නොදැක ඉන්න බෑ

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ගෙවෙන හැම තත්පරේකම ජීවිතේ මගෙන් හුඟක් ඈතට ඇදගෙන යනවා වගේ දැනෙන්නේ අපි අපේ ලගම නැති නිසාද කියලත් වෙලාවකට හිතෙනවා.. ඒත් මේ ආදරේ අපි ලග නැතත් ඒ අඩුව මොහොතකටවත් නොදැනෙන්න අපි විඳින හැටි වෙලාවකට පුදුමයක්.. ඒත්, ඔයා මගේ ලග ඉන්නවා රත්තරං මම ඒක දන්නවා.. ඔයාගේ හුස්ම හැම වෙලේම මගේ ලඟම දැවටෙද්දි මම දන්නවා ඔයා මං ලඟමයි කියලා..

    “ ඔයාට ලස්සන දවසක් හිරු කුමාරයෝ..”

    අදත් උදේම නැගිටිද්දි හිනාවකුත් එක්ක මැසේජ් එක්ක දාලා ගිහින්.. ආදරේ කියන්නත් කලින් ඉදන්ම ඔයා මගේ සඳවතිය වුන ඒ මතකය ඇත්තටම හරිම ලස්සනයි.. තාමත් ඒ දේවල් මතක් වෙද්දී ඉබේම හිනාවක් එන්නේ ඒ මතක නිසා කියලා ඔයත් මමත් අපි දෙන්නම දන්නවා.. ඒ ගෙවුන හැම දවසක්ම වටින්නේ අපි දෙන්නට විතරක්මයි.. ඉක්මනට මේ දුරස් බව අඩු වෙනවනම්.. ඒ දවස ලඟම එන හීනයක්.. එතකන් ඔයත් මමත් හුඟක් ආසාවෙන් බලාගෙන ඉදිවී..

    "නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිතා ඉන්න බෑ මටනම් කිසිදා ලදේ
    නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ..”

    ෆෝන් එකේ සිංදුවක් දාගෙන උදේ ලෑස්ති වෙද්දි අහම්බෙන් ඇහුනේ ඒ සිංදුව.. ටික වෙලාවකට හිත කොච්චර ඈතකට ගියාද කියනවනම් හැම දෙයක්ම අතරේ ඔයාව මැවිලා පෙනුනේ අහම්බෙන් වගේ.. ඒත් හිත ඒ මොහොතට ආදරේ කලා.. ඇත්තමයි.. ඒත් ඉක්මනට ලෑස්ති වෙලා දුවලා ආවේ ඔයා මං එනකන් මග බලන් ඉන්න බව මතක් වෙලා..

    “ අද මොකද මගේ හිරු කුමාරයා පායන්න පරක්කු වුනේ?”

    “ දිග කතාවක්.. ඉන්නකෝ කියන්න..”

    කොච්චර දිග කතාවක් වුනත් ඔයාගේ හිනාව දැක්කම සමහර වෙලාවට ඒ හැම දෙයක්ම අමතක වෙනවා.. ඉදලා හිටලා නෙමෙයි හැමදාම වගේ.. ඒත් හිත කොච්චර ගොළු වුනත් කතා කරන්න ඕන හුඟක් දේවල් මේ ඇස් කතා කරනවා.. ඔයයි මමයි රහසින්ම වගේ..

    “ මොකෝ මචං කල්පනාව.. කෙල්ල ගැනද?”

    “ හ්ම්ම්.. ඔව්..”

    " තව ටික දවසයිනේ ඉතින්.. ඉක්මනට ගිහින් කෙල්ල උඹේ කරන් වරෙන්.. එතකොට ඔක්කොම හරිනේ..”

    හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ඉන්න හැම වෙලාවකම ඔය කටහඬ ඇහෙනවා කියලා ඔයා දන්නවද? සමහර වෙලාවට මම තනියම කතා කරනවා.. ඔව් ඇත්තමයි.. තනියම හිනා වෙන වෙලාවල් නැතුවම නෙමෙයි.. ඒත් ඔයා නැති එක මොහොතක පාළුවට වැඩිය වෙලාවකට තනියම කතා කරන එක සුන්දරයි කියලත් හිතෙනව..

    “ ඉක්මනට එන්නකො මගේ ලගට..”

    හුඟක් වෙලාවට කතා කරද්දි මට ලං වෙලා ඔයා මගෙන් එහෙම ඉල්ලද්දි මම හුඟක් වෙලාවට ගොළු වෙනවා.. ඔයා ඕන කියන හැම දෙයක්ම එවෙලෙම දුන්නත් ඔයා ලගට ඉක්මනට දුවන් එන්න බැරි බව දැනෙද්දි මේ හිත තනි වෙනවා.. ඇත්තමයි.. හුඟාක් තනි වෙනවා.. මේ දුරස් බව නොතිබුනානම්...

    "පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
    සිහිවෙනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා විදිමී සදා.."

    කාලය හරි ඉක්මනට ඈතට ඇදිලා යනවා.. මේ ගෙවුන කාලය හුගක් දුරයි කියලා වෙලාවකට ඔයාටවත් මටවත් හිතිලා තියෙනවද? හුඟාක් දේවල් හරියට අද ඊයේ වගේ.. ඒ තරමටම මතකය හුඟක් ලගයි.. අපි අතරේ වුන හැම දෙයක්ම තාමත් අපිට හොදට මතකයි.. සමහරවිට ඒ හන්දම වෙන්න ඇති මෙච්චර දවසක් ගෙවිලා ගියා කියලවත් අපේ හිතේ නැත්තේ..
    “ අද දවස මතකද?”
    “ අද ඇයි?”
    “ හ්ම්ම්.. අද අපේ ඇනිවර්සරිය කියලා අමතකද?”
    ඇස් දෙකත් ලොකු කරගෙන ඔයා ඉක්මනටම ඔයාගේ ලගම තියෙන කැලැන්ඩරේ බලලා හෙමීට හිනාවෙනවා.. ගෙවුන දවස් වල සතුටට වඩා ඔයා හිනා වෙන්නේ අපි එකතු වෙන්න දවස් එන්න එන්න ලං වෙන නිසා කියලා ඔයාගේ ඇස් දෙක දිහා බලද්දි තේරුම් ගන්න එක අමාරු දෙයක් නෙමෙයි.. ඒ හන්දමයි හුඟක් වෙලාවට මම සද්ද නැතුවම ඔයාගේ ඒ හිනාව දිහා බලන් ඉන්නේ..
    “ මොකෝ කතා නැතුව බලන් ඉන්නේ..”
    “ ලස්සන..”
    “ හ්ම්ම්.. ඒකට ලගට එන්නකො හරියට බලන්න..”

    “ කොහොමත් මේ කතා කරන විදිහට ලඟට ආවම කතා කරන්න ඒ තරම්ම දෙයක් තියෙන එකක් නෑ.. ඒ හන්දා බලාගෙනම ඉන්නම් මම ඔය ලස්සන දිහා..”

    බොරු ආඬබර කමත් එක්ක ඔයා හිනා වෙද්දී ඇත්තටම ලස්සනයි.. ඒත් ඒක ගොඩක් වෙලාවට නොකියා ඉන්න තරමටම මාත් ආඬම්බරයි.. ඒක අපි දෙන්නගෙම හිත් දන්නවා.. ඒත් හැමදාම ඒ දේවල් දිගේ ගෙවෙන දවස් වල රැදෙන මතකයට අපි දෙන්නම ආදරෙයි.. හුඟක් ආදරෙයි..

    "මිහිදුම් වළා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජා කලා අඳුරේ තියා
    සඟවා දමා මේ වේදනා යලි එන තුරා
    දිවියේ පුරා ඉදිමි සදා.."

    ඉක්මනට ගෙවෙන මේ දවස් වලට හුඟක් ආදරෙයි මම.. ඒ අපි තව ලං වෙන හන්දා.. එකම එක පැතුමක් විතරක් ඉතුරු කරලා ඔයා හැමදාම මේ ජිවිතේට තුරුළු වෙද්දී ඒකේ ලස්සන ඔයාටවත් තේරෙනවද කියලා ඇත්තටම කියන්න දන්නේ නැහැ.. ඒත් ඒක හුඟාක් සුන්දරයි.. හැම මොහොතකම හැම දේකදිම ඒක මම හිත පුරාම විඳිනවා..

    කතාව අතරේ කැලැන්ඩරේ දිහා ඉබේම වගේ බැළුවා.. ගොඩක් ලඟම නැතත් ටික දුර කාලයක්.. මම දන්නවා ඔයත් මමත් ලග ඉද්දී මේ හැම තත්පරයක්ම හරිම වේගෙන් ඉගිල්ලිලා යනවා කියලා. ඒත් ඔයා ලග නැති වෙලාවට.. හැම දෙයක් අතරෙම මම තනිවෙලා විතරක්ම කියලා දැනෙනවා.. ඒ දෙයින් මිදෙන්න හුඟාක් අමාරුයි වෙලාවකට.. ඒත් ඒ දවස එනකන් බලන් ඉන්නවා ඇරෙන්න හිතේ වෙන කිසිම පැතුමක් ඉතුරු වෙලා නෑ.. මම බලන් ඉන්නවා හුඟක් ආසාවෙන් ඒ දවස ඉක්මනටම ඒවි කියලා..



    හොදයි නම් කොමෙන්ටුවක් දාලා යන්න
     
    Last edited: