නිරෝධ සමාපත්තිය යනු කුමක් ද 🙏

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ප්‍රශ්නය :-
    නිරෝධ සමාපත්තිය යනු කුමක් ද 🙏

    පිළිතුරු :-

    නිරෝධ සමාපත්තිය
    මේ ගැන අපගේ අභිධර්ම පන්තියේ පත්‍රිකාව යොමු කරන්නම්. ඉතා හොඳ අවබෝධයක් ගත හැකිය.

    විදර්ශනා භාවනා වැඩීමෙන් ලැබෙන විශේෂ ආනිසංසයක් වන්නේ නිරෝධ සමාපත්තියට සමවැදීමට හැකියාව ලැබීමයි.

    විදර්ශනා ඥානය අනුව පැවති අෂ්ට සමාපත්ති වලට පිළිවෙළින් සමවැද, ඒ ඒ සමාපත්තියෙහි ප්‍රතිපක්ෂ ධර්මයන් නිරුද්ධ කිරීමෙන් ද, කායාදී තිවිධ සංස්කාරයන් පිළිවෙලින් නිරුද්ධ කිරීමෙන් ද, අධිෂ්ඨාන කළ කාලය තුළ චිත්ත චෛතසික ධර්මයන් ගේ පැවැත්ම නැතිකිරීම නිරෝධ සමාපත්තිය වේ.

    නිරෝධ සමාපත්තියට සමවැදිය වැදිය හැක්කේ, කාමරාගය ඉතිරියක් නැතිව ම නැති කර දැමූ, අෂ්ටසමාපත්ති ලාභී අනාගාමී පුද්ගලයන්ට හා අෂ්ට සමාපත්තිලාභී අර්හත් පුද්ගලයන්ට පමණි.

    පෘථග්ජනයන්ට ද, සෝවාන් සකදාගාමී පුද්ගලයන්ටද, අෂ්ට සමාපත්ති නොලැබූ අනාගාමී සහ රහතන් වහන්සේලාට ද, නිරෝධ සමාපත්තියට සම වැදීමට නොහැක.

    නිරෝධ සමාපත්තියට සම වදින්නට එම ආර්ය පුද්ගලයින් සමථ විදර්ශනා යන දෙකෙන්ම සන්නද්ධව සිටිය යුතු ය. ‍ත්‍රිවිධ සංස්කාරයන් ධ්‍යාන බලයෙන් සංසිඳවා තිබිය යුතුය.

    ප්‍රථම ධ්‍යානය ලැබීමෙන් සමාධිය බලවත් වේ. දුතියධ්‍යානයට සමවදින අයගේ විතර්ක, විචාර අත්හැරීමෙන් වචී සංස්කාරයෝ සංසිඳෙයි. එනම් කථා කිරීම නතර වෙයි.

    චතුර්ථ ධ්‍යානයට සම වදින අයගේ ආශ්වාස ප්‍රශ්වාස නතර වීමෙන් කාය සංස්කාරයන් සංසිඳෙයි.

    සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින අයගේ සංඥා වේදනා හා සම්පයුක්ත සංස්කාර ධර්මයන් හෙවත් චිත්ත ප්‍රවෘත්තිය සංසිඳෙයි.

    නිරෝධ සමාපත්තියට සමවදින අනාගාමී සහ අර්හත් ආර්‍ය්‍ය උතුමන් සංස්කාර ධර්මයන්ගේ ඉපදීම බිඳීම් දැක කලකිරීම් හේතුකර කරගෙන මේ ජීවත්ව සිටියදීම චිත්ත චෛතසික ධර්මයන්ගේ නිරෝධය කියන නිර්වාණ ධාතුවට පැමිණ සාන්ත සුඛයෙන් සුවසේ වාසය කිරීම බලාපොරොත්තුවෙන් සමවදී.
    සමථ භාවනා වඩන පුද්ගලයෝ සතර වැනි අරූප ධ්‍යාන සමාපත්තියට පමණක් සම වැද නවතී.

    විදර්ශනා භාවනා වඩන ලද පුද්ගලයෝ ඵල සමාපත්තියට පමණක් සම වැද නවතී.

    සමථ විපස්සනා යන දෙයාකාරයෙන්ම භාවනා වඩන ලද අනාගාමී සහ රහත් උත්තමයන් වහන්සේලා නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිරෝධ කිරීමෙන් නිරෝධ සමාපත්තියට සම වදියි.

    නිරෝධ සමාපත්තියට සමවැදීමට කැමති ආර්ය්‍ය පුද්ගලයින් ‍ප්‍රථම ධ්‍යානයට සමවැද එයින් නැගී සිට ධ්‍යානයෙහි වූ සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස මෙනෙහි කරයි.

    ඉන්පසු දුතියධ්‍යානයටද, පිළිවෙළින් තෘතීයධ්‍යානයටද, චතුර්ථධ්‍යානයටද සමවැද ඒ ඒ ධ්‍යානයෙන් නැගී සිට ඒවායෙහි වූ සංස්කාරයන් විදර්ශනාවට නංවයි.

    ඉන්පසු පිළිවෙලින් ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය යන ධ්‍යානවලට සම වැදී ඒවායින්ද නැගී ඒ ඒ ධ්‍යාන යන්හි සංස්කාරයන් විදර්ශනාවට නංවයි. ඉන්පසුව සතර ආකාර පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කරයි. ඒවා නම්:-

    1. නානාබද්ධ අවිකෝපනය
    2. සංඝ පතිමානනය
    3. සත්ථු පක්කෝසනය
    4. අද්ධාන පරිච්ඡේදය
    1. නානාබද්ධ අවිකෝපනය
    අදින, පොරවන, වැඩ සිටින ආසන ආදී ඒකාබද්ධ වූ පිරිකර හැර, සිවුරු, පාත්තර, වසනගෙය ආදිය ගින්නෙන්, ජලයෙන්, වාතයෙන්, සොරසතුරන්ගෙන්, වන සතුන් ආදීන්ගෙන් විනාශ නොවන සේ අධිෂ්ඨාන කිරීම.

    2. සංඝ පතිමානනය
    සංඝ කර්මයක් කිරීමට රැස් වූ සංඝයා වහන්සේ මේ භික්ෂූන් වහන්සේ පැමිණෙන තෙක් සංඝ කර්මය නොකර මේ භික්ෂුවගේ පැමිණීම බලාපොරොත්තු වුවහොත්, එවැනි අවස්ථාවකදී දූතයෙකු එවා කැඳවන්නට පෙර සමවතින් නැගිටින්නෙමියි, අධිෂ්ඨාන කරයි.

    සංඝයාගේ වචනයෙන් උන්වහන්සේ සිටින තැන විමසා, නිරෝධයට සමවැදුන බව දැනගෙන, උන්වහන්සේ කැඳවනු පිණිස දූත භික්ෂුවක් යවා ආමන්ත්‍රණය කර වූවානම්, ඒ දූත වචනයට අනතුරුව සමවතින් නැඟී සිටීම අනිවාර්යයෙන් සිදුවේ.

    3. සත්ථු පක්කෝසනය
    ශාස්තෘන් වහන්සේගේ ආමන්ත්‍රණය. විනය නීතියක් පැනවීමට හෝ ඉතා වැදගත් ධර්ම දේශනාවක් හෝ කරනු කැමති ව භාග්‍යවතුන් වහන්සේ මාගේ පැමිණීම බලාපොරොත්තු වන්නේ නම්, දූත භික්ෂුවක් පැමිණ මා අමතන්නට පෙර, සමවතින් නැගිටින්නෙමියි අධිෂ්ඨාන කරයි.

    4. අද්ධාන පරිච්ඡේදය
    සමවතට සමවැද සිටින කාලය තුළ තමා ගේ ආයුෂ පවතී ද? නැද්ද? යන බව ආවර්ජනය කොට සමවතට සම වැදිය යුතුය. තමා ජීවත්වන කාලපරිච්ඡේදය දැන ගැනීමෙහි දක්ෂයෙකු විය යුතුයි.
    ඒ ආකාරයට නිරෝධ සමාපත්තියේ පූර්ව කෘත්‍යයන් කොට නිම වූ පසුව භවාඞ්ගචලන, භවංගුපච්ඡේදයන් ගෙන් පසු මනෝද්වාරාවජ්ජන සිතද පරිකර්ම, උපචාර, අනුලෝම, වෝදාන යන සිත් ඇති වීමෙන් පසු නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන චිත්තය ද දෙවරක් ඇති වී, චිත්ත සන්තතිය සිඳෙන්නේ ය.

    යෝගාවචරයා බලාපොරොත්තු වූ කාලය මුළුල්ලෙහි සිත් හා චිත්තජ රූප ද නැති ව ඉතිරි රූප පමණක් පැවතී, බලාපොරොත්තු කාලය ඉක්මෙනු සමඟ ම ආවර්ජනයක් නැති ව ම සමවන් පුද්ගලයා අනාගාමියකු නම්, අනාගාමි ඵල චිත්තය ද: අර්හත් පුද්ගලයකු නම්, අර්හත් ඵල චිත්තය ද එක් වරක් උපදින්නේ ය. ඉන් පසු භවාඞ්ග වන්නේ ය. මේ නිරෝධ සමාපත්ති වීථිය ය.

    නිරෝධ සමාපත්ති වීථිය.
    න - ද - ම - ප - උ - අ - වො - ධ්‍යා - ධ්‍යා - අචිත්තක කාලය - ඵ - භ.

    තීක්ෂණ ප්‍රාඥයාට මේ වීථිය පරිකර්ම ජවනය නැති ව ඇති වන්නේ ය.

    නිරෝධ සමාපත්තියට සමවදින පුද්ගලයා නේවසඤ්ඤා-නාසඤ්ඤායතන ධ්‍යානයට සමවදිනා විට, අනික් සමාපත්ති වීථිවල දී මෙන් ධ්‍යාන චිත්තය භවාඞ්ග චිත්තය මෙන් දිගට ම ඇති නො වී, දෙවරක් පමණක් ඇති වී සිඳී යන්නේ, සිත් ඉපදීම වැළැක්වීම සඳහා කළ පරිකර්මයේ බලයෙනි. ප්‍ර‍ථම ධ්‍යානයෙහි පටන් පිළිවෙළින් ධ්‍යානයන්ට සමවැදීම හා ඒවායේ සංස්කාරයන් විදර්ශනා කිරීමත් සිත් ඉපදීම නැවැත්වීමේ පරිකර්මය ය.

    අෂ්ට සමාපත්තිලාභීන් වුව ද පෘථග්ජනයන්ට හා සෝවාන් සකෘදාගාමි පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවැදිය නොහැක්කේ, ඔවුනට සමාධියට බාධක කාමරාගය අප්‍ර‍හීණ බැවිනි. නිරෝධ සමාපත්තියට සම වැදීම ඇත්තේ කාම ලෝක - රූපලෝක දෙක්හි පමණකි. අරූප ලෝකයෙහි එය නැත. රූපාවචර සමාපත්තීන් එහි නැති බව අරූප ලෝකයේ නිරෝධ සමාපත්තිය නැතිවීමේ හේතුව ය. උපුටා ගැනීම -"දැහැමි තාරුණ්‍ය" තරුණ තරුණියන්ගේ ගැටලු විසදන සමූහය. සම්බන්ධ වෙන්න .
     
    • Like
    • Love
    Reactions: lankalk and kinkon

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හොඳ විග්‍රහයක්. කවුද පරිවර්තක ස්වාමින් වහන්සේ ?