ඒ වන විට විරාඡ්ගේ සිතේ හැමවිටම හොල්මන් කරන්නට වූයේ එවන් වූ අදහස් වැලකි.
මේ සිතුවිලිත් සමග සහජයෙන් ගෙනා ජාම බේරා ගැනීමේ හැකියාවෙන් උපරිම ප්රයෝජනය ගැනීමට සිතූ විරාඡ් අවසානයේ යහමින් මුදල් සෙවීම සඳහා තොරා ගනු ලැබුවේ උපන් බිම පාවා දීමේ එක්තරා නින්දිත උපක්රමයකි.
දකුණේ වාහන කොල්ල කා එවක මේ රට වනසමින් සිටි එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එවා අලෙවි කිරීම එදා විරාඡ් තොරාගෙන තිබූ එම නින්දිත උපක්රමය වී තිබිණි.
මේ තොරතුරු අපට කිවේ කලක් විරාඡ්ගේ ඒ නරුම වැඩ ගැන විමර්ශනයක යෙදී සිටි පොලිස් අපේ දෙපාර්තමේන්තුවේ අදටත් නමක් තියාගෙන සිටින එක්තරා නියම පොලිස් නිලධාරියෙකි.
මෙසේ උපන් බිම සහ දකුණේ නියම හෙලයන්ගේ උරුමයද මුදලට පාවා දෙමින් එල්ටීටීඊයට වාහන කොල්ල කා විකිණීමේ ජාවාරම හමුවේ 1991 වසරේ දිනෙක මීටියාගොඩ පොලිසිය මගින් මේ විරාඡ්ව අත්අඩංගුවට ගනු ලබන්නේ මේ අතරතුරය.
මෙම සිද්ධියත් සමග කලක් මහ උළු ගෙදර කල් ගෙවන වසරකට පමණ පසු යළි ගමට පැමිණෙන්නේ මහ අළු ගෙදරදී උගත් පාඩම්ද සමගින් සුපිරි පාතාලයකු ලෙසට පරිවර්තනය වීමෙන් කිවොත් එය නිවැරදිය.
එසේ පැමිණ සුපුරුදු ලෙසම සිය පාතාල දිවිය අරඹන විරාඡ් ගමේ තරුණයන් අතර ගැවසෙමින් සිටියදී නිදහස් වී පැමිණ වසරකට පමණ පසුව දිනෙක ගමේ වොලිබෝල් පිටියේදී රත්ගම සිටි තවත් තරුණයකු වූ පොඩිරත්තා සමග ගැටුමක් ඇතිකර ගනු ලබන්නේ සුළු අතපසුවීමක් මුල් කරගනිමිනි.
නමුත් එදා ඒ සිදුවූ අතපසුවීම සමග විරාඡ් හා ඇතිවූ ගැටුම පොඩිරත්තාට ජීවිතයෙන් සමුගෙන යැමට තරම් ගිනිගෙඩියක් වේයෑයි ඒ මොහොතේ වොලිබෝල් පිටියේ සිටි තරුණයන් කිසිවෙකුත් නිකමටවත් නොසිතුවා ඒකාන්තය.
එහෙත් එම සිදුවීම සිදුව ගෙවී ගියේ දින කිහිපයක් පමණි. ඒ අතරේ දිනක් ගාල්ල හික්කඩුව ප්රදේශයේ මාවතක ඇවිද යමින් සිටි පොඩිරත්තා හිස පසාරු වී ගිය වෙඩි ප්රහාරයකින් ජීවිතය හැර යන්නේ අභිරහස් ලෙසිනි.
පොඩි රත්තා මරා දැමුණු මෙම ඝාතනයත් සමග එහි සියලු චෝදනා එල්ල කෙරෙමින් ගමේ සියල්ලන්ගේ ඇඟිල්ල දිගු වන්නේ විරාඡ් වෙතය.
මේ සමගම විරාඡ් කරනුයේ උපන් ගම හැරදා ජීවිතය සොයා ගමෙන් පලා යැමය. පොඩිරත්තාගේ ඝාතනයත් සමග ඔහුගේ වැඩිමහල් සොයුරන් වියරු වැටීම එදා විරාඡ් එලෙස පලා යැමට වූ ආසන්නම හේතුව බව අපට කීවේ මේ පිළිබඳ මැනවින් දන්නා කලක් විරාඡ්ගේ සමිප සගයකු ලෙස ඔහු සමගම ගැවසෙමින් සිටි දකුණේ එක්තරා තරුණයෙකි.
පොඩිරත්තා ඝාතනය වී කාලය කෙමෙන් ගෙවී යන්නට විය. එහෙත් ගමේ තරුණයන් අතරේ රජ වෙමින් සිටි විරාඡ් සිදුවූ දෙයක් ඒ වන විට ගමේ කිසිවෙකුටත් සිතා ගත නොහැකිව තිබිණි.
මේ අතරේ පොඩි රත්තා ඝාතනය කෙරී වසරකට පමණ පසු හිටි හැටියේ දිනක් හික්කඩුවේ වූ මහගෙදර අසළදී නාඳුනන තුවක්කු ප්රහාරයකින් හිස් කුඩුපට්ටම් වී පොඩිරත්තාගේ සොයුරන් දෙදෙනා නොඑන ගමන් යන්නේ ඒ පවුලේ වූ ශක්තිය මුළුමනින්ම අවසන් කෙරෙමිනි.
එම ඝාතනත් මසග රත්ගම පුරවරය අමුතු භිෂණයකින් වෙලී යන්නේ සිදුවන්නේ කුමක්දැයි කිසිවකුටත් සිතා ගත නොහැකිව තිබූ බැවිනි.
මෙහිදීත් පොඩිරත්තාගේ සොයුරන් ඝාතනය කළ බවට ගමේ මිනිසුන්ගේ ඇඟිලි විරිඡ් දෙසට හැරවෙන්නේ පෙර වූ ලෙසින්මය. එහෙත් ඒ වන විට විරාඡ් යනු රත්ගම පුරවරයට සැඟව ගිය චරිතයක් ම පමණක් විය.
මේ කාලය වන විට විරාඡ් පිළිබඳ තොරතුරු කිසිවක් ගමේ කිසිවකුත් දැන නොසිටියද මේ කියන සමයේ රත්ගම විරාඡ්ගේ නවාතැන වී තිබුණේ අද සබරගමුව ප්රදේශයේ නමගිය දේශපාලනඥයකුගේ අඳුරු ගුබ්බෑයමක් බව අපට අනාවරණ කළේ එදා විරාඡ්ගේ කෙළි පිළිබඳ මනා ලෙස සෙවිල්ලෙන් සිටි තවත් එක් පොලිස් නිලධාරියෙකි.
මෙලෙස සබරගමුව දේශපාලනඥයාගේ සෙවනේ සිටි විරාඡ්ට පොඩිරත්තාගේ සොයුරන් ඝාතනය වීමත් සමග යළි ගමට ඒමේ දොළදුකක් පහල වූයේ මේ අතරතුරය.
"සර් මට ආයිත් ගමට යන්න ඕනෙ සර්... සර් ළඟ මම මෙච්චර දවසක් වැඩ කළා... ඒ වගේම තමයි සර්ට ඕන වෙලාවක ඕනම දේකට මම සර් ළඟ ඇති. ඒ නිසා සර් මට ගමට යන්න පාරක් හදල දෙන්න සර්... ගමට යැමට ඇතිවූ දොළත් සමග දිනක් තමාට සෙවන දෙන සබරගමුව දේශපාලක උතුමා හමුවූ විරාඡ් එසේ පවසන්නට වූයේ යටි සිතේ වූ සුපිරි සැළසුම් කිහිපයක්ද සමගිනි.
හරි... උඹ ආයිත් ගමට යනව නම් ඒ ගිහින් කෙළින්ම ගමේ දේශපාලනයට බැහැපන්... එතකොට උඹට කරදරයක් නැතුව ඉන්න පුළුවන්... විරාඡ්ගේ මේ ඉල්ලීමට හොඳින් සවන් දුන් නිතර සිදුවතින් සැරසී ජනතාව අතරේ ගැවසෙන සබරගමුව දේශපාලක උතුමා අවසානයේ පවසන්නට වූයේ විරාඡ්ද කිසිදා බලාපොරොත්තු නොවූ කරුණකි.
එහෙත් මෙහිදී රත්ගම මන්ත්රිවරයාගේ කැමැත්තෙන් විරාඡ් ගමේ දේශපාලනයට ගෙන ඒම සබරගමුව දේශපාලනඥයාට මුහුණ දෙන්නට වූ බරපතලම ගැටලුව වී තිබිණි.
ඊට හේතු වූයේ විරාඡ් රත්ගම පුරවරයේ ගමේ දේශපාලනයට පැමිණීම පිළිබඳ රත්ගම ආසනයේ දේශපාලනඥයාගේ ඒ හැටි මනාපයක් නොවීමය.
එහෙත් මෙහිදී අවසානයේ සබරගමුව දේශපාලනඥයා ඒ අභියෝගය ජය ගැනීමට යොදා ගන්නේ අපූරු උපක්රමයකි.
ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේම තවත් ප්රබල දේශපාලනඥයකුට විරාඡ්ව හඳුන්වා දෙන සබරගමුව දේශපාලක උතුමා කරනුයේ රත්ගම දේශපාලණඥයාගේ අකමැත්ත පයිසෙකට මායිම් නොකරමින් ගාල්ල දේශපාලන ප්රබලයා හරහා විරාඡ්ව රත්ගම ගමේ දේශපාලන පිටියට කැඳවාගෙන යැමය.
ඒ අනුව පොඩිරත්තාගේ සොයුරන් ඝාතනය කෙරී කෙටි කලකින් එතෙක් ගමෙන් වහං වී සිටි විරාඡ්ව ගමේ මිනිසුන් දකිනුයේ සුදු පිරුවටයට බැස ගමේ දේශපාලනයේ බලය ඉල්ලා තමන් ඉදිරියට එන අයුරුය.
එහිදී ගමේ ජනතාවගේ සිත් ඉක්මනින් තමන් වෙත බැඳ ගැනීමට විරාඡ් මුලින්ම කරනුයේ රත්ගම වූ රජයේ ඉඩමක් කලක සිට රැකගෙන ආ සිය මැර බලය යොදා බලහත්කාරයෙන් ගමේ දුප්පතුන් පිරිසක් අතරේ බෙදා දී ජනතාවගේ සිත් තුළ මහා ධානපතියකු සේ නිධන්ගත වීමය.
ධනසේකර ඇතුළු මධුර කල්ලිය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී දකුණේ දේශපාලනයට ඇතුළුව සිටියේ රත්ගම විරාඡ් එසේ ගමේ නමක් හදාගෙන ජනතාව අතරේ රජවෙමින් සිටියදී වීම ධනසේකරලාගේ දේශපාලන ආගමනය විරාඡ්ට අඳුකොළ මෙන් වීමට බලපෑ එකම සාධකය වූවා නිසැකය.