පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් ස&#3524

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් ස&#3524

    පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ සමූහ ඝාතන
    Weeping%20Mothers%20Of%20Sri%20Lanka%20Weliweriya.jpg


    [0]

    බූන්දි| සඳුදා, අගෝස්තු 5, 2013| 17:09:52
    (කාලීන අදාළත්වය සලකා කරනු ලබන නැවත පළ කිරීමකි.)

    පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය

    ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 10 වෙනිදාටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි බල ගන්වනු ලැබුණේ දෙසැම්බර් 06 වෙනිදාය. මේ අනුව කොළඹ සති අන්ත ‛ජාතික පත්තර’ මානව හිමිකම් දිනය සමරා ලිපි හා සේයා රූ පළ කොට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසසා කතුවැකි ලිවූහ.

    දෙසැම්බර් 07 වෙනිදා ජාතිය අමතා කතාකළ ජනාධිපති රාජපක්‍ෂ ‛ඔබ සිටිය යුත්තේ ත්‍රස්තවාදය සමගද, පොදු මහජනයා සමගද යන්න ඔබ තීරණය කරන්න. මෙම දෙපිල නිශ්චිතව තෝරා බේරාගන්න. කිසිවෙකුට එකවර මේ දෙපිල නියෝජනය කළ නොහැකියැ’යි කීවේය. ‛ත්‍රස්තවාදයට එරෙහි තමන්ගේ ගෝලීය සංග්‍රාමය’ ආරම්භ කරමින් 2001 සැප්තැම්බර් 20 වෙනිදා සෙනේට් සභාවේ ඒකාබද්ධ සැසිවාරය සහ ඇමරිකානු ජනතාව අමතා ජනාධිපති බුෂ් මෙසේ කීවේය: 'එක්කෝ ඔබ අපි සමගය. නැතහොත් ත්‍රස්තවාදීන් සමගය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී නිර්පාක්‍ෂික නිශ්ක්‍රීයතාවට ඉඩක් ඇත්තේ නැත.'

    මේ අනුව දැන් අපට ඇමරිකානුවන් ගිය අඩි පාර හමු වී තිබේ. නමුත් ඇමරිකානුවන්ට වඩා වෙනස් ඉරණමක් ඒ පාරේදී අපට හමුවෙතැයි බොහෝ දෙනා අදහති. මේ ලිවීමේ අරමුණ ඒ ඇදහිල්ලට බාධා කිරීම නොවේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979දී ගෙන එන ලද්දේ ජයවර්ධන විසිනි. ඒ උතුරේ ත්‍රස්තවාදය හය මාසයකින් අතුගා දැමීමේ කාර්යය පහසු කරනු පිණිසය. ඒ වනවිටත් ජයවර්ධනගේ බෑණා වූ බ්‍රිගේඩියර් වීරතුංග උතුරේ සය මාසික ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු අරඹා තිබිණ. යාපනයේ මාවත් අද්දර තරුණ මළ සිරුරු කඳු ගැසිණ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන්නේ ‛කොටි’ බැවින් සාමාන්‍ය ජනයාට එය ‛කොටි පනත’ විය. ඒ වචනය නිෂ්පාදනය කරන ලද්දේ කොළඹ පත්තර විසිනි. කොටි මඩින පනත් ගැන අපි කුමට කළබල වෙමුදැයි සිතූ බොහෝ දෙනා තම තමන්ගේ කටයුතු පාඩුවේ කරගත්හ.

    1983 ජූලි මස 30 වෙනිදා හදිසි නීති 68 වන රෙගුලාසියේ පළමු ඡේදය යටතේ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය සහ නව සම සමාජ පක්‍ෂය තහනම් කරමින් ජයවර්ධන දකුණට යුද්ධ ප්‍රකාශ කළේය. අපි සහ කොටි වශයෙන් විභේදනය වූ බහුතර සිංහලයාගේ මානසික ලෝකය පුපුරා යාම ඇරඹුණේ ඉක්බිතිවය. 1984 නොවැම්බර් 08 වෙනිදා දෙනියායේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 23 දෙනෙකු හදිසි පොලිස් වැටලීමකින් අත් අඩංගුවට ගනු ලැබ මාතර බන්‍ධනාගාරයට ගාල් කරනු ලැබිණ. ‛කොටි පනතේ’ බිහිසුණු වගන්ති සිංහලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීම පෙරට ආවේ එපරිද්දෙනි. 1985 පෙබරවාරි 12 වෙනිදා නිකුත් කළ නිවේදනයක ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය මෙසේ ලීවේය: "ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ය යන චෝදනාව යටතේ පුද්ගලයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගැනීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ විශේෂ අවධානය යොමුව ඇත්තේ දකුණේදී ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුල් වරට යොදාගත් බවට වාර්තා වන්නේ මෙම අවස්ථාවේදී බැවිනි."

    Weliwariya_Rathupaswala_RBA.jpg


    Victims_of_Weliwariya_Rathupaswala_RBA.jpg


    Akila_Dinesh_Weliwariya_Rathupaswala_RBA.jpg

     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63

    අනතුරුව දෙවසරක් ඇතළත දකුණ ඝාතකාගාරයක් බවට පෙරළිණ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේම සිංහල තරුණ- තරුණියන් ද අත්අඩංගුවට ගෙන මරා දැමීමට බලය සැපයෙන බව දකුණේ බහුතරයක් සිංහලයින් වටහා ගත්තේ පාරවල් අද්දර පුළුස්සා දැමුණු මිනී කඳුවල දුමාරය මැදිනි. අඟුණකොළපැලැස්සේ ප්‍රජා ශාලාවේද, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේද, ඔරුවල වානේ සංස්ථාවේ පුහුණු ආයතනයේද, හපුතලේ බෙරගල ‛සමර් ෆැෂන්’ ඇඟලුම් කම්හලේද, දඹුල්ලේ පැල්වැහැර රජයේ ගොවිපොළේද, පොල්ගොල්ලේ සමූපාකාර විද්‍යාලයේද, මීරිගම යොවුන් නිකේතනයේද, මාතර එළියකන්දේද, බදුල්ලේ හාලිඇළ මෝටර්ස් ගරාජයේද, කොළඹ සරසවි නීති පීඨයේද ආදී බොහෝ තැන්වල පවත්වාගෙන යනු ලැබූ නීත්‍යානුකූල වධකාගාර සඳහා බලපත් සැපයුණේ ඒ ‛කොටි පනත’ හරහාය.

    ජනතා විමුක්ති පෙරමුණ එවකදී ජයවර්ධන ආණ්ඩුව සමගත්, ප්‍රේමදාස ආණ්ඩුව සමගත් කවර හෝ ආකාරයක ගණුදෙනුවකට එළඹීම සඳහා පනවනු ලැබූ අනිවාර්ය කොන්දේසිවල මුදුනේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ වගකීමෙන් ආරක්‍ෂා කිරීමේ පනත අහෝසි කිරීමේ කොන්දේසිය ස්ථානගත කරන්නට අමතක නොකළේය. ‛ජනතා විමුක්ති පෙරමුණේ තස්තවාදයට අනුබල නොදෙන කිසිවෙක් මේ පනත් ගැන කලබල විය යුතු නැතැ’යි ජයවර්ධන- ඇතුළත්මුදලි ආණ්ඩුවද, ප්‍රේමදාස- රන්ජන් විජේරත්න ආණ්ඩුවද ජාතිය අමතමින් එදාද කීහ. නමුත් 60,000ක් තරුණ ජනයා සමූල සංහාරය කළ ලාංකීය ඉතිහාසයේ ලේ වැකි පරිච්ඡේදයන් ලියන ලද්දේ මේ මිනිස් ඝාතක පනත් රෙගුලාසි මගින් සැපයුණු ආවරණය යටතේය.

    සංහාරයන්ගෙන් පසු 1991 සැප්තැම්බර් 01 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ වගකීමෙන් පිටුවහලේ සිට සෝමවංශ අමරසිංහගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් ‛ශ්‍රී ලාංකීය ජනතාවට අහිමි කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යළි ස්ථාපිත කිරීමට’ වහාම ගත යුතු ක්‍රියාමාර්ග හතරක් දක්වා තිබිණ. එහි පළමු ක්‍රියාමාර්ග තුන මෙසේය: "හදිසි නීතිය ඇතුළු සියළු මර්දනකාරී නීති රීති අහෝසි කළ යුතුය. - සියලුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය. - රජයේ අනුග්‍රහය ලබන ඝාතක කණ්ඩායම් නිරායුධ කර විසුරුවා ජන ඝාතකයන් නීතිය ඉදිරියට පැමිණවිය යුතුය."

    එයින් දෙමසක් ඇතුළතදී නොවැම්බර් 30 වෙනිදා පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ වගකීමෙන් සෝමවංශ අමරසිංහ විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යැවීය. එහි ‛ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට’ ගත යුතු ක්‍රියාමාර්ග 7ක් දක්වා තිබේ. එහි 5.1 සහ 5.2 ඉල්ලීම් මෙපරිදිය: ‛හදිසි නීතිය, ත්‍රස්තවාද විරෝධී පනත යටතේ ක්‍රියාත්මක කර ඇති මර්දන නීති සහ වෙනත් මර්දන නීති ඉවත් කළ යුතුය. - ශ්‍රී ලංකාවේ සෑම පළාතකම කෙරෙන හමුදා, පොලිස් මෙහෙයුම් වහා නතර කළ යුතුය.’

    මේ සියලු උපුටා දැක්වීම්වල මූලික තර්කය සරළ එකකි. එනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම එකකට එකක් නොපෑහේ. එක්කෝ එවැනි පනත් හකුළා දැමිය යුතුය. නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමිය යුතුය.

    1994 අගෝස්තු මහ මැතිවරණයේදී ජාතිය ගළවාගැනීමේ පෙරමුණ නමින් මැතිවරණ තරඟ බිමට පිවිසුණු වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ‛ජාතිය ගළවාගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය’ මගින් තමන්ගේ ජාතිය ගළවාගැනීමේ වැඩ පිළිවෙල එළිදැක්වීය. එහි දේශපාලන ක්‍ෂේත්‍රය සඳහා වෙන් කොට ඇති කොටසේ 4 වැනි වගන්තිය මෙසේය: "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත්, අපරාධවලින් බේරීමේ පනතත් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මූලික මිනිස් අයිතීන් අහෝසි කරන අණ පනත් සියල්ලත් අහෝසි කරනු ලැබේ."

    එහිම 11 වෙනි සහ 15 වෙනි වගන්තීන් පිළිවෙලින් මෙබඳුය: "සියළුම නීති විරෝධී සන්නද්ධ හමුදා සහ මැර කණ්ඩායම් වහාම විසුරුවා හැර ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවනු ලැබේ...... මර්දන යන්ත්‍රයේ අංගයන් ලෙස පැවති චර පුරුෂ සේවාවන් වහාම අහෝසි කෙරේ. ඒවායින් මෙතෙක් සිදුකර ඇති සියලු කටයුතු විධිමත් පරීක්‍ෂණයකට භාජනය කෙරෙනු ඇත. ඒ සඳහා අධිකරණ බලතල සහිත කොමිෂන් සභාවක් පත් කෙරෙන අතර නීති විරෝධී කටයුතුවල යෙදුණ අයට දඬුවම් කෙරේ."

    වසර 2500ක මහා ඉතිහාස වංශ කතාව වමාරා කමින් කට පාඩම් කොටගත් සමාජයකට දහ- පහළොස් වසරක ඉතිහාසය අමතකව ගොස් තිබේ. දෙසැම්බර් 06 වෙනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි බල ගැන්වීම පිළිබඳ ඉමහත් අමන්දානන්දයට පත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ‛මේ පනතෙන් පමණක් සෑහීමකට පත්වන්නට බැරි බව’ මානව හිමිකම් දිනය යෙදුණු ඉකුත් ඉරිදාවේ ‛ලංකාදීප’යට කියා තිබිණ. එදිනම ‛මව්බිම’ පත්‍රය සමග සම්මුඛ සාකච්ඡාවකට එළඹුණු ජවිපෙ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මෙසේ කියා තිබිණ: "මේ අවස්ථාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට පියවර ගත යුතු වෙනවා. එහිදී ත්‍රස්තවාදය මර්දනය කිරීම ඉලක්ක කොටගත් නීති හඳුන්වා දිය යුතු වෙනවා. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය නොවන අයුරින් හා ජනතාවගේ හා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හානි නොවන අයුරින් කටයුතු කිරීමට ආණ්ඩුවට වගකීමක් තියෙනවා."

    ‛ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට හානි නොවන අයුරින් රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමේ’ සැළසුම් කලින් දැන සිටියේ නම් ඉල්මහ සමරුවක් අනවශ්‍ය වන්නට ඉඩ තිබිණ. සෙස්සන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබා දෙමළාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මැඩලීමේ මාරාන්තික බොරුව අතීතයේදී පුපුරවා දැමුණේද 60,000කගේ මළකඳන් වලිනි. මර්දකයාගේ දෘෂ්ටි කෝණයෙන් බැලූ කල ඒ 60,000ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අර්ථදැක්වීම්වලට ගැළපෙන ත්‍රස්තයින්ය. මළවුන්ගෙන් උගත් පාඩම් කසළ කඳු සේ සාමූහික මතකයෙන් අතු ගා දැමූ දශකයක් අවසානයේ ‛කොටි පනතක්’ යළිත් දැන් අපට ලැබී තිබේ. දකුණේ පැතිරෙන අත්පොළසන් හඬ ඒ නිසාය. යුක්තිය පතන දෙමළ පීඩිතයාට කපන මිනීවලටම ඔහුට පසුව ඇද වැටීම වරප්‍රසාදයක් සේ දැන් බොහෝ දෙනා සළකති.

    ['සමකය' - 2006 දෙසැම්බර් 17 / මව්බිම]

    Sri_Lankan_Army_in_North_RBA.jpg


    War_Victims_Sri_Lanka_RBA.jpg
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63

    අත්වැරදීම් සහ සමූහ ඝාතන

    2006 ජනවාරි පළමුවැනිදා මනුෂ්‍යත්වය සහ සමානත්වය පිළිබඳ සුභාශිංසන වැසි වැස්සේය. දෙවැනිදා ත්‍රිකුණාමලයේ ඩොක්යාඩ් පාරේදී රජයේ ආරක්‍ෂක අංශ විසින් තරුණ ශිෂ්‍යයන් පස් දෙනෙක් බිම දණ ගස්වා හිසට වෙඩි තබා මරා දමන ලදී. 2007 ජනවාරි පළමුවෙනිදා යළිත් සාමය සහ සහජීවනය පිළිබඳ රමණීය පණිවුඩ වැස්සකි. දෙවැනිදා මන්නාරමේ දිළින්දන්ගේ හිස් මතට ගුවන් ප්‍රහාර වැස්සකි. මේ ලියන මොහොත වන විට ප්‍රහාරයෙන් මිය ගොස් ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව 16කි. ඉන් හත් දෙනෙක් අවුරුදු 09ට අඩු දරුවන්ය.

    ත්‍රීකුණාමලයේ ශිෂ්‍ය ඝාතනය පිළිබඳ යුක්තිය පසිඳලීම කෙබඳු වීද? ශිෂ්‍යයන් මිය ගියේ හමුදා කණ්ඩායමකට අත් බෝම්බයක් එල්ල කරන්නට යාමේදී එය පුපුරා යාමෙන් බව ආණ්ඩුව කීවේය. ආණ්ඩුවේ ප්‍රකාශයට අභියෝග කළ ‛සුඩර්ඔලි’ පත්‍රයේ ත්‍රීකුණාමලයේ වාර්තාකරු සුහීර්තරාජන්, ශිෂ්‍යයන් මරා දැමුණේ ළඟ සිට හිසට එල්ල කළ වෙඩි ප්‍රහාරයන්ගෙන් බව ඡායාරූප සාක්‍ෂි සහිතව ලියා ඔප්පු කළේය. පිළිතුරු වශයෙන් සති තුනක් ඇතුළත දී සුහීර්තරාජන්ගේ හිසට වෙඩි තබා මරා දැමිණ. තීන්දුව ප්‍රකාශ වූයේ එයින් පසුවය. ඒ අනුව ශිෂ්‍ය ඝාතන පුවත බොරුවකි. එය බොරුවක් වන්නේ ශිෂ්‍යයන්ගේ ශරීරවල තිබී සොයාගත් උණ්ඩ, චූදිත සෙබලුන්ගේ අවිවලට නිකුත් කරන ලද උණ්ඩ නොවූ බැවිනි.

    දැන් මන්නාරමේ සමුළ ඝාතනයකි. ගුවන් ප්‍රහාර එල්ල කරන ලද්දේ කොටි සංවිධානයේ තෝරාගත් ඉලක්කවලට බැවින් සිවිල් වැසියන් මිය ගියා යැයි කීම බොරුවක් බව ආණ්ඩුවේ ආරක්‍ෂක ප්‍රකාශකයා 03 වෙනිදා කීවේය. එදිනම නිවේදනයක් නිකුත් කළ ජාතික ආරක්‍ෂක තොරතුරු මධ්‍යස්ථානය සිවිල් වැසියන් තුවාල ලැබූ බව ඇත්තක් නම් වඩා ආසන්න මන්නාරමට හෝ අනුරාධපුරයට ඔවුන් රැගෙන එනු වෙනුවට කිලිනොච්චි රෝහලට රැගෙන ගියේ මන්දැයි විමසා තිබිණ. ඒ අනුව සිවිල් වැසියන් ඝාතනය සහ තුවාල වූ බව කීම බොරුවකි. එය බොරුවක් බව ඔප්පු වන්නේ කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක තුවාලකරුවන් රජයේ පාලනය යටතේ පවතින මන්නාරමේ හෝ අනුරාධපුර ප්‍රධාන රෝහල් කරා වහාම නොගෙනා බැවිනි.

    මේ සියළු මිනීමරු තර්ක දකුණේ හොඳින් විකිණේ. කිසිවෙක් දකුණේදී ඒවාට අභියෝග නොකරති. වඩා ලිබරල් ආකල්ප සහිත සිංහලයෝ මදක් මානුෂික වෙති. මෙවැනි අත්වැරදීම් යුද්ධයකදී සිදුවීමට ඉඩ ඇති බව සංවේගයෙන් පවසති. ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව රාජ්‍ය ආරක්‍ෂාව සඳහා වෙන්ව තිබෙන රයිෆල්ද, කාලතුවක්කුද, ප්‍රහාරක ජෙට් යානාවන්ද විනය ගරුකය. අත්වැරදීමකින් මිස ඒවා සංහාරයන් සඳහා යොදා නොගැනේ. ඒ අත්වැරදීම් සඳහා වන්දි ගෙවනු ලබන්නේ සිය අඹු දරුවන් හෝ සමීප නෑ හිත මිතුරන් නොවන බැවින් එසේ සිතීම කාටත් පහසුවකි.

    නමුත් දකුණේ පිළිකණුවල හමුදා බූට් සපත්තු ගැවසෙන හඬ ඇසෙන විට මරණ බියෙන් සසල වූ සමාජයක් පහළොස් වසරකට පෙර තිබිණ. මං මාවත් හරස් කොට ඉදිකළ ආරක්‍ෂක මුරපොළවල් හරහා ගැටවර දරුවන් යවන්නට මව්පියන් බිය වූ කාලයක් පහළොස් වසරකට පෙර තිබිණ. රාජ්‍ය හමුදාවන්ගේ විනය ගරුක තුවක්කු පිළිබඳ කිසිවෙක් එවකදී විශ්වාස නොකළහ. රාජ්‍ය හමුදාවන්ගේ අත්වැරදීම් වලින් මියගිය මිනිසුන් පිළිබඳ ප්‍රබන්ධ කතා අභිරුචියෙන් ගිළදමන්නට කිසිවෙකුට එකලදී උවමනාවක් නොවිණ. සමූල ඝාතන ගැන, පැහැරගෙන යාම් සහ අතුරුදහන්වීම් ගැන, ටයර් දර සෑ සහ ගංගාවල පාවී අවුත් කබරුන් බුදින මළ සිරුරු ගැන මිස අත්වැරදීම් ගැන කිසිවෙක් කිසිවක් නොකීහ - නොලීහ. පැරණි පුවත්පත් සහ මානව හිමිකම් වාර්තා පෙරළා බලන්නට එඩිතරකමක් ඇත්තවුන්ට මේ ඉතිහාස පිටු තවමත් විවෘතය. ඇවැසි නම් ඒ නීරස ලේ වැකි පිටු දිගින් දිගටම උපුටා දැක්විය හැක. මේ ඉන් සමහරකි. ඒ ඉතිහාසය නොදන්නාවුන් සඳහාය.

    ඉන්දු ලංකා ගිවිසුමට දෑවුරුද්දක් පිරුණේ 1989 ජූලි මාසයේදීය. ජූලි 28 සහ 29 වෙනිදා රට පුරා මිනී කඳු ගොඩ ගැසිණ. ජූලි 28 වෙනිදා බොක්කාවල සිට මැදවල - රණවන පාරේ කටුගස්තොටට ගමන් කළ 20,000ක විරෝධතා පෙළපාලියකට රාජ්‍ය හමුදා වෙඩි තැබූහ. විසිර යන ජනයාට හෙලිකොප්ටර් යානා යොදවා කඳුළු ගෑස් ගැසූහ. තිදෙනෙකු මහමග මරා දැමිණ. ඊට දිනකට පෙර 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යටියාගල පැවැති රැස්වීමක් වැටළු අලදෙණිය හමුදා කඳවුරේ සෙබළු ජනයාට වෙඩි තැබූහ. 13 දෙනෙකු වෙඩි වැදී මිය ගියහ. 28 වෙනිදා අලවතුගොඩ නගරයට රොක් වූ 25,000කට වැඩි ජනයාට අංකුඹුර හමුදා කඳවුරේ සිට ආ සෙබළුන් වෙඩි තැබූහ. එදිනම තණමල්විල හම්බේගමුව අලුත්වැවදී 3000කගේ සහභාගීත්වයෙන් පැවැති විරෝධතා රැළියකට වෙඩි තබන්නට කැඳවුණු කල්තොට හමුදා කඳවුරේ සෙබළුන්ට මහජනයා පහර දුන්හ. තාවකාලිකව පසුබැස ගිය හමුදා 29 වෙනිදා යළිත් පැමිණ පෙරදා වූ රැස්වීම් භූමිය අවට වූ ගේ දොර කඩා බිඳ, ගිනි තැබූහ. සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර දෙදෙනෙකු එම ස්ථානයේදීම වෙඩි තබා මරා දැමිණ.

    Mathale_1989_Victims_1.jpg


    Mathale_1989_Victims_2.jpg


    ජූලි 28 වෙනිදා ඇතිමලේ, කොඩයාන, හිරිපිටිය සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශයන්හි සිට ආ 10,000ක ජනයාගෙන් සැදුම්ලත් පෙළපාලියකට මොණරාගල- ඇතිමලේ මාර්ගයේදී ලියනගොල්ල හමුදා කඳවුරෙන් කැඳවන ලද සෙබළුන් වෙඩි තැබූහ. 40කට ආසන්න පිරිසක් මහමග මියගියහ. එදිනම බුත්තල මංසන්‍ධියේ පෙළපාලියකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 08 දෙනෙකු මියගියහ. ජූලි 29 වෙනිදා බුත්තල සිට ඔක්කම්පිටිය දෙසට ගමන් කළ 12,000ක පෙළපාලියට ආරක්‍ෂක අංශ වෙඩි තබා 09 දෙනෙකු මරා දැමූහ. ජූලි 29 වෙනිදා කැකිරාවේ එළියදිවුල්වැව විරෝධතා රැස්වීමකට හමුදා- පොලිස් සේනාංක එක් වී වෙඩි තැබූහ. ප්‍රහාරයෙන් 22 දෙනෙකු ඝාතනය විණ. මළවුන් පිළිබඳ ලැයිස්තු 60,000ක් දක්වාම දිග්ගැසිය හැක. ඒ රුධිරය ගලා බැස්සේ අපේ දෙපා අතරිනි. ඒ නිසා ඒවා ව්‍යාජ ප්‍රචාර බව කිසිවෙක් නොකීහ. විනය ගරුක ආරක්‍ෂක හමුදා පිළිබඳ කිසිවෙක් නොලීහ.

    නමුත් දැන් ගොදුරු වන්නෝ දෙමළ දිළින්දෝය. ඒ රුධිරය ගලා බසින්නේ සැතපුම් සිය ගණන් ඈතිනි. ඒ මිනිස් ලෙයින් අපේ දෙපා නොතෙමෙයි. ඒ පුලුටු දුමින් අපේ පෙණහළු නොපිරෙයි. ඒ දරු සිඟිත්තන්ගේ වේදනා කෙඳිරුම් අපේ නිදිසුව නොබිඳියි. එහෙයින් බොහෝ දෙනා ඒවා ව්‍යාජ ප්‍රචාර සේ සළකති. සමූහ ඝාතන අත්වැරදීම්වලින් සිදුවිය නොහැකිදැයි විමසති. අනාගතය පතුලක් නොමැති ආගාධයක් වන්නට නියමිතව ඇත්තේ එහෙයිනි. ජීවත්වීම නිම නොවන බියකරු සිහිනයක් වන්නට නියමිතව ඇත්තේ එහෙයිනි.

    නිර්භීත ඉතිහාසඥයෙකු සහ දීප්තිමත් බුද්ධිමතෙකු වන හවාර්ඩ් සින් අට මාසයකට පෙර ඇමරිකාව ගැන ලියමින් මෙසේ ලීවේය:

    "අප ඉතිහාසය නොදන්නේ නම්, මිනිස් මාංශ භක්‍ෂක දේශපාලනඥයින්ටද, ඔවුන්ට දඩයම් පිහි සපයන බුද්ධිමතුන් සහ ජනමාධ්‍යකරුවන්ටද ආහාරය පිණිස කල්තියා සූදානම් කළ මාංශය බවට අප පත්වනු ඇත. මා කතා කරන්නේ අප පාසැල්වල උගත් ඉතිහාසය ගැන නොවේ. මා කතාකරන්නේ අපගේ ජාතියේ ආදී පීතෘවරුන්ද ඇතුළු දේශපාලන නායකයින්ට දාසකම් කරන ඉතිහාසය ගැන නොවේ. මා අදහස් කරන්නේ අතීතය ගැන අවංක වන ඉතිහාසය ගැනය. ඒ ඉතිහාසය අපි නොදන්නේ නම්, ඕනෑම ජනාධිපතිවරයෙකුට මයික්‍රෆෝන ඉදිරිපිට නැගී සිට අපි යුද්ධයට යා යුතුව ඇතැයි ප්‍රකාශ කරන්නට හැකි අතර ඊට අභියෝග කරන්නට කිසිදු පදනමක් අපට නැතිවනු ඇත. ජාතිය අනතුරේ බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවදානමේ බවත්, ඒ හේතුවෙන් අපගේ සතුරා විනාශ කිරීමට නැව්ද, ගුවන් යානාවන්ද යැවිය යුතු බවත් ඔහු කියනු ඇත. අපි ඉතිහාසය නොදන්නේ නම් ඔහු කියන දේ විශ්වාස නොකර සිටින්නට අපට කිසිදු හේතුවක් නොතිබෙනු ඇත."

    අපේ ගැටළුව එයයි. අපි අතීතය ගැන අවංක වන ඉතිහාසය නොදනිමු. ඒ නිසා මාංශ භක්‍ෂක දේශපාලකයින්ට කල් තියා සූදානම් කළ මාංශය බවට ඕනෑම මොහොතක පත්වෙමු.

    ['සමකය' - 2007 ජනවාරි 07 / ‍'මව්බිම']
    Iwarayi.jpg

    Rohitha%20Bhashana%20Abeygunawardena.jpg

    PenIcon.jpg
    Rohitha Bhashana Abeygunawardena | රෝහිත භාෂණ අබේවර්ධන


     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    වැදගත් ... හිතන්න නෙමේ කරන්න යි මිනිසුනේ දැන් ඕනේ...