නිරෝධායනය

cat123

Well-known member
  • Sep 25, 2007
    2,691
    4,423
    113
    නිරෝධායනය හැකි ඉක්මනින් උපරිමයට යා යුතුය.

    ඇයි? මෙම වයිරසය ගැන ජනතාව තවමත් හරි හැටි අවබෝධ කර ගෙන නැත. පෙර අත්දැකීමක් නැති නිසා පහදා දී පියවර ගැනීමටද කාලයක් නැත. සුනාමියේ දෙවන රැල්ල බලන්නට ආයෙත් මිනුස්සු වෙරළට නොගියාට, අද ඔවුන් ඊට වඩා දහස් වාරයක් බරපතල කොරෝනා වයිරසය සමග සමග වැලි කෙලිමින් සිටිති. මෙම තත්වය, කිරි වලට ගොම බින්දුවක් දැම්මොත් වන දෙය කුමක්දැයි සිතා එතරම්ම සැලකිලිමත්ව වැඩ කල යුතු දෙයක් වුවද, අදටත් අපි සිටින්නේ ගොම ගොඩක තැනින් තැන කිරි කල උත්තර හොයන තැනකය. කෙලින්ම කිව්වොත්, දැනට අර ගෙන ඇති පියවර හොඳ පැත්තේ වුවද ලංකාවේ තත්වය පාලනය කිරීමට ධනාත්මකව කරන බලපෑම අඩුය.

    හරි හැටි ගත්තොත්, මෙම වයිරසය පාලනය කිරීමට සියලු දෙනා සති 2-3ක් අඩි 6ක පරතරයෙන් ජීවත් විය යුතුය. මෙය කෙසේවත් කල නොහැක. නමුත්, ඊට කිට්ටුම තැනකට ඉක්මනින්ම යා යුතුය. දැනට ගෙන ඇති පියවර ධනාත්මක වුවත් ඒවා ලංකාවේ තත්වය අනුව අඩුම ප්රතිඵල දෙන බව පෙනේ. උදාහරනයකක් ලෙස ගතහොත්, ඇඳිරි නීතිය පැයකට ඉවත් කලද, ඒ පැයේ හම දෙනාම නැවතත් වාහන වලට තෙල් ගසන්නට ඉන්ධන පිරවුම්හල් වලටද, තමන්ට තෙල් ගසන්නට තැබෑරුම් වලටද පෝලිම් ගැසේවි. ඉතිරි හරිය ඊට එහාය. මේවා තේරුම් කර දී කරන්නට තව වෙලා නැත. දියුණුයයි කියන රටවලද මෙවැනි අය අනන්ත සිටියි. පසු ගිය දින වල ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වෙරල අරක් ගෙන සිටියේ ද එවැනි අම්බරුවන්ය. වැදගත් වන්නේ එය එසේ යයි කියා අපිද එසේ යාම නොව, අපි අපට ගැල පෙන විසදුම් වහාම සෙවීමය.

    වයිරසය මෙය තේරුම් ගත් නොගත් අය කියා වෙන් කරන්නේ නැත. එනිසා දැන් රටම සති 2-3 කට සම්පුර්ණ නිරෝධායනයකට යා යුතුය. රජය තවමත් එසේ නොකරන්නේ ඇයි?

    එයද ඉතා පැහැදිලිය. එනම් රජයක් ලෙස අත්යවශය සේවා පවත්වා ගැනීම, ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීම, ඖෂධ, එදා වෙල හම්බු කර ජීවත් වෙන බොහෝ දෙනා ගැන සිතීම, මධ්ය හා සුළු පරිමාන වියාපාරිකයන්ට අත්වන් ඉරණම, සහ සමස්තයක් ලෙස රටේ ආර්ථිකය ගැන සිතීම ආදී කරුණු රජය අනිවාර්යෙන්ම සිතිය යුතු වන නිසාය. මේවා ඉතා වැදගත් වන්නේ මෙතෙක් මානව වර්ගයා මුහුණ දුන් ඉතාම නරක තත්වයක් යටතේ වුවද මේවා පළමුකොට සැලකිය යුතු දේවල් වන නිසාය. නමුත් දැන් අපි මුහුණ දෙන්නේ මෙතෙක් පැවති හැම දරුණු තත්ත්වයකටම වඩා වෙනස්, කිසිම කෙනෙක් උත්තර නොදන්නා ඉතා බරපතල තත්ත්වයකටය. එවිට අපේ උත්තර සෙවීමේ උපාය මාර්ග සහ සැලකිය යුතු කරුණුද ඒ අනුව වෙනස් විය යුතුය. එහෙත් තර්කානුකුලද විය යුතුය.

    දැන් ආර්ථිකය පිලිබඳ අවදානම ගනිමු. සති 2-3 එක දිගට රට නිරෝධායනය නොකරන්නේ එයින් ආර්ථිකයට වන හානිය නිසාය. එහෙත් සති 2-3කින් රට ඉතාලිය වුනොත්, මෙම ආර්ථිකය ඊට වඩා අර්බුදයකට මුහුණ දේවි. මධ්ය හා සුළු පරිමාන වියාපාරිකයන්ට අත්වන තාවකාලික ඉරණම ගැන සිතීමද එලෙසමය. සති 2-3කින් රට ඉතාලිය වූවොත්, මේ අය ගැන රජයට තව අවුරුදු ගණනකට බැලිය නොහැකි වේවි.

    දැන් ඊලඟට සිතිය යුත්තේ රට සති 2-3ක් එක දිගට නිරෝධායනය කළහොත් ජන ජීවිතය ගැන තිබෙන ගැටලුය. මෙය රජයකට ඉතා බරපතලය. වැඩි යමක් පහදන්නට කලින්, අපි ලංකාවේ 88/89 කාලයට යමු (දේශපාලනිකව නොවේ!). ඒ කාලය තුල රට සම්පුර්නයෙන් ම ලොක් ඩවුන් වුවා නොවේද? ඒ, අද මෙන් පන ඇති නැති හැම එකකටම කලින්ම සති ගණනකට 'තෙල්ද' ගබඩා කරගෙන සැප සේ ගෙට වී හිඳිමින් නොව, පැති කිහිපයකින්ම එල වූ වෙඩි උණ්ඩ වලටද පපුව දෙන ගමන්ය. එයද සති 2-3 කට නොවේය. එසේ වූ ජනතාව වඳ නොවුණු අතර (දීර්ඝකාලීන වඳ භාවයට හේතු වූ කරුණු නොතිබුනා නොවේ - එය ගැන කතා කිරීමට මොහොත මෙය නොවේ), රටද ආර්ථිකව කඩා වැටී ඉතියෝපියාවක්ද නොවිණි. එසේනම්, අපේ රටෙන්ම, මෑත ඉතිහාසයෙන්ම, රට සති 2-3 නැවතුණහොත් කුමක් වේවිදැයි කියන බයට ප්රායෝගික දත්ත ලබා දී තිබේ. රජය මෙවන් මොහොතක, AC කාමර වල සිට ආර්ථික උපදෙස් දෙන්නන්ට වඩා මේ ගැන දන්නා සෞඛය අංශ සහ පර්යේෂකයන් කියන දෙයට ඇහුන්කම් දිය යුතුය. නැවතත්, එක පැත්තකට ඇහුන්කම් දීම ගැන චකිතයක් ඇත්නම්, මා ඉහත පෙන්වා දුන්නේ අපේම රට විසින්ම අපට ලබා දුන් ප්‍රායෝගික දත්තය.

    එලෙසම, එම පෙර දත්ත මත අන්ධව යැපෙමින් අපි රට ලොක් කල යුතු නැත. ප්රායෝගිකව මහජනතාවට අපහසුව අඩු වන අයුරින් මෙය කල හැකි මහා වාසනාවක් අපේ රටට ඇත. ඒ, අපේ ආරක්ෂක අංශ සහ සෞඛ්ය අංශය. මේ අංශ දෙකම අන් කිසිම රටකට වඩා ඉදිරියෙන් සිටිමින්, තම රාජකාරියෙන් ඔබ්බට මානුෂීය සේවා සපයන්නට දෙවරක් නොසිතා ඉදිරිපත් වන දෙවිවරුන්ය. මෙවන් මොහොතක මෙම අංශ භාවිතා කල හැකි විදි මා පහදා දිය යුතු වන්නේ නැත. ඔවුහු දනටත් තම යුතුකම් දිවා රෑ ඉටුකරමින් සිටියි. එහෙත්, මා ඉතාම නරකම සහ බරපතලම අවස්තාවක උදාහරණයක් පෙන්වා දෙන්නේනම්, රට සති 2-3 සම්පුර්ණයෙන්ම ගැඹුරු නිරෝධායනයකට දමා අපේ ආරක්ෂක අංශ වලට කිව්වොත් ගෙයින් ගෙට ගොත් අත්යවශ්ය දේ බෙදා හරින්න කියා, ඔවුන් එය මැනවින් කරාවි (ඔවුන්ට කල හැක්කේ මෙවැන්නක් මිස දොස්තරවරුන්ටත් මුහුණ දිය නොහැකි වෛරසය සමග මුහුණට සටන් කිරීම නොවේ). අපේ සෞඛ්ය අංශ වලින් ඉල්ලුවොත් ගෙයින් ගෙට ගොස් බෙහෙත් දෙන්න කියා ඔවුන් එය කරාවි. මේවා සාමාන්ය කල ප්රායෝගික නොවන දේ වුනත්, අප අද මුහුණ දෙන්නේ කවදාවත් මුහුණ නොදුන් දෙයකටය. එකල මානවයා ඒ සඳහා අනුකුල වීමට (adapt) වීමට පරිනාමය වී ඇති බව නම් විද්යාඥයෙක් ලෙස මා හට වගකීමකින් කිව හැකිය.

    දැන් නැවතත් මේ වෙලාවේ මෙම වයිරසය ඉක්මනින් පැතීරීම වලක්වා ගැනීම ඉක්මනටම කළ යුත්තේ අයි දැයි මතක් කර ගනිමු. මේ වයිරසයේ මරණ අනුපාතය අඩුය. එය ඇත්තය. නමුත් දරුණු වෙන්නේ ඉක්මනින් පැතිරීම, පතුරුවන්නන් සහ ගන්නන් නොදැනුවත්වම මෙය සිදු වීම යන කාරනා නිසාය. මෙයින් රෝගී වන්නන් රටක සෞඛ්ය අංශ වලට සුළු කාලයක් තුල දරා ගන්නට බැරි වූ විට ප්රශ්නය ඔඩු දුවා යයි. එවිට එය දොස්තරවරුන්ටත් රජයකටත් පාලනය කර ගන්න බැරි තත්ත්වයකට ඇද දමයි. මෙහිදී සෞඛ්ය පහසුකම් නැතිව මරණයට ගොදුරු වන්නේ කොරෝනා රෝගීන් පමණක් නොවේ. සොඛය සේවය අත්යවශය අන් රෝගීන් ද මේ අතර වෙයි. උදාහරණයක් ලෙස පිළිකා රෝගීන් ගන්න. මෑත කාලයේ පිළිකා අවදානම සහ මරණ ගැන කෙතරම් මිනිසුන් සංවේදී වුවාද? අද එය කතා බහෙන් ඈත් වීම මිස එයින් මිය යන සහ අවදානම පෙරටත් වඩා වැඩි වන බව දන්නවාද? ඉතාලිය වැනි රටවල වෙලා තියෙන්න තත්වය පෙනෙනවා නේද?

    ඒ නිසා මහජනතාව දැන් මේ මොහොතෙම ඉඳන් 100%ක් එකිනෙකාට ඈත් වී මෙය හදා නොගෙන සිටිය යුතුය. වෙනදා වාගේම සියල්ල වරද්දාගෙන අන්තිමට බෙහෙත් හොයන්න ගියාට මේ මොහොතේ ඇති වැඩක් නැත. ඒ මන්ද යත් නොයෙක් දෙනා එක එක බෙහෙත් ගැන කතා කළද මේ එන සති මාස කිහිපයට ඔය එකක්වත් ප්රායෝගික බෙහෙත් නොවන නිසාය. ශ්රී ලංකාවට බෙහෙත් පැත්තක් වැදගත් වෙනවානම්, එය දැන් හෝ ඉදිරි සති මාස කිහිපයේදී ඒවා "වෛද්යවරුන් අත", මා නැවතත් එය තදින්ම කියනවා, "වෛද්යවරුන් අත" තිබිය යුතයි. එවැන්නක් නැත! ඉදියේ එවැන්නක් ලැබුණු විට භාවිතා කරමු. එතෙක් කල යුතු දෑ බොහෝය. ඔය කතා කරන එක බෙහෙතක්වත් හරිහැටි මෙම වයිරසයට අදාලව සායනික පර්යේෂණ (clinical trial) වී නොමැත. ඒ සඳහා කල් ගත වේ. මා කියන දේ තේරෙන්නේ නැත්නම්, හිතන්න, චීනයේ මෙය පටන් ගත්තේ නොවම්බෙර් මස. ඔවුන් එදා පටන් මේ සඳහා පර්යේෂණ කරනවා. තවම සායනනේ දිය හැකි බෙහෙතක් නැහැ. තව සති 1-2කින් රෝහල් සියල්ල පිරී යාවි.

    අපි බෙහෙතක් හොයා ගත්තා කියන වාර්තා පසු පස දුවා ඒ ඒ පුද්ගල වර්ධනයට උදව් දෙන මාධ්ය ද මේ වෙලාවේ කරන්නේ වරදක්. ඒ මන්ද යත් එවැනි වාර්තා වලින් ජනතාව කරන්නේ අපට දැන් උතතරයක් ඇති බව හිතා අද කළ යුතු ඉතාම වැදගත් පියවර සැහැල්ලුවට ගැනීමය. මෙය බරපතල අපරාධයකි. බෙහෙත් සෙවීමට කරන පර්යේෂණ වලට අනිවාර්යෙන් සහාය දී ඒවාට රජයේ අවධානය යොමු වීමද ඉතා වැදගත්ය. එහෙත් මාධ්‍ය සංදර්ශන වලින් මහජන්තාවට සිදු වන්නේ අවැඩකි. පර්යේෂකයන් විද්යාගාර වලට වී එය කළ යුතු අතර මාධ්‍ය වලට පැමිණිය යුත්තේ බෙහේත වෛද්යවරයා අත්ට පත් කිරීමෙනුත් පසුය (අපද මෙම වෛරසයට බෙහෙත් සෙවීමේ පර්යේෂණ ඇරඹුවද, මෙතෙක් ඒ ගැන වචනයක්වත් කතා නොකරන්නේ එයින් අප ඉදිරි මාස කිහිපයේ මුහුණ දෙන තත්ත්වයට ඇති කිසිම පිළිසරණක් නැති නිසාය).

    දැන් කෙටියෙන් කිවහොත්, මෙය මෙලෙස ඔඩු දුවා ගියහොත්, තව සති කිහිපයකින් එක වරම රෝගීන් වැඩි වී ඉස්පිරිතාල පිරී ගොස්, අනාරක්ෂිතව සේවය සපයන්නට වී වෛද්යවරුනුත් ලෙඩ වී එම ශක්තියත් ජාතික සේවාවෙන් ඉවත් වී මහා ව්‍යසනයක් සිදු වේවි. ලංකාවටම ඇති ICU ඇඳන් 500 (හැම විටම මේවාද පිරිලාය) හිතන්නටවත් මදිය. හැම දේම අවුල් වූ පසු, එදාට රජයකට කල හැකි දෙයක් නොමැත.

    එනිසා රජය අවදානම රැගෙන මේ මොහොතේම දැඩි පියවර වලට යා යුතුය. රජයට දැන් දැලි පිහියෙන් කිරි කන්නට සිදු වී ඇත. දැන්වත් එක රටක් ලෙස සිතා, මෙම බැරෑරුම් සහ අවදානම් උත්සාහයේදී රජය එසේ කරද්දී කට කැපුනොත්, ඒ ලේ වල රස බලන්නට විපක්ෂය උත්සාහ නොකරන බව ඔවුන්ද සපථ කර මේ වෙලාවේ රජයට සහාය දිය යුතුය. ෆේස්බුක් හි ද පාට වශයෙන් වෙන් වී තමන්ට අදාළ ලෙස සියල්ල හරවා ගන්නන් වහාම මෙය නතර කළ යුතුය. එසේ කල යුත්තේ වෛරසය රතු, නිල්, කොළ සහ කහ නොහඳුනනන නිසාය. එසේම හැම දෙයකම අඩුපාඩු පමණක් විවේචනය කරමින් ඉන්නා ෆේස්බුක් පණ්ඩිතයන් ඒ අඩුව පෙන්වනවාත් සමගම ප්‍රායෝගික සහ තර්කාන්විත පිළිතුරුද සැපයිය යුතුය. .

    එනිසා රජය, විපක්ෂයේත්, පටි තද කර ගෙන (කෙටි කලකට) මේ සඳහා මුහුණ දෙන මහජනතාවගේත් සහාය ඇතිව, සති 2-3ක් එක දිගට සම්පුර්ණ නිරෝධායනයකට යාම මේ මොහෙතේ කල යුත වැදගත්ම පියවරය. මෙම කාලය තුල විෂ බීජයය සමාජගත වීම අවම කර ගත හැකි අතර, දැනට බෝවුවන් වෙන් කරගෙන ගොස් සාත්තු කිරීම කළ හැකිය. මහජනතාව නිතර ගැවසෙන තැන් කාර්යක්ෂමව පිරිසිදු කර ගැනීමද කළ හැකිය. නිරෝධයනයේ සිටින කාලයේ, නොයෙකුත් මාධ්‍ය මගින් ජනතාවට මෙම තත්ත්වයේ දී හැසිරිය යුතු අයුරු සහ ගත යුතු පියවර කියා දිය හැකිය. එවිට ඔවුන් එලියට එන්නේ බොහෝ වෙනස්ව වගකීමකින් සමාජයේ හැසිරෙන්නට දැන ගෙනය.

    නයෙකුට ගසන්නේනම් හැකි උපරිම වෙර යොදා එකවර ගැසිය යුතුය. එසේ නොවන හැම පහරක්ම අපතේ යනවා පමණක් නොව නයාද තව තවත් කෝපාවිෂ්ට වී ශක්තිමත්ව ආපසු දෂ්ට කරමින් මහත් වියසනයක් ඇතිකරන බව මතක තබා ගත යුතුය.

    ගෝමික උඩුගමසූරිය, PhD - facebook