පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් සභාපති නීතිඥවරයා,
බරපතළ වැඩ සහිතව වසර 10කට සිරගෙදරට
ව්‍යාජ ඔප්පු 26ක් සකසා ඉඩම් අලෙවි කිරීමේ චෝදනාව මත විභාග කෙරෙන නඩු 26ක් අතරින් එක් නඩුවක තීන්දුව ලබාදෙමින් හලාවත මහාධිකරණය පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් සභාපති නීතිඥවරයාට බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවම් නියම කළේය.
නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ විසින් අද (18) මේ දඬුවම් නියම කරන ලදි. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයකු වූ නීතිඥ ප්‍රනාන්දුට එරෙහිව මේ නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ 2011 ජුනි 07 වැනිදා ය. එහි සඳහන්ව ඇත්තේ අක්කර 03, රූඩ් 02, පර්චස් 24ක ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් මීට අදාළ විමර්ශන සිදු කිරීමෙන් පසු, 2021 වසරේදී නීතිපතිවරයා විසින් නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුට සහ රම්පටිදේවගේ සමන් කුමාරට එරෙහිව හලාවත මහාධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකර තිබිණි. නඩුවේ තීන්දුව ලබාදෙමින් පළමු විත්තිකරු වූ සමන් කුමාර චෝදනා 03කට වරදකරු කරමින් වසර 10ක සිර දඬුවම් නියම කළ මහාධිකරණය, පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය. දෙවැනි විත්තිකරු වූ නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු ද චෝදනා 03කට වරදකරු බවට තීන්දු කළ මහාධිකරණය, ඔහුට වසර 10ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් මෙන්ම රුපියල් ලක්ෂ 8ක වන්දියක් ද නියම කළේය.
මේ නීතිඥවරයාට එරෙහිව ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ නඩු 25ක් තවදුරටත් විභාග වේ. ඔහු පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපතිවරයා ය.
දිනමිණ - Wednesday, February 18, 2026