ප්‍රාණාතිපාත කර්මයාගේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ප්‍රාණඝාත කර්ම සියල්ල ම එකිනෙකට සමාන වන්නේ නොවේ. මරනු ලබන සත්ත්වයන්ගේ ගුණාගුණවල සැටියට ද මැරීමට කරන උපක්‍ර‍මයන්ගේ සැටියට ද ක්ලේශයන්ගේ සැටියට ද ඒවායේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කියනු ලැබේ. මරනු ලබන සත්ත්වයා ගුණවතකු වූ කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ගුණහීනයන් මැරීම අල්පසාවද්‍ය වේ. මාපියන්ගේ හා රහතුන්ගේ ගුණ ඉතා බොහෝ ය. එබැවින් මා පියන් මැරීම හා රහතුන් මැරීම ආනන්තර්‍ය්‍ය කර්‍මය වේ. ආනන්තර්‍ය්‍ය කර්මය කල්පයක් නරකයෙහි දුක් විඳීමට හේතු වන්නකි. බුදුවරයන් වහන්සේලාගේ ජීවිත කිසිවකුට නො නැසිය හැකි බැවින් බුද්ධඝාත කර්මයක් නැත. මරනු ලබන සත්ත්වයන් ගුණයෙන් සම වූ කල්හි මහා ශරීර ඇති සත්ත්වයා මැරීම මහා සාවද්‍ය වේ. මහා ශරීර ඇති සත්ත්වයකු මැරීමට මහත් උපක්‍ර‍මයක් කළ යුතු බැවිනි. උපක්‍ර‍මය අල්ප වන බැවින් කුඩා ශරීරය ඇති සතා මැරීම අල්ප සාවද්‍ය ය. මැරීමෙහි දී ඇති වන ක්‍රෝධය මහත් වන කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ක්‍රෝධය මඳ ක්හි අල්ප සාවද්‍ය වේ. මහාසාවද්‍ය කර්මය මහා විපාක ඇත්තේ ය. අල්පසාවද්‍ය කර්මය අල්ප විපාක ඇත්තේ ය.