"වැව් කන්දේ බෝ ගස් හෙවනේ මම අද තනියම ඔළිඳ ගණිනවා..."
සොබාදහමෙන් ඉතාම පුංචි කාලයක් ඉල්ලගෙන අපි මේ මිහිමත ජීවත් වීමට පැමිණ ඇත්තෙමු. ඒ කෙටි කාල සීමාව තුලදී අපි දහසකුත් බැඳීම අතිකරගන්නෙමු. නමුත් සදාකාලයටම ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ප්‍රියයන් හැර යාම අන් හැම දුකකටම වඩා අප හදවත් වලට දැනෙනුයේ මනුෂ්‍යයන් වශයෙන් අප බැඳීම මත පදනම් වූ සංවේදී ජීවිත ගතකරන්නන් වන හෙයිනි.මවු කුස තුල සිටිමින් දයාබර මවු සෙනෙහසට බැඳෙමින් පළමු බැඳීම ඇතිකරගනිමින් ඉන් අනතුරුව මෙලොව එළිය දුටුදා පටන් අප අනේක විද බැඳීම ඇති කරගනිමින් බැඳීම මත පදනම් වූ ජීවිතයක් ගත කරති.
මෙවැනි බැඳීම් අතර ලේ බැම්මෙන් හට ගන්නා බැඳීම් වලට පසු අප ඇතිකරගන්නා අතිශය ප්‍රබලතම බැඳීම වනුයේ දිවි ගමන්මගෙහි අපගේ සෙවනැල්ල සමඟ අප ඇතිකරගන්නා බැඳීමයි. එනම් ආදරයේ බැඳීමයි. සෙනෙහෙවන්තයෙකු, සෙනෙහෙවන්තියෙකු අතර ඇතිවන්නාවූ බැඳීමෙහි අරුමය, එහි දිග පළල, එහි ගැඹුර කෙසේනම් විස්තර කරන්නද. එවන් වූ අපරිමේය බැඳීමක නිමාව, වියෝව ඔබට කෙසේනම් දරාගත හැකිවනු ඇතිද. එම වියෝව දිවියක නිමාව නම්.. ඔබට එය කෙසේ දැනෙනු ඇත්ද. මේ සටහන එබඳු අතිසංවේදී මොහොතක් පිළිබඳවයි.
ඔහුත් ඇයත් සදාතනික වූ අපරිමේය සෙනෙහසකින් බැඳී සිට ඇත.
නමුදු ඒ අහිංසක ආදරයට කණකොක් තටුවක හෙවන වැටී අඳුරු වැටී ඇති සෙයකි. දෙදෙනෙකු විසින් ගොඩනැගූ ලොව තුල ඔහු අද තනිවී සිටියි.
"පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...නුඹ ඇයි නැත්තේ.."
මෙම ශෝකාන්තය කෙතරම් අපූරුවට ගීයට නඟා ඇත්ද. ඔහුගේ සොඳුරිය ඔහුට කෙතරම් අගනේදැයි ඔහු ඉතාම සංයමයෙන් ගෙන එන අයුරු කෙතරම් ප්‍රසංශනීයද. ඇගේ සුකොමළ බව ප්‍රේමනීය බව, ගැමි ළියකගේ මොලකැටි බව "පබළු නගේ නාමල් තිලකේ" යන ප්‍රකාශය තුල මනාව කැටි කොට ඇත. නමුත් ඇය ඉන් නතරවන බොළඳ පෙම්වතියක් නොවන බව ඒ සමඟම ඔහු පවසන අයුරු ඊළඟ පද පෙලින් නිරූපණය වේ. ඒ "පුංචි ඔසරි මැණිකේ "ලෙස ඇයට කරන දයාබර ආමන්ත්‍රණය තුලිනි. ඇය පුංචිය. එනම් ළා බාලය. නමුත් ඇය ඔසරි අඳින පුංචි කෙල්ලකි. මින් අදහස් වන්නේ හුදු ඇගේ ඇඳුම ගැන පමණක්ම නොවන බවයි මගේ අදහස. ග්‍රාමීය හෙළ සමාජය තුළ ඔසරිය යනු ආවාට ගියාට අඳින ඇඳුමක් නොවේ. ඔසරිය යනු සභ්‍ය ලාංකීය හෙළ කාන්තාවගේ ප්‍රතිමූර්තියයි. එහෙයින් රචකයා මේ පවසන්නට උත්සාහගන්නේ ඇගේ සොඳුරු මොළකැටි බව තුළ සැඟවුණු උදාරතර යුවතිය පිළිබඳවයි. ඔහු මේ පවසන්නේ ඔහුගේ කෙළිලොල් පෙම්වතිය ගැන පමණක් නොව ඔහු සතුකර ගැනීමට සිහින මැවූ දයාබර බිරිඳ පිළිබඳවයි. ඔහුගේ දූ සිඟිත්තන්ගේ දයාබර අම්මා පිළිබඳවයි. මේ ඔහුට ඇය පිළිබඳව ඇති අසීමිත සෙනෙහසයි. ගෞරවයයයි. මොහොතකට සිතා බලන්න. මා මෙම ඡේදයක් පුරා ඔබට විස්තර කළ දේ රචකයා ඉතාම සරල වචන කිහියකින් නිරූපණය කර ඇති අපූර්වත්වය පිළිබඳව.
නමුත් ඒ සෙනෙහෙවන්තිය අද ඔහු අතර නොමැත.
"සුමනෝ...නුඹ ඇයි නැත්තේ"
මීළඟට ඔහු නිරූපණය කරන්නේ ඔහුගේ මෙම ශෝකය සොබාදහම සමඟ බැඳී ඇති ආකාරයයි. ගීතයේ සංවේදී බව මෙම සිදුවිමෙහි ඇති සංවේදී බව ඉතාම මැනවින් අප හදවත් තුළට කිඳා බැස්වීමට රචකයා මේ තුළින් සමත් වී ඇත.
"වැවේ දියේ ඇති නිකින්ණි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා.."
සොබාදහමේ සංසිද්ධීන් සමඟ ඔහු තම මතකයන් සහ ඒ මතකයන් තුලින් නැගෙන්නාවූ කටුක වේදනාව මුහු කර ඇති අන්දම රසික හදවත් කම්පනයට ලක් කරයි.
ඔවුන්ගේ සබඳකම් මරණයෙන් වෙන්කර ඇතිමුත් එම මතකයන් හා බැඳුණු සොබාදහම් ගීය තවම මියගොස් නොමැත. මියයන්නේද නැත. එනිසා එදාවගේම අදත් වැව් දිය මත කෙකටිය පිපී ඇත. නමුත් ඒ සුපුන් සඳ මඩලක් යට නොවේ. රාහු ගිලගත් අඩ සඳක් යටයි. ඔහුගේ ලොවෙහි, නොමැති නම් ඔවුන්ගේ ලොවෙහි, ඔවුන් ගොඩනැගීමට සිහින මැවූ ලොවෙහි පුන් සඳ අද බැස ගොස්ඇත. ඉතිරිව ඇත්තේ ඔහුගේ මතකයන් වලින් පමණක් නැගුණු මළානික අඩ හදක් පමණි. "අඩ හඳ යායට කෙකටිය පිපිලා" යන්නෙහි අදහස එයයි.
මේ දයාබර සෙනෙහසේ සුවඳ බොහෝ දුර සිට පැමිණියක් විය යුතුය. ඔහුට මතක් වන්නේ බාල වියෙහි සිට ඔළිද කෙළියෙහි යෙදුණු වැවු කන්දයි. නමුදු අද ඔළිද ගැනීමට ඇය ඔහු ළඟ නොමැත. ඔහු ඔළිද ගහ යටට වී හිස් බැල්මෙන් බිඳෙන දිය රැළි දෙස බලාහිදිනවා විය යුතුය. දයාබර පාඨකයිනි, කෙදිනක හෝ ඔබ ඔළිද ගසක් යට හිඳ ඇතන්ම්, නුග සෙවණක් යට මෙන් ඔළිඳ සෙවනක් යට දැනෙන පාලු හුදෙකලා බව මේ මොහොතේ ඔබට මතක් වනු ඇත. නිහඬ මොහොතක "ටික් ටික්" හඬින් ඔළිද වැටෙන හඬට ඔබ සවන් දී ඇතිනම් සිතට නැගෙන පාලුව ඔබට සිහියට නැගෙනු ඇත. ශෝකය සමඟ බැඳි පාලුව විදීමටනම් මොහොතකට ඔළිද සෙවනක තනිවන්න. ඔබට මෙය දැනෙනු ඇත.
රචකයා ඉන් නොනවතියි. මීළඟට ඔහුට දිස්වන්නේ ඇල ළඟ වත්තේ පිපෙන තල මලයි. මෙවැනි සොබාදම් නිර්මාණයන්හි සොඳුරු බව වැඩි වැඩියෙන් දැනෙනුයේ සුපෙම්බර දෙහදකින් මේ සුන්දරත්වය විඳින විටකදීය. නමුත් යම් දිනෙක මෙම සොඳුරුබව දැකීමට ලැබෙනුයේ ඉන් එක් හදකට පමණක් නම් මේ සියලු දසුන් වේදනාවේ උල්පත් පමණකි.
"වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ...
සුමනෝ...උඹ ඇයි නැත්තේ..."
මේ මොහොතේ මගේ මතකය ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරුතම ගේය පද රචකයාණන්ගේ පද රචනයක් වෙත කැඳවාගෙන යයි.
"වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා"
(ගායනය - මර්වින් පෙරේරා)
මෙහි ගීත විචාරය රසවිඳිනවා නම්..
මේ පවසන්නේද එවැනිම වූ කතාවකි.
ගීතයේ අවසාන කොටසින් රචකයා අපව තවත් හඩවන්නේ ඉහත කී හුදෙකලාව තුල ඔහුත් අපත් සියල්ලන්ම තනි කරමිනි.
"මළ හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ..."
මළ හිරු, සුදු කොකුන්, මේ හැම සංසිද්ධියක්ම අපව මේ රැගෙන යමින් තිබෙන්නේ මළගමකටය. ඒ දයාබර ඇගේ මළගමයි. ඔබට එය දරාගත හැකිනම් මේ ඇගේ මළගමයි. සිතින් මවාගන්න මෙම ශෝකබරිත සිතුවම.
"පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ.."
මොහොතකින් ඇය පස් යට සඟවමින් ඔහුට උදාවන්නේ ජීවිතයේ කටුකතම රාත්‍රියයි. ඔහු ඇවිද යයි. නොදැනුවත්වම ඔහු යළිත් පැමිණෙන්නේ තවත් මතක මංකඩකටයි.
"මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ...
සුමනෝ...නුඹ ඇයි නැත්තේ..."
වචන කිහිපයකින් රචකයා මේ පවසන්නේ ශෝකී හුදෙකලාවක අනන්තය නොවන්නේද? මෙම කොටස සවන් වැකෙන විට මා සිත්හි නැගෙන සිතුවම ඔබට මං මෙසේ විස්තර කිරීමට උත්සාහ ගන්නම්.
ඔහු පැමිණෙනුයේ ඔවුන්ගේ සෙනෙහසේ සුවඳ තැවරුණු ඒදණ්ඩේ ඉස්මත්තටයි. ඒදණ්ඩ සහ ඒ යටින් ගලා යන ඇල අඳුරුකරමින් ඇති අතුපතර විහිදී ගිය රූස්ස මදටිය වෘක්ෂයකි. ඒ අතුපතරින් පෙරී ආ සඳ රැස් වැටී නිසල ඇල දියෙහි අඳුරුසිතුවම් මැවී ඇත. හිටිවනම සියුම් හඬින් ඇල දියට වැටෙන මදටිය ඇටවලින් හටගන්නා කැළඹීමෙන් සඳ එළිය ඇල දියමත බොඳව යයි. මදටිය ඇටයක වැටීමෙන් සසල වීමට තරම් ඇල දිය නිසල නම් මේ පරිසරය ගිලී ඇත්තේ මොනතරම් පාලු නිශ්චල නිහඬ බවක්දැයි ඔබට සිතාගන්නටවත් හැකිද? මෙයට හේතුව කුමක්ද?
සුමනෝ...නුඹ ඇයි නැත්තේ....
අල්පයක් තරම් වූ තම නිර්මාණ තුලින් කල්පයක් තරම් වූ කාලයක් සිංහල සුභාවිත ගීත සාහිත්‍ය අස්වැද්දූ ඔහු අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ය. ඔහුගේ අතලොස්සක් වූ ගී සංකල්පනා අතර දවසක් පැල නැති හේනේ, ළඳුනේ, උලලේනෝ, වැනි විශිෂ්ඨතම නිර්මාණයන් අතරට එකතුවෙන මෙම පබළු නගේ ගීතයද රසික හදවත් ප්‍රකම්පනයට ලක් කල අති සංවේදී ගී සංකල්පනාවකි.
ඊටම එකතු වූ ගුණදාස කපුගේ නම් අසහාය ගායකයාණන්ගේ හඬ මාධූර්ය පද රචනාව හා බැඳෙන කල්හි, ගීතයට එකතුවන් අගය පරිමිත කල නොහැක්කේ එවන් සුසංයෝගයක් සංරසකටත් වඩා මුහුවන බැවිනි. කපුගේ සතු ඔහුටම ආවේණික වූ පාළු, ශෝකි ස්වරය ගීතයට ජීවය දෙනු ලබන්නේ රසික අප හදවත් පතුලටම ගීතය කැඳවාගෙන යමිනි. මළගමක ශෝකය, ඉන් අනතුරුව ඇතිවන කලපාන්තයක් වන් පාලුව, ගීතය රසවිඳීමේදී සජීවීව හදවතට දැනෙනුයේ එහෙයිනි. එය වඩාත් තහවුරු වී ඔපමට්ටම් වන්නේ කපුගේ විසින්ම නිර්මාණය කල තනුව හා සංගීතය හේතුවෙනි.
ගීතය මෙතරම්ම සමීපව සජීවීව අප හදවත් තුලට දැනීමට පදරචනය තුල සැබ්බ්ගවුන තවත් සංවේදී රහසක් තිබේ. මගේ බ්ලොග් අඩවියේ ඉහල ඇති බැනරයේ මා උපුටා ගැනීමක් දක්වා ඇත.
"මුතු ඇටයක් වන්නේ බෙල්ලෙක්ගෙ බෙලිකටුවක සිරවුන වැලි කැටයේ වේදනාවයි"
ඉහත කියමන මෙම ගීතය සමඟ ලේ බැම්මකින් බැඳෙනුයේ පුදුමාකාර ලෙසිනි.
මුතු ඇටයක් වන් මෙම ගීතය, ඇත්ත වශයෙන්ම අධිනීතීඥ රන්බංඩා සෙනෙවිරත්නයන්ගේ හදවතෙහි සිරගත වුනු වේදනාවයි! මෙය එතරම්ම සංවේදීව අප අතරට ගෙන ඒමට සමත් වන්නේ ඔහුගේ මෙම වේදනාව විය යුතුය. මා අසා ඇති පරිදි මේ ඔහුගේම කතාවයි. මේ සෙනෙහෙවන්තිය, සුමනා ඔහුගේම සෙනෙහෙවන්තියයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි කාලයේදීයි. ඔහු හැමවතාවකම ගමට දිව එන්නේ ඔහුගේ සුමනා සොයාගෙනයි. නමුත් එක් වතාවක.....ඔහු පැමිණෙන විට සියල්ල සිදුව හමාර වී තිබුණි. වෙනදා ඔහු එනතුරු වැව් කණ්ඩිය මත පෙරමඟ බලා සිටි ඇය තවදුරත් එහි නොසිටියාය..
මෙම ගීතයත් සමඟම මට සිහිපත් වන මීටම සමාන්තර තවත් ගීතයක් ඔබට සිහිපත් කිරීමට මේ අවස්ථාව සුදුසු යැයි හැඟේ. එනම් මීට පෙර මවිසින් ඔබ වෙත ගෙන ආ ධම්මික බංඩාර මහතා විසින් විචාරය කරන ලද " ඇය යන්න ගියා මැකිලා" ගීතයයි. එම ගීතයද මේ අයුරින්ම අප සියලු දෙනා කම්පනයට පත් කල ගීතයකි.
දෛවය පුදුමාකරය. ඇය අප හැරගොස් බොහෝ කල් ගතවී ඇත. ඔබත් මමත් මෙය රසවිඳින මේ අවස්ථාව වන විට ඇය ගැන අපට කියූ ඔහුද අප හැර ගොසිනි. නමුත් අද ඔහු ඇය සමඟ එක් වී ඇතැයි මට හැඟේ. ඔවුන් නික්ම ගොස් ඇත්තේ කෙතරම් අපූරු නිර්මාණයක් අපට තිළිණ කරමින්ද.
අදත් සඳ ඇති රෑක, මදටිය ගහයට ඇල මත ඒදණ්ඩේ ඔවුන් අත් අල්ලාගෙන රහස් මුමුණන ආකාරය දෑස් පියාගත් විට මා මනසේ අඳුරු සිතුවක් ලෙස මැවී බොඳ වී යයි..
http://masandumal.blogspot.com/2014/05/blog-post_13.html