පළමු ලෝක යුද්ධය ගැන දන්නවද?

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    පළමු ලෝක යුද්ධය ගැන දන්නවද?



    දෙවන ලෝක යුද්ධය ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා වුණාට පළවෙනි ලෝක යුද්ධය ගැන වැඩිය දන්නේ නැහැනේ... ඉතින් කම්මැලි කමට මම ඒ ගැන හොයල බැලුව... ඒ හොයාගත්ත විස්තර තමයි මේ අවුරුදු පහකට විතර පස්සේ එළකිරි පොස්ට් එකක් විදිහට දාන්න හිතුණේ...

    1914 ජූලි 28 වෙනිදා ඉඳන් 1918 නොවැම්බර් 11 වෙනිදා දක්වා තමයි පළමු ලෝක යුද්ධය පැවති කාලය ලෙස පිළිගන්නේ. කොහොමද ඉතින් මේ යුද්ධය පටන් ගත්තේ.

    somme-hero-image.jpg


    ඕනෑම යුද්ධයක් මුල හොයාගෙන ගියොත් ඊට පාදක වුනු triggering incident එකක් හොයාගන්න පුළුවන්. කාලයක් තිස්සේ දෙපාර්ශ්වයක් අතර පවතින අර්බුධයක් යුද්ධයක් බවට හැරෙන්නේ මේ වගේ triggering incident එකකින්. උදාහරණයක් විදිහට ලංකාවේ නම් 1983 ජූලි මාසයේ LTTE ත්‍රස්තවාදීන් විසින් යාපනයේදී ශ්‍රී ලංකික හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීම හඳුන්වන්න පුළුවන්.

    මේ වනවිට යුරෝපයේ බලවත් රාජ්‍යයන් එකිනෙකා අතර ඇතිකරගත් ගිවිසුම් ප්‍රධාන සන්ධාන දෙකකට බෙදී සිටියා. 1882 වනවිට ජර්මනිය, ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍ය සහ ඉතාලිය අතර Triple Alliance නමින් හැඳින්වෙන සන්ධානය බිහිවුණා. 1907 වනවිට ප්‍රංශය, රුසියාව සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් Triple Entente නමින් සන්ධාන ගතවී තිබුණා.

    ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යෙහි ඔටුන්න හිමි (heir presumptive) කුමරුවා වූ Archduke Franz Ferdinand 1914 ජුනි 28 වෙනිදා බොස්නියාවේ Sarajevo අගනුවර සංචාරයක් සඳහා පැමිණියා. ඒ වනවිට ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍ය විසින් බොස්නියාව තම අධිරාජ්‍යයට ඈඳා ගෙන සිටියත් ඊට විරුද්ධව විවිධ පාර්ශව ක්‍රියාත්මක වුණා. එවැනි පාර්ශවයකට අයත් සර්බියනුවෙකු අතින් එහිදී Archduke Franz Ferdinand ඝාතනයට ලක් වෙනවා. ඔන්න ඕක තමයි පළවෙනි ලෝක යුද්ධයේ Triggering incident එක. මේ හේතුවෙන් ඉහත කී යුරෝපීය බලවතුන් අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හට ගන්නා අතර එය July Crisis නමින් ප්‍රචලිතයි.

    360px-DC-1914-27-d-Sarajevo-cropped.jpg

    Assassination of Archduke Franz Ferdinand

    මේ අතරතුර ජර්මනිය ඔස්ට්‍රියා-හන්ගේරියා අධිරාජ්‍යයේ සහයටත් ප්‍රංශය සහ රුසියාව සර්බියාවේ සහයටත් එක්වෙනවා. නමුත් බ්‍රිතාන්‍ය මේ අර්බුදය විසඳීමට මැදිහත් කරුවෙකු ලෙස ඉදිරිපත් වීමට උත්සාහ ගන්නවා. කෙසේ වෙතත් සර්බියාව යුද්ධයකට පටලවා ගැනීමේ අරමුණෙන් 23 වෙනිදා වෙනකොට ඔස්ට්‍රියා-හන්ගේරියා අධිරාජ්‍යය විසින් සර්බියාවට කොන්දේසි දහයක් පනවනවා. මෙයින් එක කොන්දේසියක් වුණේ Franz Ferdinandගේ ඝාතනය සම්බන්ධ විමර්ශන සඳහා ඔස්ට්‍රියානු නියෝජිතයින්ට සර්බියාවට ඇතුළුවීමට ඉඩ ලබා දීමයි. මෙය හැරෙන්නට අනෙකුත් සියළුම කොන්දේසි වලට සර්බියාව එකඟ වුවත් 28 වනදා වන විට ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා.

    ඉන්පසු රුසියාව සර්බියාවේ සහයට පැමිණීම නිසා ජර්මනිය අගෝස්තු පළමු වෙනිදා රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. ඊට දින දෙකකට පසු ඔවුන් ප්‍රංශයට එරෙහිවත් යුද්ධ ප්‍රකාශ කරනවා. තම හමුදාවන්ට බෙල්ජියම හරහා ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නැයි ජර්මනිය කළ ඉල්ලීම බෙල්ජියම විසින් ඉවත දමනු ලැබූ නිසා ඔවුන් අගෝස්තු 4 වෙනිදා ජර්මනිය විසින් බෙල්ජියමට බලහත්කාරයෙන් ඇතුළු වෙනවා. ජර්මනියේ මේ හිතුවක්කාර ක්‍රියා හේතුවෙන් එතෙක් පසෙකට වී සිටි බ්‍රිතාන්‍යයත් ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා.

    පළමු ලෝක සංග්‍රාමයේ මුල් අදියරේ සටන් ඇවිලෙන්නේ මින් අනතුරුවයි. ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍ය සර්බියාව හා රුසියාව සමග සටන් බිමට පිවිසෙද්දී ජර්මනිය ප්‍රංශය සමග සටනට පිවිසෙනවා. කෙසේ වෙතත් ඔස්ට්‍රියාවේ සර්බියානු ආක්‍රමණය නොසිතු ලෙස අසාර්ථක වනවා. මේ වනවිට ජර්මනිය තම හමුදාවන්ගෙන් වැඩි කොටසක් බටහිර දෙසින් ප්‍රංශය සමග යුද්ධයට යොදවා තිබූ අතර ඔවුන්ගේ සැලසුම වූයේ ඉක්මණින් ප්‍රංශය පරාජය කොට රුසියාව වෙත යොමු වීමයි. මුල් මාස කිහිපය තුළ ජර්මානු හමුදා විසින් දරුණු ප්‍රහාර ගණනාවක්ම දියත් කළත් සන්නිවේදන දුර්වලතා හා වැරදි උපක්‍රම නිසා ජයග්‍රහණය ඔවුන් වෙතින් ගිලිහී ගියා. 1914 දෙසැම්බර් පමණ වන විට ඔට්ටෝමාන් අධිරාජ්‍ය (වර්තමාන තුර්කිය) ද ජර්මනි පාර්ශවයට එක්ව සිටි අතර ඔවුන් විසින් මැදපෙරදිග කලාපයේ විවිධ ආක්‍රමණයන් සිදු කළා. Triple Alliance හි පාර්ශවයක් වූ ඉතාලියෙහි ස්වාධින බව පවත්වා ගැනීමට ඔස්ට්‍රියාව සහ ජර්මනිය කෙතරම් උත්සාහ කළත් 1915 මැයි වන විට ඔවුන් අනෙක් කඳවුර සමග එක්වී මුලින්ම ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යටත් පසුව ජර්මනියටත් එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා.

    මේ වනවිට ලෝකය පුරා (විශේෂයෙන් අප්‍රිකාවේ සහ පැසිෆික් සාගරයේ පැවති යුරෝපිය කොලනි තුල) පළමු ලෝක යුද්ධය ව්‍යාප්තව පැවති අතර ජපාන අධිරාජයා විසින් ඔස්ට්‍රියා-හංගේරි සහ ජර්මනිය විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනු ලැබුවා. තාක්ෂණයේ දියුණුවත් සමග 1915 පමණ වනවිට ක්ලෝරීන් වායුව වැනි රසායනික අවි පවා භාවිතයට පැමිණි අතර මුල් වරට යුද්ධ ටැංකි භාවිතයට එන්නෙත් 1916දී. ගොඩබිමෙන් එපිට මහමුහුදටත් යුද්ධය පැතිරී තිබුණ අතර ගුවන් යානා ප්‍රවාහන නෞකා මුලින්ම කරළියට එන්නෙත් 1918 පමණ වන විට.

    British_Mark_V-star_Tank.jpg

    බ්‍රිතාන්‍ය විසින් පළමු ලෝක යුද්ධයේදී භාවිත කළ යුද්ධ ටැංකියක්.

    මේ අතරතුර නැගෙනහිර යුරෝපයේත් ප්‍රධාන දේශපාලනික වෙනස්කම්ගණනාවක් සිදුවුණා. එතෙක් ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යට යටත්ව තිබූ චෙකොස්ලොවැකියාව අනෙක් පාර්ශවය සමග එක්වී ඔවුන්ගේ නිදහස දිනා ගන්නවා. නමුත් වඩාත් කැපී පෙනෙන සිදුවීම වන්නේ රුසියානු සාර් අධිරාජ්‍ය බිඳ වැටී සමාජවාදී සෝවියට් රුසියාව බිහිවෙනවා 1917 දී.

    එතකොට ඇමරිකාව...?

    තමන්ගේ වෙළඳ හා මගී නෞකා කිහිපයක් ජර්මානු සබ්මැරීන ප්‍රහාර වලට ලක් වුණත් ඇමරිකාව උත්සාහ කළේ ප්‍රධාන වශයෙන් යුරෝපයේ පැවති යුද්ධයට සම්බන්ධ නොවී ඉන්න. 1917 ජනවාරියේදී ජර්මනිය විසින් මෙක්සිකෝවට ආරාධනා කරනවා තමන් සමග එක් වෙන්නැයි කියා. ඒ වෙනුවෙන් ඇමරිකාව සතු ටෙක්සාස්, නිව් මෙක්සිකෝ සහ ඇරිසෝනා ආදී ප්‍රදේශ අල්ලා ගැනීමට තම සහය ලබාදීමට ජර්මනිය යෝජනා කරනවා. බ්‍රිතාන්‍ය විසින් මෙම පණිවිඩය ග්‍රහණය කර ගෙන ඇමරිකාවට ලබා දෙනවා. එහි ප්‍රතිපලයක් විදිහට 1917 අප්‍රේල් දෙවැනිදා ඇමරිකාව ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමින් සංග්‍රාමයට එකතු වෙනවා.

    අවසානය...

    1918 අගෝස්තු 8 බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර හමුදා දියත් කරන දින සියයේ සටන පළමු ලෝක යුද්ධයේ නිමාවේ ඇරඹුම ලෙස සැලකෙනවා. පරාජයේ පුවත පැතිර යාමත් සමග ජර්මනිය තුළ විප්ලවයක් සිදුවෙනවා. එහි ප්‍රතිපලයක් විදිහට ජර්මනිය ජනරජයක් බවට පත්වෙනවා. ඔට්ටෝමාන් සහ ඔස්ට්‍රියා-හංගේරියානු අධිරාජ්‍යයන් ද මේ සමග බිඳ වැටුණු අතර ඔවුන් විසින් යුද්ධයේ පරාජය භාර ගනු ලැබුවා.

    1918 දී යුද්ධ තත්වය අවසන් වුවත් යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1919 පැරිස් සාම සමුළුවෙන් පසු "League of Nations" සංවිධානය පිහිටුවීමෙන් අනතුරුවයි. මෙය වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමාන වුවත් එකල එය එතරම් සාර්ථක වන්නේ නැහැ. කෙටි කලකින්ම දෙවන ලෝක යුද්ධයට කරුණු සැකසෙන්නේ ඒ නිසයි.


    විකිපීඩියා ඇසුරිනි.
     
    Last edited:

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    බොහොම ස්තුතියි හැමෝටම... Rep දුන්නා.