පරුෂ වදන් නිසා මේ ආත්මයේදී ම දඬුවම් විඳි ක&#35

shameen2009

Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    පරුෂ වදන් නිසා මේ ආත්මයේදී ම දඬුවම් විඳි ක&#35

    ග‍්‍රහයන්ගේ ගමන් චක‍්‍රයට අනුව කාල පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මිනිසාට සුබ පල හා අසුබ පල වශයෙන් යෙදේ. ඡ්‍යොතීර්වේදයට අනුව පැහැදිලි කරන්නේ මේ පූර්ව කර්ම විපාකය.
    මේ භවයේ හෝ පූර්ව භවයන්හිදී කරනු ලැබු බරපතළ පාප කර්ම සියල්ල බෝධි පූජා තබා අහෝසි කරන්නට සමහරු උත්සාහ කරති. බරපතළ අකුසල කර්ම විපාක යටපත් කරන්නට ඒ මට්ටමේ ම බරපතළ කුසල කර්ම දහ දොළොස් ගුණයකින් සිදු කළ යුතු ය.
    මේ ලිපි පෙළ කියවන සමහරු තමන් ගේ දුක් ගැහැට විසඳ්‍ර ගැනීම සඳහා අපෙන් පිළිවෙත් විමසති.
    “අනේ! බලන්න අපි බුද්ධාගමේ හැටියට ජීවත් වෙනවා. උදේ හවස පන්සිල් ගන්නවා. ඒත් අපට තියෙන කරදර අඩු නොවෙන කොට බුද්ධාගමත් එපා වෙනවා” යි සමහරු කියති.
    “ඔව්! ඔබ තුමා උදේ හවස පන්සිල් ගත්ත එක ඇත්ත. ඒත් පන්සිල් රකිනවාදැ”යි අප අසන විට “හැන්දෑවට ඉතින් බොහොම පොඩ්ඩක් පාවිච්චි කරනවා” යැයි සුරාමේරය ගැන කියති.
    aw0812141-1.jpg

    සමහර උපාසිකාවන් කියන්නේ “අපේ ගෙදර අය පන්සිල් ගන්නවා. මල් පහන් පුදනවා” යැයි කියා ය. සුරාමේරය ගැන අසන විට “මහත්තයා බොහෝ ම ඩිංගක් ගන්නවා” යැයි නම්බුවට කියති.
    මේ බොහෝ ම ඩිංගක් ගන්නා බව කියන මහත්තුරු බීමත්ව මේ උන්දැලාට තඩිබාන වාර අනන්තය. නිවසේ බඩු මුට්ටු පිඟන් කෝප්ප පියාසර කරන වාර අනන්තය.
    මේ උපාසකම්මලා මෙසේ කියමින් උන්දැලා ද පස්වැනි සිල් පදය කඩන්නට අනුබල දෙනවා මදිවාට මහ එකා බීගෙන එන විට “ බයිට් එක” ද සකස් කැර තබති. නම්බුවට බොරු කියා හතරවැනි සිල් පදය ද කඩා ගනිති.
    භාවනායෝගීන්ට හානිකර බරපතළ ම පාපය වාග් අසංවරය යි. ආරණ්‍ය ගත වූ, සූන්‍යාගාර ගත වූ භාවනායෝගියා අතින් පළමුවැනි, දෙවැනි, තුන්වැනි, හා පස්වැනි සිල් පද නොකැඩෙති.
    එහෙත් මුසාවාදය, පරුෂා වාචා, පිසුණා වාචා, සම්පප්පලාපා, යන වාග් අසංවරයන් සඳහා බොහෝ ඉඩකඩ ඇත. සමහරු “අනේ! අපේ ස්වාමීන් වහන්සේ නම් සෝවාන් වෙලා ය, රහත් වෙලා” යැයි නොකියා කියන අතර අනිකුත් භික්ෂුන් වහන්සේ ගේ දොස් කියති. ගරහති, අඩුපාඩු සොයති.
    මෙවැනි කාන්තාවක් පසුගිය දා අපට මුණ ගැසිණි. ඇය තරුණ විධායක නිලධාරිනියකි. ඇය මුහුණ පා ඇත්තේ ඉතා දුක්ඛිත කර්ම විපාකයකට ය. ඇය බැලු බැල්මට ඉතා ම සුරූපී ය. ඇගේ පියකරු මුව මඬල ඒ තරමට ම සුන්දරය. අත් දිග සැට්ටයකින් හා සාරියකින් ඇය සැරසී සිටියා ය. ඇගේ කතාව මෙසේ ය.
    “මහත්මයා! මම මිනිස්සුන්ට කොයි තරම් උදව් කරනවා ද? ඉගෙන ගන්නා ළමයින්ට පොත් පත් අරන් දී කොයි තරම් උදව් කරනවා ද? ඒත් උන්ට ඒක ටික දවසකින් මතක නෑ.
    හරිම නැහැදිච්ච බලු මිනිස්සු” ඇය ඇය ම උදව් කළ අයට බැණ වදිති. “නෑදයින්ට මම කොයි තරම් උදව් කර තියෙනවා ද? උන්ට දෙනකම් හොඳයි. ඊට පස්සෙ මතක නෑ. කිසිම කෙළෙහි ගුණයක් නැති පාහර හැත්ත.” තමන් ම උදව් කළ නැදෑයින්ට ඇය ම බැණ වදී.
    “හරි හරි දැන් ඒ බාහිර දේවල් අමතක කැර ඔබ තුමිය ගේ ප‍්‍රශ්නය ගැන කතා කරමු” යි මම ඇගේ ගලා එන වාග් ප‍්‍රහාරය වෙන අතකට හරවන්නට පියවර ගතිමි.
    “ඔව්! මහත්තයා! බලන්න මම කොච්චර ලස්සනද? මගේ මුහුණ කොයි තරම් ලස්සන ද?”
    “ඔව්! නෝනා මහත්මයා! ඇත්තට ම ඔබ තුමිය ලස්සනයි. සුන්දරයි. ප‍්‍රසන්නයි. ඕක තමයි පින කියන්නේ” යි මම කීවෙමි. ඇගේ මුහුණටම මා පූච්චානමට කීවා නොවේ. ඇය ඒ තරමට ම ලස්සනය.
    “ඔව්! මහත්මයා! මම ලස්සනයි. ඒ මුහුණෙන් පෙනෙන හැටි. ඒත් මහත්මයා! මම හරිම කාලකන්නි ගැහැනියක්. ඔය ලස්සන තියෙන්නේ මුහුණේ විතරයි. මම මේ කර පියවපු අත් දිග හැට්ටයක් ඇඳලා ඉන්නේ මගේ බෙල්ලෙන් පහළ මුළු ශරීරයම කසලා කසලා ගොරෝසු වෙලා.
    මම පොතුකබර රෝගය වැළඳුණු ගැහැනියක්. මේ බලන්න” යැයි සාරි පොට මඳක් දණ අසලට ඔසවා දෙපා පෙන්නුවාය. ඇත්තට ම කබරගොයා ඇගේ දෙපාවලට වඩා ලස්සනය. ඇය හඬන්නට ගත්තා ය.
    “නෝනා මහත්මයා හඬා වැලපී වැඩක් නැහැ. අපි ප‍්‍රතිකාරයක් හොයමු” යැයි මම කීවෙමි. “මොන ප‍්‍රතිකාර ද මහත්තයා. ඉංගී‍්‍රසි සිංහල වෙදකම්වලට දැන් ලක්ෂ ගණනක් වියදම් කරලා ඉන්නේ.
    ඒ මදිවාට මම මේ ළඟ දී විවාහ වුණා. මගේ බාහිර මුහුණේ ලස්සනට, මගේ රස්සාවට, ඒ මහත්මයා මා සමඟ විවාහ වුණා. විවාහ වුණේ යෝජනාවක් අනුව යි. සහතිකයි මහත්මයා. දැන් විවාහ වෙලා අවුරුද්දක් වෙනවා. මම තවම කන්‍යාවියක්. කැන්දගෙන ගියදාම මහත්තයාට මා පිළිකුල් වුණා. ඒ මහත්තයත් ලැජ්ජාවට ඉවස ගෙන ඉන්නවා.
    එයා මම වතුර බොන කෝප්පයකවත් වතුර බොන්නේ නෑ. මම හදන තේ එකක්වත් බොන්නේ නෑ. එයත් මහා මානසික වේදනාවක් විඳිනවා. එයා මා වෙද්‍යවරු ළඟටත් එක්කර ගෙන යනවා. අනේ! මහත්තයා මේ තරම් දන් පින් කරන මට මෙහෙම වෙන්නේ මොකදැ”යි ද ඇය ප‍්‍රශ්න කළාය.
    “මා දන්නා ආකාරයට නම්, වෙද්‍ය ප‍්‍රතිකාර වලින් සුව වෙන්නේත් නැත්නම් ඔය අසනීපය කර්ම රෝගයක්. සංසාරයේ කවදා හෝ ගුණවතුන්ට සිල්වතුන්ට බැණ වැදුණු අපහාස කළ අයට ඔය වගේ දරුණු කුෂ්ට රෝග වැළඳෙනවා.
    ඔබ අතිනුත් සංසාරයේ කවදා හෝ එවැනි දරුණු අකුසලයක් සිදු වෙන්නට ඇති. ඒ වගේ ම කුසල කර්මවල විපාක නිසා මිනිස් බව ලැබුවා. ප‍්‍රසන්න මුහුණක් ලැබුවා. හොඳ රැකියාවක් ලැබුවා. ඒත් අකුසල කර්මය බලවත්වීම නිසා ඔබ දැන් කුෂ්ට රෝගයෙන් දුක් විඳිනවා” යැයි මම කීවෙමි.
    “සහතික ඇත්ත මහත්මයා. ඈත සංසාරයේ නොවෙයි මේ ආත්මයේ ම මම ඒ පාපය කළා. මම ගමේ පන්සලටවත් යන්නේ නෑ. අම්මා තාත්තා පන්සල් යන කොටත් මම බැන්නා. මම හාමුදුරුවරුන්ට වඳින්නේ නෑ. හාමුදුරුවරුන්ට මම කොයි තරම් ආක්‍රෝෂ පරිභව කර ඇත් ද? මම ගෙදරදීවත් පන්සිල් ගන්නේ නෑ. මට හාමුදුරුවරු පේන්න බෑ. මතක් කරන අයටත් බණිනවා” යි ඇය කීවා ය.
    “නෝනා අපේ සමහරු අනුන්ගේ වැරැදිමයි හොයන්නේ. කතා කරන්නේ. තමන් තුළ කොයිතරම් දුර්ගුණ තියෙනවා දැයි හොයා බලන්නේ නෑ. තවත් සමහරු හාමුදුරුවරු රෑට කනවා දැයි හොයනවා. උදේටයි දවාලටයි කොහොම වැළඳුවා ද? කුස ගින්නේ හිටියා දැයි හොයන්නේ නෑ. විදේශීය ආක‍්‍රමණ නිසා අතීතයේ ලංකාවේ ශාසනය පිරිහුණා.
    ඒ කාලෙ හාමුදුරුවරුත් හැඳින්නුවේ ‘ගණින්නාන්සෙලා’ කියා. ඒ අය අඹුදරුවන් පෝෂණය කළා. කුඹුරු ගොවිතැන් කළා. ගිහියන් කරන කියන හැම දෙයක් ම කළා. ඒත් ඒ අය අපේ ති‍්‍රපිටක පොත් ටික පණ වගේ ආරක්ෂා කළා. ඒ අය නොසිටින්නට අපට මේ ධර්ම ග‍්‍රන්ථ අහිමි වෙන්නට ඉඩ තිබුණා. ඉතින් නෝනා මොන අඩුපාඩු තිබුණත් අර පොත් ටික ආරක්ෂා කළ සේවය ම මදි ද? අද අපි ඒ පොත්පත් පරිහරණය කරන්නේ උන්වහන්සේට පින් සිදුවන්න.
    ඉතින් ඒ අය ගැහැනු තියාගෙන හිටියා ය ගොවිතැන් කළා ය කියා බැණ වැදීමෙන් අපහාස කිරීමෙන් කිසිම ප‍්‍රයෝජනයක් තියෙනවා ද? අපි ම අකුසල් කැර ගන්නවා විතරයි. ඒ නිසා අනුන් දොස් හොයනවාට වඩා තමන් ගේ අඩුපාඩු හදාගත්තා ම නේද හොඳ. ඔබතුමිය පන්සල් නොගියාට, පන්සිල් නොගත්තාට එයින් වෙනත් කිසිම කෙනකුට පාඩුවක් සිදු වෙන්නේ නෑ. ඔය උතුරා යන ද්වේෂය නිසා ඔබ විපාක විඳිනවා. මම හිතන්නේ ඈත සංසාරයෙත් ඔය පුරුද්ද තිබී මේ ආත්මයෙත් දිගින් දිගට යනවා” යි මම කීවෙමි.
    “අනේ! ඉතින් මම දැන් මොකද කරන්නේ. තව ටික දවසකින් අපේ නාම මාත‍්‍ර විවාහයේ ඉතුරු ටිකත් අවසාන වෙලා යාවි” යැයි ඇය කීවේ නොකියා බැරිම තැන ය.
    මේ පිළිබඳ ගලිගමුවේ ඥානදීප හිමියන් ගෙන් පිළිවෙතක් විමසූයෙමු.
    “සිල්වතුන්ට ගුණවතුන්ට අපහාස කරන අයට ඔය වගේ සමේ රෝග වැළඳෙනවා. මේකට හොඳම ප‍්‍රතිකාරය මෙතී‍්‍ර භාවනාව. සියලුම දෙනාට මිතුරු බව පැතිරීම. ඒ වගේ ම තමන් අපහාස කළ අයට කරුණාව දක්වන්න ඕනෑ. ඒ වගේ සිල්වතුන්ට ගුණවතුන්ට සිව්පසයෙන් සංග‍්‍රහ කරන්න ඕනෑ.”
    “අනුරුද්ද මහ රහතන් වහන්සේ සෘධි බලයෙන් අග තැන්පත් මහ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ ගේ සහෝදරිය සුව නොවන දරුණු කුෂ්ට රෝගයකින් පෙළුණා.
    ඒත් ඔය වගේ අහංකාර ද්වේෂ සහගත කි‍්‍රයාවක විපාකයක්. උන් වහන්සේ ඇයට උපදෙස් දුන්නා තමන් ආදරයෙන් ආරක්ෂා කරන කණකර රන් ආභරණ විකුණා ඒ මුදලෙන් සංඝගත දක්ෂිණාවක් පිරිනමන්න.
    ඒ පින්කම අවසන් වෙන කොට ම කුෂ්ට රෝගයත් සුව වුණා. මේ වගේ ගමේ පන්සලට යන්න ඕනෑ. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කැර ගන්න ඕනෑ. රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන් ලියූ සූවිසි ගුණය පොත කියවන්න ඉතා ම හොඳයි.
    එයින් ශ‍්‍රද්ධාව ඇති වෙනවා. ඒ වගේ ම පේතවත්ථු, විමානවත්ථු සංග‍්‍රහ පොත් කියවන්න. උදේ හවස තෙරුවන් වැඳ තුන් සූත‍්‍රය කියන්න, පිරිත් පැන් භාවිත කරන්නැයි ද ඥානදීප හිමියෝ උපදෙස් දුන්හ.
    මතුගම මහින්ද විජේතිලක




    http://rightmindfulness.wordpress.com/2008/12/14/පරුෂ-වදන්-නිසා-මේ-ආත්මයේද/