පංචශීලය හා භාවනාව
ගිහි උපාසක උපාසිකාවන් සඳහා බුදු දහම තුළ අනුදැන වදාළ ශීලය පංචශීලය වේ. පොහොය අටසිල් ද ගිහි පිරිස වෙනුවෙන් අනුදැන ඇතත් එය නිත්‍ය ශීලය ලෙසින් දැක්වෙන්නේ නැත. දාන, ශීල, භාවනා බෞද්ධයන්ට අමුතු දේ නොවේ ය. පංච ශීලය ද ශීලයට ඇතුළත් වේ. ගිහියන්ට ශීලය පුහුණු කිරීමට පංච ශීල ප්‍රතිපත්තියේ පිහිටීම අතිශය වැදගත් ය. ශීලයෙන් සමාධියද, සමාධියෙන් ප්‍රඥාව ද වැඩෙන බව බෞද්ධයෝ දනිති. අභාග්‍යකට එය දැන සිටියත් ක්‍රියාවේ නොයදවති.
ඒ කෙසේවෙතත් ශීලය, භාවනාවට අරමුණක් ද වේ. ගිහියන් ඇසුරෙන් ගත් විට පංචශීලය භාවනා අරමුණෙකි. ශීලයේ ගුණාත්මක භාවය ප්‍රත්‍යවේක්ෂණා කරනවා මෙන් ම ශීලය ඔස්සේ සමාධිය වැඩිය හැක.
නිදසුනකට පානාති පාතා වේරමණී සිල් පදය සලකන්න. බහුතරයක් මෙයට දෙන අර්ථය වන්නේ පර පන නැසීමෙන් වැළකීමයි. ඒ අර්ථය සමඟ මා එකඟ නොවෙමි. මගේ අදහස එම අර්ථය සිල් පදයේ අරුත සීමා කරන බවයි. නමුත් තම තමුන්ට ගැලපෙන අයුරින් එය අරුත් ගන්වා ගැනීම තමුන්ගේ කාර්යයකි. මේ සිල් පදය අංග කීපයකින් යුතු වෙයි. සිල් පදය රකින්නකු සිටිය යුතු ය. සිල් පදයට ආවරණය වන්නකු සිටිය යුතු ය. රකින්නා සතුව සිල් පදය රැකීමේ වීර්යය තිබිය යුතු ය. එසේම තමුන් ශීලයක් රකිනා බවට අවබෝධය තිබිය යුතු ය. එහි ප්‍රතිඵලය දැන සිටිය යුතු ය.
හිතන්න. ශීලය රක්නා බව අවබෝධයෙන් දනිමින් ඊට අනුගතව ජීවත් වීමට හැකි නම් ඔබ සිදු කරන්නේ කුමක් ද කියා? ශීලයට අදාළ කරුණු මුල් කරගනිමින් ඔබ ඒ ඔස්සේ සමාධිය වර්ධනය කරයි. ඒ සමාධිය විදර්ශනාවට පෙරලීම අපහසු නැත. අවශ්‍ය නිසි උපදෙස් ලබා ගැනීමට කල්‍යාණ මිත්‍රයකු පමණි.
පංචශීලයේ සිල් පද පහම ඒ සමාධිය වර්ධනය කර ගැනීම සඳහා ඔබට උපකාරී වේ. එසේම දවස පුරා යෝනිසෝමනසිකාරයෙන් සිටීමට මෙන් ම සමාධියෙන් සිටීමට ද එය උපකාරී වේ.
සිහි තබා ගන්න. උපාය දන්නෝ අපායෙ නොවැටෙති.