නාගදීපය

hpalpola

Well-known member

  • 800px-Nainathivunakaviharai_2.jpg



    පහුගිය දිනවල ෆේස්බුක්, රේඩියෝ වැනි ජනමාධ්‍ය හරහා නාගදීපය, නාගතිව් කිරීමට යාමට වන විරෝධය පෑම ගැන තොරතුරු වාර්තා විය. මේ ගැන යමක් ලිවීමට සිතුනේ එනිසාවෙනි.

    නාගදීපය යනු කුමක් ද යන්න කෑ ගසන බොහෝ සිහලුන් දන්නේ දැ යි සැකයක් මතු වේ. කෙසේවෙතත් නොදන්නා අයවලුන්ගේ දැන ගැනීම සඳහා නාගදීපයේ ආරම්භය මෙසේ දක්වමි.

    ඔබ හැම දන්නා පරිදි මේ ලංකා දීපය අප ගෞතම ‍බුදුරජුන්ගේ පාද ස්පර්ශයට පෙර තවත් බුදුවරුන්ගේ පාද ස්පර්ශයට ලක් වූ දීපයකි. ගෞතම බුදුරජුන් විසින් තෙවරක දී උන්වහන්සේගේ ශ්‍රී පාදය මේ පොළෝ තලය මත පිහිට වූ ‍සේක. මෙයින් එක් වරක දී බුදුරජාණන් වහන්සේ අද අපි නාගදීපය යැයි
    කියනු ලබන ප්‍රදේශයට වැඩම කළේය. ඒ මක්නිසාදයත්,

    අප බුදුන් සමය වන විට ලක්දිව නාගයින්ට වාස වූ වාසස්ථාන තුනක් විය. ඒවා වඩුන්නාගල, කැලණිගඟ අසබඩ නාගභවනයෙහි, මණිනාගදිවයින සමුද්‍ර නාගභවන විය. මෙයින් වඩුන්නාගල තිස් කෝටියක් නාගයින් වාසය කළ අතර ඔවුන්ට චූළෝදර නා රජු විය. කැලණිගඟ අසබඩ නාගභවනෙහි විසි කෝටියක්
    නාගයින් වාසය කළ අතර මණිඅක්ඛිත නා රජු විය. මණිනාගදිවයින සමුද්‍ර නාගභවනෙහි තිස් කෝටියක් නාගයින්ට මහෝදර නා රජු විය. මේ තුන් පක්ෂයේම නාගයින් එකිනෙකා හා සමග අන්‍යෙන්‍ය සම්බන්ධතා‍වයෙන් යුතුව වාසය කරමින් සිටිය දී මහෝදර නා රජු තම දියණිය චූළෝදර නා රජු‍ට පාවා දෙන දවස සත්රුවනින් කළ ඉන්ද්‍රනීලමාණික්‍යමය මැණික් පුටුවක් ද ලබා දෙන ලදි. මේ නාගකන්‍යාව මිය ගිය පසු මේ මැණික් පුටුව සම්බන්ධයෙන් ඥාතී දෙබෑයන් අතරේ කලහයක් ඇරඹී එය දරුණු යුද්ධයක් ඇතිවන තත්ත්වයට පත්වන ලදි.

    මෙසේ නාගයින් දෙපිළ බෙ‍දී යුධයට සැරසී සිටිනා කල, අප බුදුරජාණන්වහන්සේගේ බුදු වීමෙන් පස්වන අවුරුද්ද විය. මෙදවස අප බුදුන් අලුයම් වේලෙහි සමාපත්තියෙන් නැගී සිට එකී යුද්ධයෙන් වන්නා වූ විනාශය දැක උන් ගැන උපන් මහා කරුණාවෙන් යුද්ධය වැළැක්වීම සඳහා ලක්දිවට වැඩම කිරීමට තීරණය කළ සේක. තමන් වහන්සේ සමග ලක්දිව රැගෙන යාමට සුදුසු කෙනකු බලනා බුදුරජුන්ට දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුක්හි වසන්නා වූ සමිද්ධි සුමන නම් දිව්‍ය පුත්‍රයා ඊට සුදුසු බව පෙනුනි. ඒ මක්නිසාදයත්, ඒ දිව්‍යපුත්‍රයා පෙර මණිනාගදිවයින ජීවත් වූවකු බැවිනි. ඉතින් බුදුරජාණන්වහන්සේ සමිද්ධි සුමන දිව්‍යපුත්‍රයා ද සමගින් ඔහුගේ වාසස්ථානය වූ කිරිපලු රුක බුදුන්ට සෙවන දෙන ලෙසින් අල්ලා ගැනීමට සළස්වා ලක්දිවට අහසින් වැඩිසේක.

    යුද්ධයට සැරසී සිටි නාගයින්ට පෙළහැර දක්වමින් මණිනාගදිවයින අහස වැඩ හුන් බුදුරජුන් දුටු නාගයින් ආයුධ බිම හෙළා යුද්ධ කිරිමේ අදහස් අත්හැර බුදු පුදට සැරසිනි. එකල්හි බුදුරජාණන්වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. ඒ සමග නාගයින්ගේ යුද්ධය ද අවසන් විය. අහසින් බිමට බට බුදුරජාණන්වහන්සේට නා රජුන් විසින් පූජා කළ මැණික් පුටුවේ අසුන් ගෙන දන් පිළිගෙන අවසානයේ අනුමෙවැනි බණ දේශනා කර සටනට එක් වූ අසූ කෝටියක් නාගයින් සරණ ශීලයෙහි පිහිටුවා මැණික් පුටුව සහ සමිද්ධි සුමන දිව්‍ය පුත්‍රයා දරාගෙන සිටි කිරිපලු රුක පාරිභෝගික වස්තූන් කොට වැඳුම් පිදුම් කිරීම සඳහා නාගයින්ට පවරා දී දෙව්රම් වෙහෙරට වැඩි සේක. එතැන් පටන් නාගයින් එහි චෛත්‍යයක් කොට එයට පුද පූජා සිදු කළ අතර බුද්ධ පරිනිර්වාණයෙන් පසු මිනිසුන් එහි මහත් දාගැබක් කරන ලද අතර එකී චෛත්‍යය රාජායතන චෛත්‍ය ලෙසින් ප්‍රසිද්ධ විය.

    මින් පසු සමයෙක ලක්දිව විසූ භික්ෂූන් සමූහයක් මේ රාජායතන චෛත්‍යය වැඳ පුදා ගැනීමට නාගදිවයිනට වැඩ, වැඳ ආපසු වඩින ලදි. එසේ වඩිනා උන්වහන්සේලා එගම පිඬු සිඟා වැඩියත් කිසිදු අහරක් නොලැබී පාත්‍ර සෝධා ගමින් පිටත් වූ සේක. එකල එගම වැසූ නාගා නම් දුප්පත් ගැහැණියක් මේ පිඬු සිඟා වඳින භික්ෂූන් වහන්සේලා දැක අසලට ගොස් පිණ්ඩපාතය නොලද බව දැන මදක් රැඳී ඉන්නට පවසා දන් සකස් කිරීමට උත්සුක විය. ඇය ඉතාමත් දුප්පත් තැනැත්තියක් වූ අතර ඒ වන විටත් ඇය කහවුණු 60 ක් එක්තරා පුද්ගලයකුට ණය වී තිබිණි. ඇය ඔහු හමු වී තවත් කහවුණු 60 ක් ණය ඉල්ලුවේය. පෙර ණය ගෙවීමට පොරොන්දු ව තිබුනේ දහවල සේවය සපයමිනි. මෙවර ඇය ණය ලබා ගත්තේ රාත්‍රී කාලයේ දී ද සේවය කර ණය ගෙවන බවට පොරොන්දු වෙමිනි. ඇය එකී කහවුණු 60, ගම ගෙවල්වලට කහවුණුව බැගින් බෙදා දන් සකස් කර භික්ෂූන්ට පූජා කරන ලදි. එසේ දන් පූජා කරද්දී ඇය විසින් තමන් ඒ දන් ලබා ගැනීමට දැක් වූ මහත් වූ වෙහෙස ද ප්‍රකාශ කළහ. මේ අසා සංවේගයට පත් භික්ෂූන් වහන්සේලාගෙන් නායක භික්ෂූන්වහන්සේ අනිකුත් භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙමින් ඒ කාන්තාවගේ දානය සඵල කිරීම සඳහා සරාගීව නොවළඳා වීතරාගී වෙන ලෙසින් උපදෙස් දී සියලු දෙනා වහන්සේලාම විදර්ශනා වඩා සිව් පිළිසිඹියාපන් සහිතව රහත් බවට පත් වී අර කී නාගා විසින් පූජා කළ දානය වැළඳූ සේක. එකල මේ ස්ත්‍රිය දුන් දානය ද, භික්ෂූන්වහන්සේ රහත් වූ ආකාරය ද දැක රජ්ජුරුවන්ගේ සේසතේ වසන දේවතාවිය සාධුකාර දුන් හඬ රජ්ජුරුවන්ට ඇසී රජ්ජුරුවන් ඒ ගැන විමසන ලදි. එවිට ඇය පෙර කී සිදු වීම රජ්ජුරුවන්ට කියනු ලදින් විශේෂයෙන්ම "එම්බා මහරජ, අර්ථබල, කායබල, සේනාබල ඇති යම් කිසිවෙක් අනුන්ට පීඩා කොට දානෝපකරණ සපයාගෙන මහත් කොට දනක් දුන්නේ වීනමුත් ඒ දානය මහාඵල මහානිසංස නොවෙයි. තව ද යමෙක් තමාගේ වස්තු ඇතත් සැදැහැ නැති හෙයින් දෙන දනෙහි ආදර නැති ව සිල්වතුන් නොසිල්වතුන් නොහැඳින ගුණ නුගුණ සලකාගත නොහී නොසිල්වතුන්ට දන් දුන්නේ වීනම් එයිත් මහාඵල මහානිසංස නොවෙයි. ඉදින් ඉතා දිළිඳු වූ දුක්පත් කෙනෙක් වී නමුත් සැදැහැයෙන් ආදර සහිත ව ශුද්ධ වූ අදහසින් කම්පල අදහා ස්වල්පමාත්‍ර වූවත් දනක් දුන්නාහු වී නම් ඒ දානය මහාඵල මහානිසංස වෙයි" උපදෙස් දෙන ලදි.

    රජ්ජුරුවෝ එකී විස්තරය අසා සතුටුව ණය දුන් පුරුෂයා හා සමග ගැහැණිය ගෙන්වාගෙන ණය දුන් පුරුෂයාට භාණ්ඩාගාරයෙන් කහවුණු එක්සිය විස්සක් දී ගැහැණිය නිදහස් කොට සියලු ම මණිනාග දිවයිනද දන් දී බොහෝ සම්පත් ද දුන්හ. එදා පටන් ඒ දිවයින නාගදීපය යි ප්‍රසිද්ධ විය.

    ආරම්භය එසේ දැන ගත යුතු ය.

    මෙසේ හටගත් නාගදීපය එදා පටන් සිංහලුන්ගේ වන්දනාවට පාත්‍ර විය. නමුත් පසු කාලීනව ද්‍රවිඩයන් ඒ ප්‍රදේශයේ පදිංචි වූ අතර ඔවුන් ද්‍රවිඩ බසින් එය නාගතිව් ලෙසින් හැඳින්විය. මෑත භාගයේ දි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ද ඒ ප්‍රදේශය ලක්වුන අතර එකල් පටන් සිහලුන්ට නාගදීපයට වන්දනා කිරීමට නොහැකි විය. 2009 දී යුද්ධය අවසන් වූ පසු නැවතත් සිහලුන් නාගදිපය
    වැඳීම ආරම්භ කළ අතර අදත් එදා බුදුන් සමයේ බැඳ සකස් කළ රාජායතන චෛත්‍යය එහි වැජඹෙමින් සිටිනු දැකිය හැක. නාගදීපය හෝ නාගතිව් නිසාවෙන් එහි වැදගත්කම රැඳී නොපවතී. එහි වටිනාකම ඇත්තේ මේ රාජායතන චෛත්‍යය නිසාවෙනි. අවුරුදු තිස් ගණනක යුද්ධයක් තිබිය දීත් ඒ රාජායතන චෛත්‍ය විනාශයට පත් නොවී අද දක්වාම පවතින්නේ ය. නමුත් අපි එක වචනයක්
    මුල් කර ගනිමින් ජාතීන් අතරේ යුද්ධයක්වන තත්ත්වයට පත් කර ගැනීමට පවා පෙළ ගැසෙන්නේ ඇයිද යන්න මා හට නොවැටහේ. අප සිදු කළ යුත්තේ එය නොවේ. අප මේ චෛත්‍යය ගැන හිතා, හිත පහදවා පින්කම් කර ගෙන ලොවී ලොව්තුරු සැපත් අත්කර ගත යුතුය. අප කරන්නේ ඒ ගැන හිතා ද්වේශය වර්ධනය කර ගැනීමයි.

    මදක් සිතන්න. අප බුදුරජාණන්වහන්සේ ලෝ සත්ත්වයා කෙරේ මහත් අනුකම්පාවෙන් විශේෂයෙන් ම ලාංකිකයා කෙරේ මහා කරුණාවෙන් ලක්දිවට තෙවරක්ම වැඩම කොට අපට බෞද්ධ ධර්මය හඳුන්වා දුන් සේක. මිහිඳු හිමි මෙරටට වඩිද්දීත් අපි බෞද්ධ ධර්මය ගැන දැන සිටි පිරිසක් වෙති. එයට හොඳම නිදසුන වන්නේ මහින්දාගමනයෙන් අවුරුදු ගණනකට පසු ලක්දිව රජ බවට පත් වූ දුටුගැමුණු රජු කළ ද නාගයින් සිටීමත්, ඔවුන් ද මහාසෑයට වන්දනා කිරීමට පැමිණීමත් තුළ ය. එකී නාගයින්ට අපේ මිනිස්සු බණ කිවූ බවක් වාර්තා නොවේ. නමුත් ඔවුන් මහාසෑයට වැන්දේ එහි වටිනාකම ඔවුන් දැන සිටි නිසාවෙනි. ඒ දැන ගැනීම ඔවුන්ට ලැබුනේ බුදුරජාණන්වහන්සේගෙන්මය. අපි මිහිඳු හිමියන්ගෙන් බුදු බණ ඇසුවෝ වෙති. නමුත් නාගයෝ වනාහි බුදුරජුන්ගෙන්ම බුදු බණ ඇසුවෝ වෙති. එහෙත් අද, නාගයින් ද නැත. බුදුරජාණන්වහන්සේ ද නැත. මිහිඳු හිමියන් ද නැත. සියල්ලම අනිත්‍ය බව එයින් පසක් කරයි. අප ඒ සියල්ල පසෙක තබා නාගදීපයට නාගතිව් කියනවා කියා ද්වේශය වඩා ගන්නෙමු.

    ධර්මයේ පිහිට ලබන්න.

    අරුත් දනිමින් ජීවත් වන්න.