පවර් එකේ තරම
දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘සිග්නල්මන්’ කෙනකු ලෙස සේවය කළ ලෙස්ලි තම බිරිඳ සමඟ කන්ද උඩරට බලා දුම්රියෙන් යමින් සිටියේය.
’ඔයා දන්නවද මට තියෙන පවර් එක. මට පුළුවන් ඕනෑම වෙලාවක, ඕනෑම තැනකදි, ඕනෑම කෝච්චියක් නවත්වන්න.’ ලෙස්ලි තම බිරිඳට කීවේය.
’නන්දනී කිසිවක් නොකියා අවඥාවෙන් කට ඇද කරනු දුටු හේ ඊළඟ දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බැස, රේල් පාරට පැන රතු කොඩියක් වැනී ය. එතැනින් යන්නට ආ එක්ස්ප්‍රස් දුම්රියක් වේගයෙන් පැමිණ ලෙස්ලි සිටි තැනට ආසන්නයේම නතර විය. එතැනට දිව ආ දුම්රියේ ගාඩ් තැන ලෙස්ලිගෙන් මෙසේ ඇසීය.
’ඇයි මොකද වුණේ?’
’මුකුත් නෑ!’ ලෙස්ලි සැහැල්ලුවෙන් සිනාසී කීවේය.
අත දිගහැර ලෙස්ලිට වැරෙන් කම්මුල් පහරක් ගැසූ ගාඩ්තැන ආපසු හැරී ගොස් දුම්රියට ගොඩ විය.
’කෝ... ඕකද තමුසෙගෙ මහ ලොකු පවර් එක!’ නන්දනී අවඥාවෙන් ඇසුවාය.
’මං මගෙ පවර් එක පෙන්නුවා. එයා, එයාගෙ පවර් එක පෙන්නුවා. එච්චරයි.’ ලෙස්ලි කම්මුල අතගාමින් කීවේය.







