"නොනැවතී එන නන්නාඳුනන යුවතිය කව්ද?" - 'ප්‍ර&#353

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    "නොනැවතී එන නන්නාඳුනන යුවතිය කව්ද?" - 'ප්‍ර&#353

    පසුගිය කොටස් 01 සහ 02

    නිපුල් කාර් එකේ දොර ඇරගෙන බැස්සා නෙවෙයි පැන්නා. කාර් එකෙන් අඩි කීපයක් එහාට යන්න යද්දිත් නිපුල්ගේ ඇඟ ගැහෙනවා වගේම පිට දිගේ දාඩිය ගලනවා කියලත් හොඳටම දැනුනා. පාරේ අයිනට වෙන්න නතරවෙලා ඔළුවේ අත තියාගෙන නිපුල් තමන් මේ දකින ඇස් අදහාගන්න බැරි දේවල් ගැන හිතන්න ගත්තා. එක පැත්තකින් තමන් ඉන්නේ කොහොද කියලාවත් නිපුල් දන්නේ නෑ, කොහොමද මෙතනට ආවේ, කව්ද වාහනේ පිටිපස්සේ සීට් එකේ මරලා දාලා ඉන්න ගෑණු කෙනා කියලා හාංකවිසියක් නිපුල් දන්නේ නෑ.

    කෑගහලා පිටකරන්න තරම් මහා බරක් හිතේ නලියනවා, කොයි වෙලාවේ පොලීසිය ඒවි ද? හිරේ යන්න වෙයිද? මේ සේරම භයානක සිතිවිලි ටික තත්පරෙන් තත්පරේ නිපුල්ගේ හිතට එන්න පටන්ගත්තා. ඒ අතරේ ප්‍රියාද් නිපුල් ඉන්න තැනට ආවා.

    ‘මොනවද බං මේ වෙන්නේ..කව්ද අර ගෑණි?”

    ‘මං දන්නෑ යකෝ..’

    නිපුල් කෑගැහුවා. ඒත් නිපුල්ට මතක්වුණා දැන් දෙන්නම මුහුණදීලා ඉන්න තත්වේ එක්ක කෑගහලා වටේ පිටේ මිනිස්සු මෙතනට ආවොත් සැකයක් නැතිව දෙන්නටම පොලීසි යන්න වෙනවා කියන එක.

    ‘ප්‍රියා..උඹට මතකද අපි මෙතනට එනවා...මොකක්හරි දෙයක් මතකද උඹට..’

    ‘නෑ බං.. මෙලෝ ලබ්බක් මතක නෑ මට..’

    නිපුල් ආයෙත් කල්පනා කලා. කාර් එක පැත්තට අඩිය තියලා මැරිලා ඉන්න ගෑණි කව්ද කියලා පෙනුමෙන් අඳුනගන්නවද කියලා නිපුල් හිතුවා. වටින් ගොඩින් ඉර එළිය මතුවෙන වෙලාවේ මෙතන මෙහෙම කල්මරන එක එක පැත්තකින් භයානකයි.

    ‘ප්‍රියා..මට ඇත්ත කියපං..මේ ගෑණිව දන්නවා නේද උඹ..මට ඇත්ත කියපං මාව පිස්සු වට්ටන්නේ නැතිව’

    ‘උඹට මෝල්ද යකෝ..උඹට මෙච්චර කල් එකට ඉන්න මාවවත් විශ්වාස නැද්ද?

    ප්‍රියාද්ගේ පිටට නිපුල්ගේ අත තියලා ආයෙත් කල්පනා කරන්න ගත්තා. නිපුල්ටම තේරෙනවා තමන්ගේ අත වෙවුලනවා කියලා.

    ‘යමං ගිහිං බලමු ටිකක්..’

    දෙන්නා හිමින් අඩිය තියලා කාර් එක ලඟට ගියා. අලුත්ම මෝටර් රථයේ සීරීමකවත් වෙනසක් දෙන්නට පේන්න තිබුණේ නෑ. නිපුල් හෙමීට කාර් එකේ පස්සේ දොර ඇරියා. ප්‍රියාද්ගේ මූණ දිහා තත්පර කිපයක් බලාගෙන ඉඳලා හිත තදකරගෙන වාහනේ ඇතුලේ පිටුපස ආසනේ උඩ තියන මළසිරුර දිහා බැලුවා.

    මූණේ එක තුවාලයක්වත් නෑ. බෙල්ලේ ඇණිලා තියන පිහිය නොවෙන්න කිසිම තුවාලයක් ඇඟේ එකම තැනකවත් නෑ. අවුරුදු තිහකට ආසන්න කාන්තාවක්. බොහොම සැපපහසු ජීවිතයක් ගතකරන කෙනෙක් වගේ පෙනුම. ඇඟට හිර ඩෙනිම් කලිසමක්, දුහුල් බ්ලව්ස් එකක්, ලෙසින් තෙමුණු ඇඳුම මැදින් පෙනුනේ බෙල්ලේ දිලිසෙන මාලයක්.

    මේ සේරම දිහා බලද්දි නිපුල්ගේ උගුර කට වියලෙමින් තිබුණා. මියගිහින් ඒත් විවෘතව තිබුණ ඇස්, පිරිපුන් කම්මුල් සහ නහය අතරේ පුංචි උපන් ලපයක්, රතුපාට තොල් දිහා නිපුල්ගේ අවධානය යොමු වෙද්දි හැම නිමේෂයකම උත්සහකලේ මොකක්හරි හේතුවකින් මේ කව්ද කියන එක අඳුන ගන්න. පුංචි උපන්ලපය දකිද්දි මොකක්දෝ හුරුකමක් නිපුල්ට දැනෙන්න පටන්ගත්තා. බොහොම වෙලාවක් උපන් ලපය දිහා බලාගෙන හිටිද්දි මොහොතකින් නිපුල් දැක්කේ ඒ තොල්..ඔව් ඒ තොල් වෙවුලනවා..පස්සේ ඒ තොල් විවෘත වෙනවා..මොනවද කියන්න හදනවා..නිපුල්ට පිස්සු හැදෙන්න වගේ..හයියෙන් කෑගැහුවා...

    වේගයෙන් ඉහළ පහළ යන හුස්ම. ප්‍රාශ්වාසයට වඩා වේගයෙන් සිද්ධවෙන ආශ්වාසය, ආශ්වාසයට වඩා වේගවත් ප්‍රාශ්වාසය. තද කළුවර, කිසිම දෙයක් නොපෙනෙන. අඩුම තරමේ කිසිම දෙයක් ගැන හැඟීමක්වත් නැති අවස්ථාවක්. ටික්..ටික්..ටික් හඬක් විතරක් නුදුරින් ඇහෙනවා.

    මහා බරක් ඔළුව පැත්තෙන්. හරියට පොළු පාරක් වැදිලා වගේ,. මං ඉන්නේ හිර කුටියකද? නැත්නම් පාළු සුසාන භූමියකද..කිසිම දෙයක් ගැන හැඟීමක් නෑ..නිපුල්..ඔව් මං නිපුල්.එච්චරයි මතක. හෙමින් අවට අතපත ගාලා බැලුවා. දැන් විශ්වාසයි තමන් ඉන්නේ ඇඳක් උඩ කියලා. තව ටිකක් අතගාගෙන යද්දි ෆෝන් එක අතට අහුවුණා.. ෆෝන් එක හොයාගන්න බැරිව තිබුණේ මෙච්චර වෙලා. නිපුල්ට මතක් වුණා.

    ෆෝන් එකේ තිරයේ වෙලාව තුනට කාලයි. එතකොට දැක්කේ හීනයක්ද? නැත්නම් මේකත් ඒ සිදුවීමේ කොටසක්ද. නිපුල් අපහසුවෙන් නැගිටලා විදුලි පහන පත්තුකරගත්තා. දැන් විශ්වාසයි මේ තමන්ගේ කාමරේ කියලා. අපිලිවෙල තමයි ඒකට හොඳම සාක්ෂිය. එතකොට මේ දැක්කේ හීනයක්ද?

    ඇත්තම කතාවනම් මේ හීනේ නිපුල් දකින තුන්වෙනි වතාව. මේ විදිහටම පොඩි පොඩි වෙනස්කම් එක්ක නිපුල් මේ හීනේ දවස් ගාණක් දැකලා තියනවා. හැබැයි එකම වෙලාවට, ඒක තමයි පුදුමාකාරම සංසිද්ධිය. ඒ වගේම මේ වගේ තවත් හීන ගණනාවක්. ඒ හැම හීනෙකම තිබුණ පොදු සාධකේ තමයි නහයට යටින් පුංචි උපන් ලපයක් තියන විශ්මයාර්ථ ඇස්තියන කාන්තාව. එක එක විදිහේ හැම හීනෙකම ඒ කාන්තාව එක එක චරිතවල. වෙලාවකට මායාකාරියක්, වෙලාවකට දේවදූතියක්, වෙලාවකට පොලිස් නිලධාරිනියක්. ඒත් මේ හීනවල අගමුල නිපුල්ට නිනව්වක් නෑ.

    ‘උඹ ඔය එක එක කෙහල්මල් බොනවා වැඩියි මචෝ...ඒවායේ ප්‍රතිඵල තමයි ඔය’

    ප්‍රභාෂ්වර එහෙම කියද්දි නිපුල් කුණුහර්පයක් කියලා ඒ කතාව අනික්පැත්ත හැරෙව්වා මිසක් ඒක පිළිගත්තේ නෑ. ඒත් කොච්චර නොපිළිගත්තත් නිපුල්ටත් වෙලාවකට හිතෙනවා ඒ කතාව ඇත්තද කියලා. විශේෂයෙන්ම මේ හීන පේන විදිහ එක්ක.

    නිපුල් කාමරේ ශීතකරණයේ දොර විවෘත කලා. ඉහළින්ම තිබුණේ බියර් කෑන් එක. ඒක අතට අරගෙන දොර වැහුවා. ඒත් ආයෙත් තත්පරයකින් දොර ඇරලා බීර කෑන් එක ඇතුලින් තියලා සීතල වතුර බෝතලේ අතට ගත්තා. බෝතලෙන් බාගයක් විතර සීතල වතුර උගුරු සීතල කරගෙන, මුලු ඇඟම ගිනියම් කරගෙන පහළට වැටුණා. නිපුල් ආයෙත් ඇඳට වැටුණා.

    ********

    ‘පළාත් සභා මැතිවරණය එළඹෙන අගෝස්තුමසදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියි. අද දහවල් පැවති මාධ්‍ය හමුවක් අතරතුර ඒ මහතා ඒ බව ප්‍රකාශ කර ඇත. ඒ නිසා මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් සිටින ලෙස තමන් සිය නිලධාරී මණ්ඩලයට වාර්තාකර ඇති බව වැඩිදුරටත් එතුමන් සඳහන් කලා.. ‘

    මධ්‍යහන ප්‍රවෘත්ති රූපවාහිනියේ ප්‍රචාරය වෙද්දි උපාලි ජයවීර හිටපු මහාමාත්‍යතුමා ගාල්ලේ තිබුණු උත්සවයක් ඉවරවෙලා වැලිගම ගෙදරට ගොඩවුණා විතරයි. මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රකාශය එක්ක ජයවීර ඇමතිතුමාගේ මූණ සෑහෙන්න එළිය වුණා. මේක බොහොම කාලයක් තිස්සේ බලාගෙන හිටපු ප්‍රවෘත්තියක්.

    දශක ගාණකට කලින් මොන්ටෙගු ජයවික්‍රම මහත්තයා වැලිගම පෙරලිකාර වෙනසක් කරපු දවසේ ඉඳන් එන දේශපාලන පරපුරේ වැලිගමින් මහඇමති කෙනෙක් බිහිකරන්න පුළුවන් වුණේ උපාලි ජයවීර ඇමතිතුමාට විතරයි. පස්සේ මහඇමතිකම කියන එක නිකං ජයවීර ඇමතිතුමාට උරුම වෙච්ච දෙයක් වගේ දශක ගාණක් පුරාවට තිබුණා.

    ‘ගාල්ලට - හම්බන්තොටට කුඩම්මාගේ සැලකිලිද?’ ජනාධිපතිතුමාගේ ගාල්ලේ වෙලත් මහඇමතිකම ගාල්ලට ගන්න බැරිවෙන්න එක හේතුවක් වුණේ උපාලි ජයවීරට ආණ්ඩුව ඇතුලේ තිබුණු හයිය. මැති ඇමතිවරු පවා දෙකට නැවෙන උපාලි ජයවීරගේ බලය, ධනය ඉස්සරහා ජනාධිපතිතුමාටවත් මහඇමතිකම නොදී ඉන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අනිත් එක හැම මැතිවරණයකම ගාල්ලේ, හම්බන්තොට ඡන්ද පදනම දෙකේ කොලේට දාලා මාතර පෙරමුණු ආණ්ඩුවට වැඩිම ප්‍රතිශතයකින් දිනවලා දෙන්නත්, පළාත් සභා මනාප ලයිස්තුවේ දෙවැනියට වඩා මනාප ලක්ෂයකින් විතර ජයගන්නත් පුළුවන් උපාලි ජයවීරට විතරයි කියලා මතයක් හැදිලා තිබුණා. මේ මතය නිසාම මහ මැතිවරණයකදි පවා අපේක්ෂකයෝ උපාලි ජයවීරගේ සහය ගන්න පොරකෑවා. ජයවීර කොතනද ජය එතනටයි කියන එක මාතර ජනකතා ගොන්නේ විශ්වාසයන් අතරේ තවත් විශ්වාසයක් වගේ ශක්තිමත් වුණා.

    ‘මට තරඟය තියෙන්නේ මාත් එක්කම විතරයි.. ‘

    මාස කීපයකට කලින් මාතර උයන්වත්තෙ තිබුණ පක්ෂ රැස්වීමකදි ජයවීර මැතිතුමා තමන්ගේ බලය ගැන පුරසාරම් දෙඩුවේ ඒ විදිහටයි. ජනාධිපතිතුමාට ලඟම නෑයෝ වෙන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන නියෝජිතයෝ පවා ජයවීරගේ මේ පුරසාරම් දිහා බලාගෙන හිටියේ කරන්න දෙයක් නැති වේදනාවෙන්.

    ‘මේ පාරනම් මුගේ මේ කෙරුවාවල් බලාගෙන ඉඳලා වැඩක් නැ..අඩුම තරමේ මුගෙන් පිට රස්සාවක් වත් දෙන්න ආණ්ඩුව ගේන්න නැහුණ අපිට ඉඩක් නෑ..අම්මපා ජනාධිපතිතුමා කොන්ද පණ තියන එකෙක් මෙහෙන් දාන්නේ නෑනේ..බැහැලා වැඩ කරනවා එහෙනම්’

    පෙරමුණේ ශාඛා සමිති රැස්වීම්වල ඉඳන් ලොකු තැන්වල තියන රහසිගත රැස්වීම්වල පවා මේ ගැන දැඩි විදිහට කතාවුණා. වීරමන් මහත්තයා ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ මස්සිනා තමන්ගේ පුතා මැතිවරණයට ඉදිරිපත් කරන්න දතකනවා කියන කාරණයක් වටින් ගොඩින් පැතිරෙන්නේ මේ කාලේ.

    “ජයවීරට අභියෝගකරන්න ගාල්ලෙන් මිනිහෙක් දාලා වැඩක් නෑ, මාතරින්ම දාලා ජයවීරට වඩා එක ඡන්දයක් හරි ගන්න වෙනවා. නැත්නම් මේ පාරත් මහ ඇමති මිනිහම තමයි...ලොක්කට කරන්න දෙයක් නෑ එතකොට’

    ජනාධිපතිතුමා ගාල්ලේ වුණත් මාතර වැලිගම් කෝරලේ, වැලිපිටිය පළාතේ ධනවත් සත්ගුණවත් ව්‍යාපාරික වීරමන් මහත්මයා එක්ක විවාහපත් වෙලා ඉන්න තමන්ගේ නංගිගේ එකම කොළුවා මාතර දිස්ත්‍රික්කෙන් පළාත් සභාවට ඉදිරිපත් කරන්න යනවා කියන කතාව ජයවීර මැතිතුමාගේ කණට ආවම බඩ අල්ලගෙන හිනාවුණා.

    ‘ඔන්න ඉතින් ජනාධිපතිතුමා මේ පරා ජයවීරගේ හැටි දැනගන්න තමයි ඉතින් හදන්නේ...කිරිසප්පයෙක් දාලා මගේ මයිලක් හොලවයි.. මම කැමති නෑ අප්පා ළදරු ඝාතන කරන්න..’

    ජයවීර මැතිතුමා තඩි බඩ හොළවා හොළව කියද්දි හිනාව අතරින් ඇස්දෙකේ කැකෑරුනේ වෛරයක්, ඒ තමන්ට අභියෝග කරන්න වුවමනාවක් රටේ ප්‍රධාන පුරවැසියට තියනවා කියන එක මතක් වෙලා. ඇරත් ඒ පුරවැසියා ඒ පුටුවේ ඉන්ඳවන්න තමන් වෙච්ච මහන්සිය මතක් වෙලා ජයවීර බිබී හිටපු බ්‍රැන්ඩි වීදුරුවේ අන්තිම උගුර කටට හලාගෙන තුහ් කියලා මිදුලට කෙළ පාරක් ගැහුවා..

    ‘ජයවීර-වීරමන් ගැටුමක් ද? ‘ - මීළඟ කොටස මාර්තු 04 සඳුදා බලාපොරොත්තුවන්න
     
    • Like
    Reactions: DangerMan119