නරා වලේ ජරාව කනවා

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
නරා වලේ ජරාව කනවා

“රාලහාමි...”

විදානේ රාල හාමි බර කල්පනාවක ය. මැණිකේ රාලහාමි ඇමතුවත් එය ඔහුට ඇසුණේ නැත. පළංගාවට බෙදූ බත් මාළු ටික පුරුද්දට අනමින් සිටිනවා මිස බත් පිඩක් රාළහාමිගේ මුවට ගියේ නැත. රාලහාමි බලාගත් අත බලා ගෙන කල්පනා කරමින් සිටී. කෑම මේසයේ ඔහුට ඉදිරිපසින් මුහුණ ලා සිටින මැණිකේ නැවතත් සිය ස්වාමිපුරුෂයා ඇමතුවා ය.

“අපේ රාලහාමි...”

“ආ... ඔහ්...”

කල්පනා ලෝකයෙන් පියවි ලෝකයට පැමිණි රාලහාමි මැණිකේ දෙස ප්‍රශ්නාර්ථයෙන් බැලුවේය.

“කෝ... අපේ රාලහාමි කන්නේ නෑ නොවැ අත ගගා ඉන්නවා මිසක්...”

රාලහාමි බත් පිඩක් මුව තුළට රුවාගෙන සප සපා කල්පනා කළේ මේ කතාව මැණිකේට කියනවා ද නැද්ද කියා ය. කමක් නෑ කියලා දානවා යැයි තීන්දුවකට බැස දෑස් ලොකු කොට මවා ගත් සිනහවකින් මැණිකේ දෙස බැලුවේ ය.

“ඇයි රාලහාමි මුකුත් ප්‍රශ්නයක් ද? මට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.”

“ඒ මොකක්ද මැණිකේ?”
“ඊයේ රෑ රාලහාමි හීනෙන් බයවෙලා කෑ ගැහැව්වේ මොකද කියලා.”

“ඒක තමයි මැණිකේ මමත් මේ කල්පනා කළේ, ඊයෙ රෑ හීනෙන් මම’ ගියා කුඹුක්ගහදෙනියෙ කුඹුරට. විශාල නාගයෙක් මාව කුඹුර වටේ එළව ගෙන ආවා. මම නොසිට ම දිව්වා. අපේ ඉඩම මායිමට වෙනකම් මාව එළවා ගෙන ඇවිත් එතැන දි නාගයා නතර වුණා. මම නතර වෙලා ඒ දිහාව බලාගෙන හිටියා. එතැනින් උක්කු බණ්ඩගෙ අප්පච්චි සිරි බණ්ඩා මාම මතුවෙලා මගේ දිහා රවාගෙන බලා ඉඳලා යන්න ගියා.”යි රාලහාමි නළලෙන් මතු වූ හීන් දාඩිය රැල්ල පිස දමමින් කීවේය.

“උන්දෑ මැරිලත් දැන් අවුරුදු විස්සක් විසි පහක් වෙලා ඇති. ඊයෙ කුඹුර හාද්දි රාලහාමිත් නියර උඩට වෙලා ටිකක් අව්වෙ හිටියනෙ. ඔය වා පිත් කෝපවෙලා පේන හීන ගනන් ගන්න එපා.” මැණිකේ ඔහු අස්වසා ලන්නට කීවාය.

වෙන දා බත් පළංගමක් ගිල දමන රාලහාමි එදා බත් අහුරු දෙක තුනකට වඩා කෑවේ නැත. කෑම මේසයෙන් නැගිට ආලින්දයේ කෙළවර හාන්සි පුටුවට වී දිගෑදුණේ ය. රාලහාමිට වෙනසක් නොපෙන්වුව ද මැණිකේ ද කෑම මේසය අස්කොට වියන් ඇඳට වී ඇන්ඳට හේත්තු කළ කොට්ටයට පිට දී කල්පනා කරන්නට වූවා ය.

කුඹුක්ගහදෙනිය කුඹුර සරුසාර අස්වැන්නක් ලබා දෙන වී පෑලක වපසරියෙන් යුක්තය. මේ කුඹුර අයිතිව තිබුණේ උක්කු බණ්ඩේට ය. උක්කු බණ්ඩෙත් ඔහුගේ ලොකු පුතා පියදාසත් මේ කුඹුර අස්වද්දා එක් කන්නයකට වී මලු පණහක් හැටක් ලේසියෙන්ම කපා පාගා ගත්හ. උක්කු බණ්ඩේගේ පොඩි පුතා සමන්ත රට රස්සාවකට යන්නට මුදල් අවශ්‍ය වී කුඹුර විදානේ රාලහාමිට උකස් තැබීය.

“උක්කු බණ්ඩේ! මට කුඹුරු ගොවිතැන් වලින් ඒ තරම් ප්‍රශ්නයක් නෑ. ඒ වුණත් උඹේ වැඩේ කෙරෙන්නත් එපායැ. කොලුවා රස්සාවට ගිහින් සල්ලි එවපු හැටියේ කුඹුර බේර ගනිල්ලා. එහෙනම් හෙට ඔප්පු ලියන්න යමල්ලා”යි එදා විදානේ රාලහාමි මුදල් දීමට කැමැත්ත පළ කළේ එසේ ය. ඔප්පුව ලියූ නොතාරිස් මැණිකේ ගේ මස්සිනා ය. අවුරුද්දක් ගතවෙන්නට පෙර කුඹුර බේරා ගන්නා බව ද උක්කු බණ්ඩේ කීවේය. කුඹුර බේරා ගන්නා තෙක් උක්කු බණ්ඩේ රාලහාමිට කුඹුරු අස්වැන්නෙන් දෙකේ පංගුවක් දෙන්නට ද පොරොන්දු වූයේය.

විදේශ ගත වූ සමන්ත කුඹුර නිදහස් කර ගැනීම සඳහා වරින් වර එවූ මුදල් උක්කු බණ්ඩේ ගමේ ස.ණ.ස. සමිතියේ බැංකුවේ තැන්පත් කොට එකතු කළේය. කුඹුර උකස් කොට වසරක් සමීප වෙද්දී උක්කු බණ්ඩේ, විදානේ රාලහාමි හමු වී තව දින කීපයකින් ඔප්පුව නිදහස් කළ හැකි බව දැනුම් දුන්නේය. රාලහාමි “හ්ම්...” කීවේ ඕනෑවට එපාවට බව උක්කු බණ්ඩේට තේරුම් ගියේ නැත.

කලින් දැනුම් දුන් දවසේ උක්කු බණ්ඩේ රාලහාමි සොයා ගියේ ඔප්පුව නිදහස් කිරීමට සූදානම් බව පැවසීමට ය. අවුරුද්ද සම්පූර්ණ වන්නේ පසුව දාට ය. එදා රාලහාමි සිටියේ නැත. මැණිකේ ද පෙනෙන්නට නැත. මිදුල අතුගාමින් සිටි සෙල්ලය්යාගෙන් උක්කු බණ්ඩේ විමසුම් කළේය.

“සෙල්ලා... කෝ රාලහාමි”

“ෂාලාමී වන්දනාවේ තමා ගියා. මැණිකේත් එක්ක තමා ගියා.”

“කවදාද එන්නේ?”
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අද පාන්දර තමා ගෙදරින් ගියා., දවෂ් අතර පා යාවි කියලා තමා ෂාලාමි කීවා”යි සෙල්ලා කීවේය. උක්ක බණ්ඩේ කල්පනා කරමින් ආපසු ආවේ ය.

රාලහාමිත් මැණිකේත් ආපසු ගමට ආවේ දවස් හතරකට පසුව ය. ඔවුන් පැමිණෙන තෙක් බලා සිටි උක්කු බණ්ඩේ ඔප්පුව නිදහස් කර ගන්නට ඔහු හමුවෙන්නට ගියේ ය.

උක්කු බණ්ඩේ ඈත එනු දුටු රාලහාමි හාන්සි පුටුවෙන් නැගිට ගෙට රිංගා යන හැටි උක්කු බණ්ඩේ දුරදීම දැක්කේය. මැණිකේ සාලයෙන් මතු වී ආලින්දයට ආවේය.

“ආ... උක්කු බණ්ඩේ! මොකද කාලෙකින් මේ පැත්තේ?”

“කෝ මැණිකේ අපේ රාලහාමි?”

“රාලහාමි ගමනක් ගිහින්, සමහර විට අද එන එකකුත් නැහැ. මොකක්ද වුවමනාව?”

“අර ඔප්පුව නිදහස් කර ගන්න කියලා...”

“ආ... ඒක දැන් සින්න වෙලා ඉවරයිනෙ”

“ඒත් මැණිකෙ උකස් ඔප්පුවක් නෙ අපි ලීවෙ?”

“නෑ... නෑ... පොරොන්දු සින්නක්කරයක් ලිව්වේ. අවුරුද්දකින් බේරා ගන්නා හැටියට ලිව්වේ. කෝ උඹලා නියම දවසට බේරා ගත්තෙ නැහැනෙ. දැන් ඒ කුඹුර අපේ. මීට පස්සේ උඹලා කුඹුක්ගහදෙනිය කුඹුර වැඩ කරන්න එපා. මේ කන්නෙ ඉඳලා අපි වැඩ කරනවා.”

“හපොයි... හපොයි... මැණිකෙ! අපේ අත්ත මුත්තගෙ පරම්පරාවෙන් උරුමෙට ආපු කුඹුර...” උක්කු බණ්ඩේට හීන්දාඩිය දැම්මේ ය. මිදුලේ හිටි තැන ම ඇන තියා ගෙන වාඩි වුණේ ය.

“ඒ ගනුදෙනුව දැන් ඉවරයි උක්කු බණ්ඩේ. මට වැඩ තියෙනවා”යි කියමින් මැණිකේ ගස්සා ගෙන ගෙට ගියා ය.

යන්තම් හිතට දහිරිය ගෙන උක්කු බණ්ඩේ ගෙදර ගියේය. ඔහු එනතුරු මග බලා සිටි හීන්හාමි උක්කු බණ්ඩේගේ ඉරියව් ඒ තරම් හොඳ නැති බව තේරුම් ගත්තා ය.

“මොකද වුණේ?”

“දැන් කුඹුර උන්ගෙලු. උන්ට සින්න වෙලාලු”

“හත් දෙය්යනේ! අපේ කුඹුර?”

“ඔව්! ඕකුං වන්දනාවෙ ගියෙත් ඔය දවස මගහරින්නද කියලා මට හිතුණා.”

“දෙය්යනේ! හෙණ ගහන අපරාධයක් නෙ. ඔය කුඹුර ලස්සෙ ද වටින්නෙ?”

මේ කතාවට සවන් දී සිටි පියදාස ඔප්පු පිටපත රැගෙන ඉඩම් කාර්යාලයට ගියේය. ඉඩම් ලියාපදිංචි කිරීමේ අංශයේ ඔහු දන්නා හඳුනන හිතවතෙක් සිටියේය. ඔහුට විස්තරය කියා සිදු වී ඇත්තේ කුමක් දැයි දැනගන්නට ආ බව පවසා රුපියල් පණහක් ද අත මිට මෙළෙව්වේය.

ඔප්පුව ලියා තිබුණේ ඉංගිරිසියෙනි. එය උගසක් නොව පොරොන්දු සින්නක්කරයක් බවත් මාස දොළහක් ගත වූ තැන මුදල් ගෙවා බේරා නොගත්තොත් සින්න වෙන ලෙස ලියා ඇති බවත්, එය දැන් සෙව්වන්දි මැණිකේ නමැත්තියට (රාළහාමිගේ දුවට) අයිති වී ඇති බවත් ඔහු පැහැදිලි කර දුන්නේ ය.

පියදාස නගරයේ දී ම කොරියාවේ රැකියාව කරන සමන්ත මල්ලීට දුරකතන ඇමතුමක් දී සිද්ධිය විස්තර කළේය.

“අය්යේ! තාත්තාට දුක් වෙන්න එපා කියන්න. මම ඔය කුඹුර කොහොම හරි අරගෙන දෙනවා. දැනට රාලහාමිට කුඹුර වැඩ කර ගන්න ඉඩ අරින්න. ආරාවුල් ඇති කැර ගන්න එපා. තාත්තට බය නැතුව ඉන්න කියන්න. මම ආපු ගමන් ඔය කුඹුර තාත්තාට අරගෙන දෙනවා කියන්නැ”යි සමන්ත කීවේය.

පියදාස ගෙදර එන විට තාත්තාට උණ ගැනී ඇඳට වැටී සිටියේය. අම්මා ඉඟුරු කොත්තමල්ලි තම්බා එයින් බෙහෙත් ගුලි වගයක් දියකර පොවමින් සිටියාය. පියදාස සම්පූර්ණ විස්තරයත් මල්ලී කී දෙයත් කීවේය.

“මොනවා? මගේ පොඩි පුතා එහෙම කීවද? එහෙනම් මට කිසිම බයක් නෑ”යි කියමින් උක්කු බණ්ඩේ නව ජීවයක් ලද්දෙකු සේ ඇඳෙන් නැගිට්ටේය.

දැන් විදානේ රාලහාමි හැමදාමත් රෑට හීනෙන් බය වී කෑ ගසන්නේය. හැමදාමත් හීනෙන් නාගයෙක් කුඹුර වටා පැන්න බව කියයි.

“මැණිකේ! අපේ සල්ලි ටිකයි පොළියයි අරගෙන ඔන්න ඔය කුඹුර ආපහු දීලා දාමු නේදැ”යි සමහර දාට රාලහාමි කියයි.

“අම්මපා ඔහේගෙ ඔලුව හොඳ නැද්ද? ඔච්චර වටිනා කුඹුර?” මැණිකේ ඔහුගේ අදහස ප්‍රතික්ෂේප කරන්නීය. රාලහාමි බිරිඳ ඉදිරියේ අසරණව අකුළා ගනී.

මේ කන්නයේ කුඹුක්ගහදෙනිය කුඹුර විදානේ ගෙදර අය වැඩ කරන්නට පටන් ගත්තේ ය. පුරන් හාන දවසේ විදානෙ රාලහාමි ද කුඹුර බලන්නට ගියේය. නියර දිගේ ඇවිත් ඒ කුඹුරට අඩිය තියන විට ම රාලහාමි වැටුණේ ය. කුඹුරේ වැඩ කරමින් සිටි අය පැමිණ ඔහු ඔසවා මඩ සෝදා ගෙදරට උස්සා ගෙන ආහ. රාලහාමි ලොල... ලොල... ගානවා මිස කතා කරන්නට බැරිය. අතක් පයක් ඔසවන්නට බැරිය. අංශබාග රෝගය හැදිලා යැයි නිගමනය විය. රෝහලට ගෙනා ගියත් අතර මග දී රාගහාමි මරණයට පත් විය.

රාලහාමිගේ අවමංගල කටයුතු නිමා වී හත් දවසේ පිංකම ද අවසන් විය. අගනුවර පදිංචි මාමලා ගේ ගෙදර ඉඳගෙන පංති ගිය සෙව්වන්දි අම්මා ගේ තනියට ගෙදර නතර වූවාය. තාත්තා ගේ තුන් මාසේ බණ පිංකම දාට කලින් දා රාත්‍රි මැණිකේ ප්‍රලය වූවාය.

“දුවේ! සෙව්වන්දි! බලන්න දුවේ මට වෙච්ච දේ. අම්මගෙ තණ්හාධිකකම නිසා උක්කු බණ්ඩලගෙ කුඹුර අසාධාරණයෙන් අයිති කැර ගත්තා. මම දැන් අපා දුක් විඳිනවා”යි මැණිකේ ප්‍රලය වී කියවන්නට වූවාය.

“තාත්තේ! තාත්තා දැන් කොහේද? ඉන්නේ”

“අනේ! දුවේ; මම දැන් ඉන්නේ උක්කු බණ්ඩලගෙ වැසිකිළි වළේ. උන්ගේ ජරාවම කකා ඉන්නවා.”

“ඊය්... යා...”

“මොනවා කරන්නද? උන්ගෙ කුඹුර අසාධාරණයෙන් අයිති කර ගත්ත පාපෙ ගෙවනවා. දැන් මගේ රාලහාමි කං ඉවරයි. උන්ගෙ ජරාව කනවා. ඒකටත් නිදහසක් නෑ. අරූත් මේකෙ ඉපදිලා...”

“ඒ කවුද තාත්තෙ?”

“නොතාරිසා. මැණිකේගෙ මස්සිනා. ඒකා තමයි අම්මගෙ කීමට උකස, සින්නක්කර පොරොන්දුවක් විදිහට ලිව්වේ, ඒකාත් දැන් මේ වැසිකිළි වළේ. මම අරුන්ගෙ ජරාව කනවා. නොතාරිසා මගේ ජරාව කනවා. “ළඟදිම මැණිකෙත් මෙතනට ඒවි. ඊට කලින් උන්ගෙ කුඹුර සල්ලි අරගෙන උන්ට ම දෙන්න කියන්න දුවේ.”

අසාධාරණයෙන් අනුන් ගේ දේ අයිති කරගන්න ගියා ම මෙහෙම සිදුවේ. නීතිය වැරදි අන්දමින් භාවිතා කරන අයට ද එසේ මය. උක්කු බණ්ඩේ කිව්වේ උකසක් ලියන්නය. නොතාරිස් ඉංගී‍්‍රසියෙන් ලිව්වේ පොරොන්දු සින්නක්කරයකි. උකස බේරන්නට නියමිත දවසේ වන්දනාවක් යොදා ගෙන මග හැරියේය. මැණිකේටත් විපාක විඳින්නට සිදුවේවි.

(නිමි)

මතුගම මහින්ද විජේතිලක