කරයි. මේ මාහට පුරුදු ක්‍රමයයි. අවසන් කාලයේ පාසල ඇරී ගෙදර ඒමට සිදුවූයේ තනියම නිසා.. වෙනත් මනෝවිකාර ලෝකයක කිමිදෙමින් ඉවෙන් මෙන් පාරේ ගමන් කර නිවස කරා යාමට පුරුදු වී සිටියෙමි. ඇතැම් විට නිවසට එනතෙක්ම ආ හැටි මතක නැත.. අත්හැරිය යුතු ක්‍රමවේදයක් වුවත් එසේ ඇවිදයාමට ඇබ්බැහී වි සිටිමි. මනෝලෝකය එකවර බිඳ වැටුනේ නැහැයට දැනුනු අමුතු සුවඳකිනි.. පුරුදු බවක් දැනුනත් එකවර සුවඳ කුමක්දැයි කියා හරි හැටි නිර්ණය කරගත නොවුනු මා තව තවත් ඉහළට ආශ්වාස කරමින් පරිසරයෙන් සුවඳ උකහා ගැනීමට යත්න දැරුවෙමි. මේ වතුසුද්ද මල් සුවඳකි.. නමුත් එහි යම් වෙනසක් තිබේ… වෙනස කුමක්දැයි අවබෝධ උන කෙනෙහිම පිට කොන්ද දිගේ සිහින් හිරිවැටීමක් දිව ගියේය.
“ මළ ගෙවල් වල එන සුවඳ “ මම මටම කොඳුරා ගතිමි.
හොල්මන් යන්න කුඩාකල සිටම ප්‍රතික්ෂේප කලත් .. නැහැයට දැනුනු වතුසුද්ද සුවඳ සිත මඳක් කළඹවාලීමට සමත් විය. දෘෂ්ඨිය, ශ්‍රවණය, රස, ගන්ධය හා ස්පර්ශය යන මිනිසාගේ සංවේදන අතුරින් වඩාත්ම බලපෑමක් කල හැකි වන්නේ සුවඳට බව රූපවාහිනී වැඩසටහනක කීවා මතකය.. සිතේ චකිතය නිසාම ගමන මඳක් වේගවත් කලෙමි. මහ වෙල නියරට පිවිසි මම නියර දිගේ ඉක්මන් ගමනින් උඩහට ගමන් කලෙමි. සීයාතු සීයාගේ පැළ ලඟින් එගොඩ වීමට අනියත බියක් සිතට දැනේ.. මැරෙන්නට කලියෙන් ගමේ කට්ටඩියා ලෙස සියාතු කට්ටඩි තෙමේ ගමේ ප්‍රචලිත චරිතයකි. අපිට නම් එදාත් අදත් සීයාතු සීයාය. සියාතු කට්ටඩියගේ මරණින් පසුව කිහිප දෙනෙක්ම සියාතුගේ ගෙට උඩින් ඇති රබර් කුට්ටියේදී සියාතු සීයාගේ හොල්මනට බිය වී තිබුනි. සුනිල් මාමා යකෙක්ටවත් බය නැති මිනිහා වෙලත් කෑ ගහගෙන දුවගෙන විත් සෙමපෙරාගෙන මිදුල මැද දැපූ සැටි මැවී පේනවා වාගේය. ඔහුව බේරා ගත්තේ මාතරින් ගෙන්වූ කට්ටඩියෙකු ලව්වා තොවිලයක් කිරීමෙනි. බලි තොවිල් බලන්නට කවදත් ආස නුමුත් එහි කෙරෙන්නේ තරමක් විධිමත් මනෝවිද්‍යා ප්‍රතිකාරයක් බව ඒ වන විටත් මම දැන උන්නෙමි.. සිතේ නැඟී තිබූ මනෝලෝකය මා නොදැනුවත්වම කනපිට පෙරලී ඇත. සොඳුරු අතීතයක් මෙනෙහි කරමින් පැමිනි මාගේ සිත දැන් දැන් මතක් කරන්නේ, සිතේ කොනක තිබූ බියජනක දේවල්මය.. සියල්ල අමතක කර දමා නඳුනිව මතක් කර ගැනීමට වෙර දැරුවෙමි.. අද මම එනබව ඈ දන්නවා ඇත.. ඇතැම්විට නිවසට පැමිණ බලන් සිටිනවා විය හැක. අක්කා පැමිණි නිසා අපේ ගෙදර ඒම සඳහා ගෙදරින් පැන ගැනීමටද හේතුවක්ද ඇත.
“කරස්“ මා පිටු පසින් ඇසුනේ කෝටු බිඳෙන ශබ්ධයකි. ගමේ ව්‍යවහාරයේ නම් මෙවැනි විටක පසු නොබලා දිවිය යුතුය. ඇරත් මේ .. රබර් කුට්ටිය එවැනි දෑට ගම තුල නම් දැරූ තැන් කිහිපයින් එකකි. බිය සමඟ ඇතිවූ කුතුහලය මා පසුපස හැරී බැලුවෙමි. අන්ධකාරය මිස කිසිත් නොපේනේ.. අතේ රැඳි ජංගම දුරකතනයේ කණාමැදිරි පන්දම එදෙසට එල්ල කර දෙපසට වැනුවෙමි. රබර් ගස් හා කළුවර පමනි.. ආපසු හැරෙන විට පන්දමේ එලිය යම් කෙනෙකු මත ක්ෂණිකව වැටුනි. නැවතත් එදෙසට පන්දම එල්ල කලත් කව්රුත් නැත.. දැන් නම් ඇඟත් හිරිවැටීගෙන එයි.
“ ඔතන කව්රු හරි ඉන්නවද ? “ සැකය තහවුරු කරගැනීමටත්, රැහැයියන්ගේ අවලම් නාදයෙන් තව තවත් කීරිගැහෙන සිතට අස්වැසිල්ලක් වීම සඳහාත් මඳක් උස් හඬින් ඇසුවෙමි. පිලිතුරු නාදය රැහැයියන්ගේ පමනි……….. ආපසු හැරුනු මා දුටු දෙය එකවර මා තිගැස්වීමට සමත් විය. අතරැඳි ජංගම දුරකතනය ගිලිහී පහලට වැටුනි..
“ කව්ද ඔතන “ බෑගය බිම තැබූ මම, මීට පෙර මහළු මිනිසෙකු දර්ශනය වූ පෙදෙසේ අන්ධකාරයට නෙත් යොමු කරමින් උස් හඬින් කෑ ගැසීමි. දැන් නම් සිත බියෙන් වෙලී ඇත.. බිය කෙතරම්ද යත් දහඩිය මුහුණ දිගේ ගලයි.. බිම වැටුනු ජංඟම දුරකතනයේ පන්දමෙන් විහිදෙන කණාමැදිරි ආලෝකය.. පහල අගලෙන් පෙනේ.. බෑගය සිටි තැනම තැබූ මම වෙව්ලන දෙපා වලින් අගලට පැන, දුරකතනය අතට ගතිමි.
“ හ්ක්ර… හ්ක් “ කකාරන ශබ්දයකි.. දුරකතනයේ පන්දම සතු මන්දාලෝකයෙන් අවට අඳුර කැපීමට.. අසාර්ථක වෑයමක යෙදුනෙමි.. එකවරම ඒ රුව දිටිමි.. ඇඟම හිරිවැටී යයි.. කලින් සිදුවීම නිසා දුරකතනය දැජඩිව ග්‍රහණය කර ගතිමි..
“ හම්මෝ… කව්ද ?…… කව්ද ඔතන ? “ බියට කටහඩ එන්නේද නැත. ගත මෙන්ම හඬඳ වෙව්ලයි.. නැවතත් එලිය එල්ල කෙරුවෙමි.. කව්රුත් නැත.. හනික අගලේ උඩට නැඟ.. බෑගය අතට ගතිමි.. වේගයෙන් ඉහළට නඟින්නට පටන් ගත්තෙමි.. කව්රුන් හෝ පසුපස එන්නේ යැයි සිතට දැනේ.. මේ වේලාවේ නම් ගමේ කීම පිලිපැදීමට ඉටා ගතිමි. පසු නොබලා රබර් කුට්ටිය මැදින් උඩට දිව්වෙමි.. වෙනදාට වඩා රබර් වත්ත විශාලයැයි හැඟේ.. පසු පසින් එන ශබ්ධය ළඟ ළඟම ඇසේ ..
එකවරම උරහිසට අතක් බර උනා සේ හැඟුනි… බියටම නොසිතාම පසුපස බැලුවෙමි…
“ අම්මෝ……..“ දෑස අඳුරු වී යනුත් බෑගය හා දුරකතනය අතින් ගිලිහෙනුත් යන්තමින් දැනුනි..
**********
ඔළුව බර ගතියක් දැනේ … ඇස් ඇරියෙමි.. කිසිත් නොපෙනෙන අන්ධකාරයකි.. ඉහළ බැලුවෙමි අර්ධ චන්ද්‍රයා රබර් අතුපතර අතුරින් තම එලිය විහිදුවයි.. “මොකද උනේ “ යන්න හරි හැටි මෙනෙහි වීමට තවත් තත්පර කිහිපයක් ගත වන්නට ඇත.. බියෙන් සිත වෙලී යන්නට විය. අමාරුවෙන් නැඟිට ගතිමි.. අන්ධකාරය තුල වට පිට බැලුවත් කව්රුත් පෙනෙන්නට නැත.. මෙවර අතින් ගිලිහුනු පසු දුරකථනය කෑලි ගැලවෙන්නට ඇත.. එය තිබෙන ඉසව්වක් වත් සොයා ගත නොහැක.. බෑගයවත් මන්දාස්මිත සඳ ආලෝකයෙන් පෙනේදැයි වටපිට බැලුවෙමි..
“ හ්ක්ර… හ්ක් “ නැවතත් අර කකාරන ශබ්ධයයි.. මේ නම් සියාතු සීයාමය.. දැන් නම් ඇඩෙන තරමට සිත අසරණ වෙලාය. “ අම්මේ “ මට කෙඳිරි ගෑවිනි… එහෙම්මම පිට දී සිටි රබර් ගසේ පිට අතුල්ලමින් පාමුල හිඳ ගතිමි. ඇවිදින විට කොලරොඩු පෑගෙන ශබ්ධයක් නුදුරෙන් ඇසේ.. අඩි ශබ්දය මා දෙසට එනවා වැනිය… “හයියෝ“ සිහින් හඬින් කොඳුරමින්, දෑස පියා ගතිමි.
එකිනෙහිම ඇසුනේ .. ගැහැණු කට හඬකි..
“ අත ඇරපන් මා..ව…..“
“අනේ මාව බේරගන්න කව්රුත් නැද්දෝ…“ තව වතාවක් ඇසිය යුතු නැත. ඒ නඳුනිගේ කටහඬයි.. සියාතු සීයාගේ හොල්මනට තිබූ බය.. හිතේ චංචල ස්භාවය කොහේ ගියාදැයි නැත.. ඉක්මණින් නැඟිට ගත් මම.. ශබ්ධය එන දෙසට කළුවරේම දිව්වෙමි.. රබර් කුට්ටියට යාබඳව ඇති ලඳු කැලයේ තරමක් එලිමහනක දෙදෙනෙක් පොර බදනු පෙනේ.. එකවරම චන්ද්‍රයා මුවාකල වළාවන් මුදාහැරි හෙයින් සිද්ධි දාමය පැහැදිලිවම පෙනුනි.. ..
නඳුනි බිම වැතිරී කෑ ගසමින්, දඟලමින් කව්දෝ කෙනෙකු හා පොරබදිමින් සිටී..
“නඳුනී.. “ එදෙසට දුවමින් මා කල කෑ ගැසීම පොර බදන දෙදෙනාට නොඇසුනා සේ දෙදෙනා පොර බදයි… නිමේෂයකින් නැගිටගත් නඳුනි .. පොරබදන්නාගෙන්ම උදුරාගත් යමකින් ඔහුට ඇන්නාය.. නඳුනිව බිම පෙරලගත් පොර බදන්නා ..නඳුනි අතින් පිහිය උදුරාගෙන නඳුනිට ඇන ඇනගෙන ගියේය.. මේ සියල්ල සිදුවන්නට ගතවූයේ තත්පර ගණනකි.. වියරුවෙන් මෙන් එදෙසට දිව ගියෙමි.. එකවරම නඳුනි මාදෙස හැරුනාය.. ඒ ඇස් දිලිසෙයි…. ඇය දෙනෙත් පියා ගත්තාය….
“ කව්ද යකෝ.. මගේ නඳුනිව… “ කියා ගත හැක්කේ එපමණකි.. කට හඬ ගොත ගැසේ.. මා එතනට එනවිට .. එතැන කිසිත් නැත.. වට පිට පිස්සුවෙන් මෙන් සෙව්වමුත් එහි කිසිත් නැත.. චන්ද්‍රයා නැවතත් වළා සළුවෙන් මුවාවූයෙන් අන්ධකාරය නැවතත් පැතිරෙන්නට විය.. සිදුවූ කිසිත් තවමත් අදහාගත නොහී.. අඳුර දෙසම බලාගත්වනම සිටි මම හයියෙන් කෑ ගැසුවෙමි..
“ නඳුනී………………………“
එකවරම යමක් තදින් ඔළුවේ වැදෙනවා සේ දැනුනි..
**********
දෙනෙත් හරින විට එකවර පෙනුනේ සෙමින් සෙමින් කැරකැවෙන විදුලි පංකාවයි.. අම්මා, තාත්තා, අක්කා, ලොකු අම්මා, ඇතුලේ පවුලේ හැමෝම කාමරයේ පසෙකට වී හැඬූ කඳුලෙන් මා දෙස බලා සිටී.. අබරන් ආතා පසෙකින් හිඳ පිරිත් කියයි.. එකවරම සිදු වූ දේ මතක් වූ මම “ලොක්අම්මේ… නඳුනි “ කියාගෙන ඇඳේ කෙලින්වුනි..
“අනේ මගේ දුව “ කියමින් ලොකු අම්මා හයියෙන් හඬා වැටුනාය.. අක්කා ද ඉකිබිඳී..
තාත්තා දෙසට හැරුනු මම කෑ ගැසුවෙමි.. “තාත්තේ නඳුනි අර කැලේ…..“ කීමට ලැබුනේ එපමණකි.. තාත්තා ළඟට විත් මගේ හිස බදා ගත්තේය.. අක්කාද පැමිණ ඇඳේ පසෙකින් හිඳ මගේ අතින් අල්ලා ගත්තාය.. මම මාරැවෙන් මාරුවට දෙදෙනා දෙස බැලුවෙමි.. අක්කා කඳුළු පිසිමින් හඬ අවධි කලාය…
“ මල්ලී, ……. පියදාස අපෙන් නඳුනිව උදුරගත්තා මල්ලී…“ එවදන් ඇසෙද්දී මට ආයෙමත් ඔළුව පුපුරු ගසන සෙයක් දැනුනි.. පියදාස යනු නඳුනිගේ කලින් කසාදයයි..
“ කෝ .. ඔය පරයා “ වියරුවෙන් මෙන් පියදාස සොයා යන්නට ඇඳෙන් නැඟිට ගත්තත් තාත්තා මා අල්ලා ගත්තේය. පුතා කලබල වෙන්න එපා.. පියදාසව අද පොලීසියෙන් අරන් ගියා.. මට කිසිත් සිතා ගත නොහැකිව තාත්තා දෙස බැලුවෙමි.. එය තේරුම් ගත්තාක් මෙන් තාත්තා හඬ අවධි කලේය..
“ පෙරේදා හවස අපේ ගෙදර එන්න තමයි … දූ ගෙදරින් ඇවිත් තියෙන්නේ.. ඒ එනකොට තමයි අර පරයා ඒකිව කැලේට ඇදන් ගිහින් තියෙන්නේ…“
මට කිසිත් සිතාගත නොහැක එසේ නම් මා දැක්කේ කුමක්ද?
“ පුතා නඳුනිගේ නම කයලා කෑ ගහන සද්දේ නන්දනලට ඇහිලා.. එයාලා තමයි ගිහින් රබර්වත්තේ අගලේ වැටිලා උන්නු උයාව ගෙනාවේ.. දැන් පැය භාගයක් විතර ඔයාට සිහිය තිබුනේ නෑ.. අපි දොස්තර කෙනෙකුටත් පණිවිඪේ ඇරියා… පුතා මොකටද බය උනේ“
“ ඕනේ නෑ… තාත්තේ.. මට දැන් හොඳයි…. කෝ ලොකු අම්මලා “මා තාත්තාගේ පැනය වෙනතක හැරවූයෙමි. මා නඳුනිව දැක්කා යැයි කීවොත් නඳුනි ගමේ මිනිසුන් අතර හොල්මනක් වීම වැළැක්විය නොහැක. ඒ නිසා නිහඬව කරබා ගැනීමට ක්ෂනිකව තීරණය කලෙමි.
“ එයාලා මළ ගෙදර පුතේ“ මා ඇසූ පැනයට පිලිතුරු දුන්නේ අම්මායි..
“මල්ලි, තව ටිකක් විවේක ගන්න“ අක්කා ඔළුව අතගාමින් කීවාය.. “ බෑ… මට මළගෙදර යන්න ඕනේ“ කියමින් මම ඇඳෙන් නැගිට්ටෙමි.. කාගෙන්වත් විරෝධයක් නැත. තාත්තා මාව වත්තන් කර ගත්තේය..
“මගේ නඳුනි.. සුදු වතින් සැරසී පෙට්ටියක වැතිර සිටියාය… “ දෙන සහිත පෙට්ටිය ලොක්කම්මාගේ නිවසේ සාලයේ තැම්පත් කර තිබුනි. හිස් බැල්මකින් මා එදෙස බලා සිටියෙමි.. දිනක් ගතවී ඇති හෙයින් මුහුණ ඉදිමී තිබුනි.. එකිනෙක තෙරපෙන හැඟීම් පොදියකින් බරවූ සිතින් යුතුව ගෙයින් එලියට පැමිණි පහත් කරගත් හිසින් යුතුව පුටුවකට බර දුනිමි…
“අඩෝ..ව් “ ඒ නන්දනයා..යි.. කුඩාකල සිට නඳුනි හැරෙන්නට මාව දැන උන් එක කුස නූපන් සහෝදරයායි.. පිටට තට්ටුවක් දමමින් පැමිණි ඔහු, මා ළඟින්ම වූ පුටුවක වාඩි වූයේය.. සොවින් බරවී තිබූ සිත.. හෑල්ලු කර ගැනීමට මම ඔහු තදින් අල්ලා ගනිමින් ඇඬූ කඳුලින් මුහුණ බිමට බර කලෙමි.. ඔහු මා අස්වසන්නට නොයෙකුත් දේ කීවේය.. පසුව ඔහුට එකතු වූ පාසැල් මිතුරෝද එම නිරර්ථක උත්සහයේම යෙදුනෝය.. අවසානයේ ඔවුන් දිනුවා යැයි පෙන්වුවෙමි. නමුත් සත්‍යය එසේ නොවීය.. තවත් දිනකින් නඳුනිගේ දෙන ත්, අප හැර ගියාය.. අවසන් කටයුතු සඳහා මමද ශෝකය සඟවා ගනිමින් යුහුසුළුව උදව් වීමි.. නමුත් මිතුරන් මට යමක් එක දිගට කිරීමට නොදුනි. ඔවුන් පැන එය භාරගෙන මා ඉන් මුදවාලීය.. කුමන වැඩේ පටන් ගත්තත් එසේමය.. නන්දනද මා වෙනුවෙන් මළගෙදර සෑහෙන වැඩකොටසක් ඉටු කලේය..
මළ ගෙදර අවසානයේ නන්දන ඇතුලු පාසැල් මිතුරෝ මඩුවේ එක් පැත්තක පුටු තබාගෙන සාමීචියේ යෙදී සිටින අතරතුර මමද එයට සාභාගී වීමි..
මිතුරන් වෙනස් වී නැත .. තවමත් එකිනෙකා බොරුවට විවේචනය කරමින්.. විහිළු තහළු කරයි…
“අඩෝ නන්දන.. මොකද්ද බන් ඔය තනමත්තේ තියෙන තුවාලේ… මොකෝ උඹට ගෑණි උල් සෙරෙප්පුවකින් වත් ඇන්නද? “ පාලිතයා ඇසූ පැණයට සියල්ලන්ම සිනාවෙන් නන්දන දෙස බැලුවෝය.
“අඩෝ තුවාලේ පෙන්නපන්කෝ මුන්ටත් … මැහුම් කීපයක්ම දාලා බන් “ පාලිතයා නැවතත් කෑ ගසයි.. නිකමට එදෙස බැලූ මට විදුලි සැර වැදුනාක් මෙන් පෙර දුටු දර්ශන පෙළ චිත්‍රපටියක් මෙන් මැවෙන්නට විය… නඳුනි පොරබදද්දී මිනිසාට යමකින් ඇන්නාය.. හොඳින් මතක් කලෙමි.. අනිනවා නම් ඇනිය යුත්තේ තනමත්තටය.. වහා නැඟිට කුස්සියට ගොස් අක්කා වෙත ගිය මම …
“අක්කේ.. පියදාසයගේ පපුවේ හරි උඩ හරි තුවාලයක් තිබ්බද?“ අක්කාගෙන් ඇසුවෙමි..
“ නෑ, පොලීසියෙන් අරන් එනකොට නම් එහෙම එකක් දැක්කේ නෑ“
“නන්දන.. පරයා, “ කෑ ගැසූ මා.. මන්නා පහියත් රැගෙන දැවෙන හදවතින් යුතුව.. කුස්සියෙන් පිට වුනෙමි..
“මල්ලී, එපා “ යැයි කියමින් අක්කා මා පස්සෙන් දුවගෙන අවාය… එලියට පැනගත් මම මන්නය අමෝරාගෙන .. නන්දන ඉදිරියට පැන්නෙමි..
“ තෝ මගේ නඳුනිව මැරුවා නේද පරයෝ “ මා මන්නය ඔසවද්දී නන්දන බියෙන් මා දෙස බැලුවේය.. ඒ දෙනෙත් තුල ජීවිතය ඉල්ලමින් අත දිගු කරන නඳුනිව මට පෙනුනි..
- අවසානයි -
ගත්තේ මෙතනින් - නඳුනි
1,
2