නොවිසඳුණු අබිරහසක් වන ’’කුරුලන්ගල’’

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නොවිසඳුණු අබිරහසක් වන ’’කුරුලන්ගල’’

    ඌව පළාත, අබිරහස් උමං, ගුහා සම්බන්ධ පුරාවෘත්තයන්ගෙන් පිරුණු අඩවියක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. එහි තේරුම නම් ඌව පළාත ලාංකීය රාජ වංශය තුළ වැදගත් ස්ථානයක් ගෙන තිබුණු බවයි. ඌව පළාතේ රමණීයම ඉසව්ව වන ඇල්ල – බදුල්ල අවට ඇති ප්‍රදේශ වල අදටත් සොයා ගැනීමට නොහැකි වූ උමං හා ගුහා මෙන්ම කඳු වැටි බොහොමයකි. කුරුලන්ගල ද එබන්දක්.
    119.jpg

    Image Credit: lankadeepa.lk (කුරුලන්ගල)

    කුරුලන්ගල

    කුරුලන්ගල යන්න තවමත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවා වැඩිදුර අධ්‍යයනය නොකළ ඌව පළාතේ ඇති කඳු වැටියක්. මීට වසර දෙක හමාරකට පමණ පෙර ළඟා වූ ‘කුරුලන්ගල’ තවමත් නොවිසඳුණු අබිරහස් ගොන්නකි. මේ ප්‍රදේශයේ අබිරහස් හෙළිවීම ආරම්භ වී ඇත්තේ 1975- 1985 කාල වකවානුවේ බවයි පැවසෙන්නේ.
    නම හැදුණු හැටි

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුරුලන්ගල යන්න කුරුල්ලන්ගෙන් ගහණය වූවක් බව පැහැදිලි ය. කන්දට “කුරුලන්ගල” ලෙසින් නම පට බැඳීමට ප්‍රධාන වශයෙන් හේතු දෙකකි.
    ඉන් පළමු වැන්න නම් වෙනත් ප්‍රදේශවල දැකගත නොහැකි එයටම ආවේණික වූ සාමාන්‍යයෙන් ලාංකිකයන්ට දැකගැනීම පවා අපහසු කුරුල්ලන් මේ ප්‍රදේශයේ දැකගත හැකි වීමයි. උන් ඉතා දුර්ලභ ඉන්දියානු කුඩා උකුසු වර්ගයක් බවටයි මත පළ වන්නේ. ඒ කුරුල්ලන් දැක ඇති ගම්වාසින් පවසන ආකාරයට උන් ඉතාමත් තියුණු ශබ්දයක් පිට කරන කුරුලු විශේෂයක්. එමෙන්ම අව්වට පවා දිලිසෙන පිහාටු ඇති ඔවුන් ඉතා කුඩා කුරුලු විශේෂයක් බවයි ‍සඳහන් වන්නේ.
    දෙවැන්න නම් කුරුලන්ගල ලෙසින් නම් පට බැඳෙන කන්ද මුදුනට මිටර් 100 ක් පමණ පහළ ඇති ගල් තලාවේ සිතුවම් කර තිබෙන තවමත් නිසි පර්යේෂණයකට ලක් නොවුණු චිත්‍ර වේ. මේ චිත්‍රවල බොහෝ දුරට ඇත්තේ කුරුල්ලන්ගේ රූප බවයි සඳහන් වන්නේ.
    225-680x510.jpg

    Image Credit: lankadeepa.lk

    කුරුලන්ගල අබිරහස්

    ඇරෙන වැහෙන දොරක් සහිත ගුහාව

    මේ ප්‍රදේශයේ අපූරු ගල් ලෙනක්, එසේත් නොමැති නම් ගුහාවක් තිබෙන බවට මත පල වේ. මේ ගල් ලෙනේ විශේෂත්වය වන්නේ එය විවෘත කිරීම සඳහා ඇරෙන වැහෙන ලෙස සකස් කළ ලෙන් දොරක් පැවතීම යි. එය දැක ඇති පිරිස් ද මේ ප්‍රදේශයේ සිට ඇති නමුත් ඔවුන්ගේ අභාවයෙන් පසු ඒ අබිරහස එලෙසින්ම මිය ගොස් ඇත. ඔවුන් එකල පවසා ඇති ආකාරයට එම ගුහාවට ඇතුළු වීම සහ පිට වීම සඳහා ඒ ලෙන් දොර තිබී ඇති අතර එසේ විවෘත කිරීම සහ නොකිරීම ඔවුන්ට කළ හැකි වූ බවයි.
    සිතුවම්

    320.jpg

    Image Credit: sri-lankan-travelogue.blogspot.com (කුරුලන්ගල සිතුවම්)

    කුරුලන්ගල කඳු වැටියේ තවත් එක අබිරහසක් වන්නේ එහි ගල් තලාවක් මත සිතුවම් කර ඇති සිතුවම් ය. අතීතයේ මේ ගල් තලාව පුරාම චිත්‍ර ඇඳ තිබී ඇති නමුත් වර්තමානයේ අපට සිතුවම් දැකගත හැකි වන්නේ වර්ග අඩි 20 ක් 30 ක් තරම් ප්‍රමාණයක පමණක් ය. වසර 5000 කට පමණ පෙර මෙම චිත්‍ර ඇඳ ඇති බව හැරුණු කොට ප්‍රයෝගික සාක්ෂි හා පර්යේෂණ මඟින් මේ චිත්‍ර පිළිබඳ වෙනත් ගවේෂණයක් මේ වන විට සිදුකොට නොමැත. පැහැදිලිව හඳුනාගත හැකි කුරුල්ලන්, මොණරුන්, අත්ලක සටහන්, කුරුලු පිහාටු, ඉරි රටාවන් සේම ඩයිනෝසරයන් සහ හඳුනාගත නොහැකි හිසක සටහන් ද මේ සිතුවම් අතර ‍දැකගත හැකි වේ. මේ චිත්‍ර ඇඳ ඇත්තේ රතු වර්ණයෙනි. ඒ වර්ණක සොයාගත්තේ කෙසේද සහ අධික කාලයක් වැස්සේ සහ අව්වේ බලපෑමට ලක් වුවත් මෙසේ තිබෙන්නේ කෙසේ ද යන්න ද ගැටලුවකි.
    සිතුවමට නඟා ඇති මේ ගල් තලාව නැරඹීම සඳහා වන ගමන් මාර්ගය නම් පහසු නොවේ. මීට වසර 17 කට පමණ පෙර මෙත්තානන්ද නම් ගම් වැසියෙක් විසින් සොයාගෙන ඇති මේ සිතුවම් පිහිටි ස්ථානය වර්තමානය වන විට සංචාරකයන් බහුලව නැරඹීමට කැමති ස්ථානයක් බවයි වාර්තාගත වී ඇත්තේ. නමුත් මෙත්තානන්ද නම් මෙය සොයාගත් පුද්ගලයා හෝ වෙනත් ඒ පිළිබඳ දන්නා ගම් වැසියෙකු හැර ඒ ස්ථානයට ‍ළඟා වීම තනියම නම් කළ නොහැක්කක්.
    කුරුලන්ගලට ළඟා වීම

    ඇල්ල- වැල්ලවාය පාරේ රාවණා ඇල්ල නමින් ප්‍රචලිත මාර්ගය අයිනේම ඇති දිය ඇල්ල පසු කර කරඳගොල්ල නම් ගමට ප්‍රවිෂ්ට වී ඉදිරියට යන විට උමා ඔය ව්‍යාපෘතියට යන මාර්ගය හමු වන අතර ඒ මඟේ ගොස් උමා ඔය ව්‍යාපෘතියටත් කරඳගොල්ල රක්ඛිතකන්ද පුරාණ විහාරයටත් පිවිසිය හැකියි. රක්ඛිතකන්ද විහාරයට හැරෙන ස්ථානයට විරුද්ධ පසින් මේ කුරුලන්ගල කඳු වැටිය සහ රක්ෂිතය තිබෙනු ඔබට දැකගත හැකි වේ.
    කුරුලන්ගල කඳු වැටියේ සිතුවම් ඇති ගල් තලාව වෙත ළඟා වීම අති දුෂ්කර ගමනක්. මේ කන්ද තරණය කිරීමේදී කඹයක් ආධාරයෙන් නැඟිය යුතු ස්ථාන 3 කි. මේ ස්ථානයට ළඟා වීම අතිශය දුෂ්කර වන අතර සිතුවම් පිහිටි ගල් තලාවේ වැඩි වේලාවක් රැඳී සිටීමත් කළ නොහැක්කක්. ගල් තලාව මත එකවර රැඳී සිටිය හැක්කේ කුඩා පිරිසකට පමණක් වීමයි එයට හේතුව.
    419.jpg

    Image Credit: sri-lankan-travelogue.blogspot.com (දුෂ්කර ගමන් මඟ)

    ශුෂ්ක කලාපිය ශාක පද්ධතියකට උරුමකම් කියන මේ ප්‍රදේශය හරහා ගමන් කිරීම අතිශය දුෂ්කරයි. විෂ සහිත සර්පයෝ ද මේ රක්ෂිතයේ බහුලයි. එමෙන්ම අඟල් 3ක් පමණ වන විශාල උල් සහ කටු සහිත පඳුරු වලින් ගහණය වූ ප්‍රදේශයකි මෙය. සමස්ත කඳු වැටිය තරණය කිරීම සිදු කළ යුතු වන්නේ කැලයක් මැදින් වන නිසා ගමන තවත් දුෂ්කරයි.
    තවමත් නොවිසඳුණු ගැටලු

    කුරුලන්ගල කඳු වැටියේ සහ සිතුවම් වල ඇති විශේෂත්වය නම් මෙවැනි කුරුල්ලන්ගේ සිතුවම් දිවයිනේ කොතනකවත් දැකගත නොහැකි වීමයි. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු ගැටලු ගණනාවකි.


    • ඇරෙන වැහෙන ලෙස සැකසූ ගල් ලෙන් දොර කාගේ නිර්මාණයක් ද?

    • වසර 5000 කට වඩා පැරණි සිතුවම් කාගේද?

    • කුඩා උකුස්සන් මේ ගුහාවට සහ රක්ෂිතයටම ආවේණික වන්නේ ඇයි?
     
    • Like
    Reactions: Ne@ and Rummy678

    Similar threads