පංචකර්ම_ප්‍රතිකාර

Jun 30, 2014
160
99
0
පංචකර්ම_ප්‍රතිකාර

පංචකර්ම ප්‍රතිකාර සඳහාම ඇති ශ්‍රී ලංකාවේ එකම රෝහල

බිලියන හයක්‌ පමණ වන ලෝක ජනගහනයෙන් බිලියන තුනක්‌ පමණ වන ජනතාවක්‌ කුමන හෝ බෝ නොවන රෝගවලින් පෙළෙන බව අනාවරණය වී ඇත. එම බෝ නොවන රෝග අතර හිස ආශ්‍රිත රෝග, ඇදුම, දියවැඩියාව, ආතරයිටීස්‌, හෘද රෝග ප්‍රධාන තැනක්‌ ගනී.

pa3.jpg


මෙම රෝග නිවාරණය සඳහා දීර්ඝ කාලයක්‌ ඖෂධ භාවිතා කළ යුතුය. ඒ නිසා එම ප්‍රතිකාර මගින් අතුරු ආබාධ ඇති විය හැකි බවටද හෙළි වී තිබේ. මෙම තත්ත්වය මත ඖෂධ නොවන ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කර තිබේ. මෙලෙස ඖෂධ නොවන ප්‍රතිකාර අතර ඇති හොඳම ප්‍රතිකාර ක්‍රමය පංචකර්ම ප්‍රතිකාරය බව හඳුනාගෙන ඇත.

පංචකර්ම ප්‍රතිකාරය යනු අවස්‌ථා පහකින් ක්‍රියාකාරීත්වය සිදු කරන ප්‍රතිකාර ක්‍රමයකි. එනම් නස්‍ය (නස්‌න), වමනය, විරේඛනය, වස්‌ති සහ රක්‌ත මෝක්‍ෂණය යන අවස්‌ථා පහ මගින් සිරුරේ පවතින රෝගාබාධයට ප්‍රතිකාර සිදු කරයි.

මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා රෝගියා පූර්ව සූදානමකට ලක්‌ කළ යුතුය. එසේ නොකර රෝගියාට ප්‍රතිකාර සිදුකිරීම හානිදායකය. සම්බාහනය සහ දහගැන්වීම යනු පංචකර්ම ප්‍රතිකාරය සඳහා රෝගියා පූර්ව සූදානමකට ලක්‌කිරීමය.

pa1.jpg



නමුත් වර්තමානයේ අප රටේ බොහෝ පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්‌ථාන ලෙස හඳුන්වන තැන්හි සිදු කරනුයේ සම්බාහනය හෝ දහ ගැන්වීම පමණි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතා සුවිශේෂී වෛද්‍ය ප්‍රතිකාරයක්‌ වන පංචකර්ම ප්‍රතිකාරය නිවැරැදි ලෙස කරන ස්‌ථාන ශ්‍රී ලංකාවේ ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ අතරට පසුගියදා තවත් එවැනි පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්‌ථානයක්‌ එක්‌විය

pa4.jpg


බස්‌නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් මෙම මධ්‍යස්‌ථානය පිහිටා ඇත්තේ කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පාරේය.

අති නවීන පහසුකම් සහ සාම්ප්‍රදායික ප්‍රතිකාර පහසුකම්වලින් සමන්විත මෙම පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්‌ථානයේ තොරතුරු බිඳක්‌ අපි විමසා බලමු.

pa6.jpg


කිරිබත්ගොඩ ආයුර්වේද පංචකර්ම රෝහලේ ප්‍රධාන කාර්යභාර වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කරන්නේ ආයුර්වේද වෛද්‍ය තිsලානි වරුසවිතාරණ මහත්මියයි.

පංචකර්ම ප්‍රතිකාර සඳහා පුහුණුවලත් වෛද්‍යවරු තිදෙනෙක්‌ සම්බාහනකරුවන් හයදෙනෙක්‌ සිටිති.

pa5.jpg


මෙම සම්බාහනකරුවන් දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ පුහුණුව සහ කේරළයේ පුහුණුව ලබා ඇත. එසේම වසර පහක ප්‍රායෝගික කුසලතා සහතිකය.

රෝහලේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ අපට වෛද්‍ය තිලානි වරුසවිතාන මහත්මිය මෙසේ පැවසුවාය.

පංචකර්ම වෛද්‍ය මධ්‍යස්‌ථානය තුළින් බාහිර සහ නේවාසික ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් සකසා තිබෙනවා. නේවාසික ප්‍රතිකාර සඳහා දැනට රෝගීන් දෙදෙනකුට පමණක්‌ පහසුකම් තිබෙනවා. එය ඉදිරියේදී තවත් වැඩි කළ හැකියි.

අප සතුව පංචකර්ම ප්‍රතිකාර සඳහා අති නවීන පහසුකම් තිබෙනවා. එනම් රූපලාවන්‍ය සම්බාහන අංශයක්‌, සම්බාහන ඇඳක්‌, ශීරෝධාර ප්‍රතිකාර, සවුනා බාත්, හුමාල කුටි, හුමාල ඔරු, ශාකසාර ඔරු සහ ජැකියුසි යන ප්‍රතිකාර පහසුකම් තිබෙනවා.

පංචකර්ම ප්‍රතිකාර සඳහා ම වෙන්වූ ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්‌ථානය මෙයයි.

බස්‌නාහිර පළාතේ මහඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් බස්‌නාහිර පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය ඇමැතිවරයාව සිටියදී කරනු ලැබූ යෝජනාවකට අනුවයි මෙම මධ්‍යස්‌ථානය ඉදිවූයේ.

සතියේ දින පහ තුළ උදේ. 8.00 සිට සවස 4.00 දක්‌වාත් සෙනසුරාදා උදේ 8.00 සිට දහවල් 12.00 දක්‌වාත් ප්‍රතිකාර කරනවා.

මෙම මධ්‍යස්‌ථානය තුළින් නොමිලයේ ප්‍රතිකාර කරන්නේ නැහැ. නමුත් වර්තමානයේ ඇති පුද්ගලික පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්‌ථානවලට වඩා ඉතා අඩු මිලට මෙමගින් ප්‍රතිකාර ලබාගත හැකියි.

මෙම පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්‌ථානය තුළින් ප්‍රතිකාර ලබා ගැනීමට ලියාපදිංචි වීමට සහ වැඩි විස්‌තර දැන ගැනීමට දුරකථන අංක 0114940969 හෝ ජංගම දුරකථන 0718073103 වෙත ඇමැතීමෙන් ලබාගත හැකිය.

එසේත් නැතිනම් අපගේ වෙබ් අඩවිය මගින් ලබා ගැනීමට පිළිවන.

pa2.jpg


කිරිබත්ගොඩ මෙම පංචකර්ම මධ්‍යස්‌ථානය ප්‍රතිකාර සඳහා පමණක්‌ නොව පංචකර්ම ප්‍රතිකාර ක්‍රම සම්බන්ධව අධ්‍යාපනික පහසුකම් ද සපයනු ලැබේ. එය සිදු කරනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගම්පහ වික්‍රමාරච්චි විද්‍යායතනය සමඟ එක්‌වය.

ඊට අමතරව පංචකර්ම සීමාවාසික වෛද්‍යවරුනට පර්යේෂණ කිරීම සඳහා පහසුකම් ද මෙමගින් සපයනු ලැබේ.