නැව පැමිණ තිබේ

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    නැව පැමිණ තිබේ

    නැව පැමිණ තිබේ…
    මෑත ඉතිහාසයේ වාර්තා වූ දැවැන්ත ම ඉන්ධන අර්බුදය නොවැම්බර් මාසයේ මුල් සතියේ සටහන් විය. ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට වූ අතර පෙට්‍රල් භාවිත කරන පුද්ගලික වාහන බොහොමයක් අත්‍යවශ්‍ය අවස්ථාවක හැර භාවිත නොකරන්නට බොහෝ දෙනා වග බලා ගත්හ. ඒ හැර කළ හැකි වූයේ නොරිස්සුමත්, නොඉවසිල්ලත්, අප්‍රසාදයත් සහිත සිත් ඇතිව නැව පැමිණෙන තුරු බලා සිටීම පමණි.

    මෙකී ඉන්ධන හිඟය නිසාවෙන් බොහෝ දෙනෙකු බොහෝ අපහසුතාවයන්ට මුහුණ දුන්හ. දින කිහිපයක් පුරා පැවති එම තත්ත්වය නිසා කායිකව ද මානසිකව ද පීඩාවන් විඳින්නට ඇතැම් අයට සිදු වූ බව රහසක් නො වේ. එහෙත්, නැව පැමිණෙන තුරු වෙනත් විකල්පයක් වූයේ නැත. සසර පුරා අප මුහුණ දුන් අර්බුදය ද මෙවැන්නක් ම නො වේ ද?

    සසරේ අප මුහුණ දෙන දුක් කම්කටොලු තුළ සේ ම සුවපහසුකම් තුළ ද වූයේ රැස් කර ගත් පුණ්‍ය සම්පත්තියේ ධාරිතාවය යි. ඉන්ධන ඇති කල්හි සුවපහසුවත්, නැති කල්හි දුෂ්කරතාවයනුත් එළඹියා සේ ම පින් ඇති කල්හි සුවපහසුවත්, පින් නැති කල්හි දුෂ්කරතාවයනුත් ජීවිත කරා එළඹේ. මේ මිනිස් ලෝකයේ සැප සම්පත්හි බෙදී යාමත්, කායික මානසික සුවතාවයන් අත්පත් වීමත්, පිනත් අතර පවතින්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි. මිනිස් ලොව පමණක් නොව දෙව් බඹ ලෝකයන්හි දිව්‍ය, බ්‍රහ්ම සම්පත්තීන්ගේ උරුම වීමත්, පිනත් අතර පවතින්නේත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි. පුණ්‍ය නිධානය පිළිබඳ වදාළ දෙසුම වූ නිධිකණ්ඩ සූත්‍රයෙන් ද සුමනා සූත්‍රයෙන් ද හෙළිදරව් වන්නේ එය යි.
    පින යනු සසර මග වියදමට ඇති දෙයයි. බොහෝ සෙයින් උපයා ඇති නම් සුවපහසුවෙන් මේ ගමන යා හැකි ය. ඉපැයූ කල්හි සුවපහසුව සැලසෙන නමුදු ඉපැයීමත්, ඉපැයීම් විපුල බවට පත් කරලීමත් පහසු නැත. සියලු ලොව සියලු පුද පූජාවනට සුදුසු වූ, අග්‍ර දක්ඛිණෙය්‍ය වූ සම්බුදුරජාණන් වහන්සේ ද දක්ඛිණෙය්‍ය වූ, පින් කැමැත්තවුන්ට අපමණ පින් ඵල නෙළා ගත හැකි පින් කෙතක් වූ ශ්‍රාවක සංඝයා ද සම්මුඛ වන සම්බුද්ධ ශාසනයක තරම් පින විපුල කර ගත හැකි භාග්‍යයක් අන් කිසිදු තැනක දී දෙව් මිනිස් ලෝකයාට උරුම වන්නේ නැත.

    බුදු, පසේබුදු, ශ්‍රාවක යන තුන්තරා බෝධියෙන් කවර ආකාරයකින් හෝ යථාවබෝධය උපදවාගෙන අමා මහ නිවන සාක්ෂාත් කිරීමට වාසනාව ලැබෙන්නේ ද පුණ්‍යානුභාවයෙනි. ඉදින් කවර අයුරකින් බැලුව ද සම්බුද්ධ රාජ්‍යයක පුරවැසියන් වීම සසර මග සුවපත් කර ගන්නටත්, සසරින් එතෙර වන්නටත් වුවමනා වන පුණ්‍ය සම්පත්තියෙන් වැඩී යන්නට උපකාරක කරුණකි. ගෞතම සම්මා සම්බුදුරජුන් තෙර තරණය පිණිස මෙහෙයවූ ඒ සද්ධර්ම නෞකාව මේ ගෞතම සම්බුදු සසුනේ දී ම සසර මග සදාතන සුවපහසුව, විමුක්තිය ළඟා කරවන ආශ්චර්යයෙන් යුතුව, ජීවමාන ව අප කරා එළඹ තිබේ. සද්ජනයෙනි, එහි වැද අමා දම් ඔසුවෙන් සැනසෙන්නට පමා නොවෙත්වා!

    කල්ප සියයක් පුරා අප වෙත එළඹියේ මෙවන් නෞකාවෝ සතක් පමණකි. මේ පරම දුර්ලභ ලාභය ජීවිත තුළට පමුණුවාගෙන වහා වහා එතෙරට නොගියහොත් එකී ප්‍රමාදය විසින් අප ව ඇද දමන්නේ සතර අපා දුකින් නිදහස් නො වූ, ඒ වෙත ම නැඹුරු වූ සසර ගමනට ය. යළි මේ ලාභය රැගෙන මෛත්‍රී සම්බුදුරජුන් ලොව පහළ වන කල්හි අප ක්ෂණ සම්පත්තිය අහිමි ව සසරේ අසරණ ව සිටියහොත් කෙලෙස නම් පිළිසරණක් සලසා ගන්න ද? අපේක්ෂා තැබිය යුත්තේ ඒ නොඑළඹි අනාගතය ගැන නො වේ; එළඹි භාග්‍යය තුළ මේ ජීවිතය අපගේ සසර මග අවසන් නවාතැන් අතර එකක් කරවීම පිළිබඳ ව ය.

    සුවපහසුවෙන් යුතුව සසරෙන් එතෙර වනු කැමැත්තෝ අප්‍රමාදී ව සම්බුදු සසුනේ මහානීය වූ පින් ඵල නෙළා ගනිත්වා!

    “රැස් කරනා පින එයි පසුපස්සේ
    සැප සලසන්නට හැම තිස්සේ
    මේ රැස් කරනා පින එනවා ම යි
    යන යන ගමනේ පසුපස්සේ…”

    source - mahamegha
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    "යළි මේ ලාභය රැගෙන මෛත්‍රී සම්බුදුරජුන් ලොව පහළ වන කල්හි අප ක්ෂණ සම්පත්තිය අහිමි ව සසරේ අසරණ ව සිටියහොත් කෙලෙස නම් පිළිසරණක් සලසා ගන්න ද?"
     
    • Like
    Reactions: vinuga