පානදුරා වාදය !

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මිෂනාරි පුහු මත නිරුවත් කල පානදුරාවාදයට වසර 143
    (1873 අගෝස්තු 26, 28)


    මෙයින් අවුරුදු 240 කට පෙර අසනලද ප්‍රශ්නම අදත් නොයෙක් දෙනා අසයි. බුද්ධාගමේ මුලික ඉගැන්වීම ගැන අද බෞද්ධයි කියාගන්න අප වැඩි දෙනෙකු තුල නිසි අවබෝධයක් නැත. 1873 අවුරුද්දේ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ කල දේශනා වලින් මේ කාරනා ගැන නිසි අවබෝධයක් ලබා ගන්නට අපිට හැක. රණ්ඩුවක් හෝ බැණ ගැනීමක් නොව පානදුරා වාදය එකම ධර්ම සංග්‍රහයක් බව දැනගෙන සියල්ලන්ම මෙය කියවත්වායි මම ඉතා ඕනෑ කමින් ආරාධනා කරමි.

    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ශ්‍රී ලංකාව තුල බෞද්ධ පුනරුදයේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස සැලකෙන පානදුරාවාදය සිදු කර වසර 143ක් සපිරේ.1873 අගෝස්තු 26,28 දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී පැවති මෙම සුප්‍රසිද්ධ විවාදයේදී දීර්ඝ කාලයක් තිස්සේ යටත්විජිත ආණ්ඩු විසින් බලහත්කාරයෙන් සහ නොයෙක් උපක්‍රම මගින් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරමින් ඒයට බාධාවක් ලෙස සැලකූ මෙරට මුල් බැසගෙන තිබූ බුදු දහමේ හර පද්ධතීන්ට නොයෙක් කෙනෙහිළිකම් කරමින් තිබූ කාලයක ඒවාට සෘජුව පිළිතුරු දීම සඳහා මුහුණට මුහුණලා විවාදයක් පවත්වා තිබේ.

    පෘතුගීසී සහ ලන්දේසි පාලනය සමයේ සිදු වූ මෙරට ක්‍රිස්තියානි ආගම ව්‍යප්ත කිරීමේ ක්‍රියාදාමය සහ ඒ සමගම මෙරට බෞද්ධ පදනම දුර්වල කිරීම අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ඉංග්‍රීසීහුද ක්‍රියා කළහ. මේ මිෂනාරීන් බුදුදහමට විරුද්ධව විවිධ කෙනෙහෙලිකම් සිදු කල අතර බෞද්ධ විරෝධී ප්‍රචාරක කටයුතු ඒ අතරින් කැපී පෙනිණි. ප්‍රසිද්ධ ස්‌ථානවල සංවිධානාත්මක ලෙස බෞද්ධ ආගම විවේචනය කරමින් එයට නිගාවන පරිදි ඇලවු පත්‍රිකා මෙන්ම ක්‍රිස්තියානි සංගම් හරහා නිකුත්කල ප්‍රකාශන මගින්ද ඉංග්‍රීසීහු බෞද්ධ විරෝධී ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කළහ. මෙම අකටයුතුකම් හේතුවෙන් මෙරට බෞද්ධයන් නොයෙකුත් අපහසුතාවලට ලක්වූ අතර ඒවාට මුහුණදිය නොහැකිව බොහෝ භික්ෂූන් වහන්සේලා සිවුරු හැර ගිය බව ඉතිහාසයේ දැක්වේ.

    මෙම සියලු අපවාදයන්ට පිළිතුරු දීමේ අරමුණින් මේ සම්බන්ධව වාද පහක් පවත්වා ඇති අතර ‘පංච මහා වාද’ ලෙස ප්‍රසිද්දියට පත්වූයේ එයයි. ඒවා නම් ‘වරාගොඩ වාදය’ , ‘බද්දේගම වාදය’ , ‘උදන්විට වාදය’ , ‘ගම්පල වාදය’ සහ ‘පානදුරා වාදයයි’.

    සැබෑ සත්‍ය ආගම වන්නේ බුදුදහමද නැතිනම් ක්‍රිස්තියානි ධර්මයද යන්න මෙම විවාදයේ මුඛ්‍ය අරමුණ විය. එහි ප්‍රධානම වාදය පානදුරා වාදයයි .මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් බෞද්ධ පාර්ශවය වෙනුවෙනුත් දාවිත් ද සිල්වා පාදිලි තුමන් ක්‍රිස්තියානි පාර්ශවය වෙනුවෙනුත් සහභාගී විය. මෙම වාදයේදී මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ බෞද්ධ පාර්ශ්වය විසින් රෙපරමාදු ක්‍රිස්තියානි තර්කවල පවුරු පදනම් විනාශකර දැමීය. 19 වැනි සියවසේ අවසානය වන විට මෙරටින් තුරන් වන තත්ත්වයට දුර්වලව තිබූ බෞද්ධ බලය යළි සවිලබා නැගීසිටිනුයේ මෙම පානදුරාවාදයත් සමගිනි. බෞද්ධ හර පද්ධතීන්ට සසුන තුලිනුත් ඉන් පිටතිනුත් නොයෙක් බලපෑම් එල්ලවී ඇති අද දවසේ බලහත්කාරයෙන් සහ කූට උපක්‍රමවලින් තොරවූ සාමකාමී ආගමික සහජීවනයකට දැනුවත්ව නිවරදිව මග කියන තවත් පානදුරාවාදයක අවශ්‍යතාවය ඉස්මතු වී පෙනේ.

    බෞද්ධකමට, සිංහලකමට එරෙහිව අබෞද්ධ මෙන්ම විජාතික බලවේග ඉස්මතු වූ සෑම අවස්ථාවකම ඒවාට එරෙහි වෙමින් එම බලවේග පරාජය කිරීමට භික්ෂුන් වහන්සේලා ඇතුළු යුග පුරුෂයන් එඩිතරව නැගී සිටි අවස්ථා අප ඉතිහාසය තුළ අප්‍රමාණය. විශේෂයෙන් මතවාදීව වෙනත් බලවේග පරාජය කළ අවස්ථා අතර පංච මහා වාද (උදන්විට වාදය, බද්දේගම වාදය, ගම්පල වාදය, පානදුරාවාදය හා ඌරුගොඩවත්තේ වාදය) නිසැකවම සඳහන් කළ යුතුය. මින් 1873 අගෝස්තු මස පැවති පානදුරාවාදය මිෂනාරින්ට මාරු පහරක් මෙන් විය. එමෙන්ම බුදුදහම කෙරෙහි ලක් වැසි ජනයා තුළ පමණක් නොව, විදේශයන්හිද සුවිශාල පිබිදීමක් ඇති කිරීමට පානදුරාවාදය ඉවහල් විය.

    පානදුරේ ගල්කන්ද විහාරස්ථානය අසළ ඒ වෙනුවෙන්ම ඉදිකොට අලංකාරවත් කළ බංගලාවක් වැනි සුවිශාල මඩුවක 1873 අගෝස්තු 26 හා 28 දෙදින මෙම මහා වාදය පැවතුණි. මෙහි ප්‍රධාන කථිකයන් ලෙස බෞද්ධ පක්ෂය නියෝජනය කරමින් වාදිභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ද, ක්‍රිස්තියානි පක්ෂය නියෝජනය කරමින් දාවිත් ද සිල්වා පාදිලිතුමාද සහභාගී වුහ. මෙම වාදය සම්බන්ධයෙන් ජනතාව තුළ කෙතරම් උනන්දුවක් වීද යත් මෙම වාදයට සවන් දීමට රටේ සියලු ප්‍රදේශ වලින් පැමිණ සිටි හත් අට දහසක ජනකායකින් වාද භුමිය පිරී ඉතිරී ගොස් තිබී ඇත. නමුත් විශේෂත්වය වන්නේ කිසිදු කලකෝලහලයකින් තොරව ඉතා යහපත් ලෙස වාදය පැවතීමයි.

    පාදිලිතුමා විසින් බෞධාගමට එදිරිව ගෙන හැර දැක්වූ සියලු තර්ක බිඳ දමා බුදුදහමේ ඉගැන්වීම් පිළිබඳව මැනවින් කරුණු පැහැදිලි කර දැක්වීමට ගුණානන්ද හිමියන්ට හැකි වූ අතර එහිදී නැගුණු ප්‍රතිතර්ක වලටද ඉතා ශුර ලෙස පිළිතුරු දෙමින් රෙපරමාදු ක්‍රිස්තියානි මත පරාජය කොට බෞද්ධ පක්ෂයට ජය අත් කර දීමට උන්වහන්සේ සමත් වුහ.

    මෙම වාදය අවසන් වීමත් සමඟ පුවත්පත් වල මේ පිළිබඳව විවිධාකාරයෙන් වාර්තා විය. බෞද්ධයන්ට අත් වූ ජයත්, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ කථිකත්වය පිළිබඳවත්, වාදය පුරා පැවති සාමකාමිත්වය පිළිබඳවත් ඉන් බොහොමයක විශේෂයෙන් සඳහන් විය. වාදය නැරඹීමට ගොස් සිටි සිලෝන් ටයිම්ස් පුවත්පතේ කර්තෘ ජෝන් කූපර් මහතා ඔහු සමඟ වාදය අසා සිටි නීතිඥ එඩ්වඩ් පෙරේරා මහතා ලවා සම්පුර්ණ වාදය ඉංග්‍රීසියට පරිවර්ථනය කරවාගෙන 1873 අගෝස්තු මස 31 වන ඉරු දින සිලෝන් ටයිම්ස් පුවත්පතේ පළ කරන ලදී.

    පානදුරාවාදය පිළිබඳව ලක්දිව පමණක් නොව, ඇමරිකාව ඇතුළු දේශ-දේශාන්තරයන්හි පතළ වූ අතර ඕල්කට්තුමා, බ්ලැවැස්කි මහත්මිය ආදීන් බුදුදහම ගැන පැහැදී ලංකාවට පැමිණ බුදුදහම වැළඳ ගැනීමටත් මෙය ඉවහල් විය. ගුණානන්ද හිමියන්ගේ වාද භුමි වල එසවූ ධර්මචක්‍රය සහිත ධජයත් සමඟ බෞද්ධ කොඩියක අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද කතිකාවතක් ඇරඹුණු අතර වර්තමාන බෞද්ධ කොඩියේ නිර්මාණය වීමටත් මෙය හේතු පාදක වී ඇත. එමෙන්ම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වන අනගාරික ධර්මපාල තුමාගේ බෞද්ධකම හා දේශීය හැඟීම් ඔප් නැංවීමටද ඔහු එවකට වයස අවුරුදු නවයක කුඩා දරුවෙකුව සිටිමින් මෙම පානදුරාවාදය නැරඹීමෙන් ලද උද්දීපනයද නිසැක හේතුවක් වී ඇති බව වටහා ගත හැක.

    බෞද්ධ හර පද්ධතීන් වලට නොයෙක් කුමන්ත්‍රණකාරී බලපෑම් එල්ල වන අද දවසේ ඒවා මතවාදීව පරාජය කිරීමේ වැදගත්කමත්, ඒ සඳහා බෞද්ධ ඉගැන්වීම් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් සෑම බෞද්ධයෙකු තුළම තිබීමේ අවශ්‍යතාවයත් සම්බන්ධව පානදුරාවාදය ඉතා හොඳ උදාහරණ සපයයි.


    14064009_1032531586866551_6700417179758289659_n.jpg
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    1වෙනි කථාව
    පළමු වෙනි කථාව


    වර්ෂ 1873 ක් වූ අගෝස්තු මස 26 වෙනි දින උදේ 8 සිට 9 දක්වා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ කල කථාව

    පසුගිය ජුනි මස දොළොස්වෙනි දින වැස්ලියන් දේවස්තානයෙහි මා විසින් දේශනාවක් කලාය. ඒ දේශනාවේදී සත්වයාගේ ආත්මය ගැන බුද්ධාගමේ පොත්වල දක්වා තිබෙන අන්දම විස්තර වශයෙන් කියා දුන්නාය. මගේ ඒ දේශනාවට විරුද්ධව බුද්ධාගමේ දේශනා කාරයෙක් එම මස 19 වෙනි දින දේශනාවක් කලාය.
    මෙකී දේශනා දෙක පිළිබඳව මේ වාද කථාව හට ගත්තාය. එම නිසා අදත් ඒ දේශනාවේදී මා විසින් ගෙන හැර දැක්වූ කාරනාව විස්තරව කියා දෙමි. ඊට විරුද්ධව බුද්ධ පක්ෂයට යමක් කියන්ට හැකිනම් කියා පෙන්වාදුන්නාවේ. අපි දෙපක්ෂය කියන කාරණාවලින් පිළිගත යුතුව තිබෙන්නේ කොයි පක්ෂයේ කියමන්ද කියා විනිශ්චය කිරීම මේ සමුහයාටම භාර වේය.

    බුද්ධාගමේ ප්‍රකාරයට මනුෂ්‍යයාට ආත්මයක් ඇත්තේ නැත. කුසල අකුසල කර්ම කරනම තැනැත්තාට එහි විපාක ලැබෙන්නේ නැත. ඒ බව බුද්ධාගමේ පොත්වලින්ම පෙන්නා දෙමි. සත්වයා ස්කන්ධ වශයෙන් පසකට බෙදා තිබේ. ඒ පසනම් රුප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය යන පසය. ඒ බව සංයුක්ත සන්ඝියෙහි කියා තිබේ.

    පන්චච භික්කවේ ඛන්දේ දෙසිස්සාමි ” යනාදියෙන්ද “යේ හි කේචි සංකාර අතීතානාගතා ” යනාදියෙන්ද වෙයි. නැවත උපාදානස්කන්ධය ගැනද එසේමය. “කතමෝච භික්කවේ පංච උපාදාන්ස්කන්දාය ” යනාදියෙන්ද පංචස්කන්දය ගැන කී වචනම කිය කියා “රුප උපදානකන්දය මෙය” යන වශයෙන් කියා තිබෙනවාය. නැවතද ” හි කෙහි භික්කවේ සමනාවා බ්‍රහමනාවා” යනාදී සංයුක්ත සන්ඝියෙහි පාඨයෙන්ද සත්වයාට ඇති සියල්ලම පංචස්කන්ධයට අයිතිබව කිය තිබෙනවාය. මේ බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වලද, කාව්‍යසේකරයේ “පස් කන්ද සකෙලෙසේ – දුක නම් වේය එම සේ -රුවෙයීන් සන් රැසේ- සකරවින් නැණ නමින් මෙපසේ ” යන මේ කවින්ද පේනවාය. නැවතද මෙම සත්වයාම ආයතන වශයෙන් දොළොසකින් යුක්තය. එනම් චක්කායතනාදී සයත්, රුප්පයතනාදී සයත්ය. මේ බව ” කත්මන් ච භික්කවේ සලායතනං , චක්කයතාණන්,” යනාදී පාටයෙන්ද, “සබ්බන් වෝ භික්කවේ දෙසිස්සාමි තන් සුනත කිංච භික්කවේ රුපන්ච ” යනාදියෙන්ද විභංග ප්‍රකරනයෙන්ද පෙනෙනවාය.

    නැවතද මෙම සත්වයාම නාම රුප දෙක ඇතුලත්කර තිබෙනවාය. ඒ බව සංයුක්ත සන්ඝියෙහි තිබේ. “කතමන්ච භික්කවේ නම රුපන් වේදනා සඥා ” යනාදී පාඨයෙන්ද, “චත්තාරෝ මහා බුතා” යනාදී පාඨවලින්ද නාමය රුපය මෙය කියා තිබෙනවාය.

    නැවතද මෙම සත්වයාම නාම රුප දෙක ඇතුලත්කර තිබෙනවාය. ඒ බව සංයුක්ත සන්ඝියෙහි තිබේ. “කතමන්ච භික්කවේ නම රුපන් වේදනා සඥා ” යනාදී පාඨයෙන්ද, “චත්තාරෝ මහා බුතා” යනාදී පාඨවලින්ද නාමය රුපය මෙය කියා තිබෙනවාය.

    නැවතද “තත්ථ කථාමන් නාමා වේදනාක්කන්ධා” යනාදී පාඨවලින් ද වේදනා ස්කන්ධ, සඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, යන තුන නාමයට අයිතිබව කියා තිබෙනවාය. මෙසේ රුප වේදනා සඥා සංකාරා යන ස්කන්ධ හතර නාම රුප දෙකට ඇතුලත් බවද, කියා තිබෙනවාය. “යන ඔලාරිකන්, ඒ තන් රුපන්” යනාදී මිලින්ද ප්‍රශ්නයේ පාඨයෙන් යමක් ඔලාරිකද ඒ රුපය. යමක් සුකුම චිත්ත චෛතසික ධර්මද, ඒ නාමය” කියාද දක්වා තිබෙනවාය. මෙසේ රුප ස්කන්ධයත් චිත්ත චෛතසික ධර්මයොත් නාම රුප දෙකට අයිතිය. මෙයින් නාම රුප දෙකට අයිති ස්කන්ධ සතර පමණක් විඥාන ස්කන්ධය ඊට අයිති නැති කීවොත් නාම රුප දෙක නැතුව විඥානයට පවතින්ට නුපුළුවන් බව “යෝහි භික්කවේ එවන් වදෙය්ය අහමඥාත්ර වේදනය” යනාදී සම්යුක්ට සගියෙහි පථයෙන් රුපාදී ස්කන්ද සතර හැර විඥයගේ චුති උප්පත්තියක් පෙන්වනට පුළුවනි කීවොත් එසේ නුපුලුවනයි කියා තිබෙන බව මේ පාඨයෙන් පෙනෙනවාය. ඇරත් පිළිසිඳ ගන්නා ක්ෂණයෙහි පන්චස්කන්ධයෝ සම්පුර්ණයෙන් පිළිසිඳ ගන්නා බව “ගබ්බ සෙය්යක සත්ත නං හි පතිසධි ක්ඛනේ” යන පාඨයෙන් පෙනෙනවාය. ඇරත් “නම් රු දෙක හැරා – නැත අන් පුඟුල් බැහැරා ” යන කව්‍යසේඛරයේ කවියෙන්ද පේනවාය. මෙසේ සත්වයා සම්පුර්ණයෙන්ම ස්ඛන්ධායතන නාම රුප වලට ඇතුලත් බව පැහැදිලිව පේනවාය. ඉතින් “මේ ස්ඛන්ධායතනයාදී කිසිම තැනක ආත්මයක් නැත” යි බුදුන් විසින් උගන්වා තිබෙනවාය. ඒ කියා තිබෙන්නේ “රුපන් භික්කවේ අනත්තා” යනාදී පාඨ වලින්ය. ඇරත් යම්කිසි තුන් කල් පිලිබඳ රුපාදී ස්කන්ධයන් ඒ මේ මගේ නොවන්නේය. මේ තෙමේ මම නොවන්නේය කියා තිබෙනවාය. “යන් කිංචි රුපන් අතීතා නාගත පච්චුප්පන්නා” යනාදී සංයුක්ත සංඝියේ පාටයකින් ය. ඇරත් “රුපන් භික්කවේ අනත්තා” යනාදියෙන්ද, “රුපාදී ස්කන්දයෝ අනාත්මය” යයි බුදුන් කියනවාය. තවද ආයතන ගැනත් බුදුන්ගේ කීම “චක්කුන් භික්කවේ අනත්තා” යනාදියත් එසේමය. ඇරත් මරණය ගැන බුදුන් කියා තිබෙන්නේ ” කතමන්ච භික්කවේ මරණ යන තේසං තේසං සන්තානන්, තම්හා තම්හා සත්ත නිකාය චුති චවනතා” යනාදියෙන් මරණය නම් සත්වයාගේ ඒ ඒ සත්ව නිකායෙන් චුතවීමය. මිදීමය යනාදී වශයෙන්ය. මෙයින් පෙනෙන්නේ සත්වයාගේ නොමැරී ඉතිරිවෙන දෙයක් නැති බවය.

    තවද චන්ද රාගය අත්හැර දැමීම පිණිස බුදුන් විසින් දුන් අවසරයකදී “යෝ භික්කවේ රුපස් මින් චන්ද රාගෝ තන් පජහත රුපන් පහීන භවිස්සති” යනාදී සංයුක්ත සන්ගියේ කියමනෙන් පෙනෙන්නේ මේ රුපය ප්‍රහීන වෙනවාය, මුලින්ම සිඳිලා යනවාය, කියා සිත චන්ද රාගය හැර දමන්නට නියම කලාය.

    තවද “යන් කිංචි සමුධය ධම්මා නං නිරෝධ ධම්මං” කිය මහා ප්‍රධාන සුත්‍රයෙහි කිය තිබෙනවාය. එනම් යම් කිසිවෙක් උපදින ස්වභාවයද ඒ නිරුද්ධ වෙන ස්වභාවයයි කියා තිබෙනවාය. තවද “උප්පාදෝ ජාති අක්කා තේන භන්ගෝ තතාව යෝතිච” යන ගාථා දෙපදයේ භංග වෙනවාය කීවේ නැත්තටම නැතිවෙනවාය කීමයි. මෙසේ බුද්ධාගමේ ප්‍රකාරයට මනුෂ්‍යයාට ආත්මයක් නැත. මනුෂ්‍යයාට ඇති සියල්ලම මරණයේදී භංග වෙනවාය.

    මෙසේ වීනම් මනුෂ්‍යයෙකු ද ගෙමදියෙක් බල්ලෙක්, ඌරෙක් අශ්වයෙක් මෙන් ඉපිදී ඒ සතුන් මෙන්ම මැරී යනවාය. ඒ සතුන්ට ඇතිවාට වැඩි දෙයක් මනුෂ්‍යයාට නැත. සියලු තිරිසනුන්ටද ජාතීන්ටද ස්වාමියෙක්ද රජෙක්ද කොට මවන ලද මේ මනුෂ්‍යයා, තිරිසනෙකුට වඩා උත්තම කමක් නැත්තෙක් කොට බුද්ධාගමේ උගන්නනවාය. යන්තම්වත් සිහි කල්පනා ඇත්තෙකුට මේ ඉගැන්වීම පිළිගන්නට පුලුවන්ද? මනුෂ්‍යයා තිරිසනෙක් නම් තිරිසනෙක් සේම නොයිඳ ආගමක් ඕනෑ කරන්නේ මොකටද? තිරිසනුත් බන අසා දිව්‍යලෝකවල උපන්නාය කිය බුද්ධාගමේ කියා තිබෙන නිසා මේ කලටත් තිරිසනුන්ට බන නොකියන්නේ මන්ද? තිරිසන්නු තිරිසන්නු මිස මනුෂ්‍යයා මෙන් නොවන බව සියල්ලන්ටම හැගී යනවා ඇත. එම නිසා මනුෂ්‍යයාට ආත්මයක් නැත කියන බුද්ධාගමේ ඉගැන්වීම දුරලා සැබෑවූ ක්‍රිස්තියානු ආගමේ මනුෂ්‍යයාට නොමරෙන්නාවූ ආත්මයක් ඇතිබව කල්පනාවට ගන්ට යුතුය.

    ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියෙහි එන ගසන ලද වරද කාරයෙකුට “සැබෑවක් මම නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයෙහි සිටිනවා ඇත” යන කීමෙන්ද, “ස්වාමින්වහන්ස මාගේ ආත්මය ගත මැනව” යයි ස්තොන් විසින් කියන ලද කීමෙන්ද කොරින්තිවරුන්ට ලියනලද පළමුවන පත්‍රයේ පස්වෙනි පරිච්චේදයේ තුන්වන පදයේ “මම ශරීරයෙන් දුරුව සිටින නමුත් ආත්මයෙන් ලංව සිටිමි” යනාදී කීමෙන්ද පිලිප්වරුන්ට ලියනලද පත්‍රයේ 1 වන පරිච්චේදයේ 23 වන පදයේ “ශරීරයෙන් වෙන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමග සිටීම වාද හොඳ නිසා” යනාදී කීම් වලින්ද වෙනත් නොයෙක් කීම් වලින්ද මනුෂ්‍යයාට නොමැරෙන ආත්මයක් ඇතිබව ඔප්පු වෙනවාය.

    කුසලාකුසල කර්ම කල තැනැත්තාටම එහි විපාක නොලැබෙන බවත් අන් කෙනෙකුන්ට ලැබෙන බවත් ඔප්පු කිරීම පිණිස කීවේ ” කින් නුකෝ හෝ ගොතම සෝ කරෝති සෝ පටිසන් වෙදියති” යනාදියෙන් කුසලාකුසල කර්ම කර්ම කල තැනැත්තේම එහි විපාක විදින්නේයැයි සිතීම එක අන්තයකය කියා බුදුන් කියා තිබෙනවාය.

    ඇරත් “අත්ති කෝ චි සත්තෝ ඉමං ආකායා – අඥඥන් කයන් පටි සන්කමති” – මේ කයින් අන් කයකට යන්නාවූ යම් සත්වයෙක් යම් කිසිවක් ඇත්දැයි මිලිඳු රජු ඇසූ කල්හි “නහි මහා රාජ ඉමිනා පන මහා රජ නාම රුපෙන කම්මන් කරෝති සොභානන්ව පාප කාංච තේන කම්මෙන අග්නන් නාම රුපන් පටිසන් දහති ති” එනම් නැවත මහරජ මේ නාම රුපය විසින් සොභානවූ හෝ පාපිෂ්ටවූ කර්ම කරනවාය. ඒ කර්මයෙන් අනික් රුපයක් පිළිසිඳ ගන්නවායි නාගසේන විසින් උත්තර දුන්නාක් මෙන් පෙනී යනවාය.

    ඇරත් “අතීත භවේ කම්ම පච්චයෙන නිබ්බත්තා” යනාදී පාඨයෙන් අතීත භාවයේ කර්ම ප්‍රත්‍යයෙන් උපන්නාවූ ස්කන්ධයෝ එහිම නිරුද්ධ වෙනවාය. අතීත භාවයෙන් මේ භවයට පැමිණියාවූ එකම දෙයක්වත් නැත කියනවාය .

    ඇරත් “සත්තෙන කථා කම්ම පච්චයානුභාවෙන අනුපච්චින්නා කිලේස ” යනාදී පාඨයෙන් ද සත්වයා විසින් කරන ලද කර්ම ප්‍රත්යානුභාවයෙන් නොසන්සිදී පවතින්නාවූ ක්ලේශ බලයෙන් නියම කරන ලද්දාවූ අනික් නාම රුපයෙක් පහල වෙයි, කියා තිබෙන හෙයින්ද, ඇරත් ජාතියේදී එනම් ඉපදීමේදී ස්කන්ධ සම්පුර්ණයෙන්ම පහළවෙන බව “කතමන්ච භික්කවේ ජාතියාච තේසං තේසං සන්තානන්” යනාදී සංයුක්ත සගියේ ද මහා සතිපට්ඨාන සුත්‍රයේද වෙනත් බොහෝ තැන්වලද පෙනෙන පාඨයන්ගෙන්ද, ස්කන්ධ හා ආයතන “උප්පත්ති ඛණේ පාතු භවති” යන මේ පාඨ කැබැල්ලෙන්ද පෙනෙනවාය.

    මෙසේ සත්වයාගෙන් කිසිම ස්කන්ධයක්වත් ආයතනයක්වත් අන් තැනකින් එන්නෙවත් යන්නේවත් නැත. සත්වයා මැරෙන කල සම්පුර්ණ සත්වයාම මැරෙනවායයි පැහැදිලිව කියා තිබෙනවාය. මේ ඉගැන්වීම සැබෑය කියා යමෙක් විසින් පිළිගනිතොත් මනුෂ්‍යයා විසින් තමාගේ සම්පත් වියහියදම් කරගෙන කුසලයයි සිතා නොයෙක් දේ කරතත් ඒ කරන දෙයින් විපාකයක් තමන්ට නොලැබෙන බව තේරුම්ගන්නට යුතුය.

    ඇරත් මේ ඉගැන්වීම සැබෑය කියා පිළිගන්නවානම් අවකල් ක්‍රියා කර අසත්පුරුෂයන්ට තමන්ගේ පාප ක්‍රියා වැඩි දියුණු කිරීම පිණිස මීට වඩා උපකාරයක් වෙන නැති බව පැහැදිලි වෙයි. ලෝකයේ මිනී මැරීම සොරකම් කිරීම ආදී නපුරු ක්‍රියා කරන්නෝ ඒ ක්‍රියාවන්ගේ විපාක ඇති බව දන්නවය. නමුත් ඒ විපාක තමුන්ට නොව අන්‍යයන්ට ලැබෙනවාට ඒ අසත්පුරුෂයෝ අකමැති නැත.

    ඇරත් වරදක් කළාවූ කෙනෙකුන්ට මිස වරද නොකළ කෙනෙකුන්ට දඬුවම් කිරීම ලෝකයේ කිසිම් මාර්ගයකට එකග නැත මෙසේ තියෙද්දී මේ ආකාර සත්පුරුෂ ක්‍රියා වලක්වා අසත්පුරුෂ ක්‍රියා වැඩිදියුනුවීමට ආධාරව ධහම් උගන්නන ආගමක් සැබෑ වෙන්ට යුතුද?

    බුදුන් විසින් මධ්‍යම ප්‍රතිපදාවක් දෙෂනා කලාය කියමින් නොයෙක් උපමා වලින් ඒ බව දක්වන්ට බුද්ධාගන්කාරයෝ උත්සාහ කරත්. මේ ගැන උපමා වලින් ප්‍රයෝජන නැත. ඒ සුදුසු තැනදී පෙන්වන්ට යෙදෙනවා ඇත.

    (මෙසේ කියා යහපත් සේ කෝලාහල නැතුව අසාගෙන සිටි සමුහයාට ස්තුති කොට කථාව හමාර කාලය. )
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    2වෙනි කතාව
    (වර්ෂ 1873 අගෝස්තු මස 26 වෙනි දින උදය 9 පටන් 10 දක්වා

    මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ කල පිළිතුරු කතාව )


    මෙපමණ වෙලා මෙම දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා බොහෝ ආකුල සහිතය. එම නිසා මෙහි රැස්ව සිටින සමුහයාට මොහුගේ කතාව තේරෙන්ට ඇත කියා මට සිතන්ට බැරිය. බුද්ධාගමට විරුද්ධව බුද්ධ දෙසනාවෙන් ගෙන හැර දැක්වූ පාඨ කැබලිවල අර්ත්යක්වත් අදහසක් වත් මේ සමුහයට තේරෙන ලෙස මේ සභාවේ ප්‍රකාශ කලෙත් නැත. නමුත් මොහුගේ කතාවෙන් එකම අභිප්‍රාවක් තේරුම් ගියාය.

    එනම් “සත්වයාගේ මරණයේදී මේ පංචස්කන්ධය මෙතනම නිරුද්ධ වන නිසා පරලොව උපදින සත්වයා අන්‍ සත්වෙයක” යන මේ අභිප්‍රාය පමණක් මෙහි සිටින සමුහයාගෙන් ස්වල්ප දෙනෙකුට තේරුම් යන්ට ඇත කියා සිතමි. එම නිසා ඒ ගැන උත්තර දීම මගේ යුතුකමකි.

    සත්වයාගේ මරණයේදී පන්චස්කන්දයෙන් කිසි දෙයක් පරලොව යන්නේ නැත කියා බුද්ධ දේශනාවේ තිබෙනවා සත්තකය. මේ පන්චස්කන්දයෙන් කිසි දෙයක් පරලොව යන්නේ නැති නමුත් මේ සත්වයා නිසා පරලොව උපදින සත්වයා අනෙකක් නොවේය. ඒ බව මම ඉතා කඩිනමින් ඔප්පු කරමි.

    බුදුන් වදාළ පංචස්කන්ද ධර්ම කොට්ටාශය ඉතා ගැඹුරුය. එය තිබෙන්නේ පාලි භාෂාවෙන්ය. මේ පාදිලි තැන පාලි භාෂාව මනාව දත්තෙක් නොවේය. ඒ නොදත්කම කරන කොටගෙන බුද්ධ දේශනාව අන් ආකාරයකට පෙරලා හිතට ගෙන මෙපමණ වෙලා කල කතා සියල්ල නිෂ්ඵලය. මොහුගේ පාලි දැනීමේ තරම මේ සමුහයාට තේරුම් කර දීමට මට හොද කාරණයක් ලැබී තිබේ. එනම් මේ පාදිලි තැන විසින් සාදපු මේ “ග්‍රන්ථ සේඛරය” . කියන පොතය. ඒ පොත මෙන්න. මේ පොතේ පේලි හතරකින් යුතු සුළු පාලි වාසගමක් තිබේ. අලුත් තෙස්තමේන්තුවේ තිබෙන අභිප්‍රායක් පාලියට නගා මීට ඇතුලත්කර තිබෙන බව මේ පොතෙන්ම පෙනේ. පේලි හතරකින් යුතු මේ වාසගමේ මුල පේලියේම කීප පලක වැරදි තිබේ. එයින් පළමුවෙනි වැරැද්ද “තවනා මොප විත්තෝ හොති ” යන පදයෙහි බොහොම ලොකු මහප්‍රානයක් යොදා තිබීමයි. “පවිත්තෝ” කියා මිස ” පවිට්ඨෝ” කියා පාලි වචනයක් නැත. තවද “තවන්න් මෝ” යන තැන පුරුෂ ලිංගිකව යෙදුවත් වැරදිය.මෙබඳු සුළු වාසගමක් මෙපමණ වැරදි සහිතව යෙදු නිසා මේ පාදිලි තැනගේ පාලි දැනීමේ තරම මෙයින්ම තේරෙයි. පාලි ව්යාකරනාදිය ගැන මා විසින් ගෙන හැර දැක්වූ කාරනා මේ සමුහයාට තේරුම් ගන්ට නුපුළුවන් නමුත් මෙහි දැනට පැමිණ සිටින පාලි භාෂාවේ අති දක්ෂ සමර්ථ ස්ථවිරයන් වහන්සේලා දනිති. එනිසා මේ ගැන විනිශ්චය උන් වහන්සේලාට භාර දෙමි. මෙපමණ සුළු පාලි වාසගම් කැබැල්ලක්වත් හරියට යොදා ගන්නට බැරි මෙම පාදිලි තැන ගාම්භීර වූ පංචස්කන්ධ ධර්ම කොට්ඨාසය තේරුම් කරගන්ට ගිය එක පණ්ඩිතයන්ට විහිළුවක් කොට පෙනේ.

    පංචස්කන්ධය කියන්නේ ” රුප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සඥ ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය යන පසය. එහි රුප ස්කන්ධය කියන්නේ අපේ ඇසට පෙනෙන මේ රුපය නම් වේ. වේදනා ස්කන්ධය කියන්නේ සැප දුක් වැටහීමය. සත්වයාගේ මරණයේදී රුප ස්කන්ධය හෙවත් මේ ශරීරය මෙතනම නවතින බවත් එය සොහොන් භූමියකට ගෙන ගොස් වලලා දමන බවත් මෙහි සිටින සියල්ලෝ දනිති. වේදනා ස්කන්ධය කියන ලද සැප දුක් වැටහීම සත්වයාගේ මරණයේදී මෙහිම නිරුද්ධ වෙනවාය. එයිනුත් පරලොවට යන්නට දෙයක් නැත. මෙසේ අනිකුත් ස්කන්ධයන ගෙනුත් සියල්ල මෙහිම නිරුද්ධ වෙනවා මිස එයිනුත් කිසි දෙයක් පරලොව යන්නේ නැත. මේ පංච ස්කන්ධය මෙහිම නිරුද්ධ වීම සමග මේ සත්වයා නිසා පරලොව උපදින සත්වයා අනෙකෙකු නොවේය.

    මේ සත්වයාගේ ආත්මය මෙයින් පිටත්ව ගොස පරලොව උපදිනවා නම් ස්වර්ගයේ සිටින්නේත් මනුෂ්‍යයෝම වෙන්ට ඕනෑය. මක් නිසාද මනුෂ්‍යයාට ඇති ආත්මයට මනුෂ්‍ය ආත්මය යයි කියනයවය. එම මනුෂ්‍ය ආත්මයම මෙයින් පිටත්ව ගොස් ස්වර්ගයෙහි නැවතුනොත් ස්වර්ගයෙහි සිටින්නේ මනුෂ්‍යයෝ බවට කිසි සැකයක් නැත මේ පාදිලි උනන්නාන්සේ මෙහෙන් පිටත්ව වැල්ලවත්තට ගියාට මුන්නැහෙ වෙන ඇත්තෙක් වෙන්ට බැරිය. මෙහිදී මුන්නැහෙට ව්‍යවහාර කරන නාමයම එහිදීත් ව්‍යවහාර කරනවා සත්තකය එමෙන්ම මේ ආත්මයම මෙයින් පිටත්ව ගමන් කර පරලොව යනවා නම් ස්වර්ගයෙහි සිට්ටින්නේත් මනුස්යයෝමය.

    තවද මේ පන්චස්කන්දයෙන් කිසිවක් පරලොව නොගොස් මේ සත්වයා නිසා පරලොව උපදින සත්වයා අන්‍ය සත්වයෙක් නොවන බව ඔප්පු කරන්ට තව වැදගත් සාක්ෂියක් තිබේ. එනම් මගේ අතේ තිබෙන බයිබලයය. මොසෙස් ආදී අයවලුන් විසින් ලියු මේ බයිබලය නම් පොතය. නමුත් මෝසෙස් ආදී අයවලුන් විසින් ලියුවේ මේ පොතම නොවේය. ඒ අයවලුන් විසින් ලියුවාය කියන මුල් පොතෙන් වෙන පොතක් ලියුවාය. ඒ පොතෙන් තව පොතක් ලියුවාය, මේ ක්‍රමයෙන් අතින් අතට ලියාගන එන පොත්වලට මුල් පොත්වල තිබුණු අකුරුවත් කොලවත් ගැලවී ආවේ නැත. එසේ නොආමුත් ඒ මුල් පොතේ තිබුණු අදහස්ද වගන්තිද මේ බයිබලයේ තිබේ. එසේම මේ සත්වයාගේ මරණයේදී මෙයින් යමක් පරලොව නොගියත් මේ නිසා උපදින සත්වය අනිකෙක් නොවේ. ඒ බව පිරිසිදුව ඔප්පු කිරීම සඳහා තව වැදගත් සාක්ෂියක් තිබේ ඒ මනාව ඇසිය යුතුය

    “වච පුග්ගලෝ සන්ධාවතී අස්මාලොකන් පරං ලෝකා – පරස්මා ලෝක ඉමන් ලෝකන්ති ආමන්තා – අත්ත කොචි මනුස්සෝ හුතා දෙවොහොතීති – මිච්චයවෙහි සන්දාවතී සේවච පුග්ගලෝ- ඉතෝ චුතෝ පරලොකම් අනඥා හෙවම් මරණන් න හොතිති- පානාති පාතොපි නූප ලබ්භති”

    යන මේ පාඨය අභිධරම් පිටකයෙහි කතා වස්තු ප්‍රකරණයෙහි තිබේ. මෙයින් හැගෙන්නේ මෙලොවින් පරලොවට පරලොවින් මෙලොවට එම පුද්ගලයාම නොයන බවය. මනුෂ්‍යකු හෙවත් මනුශ්‍යකුගේ ආත්මය මේ ශරීරයෙන් පිටත්ව දිව්ය ලෝකයකට යනවා නම් දිවය ලෝකයේ සිට් න්නෙත් මනුෂ්‍යයෝම වෙන්ට ඕනෑය. එසේ නොව දිව්‍යලෝකයේ සිටින්නේ දෙවියෝ නම් මනුෂ්‍යයෙක් දිව්‍යලෝකයට යනවාය කියා සිතීම අතිශයෙන් වැරදිය. මක්නිසාද මනුෂ්‍යයාගේ ආත්මයට මනුෂ්‍ය ආත්මය යයි කියති එම මනුෂ්‍ය ආත්මය හෙවත් මනුෂ්‍ය ප්‍රාණය මේ ශරීරයෙන් නික්ම දිව්‍යලෝකයට යනවානම් එහි දිව්ය ආත්ම නැතුවා සත්තකය. තවද මේ ශරීරයෙන් පිටත්ව පරලොව ගමන් කරන නොනහින ආත්මයක් මනුෂ්‍යයාට තිබෙනවානම් මනුෂ්‍ය ඝාතනයක් හෙවත් මිනී මැරීමක් නොහොත් ප්රානඝාතයක් යමෙකුට කරන්ට බැරිය. මක් නිසාද නොනහින ආත්මයක් හෙවත් පරානයක් මනුෂ්‍යාට තිබෙනවා යයි කියන නිසාය.

    තවද සත්වයාට ක්ෂණික මරණය යයි පරලොව යන මරණය යයි කියා දෙකක් වෙයි. ජීවත්වෙන සත්වයින්ට සිත් ඉපදීමද නැසීමද ක්ෂණ යෙහිම වෙයි. පළමු උපන් සිත නැසුනායින් පසුව උපදින සිත මුලින් උපන් සිත නොවේ. මේ අන්දමට සිත් ආදිය ඉපිද ක්ෂණ, ක්ෂණයෙහි නැසී යාම ක්ෂණික මරණය වෙයි. සත්වයාගේ රුප ස්කන්ධයත් මෙසේම ක්ෂණ ක්ෂණයෙහි ඉපිද නසින්නේය.

    හේ කෙසේද සත්වයාගේ ශරීරය කොටස් 32 කින් යුක්තය. එයින් හිසකේ පළමුවෙනි කොටස වෙයි. හිසකේ වල නිතරම ඉපදීමක්ද නැසීමක්ද තිබේ. ඒ බව තේරුම් යාම පිණිස මදක් කාරනා කියමි. හිසකේ සුමානයකට අඟල් භාගයක් පවන වැඩෙන්නේය. ඒවා අගින් කැඩී කැඩී යාමෙන් නිතර නැතිවන්නේය. එසේ නොව වැඩෙන වැඩෙන පමණ හිසකේ කැඩී යාමෙන් වත්, කපා දැමීමෙන් වත් නැතිවෙන්නේ නැතිනම්, අවුරුද්දක් තුල වැඩෙන හිසකේ සියක් රියනක් පමණ වන්නට බැරි නැත. එසේ නොව හිසකේ වඩන ඇත්තන්ගෙන් හිසකේ කොටව තිබෙන්නේ, අගින් සිඳී සිඳී යන නිසාය. දැනට අපේ මේ තිබෙන හිසකේ කුඩා කාලේ ආ ඒවා නොවේය. ශරීරයේ අනිකුදු කොට්ටාශයන් ද මෙසේම ඇතිව නැතිවීමෙන් පවතින්නේය. රුප ස්කන්දයට ඇතුලත් කොට්ටාශයන්ද මෙසේ ක්ෂණික මරණයට ඇතුලත් වෙයි. සත්වයා මැරෙන කාලයෙහි ඉන්ද්‍රිය සිදී පරලොව ඉපදීම ජීවිතේන්ද්‍රිය සිදෙන මරණය වෙයි. සත්වයාගේ මැරීමේදී පළමු සිත් නැති පසුව සිත් උපදින්නේ වී නමුත් සිත් පරම්පරාව කඩ නොවන නිසා පරලොව උපදින්නේ අනෙක් නොවේය.

    ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වීම් වල අන්දමට සත්වයාට නොනසින ආත්මයක් තිබෙනවා නම් ඒ ආත්මයම පරලොව යනවා නම් ඒ ඒ ආත්මය කොයි ආකාර එකක්ද? ලීයක් වාගෙද? ගෙඩියක් වාගෙද? කිකිළි බිජුවක් වාගෙද? කියා ක්‍රිස්තියානි පක්ෂයෙන් අපට තේරුම් කර දෙන්ට ඕනෑය. එසේ තේරුම් කර දෙන්ට බැරිවුණි නම් නම් පරලොව ගමන් කරන්නාවූ ආත්මයක් නැති බව එයින් ඔප්පු වෙයි.

    තවද නොනහින්නාවූ මේ ශරීරයෙන් පිටත්ව පරලොවට යන්නාවූ වස්තුවක් හෙවත් ආත්මයක් තිබෙනවාය” කියා මේ පාදිලි තැන කීවා මේ සමුහයාට ඇසෙන්නට ඇත. මේ පාදිලි තැන කියන අන්දමේ ආත්මය හෙවත් ප්‍රාණය හුළඟ සමාන ද්‍රව්‍ය වූ වස්තුවක් උනත් එය පරලොව යන්ට නොදී නවත්වන්ට පුළුවන. හේ කෙසේද – මරණාසන්න වූ සත්වයෙක් ඝන වූ ලෝහ භාජනයකට ඇතුල්කොට වසා ඊට පිටින් හුළඟ නොයන ලෙස ඊයන් ගා තැබුවේ නම් එහි තුල ඉන්නා මනුෂ්‍යා මරුනායින් පසු ඔහුගේ ප්‍රාණය ශරීරයෙන් පිටත්ව පරලොවට ගමන් කරන එකක් නම් යන්ට අවකාශයක් නැති නිසා එහිම නවතින්ට වනවා සත්තකය. එසේ නොනැවතී පරලොව යනවාය කියනවනම් ශරීරයෙන් පිටත්ව පරලොව ගමන් කරාන්නාවූ වස්තුවක් නැති බව මෙයින් පැහැදිලිව ඔප්පු වේ.

    පරලොව යන සත්වයා ගැන අපට උගන්වා තිබෙන්නේ ” නච සෝ නච ආඥ ඥෝ” කියාය. ‘නච සෝ’ කීමෙන් ඒ ඇත්තා නොවෙයි කියන්න වාගේම ‘නච ආඥඥෝ’ කීමෙන් අනේකෙක් නොවේ කියා අනෙක් අතටත් ඔප්පු වේ. මේ ආදී බොහෝ කාරණා වලින් මෙලොව ජීවත් වන සත්වායම වෙනස් නොවී පරලොව යන්නේ නැති බවත් ඒ සත්වයාගේ සිත් පරම්පරාවෙන්ම පරලොව උපදින නිසා අනකෙක් නොවන බවත් පෙනෙයි. මේ නිසා කර්ම කල ඇත්තාම නොව අනෙකෙක් පරලොව දුක් සැප විදිනවාය යයි මේ පාදිලි තැනගේ කීම අතිශයින්ම වැරදිය. මේ ගැන තවත් කියන්ට කාරනා තිබේ. ඒවා මත්තට දක්වමි. ” කියා බුද්ධාගමට විරුද්ධව කතා කල පාදිලි උන්නාන්සේ කල කථාවට මෙසේ උත්තර දී ඉක්බිති ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වන්නට පටන් ගත්තාය.

    මීට ඉහත පැයේදී බුද්ධාගමට විරුද්ධව කතා කල මේ පාදිලි තැනගේ කතා සියල්ල මගේ කතාවෙන් බිද වැටුනා සත්තකය. එසේ වුවද තවත් ඒ ගැන කියන්ට බොහෝ කාරනා තිබේ. ඒවා ඉදිරියට මට ලැබෙන පැයකදී කියමි. මේ පය තුල කතා කරන්නට මට කාලය තිබෙන නිසා ඒ කාලය ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වාදීමට ඉතිරිකර ගතිමි.

    ක්‍රිස්තියානි ආගම සැබෑවූ ආගමක් නොවේය. ඒ ආගම අදහා කිසිවෙකුට පරලොව ගැලවෙන්නට බැරිය. ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වාදීමට කියන්ට තිබෙන කාරනා බොහෝය. එය අසුව මැනව.

    -නික්මයාම- 205 පදේ ක්‍රිස්තියානි කාරයෝ “දෙවියෝය” කියා විශ්වාස කරන යෙහොවාට “ජ්වෙලිත වූ දෙවි කෙනෙක” කියා සිංහලට පිටපත් කර තිබේ. “Jealous God” කියා ඉංගිරිසියෙන් තිබෙන වචනය සිංහලෙන් “ජ්වෙලිත වූ දෙවි කෙනෙක” කියා තේරීම හාත්පසින්ම වැරදිය. “ජ්වෙලිත” යන වචනයේ “දිලිහෙන්නාවූ හෙවත් බබලන්නාවූ” යන අර්ථයක් ඇත්තේය. “Jealous” යන ඉංගිරිසි වචනයට එබදු අර්ථයක් කියන්ට බැරිය. එයට ඊර්ශාවන්තවූ කියා අර්ථයක් තිබේ. “Jealous” යන වචනයට එම අර්ථය කීවානම් හරිය. “ඊර්ශාවන්තවූ දෙවි කෙනෙක” කියා කීවොත් මිනිසුන් රවටන්ට බැරි නිසා මෙසේ කලායයි සිතමි. මෙසේ වංචාවෙන් මිනිසුන් රවටා තමන්ගේ ආගමට හරවා ගන්ට උත්සාහ කිරීම ක්‍රිස්තියානි ඉගැන්නුම් කාරයන්ගේ සිරිතය. ඒ බව ඔප්පු කරන්නට මට වැදගත් සාක්ෂි තිබේ. එනම් – ක්‍රිස්තියානිකාරයෝ විශ්වාස කරන දෙවියන්ට කල්කටාවෙදී ව්‍යාවහාර කරන්නේ “ඊශ්වර” කියාය. ඒ බව “ඊශ්වරික සුතේ කෘෂ්ඨ” යන ශ්ලෝක පදයෙන් පෙණේ. කල්කටා වාසී හින්දු මනුෂ්‍යයෝ . ඊශ්වරයාට ගෞරව කරන්නෝය. ඒ නිසා එම රටේදී “ඊශ්වර” කියා ව්යාහාර කාලය. මේ රටේ සිංහල මනුෂ්‍යයෝ දෙවියන්ට බොහෝසේ ගෞරව කරන්නෝය. එම නිසා මේ රටේදී යෙහොවාට “දෙවියෝ” යයි ව්‍යවහාර කරනවාය. මේ අන්දමේ වංචා තේරුම් ක්‍රිස්තියානි ඉගැන්නුම් කාරයෝ අතර පවතිනවා සත්තකය. මෙබදු වංචා තේරුම් කරන්නේ එයින්වත් තමන්ගේ ආගමට වාසියක් ලබාගන්නට පිළිවන යන අභිප්‍රාවෙන්ය.

    තවද ක්‍රිස්තියානු ඉගැන්නුම් කාරයෝ තමන්ගේ බයිබලයේ තිබෙන සමහර වචන ඒ ඒ ස්ථානවලින් අරන් දමනවාය. ඒ බව ඔප්පු කරන්ට මට වැදගත් සාක්ෂියක් තිබේ. එනම් ලෙවි කතාවේ 17.6 පදේ “මිථ්‍යාචාරයෙන් ක්‍රියාකළ යක්ෂයන්ට ඔවුන් තවත් පුජ නොකරන්නෝය” කියා 1840 යෙදී මේ පාදිලි තැනගේ සමාගමෙන් ප්‍රසිද්ධ කරපු සිංහල බයිබලයෙහි තිබේ. ඉන්පසු එම සමාගම විසින්ම ප්‍රසිද්ධ කරපු සිංහල බයිබලයේ ඒ පදේ එතන ඇත්තේ නැත. මේක වන්චාවක්ය. කියා සිතන්ට කාරනා තිබේ. යක්ෂ පුජාවල් කිරීම ක්රිස්තියානිකාරයන්ගේ සිරිතක් බව හැගෙනවාට මේ පදේ මෙතනින් අරන් දැම්මා වෙන්ට ඇත. මේ අන්දමින් හිතෙන හිතෙන වෙලාවල් වලදී බයිබලය වෙනස් කිරීම රෙපරමාදු ක්‍රිස්තියානු කාරයන්ගේ සිරිතක්ය. රෝමානු ක්රිස්තියානුකාරයන්ට මෙහිදී ස්තුතියක් දෙන්ට වටී. මක්නිසාද ඔවුන් කවර කලකවත් බයිබලය වෙනස් කරන්නේ නැත. ඒ නිසා ඔවුන්ට ස්තුති කරමි. මෙයින්ද ක්‍රිස්තියානි ආගමේ තිබෙන අසත්‍යතාවය පෙණේ.

    ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වන්ට නට තවත් වැදගත් සාක්ෂියක් තිබේ.එනම් – උත්පත්ති 6-6 පදේ “මනුෂ්‍යයා මැවූ බැවින් තැවුණු සේක” කියා තිබේ. මේ කනගාටුව යෙහොවාට ඉපදිලා තිබෙන්නේ මනුෂ්‍යා මැවූ නිසාය. මත්තට කනගාටු උපදින ක්‍රියා කරන්නේ කිසිවක් නොදන්නා මෝඩයෝය. “සියල්ල දන්නා දීව්‍ය ඥානයක් තිබෙනවාය” කියන මැවුන් කාරයා තමන්ට සෝක උපදින ක්‍රියා කරන එක මහත් විහිලුවක්ය. මෙයින් යෙහොවාට මත්තට වෙන ක්‍රියා පෙන ඥානයක් නැති බව පිරිසිදු ලෙස ඔප්පු වෙයි. මෙබදු කෙනෙකුට “සර්වප්‍රාක්‍රමය” වත් “සියලු බලය” වත් නැත. ඉතින් මේ අන්දමේ කනගාටු උපදින ක්‍රියා කල දුර්වල කෙනෙක් “මැවුන් කාරයා”ය “සියලු බලය ඇත්තාය” කියා විශ්වාස කිරීම කිසිසේත් යුතු නැති බව සියල්ලන්ටම හැගීයනාවා ඇත.
    මේ සියලු දෙනාටම ක්‍රිස්තියානු ආගමේ අසත්‍යතාව වැටහීම පිණිස කියා දෙන්ට තවත් වැදගත් කාරණයක් තිබේ. එක මීට ප්‍රථමයෙන් ක්‍රිස්තියානු ආගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරනා වලට වඩා සියල්ලන්ටම තේරුම් ගැනීමට පහසු එකක්ය.

    එනම් – නික්ම යාම 12,23 පදේ මෙසේ තිබේ.”යෙහෝවා වහන්සේ මිසර වාසීන්ට පහර දෙන පිණිස ගොස් උළුවස්සේ උඩ පඩි කදෙහි ද කණු දෙකෙහිද ලේ දැක දොර ඉක්මවා යන සේක” යනුයි. මෙයින් හැගෙන්නේ ඊශ්‍රාලිතවරුන්ගේ ගෙවල් හදින ගැනීමට යෙහොවාට ලකුණක් නැතිව බැරිවූ බවය. කනෙකුට ගමන් කරන්නට කන වැල ඇල්ලීමට කෙනෙක් ඕනෑ කරන්නාක් මෙන් මෙතනදී යෙහොවාටත් ගෙවල් හදින ගැනීමට ලකුණක් ඕනෑකල බව පෙනේ. මෙබදු කෙනෙකුට දෙවියා ය කියන්ටත් සියල්ල දන්නා ඥානයක් ඇත කියන්ටත් තිබෙන යුතුකම මොකක්ද? මේවාට අපේ මේ මිත්‍රයා “ක්‍රිස්තුස් ගේ මරණයට මේක ලකුනක්ය” කියා විහිලු උත්තරයක් දෙනවා ඇත. ක්රිස්තුස්ගේ මරණයේදී ලේ ගැලීමක් සිද්ධවුණේ නැත. එම නිසා එබදු ලාමක උත්තර දීලා මෙයින් බේරෙන්නට මම ඉඩ දෙන්නේ නැත.

    තවද – යෙහොවාට සියල්ල දන්නා දිව්‍ය ඥානයක් නැතිබව ඔප්පු කරන්ට තවත් වැදගත් කාරණයක් දක්වමි. එය මනාව ඇසිය යුතුය. නික්මයාම -4,6 පදේ “පළමුවෙනි හාස්කම විශ්වාසනොකලොත් දෙවෙනි හාස්කම විශ්වාස කරන්නේය” යනාදී කියමනක් තිබේ. මෙයින් හැගෙන්නේ යෙහොවාට මේ ක්‍රියාවේදී අනුමාන තිබුණු බවය. එසේ අනුමානයක් නොතිබුනානම් “පළමුවෙනි හාස්කම විශ්වාසනොකලොත් දෙවෙනි හාස්කම විශ්වාස කරත” කියන්ට කොහෙත්ම යුතුකමක් ඇත්තේ නැත. මෙයිනුත් යෙහොවාගේ සියල්ල දක්නා දිව්‍ය ඥානයට පලුදු විය.

    තවත් – ක්‍රිස්තියානු කාරයෝ විශ්වාස කරන යෙහොවට සියලු බලේ නැති බව පෙන්වීමට වැදගත් කාරණයක් තිබේ. එනම්- විනිශ්චය, 1,18 පදේ මෙසේ තිබේ. කෙසේද යෙහොවාවහන්සේද යුදා සමග සිටිනසේක. ඔහුද කන්දේ වැසියන් අඹේව්වේය. එහෙත් තැන්නේ වැසියන්ට යකඩ රථ තිබුන නිසා ඔවුන් අඹවන්ට නොහැකිවිය.” කියා තිබේ. මෙතනදී හොවා යුදා සමග සිටගෙනත් යකඩ රථ තිබුන නිසා ඔවුන් පරාජය කරන්ට බැරිවූ බව පැහැදිලිව පෙනේ. ඉතින් ක්‍රිස්තියානි කාරයෝ යෙහොවට සියලු බලේ තිබෙනවය කියා විශ්වාස කිරීම කොපමණ ලාමකද? යකඩෙට බයවෙන්නේ කව්ද කියා සිංහල මිනිස්සු හොදාකාරව දන්නවා ඇත. එක ගෙදරක හිටලා තවත් ගෙදෙරකට රාත්‍රියක යම් කෑම වර්ගයක් ගෙන යන විට එකේ යකඩයක් තබාගෙන යාම බොහෝ සිංහල මනුස්යයන්ගේ සිරිතකි. තවද කසායක් උනුකරන කොට කසාය හැලියේ යකඩයක් බැදීමත් සිංහල මනුෂ්‍යයන්ගේ සිරිතකි. මේවා මෙලෙස කරන්නේ යකුන්ගෙන් පැමිණෙන දොස් නැති කිරීමටය. ඉතින් යෙහෝවා යකඩෙන් භය වූ නිසා ඔහු කව්ද? කියත් ක්‍රිස්තියානි කාරයන්ගේ ඇදහිල්ල මොකක්ද? කියත් මම විස්තර නොකලාට මේ සමුහයාටත් තේරුම් ගන්ට බැරි නැත. එනිසා මේ ගැන කරන කතාව මෙයින් නවත්වමි.

    තවද – ක්රිස්තියනිකරයින්ගේ දෙවියන්ගේ තරමත් ඒ දෙවියෝ කව්ද කියාත් සිතන්ට තව හොද කාරියක් පෙන්වමි. නික්මයාම 4.24 පදේ “ඔහු යනකල නවතන්හිදී යෙහෝවා වහන්සේට ඔහු සම්භවී ඔහු මරන්ට සේව් විට සිප්පොරා තියුණු ගලක් රැගෙන අගේ පුත්‍රයා ජින්න නම්කොට ඒ හම ඔහුගේ පාද මුලයට හෙළ සැබවින් නුබ මට ලෙයින් ස්වාමියෙක යි කීවාය. එවිට උන්වහන්සේ ඔහු යන්ට හැරිසෙක” යන මේ කියමනෙන් ඔප්පුවන්නේ යෙහෝවා හොද මිනිහෙක්කොට තෝරා ගත් මෝසෙස් දෙවනු මරන්ට හැදුවිට මෝසෙස් ගේ ස්ත්‍රී අගේ පුත්‍රයා ජින්න නම් කොට හම යෙහොවාට පුදා මෝසෙස් ගලවා ගත් බවය. මෙහි ජින්න නම් කාලය කීවාම මේ සමුහයට තේරුම් ගන්ට අමරුය. නමුත් එක මීට වඩා සිංහලෙන් මේ සභාවේ මට කියන්ට බැරිය. “ජින්න නම්” කිරීමය කියන්නේ මහම්මත් ආගම් කාරයන් ආගමට ඇතුලත් කරගැනීමට කරන ක්‍රියාව හා සමාන ක්රියාවක්ය. සිප්පොරා තමාගේ දරුවාගෙන් කපු කැබැල්ල යෙහෝවා ඉදිරියට විසිකලයින් පසු මෝසෙස් නොමරා අරිය වගේම මේ රටෙත් යම් මනුෂ්‍යයෙකුට යක්ෂයෙකුගෙන් ලෙඩක් පැමිණිවිට ඒ ඇත්තා එයින් ගලවා ගැනීම පිණිස බිල්ලක් දෙන විට කුකුලෙක් බිලි දෙනවා නම් ඒ කුකුලගේ කරමලෙන් ටිකක් කැප දෙන එක යකදුරන්ගේ සිරිතක්ය. එළුවෙක් බිලිදෙනවා නම් එළුවාගේ කනෙන් ටිකක් කපා යකාට පුදා ලෙඩා යකාගෙන් බෙරාගන්නවාය. එසේම සිප්පොරා කල ක්‍රියාවත් මීට සමාන බව සිහි ඇති කාටත් පෙනේ. ඉතින් ක්‍රිස්තියානි කාරයෝ විශ්වාසකරන යෙහෝවා දෙවි කෙනෙක්ද නැද්ද කියා දන ගැනීමට මේවා වැදගත් සාක්ෂිවේ. දැනට මට ලැබී තිබුණු කාලය අන්තිම වෙන්ට ගිය නිසා මගේ කතාව මෙයින් අත්හිටවන බව මේ සියල්ලෝම දන ගනිත්වා. තවද මට මේ වාද කතාව කරන්ට අද දවසේම සවස් වරුවේ කාලයක්ද ලබන බ්‍රහස්පතින්දා උදය සවස දෙකේ කාල දෙකක්ද ලැබී තිබේ. ඒ කාලවලදී ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වා දීමට තිබෙන වැදගත් කරුණු කියා දෙන්නෙමි. බුද්ධාගමේ තිබෙන සත්යතාවත් එසේම පෙන්වා දෙන බව මේ සියල්ලෝම දැන ගනිත්වා.
    (කියා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේගේ කතාව හමාරකරන්ට යෙදුනාය)
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    3වන කතාව
    (වර්ෂ 1873 අගෝස්තු මස 26 වෙනි දින සවස 3 පටන් 4 දක්වා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් කල කතාව)


    මීට ප්‍රථම කතා කල මගේ විද්ධකාරයා විසින් ග්‍රන්තශේකරය ගැන මට දොස් කීවා කොහෙත්ම හරි නැත. මක්නිසාද – ඒ පොතේ තිබෙන ඒ පාලි වාසගම මා විසින් හැදු එකක් නොවේය. පාලියට නගා බුරුම අකුරෙන් අච්චු ගසා තිබෙන අලුත් තෙස්තමේන්තුවේ ඒ පාලි වාසගම තිබේ. එයින් උදුරාගෙන මා විසින් කල ග්‍රන්ථ ශේකරයට ඒ වාසගම අඩන්ගුකල බව සැබෑවකි. ඒ බව එම පොතේ පිට කොලයේ සදහන්වේ. එපමනටවත් තේරුම් නොගෙන මනට දොස් කී එක හරි නැත.
    තවද ආත්මය යකඩ භාජනයක දමා නවත්වාගන්ට පුළුවනි යන කීමක් මගේ විරුද්ධකාරය කීවා මේ කාටත් ඇහෙන්ට ඇත. විද්‍යුත් බලය (විදුලිය) වාතයට වඩා සියුම්ය. එය කොයි ආකාර භාජනයක දමලාවත් නවත්වන්ට බැරි එකක්ය.

    මේ අර මගේ විරුද්ධකාරයා ඉන්දියාවේ ක්‍රිස්තියානිකාරයන් විසින් “දෙවියන් වහන්සේ” යන වචනය “ඊශ්වර” යන නාමයෙන් පිටපත් කල බවක් කියා ඊට දොස් කීවා. ඊශ්වර යන නාමය “බල සම්පන්නවූ” කෙනෙක යන අර්ථයක් ඇති නමක්ය. ඒ නාමය සියලු බලැති අපේ දෙවියන් වහන්සේට ව්‍යාවහාර කරන කතා අතිශයින් සුදුසුය. ඒ ගැන දොස් කීවේ මගේ විරුද්ධකාරයාගේ නොදනුම් කමින්ය. තවද මගේ විරුද්ධකාරයා, “දෙවියෝය” යන වචනයටත් විරුද්ධව ප්‍රලාප වගයක් දේධෙව්වාය. අප විසින් වන්දනා කරන තැනැත්තාට අපේ භාෂාවෙන් ඊට වඩා සුදුසු නාමයක් ව්‍යාවහාර කරන්ට නැත.

    අපේ දෙවියන් වහන්සේ “ජ්වලිත දෙවි කෙනෙක”යි කියා කීම ගැන මගේ විරුද්ධකාරයා මට දොස් කීම හරි නැත. මක් නිසාද – යම් භාෂාවක වචනයකට එකම අර්ථයක් මිස වෙන අර්ථ නැති කියා කතා කිරීම අඥාන ගෝචරය. වචනයට නා නා අර්ථ තිබෙන්ට පුළුවන. විනය පිටකයෙහි මහා වග්ග කියන පොතේ “පන්දකෝ භික්කවේ නා සේ තබ්බෝ” යි කියා තිබේ. නා සේ තබ්බෝ- යන වචනය ‘නැසිය යුතුය” යි සන්න කරන්ට පුළුවන. එසේවී නමුත් ප්‍රාණඝාතය වලක්වූ බුදුන් විසින් නාසේ තබ්බෝ කී හෙයින් “පණ්ඩකයා උපසම්පදා කලොත් ඔහුගේ සිවුරු කඩා දමන්නට නියම කළා පමනකැයි අපි කියමු. මෙසේ පාලි භාෂාවේ වචනද ඒ ඒ තැනට සුදුසු පරිද්දෙන් කියා යුතුය.

    ලෙවි 17, 3-7 පදේ තිබෙන කාණ්ඩය ඒ තිබුණු තැනින් අන්තරාව වැලැක්වීම පිණිස අන් තැනකට ගෙන ගොස් යොදා තිබේ. බයිබලය සිංහලට පරිවර්තනය කල උත්තමයන්ට ගල් කැටයක් ගසන්ට පුළුවන් සමර්තයෝ ඇත්තේ නැත. මගේ විරුද්ධකාරයා අරන්දම්මාය කියන පදේ බයිබලයේම වෙනත් තැනක තිබේ. පළමුවෙන් කල තුන් සලතුවට වඩා පසුව කල තුන් සලාතුව ඉතා හොදය. එම නිසා මගේ විරුද්ධකාරය බයිබලය පිටපත් කල උත්තමයන් පිටට පටවන්ට යන එම දෝෂය ඒ උත්තමයන්ට ලැබෙන්නේ නැත.
    උත්පත්ති පොතේ 6, වෙනි පදයේ පෙනෙන පශ්චාත්තාපයට මුල්වූ හෙබ්‍රෙව් භාෂාවේ පාවිච්චි කර තිබෙන ‘නොගම’ යන වචනයටද නොයෙක් අර්ථ තිබේ. මෙහිදී ගත යුතු අර්ථය ‘වෙනස්ව ක්‍රියා කරනවාය’ කියාය. මේ ගැන සුධර්ම ප්‍රකරණයේ ඉතා පැහැදිලි ලෙස විස්තරකර තිබෙනවාය” කියා ඒ පොත කියවා පෙන්වා දුන්නා ඇත.
    නික්මයාමේ පොතේ 12, 23 ඊශ්රාලිතවරුන් වාසය කල ගෙවල්වල උළුවස්සේ බැටළු ලේ ගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරනා නිෂ්ඵලය. ඊශ්රාලිතවරුන්විසින් පැවැත්විය යුතු අණක් දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්නාය. මිසර වාසිස්ට දඩුවම් දෙන ලෙස මේ අණ රක්ෂා කල ය රක්ශාවෙනවා ඇත. ඇරත් ඒ නියෝගය ක්රිස්තුස්වාහන්සෙහෙ මරණය දැක්වූ පුරවා ලක්ෂණ නියෝගයක………(පැහැදිලි නැත) .. මාගේ විරුද්ධකාරය විසින් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව අසු ප්‍රශ්නවලට මේ උත්තර සැහෙන නිසා මීට වඩා ඒ ගැන උත්තර දීමට පමා වෙන්ට ඕනැ කරන්නේ නැත. කියා

    (ඉක්බිත් බුද්ධාගමට විරුද්ධව කතා කරන්ට පටන් ගත්තාය )

    මෙතැන් පටන් බුද්ධාගමේ අසත්‍යතාව පෙන්වාදීමට වැදගත් කාරණයක් කියමි. ඒ අසුව මැනවි. බුද්ධාගමේ වැදගත් ඉගැන්වීමක්ව තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්ම කොට්ටාශය වෙයි. ඒ ධර්මය ඉතාම ආකුලය. ඒ බව ඔප්පු කිරීම පිණිස සංයුක්ත සගියේ ඒ ගැන කියා තිබෙන පාඨය කියමි. ” කතමන්ච් භික්කවේ පටිච්චා සමුප්පදෝ අවිජ්ජා පච්චයා භික්කවේ සංඛාරා, සංඛාර පච්චයා විඥානන් යනාදී පාඨයෙන් උගන්වා තිබෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාරද, සංස්කාර නිසා විඥා නයද විඥාණය නිසා නම රුපයද උපදිනවා කියාය. ඉතින් මේ උගැන්වීමේ හැටියට අවිද්‍යාව කියන නොදැනීම කමින් නොහොත් මෝඩ කමින් සංස්කාරයෝ උපදින බවත් සංස්කාරයෝ නිසා විඥානය උපදින බවත් පෙනේ. ආයෙත්මත් විඥානය නිසා නාම රුප උපදින බවත් පෙනේ. නමරුප දෙකට පංචස්කන්ධ ඇතුලත් වේ. පන්චස්කන්දයේදීත් විඥාණස්කන්දයක් පෙන්වා තිබේ. ඉතින් මේ කියමන කොපමණ ආකුලද ? එක තැනක සංස්කාරය නිසා විඥානයක් උපදිනවා කියාත් අයෙත්ම විඥාණය නිසා නම රුපය උපදිනවා කියාත් තිබේ. නාම රුපයටත් විඥාණය අයත් නිසා මේ කියමනෙන් පෙනෙන්නේ ” අප්පා නිසා පුතා උපදිනාවය, පුතා නිසා අප්පා උපදිනවා කීවා වගේය”. බුදුන්ගේ අගේ ඇති ධර්මයක් තමයි. මෙබදු කිසිවෙකුට තේරුම් ගන්ට බැරි කිසිස්සේත් නොගැලපෙන ධර්මයක් සැබැය කියා සිහි ඇති කවරෙක් නමුත් පිලිගන්නවා ඇත්ද?

    තවද – නාම රුප දෙදෙනා ප්‍රත්‍යකොට සලායතන (එනම් ඇස්, කන්, නාසා ආදිය) පහල වෙනවාය කියනවය. ඒ කීම සැබනම් සත්වයා, ඇස්, කන්, නාසාදිය නැත්තෙක් වෙන්ට ඕනැය. මෙසේ ඇස්, කන්, නාසා ආදිය නැති නාම රුප දෙකක් තිබෙනවාද? මීට වඩා පැටලවිලි අවුල්කිරීමක් වෙන තිබෙන්නට පුලුවන්ද? ඊලගට ආයතනයන් ප්‍රත්‍යක්ෂ කොට ස්පර්ශය වෙනවාය, මේ ස්ඵර්ෂයන් චක්ෂු ශ්‍රෝතයන්ගේ ස්ඵර්ශයයි. “ඇරත් කතමන්ච භික්කවේ නාම රුපන්” යනාදී කියමනක් සංයුක්ත සගියේ තිබේ. ඒ කියමනේ හැටියට ස්ඵර්ශය නාමයට අයිති බව පෙනේ. මේවා එකක් සැබෑ නම් අනික බොරු බව පෙනේ. මෙහෙම පටලැවිල්ලක් අනික් මිනිහෙකුට වුනාය කියා සිතන්ට පුලුවන්ද?
    “මේ ධර්මය ඝම්භීරය දකින්ට අමාරුය” කී පමණින් පිළිගන්ට කැමති තැනැත්තා ට එහි අමාරුකමක් පෙනී යත්ත මේ එකිනෙකට විරුද්ධ වූ මහා පටලැවිල්ලක් ගෙන පවාම අපරික්ෂාකාර බුද්ධාගම්කාරයන්ට ගොචරවා මිස “ඥාන ලෝකයට කැමති තැනැත්තා” පිලි නොගනී. තවද ” ඵස්ස පච්චයා වේදනා”- ස්ඵර්ශය ප්‍රත්‍ය කොටගෙන වේදනාව උපදිනවාය යන කීමත් එසේම අවුල්ය. මක්නිසාද – නාම රුප දෙක සදුන තැනදී නාමයට වේදනා ස්කන්ධයත් ඇතුලත් හෙයින් වේදනාව සැදුනේ විඥානය ප්‍රත්‍ය කොටගෙනය. මෙතන වේදනාවට ප්‍රත්‍ය ස්ඵර්ශය කියනවාය. මෙයින් එකක් සැබෑ නම් අනික මිත්‍යය. මට කතා කරන්ට නියම වෙලාව අතික්රත වෙන්නට ලග බැවින් තව එකක් දක්වා මගේ කතාව හමාර කරනවාය. වේදනාව ප්‍රත්‍යකොට තන්හාව සදෙනවාය. තහාව ප්‍රත්‍යකොට උපාදානය, උපාදානය ප්‍රත්‍යකොට භාවය, භාවය ප්‍රත්‍යකොට ගෙන ජාතිය වෙනවාය. ඉතින් ජාතිය නම් ඉපදීමයි කීවේ “ඛන්දානන් පාතුභාවෝ ආයතනයෙන් පටිලාභෝ” – ස්කන්ධයන්ගේ පහලවීමටත් ආයතනයන්ගේ ප්‍රතිලාභයටක් ප්‍රත්යව තිබෙන්නේ භවය යයි කියනවාය. නුමුත් කුසලාකුසල සංස්කාරය විඥානය ට ප්‍රත්යව තිබෙනවාය. විඥානය නාම රුප දෙකට ප්‍රත්යව තිබෙනවාය. ඒ විඥානය හා නාම රුප දෙකට පංච ස්කන්ධය ඇතුලත්ය. ඒ පන්චස්කන්දයෙහි විඥානයට කිසලාකුසල සන්කාරය ප්‍රත්යව තිබුණාය. විඥානය නාම රුප දෙකට ප්‍රත්යව තිබුණාය. මෙහිදී ස්කන්ධයන්ගේ පහලවීමටත් ආයතනයන්ගේ ප්‍රතිලාභයටත්, භවය ප්‍රත්‍යයි කියනවාය. එකක් සැබෑ නම් අනික බොරුය. මගේ විරුද්ධකාරයාට පුලුවන්නම් මේ පටලැවිල්ල හැරලා බේරා දුන්නාවේ.

    (මෙසේ කියා අසාගෙන සිටින සමුහය සන්සුන්ව අසාගෙන සිටියාට ස්තුති කොට කතාව හමාර කළාය)
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    4 වන කතාව
    (1873 අගෝස්තු මස 26 වෙනි දින හවස 4 පටන් 5 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ කල කතාව)


    මෙසේ රැස්ව සිටින සමුහයට පළමු කොට දැනුම් දිය යුතු කාරනාවක් තිබේ එනම් බුද්ධාගමට විරුද්ධව මේ කතාකල මේ කතාකාරයාට ඔහුගේ නම ව්‍යාවහාර කරන්නට ඕනෑකල ප්‍රස්තාවලදී “පාදිලි උන්නාන්සේ” ය කියා මා විසින් ව්‍යවහාර කර බව මේ සියල්ලන්ට මතක ඇත. එසේ මම කතා කලේ වී නමුත්, මේ කතා කාරය මට ව්‍යවහාර කටයුතු නම එසේ ව්‍යවහාර නොකර ” විරුද්ධකාරයාය” කියා ව්‍යවහාර කර නිසා මොහුටත් ඒ නමම ව්‍යවහාර කරන්නට උනාට කනගාටුය. ඉතින් මෙතැන් පටන් “විරුද්ධකාරයාය” “හතුරාය” යන නමක් මේ කතාවේදී මා විසින් ව්‍යවහාර කලොත් ඒ නම් මොහුට බව මේ සියල්ලෝම දන ගනිත්වා.
    අපේ ආගම් දෙකේ හරි වැරදි කල්පනා කරන්නට අප දෙපක්ෂය මේ කතාව මෙලෙස කරන්නේ වී නමුත් අපි දෙදෙනා අතරේ මීට ප්‍රට්ම එබදු විරුද්ධකාරකමක් හතුකමක් තුබුනුබව මම දන්නේ නැත.

    ක්‍රිස්තියානි ආගමට විරුද්ධව මා විසින් අසු ප්‍රශ්නවලින් පලවෙනි ප්‍රශ්නය ඉංගිරිසි බයිබලයේ තිබෙන ” Jealous God ” යන වචනයට දිය යුතු හරි තේරුම නොදී නුගත් සිංහල මනුෂ්‍යයන් රවටන්ට බොරු අර්ථයක් ප්‍රකාශ කොට සිංහල බයිබලවල තිබෙන බවය. ඒ ගැන කිසි උත්තරයක් මගේ විරුද්ධකාරයා නොදුන් බවත්, ඒ වචනය ඔහුගේ කතාවේදී මතක් කරන්නේවත් නැතිව අතහැර දමා ගිය බවත් මේ සභාවේ සිටින සියල්ලන්ටම මට වගේම මතක ඇත. එසේ කලේ මගේ විරුද්ධකාරයා ට ඒ ගැන හරි උත්තරයක් දෙන්ට බැරි නිසාවට කොහෙත් සැක නැත. ඔහුට ඒ ගැන හරි උත්තරයක් දෙන්ට නැතුවා මමත් දනිමි. ඒ බව සියල්ලෝම දැනගන්න සේක්වා.
    තවද මගේ විරුද්ධකාරයා පාලි භාෂාව නොදන්නෙක් බවට මා විසින් ගෙනහැර දැක්වූ කාරන බිද හෙලන්නට බොහොම තැත් කලේ වී නමුත් ඒ උත්සාහය හරි ගියේ නැත. ඔහු විසින් සංග්‍රහ කළාය කියන පොතේ තිබෙන ” තවනමෝ පවිත්තෝ හොති” යනාදී පාලි වාසගම ඔහු සැදු එකක් නොවෙන බවත් පාලි භාෂාවට නගා බුරුම අකුරෙන් අච්චු ගසා තිබෙන අලුත් තෙස්තමේන්තුවෙන් උදුරා ඔහු විසින් සංග්‍රහ කල ” ග්‍රන්ථ සේඛරය” කියන පොතට ඇතුල්කල බවත් ඔහු කීවා මේ සියල්ලන්ටම මතක ඇත. අලුත් තෙස්තමේන්තුව අපට අයිති පොතක් නොවේය. ඒක ක්‍රිස්තියානි කරයන්ගේම පොතක්ය. එකේ තිබුණු වාසගම් අතරින් මෙබදු වැරදි වලින් යුත් වාසගම් කැබැල්ල ඔහුගේ පොතට එකතු කරන්ට තෝරා ගත් එකත් පුදුමයක්ය!
    මගේ විරුද්ධකාරයා පාලි භාෂාව දන්නෙක් නම් මේ අන්දමේ නින්දිත වැරදි වලින් යුත් වචන ස්වල්පය හරි නොගස්සා තමන්ගේ සංග්‍රහව ට එකතු කරන්නේ නැත. ඒ වාසගම් කැබැල්ල එකතු කිරීමෙන් මගේ විරුද්ධකාරයා පාලි භාෂාව නොදන්නෙක් බවට ඉස්තීර උනා සත්තකය. මගේ විරුද්ධකාරයා පාලි භාෂාව දන්නේක්ය කියා එරෝපාකාර මහා තැන් අතරේ අගවා ගෙන සිටියා සත්තකය. ඒ සිටිය අඩියට පහල අඩියකට මේ ගැන උත්තර දීමට ගොස් වැටුනාට මට කනගාටුය. එම නිසා මොහුගේ පාලි නොදැනීමේ තරම ඉතා කුඩා පටු නොවෙන බව මේ සියල්ලන්ටම හැගෙනවා ඇත.
    මේ අර මගේ විරුද්ධකාරයා බයිබලය සිංහල භාෂාවට පිටපත් කිරීමේ නිවැරදිතාව අගවන්ට කල කතාව කොහෙත්ම ඔබින්නේ නැත. මක්නිසාද මා විසින් පෙන්නාදුන්නේ 1830 දී වැස්ලියන් සමාගම නමින් සිංහල භාෂාවට පිටපත් කොට අච්චු ගසා තිබෙන බයිබලයේ පදයක් එම සමාගම නමින්ම දෙවනුව ප්‍රසිද්ද කරපු බයිබලයේ එම ස්ථානයෙන් අරන් දමා තිබෙන බවය මගේ විරුද්ධකාරයා කියන්නේ , ඒ පදය ඉහලට ඇද්දාය කියාය. තවත් බයිබලය සිංහලට පිටපත් කල අයගේ උතුම්කම සහ සමර්තකමය. ඒ උත්තමයන් කිසිවෙකුට ගල් කැටයක් ගසන්ට බැරිලු. ඉතින් මගේ විරුද්ධකාරයා ගේ මේ උත්තරය මගේ ප්‍රශ්නයට කොහෙත්ම ගැලපෙන්නේ නැත. ඒ බව මේ සමුහයාට තේරුම් යාම පිණිස කියා දෙමි. බයිබලය සිංහලට පිටපත්කල සමහරෙක් බයිබලයේ තිබෙන පද ඉහලට අදින්ටත් සමහරෙක් පහලට අදින්ටත් ගියාම ඔය දෙගොල්ලොම එකාකාර උත්තමයෝ වෙන්ටත් එකාකාර සම්ර්තයෝ වෙන්ටත් බැරිය. එකකට එකක් විරුද්ධව තිබෙන මේ බයිබල දෙකින් එකක් වරදමය. යම් ස්ථානයක යම් පදයක් යෙදීමෙන් එහි හරි අර්ථය ලැබේනම් ඒක එතන තිබෙන්ට නැර වෙන තැනකට ඇද්දාම එයින් වෙනස්ව හරි නැත්තාවූ අර්තයක්ම ප්‍රකාශ වෙයි. එසේ වරින් වර වෙනස්කොට අච්චු ගසා තිබෙන බයිබල වලින් හරිය කියා පිළිගන්නේ කොයි බයිබලයද? මේ අන්දමට රෙපරමාදු ක්‍රිස්තියානු කාරයෝ වරින්වර තම තමන්ට හිතෙන හිතෙන හැටියට බයිබලය වෙනස්කොට ප්‍රසිද්ද කරති. රෝමානු ක්‍රිස්තියානි කාරයෝ තම තමන්ගේ බයිබලය වෙනස් කරන්නේ නැතුව තිබුණු හැටියටම තබාගෙන් ඉන්න නිසා ඔවුන්ට ඉස්තුති කරන්ට වටී.

    ක්‍රිස්තුස් ඊශ්වරයාගේ පුතාය කියා ක්‍රිස්තියානු ඉගෙන්නුම් කාරයෝ කල්කටාවෙදී කියන්නේ ඒ රටේ ඉන්න හින්දුවරු රවටන්ට බව මම වරක් කීව. ඒ ගැන මගේ විරුද්ධකාරය උත්තර දෙන්ට ගත උත්සාහය ඉතාම නිෂ්ඵල වෙච්චි. මක්නිසාද ඊශ්වර යන වචනයට අර්ථ තිබුනත් හින්දුවරු අදහන දෙවියන්ට ඔවුන් ඊශ්වර කියා කියන නිසා එහිදී ඒ නම ගත්තේ ඔවුන් රවටන අදහස පිටින්මය. හොදයි ක්‍රිස්තියනිකාරයෝ අදහන්නෙත් ඊශ්වරයා නම් ඔහුට “උමයන්ගනාව” කියා භාර්යාවක් ඉන්නවා වාගේම යෙහොවාටත් භාර්යාවක් ඉන්නවාද? යෙහොවාටත් භාර්යාවක් ඉන්නා බව ක්රිස්තියානිකාරයෝ නොදන්නා නමුත් මම දන්නවා. මට ලැබෙන පැයකදී යෙහොවාගේ භාර්යාව කව්ද කියා මම පෙන්නා දෙනවා.
    “යෙහෝවා මනුෂ්‍යය මැවූ බැවින් තැවුණු සේක ” කියා උත්පත්ති 6,6 පදේ කියා තිබේ. තැවෙන ක්‍රියා සෝකවෙන ක්‍රියා කරන්නේ මෝඩයෝය. මෙයින් යෙහොවාට දිව්‍ය ඥානයක් නැතිබව පෙන්වා මා කල කතාවට මගේ විරුද්ධකාරය කිසි උත්තරයක් දුන්නේ නැත. නොබෝද ක්‍රිස්තියානි පක්ෂයේ අයවල් සමග බුද්ධ පක්ෂයේ අයවල් කල වාදයකදී ඔවුන් ප්‍රසිද්ධ කරපු “සුධර්ම ප්‍රකරණය” කියන පොතක් මේ සභාවේ කියෙව්වා මේ කාටත් ඇසෙන්නට ඇත. ඒ කියවීම මගේ ඒ ඇහීමට උත්තරයක් නොවේය. ඒ බව මට වගේම මේ හිටින සියල්ලන්ටම හැගෙන්නට ඇත. ඒ පොතේ තිබෙන සියල්ලටම අපි උත්තර දී ඒ සන්දියේ බිද හෙළුවා සත්තය. ඒ අවලංගු පොත මේ වාදය ඉදිරිපිටට ගෙන ඒම කොහෙත්ම සැහෙන්නේ නැත.

    යෙහොවාගේ අසර්වඥ කම ගැන හෙවත් සියල්ල දක්නා ඥානයක් නැති කම ගැන මා විසින් පෙන්වා දුන්නේ ඊශ්රාලිත වරුන්ගේ ගෙවල් යෙහොවට හැදින ගැනීම පිණිස ඒ ගෙවල්වල උළුවස්සේ ලේ ගා තබන්නට යෙහොවාම කී බවය. ඒ ගැන මගේ විරුද්ධකාරයා දුන් උත්තරය නම්, ක්‍රිස්තු මැරෙනවාට එය ලකුනක්ය කියාය. ඒ උත්තරය කොහෙත්ම හරි නැත. මක් නිසාද? ක්‍රිස්තුස් ගේ මරණයේදී උහුවලුවල ලේ ගෑමක් කරලා නැත. එමනිසා මොහුගේ උත්තරය කිසිසේත් පණ්ඩිත ගෝචර නොවේ. යෙහොවා කුලුදුලන් මරන්ට ගියදා ලේ ලකුණු දැක ඒ ගෙවල් අර ගිය නිසා යෙහොවාට යම් දෙයක් විනිශ්චයකාර ගැනීමට ඇහැට පෙන ලකුණක් ඕනෑ කරන බව පෙනේ. කනෙකුට කනවල අල්ලන්ට කෙනෙක් ඕනෑ කරන්නාක් මෙන් මෙහිදී යෙහොවාට ගෙවල් හැදින ගැනීමට ලකුණක් ඕනකලා මහත් විහිලුවක්ය.
    “පළමුවෙනි හාස්කම අදහා නොගත්තොත් දෙවෙනි හාස්කමද, දෙවෙනි හාස්කම අදහා නොගත්තොත් තුන්වෙනි හාස්කමද කරව” කියා යෙහොවා, මෝසෙස්ට ඉගැන්නු හෙයින් යෙහොවාට මතුවට සිදුවන දේ පෙනෙන ඥානයක් නැතිබව පෙන්වා, මා කල කතාවට කිසි උත්තරයක් නුදුන් බව මේ සියල්ලෝම දැනගනිත්වා.
    තවද මා විසින් අසු ප්‍රශ්නවලින් දෙකක් ගැන මගේ විරුද්ධකාරය මේ වනතුරු කිසි උත්තරයක් දුන්නේ නැත. ඒ ගැන මතක් කළේවත් නැතිබව මේ සියල්ලන්ට සිහි කරවමි. එනම් යෙහොවා, යුදා සමග සිට, කල යුද්ධයේදී යකඩ රථවලට යෙහොවා භය වුන කාරනාව ගැන මා විසින් කල කතාවද, මෝසෙස් ගේ පුත්‍රයා ජීන්න නම් කිරීම ගැන මා විසින් කල කතාවද යන දෙකය. මේ වැදගත් ප්‍රශ්න දෙක ගැන මගේ විරුද්ධකාරය යම් උත්තරයක් දෙනවා තබා ඒ ගැන මතක් කලෙවත් නැත. ඒවා ගැන යම් උත්තරයක් දෙන්ට බැරි බවට ඒක ලකුණකි. යකඩෙට භයවෙන්නෙත්, මිනී ලේ වලට ප්‍රිය වෙන්නෙත් අමනුෂ්‍යයෝ බව මේ සමුහයාට වරක් හොදටම තේරුම් කර දුන්නෙමි. . ඒ නිසා මේ ගැන වැඩිය කාරනා මෙහිදී ගෙන හැර නොදක්කුවත් යෙහොවා වෙන අමනුෂ්‍යයන් මෙන්ම මිනී ලේ වලට ප්‍රිය බව මෝසෙස්ගේ පුතාට කල කාරියෙන්ම පෙනේ.

    මා විසින් ක්‍රිස්තියානු ආගමට විරුද්ධව අසුවාවූ ප්‍රශ්න ගැන ක්‍රිස්තියානි පක්ෂයෙන් දුන් උත්තරවලට මට කියන්ට තිබෙන්නේ ඔපමනය.
    තවද ක්‍රිස්තියානි කාරයන් විසින් කියන නොනස්න ආත්මය කෙබදු එකක්ද? එක කුමකින් සැදී තිබේද එක බුද්ධාගන්කාරයන් විසින් කියන ආත්මයට සමාන නැත්නම් එක මොකක් වාගෙද? කියා මීට ප්‍රථම පැයේදී මා විසින් ඇසුවාය. ඒ ගැන උත්තරයක් තවම දුන්නේ නැත. ඒ ගැන උත්තරයක් ඔය දෘෂ්ටිය පිට හිටගෙන විරුද්ධ පක්ෂයට දෙන්ට බැරුවා සත්තකය.
    බුද්ධ ධර්මයේ ප්‍රකාශවන්නාවූ පංචස්කන්ධ ධර්මයන්ගේ අදහස ත්රුම් ගැනීම නුවන මද අයට දුෂ්කරය. සත්වයකුගේ මැරීමත් පරලොව ඉපදීමත් ගැන තේරුම් ගැනීමද එසේම දුෂ්කරය. සත්වයකුගේ මැරීමේදී ඒ සත්වයාගෙන් කිසි දෙයක් පරලොව යන්නේ නැත. එසේ යන්නේ නැති නමුත් ඒ සත්වයා කරන කොට ගෙන පරලොව උපදින සත්වයා අනෙකෙක් නොවේ. සත්වයකුගේ චුති ප්‍රතිසන්ධි දෙකේ ආකාර තේරුම් යාම පිණිස බුද්ධ ධර්මයේ කියා තිබෙන පාඨයක් දක්වමි. එය මනාව ඇසිය යුතුය.
    “මාර නන්තික වේදනා සන්තත්තානන් සන්නිපාතන් අසහන්තස්ස ඈත පෙක්කිත්ත හරිත්ත ලපන්නමිව කාමෙන උපසුස්ස මානා සරීරෙ නිරුද්ධේසු චක්ක දිසේසු ඉන්ද්රියේසු හැඩය වාත්තු මත්තෙපතිත්තේ කායින්ද්‍රිය මනීන්ද්‍රිය ජීවිතෙන්ද්රියේසු තැනක නාවසෙස හදයවත්තු සන් නිස්සිතන් විඥාන ගරු සමා සේවිතා සත්ත පුබ්බකානන් ආඥා තරං ලද්ධාවස්සේ පච්චය සංඛාර සන්කාතන් විසය මාරබ්භ පවතති තදෙවන් පවත්ත මන් නං තන්හා විජ්ජා නං අප්පහිනත්තා අවිජ්ජා පටිච්චා දිතා දිනාවේ තස්මින් විසයේ තන්හා නැමෙති සහජාත සන්ක්හාරෙහි ඛිප්පමාන ඔරිමතිර රුක්කෙවිනිබ්බන්දන් රජ්ජු මාලම්භිත්වා මාතිකාතික්කමකොවිය පුරීම වනිස්සයන් ජාති අපරව කම්ම සමුට්ටාප්හි තැන නිස්සයන් ආසාදය මානා ආනාසාදය මානන්වා අරම්මනාදිහි ඒවා පච්චයෙහි පවත්තති”
    යන මේ පාඨයෙන්ද පෙන්වා දී තිබෙන්නේ සත්වයකුගේ මරණයත් පරලොව ඉපදීමත් දෙක දැනගැනීම පිණිස කාරනාවය. එම නිසා මේ පාඨහිද සංක්ෂේප අභිප්‍රවය කියා දෙමි.ඒ ඇසුව මැනව.
    අව්වෙහි දමන ලද අමු තල කොලයෙහි තිබෙන නිල පාට ක්‍රමයෙන් නැතිව ගොස් සුදු පාට වෙයි. එසේම සත්වයාගේ මරණාසන්න කාලයෙහි සත්වයාට ඇතිව තිබුණු ඉන්ද්‍රිය ශක්තිය මරණ වේදනාව කරනකොට ගෙන නැතිවේ. ඉන්ද්‍රිය ශක්තිය නම් ඇහැ පෙනීම කන් ඇසීම ආදියය. එසේ ඉන්ද්‍රිය ශක්තිය නැතුව යාමේදී ඉන්ද්රියෝ තුන් දෙනෙක් ඇතුල්ව හුර්දය වස්තුව ආශ්‍රය කරගෙන සිටී. ඒ ඉන්ද්රියෝ තුන් දෙනා නම් කායින්ද්‍රිය. මනීන්ද්‍රිය, ජීවිතීන්ද්‍රිය යන තුනය. හර්දය වස්තුව ආශ්රයවූ ඒ ඉන්ද්රියෝ තුන් දෙනාගෙන් කායින්ද්‍රිය කියන්නේ ශරීරයට යමක් ස්පර්ශවූ විට ඒ දැනගන්නා ගතියටය. මනීන්ද්‍රිය කියන්නේ මේ වෘක්ෂය ය මේ සත්වයය කියා වෙනකොට සලකන්ට පුළුවන් ගතියටය. මේ කියනලද ඉන්ද්‍රියයෝ හර්දය වස්තුව ආශ්‍රයකොට පවතිනා කල්හි මරෙන්නාවූ සත්වයාට කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියා දෙකක් පෙනෙයි. එයින් කර්ම නිමිත්ත පහල වෙනවාය කියන්නේ තමා බහුලව කරගන ආ හොද හෝ නරක හෝ කරන්නාක් මෙන් පෙනීමය. ඒ ස්වප්නයෙන් යමක් පෙනෙන්නාක් මෙන් පෙනීමය. යමෙක් බොහෝ කලක් පුරුද්දක් වශයෙන් කරගෙන් ආවේ ප්‍රාණ ඝාතාදී පව් නම් මරණාසන්න කාලහිත් ඒවා කරන්නාක් මෙන් පෙනේ. යමෙක් පුරුදු කරගෙන ආවේ දැන් සීලාදී පින්කම් නම් ඒවා කරන්නාක් මෙන් පෙනේ. මෙසේ පෙනෙන්නාවූ කර්ම නිමිත්තන් අතුරින් යමෙකුට කුසල කර්ම නිමිත්තක් වටහුනොත් ඔහුගේ උත්පත්තිය සුගතියක වේ.
    යමෙකුට අකුසල කර්ම නිමිත්තක් වැටහුනොත් ඔහුගේ උත්පත්තිය දුගතියක වේ. කර්ම නිමිත්තෙන් පසු ගති නිමිත්ත පෙනේ.
    එනම් නැවත උත්පත්තිය සිදුවන ස්ථානය ස්වාප්නයකින් යමක් පෙනෙන්නාසේ පෙනීමය. ඒ පෙනීම වන්නේ සුභ වශයෙන් නිසා තෘෂ්ණා සහිත සත්වයාගේ සිත එහි ඇලේ. ඒ ඇලීම කරනකොට ගෙන එහි උපදී.මෙසේ චුති ප්‍රතිසන්දී දෙකින් යුත් සත්වයාගේ චුති චිත්තය හා සමග ප්‍රතිසන්ධි චිත්තය හටගනී. ශරීරයෙන් පිටවෙලා ගමනේ ගොස් පරලොව උපදින්ට යම් දෙයක් ඇත්තේ නැත. එසේද වුවත් මේ සත්වයාගේ පැවැති තෘෂ්ණාව නිසා ගති නිමිත්ත පහලවූ කල්හි එහි අලෙන්නේය. ඒ ඇලීම නිසා එහි උපදින්නේය. එම නිසා පරලොව උපදින සත්වයා අන්‍ය සත්වයෙක් නොවන්නේය.
    තවද යමෙක් සුගතියක හෝ දුගතියක උපදිනවා නම් සුභ අසුභ ලකුණු පහල වේ. සුගතියක උපදින තැනැත්තාට දිව්‍ය විමාන ආදී හිත ප්‍රියකරන දේ පෙනීමෙන් මහත් සන්තෝෂයට පැමිණේ. දුගතියක උපදින තැනැත්තාට නරකයේ ගිනි ආදී සිතට භය උපදින දේ පෙනෙන නිසා මහත් භයට පැමිණේ. මේ ආසන්න කාලයෙහි පැමිණෙන ලකුණුද සත්වයකුගේ ගතිය දැන ගැනීමට කාරනා වේ.
    අනවතග්ගොයන් භික්කවේ සංසාරෝ පුබ්භ කෝටි නපඥායති” යනාදී බුද්ධ දේශනාවේ ප්‍රකාරයට සත්වයෙකුට පටන් ගැනීමක් හෝ අන්තිමයක් හෝ නැති බව පෙනේ. මෙකී බුද්ධ දේශනාවද ක්‍රිස්තියානි ආගමේ බයිබලයෙන් ස්ථිර කරත්.

    ඒ කෙසේද – උත්පත්ති 2,7 වෙනි පදේ “හොවා දෙවියන් වහන්සේ පොළොවේ දුඋවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාසිකා තුලෙහි ජීවනයෙහි හුස්ම පිබි සේක. එවිට මනුෂ්‍යය ජීවමාන ඈතමයක් වුයේය.” යන මේ කියමනෙන් හැගෙන්නේ පොලවේ දුවිල්ලෙන් ආදම් කියන පලවෙනි මනුෂ්‍යය සදු බවත් දෙවියන්ගේ සදා කාලික ජීවන හුස්ම ඒ රුපයට ඇතුලත් කල බවත්ය. එයින් ඔහු ජීවමාන ආත්මයක් වූ හෙයින් ඔහුගේ ජීවන හුස්ම අමුතුවෙන් මව් එකක් නොවේය. ඒ හුස්ම යෙහොවාගේ හුස්මය. යෙහොවාගේ සදාකාල ජීවන හුස්මෙන් කොටසක් ආදම්ට ලැබුණු නිසා ආදම්ගේ ජීවන හුස්ම පටන් ගැන්මක් නැත. දැනට ජීවත්ව ඉන්න සත්වයන්ගේ ජීවන හුස්ම ඒ ඇත්තන්ගේ පියවරුන්ගෙන්ද, ඒ පියවරුන්ගේ හුස්ම ඒ ඇත්තන්ගේ පියවරුන්ගෙන්ද යන ක්‍රමයෙන් දන් වැලක පුරුක් එකින් එක අල්ලා යන්නාක් මෙන් ඉහලට කල්පනා කර බැලුවාම ආදම් නමැති මුල් පියාගේ ජීවන හුස්ම කරා පැමිණේ. ආදම්ගේ ජීවන හුස්ම කොහෙන් ආ එකක් දැයි කල්පනා කලාම ඒක පටන් ගැන්මක් නැති යෙහොවාගේ ජීවන හුස්මේ කොටසක් බව පෙනේ. හෝව ගේ ජීවන හුස්මේ කොටසක් බව පෙනේ. යෙහොවාගේ ජීවන හුස්මට පටන්ගැන්මක් නැති බව පැහැදිලිව පෙනේ. ක්‍රිස්තියානිකාරයෝ සත්වයාගේ ආත්ම ශරීර දෙකම දෙවියෝ මැව්වාය කියා විශ්වාස කරන්නේ වී නමුත් ක්‍රිස්තියානිකාරයෝ කියන ආත්මය පටන් ගැන්මක් නැති එකක් බව මෙයින් තේරුම් ගනිත්වා. තවද මෙහි කී කියමනෙන් බුද්ධ ධර්මයද ස්ථිර වූ බවත් දැන ගනිත්වා.
    තවද ක්‍රිස්තියානිකාරයො විශ්වාස කරන යෙහෝවා දෙවි කෙනෙක් නොවන බව පැහැදිලිව ඔප්පුකරන්ට පුළුවන් වැදගත් සාක්ෂියක් තිබේ. එනම් විනිස්චයකාරයාගේ පොතේ 11 වෙනි පරිච්චේදයේ 9 පදේ පටන් 39 පදය දක්වා සදහන්ව තිබේන වගන්තිවලින් පෙනෙන්නේ “යප්තා ගේ දුවගේ බොටුව කපා පුළුස්ස යෙහොවාට පුජා කල බවය.” රෙපරමාදු ක්‍රිස්තියානු කාරයෝ “යප්තා ගේ දුවගේ බොටුව කපා පුජා කලේ නැතැයි” කියන්ට උත්සාහ කරනවා සත්තය. නමුත් රෝමානු ක්‍රිස්තියානුකාරයන්ගේ බයිබලයේ යප්තාගේ බොටුව කපා දවන පුජාවම කල බව ස්තිරකොට තේරුම්කර දී තිබේ. ඒ බව මමං රෝමානු බයිබලයෙන් ඔප්පු කරන්නෙමි. ඉතින් මෙයින් හැගෙන්නේ යෙහෝවා මිනී ලේ වලට ප්‍රිය බවය. මේ ආදී නින්දිත බිලි ගැනීමට ප්‍රියවන්නේ කව්ද කියා මෙහි සිටින සියල්ලෝම දනිත්. එම නිසා ඒ ගැන වැඩි විස්තර නොකරමි.

    ” ක්‍රිස්තුස්වහන්සේ රාත්‍රී තුනකුත් දවල් තුනකුත් පෘතුවි ගර්භය තුල වාසය කරනවා ඇත. කියා මතෙව් 12, 4 පදයේ සදහන්ව තිබේ. නමුත් ඒ අනාගත වාක්‍ය හරිගියේ නැත. මක්නිසාද ක්රිස්තුස්ගේ ශරීරය සිකුරාදා භූමදාන කල බවත් ඉරිදාට එලිවන්ට මත්තෙන් මළවුන්ගෙන් නැගිට්ට බවත් මතෙව් 28,1 වෙනි පදයෙන් ඔප්පු වෙන නිසාය. මේ ගැන උත්තර දීමට මගේ විරුධ්ධකාරයා නොයෙක් දේ අතින් මිටින් දමාගෙන උත්සාහ කරනවා ඇත. එසේ උත්සාහ කලාට ඒක පුළුවන් වැඩක් නොවේය. මේක මම පමණක් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව උපදවාපු ප්‍රශ්නයක් නොවේය. නොබෝදා එංගලන්තයේ වැදගත් සභාවකදී ” බ්‍රද්ලෝ” කියන පණ්ඩිතයා පවා මේ ප්‍රශ්නය ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ඇසු බව ඉංගිරිසි ආරංචි පත්‍ර මාර්ගයෙන් අපිට දැනගන්ට ලැබුණාය. මේ ප්‍රශ්නය අහන දවසේ එම ස්ථානයෙහි මේ රටේ සිටිය පණ්ඩිත බිෂොප් ක්ලොටන් උන්නාන්සේ සිටිය නමුත් උන්නාන්සේ වත් මේ ගැන උත්තර දීලා නැත. එසේ නමුත් මගේ විරුද්ධකරයාගේ පක්ෂයේ ඇත්තන් මේ ගැන උත්තරය කියා විහිළුවක් නොදොඩා හරින්නේ නැත. එසේ දෙඩෙව්වත් ඒවා හරි නැත්නම් පණ්ඩිතයෝ භාරගන්නේ නැත. “බිෂොප් ක්ලොටන්” උන්නාන්සේ වැනි උගතුන්ට උත්තර දෙන්ට බැරිවූ එකකට මගේ විරුද්ධ කාරයාට උත්තර දෙන්ට පුළුවන්වේ යැයි නොසිතමි. එම නිසා මේ ගැන කතාව මෙයින් නවත්වමි.

    කළු මනුෂ්‍යයන්ගේ රටවල සියල්ලන්ම යමකට පෙරටුව පැමිණෙන සුභ අසුභ නිමිති ගැන විශ්වාස කරන බව කව්රුත් දන්නා ඇත්තකි. එනම් යහපතක් පැමිණීමට පළමු සුභ නිමිත්තක්ද , අයහපතකට පෙර අසුභ නිමිත්තක්ද පැමිණීමය. මීට සාක්ෂි පොත් පත්වලින් ද වෙනත් කාරනාවලින් ද පෙන්වන්ට පිළිවන. එයින් මදක් කියමි.

    පුරාන දබදිව බිම්බිසාර කයා රජ කෙනෙක් සිටියාය. ඒ රජුගේ අග්‍ර මහේසිකාවට දරු ගැබක් හටගත් කල්හි ඒ දේවියට උපන් දොලදුක නම් තමාගේ ස්වාමියාවූ රජාගේ ශරීරයේ ලේ බොන්ටය. ඒ කල්පනාව ඉෂ්ට වුවන් පසු කුමාරයෙකු ප්‍රසුත කාලය. ඒ කුමාරයා තමාගේ පිය රජ මරා රාජ්‍යයට පැමිණි බව කියා තිබේ. අයහපත් ලකුණින් යහපතක්ම පැමිණි බව මෙයින්ද ඔප්පු වේ. මෙසේම ක්‍රිස්තුන් උපන් කාලයෙහි පහලවූ ලකුණුත් යහපත් ලකුණක් නොවේ. එනම් ක්‍රිස්තුන් උපන් බැත්ලෙහෙම කියන පළාතේද ඒ අවට පළාත්වලද සිටිය දෑවුරුදු වයස් වුද ඊට බාලවුද සියලු පිරිමි දරුවන් මැරෙව්බව මතෙව් 2,16 වෙනි පදේ ලියා තිබේ. අඩන්ටත් හිනහවෙන්නටත් මිස වෙන කිසි දෙයක් නොදන්නා අහිංසක ල්නොදරුවන් ගොන්නකට මරණය සිද්ධවුණේ ක්‍රිස්තුස් උපන් නිසාමය.

    බුදුන් මේ ලෝකයේ උපන් නිසා ඒ කාලයේදී මෙහෙ අසුභ නිමිත්තක් පහලවුයේ නැත. ඒ අපේ උත්තමයා දීව්‍ය ලෝකයෙන් චුතව දඹදිව සුද්ධෝදන රජ්ජුරුවන් නිසා මහාමායා බිසව කුස පිළිසිඳගත් දවසේද, උන්වහන්සේ මව් කුසින් බිහිවුණු දවසේද, බුදුවූ දවසේද, පළමුවෙන් ධම්ම දෙසන කල දවසේද සියල්ලන්ගේ සිත් ප්‍රීති කරන මංගල ලකුණුම පහලවූ බව බුද්ධාගමේ පොත්වලද පෙනේ. ඒ පහලවූ ලකුනුනම් ජාත්‍ය අන්ධයන්ට පෙනීම ලේබීමද, ජාති බිහිරන්ට කන් ලැබීමද,ජාති පිලුන්ට ඍජුව ගමන් කරන්ට හැකිවීමද, නරකාදිවල ගිනි නිවීමද, ප්‍රේතයන්ගේ සා පිපාස නැතිවීමද, සුව කරන්ට බැරි අසාධ්‍ය රෝග සුවවීමද, යනාදී 32ක් මංගල කරුණුය. මෙසේ සියලු දෙනාගේ සිත් ප්‍රීති කරන හොඳ ලකුණු උන්වහන්සේගේ උත්පත්තිය නිසා සිද්ධවූ හෙයින් උන්වහන්සේ ලෝකයා සසර දුකින් ගලවන්ට නොහොත් ලෝක සත්වයන්ට හොඳක් කරන්ට හෙවත් සැබෑ ආගමක් ප්‍රකාශ කරන්ට මෙලොව උපන් කෙනෙක් බවට මෙහි දැක්වූ කාරනා සාක්ෂි වේ.



    ක්‍රිස්තුස් උපන් කාලයෙහි සියලු දෙනාගේම හීත් අප්‍රිය කරන්නාවූ ඇසු පමණකින්ම භය උපදින්නාවූ ළදරුවන් රාශියකගේම මරණය නමැති නපුරු ලකුණු පහල වූ හෙයින් ක්‍රිස්තුස් ලෝකයා ගලවන්ට ආ කෙනේක් නොවන බව ඔප්පුවේය. ක්‍රිස්තුස් උපන් කාලයේ නපුරු ලකුණු පහල වූ හෙයින් ඔහු බොරු ආගමක් ලෝකයට උගන්වා ලෝකය නරකාදියෙහි හෙලන්ට ආ නපුරෙක්වාට කොහෙත් සැක නැත. එම නිසා ක්‍රිස්තුස් ගේ සරණ ගෙන පරලොව ගැලවෙන්ට නුපුළුවන් බව සියල්ලෝම කල්පනාවට ගනිත්වා. බුදුන් උපන් කාලයහි කුහුබීයෙකුටවත් උන්වහන්සේගේ උත්පත්තිය නිසා මරණයක් පැමිනුනාය. කියා යමෙකුට පෙන්වන්ට පුලුවන්නම් අනික් අය කෙසේ උනත් මම බුද්ධාගම අදහන්නේ නැත.



    තවද ක්‍රිස්තුස් අපේ නැයෙකුත් නොවේය. බුදුන් අපේ නැයෙකුත් නොවේය. මේ දෙදෙනා පිලිබඳ ආගම් දෙකෙන් යම් ආගමක් සත්‍ය නම් ඒ ආගමේ ප්‍රධානියා අපේ නැයාත් වේ. ස්වාමියාත් වේ. එම නිසා සත්‍ය ආගමක් සොයා ගැනීමට සියල්ලෝම උත්සාහ කරත්වා. මේ හැර මගේ කතාවේදී වේගවත්ව තරහයෙන් වාගේ කතා කලේ පිරිස වැඩි නිසාය. සියල්ලන්ටම ඇහෙන්ට ඕනෑ නිසාය. මේ සිටින සියල්ලෝම ඒ බවද දැනගන්වා සේක්වා. .



    (කියා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේගේ කතාව හමාර කරන්ට යෙදුනාය.)
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    5 වෙනි කථාව
    (වර්ෂ 1873 අගෝස්තු මස 28 වෙනි දින උදය 8 පටන් 9 දක්වා සිරිමාන්න කතිසේරු තැන විසින් කල කතාව.)

    යමෙකුට උන රෝගයක් වැළදී තිබෙනතුරු ඔහුට සියලු මිහිරි ආහාර තිත්තය. එසේම මගේ මිත්‍රවු මේ කතාකාර උන්නාන්සේට මිත්‍යා දෘෂ්ටිය නමැති උන රෝගය වැළදී තිබෙනතුරු සත්‍යවූ ක්‍රිස්තියානු ධර්මය වැටහෙන්නේ නැත. ක්‍රිස්තියානු ආගමට විරුද්ධව මේ උන්නාන්සේ ගෙන හැර දැක්වූ කාරනා ඉතා ඝාම්භීර යයි ක්‍රිස්තියානු ආගම නුගත් අයසිතනවා ඇත. ඒවා එසේ ඝම්භීර ප්‍රශ්න නොවේය. ඉස්කෝලයකට ටික කලක් ගිය ළමයෙකුට පවා ඒවාට උත්තර දෙනවා ඇත. ඊට උත්තර දෙන්ට මත්තෙන් මේ සභාවට දැන්විය යුතු වැදගත් කාරනා කිහිපයක්ම තිබේ. එනම් ක්‍රිස්තියානු කාරයන් විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලට බුද්ධ පක්ෂය හරි උත්තරයක් දුන්නේ නැත. බුද්ධ පක්ෂය විසින් දුන්නාවූ උත්තරවලින් ක්‍රිස්තියානු පක්ෂයේ කියමන් ස්ථිර උනා සත්තය. ඒ බව දැනගැනීම පිණිස මදක් කාරනා කියමි.
    බුද්ධාගම්කාර මිත්‍රවරුනි, “මනුෂ්‍යයාගේ මරණයේදී පඥාස්කන්ධය මෙහිම නිරුද්ධ වෙනවාය. නොමැරී ඉතුරුවන් වෙන කිසිම වස්තුවක් නැතිය කියා බුද්ධාගමේ උගන්වා තිබෙනවාය. ඒ ඉගැන්වීම ඉතා විස්තර ලෙස පළමුවෙනි පැයේදී පෙන්වා දුන්නා ඇත. ඒවා ගැන මේ උන්නාන්සේ දුන් උත්තර වලින් අපේ කියමන් ස්ථිර කළා පමණකි. එම නිසා ඒ ගැන මම වඩා කියන්නේ නැත.
    ආත්මය ආකාර රහිතය. එමනිසා එක අසවල් හැටිය කියා පෙන්වා දෙන්ට බැරිය. “අරුපි බ්‍රහ්ම ලෝකවල ඉන්නා බ්‍රහ්මයන්ට ශරීරයක් නැත. සිත පමණක් තිබෙනවාය” කියා බුද්ධාගමේ උගන්වා තිබෙනවාය. ආත්මයේ අන්දමත් එලෙසය කියා අපට කියන්ට පුළුවන.
    දෙවියන්වහන්සේ ඊර්ෂ්යාවන්ත කෙනෙක්ය කියා ඔප්පු කරන්ට මේ උන්නාන්සේ කළාවූ උත්සාහය නිෂ්පලය. මක්නිසාද අනන්ත ගුණයෙන් යුතු උන්වහන්සේ ඊර්ශාව ඇති කෙනෙක් නොවේය. උන්වහන්සේට ජ්වලිතවූ දෙවිකෙනෙක කියා බයිබලයෙහි තිබෙනවා සැබෑය. උන්වහන්සේට දිය යුතු ගෞරවය අන් කෙනෙකුට දෙනවාට උන්වහන්සේ අකමැතිය. ඒ අකමැත්ත උන්වහන්සේ තුල පිහිටා තිබෙන නිසා උන්වහන්සේට ජ්වලිත් වූ දෙවියෝය කියනවාය.

    මිසර දේශ වාසින් පිටට දෙවියන් වහන්සේ වසංගත දාසයක් එව්වා සැබෑය. ඒ නිසා දෙවියන් වහන්සේ සියල්ල දත් කෙනෙක් නොවෙයි කියා මුන්වහන්සේ කීවාය. වසංගත දාසයක් මිසර වාසීන්ට එවූ කාරණයෙන් දෙවියන් වහන්සේගේ සියල්ල දත් ඥානයට කිසි පලුදුවක් නැත.

    සිප්පොරා විසින් අගේ පුත්‍රයා ජින්නා නම්කොට ඒ චර්මය විසිකලේ මෝසෙස් ඉදිරියටය. ජෙහොව වහන්සේ ඉදිරියට විසිකලා යි කීම මිත්යාවක්ය. ඒ බව බයිබලයෙහි ‘ඔහු’ කියා යොදා තිබන සර්ව නාම වචනයෙන් ඔප්පු වෙයි.

    දෙවියන් වහන්සේ යකඩ රථ වලට භයවුනාය කීම වැරදිය. මක් නිසාද යකඩ රථ 900 ක යුක්ත සේනාවකින් ජයගත් බව විනිශ්චය 3 පරිච්චේද 3 සිට 15 වෙනි පදවලද තවද රථ 600 කින් යුතු සේනාවකින් ජයගත්බව නික්ම, 14,7 ව්වෙනි පදයෙන් පෙනේ. නමුත් යුදාට යකඩ රථවලින් ජයගන්ට බැරිවුනේ සර්දාවේ මද කමින්ය. යෙහෝවා වහන්සේ ජුදා සමග සිට සියල්ලෙන්ම ජය ලබා දුන්නාය. එසේ වුවත් ජුදා තැන්නේ වැසියන්ගේ යකඩ රථ දැක භය වුනාය. ඒ භය වීමෙන් ඔහුගේ සර්දාව පිරිහුනාය. සර්දාව පිරිහීමෙන් ඔහු යුද්ධයෙන් පරාජ වුනා සත්තය. එම නිසා යෙහෝවා වහන්සේ ජුදා සම සිටියත් එයින් උන්වහන්සේට පලුදුවක් නැත.

    දෙවියන් වහන්සේ ආදම්ගේ නාසිකා තුලට “ජීවනයේ හුස්ම” පිම්බාය. ඒ පිබීමෙන් උන්වහන්සේගේ හුස්ම ආදාම් තුලට ගියාය කීම ලාමක කතාවක්ය. යම් කෙනෙක් තවත් කෙනෙකුගේ කනට තෙල් ටිකක් පිම්බාය කීවාම ඒ පිඹ අයගේ ආත්මයෙන් කොටසක් කන ඇතුලට ගියාය කියා මේ සිටින්නන්ගෙන් එක කෙනෙක්වත් සිතට ගනිත්ද? නාසිකාව තුලට ජීවනයේ හුස්ම පිම්බාය යනු මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කියා තිබෙන කීමකි. එහි අභිප්‍රාව නම් දෙවියන් වහන්සේ මනුෂ්‍යා තුල ආත්මය පිහිටෙව්වාය හෙවත් තැබුවාය යන බව දත යුතුය.

    යප්තාගේ දුව මරා පුජාකලාය තේරුම් ගන්ට හේතු වූ කිසිවක් නොපෙනේ. අමනුෂ්‍ය පුජාව දෙවියන්වහන්සේ තහනම් කර තිබෙන බවත් හැර යමෙකු විසින් එබදු ගිවිසීමක් කර ගත්තත් නොහොත් මනුෂ්‍යයෙකු පුජාවට කැපවුනොත් ඒ ගැන කරන්ට නිසි ව්‍යස්ථා පනවා තිබෙනවාය. එනම් පුජකයාට මුදල ගෙවා මුදන් ට කීවාය. “ඔහු වුනු පොරොන්දුව ලෙස ඇයට කළාය” කියා සුද්ධ ලියවිල්ලේ තිබෙනවා සත්තකය. යප්තාගේ පොරොන්දුව නම් “යුද්ධයෙන් දිනා ගෙදර එනවිට ඉස්සරහට හම්බවුනු මොකක් නුමුත් යෙහෝවා වහන්සේට දවන පුජාවක් කරන්ටය. ඒ පොරොන්දුව එලෙස ඉෂ්ට කළාය.” කියා තිබීමෙන් ඇය දවන පුජාවෙන් යෙහෝවා වහන්සේට පුජා කලේ නැත කියා කියන්ට බැරි නමුත් ඇය යෙහෙළින් සමග දෙමසක් කන්‍යාකම ගැන වැලපුනා මිසක් මරණය ගැන වැලපුණේ නැති හෙයින් ඇය යෙහෝවා වහසේට කැප කළා කියන්ට පුළුවන. හොදයි යප්තා එසේ කලේ වී නමුත් දෙවියන් වහන්සේ ඊට එකග උනේවත් ඊට අවසර දුන්නේවත් නැත්නම් උන්වහන්සේට ඉන් කිසිම කිලිටක් නැත.

    “මනුෂ්‍ය පුත්‍රයා දවල් තුනකුත් රැ තුනකුත් පොලෝ ගැබේ හෙවත් මිනී වලේ සිටිනවා ඇත යන කීම” ගෙනහැර දක්වා එරෝප්පයේ පණ්ඩිතයෙක් කියා නාස්තික දෘෂ්ටි ගත් කෙනෙක්වත් සරණ කර ගෙන බිෂොප් ක්ලොටන්වත් ඊට එකතු කරගෙන මගේ මිත්‍රයා මිත්‍යාවක් ප්‍රකාශ කළාය. ඒ ප්‍රශ්නයට වචන ස්වල්පයකින් උත්තර දෙමි.

    අපි දවස් තුනය යන්නේ නියමයක් තේරුමක් ගන්නවාද? එම තේරුම දක්වන පිණිස යුදෙව් භාෂාවේ වචන ව්‍යාහවහාරයේ හැටියට දවල් තුනකුක් රැ තුනකුත් යයි භාවිතා කළාය. දවසකින් ඉතා ස්වල්ප කොටසක් අසුවුනත් මුළු දවසම අල්ලා කතා කරන සිරිතක් යුදෙව් වරුන් අතරේ පවතුනාය. ඒ ප්‍රකාරයට දවල් තුනකුත්‍යයි කියන්ට පුළුවන. මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕන කරන්නේ නැත.

    “ක්‍රිස්තුස් වහන්සේ උපන් දවසේ දහස් ගණන් පිරිමි දරුවන් මැරුම් කෑවාය” කියා මගේ මිත්‍රයා කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. ඒ දරුවන් මැරුම් කැවේ ක්‍රිස්තුස් වහන්සේ උපන් දවසේ නොවේය. උන්වහන්සේ උපන් දවසේ එහෙම යමක් සිද්දවුනාය කියා මේ බයිබලයෙන් කිසිවෙක්ට පෙන්නන්ට බැරිය. ක්‍රිස්තුස් වහ්සේ ඉපිදිලා අවුරුදු දෙකක් විතර පසුවුනාට පසු එවකට හිටිය හෙරෝධ් නම් දුෂ්ට රජා, රාජ්‍ය ලෝභයෙන් ක්‍රිස්තුස් වහන්සේ මරණ අදහස පිට ක්‍රිස්තුස් වහන්සේ උපන් බැත්ලෙහෙමේද ඒ අසල ගම්වලද සිටි දෑවුරුදු වයස් වුද ඊට බාලවුද පිරිමි දරුවන් මැරෙව්ව සත්තකය. එයින් ක්‍රිස්තුස් වහන්සේ ට කිසි අපහාසයක් ඇත්තේ නැත. එම නිසා මේ ගැන මීට වඩා උත්තර ඕනෑ නොකරයි.

    තවද බුදුන්ගේ ඉපදීම කරණකොටගෙන කුබියෙක්වත් මැරුනේ නැති බව මේ උන්නාන්සේ කීවාය. එසේ මැරුණ බවක් පෙන්නන්ට පුළුවන් නම් අනෙක් ඇත්තෝ කොහොම වෙතත් මේ උන්නාන්සේ බුද්ධාගම අදහන්නේ නැති කීවා මේ සමුහයටත් ඇසෙන්ට ඇත. එම නිසා මේ උන්නාන්සේ බුද්ධාගමෙන් අත්හැරවන්ට කුහුබියෙකුට වඩා ලොකු කෙනෙකු මැරුණා බව මා විසින් ඔප්පු කර දෙමි.

    බුදුන්ගේ මෑණියෝ බුදුන් උපන් සත් දවසින් මැරුණාය කියා බුද්ධාගමේ පොත්වල තිබේ. කුහුබියෙකුට වඩා බුදුන්ගේ මෑණියෝ ලොකු නැත්ද? මේ හැර බුදුන් උපන් දවසේ අභීත කෙසර සිංහ නාදයක් කළාය කියා කියා තිබේ. අගනිටා බ්‍රහ්ම ලෝකයට ඇසෙන තරමට කළාය කියන ඒ සිංහ නාදයෙන් කොපමණ සත්වයෝ මැරෙන්ට ඇත්ද? තවත් නොයෙක් වතාවලදී බුදුන් නිසා අනන්ත සත්වයෝ මැරුණාය. ඒවා ඔප්පු කිරීමට මා විසින් මහන්සි ගන්නේ නැත. මේ වතාවට මෙපමණ ඇත කියා මෙයින් නවත්වමි.

    සුභාසු භ ලකුණු ගැන මේ උන්නාන්සේ තෝරපු හැටියට අපි තෝරන්නේ නැත. අපේ තේරුම් සම්පුර්ණයෙන්ම අනෙක් අතට වන බැවින් එයත් අසා සාධාරණව තිබෙන්නේ කාගේ තේරීම දැයි කල්පනා කරන මෙන් සමුහයාගෙන් ඉල්ලමි.

    ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට ආවේ මේ සිටින මනුෂ්‍යයෝ පව්කොට නිරා ගින්නට පත් වෙන්ට සිටින නිසා ඔවුන් නරකාදියෙන් ගලවන පිණිසය. එමනිසා උන්වහන්සේ ලොව පහලවූ විට මෙහි සිටි හෙරෝද් ආදී පාපතාරයෝ ” මෙන්න අපේ පාප සැපත විනාශ කරන සතුරා එනවාය. මොහු පාප රාජ්‍ය විනාශ කොට ධර්මිෂ්ටකමේ රාජ්‍ය පිහිටුවන්ට ආවාය. මොහු නසමුව” කියා යක්ෂයාගේ උපදෙසින් උත්සාහ කරමින් නොයෙක් අසුභ ලකුණු පහල කළාය. ඒ අසුභ ලකුණු පහල වීමෙන් ක්‍රිස්තුස් වහන්සේ පාපයේ සතුරා බව ඔප්පුවනවාය. මගේ මිත්‍රයා විසින් ක්‍රිස්තියානි ආගමට එ රෙහිව ගෙන හැර දැක්වූ කාරනාවලට උත්තර මෙපමණ සැහෙන හෙයින් මෙයින් නවත්වා බුද්ධාගමේ අසත්යකම පෙන්වීමට මදක් කාරනා කියමි.

    බුද්ධාගම්කාර මිත්‍රවරුනි, නුඹලා විසින් විශ්වාසකරගෙන් යන බුධාගම දරා තිබෙන්නේ තුන් පිටකය කියන පොත්වලය. ඒ පොත් ලීවේ බුදුන් උපන් රටෙදීවත් බුදුන් උපන් කාලයේදීවත් නොවේ. ඒවා ලීවේ බුදුන් මැරිලා 453 අව්රුද්දක් පසුගියායින් පසු දඹදිව ට බොහොම දුර රටක් වන මෙම ලංකාදීපයේ මාතලේ කියන පළාතේ අළු විහාරයේදීය. ඒ බව මහා වංශය ආදී පොත්වලින් පෙනේ. ඉතින් මිත්‍රවරුනි , මෙපමණ දුර රටකදී මෙපමණ කල් ගියායින් පසු ලිව්වාවූ ධර්මය බුදුන් විසින් දේසනා කල ධර්මය යයි විශ්වාස කරන්ට පුලුවන්ද ?

    තවද ග්ව්තම බුදුන් විසින් බුද්ධත්වය ලබා ගැනීම පිණිස කල කුසල් වලින් එක කුසලක් නම් අඹු දරුවන් දන් දීමයි., වෙසන්තර රජ දරුවන් දෙන්නා දුන්නේ කොපමණ කෘර අදහසකින්දයි කියා වෙස්සන්තර ජාතකය කියවන කාටත් දැනෙන්ට පුළුවන. එපමණක් නොව තමාගේ ස්ත්‍රී දනට දුන්නාය. අඹු දරුවෝ කාටවත් දෙනවා තබා එක මාසයක්වත් ඔවුන්ට සංග්‍රහ නොකර ඇරියොත් ආණ්ඩුව ඔවුන්ට අච්චු කරති. දැන් කාලයේ පින් ගන්ට යමෙක් අඹුව කාටවත් දුන්නොත් වෙන අය ගල් ගසති. ඇස් මස් ඉස් ලේ දන්දීම ගැන කියා තිබෙන්නේ “මහා පොළොවේ පස් පරදවා මස් දන් දුන්නාය, මුහුදේ දිය පරදවා ලේ දන් දුන්නාය, මෙරගල පරදවා ඔටුනු පළන් හිස් දන් දුන්නාය.” මේවා මෙසේ දෙන්නට තමුන්ම පන නසා ගන්ට ඕනැය. තමුන්ම පන නසා ගැනීමත් අනුන් මරන්නා වගේම භයානක පාප ක්‍රියාවකි. මේවා බුද්ධාගමේ පොත්වන අමා වතුර ආදී පොත්වල තිබේ. බුද්ධත්වය ලබා ගැනීම පිණිස බුදුන් කල පින් මේවා තමය. මේවත් පින්ද කියා නැණවත් ලෝකයා කල්පනා කරත්වා.

    බුදුන්ට තිබුණාය කියන සර්වඥාතා ඥානය මහා පුදුම අන්දමේ එකක්ය. ඔහුගේ ඒ ඥානයට ඇති අය නැති හැටියටත් නැති අය ඇති හැටියටත් ඔහුට පෙනී තිබෙනවාය. ඒ බව ඔප්පු කරන පිණිස මදක් කාරනා කියමි. බුදුන් බුදු උනායින් පසු තමන්ගේ ධර්මය දේශනා කලොත් තේරුම් ගන්ට කෙනෙක් නැති කියා බණ නොකියන්ට සිතට ගත් බවද, ඉන්පසු බ්‍රහ්මය ඇවිත් බණ තේරුම් ගන්ට පුළුවන් අය සිටිනවායි කීවාම බණ කියන්ට සිතට ගත් බවද මහා වග්ගය කියන පොතේ ලියා තිබේ. තවද බුදුන් බණ කියන්ට කාට යුතු දැයි බැලුවාම ආලාරකාලාම නම් තාපසයාට බණ කියන්ට ඕනැය කියා සිතු බවත් ඒ කාලයේ ඔහු මැරිලා බවත් දේවතාවෙක් දැනුම් දුන්නාම, උද්දක රාම පුත්‍ර නම් තාපසයාට බණ කියන්ට ඕනයි සිතුවාය. ඔහුත් එවකට මැරිලා බව දේවතාවෙක් විසින් දැනුම් දුන්නාය. මේවාත් ඉහත කී පොතේම තිබේ. ඉතින් මේ කියමන් වලින් ඔප්පු වෙන්නේ බුදුන්ට දීව්‍ය ඥානයක් නැති බවය. බුදුන්ට දීව්‍ය ඥානයක් නැති බව බණ තේරුම් ගන්ට පුළුවන් අය නැත යි කියා පළමුකොට සිතා දෙවනුව බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පසුව බණ තේරුම් ගන්ට පුළුවන් ආය සිටිනවාය යි එත්තුගෙන බණ කියන්ට සිතට ගත් එකෙන්ද, මරුනාවූ දෙදෙනෙකුට බණ කියන්ට කල්පනාකළ එකෙන්ද පෙනේ. බුදුන්ට යම්තම් වත් ඥානයක් නොතිබුන බවට කියන්ට මේ හැර නොයෙක් කාරනා තිබේ. ඒවා කියන්ට මට ලැබී තිබෙන කාලය මදිය. ඒ නිසා මෙයින් නවත්තමි.

    බුද්ධාගම් කාරයිනි! නුඹලා බුදුන්, දහම්, සංඝයා යන තුන් සරණ යක් කෙරේ සරණාගමනය කරන නිසා ඒ ගැනත් කාරනා ස්වල්පයක් කියමි. පළමුකොට “බුද්ධං සරණන් ගච්චාමි” කියාද දෙවනුව “ධම්මං සරණන් ගච්චාමි” කියාද තුන්වෙනුව “සංඝං සරණන් ගච්චාමි” කියාද සරණ යති. බුදුන් දැනට ජීවත්ව නැත. බුදුන් මරිලාය. මැරිච්ච බුදුන්ගේ සරණ ගියාම ඇති ඵලය මොකක්ද? ධර්මයෙන් නුඹලාට සරණයක් තිබෙනවාද? ධර්මය කියන්නේ පුස් කොළ වල ලියා තිබෙන පොත්ය. ඒ පොත් නුඹලාගේ සරණින් පවතිනවා මිස ඒ පොත් නුඹලාට සරණය වෙන්නේ කොහොමද? නුඹලා සරණ ගන්න සංඝ රත්නය ගැන ඇත්තටම පුදුම නොවී බැරිය. ඒ ගැන මම වැඩි කාරනා නොකීවාට මේ සිටින සියල්ලෝම සංඝයාගේ තරම දන්නවා ඇත.මේ පවිටුවූ පවුකාර මනුෂ්‍යයන් කෙරේ සරණයාම කොපමණ මෝඩ කමක්ද? මේ සංඝයා කියන අය ක්‍රෝධ මෝහ රාග තන්හා මාන ආදියෙන් පිරී හිටින්නාවූ, කොයි තරම් ලොකු පාපයක් කරන්ට කැමති අය බව නුඹලා නොදනියිද ? මේ ලංකාවේ සිටින සංඝයා සියම්, අමරපුර කියලා සමාගම් දෙකකට අයිතිය. මේ සමාගම් දෙකින් එක සමාගමක අය අනෙක් සමාගමේ අයට සරනවත්, සිල්වත් උපසම්පදාවක් නැත කියා ඒ ගැන බොහෝ කාරණාවලින් ඔප්පුකර තිබේ. අනික් සමාගමේ අයත් ඒ වාගේම තමන් විරුද්ධ පර්ෂයට සරණ සිල් උපසම්පදා නැත කියා ඔප්පු කර තිබේ. මේ දෙගොල්ලොම තම තමන්ගේ කියමන් ඉස්තිර කර ගැනීමට වැදගත් කාරනා ගෙනහැර දක්වා තිබෙන බව “කිරණ පත්‍ර ඥානොපායනී ” ආදී ප්‍රසිද්ධ පත්‍ර කියවන කව්රුත් දනිති. මෙයින් නුඹලා පිළිගන්නේ කාගේ කීම්ද? මෙයින් එක ගොල්ලකටවත් එකතු නොවී දෙගොල්ලන්ගේම කීම් පිළිගෙන මොවුන් මහන කමක් නැති දුස්සීල පාපීන් බව සලකා මොවුන්ගේ සරණ නොගෙන අත්හැර දැමීම නුඹලාට යුතු නොවේද? මිත්‍රයිනි, ඉතින්වත් නුඹලා ගන්න තුන් සරණයේ තිබෙන නිෂ්ඵල කම සලකා ඒ ඇර දමා සියලු ලෝකය මවා ආරක්ෂා කරන්නාවූ දෙවියන් වහන්සේගේ සරණය ගනිල්ලා. එකම ගැලවුම් කාරයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගනිල්ලා. එවිට නුඹලා ගලවනු ලැබේ.

    (කියා සිරිමාන්න කතිසේරු තැන ගේ කතාව ඇත හිටුවන්ට යෙදුනාය.)
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    6 වෙනි කථාව
    (1873 අගෝස්තු මස 28 වැනි දින උදේ 9 පටන් 10 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ විසින් කල කතාව.)


    මගේ මිත්‍රවු මේ සිරිමාන්න කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව මෙපමණ වෙලා කළාවූ කතාව හාත්පසින්ම පණ්ඩිත ගෝචරවූ කතාවක් නොවේය. මොහු පළමුවෙන්ම කතාකරන්ට පටන් ගත්තේ උණ රෝගයක් ගැනය. ඒ ගැන යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත. මක්නිසාද ඒක නිෂ්පල කතාවක් නිසාය. තවද මේ කතිසේරු තැන බෞද්ධ පක්ෂයෙන් ඉස්ට නොකල කරුණ ඉෂ්ටකලාය කියා බොරුවක් කීවාය. එනම් “ක්‍රිස්තියානු පක්ෂයෙන් පංචස්කධය ගැන යමක් කීවානම් ඒ සියල්ල බුද්ධ පක්ෂයෙන් ස්ථීර කළාය” යන කීමය. පංච ස්කන්ධය ගැන ක්‍රිස්තියානු පක්ෂයෙන් බුද්ධාගමට විරුද්ධව යමක් කීවා ඇත්ද ඒ සියල්ල බුද්ධ පක්ෂයෙන් උත්තර දී බිඳ හෙලු බව මේ සියල්ලන්ටම මතක ඇත. එම නිසා පංචස්කධය ගැන වැඩිපුර යමක් මෙහිදී කියන්ට ඕනෑකරන්නේ නැත.

    තවද මගේ මිත්‍රයා ජලස් ගොඩ යන වචනය ගැන උත්තර දුන්නා කදිමයි! එයින් මගේ කීම ස්තිරවුනා සත්තයි. හේ කෙසේද – මේ කතිසේරු තැන “Jealous God” යන වචනය තේරුවේ යෙහෝවා වහන්සේ ඊර්ෂ්යාවන්ත දෙවි කෙනෙක් බව හැගෙන්ටමය.

    ඒ බව ඔහුගේ මේ කීමෙන් පෙනේ. ‘දෙවියන් වහන්සේ , තමන් වහන්සේට ලැබෙන ගෞරවය අනුන්ට ලැබෙනවාට අකමැතිය. එසේ අකමැති නිසා දෙවියන් වහන්සේ ට.”Jealous God” කියනවාය. ඉතින් මොහුගේ මේ තේරුම් “ජ්වලිත” දෙවි කෙනෙක යන තේරුමට කොහෙත්ම එකඟ වෙන්නේ නැත. යමෙකුට ලැබෙන හොඳට යමෙක් අකමැති නම් “ඊර්ෂ්යාවන්ත” කියන්නේ එකට තමයි. “ලෙඩෙත් වල්ගේය” කීවා වාගේ මුන්නහෙගේ තේරුමත් නරක නැහැ.

    පළමුවෙනි හාස්කම අදහා නොගත්තොත් දෙවෙනි හාස්කමද දෙවෙනි හාස්කම අදහා නොගත්තොත් තුන්වෙනි හාස්කමද කරන්ට යෙහෝවා මොසෙස් ට ඉගැන්වූ හෙයින් යෙහොවාටම යමක් නිශ්චය කරන්ට බැරිබව ඔප්පුකිරීම පිණිස මම කල ඒ කතාවට මේ කතිසේරු තැන මිසරයට පැමිණි වන්සන්ගත වගයක් ගැන ප්‍රකාශ කළා. මිසරයට පැමිණි වසංගත ප්‍රකාශ කල එක මගේ කතාවට උත්තරය නොවේය. ඒ බව මෙහි සිටින කාටත් තේරෙන්නට ඇත. එම නිසා මේ ගැන වැඩිය කතා නොකරමි.

    මෝසෙස් ගේ පුතාගේ “ජින්න නම් කිරීම” ගැන මම කල කතාව මේ කතිසේරු තැනට කොහෙත්ම තේරී නැත. තෙරුනානම් ‘ඒ ජින්න නම් කරපු කැබැල්ල මෝසෙස් ඉදිරියට දැම්මාය’ යන උත්තරය දෙන්නේ නැත. යෙහෝවා මෝසෙස් මරන්ට සේව් විට ඒ බව මෝසෙස් ගේ ස්ත්‍රීවන සිප්පොරා දැන තමාගේ පුතා ජින්න නම් කොට ඒ කැබැල්ල පුදා මෝසෙස් මරණින් නිදහස් කරගත් බව බයිබලයෙන් පෙනේ.මරන්ට සේව් කෙනෙකුන්ට ඒ පුජාව දෙන්ට ඕනෑ මිස මරණයට පත්ව සිටි මෝසෙස්ට කොහෙත්ම දෙන්ට ඕනෑ නැත. ‘ජින්න නම් කිරීම්’ යෙහෝවා ගේ ආඥාවක් ලු ඒ ආඥාව කඩකළ නිසා මෝසෙස් මරන්ට සේවවා යයි මොහු කීවාය. ඒ උත්තරයෙන්ද යෙහෝවා මිනී මස් මිනී ලේ වලට ප්‍රියවෙනවා සත්තකය. ඒ නිසා මේ ගැන කරන කතාවද මෙයින් නවත්තමි.

    යකඩ රථ ගැන මා විසින් අසු ප්‍රශ්නයට මගේ මිත්‍ර වූ මේ කතිසේරු තැන දුන් උත්තර හාත්පසින්ම වැරදිය. මක් නිසාද යකඩ රථ 900 ක් සේනාවකින් හෙව්වා වහන්සේ ජයගත් බව විනිශ්චය 3 වන පරිච්චේදයේ 3 වන පද පටන් 15 පදය දක්වා සදහන්ව තිබෙනවාය යයි මේ කතිසේරු තැන කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. එබඳු කීමක් බයිබලයේ එම පදවල සඳහන්ව නැත. බයිබලයේ නැති කීමන් ඇතැයි කියා මෙබඳු වැදගත් සභාවක ප්‍රකාශ කළා පුදුමයක්ය. හාත්පසින්ම මිත්‍යා ආගමක් විශ්වාස කරන අයට ඉඳලා හිටලා මෙබඳු බොරුවක් කීවාට එය එතරම් බරපතල නොවේ. කොපමණ බොරු කීවත් යෙහෝවා යකඩෙට භය වුනේ නැතැයි කියා ඔප්පු කරන්ට බැරිය. හොඳයි ජුදා ගේ සර්දාව මද කමෙන් ඒ යුද්දයෙන් යුදාට ජය ගන්ට බැරි වුනායයි කියන නිසා එයින් යෙහොවාට සියල්ල දක්නා දිව්‍ය ඥානයක් නැතිබව ද පැහැදිලිව මේ සභාවේ සිල්ලන්ට වැටහෙන්ට ඇත. ජුදාගේ සද්දාව මද කමින් ඒ යුද්ධයෙන් ජය ගන්ට බැරි වුනාය. යෙහෝව වහන්සේ යකඩෙට භයවුනේ නැත කියමන මේ කතිසේරු තැන කී බව කාටත් ඇසෙන්ට ඇත. හොඳයි යෙහෝවා යකඩෙට භයවුනේ නැත්නම් යෙහෝව යුදා සමග සිටලත් ඒ යුද්ධයෙන් ඒ යුද්ධයෙන් ජයගන්ට බැරිවුනේ මන්ද? යුදාගේ ශ්‍රද්ධාව මදිකමින් පරදුනාය කියනවා නම් මේ ශ්‍රද්දව මඩවන කෙනෙකුන්ට සියල්ල දක්නා ඥානයක් ඇති යෙහොවා එකතුවුනේ ඇයි? එකක් හරිගස්සන්ට ගියාම අනිකට වෙන වැරැද්ද නොපෙනී මෙබන්දු උත්තර දීම ඥාන ගෝචර නොවේය. ඉතින් මේ ගැන මෙපමණ සැහෙන නිසා මෙයින් නවත්තමි.
    තවත් මගේ මිත්‍රයා කනට තෙල් පිඹීම ගැන කල කතාවත් නිෂ්ඵලය. ‘කනට තෙල් පිඹිනවාය’ යන කීමෙන් හැඟෙන්නේ කනේ තෙල් වක්කර ඒවා ඇතුල්වීමට පිඹීමය. එයින් ජීවන හුස්මක් පිම්බාය කියා හැගෙන්නේ නැත. ලෙඩෙකුගේ කනේ තෙල් වත්කොට කනට පිම්බිනවාය කියනවා මිස කනට ජීවන හුස්ම පිම්බාය කියා කවරෙක්වත් කියන්නේ නැත. එම නිසා මොහු ගෙන හැර දැක්වූ තෙල් පිඹීමේ කතාව ප්‍රලාපයක්ය. ආදම්ගේ නාසිකාව තුලට යෙහෝවා ගේ ජීවන හුස්ම පිම්බාය කීමෙන් හැගෙන්නේ යෙහොවාගේ ජීවන හුස්ම ආදම්ගේ ශරීරයට ඇතුලත්කල බවය. යෙහොවාගේ ජීවන හුස්ම ආදම්ගේ ශරීරයට ඇතුලත්කලේ නැතිබව පෙන්වන්ට මොහුගේ මේ තෙල් පිඹීමේ උදාහරණය කොහෙත්ම සැහෙන්නේ නැත. කණේ තෙල් වක්කරන අයවලුන් තෙල් වත්කර දෙවනු පිඹින්නේ තෙල් ඇතුල් කිරීමට ඔවුන්ට ආනුභාවක්, බලයක් නැති නිසාය. එසේම යෙහොවාටත් ජීවනය ඇතුල් කරන්ට බලයක් නැති නිසා පිම්බාද? ඉතින් මේ ගැන මීට වඩා යමක් කීම නිෂ්ප්‍රයෝජන නිසා වඩා නොයමි
    තවද මගේ මිත්‍රයා යප්තාගේ දුව ගැන උත්තර දුන්නේ අගේ බොටුව නොකැපු බවය.” ඇය වෙනුවට යෙහොව්වාට මුදලක් ගෙවා ගලවා ගත්තාය” කියාය. හොඳයි එසේ ගලවා ගත්තා නම් “යප්තාගේ පොරොන්දුව ඉෂ්ට කාලය” කියා බයිබලයේ ලියා තිබෙන්නේ මන්ද? යප්තාගේ පොරොන්දුව නම් යුද්ධයෙන් දිනා ගෙදර එන විට මොකෙක් නුමුත් ඉස්සරහට ඒ එකා යෙහොවාට දවන පුජාවක් කරන්ටය. “ඒ පොරොන්දුව එලෙස ඉෂ්ට කාලය” කීමෙන් හැගෙන්නේ ඔහුගේ ඉදිරියට ආ ඔහුගේම දුව යෙහොවාට දවන පුජාවක් කොට පිදු බවය. මේ හැර යප්තාගේ දුවගේ බොටුව කපා දවන පුජාවක්කොට යෙහොව්වාට පුජා කල බව ඒත්තු යාම පිණිස දක්වන්ට මට වැදගත් සාක්ෂියක් තිබේ. එනම්:- රෝමානු කාරයින්ගේ බයිබලය ය. ඒ බයිබලය මෙන්න ඔය කාරනාව ගැන විස්තර කොට තිබෙන්නේ යප්තාගේ දුවගේ බොටුව කපා දවන පුජාවක් කල බවමය. ඒ ගැන අනුමාන නම් මෙයින් බලා ගනීවා. (කියා එම බයිබලය ක්‍රිස්තියානි පක්ෂයට භාර දුන්නාය.)

    මේ අන්දමේ වැදගත් සාක්ෂි තිබෙන කාරනා නැතිකරන්නට කතා කරන මුන්නහෙලා සමග මෙබදු කතාවල් කරන්ට සැහෙන්නේ නැත. ඉතින් මේ ගැන කරන කතාව මෙයින් අත් හිටුවමි.
    තවද මගේ මිත්‍රයා ක්රිස්තුස්ගේ ශරීරය මිනීවලේ රාත්‍රී තුනකුත් දවල් තුනකුත් තිබුණු බව ඔප්පු කරන්ට දුන්න උත්තරය නම් ” යුදෙව්වන් දවස ගනිනිනේ හෙවත් දවසේ මුලට ගනින්නේ උදේ හයේ පටන්ය. එම නිසා තුන් වන දවස අසුවේ. “යි කීවා මේ කාටත් ඇසෙන්නට ඇත. මොහුගේ මේ උත්තරයට මට කියන්ට තිබෙන්නේ නොවාසනාවන් කියා පමණක්ය නමුත් දවසේ මුල උදය හයට ගන්නවා නම් සෙනසුරාදා එලිවෙන්ට මත්තෙන් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැගිට්ටාය කීවාම ක්‍රිස්තුස් ගේ මළවුන්ගෙන් නැගිටීම සෙනසුරාදා උදය හයට ඉස්සරින් ඉරිදා උදය ලබන්නට මත්තෙන් බව ඔප්පු වෙයි. එතකොට ඉරිදා දවසින් මදක්වත් අසුවෙන්නේ නැත. එම නිසා තුන් දවසට ගණන් ගන්ට කොයි ප්‍රකාරයකින්වත් බැරිය. මේ ගැන මීට වඩා යමක් නොකියමි.

    තවද මේ ඇත්තා තදබල මුසාවාදයක් මේ සභාවේ කීවා. ඒක මේ සමුහයාට මතක් කරවමි. “ක්‍රිස්තුස් උපන් දවසේ ළදරුවන් මැරුවාය” කියා මගේ කතාවේදී මම කීවාලු. මම කීවේ එසේ නොවේ. ක්‍රිස්තුස් උපන් කාලයේදී හෙරෝද් විසින් ක්‍රිස්තුස් ගේ උත්පත්තිය නිසා ළදරුවෝ මැරූ බවය. මම නොකී දෙයක් කීවාය කියන්නේ මුසවාදයට විලි බිය නැති නිසාය. මගේ මේ කීම ගැන මෙහි සිටින සියල්ලෝම මා වෙනුවෙන් සාක්ෂි කියති.

    ක්‍රිස්තුස් නිසාවූ කැතය නැත කියට බැරි කමෙන් ඒ වගේම කතාවක් බුදුන් උඩටත් ගොඩ නගන්ට බුදුන් උපන් සත් දවසින් මෑණියෝ මැරුණු ඒක ගැන මේ කතිසේරු තැන කතාකල මේ කාටත් ඇසෙන්නට ඇත. බුදුන් උපන් නිසා නොවේ. ඒ දේවියට ආයු ඇත්තේ එපමණ නිසාය. බෝධි සත්වයෝ දිව්‍ය ලෝකයෙන් චුතවෙන්නට මත්තෙන් කාරනා පහක් බලු බව බුද්ධාගමේ පොත්වල සදහන්ව තිබේ. එයින් එකක් මෑණියන්ගේ ආයු ප්‍රමාණය බැලීමය. දස මස් සත් දවසක් ඉදිරියට මෑණියන්ගේ ආයු තිබෙද්දී බෝසතාණෝ මව් කුස පිළිසිඳ ගත බව බුදු බණේ තිබේ. දසමසක් ගර්භනීව හිටිය කාලයට ගියාම ඉතිරි ආයුෂ ඇත්තේ හත් දවසය. බෝසතාණෝ උපන් හත් දවසින් මෑණියන් මැරුනේ මෑණියන්ගේ ආයු ප්‍රමාණයේ හැටියටය. මේ අන්දමේ පැහැදිලිව බුද්ධාගමේ පොත්වල තිබෙන ඇත්ත වසා, නැත්ත පෙන්වා කතා කරන මුන්නහෙලා සමග කරන වාදය මොකක්ද? මේ අන්දමේ මුසාවාද කියා පැවාට ක්‍රිස්තුස් උපන් නිසාවූ ළදරුවන්ගේ මරණය හොඳ අතකට හරවන්ට බැරිවේය. බුදුන්ගේ මෑණියන්ගේ ආයු ප්‍රමාණයේ හැටියට වූ මරණය, බුදුන් උපන් නිසා වී යයි හඟවන්නට කල උත්සාහයෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබුනේ නැත. එම නිසා මේ ගැන කරන කතාවන් මේ ඇතැයි සිතමි.

    තවද මේ ඇත්තා කල සියලු කතා වලට වඩා නැණවත් අයට සිනහ වියයුතු කතාවක් කළා. එනම් – බෝධිසත්වයා මව්කුසින් බිහිවුනාට පසු සිංහ නාදයක් කළාය කියාද, සිංහ නාදය නම් සත්වයන්ගේ කන් පැලීයන කෘර නාදයක් යයි කියාද, ඒ නාදයට බොහෝ සත්වයන් මැරුණය කියාද මේ කතිසේරු තැන කීවා මේ සියල්ලන්ටම ඇසෙන්නට ඇත. මේ කතිසේරු තැන ගේ කතාවෙන් මොහුගේ නුගත්කම ප්‍රකාශ වෙනවා මිස බුද්ධාගමට මෙයින් කිසිම අපහාසයක් නැත. මක්නිසද්ද බෝධිසත්වයා මව්කුසින් ප්‍රසුත වුවායින්පසු අභීත කෙසර සිංහ නාදයක් පැවැත්වූවාය කීවේ “උතුම් නාදයක්” බව හඟවන්නටය.රාජ සිංහ කීවේ සිංහ රජෙක් වාට නොවේ. “උතුම් රජෙක” යන අර්ථය හඟවන්නටය. මේ කතිසේරු තැනගේ අඥාන නේ කියමන් වලින් මොහුගේ තරම මේ සමුහයාට පෙන්වාදීමේ ප්‍රයෝජනය මොහුට ලැබුනා සත්තකය. මොහුගේ ලාමක කතාවලින් බුද්ධාගමට කිසි හානියක් නැත. හොදයි බෝධි සත්වයා මවු කුසින් ප්‍රසුත වූවායින් පසු කල සිංහ නාදයෙන් යම් සත්වයෙකුට අන්තරාවක් උනාය කියා බුද්ධාගමේ පොතක තිබෙනවාද? එසේ ඇතුවානම් ඒ බව පෙන්වා දෙන මෙන් ඉල්ලමි.

    නැවත මගේ මිත්‍රයා ක්‍රිස්තුස් උපන් නිසා උනාවූ ළදරුවන්ගේ මැරීමේ දෝෂයෙන් ක්‍රිස්තුස් මුදවන්ට දුන් උත්තරය නම් මෙසේය.” ක්‍රිස්තුස් පාපයෙහි සතුරාය. ඒ නිසා ළදරුවන් මැරීමේ පාප ලකුණ පහල උනාය” මගේ මිත්‍රයාගේ මේ උත්තරය ඉතා නිෂ්ඵලය. නින්දිතය. මකිනිසාද ක්‍රිස්තුස් පාපයෙහි සතුරා නොව පාපයෙහි මිතුරා බව පාප ලකුණු පහල වීමෙන් ම පෙනේ. හොදයි හොදක් සිද්ධ කර දෙන්ට ආ කෙනෙක් උපන් කාලයේ පහලවෙන්ට ඕන හොද ලකුනක්ය. ළදරුවන්ගේ මරණය හොඳ ලකුණක් නොවන නිසා ක්‍රිස්තුස් කරනකොට සත්වයන්ට නපුරක්ම සිද්ධ වෙනවා සක නැත. යමෙක් ගමනක් යන්ට පිටත්වූ කල්හි යහපත් කෙනෙක් ඉස්සරහට ආවොත් ඒ ගමනින් වැඩක්ම සිද්ධ වෙන බවත් අයහපත් කෙනෙක් ඉස්සරහට ආවොත් ඒ ගමනින් අවැඩක් සිද්ධවෙන බවත් සියල්ලන්ට දකින්ට ලැබෙන ඇත්තය. මේ කතිසේරු තැන මේ ඇත්ත අනික් අතට හරවන්ට කල උත්සාහයෙන් ඇති ප්‍රයෝජනය මොහුගේ කපටිකම මේ සභාවට ඇහුනා පමණය. මෙකී පුර්ව නිමිත්ත ගැන මීට ප්‍රථම බොහෝ විස්තරව කී නිසා මෙහිදී මීට වැඩි යමක් කියන්ට ඕනෑ නොකරයි.

    මේ කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ අනිකුදු කාරනා ගැන දෙවනු උත්තර දෙන්නෙමි.
    පසුගිය අගහරුවාදා මගේ විරුද්ධකාර පාදිලි තැන පටිච්ච සමුප්පාද ධර්මයෙන් බුද්ධාගමේ දොස් දක්වන්ට උත්සාහ කළා. ඒ ගැන දෙවනු උත්තර දෙනවාය කියා මගේ පොරොන්දුවක් ඇත. ඒ පොරොන්දුව මේ පැයේදී ඉෂ්ට කිරීම මගේ යුතුකමකි. පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ තිබෙන දුෂ්කරකම ගැන බුද්ධගෝෂ ආචාර්යයන් මෙසේ කියා තිබේ. කෙසේදයත් : “වාත්තු කාමෝ අහං අජ්ජ පච්චයාකාර වන්නනන්, පතිට්ටාණන් ධි ගච්චාමි අජෙඥා ගාල් හොවා සාගරන්” යන කියමන විසුද්ධි මාර්ගයෙහි තිබේ. මෙහි අභිප්‍රාව නම් ‘ ‘මුහුදේ වැටුන කෙනෙකුන්ට පිහිටක් නැත්තාක් මෙන් පටිච්ච සමුප්පාද ධර්ම නමැති මුහුදට වැටුනාවූ මටත් පිහිටක් නැත්තේය’. එසේ වී නමුත් අධිගමයට පැමිණි ඥානවන්තයන්ට පටිච්ච සමුප්පාද ධර්මය වැටහෙන බවත් පෘතක්ජනයන්ට වැටහීම දුෂ්කර බවත් මේ ඝාතාවේ අභිප්‍රාව වෙයි. බුද්ධගෝෂ ආචාර්යයන් වැනි ත්‍රිපිටකත්‍රය ධාරී උත්තමයෝ පවා මෙසේ දැක්වූ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගෙන දොස් කියන්ට තැත්කළ මගේ විරුද්ධකාරයා ගේ කතාව කෙබදුද කීවොත්, හඳට ඊර්ෂ්‍යාවෙන් බුරන බල්ලන්ගේ බිරීම හා සමානවේ. පටිච්ච සමුප්පාද ධර්මය අග මුලවත් මගේ විරුද්ධකාරයාට හැගිලා නැත. “අප්පා නිසා පුතත්, පුතා නිසා අප්පත් උපදිනවාය” කියන ඒ උපමාව දැක්වුයේ ඒ නිසාවට කොහෙත්ම සැක නැත. එබඳු වටකුරු උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබෙන බව මට ඉදිරියේදී කතා කරන්ට ලැබෙන පැයකදී පෙන්වා දෙන්නෙමි. පටිච්ච සමුප්පාද ධර්මය හි තත්වය මදක් තේරුම් යාම පිණිස මගේ දැනුම් පමණින් කියමි. එය කලබල නැතිව සියලු දෙනාම අසන සේක්වා.

    ‘අවිජ්ජා පච්චයා සංකාරා, සංකාර පච්චයා විඥා නං , විඥා න පච්චයා නාම රුපන් , නාම රුප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයාතණ්හා, තන්හා පච්චයාඋපාදානං, උපාදාන පච්චයාභවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණන්, සෝක, පරිදේව, දුක්ක , දෝමනස්ස උපයාසා සම්භා වෙන්ති ”

    මෙහි සංක්ෂිප්ත අභිප්‍රාව නම් අවිජ්ජාව නිසා සංස්කාරයෝ හට ගනිත්, සංස්කාරයන් නිසා විඥා නය හට ගනිත්, විඥානය නිසා නාම රුපයෝ හටගනිත්, යනාදී ක්‍රමයෙන් එකකට එකක් ප්‍රත්‍යව මෙකී සියල්ල හටගන්නා බව බුදුන් වදාරලා තිබේ. මේ කියමන මගේ විරුද්ධකාර පාදිලි තැනට තේරුම් ගන්ට බරිකමෙන් ” අවිද්‍යාව නිසා සත්වයෙක් නැතිව පවතින් දෙකින් සංස්කාරයෝ උපදිනවාය සංස්කාරයෙන් විඥානය උපදිනවාය ” කියා වරදවා සිතාගෙන පටිච්ච සමුප්පාදය ගැන කී සියල්ල ප්‍රලාපය.

    තවද මොහුගේ ඒ කල්පනාවේ වැරදිකම හගවන්ට සුළු උදාහරණයක් දක්වමි. ඒ ඇසුව මැනව. හුන්කිරි නිසා මිදිච්ච කිරිද මිදිච්ච කිරි නිසා වෙඩරුද වෙඩරු නිසා ගිතෙල්ද හටගනී යයි කිවාම හුන් කිරි මිදිච්ච කිරි වෙඩරු ගිතෙල් යන සියල්ලම වෙන් වෙන් ස්වභාව ට පැමුණුනේ වී නමුත් ඒ සියල්ලම ඒකාබද්ධව එකට තිබුණා සත්තකය. එමෙන්ම සත්වයෙක්නැතුව තනිකර අවිජ්ජාවක් හෝ අවිජ්ජාවක් නැතුව තනිකර සංස්කාරයෝ තිබුනේ වත් සංස්කාරයෝ නැතුව තනිකර නාම්-රුප තිබුනේ වත් නැත. මේ සියල්ලම ඒකාබද්දව පවතිනවා සත්තකය. සත්වයෙක් සංසාරයේ හැසිරෙන අන්දම දක්වන්ට බුදුන් වදාළ ධර්මය නොපිටට පෙරලා ගෙන මගේ විරුද්ද කාරයා කල කතාව ප්‍රලාපයක් වැනිය. තවද මේ ගැනම අභිධර්මයේ පට්ඨාන ප්‍රකරණයේ මෙසේ කියා තිබේ. කෙසේද :-

    ” මෝහං පට්ටිච්ච සම්පයුක්ත කා බන්ධෝ පටිසන්ධික්කනෝ වත්තුම් පට්ච්ච සහේතුක ඛණ්දා” යනාදී මෙයින්ද තේරුම් කර තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය ම තේරුම් ගැනීමට කාරණාය. එනම් මෝහය නිසා එක්ව යෙදුන ස්කන්දයෝද වස්තු රුපය නිසා එක්ව යෙදුන ස්කන්දයෝද උපදිත කියාය. සංස්කාරයෝ තනිව නුපදින බව හගවන්ට විසුද්ධි මාර්ගයෙහිද මෙසේ කියා තිබේ.

    ” සන්කරම්පප්පච්චයෙනච උපනිස්සය පච්චයෙනච පච්චය හොන්ති”
    යනාදියද සංස්කාරයෝ කර්ම ප්‍රත්‍ය වීමෙන්ද ආශ්‍රය හෙතුවීමෙන්ද විඥානයට ප්‍රත්‍ය වේ කියා හැඟේ.
    ” විපාක විඥානම් සහජාත අඥ ම්ඥ නිස්සය සමපයුක්ත විපාක ආහාර ඉන්ද්‍රිය අර්ථ අවිගත පච්ච්යෙහි නවදා පච්චයෝ හොති” යන මෙයින් විඥානය නාම-රුප දෙකට ඉස්සරියෙන් උපන්නා නොව, සම්ගම් උපදින බව පෙනේ. තවද මේ විස්තරනම් විපාක විඥානය සමගම උපානාවුද අන්‍යෝන්‍ය වුද හෙතුවුද ආශ්‍රය වුද එකට යෙදුනාවුද, විපාකවුද , ආහාරවුද, ඉන්ද්රියවුද, විද්‍යාමාන වුද, වෙන්වුද, ප්‍රත්‍ය වලින් නව ආකාරයකින් ප්‍රත්‍ය වේ. මේ ආකාරය සියුම් ලෙස දැනගත්විට විඥානයට පසුව නාම රුප උපදිනවායයි තේරුම් ගත හැකිය. මෙබදු සියුම් වූ අභිප්‍රාවක් ඇති පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් කර ගන්නට ගියේ අන්ධ ඇතෙක් වනාන්තරයෙහි ගමන්කරන්නාක් මෙනි. එම නිසා මේ ගැන ද කරන කතාව මෙයින් අත් හිටවමි.

    තවද මගේ මිත්රවූ කතිසේරු තැන බුද්ධාගමේ පොත් ලිවීම ගැන කල කතාවත් අතිශයින්ම නිෂ්ඵලය. බුදුන්ගේ මරණයෙන් අවුරුදු හාරසිය පනහකට පසු බුද්ධාගමේ ධර්මය පොත්වල ලිව්වා කියාද, එපමණ දීර්ඝ කාලයක් බුදුන් දෙසු ධර්මය කට පාඩමෙන්ම ගෙනන්ට බැරිය කියාද, පොත් ලිව්ව කාලයේ හිටිය සංඝයාට ඕනෑ ඕනෑ අන්දමට ලියා ගත්තෝ යයි කියාද මේ කතිසේරු තැන කීවා මේ කාටත් ඇහෙන්ට ඇත. මේ කතිසේරු තැන ගේ මේ කතාවේ තිබෙන නිස්සාරකම පෙන්නා දෙමි. හේ මනාව ඇසිය යුතුය.
    බුදුන් පිරිනිවන් පා අවුරුදු හාරසිය පනස් තුනකට පසු වලගම්බාහු රජු කාලයේ මේ ලංකාවේදී බුද්ධ දේශනාව පොත්වල ලීවා සත්තය . බුදුන් ජීවත්ව වැඩසිටි කාලයේදීත් රත්රන් පත්‍රවල පවා ධර්මය ලිවූ බව පෙනේ. මේ රටේදී පොත් ලිව්වේ දිව්‍ය ඥානය ඇති කෙලෙසුන් නසපු රහතන් වහන්සේලා ජීවත්ව සිටි කාලයේදීය. රහතුන් වහන්සේලාට යමක් වරදින්නේ නැත. බුදුන් ඇරුනාම රහතුන්ට උත්තමයෝ නැත. බුදුන් ඇරුනාම රහතුන්ට වඩා උත්තමයෝ නැත. උන් වහන්සේලාට යමක් පාඩම් තබා ගැනීම අමාරුවක් නොවේ. උන්වහන්සේලාගේ ලියමනේදී උන්වහන්සේලාට එක ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් බුදුන් වදාලාට වඩා අඩු වැඩි වෙන්නේ නැත.

    ක්‍රිස්තියානි බයිබලය ලිව්වේ මේ අන්දමේ උත්තමයෝ නොවේ. මිනීමරා හැංගී රට හැරගිය මෝසෙස් ආදී කෙලෙස් සහිත පුද්ගලයෝය. තවද බයිබලය වරක් පුළුස්සා දමා නැතිකළ බව බයිබලයෙන්ම පෙනේ. යේම වරක් යෙහොවගේ කපුරාල කෙනෙක් තමාට ඕනෑ හැටියට ලියා ඒ කාලයේ හිටිය රජා රවටා ක්‍රියා කල බවද පෙනේ. මේ කාරනාවල විස්තර ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ප්‍රසිද්ධ කොට තිබෙන විභජ්ජ වාදයෙන් දැනගන්ට පුළුවන. මේ ගැන විස්තර දෙවනුව මට ලැබුනොත් කියා දෙමි.

    තවද මේ කතිසේරු තැන වෙස්සන්තර රජ්ජුරුවන්ගේ දානාද්‍යාසය ගැන
    නින්දා කරන්ට හිතාගෙන කතා කළා. ඒ කතාවෙන් ඒ ගැන කිසිම පලුදුවක් කරන්ට බැරිවිය. මක්නිසාද මේ ලෝකයේ ඇති සියල්ලටම වඩා බුද්ධ පදවිය උතුම්ය. ඒ බුද්ධත්වය ලබන්ට ලෝභ චේතනාව මැඩ පවත්වන්ට ඕනෑය. බුදු බව පතාගෙන ආ වෙස්සන්තර රජ්ජුරුවන්ගේ ස්ත්‍රී, දරුවෝ ඉල්ලු කල්හි නුදුන්නා නම් ස්ත්‍රීන්ටත් දරුවන්ටත් ඇති ලෝභකම මැඩ පවත්වන්ට බැරි බව එයින් පෙනේ. දාන චේතනාව ජය ගන්වන්ට ලෝභ චේතනාව මැඩ පවත්වන්ට ඕනැවා සත්තකය. ලෝභ චේතනාව මැඩපවත්වා දාන චේතනාව ජය ගන්වන්ට බැරි කෙනෙකුට තුන් ලෝකාග්‍රවු බුද්ධ පදවිය නොලැබේ. එමනිසා වෙස්සන්තර රජ්ජුරුවෝ ජුතක නම් බමුණාට දරුවෝ දන් දුන්නාය. ඒ දීමෙන් දරුවන්ට සැපක් මිස දුකක් ලැබුනේ නැත. ඒ බව වෙස්සන්තර ජාතකයෙන් බන ඇසු ස්ත්‍රීන් පවා දනිති. මේ කතිසේරු තැන කී ප්‍රකාරයට වෙස්සන්තර රජ්ජුරුවන්ගේ මහේසිකාව යමෙකුට භාර්යාව වුනේ නැත. දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙම වෙස්සන්තර රජුගේ දාන පාරමිතාව මස්ත ප්‍රාප්ත කිරීම පිණිස මිනිස් වෙසක් රැගෙනවිත් මහේසිකාව ලබාගෙන එම ක්ෂනයේදීම දෙවනුත් මහේසිකාව වෙස්සන්තර මහා රජ හටම පාවාදී ගිය බව එම ජාතකයෙන් පෙනේ. ඉතින් මෙයින් පෙනෙන්නේ එම රජහුගේ දාන පාරමිතාව මස්තප්‍රාප්ත වූ බවය. මේ කතිසේරු තැන කී ලෙස ඒ මහේසිකාව යමෙකුට භාර්යාව උනේ නැත. එම නිසා මොහුගේ ඒ කතාවට මීට වඩා කතා කිරීම නිෂ්ඵලය.
    තවද මීට ප්‍රතම දවසේ කතා කල මාගේ විරුද්ධකාරයා බුද්ධාගම තබා තමන් විශ්වාස කරන ක්‍රිස්තියානි ආගමවත් දන්නෙක් නොවේය. ඔහු ඒ දවසේ බුද්ධාගමට විරුද්ධව කල කතාවෙන් ‍ක්‍රිස්තියානි ආගමට පොලු පහර වැදුනා මිස බුද්ධාගමට එයින් කිසි හානියක් නැත. “මක්නිසාද උරෙකුට බල්ලෙකුට ගැරඩියෙකුට මනුෂ්‍යය සමාන කරලා බුද්ධාගමේ තිබෙනවාය” යි කියාද “මේ අන්දමේ විශ්වාස කරන්ට බැරි මුසාවාද වලින් පිරිච්ච බුද්ධාගම විස්වාස කරන්ට බැරිය” කියාද ඒ පාදිලි තැන කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. මාගේ මේ විරුද්ධකාරයා කී ලෙස එබන්දක් බුද්ධාගමේ පොතක නැත. මනුෂ්‍යයා මුර්ගයෙකුට සමාන කරලා තිබෙන්නේ බ්යිබලයේය. ඒ බව පැහැදිලිව ඔප්පු කරමි. මේ සියල්ලෝම අසන සේක්වා.
    “මනුෂ්‍ය පුත්‍රයන්ට සිදුවන දේ මුර්ගයන්ටත් එසේම වන්නේය. එකම දෙයක් ඔවුන්ට සිදු වෙයි. එකෙක් නසින හැටියට අනෙකා නසින්නේය.
    ඔවුන් සැමටම එක හුස්මක මුර්ගයෙකු ට වඩා මිනිසෙකුට කිසි උතුම් කමක් නැත. මක්නිසාද සියල්ල නිෂ්ඵලය” දේශනාකාරයාගේ පොතේ 3 වෙනි පරිච්චේදයේ 19 වෙනි පදේ
    මෙලෙස තිබේ. ඉතින් මනුෂ්‍යයා මුර්ගයෙකුට සමාන කලේ ක්‍රිස්තියානි ආගමේ කියමන් වලින් නොවේද? බුද්ධාගමේ කියමනක් මේ වාගේ මනුෂ්‍යයා මුර්ගයෙකුට සමාන කර තිබේද? නැත්තේමය. එම නිසා මාගේ විරුද්ධකාරයා තමාගේම ආගම බොරු බව මෙයින් ඔප්පු කළා නොවේද? මොහුගේ සමාගමේ ප්‍රධානියා දැනට මේ ස්ථානයේ ඇත්නම්
    මොහුගේ ඔය තානාන්තරය පමණවත් තිබෙන්ට අරිනවා ඇත කියා නොසිතමි.
    මේ හැර මාගේ විරුද්ධ කාර පක්ෂය යෙන් තවත් ප්‍රශ්නයක් අසමි. ඒ කෙසේද- කොරෝන්ති වරුට ලියන ලද 7 වෙනි පත්‍රයේ 15 වෙනි පරිච්චේදයේ 22 වෙනි පදේ පටන් 28 වෙනි පදේ දක්වා තිබෙන්නේ මෙලෙසටය.
    “තවද ආදම් කරන කොට ගෙන සියල්ලෝම මරණයට පැමිනෙන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොට ගෙන සියල්ලෝම ජීවත්වනු ලබනවා ඇත” යනාදිය ය මේ කියමන් වලින් පෙන්වා දී තිබෙන්නේ ක්‍රිස්තුස් විශ්වාස කරන සියල්ලෝම සදාකාල නරකාදී දුකට නොපැමිණෙන බවය. ක්‍රිස්තියානි කාරයන්ගේ විශ්වාසයත් මෙලෙසමය. මේ කියමනට විරුද්ධ තව කියමනක් බයිබලයේ තිබේ. හේ කෙසේද:-
    ” පසු ව වම පැත්තේ සිටින්නන්ට කියන සේක් සාපලත් තැනැත්තනි, මා කෙරෙන් පහව සාතන්ටත් ඔහුගේ දුතයන්ටත් සාදා තිබෙන සදාකාල ගින්නට පලයල්ලාය මක්නිසාද- බඩගිනි ඇතිවීමි. නුඹලා මට කෑම දුන්නේ නැත. පිපාසා ඇති වීමි. නුඹලා මට බොන්ට දුන්නේ නැත. ආගන්තුක වීමි. නුඹලා මට වාසස්ථාන දුන්නේ නැත. රෝගාතුරවද, හිර ගෙයිද සිටියෙමි. නුඹලා මා බලන්ට ආවේ නැතැයි කියන සේක. එවිට ඔවුන් උත්තර දෙමින් ස්වාමිනි, කොයි කලෙක බඩගින්න ඇතිවුවත්, පිපාස ඇතිවුවත්, ආගන්තුක වුවත්, ඇදුම් නැතිවුවත්, රෝගාතුර වුවත්, හිර ගෙයි සිටියා වුවත් ඔබ වහන්සේ දැක උපස්ථාන නොකෙලේමුදැයි කියනවා ඇත. එවිට උන් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. මොවුන්ගෙන් ඉතා කුඩා එකෙකුටවත් යමක් නොකර ඇරියොත් ඒක මට නොකොලෝය කියන සේක ඔවුන් සදාකාල දඩුවමක්

    සදාකාල දදුවමටත් ධර්මිෂ්ටයෝ සදාකාල ජීවනයටත් යනවා ඇතැයි කී සේක” මතෙව් 25 වෙනි පරිච්චේදයේ 41 වෙනි පදේ පටන් 46 වෙනි පදේ දක්වා මෙලෙස තිබේ. ඉතින් මෙයින් හැගෙන්නේ ක්‍රිස්තුස් විශ්වාස කල පමණකින් පරලොව ගැලවිල්ලක් නොලැබෙන බවත්, ධර්මිෂ්ටකමින් හෙවත් හොඳ කිරීමෙන් පරලොව ගැලවෙන බවත්ය.

    බයිබලයේ ඒක පලෙක “ක්‍රිස්තුස් නිසා සියල්ලෝම ගැලවෙනවාය” කියාද, තව පලෙක “ධර්මිෂ්ටයෝ පමණක් ගැලවෙනවාය” කියාද තිබෙන මේ කියමන් දෙකින් භාරගන්නේ කොයි එකද? මෙයින් එකක් සැබෑ නම්, එකක් බොරු වෙනවා සත්තය. මෙලෙස එකකට එකක් විරුද්ධ වූ, මේ බයිබලයේ කියමන් හාත්පසින්ම විශ්වාස කරන්ට බැරිය. එම නිසා ක්‍රිස්තියානි ආගම සැබැ ආගමක් වෙන්නට බැරිය. ඒ බව සියල්ලෝම දැන ගනිත්වා. ම‍ගේ කතාවට ලැබී තිබුණු පැය දැනට ඉවර වෙන්න ගොස් තිබේ. එම නිසා මේ කතිසේරු තැන අසුවාවූ ප්‍රශ්නවලින් ඉතුරුව තිබෙන ප්‍රශ්න වලට දෙවනුව උත්තර දෙන්නෙමි.

    (කියා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ ඒ පැයේ කතාව අත්‍ හිටුවන්ට යෙදුනාය.)
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    7 වෙනි කථාව
    (වර්ෂ 1873 අගෝස්තු 28 වැනි දින සවස 3 පටන් 4 දක්වා
    දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් කල කතාව.)


    මේ සවස කතා කලින් පසු මේ වාදය හමාර වෙනවාය. එම නිසා මේ අන්තිම කතාව යහපත් ලෙස අසා සිත් වලට ගන්නා මෙන් මේ සමුහයාගෙන් ඉල්ලමි. බුද්ධ පක්ෂයට කතා කරන මේ උන්නාන්සේට මම “විරුද්ධ කාරයාය” කියා කීවාය කියා කෝපවී ඔහු මට “හතුරාය”යන නමක් කියාගෙන එනවාය. “විරුද්ධ කාරයා” යන වචනයේ කිසි අපහාසයක් නැත. එසේද වුවත් අපි දෙදෙනා කිසි කලෙක මෙබඳු කරනා වලදී විරුද්ධව සිටියේ නැත. එම නිසා මගේ මිතුරා විරුද්ධ කාරයා මය නමුත් මාගේ වචනයේ අර්ථ නොසලකා නොහොත් ” අපන්නකන් තාන මෙතන්” යන ගාථා පදයේ අභිප්‍රාව පමණවත් නොසලකා මට හතුරෙක් වෙන්ට කැමති උනාට කනගාටුය.
    මාගේ මිත්‍ර දෙසනාකාරයාගේ පොතේ 3,19 මනුෂ්‍යයා තිරිසනාට සමාන කළාය කියා ඔප්පු කරන්ට උත්සාහ කළාය. එක ඔහුට බැරි වැඩක්ය. මනුෂ්‍යයාට තිරස්චීන, මැරෙන ස්වභාවයක් ඇති කාණ්ඩයක් තිබේ. මේ ශරීරයට ජරා මරණ දෙක පැමිණේ. එක තිරිසනාටත් වෙයි. එම නිසා මනුෂ්‍යයා තිරිසනාට සමාන කලාට වරදක් නැත.
    තවද මාගේ මිතුරා “පටිච්ච සමුප්පාද ධර්මය” තොර දුන්නාය. නමුත් බුද්ධඝෝෂ ටත් තෝරා දෙන්ට බැරුව මුදේ වැටිලා දැගලුවාය යන්නක් කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. බුද්ධඝෝශටත් බැරිවූ පටිච්ච සමුප්පාද ධර්මය තෝරා දෙන්ට මගේ මිතුරා තැත් කලේ බුද්ධඝෝශටත් වඩා මගේ මිතුරා ව්‍යක්ත්යෙක්ද කියා මේ සමුහයා කල්පනා කරන සේක්වා.
    “පටිච්ච සමුප්පාද ධර්මය” ගැන නැවතත් ටිකක් මතක් කරවා හරින්ට කැමතිය. විඥානය නිසා නාම රුප සැදෙ නවාය නාම රුප නිසා ආයතන සය සැදෙනවාය ආයතන සය නිසා ස්පර්ශය සැදෙ නවාය එසේ එකක් කියා එකක් සැදී ගෙන ගොස් භවය නිසා ජාතිය සදෙනවාය කියනවාය. “විඥානය” කියන්නේ ඇස, කන්, නාසා ආදියේ විඥානය ය. ඒ විඥානය නිසා ආයතනයෝ පහල වෙනවාය කියනවාය. ආයතන කියන්නේ ඇස කන් නාසා ආදියේයය. මේ ආකාර පැටලවිලි සහිත කීමක් වෙනත් තිබෙනවාද? මෙසේ එකිනෙකට විරුද්ධ වූ කීම් ඇති බුදුන්ගේ මේ ඉගැන්වීම කෙලෙසද කීවොත් “අප්පා නිසා පුතා උපදිනවාය – පුතා නිසා අප්පා උපදිනවාය ” කීවා හා සමානය.සියලුම මනුෂ්‍යන්ට නොමැරෙන ආත්මයක් තිබෙනවා සත්තකය. එම ආත්මයම දිව්‍යලෝකයට යනවාය! දිව්‍ය ලෝකයේ සිටින්නේත් අජරාමර වාසනාවන්ත මනුෂ්‍යයෝය !! තවද “ආදම් නිසා පාපයට වැටුන සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේ නිසා ජීවත්වනු ලබනවා ඇත’ යන කීමත් ‘ක්‍රිස්තුස් වහන්සේ නිසා සියල්ලෝම ගැලවෙන්නේ නැත” යන කීමත් බයිබලයේ, මගේ මිතුරා පෙන්වා දුන් පදවල තිබෙනවා සත්තකය. එසේ වුවත් මගේ මිතුරාට එබදු තර්කයක් කරන්ට හිතුනේ ජීවත්වනු බලනවාය යන කීම තේරුම් ගන්නට බැරිවෙලා බවට කොහෙත්ම සැක නැත.
    අරුප ලෝක ගැන මාගේ මිතුරා කීවේ ඒවා තේරුම් ගන්ට බැරි සියුම් ධර්ම කොට්ඨාශයට අයිතිය කියලාය. එසේනම් ඉතා සියුම් වූ ආත්මය කෙබදු එකක් ද කියා අපෙන්ඇසු එක විහිළුවක් නොවේද?
    තුන් පිටකය ගැන මාගේ මිතුරා කීවේ බුදුන් කාලයේදීත්, රන් පත් වල බන ලීවාය කියලාය. ඒ කීම ඒත්තු ගන්ට බැරි කාරනා තිබේ. එනම් අටුවා සහිත සියලු බුද්ධ වචනයන් බුදුන් පිරිනිවී 450 වර්ෂයක් වනතුරු මුක පාටයෙන්ම ගෙනාවාය කියලා තිබෙන නිසාය. මගේ මිතුරාගේ ඒ උත්තරය නිස්සාරය. ඒ උත්තරය සවි කරන්ට නම් මුක පාඨයෙන් ගෙනාවේ මොනවාද කියා පෙන්වන්ට ඕනැය.
    මෝසෙස් මිනීමරුවෙකයි කියාද ඒ මෝසෙස් විසින් ලිවූ දේව වාක්‍ය පිළිගන්ට බැරිය කියාද මගේ මිතුරා කීවා ය. මෝසෙස් ඒ ආකාර මිනී මැරුවේ දෙවියන් වහන්සේ භාරගන්ට ඉස්සරිය. ඇරත් අපි මෝසෙස් සරණ යන්නේ නැත. එම නිසා මෝසෙස් කොපමන කලත් එයින් අපිට ඕනෑකමක් නැත

    බුද්ධාගන් කාරයෝ සරණ යන ඇත්තන්ගෙන් එක්කෙනෙක් අංගුලි මාලය. ඔහු මිනිස්සු 999 දෙනෙක් මරලා තිබෙනවාය. මේ තරම් කෘර පුද්ගලයා බුදුන් එක පාරට මහණ උපසම්පදා කළා පමණක් නොව රහත් වුනා යයි බුද්ධාගන්කාරයෝ කියනවාය අංගුලිමාල පිරිතයි කියා මේ ඇත්තාගේ නමින් පිරිතකුත් සාදා ගෙන බුද්ධාගන් කාරයෝ කියනවාය.

    ආලවක යක්ෂයා අවුරුදු දොළහක් මුළුල්ලේ දවසට එකා බැගින් මිනිස්සු හාර දාස් තුන් සීයකට වඩා මරා කාපු කෙනෙක්ය. නමුත් ඔහුත් සෝවාන් වුනාය කියා බුද්ධාගන්කාරයෝ සරණ යනවාය.

    බුදුන් බෝධි සත්ව කාලයේ දී හෙවත් වෙස්සන්තර රජුව උපන් කාලයේ දී තමන්ගේ ස්ත්‍රී බමුණෙකුට දීලා තිබේ. බෝධිසත්වයෝ තමාගේ ස්ත්‍රී කිසිවෙකුට අඹු කමට දුන්නේ නැතැයි අපේ මිතුරා කීවාය. නමුත් අපේ මිතුරාගේ ආගමේ පොත්වල “නෙක කෝටි සහස්සානං හරියත්තාය දායිමන්” යනාදී ගාථාවක් තිබේ. මේ ගාථාව කියා තිබෙන්නේ යසෝදරා ස්තවිරියන්ය. මේවා කුදූ ගොත් සඟියේ තේරී අපදානයෙහි කියා තිබේ. ඉහත කී ගාථා පදයේ අභිප්‍රාව නම් ” නොයෙක් කෙල සසර වාර වලදී අනුන්ට අඹු කමට මා දුන්නාය. එත් මම නුඹ වහන්සේට අමනාපයක් වුයේ නැත” යනුයි. මේ අන්දමේ බුද්ධාගමේ පොත්වල තිබෙන කියමන් අනික් අතට පෙරලන්ට මේ පිරිවරාගෙන ඉන්නා සමර්තයොත්, එකතුවෙලා සිටින කව්රුත් දැන ගනිත්වා.

    තවද “අනාගතානං යාවකානං ” යනාදී පාඨයෙන් පෙනෙන්නේ ඉල්ලගෙන එන තැනැත්තන්ට හිස ගසා දුන්නාය. ලේ බොන්ට දුන්නාය. ඇස් උගුල්ලා දුන්නාය. දරුවන් දුන්නාය. භාර්යාව දුන්නාය. මා විසින් නුදුන් දානයක් නැත.” කියා බුදුන් කියා තිබෙනවාය. ඉතින් මේවා නැත කියන්නන් සමග කරන වාදය මොකක්ද?

    ඉතින් මෙතැන් පටන් මේ ‘බුද්ධාංකුර” ගේ ලක්ෂණ පෙන්වා දෙමි. “අංකුරය” කියන්නේ පැලැටිය ය. බුදුවෙන පැළෑටියේ හැටි පෙන්වා දෙන්ට ජාතක කතා දෙක තුනක් පෙන්වා දෙමි. ඒ අසුව මැනවි. පරන්තප ජාතකය බලනු. එම ජාතකයේ බුද්ධාංකුර රාජ කුමාරයෙක්ව තමාගේ පියාට විරුද්ධව කැරලි ගැසුවාය. පියරජ තමන් ද බිසවත් “පරන්තප” නම් දාසයාත් සමග වල වැදුනාය. එහිදී පරන්තපයා බිසවට එකතු වෙලා පියරජ මැරුවාය. දෙවනු උපන් කුමාරයා පරන්තපයා මැරුවාය. මේ සියලු අනතුරු සිද්ධ උනේ බුද්ධාංකුර කල ද්‍රෝහීකම නිසාය. මේ බුදුවෙන්ට ලොකුවෙගෙන එන තැනැත්තා කල වැඩෙය.

    සුසන්දික ජාතකය :- ඒ ජාතකයේදී බෝධිසත්වයෝ ගුරුලෙක ඔහු සුදු කෙළියට රජ ගෙයකට ගොස් ඒ රජ්ජුරුවන්ගේ බිසව හොරකම් කරගෙන පැන්නේය. මේ ක්‍රියාව ලොකුවේගෙන බුදුවීමට එන අතර කල වැඩෙය. මේවා බුදු වීමට කරන වැඩ නම් බුදු බව පතන අනිත් අයටත් ආදර්ශයට ගන්ට හොදය.
    බුදුවුවයින් පසු සර්වඥ තා ඥානයක් තබා මේ කාලයේදී ළමයෙකුට ඇති තරම් ඥානයක් වත් නොතිබුන බවට වැදගත් කාරනා වලින් සාක්ෂි දෙමි. අංගුත්තර සංගියේ සප්ත සුර්යෝද්ගමන සුත්‍රයේ ” සිනෙරු භික්කවේ පබ්බ රාජා චතුරා සිති යෝජනා සහස්සානි ආයාමෙන” යනාදී පාඨයෙන් පෙන්වා තිබෙන්නේ මහා මේර කියන පර්වතයෙහි උස මහතා සහ කල්ප විනාසයෙදී සුර්යයන් හත් දෙනෙක් පායන අන්දමය. “සිනෙරු පර්වත රාජයා අයමින් අසු හාර දහසක් යොදුන. විතරින් අසු හාර දහසක් යොදුන අසු හාර දහස් යොදුන් මහා සමුද්‍රයෙහි ගිලී තිබෙන්නේය. එපමණ මහා සමුද්‍රයෙන් උස්ව නැංගේය” කියා එම පාඨයෙන් පෙනේ. ඉතින් මෙපමණ උස මහතා ඇති පර්වත රාජයා තිබෙන්නේ මේ ලෝකයේ කොතනද? එක මනුෂ්‍යයන්ගේ ඇසට නොපෙනී තිබෙන්නේ කොහොමද? (මෙහිදී ලෝක සන්ඨාන බෝලයක් පෙන්වා) මේ ලෝක බෝලයේ වට ප්‍රමාණය නම් හතක්ම විසි පන් දාහය. ඒ බව ලෝකයේ ඥානවන්ත පණ්ඩිතයන් සියල්ල පිලි ගෙන තිබේ. ඉතින් ඉහත කී තරම් විශාල පර්වතයක් මෙපමණ කුඩා ලෝකයක තිබෙන්ට බැරිය. ඇරත් ලෝකයේ මේ ආකාර එකක් එකක් තිබෙනවාද කියා සති ගණනකදී දැන ගන්ට ලෝකය වටේ යාත්‍රා කරන්ට පුළුවන. එබඳු නැව්වල යාත්‍රා කරන කොයි පණ්ඩිතයෙකුට
    වත් මෙබඳු පර්වතයක් තිබෙන බවට ලකුණක් ලැබී නැත. එම නිසා මෙබඳු පර්වතයක් ඇත කියා දේශනා කල බුදුන්ට හාත්පසින්ම සවඥතා ඥානයක් නැත. එබඳු කෙනෙක් සියල්ල දන්නවය කියා පිළිගෙන දැඟලීම නිෂ්ඵලය.

    තවද බ්‍රහ්ම ලෝකවල උපදින්නට පතා ගෙන මාතර උන්නාන්සේලා වගයක් පිස්සු අල්ලන කල් ධ්‍යාන භාවනා කල වගක් පසුගිය කාලයේ අපට සලය. ඒ වාගේ පිස්සන්ට මේ ධර්මවල් හොන්දවා මිස නැණවතුන්ට හොඳ නැතුවා සත්තකය.
    තවද බුදුන්ගේ ගෝලයෝ බුදුන් ජීවත්ව සිටියදීම අනත පාප ක්‍රියා කරලා තිබෙන බව පාරාජිකා පොතේ පෙනේ. ඒවා මේ යයි විස්තර වශයෙන් මෙබඳු සභාවල කියා දෙන්ට බැරිය. නමුත් ස්වල්පයක් කියමි.
    මක්කටික අවත්තු ආදී වස්තුවලින් “තෙන කෝපන සමයෙන ආඥාත්තරෝ භික්කු සීවතිකන් ගත්වා යෙභූය්යෙන ඛයිතන් සරීරන් පස්සිත්වා මෙතුන ධම්මං පතිසේවි” යනාදියෙන් පෙනෙන කාරනා විස්තර කරන්ට නුසුදුසුය.

    ඇරත් බුදුන්ගේ මරණය ගැන මදක් කියමි. බුදුන් මැරුණේ චුන්ද නම් තාපසයා විසින් දෙන ලද සුකර මද්දවය අනුභව කොට ලෝහිත පක්කන්දික නම් රෝගයෙනි. එනම් ලේ අතීසාර රෝගයෙන්ය. ඒ රෝගය අල්ලා නොයෙක් දුක් විද, තැන, තැන වලට යන්ට බැරුව ඉඳ, ඉඳ, කුසිනාරා නුවරට ගිය බව “මහා පරිනිර්වාන සුත්‍රයෙහි” පෙනේ. මේ දුක් විදීමේදී බුදුන්ට තිබුණාය කියන ඉර්දියක්වත් දිව්‍ය බ්‍රහ්මයන්ගෙන් උපකාරයක්වත් ඇති බවක් නොපෙනේ. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ බුදුන් සම්භන්දව කියා තිබෙන කියමන් අඥානයන් රවටන්ට කියා තිබෙන ප්‍රලාප බවය.

    මේ කීම් කොයි හැටි වුවත් අපි සියල්ලන්ම් මවා ආරක්ෂා කරන්නාවූ සර්ව පරාක්‍රමයානං වහන්සේ ත් උන්වහන්සේ ගේ ඒක ජාත පුත්‍රයා වන, අපේ පව් වලට දුක් වින්දාවූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් විශ්වාස කොට අපේ ගැලවීම ලබා ගන්ට ඕනෑය.

    ඉතින් අප විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලින් එකම කාරනයකටවත් අපේ මිත්‍රයා උත්තර නුදුන් බවත් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව ඇසුවාවූ සියල්ලටම අප විසින් උත්තර දුන් බවත් මේ සියල්ලන්ම හිත් වල තබා ගන්නා මෙන්ද ඉල්ලනවාය. මගේ කතාව මෙයින් නවත්තමි.


    (කියා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේගේ කතාව අත් හිටුවන්ට යෙදුනාය.)
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    8 වෙනි කථාව
    (වර්ෂ 1873 අගෝස්තු 28 වෙනි දින සවස 4 පටන් 5 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ විසින් කල කතාව )


    මේ පාදිලි තැන මීට ඉහත කතා කරද්දී මට ‘විරුද්ධ කාරයා’ය කියාත් මවිසින් ඒ ගැන කාරනා කීවායින් පසු ‘මිත්‍රයාය’ කියාත් ව්‍යාවහාර කාලය. එයින් ඔහුගේ වැරැද්ද ඔහුටම තේරුම් ගිය බව පෙනේ. එම නිසා ඒ ගැන යමක් කියන්ට ඕනෑකරන්නේ නැත.
    පසුගිය අගහරුවාදා උදය වරුවේ මේ පාදිලි තැන කල කතාවේදී මනුෂ්‍යන් මුර්ගයන්ට සමාන කරලා බුද්ධාගමේ තිබෙනවාය යි කීවාය. එබදු ඉගැන්වීමක් බුද්ධාගමේ පොත්වල නැත. මනුෂ්‍යන් මුර්ගයන්ට සමාන කරලා තිබෙන්නේ ක්‍රිස්තියානි ආගමේය. ඒ බව මීට ඉහත බයිබලයෙන්ම වරක් මා විසින් ඔප්පු කාලය. නුමුත් ඒ කාරනාවම තව වරක් ඔප්පු කරමු. මක් නිසාද? ඒ ප්‍රස්තාවට ඒ කතාව අහගන නොසිටි වැදගත් උදවිය දැනට පැමිණ සිටින නිසාය.

    දේශනා කාරයාගේ 1 වෙනි පොතේ 3 වන පරිච්චේදයේ 19 වන පදේ මෙලෙස තිබේ. මනුෂ්‍ය පුත්‍රයන්ට වෙන දේ මුර්ගයන්ටත් වෙන්නේය. එකම දෙයක් ඔවුන්ට සිදු වේ. එකෙක් නසින හැටියේ අනිකා නසින්නේය. ඔවුන් සැමටම ඒක හුස්මක මුර්ගයෙකුට වඩා මිනිහෙකුට කිසි උතුම් කමක් නැත.” ඉතින් මනුෂ්‍යයන් මුර්ගයන්ට සමාන කරලා තිබෙන බව මෙයින් පැහැදිලිව ඔප්පු වේ. ‘මනුශ්‍යන්ට් මුර්ගයන්ට සමාන කරලා තිබෙන බව ක්‍රිස්තියානි ආගමෙන් ඔප්පු කරන්ට බැරිය’ කියා මේ පාදිලි තැන කී නමුත් ” ඔවුන් සැමටම එක හුස්මක” යන බයිබලයේ තිබෙන වචන වලින්ද මුර්ගයන්ගේද, මනුශ්‍යන්ගේද, වෙනසක් නැති බව ඔප්පු වේ.
    පටිචචා සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ අමාරුව ප්‍රකාශ කිරීම පිණිස බුද්ධඝෝස තෙරුන්නාන්සේ විසින් දක්වා තිබෙන “වනතු කාමෝ අහිං අජ්ජ” යනාදී ගාථාවේ අභිප්‍රාව මා විසින් කියාදී ඉන් පසු මගේ දැනුම් පමණින් පටිචචා සමුප්පාද ධර්මය තේරුම් කර දුන්නා ඇත. එම නිසා බුද්ධගෝෂ තෙරුන්නාන්සේ ට වඩා මම සමර්තයෙක් වෙන්නේ නැත. එබන්දක් මා විසින් ඇගෙව්වේවත් නැත. මෙලෙස නිවැරදි කළාවූ මාගේ ඒ කතාවට මේ පාදිලි තැන දොස් කීවේ මොහුගේ පාලි දැනීමේ තරම මා විසින් මේ සමුහයාට පෙන්වා කල කතාවට ඊර්ෂ්‍යාවෙන් යයි සිතමි. එම නිසා මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕන නොකරයි.

    තවද මේ පාදිලි තැන පටිච්චා සමුප්පාද ධර්මය ගැන නවත්ත කියා දෙනවාය කියා පටන් ගෙන කාටවත් නොතේරෙන හල්ලක් කියාගෙන ගොස් “බුදුන්ගේ ඉගැන්වීම අවුල් සහිතය” කියාද, “එකකට එකක් විරුද්ධය” කියාද තීන්දු කාලය. මේ පාදිලි තැන කී ලෙස පටිච්චා සමුප්පාද ධර්මයෙහි අවුලක්වත් එකකට එකක් විරුද්ධ කමක්වත් ඇත්තේ නැත. මේ පාදිලි තැනට උත්පත්ති විඥාන චිත්තයෙන් ඇස් කන් නාසාදිය සම්බන්ධව පවතින් චක්ෂු විඥාන, ශ්‍රොත විඥානය ආදීන්ගේ වෙනස තේරෙන්නේ නැත. එසේ තේරෙනවානම්, “පටිච්චා සමුප්පාද ධර්මය අවුල්ය. එකිනෙකට විරුද්ධය” කියන්නේ නැත. උත්පත්ති විඥාන චිත්තයෙන් ඇස් කන් නාසාදිය සම්බන්ධව පවතින් චක්ෂු විඥාන, ආදීන්ගේ වෙනස දන ගැනීමට මීට ඉහත වරක් මා විසින් කාරනා කියා දුන්නාය. එම නිසා මෙහිදී ඒ ගැන වඩා විස්තර නොකරමි.

    මේ පාදිලි තැන “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීවාක් මෙන් පටිච්චා සමුප්පාද ධර්මය ද අවුල්ය කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. එම නිසා ඒ ගැන යමක් නොකියාම බැරිය.
    “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීවාම ඒ උත්පත්තියේ වටකුරු ගතියක් තිබේ එබදු වටකුරු උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබේ. ඒ කෙසේද:- යෙහෝවා විසින් ක්‍රිස්තුස් ගේ මෑණියන් වන මරියා මැව් නිසා යෙහෝවාමරියා ගේ පියා වේ. මරියා යෙහොව්වාගේ දුව වේ. සුද්ධාත්මය මරියාගේ බඩේ පිළිසිද ගත් නිසා යෙහෝවා මරියාගේ පුතාවේ. මරියා යෙහොවාගේ මව් වේ. ක්‍රිස්තුස් මරියාගේ පුතා නිසා යෙහෝවා මරියාගේ පුරුෂයා වේ. මරියා යෙහොවාගේ ස්ත්‍රී වේ. ඉතින් මෙයින් පෙනෙන්නේ එකම මරියා එක වරකට, යෙහොව්වා ගේ දු ! බවත් එකවරකට යෙහොවාගේ මව්!! බවත්, එකවරකට යෙහොවාගේ ස්ත්‍රී !!! බවත්ය. මෙබදු නින්දිත උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබෙද්දී පටිච්චා සමුප්පාද ධර්මයට “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” යන උපමාව කීවා කොහෙත්ම හරි නැත. “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීම හාත්පසින්ම ක්‍රිස්තුස්ගේ උත්පත්තියට කීවා නම් හරිය. එම නිසා මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත.

    ඉන් පසු මේ පාදිලි තැන ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත් මනුෂ්‍යයෝ” ය කීවා මේ පිරිසට ඇහෙන්ට ඇත. ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත් මනුෂ්‍යයෝ” ය මේ පාදිලි තැන කියනවා මිස මොනයම් ශාස්තරා ආගමකවත් කියලා නැත. මුන්නහෙගේ මේ කියමන අලුත් කියමනක් ය. “පරලොව ගමන් කරන ආත්මයක් ඇත” කියන මුන්නහෙලාට මේ අන්දමේ ප්‍රලාප නොදොඩා බැරිය. බොරු දෘෂ්ඨිය සවි කරන්ට කියන්ට ඕනෑ බොරුමය මිත්‍යා දෘෂ්ඨිකයන්ගේ කියමන් වල තිබෙන නිස්සරකම මෙඉන් දන ගනිත්වා. “මෙලොවින් පිටත්ව පරලොවට ආත්මයක් ගමන් කරනවානම් දිව්‍ය ලෝකයේ සිටින්නේත් මනුෂ්‍යයෝ වෙන්ට ඕනයි” කියා මවිසින් අසු ප්‍රශ්නයට උත්තරයක් දෙන්ට බැරි කම නිසා ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත් මනුෂ්‍යයෝ” ය කියා දගලන බව මේ කතාවලින් පෙනේ.
    මේ අන්දමේ හැරුණු හැරුණු අතට උත්තර දෙන තමන්ගේම ආගමටත් විරුද්ධවන කියමන් කියන මුන්නහෙලා සමග වාද කරනවාට වඩා නිකන් හිඳීම යුතුය. දිවය ලෝක වල මනුෂ්‍යයෝ නැති බවත්, ඒවායේ ආනුභාව සම්පන්න දෙවියන් වහන්සේලා සිටින බවත් මේ සියල්ලන්ගේ හිත්වල ඇදී තිබෙන ඇත්තක් නිසා ඒ ගැන වැඩිය යමක් කියන්නට ඕනෑ කරන්නේ නැත.

    “ජීවත්වනු ලබනවා ඇත”. යන වචනය “මට තේරෙන්නේ නැත”යි කීවා මිස මේ පාදිලි තැන වත් ඒ ගැන අමුතු තේරුමක් කලේ නැත. ආදම් කරන කොට ගෙන සියල්ලෝම මරණයට පැමිනේන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොට ගෙන සියල්ලෝම ජීවත්වනු ලබනවා ඇත” කියා බයිබලයේ තිබේ. ඒ ගැන මීට ඉහත විස්තර කීමි. ඒ නිසා මෙහිදී ඒ ගැන බයිබලය පෙරලන්නේ නැත. මෙලොව ජීවත් වීමට “ජීවත්වනු ලබනවා ඇත” කීවා නම් ක්‍රිස්තුස් ට ගැලවුම් කාරයා යයි කියන්ට ඕනෑ කරන්නේ නැත. ක්‍රිස්තුස් ඇදහීමෙන් පරලොවට වැඩකුත් නැත.

    මෙලොවින් පරලොවට ගමන්කරන ආත්මය ඉතා සියුම් එකක් නිසා එකේ ආකාරය කියන්ට බැරිලු. එසේ සියුම් නම් පරලොවට ගමන යන බව දන ගත්තේ කොහොමද? අරුප ලෝකවල උපදින සත්වයන්ගේ චිට්ට ලක්ෂණය කියාදීමට කාලය මදි බැව්” කීව මිස “කියන්ට බැරිය” යි නොකිව්වෙමි. අරුප ලෝකවල ඉපිදී සිටින බ්‍රහ්මයන්ගේ ආත්මයන් මුන්නහෙලා කියන ලෙස ගමන් යන්නේ නැත. මුන්නේහෙලා එබඳු බ්‍රහ්ම ලෝකවල් ඇත කියා විශ්වාස කරන්නේ නැත. එම නිසා මුන්නහෙලා කියන ආත්මය ඊට සමාන කළා වැරදිය.

    අද උදය වරුවේ කතා කල සිරිමාන්න කතිසේරු තැන විසින් බුද්ධාගමේ දොස් දැක්වීම පිණිස කල කතාවක් මේ පාදිලි තැන විසිනුත් ගෙනහැර දැක්වුව. එනම් ” බුදුන් පිරිනිවන් පාලා අවුරුදු 453 කට පසු බුද්ඩාගමේ ධර්මය පොත්වල ලිවුවාය” යන කීමයි. ඒ කියමනට මවිසින් නිසි උත්තර ඒ ළඟ පැයේදී දුන්නා ඇත. ඒ ගැන වැඩිය යමක් නොකියමි. නමුත් “සාමය සංග්‍රහව” කියන පත්‍රයේ 4 වෙනි කලාපයේ ඒ ගැන විස්තර කියමන් තිබේ. එම නිසා ඒ සංග්‍රහව උන්නන්සේලාට බාර දීම ඊට උත්තර වේ. (කියා ඒ සංග්‍රහව ක්‍රිස්තියානු පක්ෂයට භාර දුන්නා ඇත)

    තවද මේ පාදිලි තැන මෝසෙස් ගේ උත්තම කම හැගාවන්ට උත්සාහ කළා. ඒ උත්සාහය ස්ථිර කරන්ට අතිශයින්ම බැරිය. මක් නිසාද මෝසෙස් මිනී මරා රට හැර ගිය තක්කඩි යෙක්ය . “ඔහු යෙහෝවා භාරගත්තාට පසු එලෙස තක්කඩිකම් කෙළේ නැතයිකියා මේ පාදිලි තැන කී නමුත් බයිබලයේ නික්මයාම පොත කියවා බලන කාට නමුත් පෙනෙන්ට තිබෙන්නේ මෝසෙස් මැරෙන තුරුම මිනී මැරූ බවය. එබැවින් මෝසෙස් කොයි කාලයකටවත් ධර්මිස්ට පුද්ගලයෙක් ණෝවේන බව මේ සියල්ලන්ම තේරුම් ගනිත්වා. මෝසෙස් වැනි මිනී මරුවෙක් විසින් ලියන ලද “බයිබලය සැබෑවූ පොතක්ය ඒ පොතේ කියමන් කියමන් විශ්වාස කොට පරලොව ගැලවෙන්ට පුළුවනැයි” සිතීම වැලි මිරිකා තෙල් ගන්ට කරන උත්සාහයක් වැනිය. මේ ආදී අනත කාරණාවලින් ක්‍රිස්තියානි ආගම සබැ ආගමක් නොවන බව ඔප්පු වේ. එම නිසා ක්‍රිස්තියානි ආගම දුරින්ම දුරු කට යුතු.

    “අංගුලිමාල තෙරුන් වහන්සේ මිනී මරුවෙකැයි මේ පාදිලි තැන කීවා. ඒ කීම හාත්පසින්ම බොරුය. අංගුලිමාල තෙරුන් වහන්සේ කිසි කලෙක මිනිහෙක් මැරීම තබා කුහුබුවෙක් පමණවත් මැරුවේ නැත. එබන්දල් මේ පාදිලි තැනට බුද්ධාගමේ පොතකින් පෙන්වන්ට බැරිය. “අංගුලිමාල තෙරුන් වහන්සේ “ය යන නාමය උන්නාන්සේට ලැබුනේ මහණව රහත් වූවායින් පසුවය බුද්ධගන් කාරයෝ වැදුම් පිදුම් පවත්වන්නේ එම රහතන් වහන්සේටය. මහණව රහත් වෙන්ට මත්තෙන් වැරදි කලේ ඒ රහතන් වහන්සේ නොවේය. ඒ වැරදි කලේ පෘතග්ජන පුත්ගලයෙක්ය. ඒ පුද්ගලයා උත්තමයෙකි අපි කියන්නේ නැත. ‘අංගුලිමාල’ නම් කෙලෙස් සහිත ගෘහස්ත පුද්ගලයෙක් සිටියා සත්තකය. ඒ පුද්ගලයා කල වැරදි ආර්ය පුද්ගලයෙක් පිටට හෙලන්ට උත්සාහ කලාට එක පුළුවන් වැඩක් නොවේය. අරහන්තික ආලවක ගැනත් දෙන උත්තරය එලෙසමය. එම නිසා ඒ ගැන මගේ කාලය මිඩංගු කරන්නේ නැත.

    තවද මේ පාදිලි තැන වෙස්සන්තර රජ්ජුරුවන්ගේ දානාද්‍යාසයට නින්දා කරනු කැමතිව කතාවක් කලා ය. අද උදය වරුවේ සිරිමාන්න කතිසේරු තැන කළ කතාවත් මේ කතාවමය. එම නිසා සිරිමාන්න කතිසේරු තැනගේ එම කතාවට මවිසින් දුන් උත්තරම මේ කතාවට උත්තර වේ. එබැවින් මේ පාදිලි තැන වෙස්සන්තර රජ්ජුරුවෝ ගැන කේ කතාවට උත්තර ඒවම බව සැලකිය යුතු නමුත් මේ පාදිලි තැන “තේරී අපදාන” හි තිබෙන ගාථා කැබලි කීපයක් කීව එනම් ” නෙක කොටි සහස්සානං හරියත්තාය දායිමන්” යනාදියය. මේ ගාථා කැබලි කීවේ බෝධි සත්වයෝ තමන්ගේ ස්ත්‍රී අඹු කමට අනුන්ට පාවා දුන් බව ඔප්පු කරන්ටය. ඒ ගතාවලින් එබන්දක් ඔප්පු වෙන්නේ නැත. මක් නිසාද වෙස්සන්තර රජ ශක්‍ර බ්‍රාහ්මණයා ට මන්ත්‍රී දෙවි පාවා දුන්නාය. සත්තකය. ඒ දීමට “හරියත්තාය දායිමන්” නොකියා බැරිය. නමුත් ඒ බ්‍රාහ්මණයා මන්ත්‍රී දේවි අඹු කමට ගත්තේ නැත. එම වෙස්සන්තර රජ්ජුරුවන්ටම එම ක්ෂනයේදීම ආපසු භාර දී ගිය බව වෙස්සන්තර ජාතකයෙහි පෙනේ. එම නිසා ඒ ගතා පදවලින් එබන්දක් ඔප්පු ණෝවේ. ” බෝධි සත්වයෝ තමන්ගේ ස්ත්‍රී අඹු කමට දුන්නාය කියා ඔප්පු කරන්ට නම් එසේ දීපු කාලයේදී ස්ත්‍රී කොට තබා ගෙන උන් තැනක් පොතකින්පෙන්වන්ට ඕනෑය. එසේ පෙන්වන්ට මේ පාදිලි තැනගේ සමර්තකම මදිය. මේ ගැන උත්තර මෙපමණ සැහෙන නිසා මෙපමණකින් නවතිමි.

    තවද මේ පාදිලි තැන “අගතා ගතානං” යනාදී පාලි වාසගම් කැබැල්ලක් කීවාය ඒ වාසගම බුද්ධ දේශනාවය කියලාත් බොහොම උඩ පැන්නාය. එබඳු පාලි වාසගම් කැබැල්ලක් බුද්ධ දේශනාව තුල කොතනකවත් ඇත්තේ නැත. එසේ ඇතුවානම් දේශනා පොතකින් පෙන්විය යුතුය. ඒ පෙන්වන්ට බැරුවා සත්තකය. බෝධි සත්වයෝ දන් පිණිස ඇස්, ඉස්, මස්, ලේ, අඹු දරුවන් දුන්නා සත්තකය. බුද්ධත්වය ලෝකෝත්තර පදවියක් නිසා එබඳු ආශ්චර්යමත් දානාද්‍යාසයක් ඇති කෙනෙකුට මිස නැති කෙනෙකුන්ට ලබන්ට බැරිය. මේ ගැනත් මීට ඉහත මවිසින් කාරනා පෙන්වා දුන් නිසා මීට වැඩිය යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත.
    තවද මේ පාදිලි තැන බුදු රජාණන් වහන්සේට නින්දා කිරීම සඳහා පරන්තප ජාතකය, සුසන්දිය ජාතකය යන ජාතක දෙක ගැන හැර දක්වා එහිදී බෝධිසත්වයෝ වැරදි කළ බව කීවා මේ ඇත්තන්ට ඇසෙන්ට ඇත. එයින් බුදු රජාණන් වහන්සේට වත්, බුද්ධාගම ට වත් කිසි අපහාසයක් නැත. මකිනිසාද කෙලෙස් සහිත පුද්ගලයෝ වැරදි කරනවා සත්තකය. කෙලෙස් සහිත පුද්ගලයෙක් වැරදි කලාට නිකෙලෙස් වූ බුදුන්ට එයින් කිසි අපහාසයක් නැත. . “බෝධි සම්භාර පුරන බෝධිසත්වයන් වහන්සේලා වැරදි කරන්නේ නැත” කියා අපි කියන්නේ නැත. බුදු උනායින් පසු උන් වහන්සේ කිසි වරදක් කෙළේ නැත. බුද්ධාගම් කාරයින් වන අපි සරණ යන්නේ, අදහන්නේ, වදින්නේ, පුදන්නේ බුදුන්ටය. බෝධිසත්වයන් සරණ යාමක් අපේ නැත. එම නිසා බෝධිසත්වයෝ කළ දෝෂයක් ගෙන හැර දැක්වීම නිෂ්ඵලය. තවද, “බුද්ධන්කුර” කියන්නේ පැල වේගන යන බුදුන්ය කියා මේ පාදිලි තැන කීව මේ කාටත් ඇසෙන්ට ඇත එබදු අර්ථයක් “බුද්ධන්කුර”යන වචනයට කියන්ට බැරිය. මේ පාදිලි තැනගේ නුගත්කම නිසා ඔය අන්දමේ ප්‍රලාප දෙඩෙව්වා මිස උගතෙක් නම් දොඩන්නේ නැතුවා සත්තකය.
    තවද “බුදුන්ට සර්වඥතා ඥානයක් තබා ළමයෙකුට ඇති නුවනක්වත් නැත” කියා මේ පාදිලි තැන, ඒ බව පෙන්වන්ට “සිනෙරු භික්කවේ පබ්බත රාජා” යනාදී පාඨයක් ගෙන හැර දැක්වූවා. ඒ පාඨය ගෙන හැර දැක්වුවේ “මහමෙරු පර්වතය කියා පර්වතයක් ඇති බුදුන්ගේ දේශනාවේ තිබෙනවාය” යයි පෙන්වන්ටය. මහා මේර නැති බව පෙන්වන්ට මේ පාදිලි තැන ඉදිරියට ගෙනාවේ ඉංග්‍රීසි භුමි ශාස්ත්‍රයය. ඒ භුමි ශාස්ත්‍රය ඉපදෙව්වේ සර් ඓසැක් නිව්ටන් යන ඉංග්‍රීසි පණ්ඩිත යාය. ඒ පණ්ඩිතය ඉපදෙව් භුමි ශාස්ත්‍රය ට විරුද්ධව ආර් ජේ මොරිසන් කියන ඉංග්‍රීසි පණ්ඩිත යා පොතක් ලියා තිබේ. ඒ පොත දැනට මා ලග තිබේ. ඒ පොතේ කියා තිබෙන කියමන්වල හැටියට නිව්ටන් ගේ භුමි ශාස්ත්‍රය බොරු බව ඔප්පු වේ. මේ පාදිලිතන සරණ කොටගත් නිව්ටන් ගේ භුමි ශාස්ත්‍රය අන්දමට රැදවල් වන්නේ පොලොව කරකවීමෙන්ය. නමුත් මොරිසන් ගේ කියමන්වල හැටියට ඉර ගමන් කරන බවත් පොලොව නිශ්චලව තිබෙන බවත් පෙනේ. ඉංගිසි පණ්ඩිතයන් අතර පවා මෙලෙස එක්සත් කමක් නැතුව වාද විවාදව තිබෙන භුමි ශාස්ත්‍රය කින් බුද්ධ ධර්මය බොරු කරන්න ආ එක කොපමණ ලාමකද?

    මේ පාදිලි තැන බෝලයක් දික් කළ බව කාටත් පෙනෙන්ට ඇත. ඒ පෙන්නුවේ නිව්ටන් ඉපදෙව් භුමි සාස්ත්‍රයේ අන්දමට සදාපු බෝලයක්ය. ඒ බෝලය ඉතා ඉක්මනින් විසි කරමි. හේ කෙසේද:- මොරිසන් කියන්නෙත් ඉංග්‍රීසි පණ්ඩිත යෙක්ය . ඔහු පොලව කර නොකවෙන බවට අනන්ත සාක්ෂි දීල තිබෙනවාය. (ඒවා ගැනීමට ක්‍රිස්තියානු පක්ෂයට ඒ පොත භාර දුන්නාය) එයින් ඉහතපෙන්නු බෝලය විසි උනා සත්තකය. තවද මේ පාදිලි තැන පෙන්වා හිටිය භුමි සාස්ත්‍රය ගැන ඉංග්‍රීසි පණ්ඩිතයන අතරේද “සුර්ය සිද්ධාන්ත” ආදී පොත් කළ සංස්කෘත පණ්ඩිත යන අතරේද කිසි කලෙක නිශ්චයකට පමිලිලා නැත. ඉංග්‍රීසි පණ්ඩිතයන් නිතරම භුමි සාස්ත්‍රය ගැන වාද විවාද කරති. මේ අන්දමින් නිස්චයකට නොපැමිණ තිබෙන අවලංගු සාශ්ත්‍රය කින් කාරනා පෙන්වා බුද්ධ ධර්මය බොරු කරන්ට ආ එක මහත් විහිලුවක්ය. මේ පාදිලි තැනගේ බෝලයද විසි විය. තවද “මහමෙර” කියා විශාල පර්වතයක් උතුරු දිසාවේ තිබෙන බවට වැදගත් සාක්ෂි තිබේ. එනම් කොම්පාස් එකය. එම කොම්පාස් එකේ කාන්දම් බැදී කොන නිතරම උතුරටම හැරී සිටී. වෙන දිසාවකට ඒ කටුව කොයි කලෙක වත් හැරී සිටින්නේ නැත. එයින් කාන්දම අදින වස්තුවක් උතුරු දිසාවේ තිබෙන බව ඔප්පු වේ.

    ඒ වස්තුව නම් අපි කියන්නේ මහා මෙරය. මගේ මේ කියමන බිද හෙලන්ට කිසිවෙකුටත් බැරුවා සත්තකය. එම නිසා මහාමේර ඇති බව මෙයින් ඔප්පු වේ. තවද කොම්පාස් කටුවේ කාන්දම බැදී කොන උතුරට අදින්නේ මේ නිසාය කියා කොයියම් ඉංගිරිසි පණ්ඩිතයෙක් වත් සොයලා තිබෙනවාද.? සොයලා තිබෙනවා නම් කියන්ට හොඳා.
    ඒ ගැන යමක් මේ හිටින කිසිවෙකුන්ට කියන්ට බැරුවා සත්තකය. මහාමේර සමාන විශාල පර්වතයක් ලෝකයේ වෙන නැත්තේය. එම නිසා ඒ පර්වතය තිබෙන දිසාවට කාන්දම් කටුව අදින්නේය. තවද ලෝකයේ වට මහතා හැතැප්ම විසි පන්දාහක් බවද මහමෙර ජලයෙන් උඩට අසු හාර දාහක් තිබෙන බවද කියා එපමණ ලොකු පර්වතයක් මෙපමණ පුංචි ලෝකයක තිබෙන්ට බැරි බව ඔප්පු කරන්ටත් මේ පාදිලි තැන උත්සාහ කළා. ඒ උත්සාහය ඉතා නිෂ්ඵලයි.
    මක්නිසාද ලෝකයේ ප්‍රමාණය කියා දුන්නෙත් නිව්ටන් ගේ ශාස්ත්‍රයේ හැටියටයි. වෙන ඉංගිරිසි පණ්ඩිත යන් දොස්කියන අස්ථිර ශාස්ත්‍රයෙන් ගෙන හැර පා ලෝකයේ ප්‍රමාණය ඒත්තු ගන්නට බැරිය. මේ හැර දඹදිව පණ්ඩිතයන් අතරේ යොදුන්වල ප්‍රමාණය ගැන නා නා මත තිබේ. ඒ නිසා බුද්ධාගමේ පොත්වල පෙන යොදුන් ප්‍රමාණය එයින් කොයි ප්‍රමාණයට එකතු දැයි මේ පාදිලි තැන දන්නවාද? ඉතින් මහමෙර ගැන මේ පාදිලි තැන කල කතාවට දිය යුතු උත්තර මෙපමණ සැහෙන හෙයින් මෙයින් නවතිමි. නමුත් මහමෙරක් ඇති බවට මවිසින් ගෙන හැර දැක්වූ කාරනාවල තිබෙන ස්ථිර කමත්, මේ පාදිලි තැන මහමෙරක් නැති බවට ගෙන හැර දැක්වූ කාරනාවල තිබෙන අස්තිරකමත් එපමණින් මේ සමුහයාට වැටහෙන්නට ඇත කියා සිතමි.

    මේ ලඟට මේ පාදිලි තැනකතාකලේ මාතර දිසාවේ උන්නාන්සේ කෙනෙකුන්ට ඇල්ලු පිස්සුවක් ගැනය. උන්නාන්සේ කෙනෙකුට ලෙඩක් ඇල්ලීම බුද්ධාගමට නින්දාවක් නොවේ. බුද්ධාගමේ තිබෙන භාවනා ක්‍රමය නොදැන දුස්සීලව හිටගෙන භාවනාවේ යෙදෙන අයට පිස්සු අල්ලන බව බුද්ධාගමේ පොත්වල තිබේ. ඒ නිසා එයින් බුද්ධාගමට කිසි පලුදුවක් නැත. තවද මේ පාදිලි තැන බුදුන් ජීවත්ව සිටිය කාලයේ හිටිය පාපිෂ්ට භික්ෂුන් කල වැරදි කීවා, පාපිෂ්ට පුත්ගලයන් වැරදි කරන්නේ නැත කියා අපි කියන්නේ නැත. මේ කාලයේද එසේම වැරදි කරන භික්ෂුන් හිටිනවා සත්තකය. එයින් බුද්ධාගමට කිසි දෝෂයක් ඇත්තේ නැත. ශික්ෂා පද පැනව්වයින් පසු වැරදි කල භික්ෂුන් බුදුන් විසින් නියම කල දඬුවම් වලට යටත්වා මිස ශික්ෂා පද පනවන්ට මත්තෙන් වැරදි කල භික්ෂුන්ට දඬුවමක් පනවා ඇත්තේ නැත. යම් රජ කෙනෙක් ආඥාවක් පැනෙව්වොත්ඒ ආඥාව කඩකළ ඇත්තන්ට දඬුවම් කරනවා මිස ආඥාව ට ප්‍රථම ඒ ක්‍රියාවට යමෙකුට දඬුවම් දෙන සිරිතක් ඇත්තේ නැත. එමෙන්ම විනය ධර්මයෙහි ආදී කාර්මිකයාට දඬුවමක් නියම කල බවක් පෙනෙන්නට නැත. වැරදි කල භික්ෂුන්ට අච්චු දුන්නේ නැත කියා මේ පාදිලි තැන කීවේ මේ කාරනාව තේරුම් ගන්ට බැරි අඥාන කමින්ය. අසවල් භික්ෂුව අසවල් වැරැද්ද කළාය. ඒ ගැන මෙනම් අච්චුව නියම කළාය යනාදී වශයෙන් ඒ ඒ වැරදි කල භික්ෂුන්ගේ නම්ද, ඒවා ගැන නියම කල ශික්ෂා පදද, විනයෙහි පැහැදිලිව පෙනේ. එසේ තිබීමෙන් බුද්ධ ධර්මයෙහි තිබෙන නිර්මලකම ඔප්පු වෙයි. මේ පාදිලි තැන එබඳු නිර්මල විනය ධර්මයෙහි දොස් දැක්වීම පිණිස ඒවා ප්‍රකාශ කලාට එයින් බුද්ධාගමට කිසිම කිළුටක් නැත. දරු ගැබක් හෙලන්ට උපක්‍රම යෙදු පාපිෂ්ට ශ්‍රමණයෙක් ශාසනයෙන් තුරන්කළ බව විනයෙහි පෙනේ. ඒ ශ්‍රමනයාට “දුෂ්කට ආපත්තිය” ක් නියම කළායයි මේ පාදිලි තැන බොරුවක් කීවා සත්තකය. බුද්ධ ධර්මයේ නැති කරුණු ඇතැයි කියාද ඇති කරුණු නැතැයි කියාද මිත්‍යා වචන කියන්නේ මේ පාදිලි තැනගේ තිබෙන නුගත්කම නිසාමය.

    “චුන්ද නම් තාපසයෙක් බුදුන්ට සුකර මාංශයක් දුන්න බවක් “මේ පාදිලි තැන කීවා. එබන්දක් බන පොතක ඇත්තේ නැත. චුන්ද නම් කර්මාර පුත්‍රයාය කියා කෙනෙක් බුදුන් පිරිනිවන් පාන දවසේ සුකර මද්දවයක් සහිත දානයක් දුන්න බව බන පොත්වල පෙනේ. එම දානය වැළඳු නිසා ඒ ආබාධ බුදුන්ට වැළඳුනා නොවේ. ඒ දානය ඒ දවසේ වැළඳුවේ නැතත් බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීම ඒ දවසේ වෙනවා සත්තකය. බුදුන් පිරිනිවන් පැදවසේ වැළඳු දානය කීවා මිස ඒ දානය නිසා බුදු රජාණන් වහන්සේට ඒ ආබාධය සැදුනු බවක් පෙන්වන්ට කීවා නොවේය. ඒ දවසේ වෙන දෙයක් වැළඳුවත් එත් ඔය අන්දමටම කියනවා ඇත. එම නිසා මේ ගැන වැඩිය කාරණා කියන්ට ඕනෑ නොකරමි. මේ පාදිලි තැන විසින් බුද්ධාගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරණාවලට උත්තර මෙපමණ සැහෙන නිසා මෙයින් නවතිමි.

    අද උදය වරුවේ කතාකල කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලින් උත්තර නොදී තුනක්ඉතුරුව තිබේ. එනම් තුන් සරණය ගැනද, උපසම්පදාව ගැනද, ආලාර කාලාම උද්දක රාමපුත්ත යන දෙදෙනා ගැනද, කල කතා තුනය. ඒ ගැන කීවේ බුදුන් ජීවත්ව නැති නිසා ඒ බුදුන්ගේ සරණ යාමෙන් පලක් නැතිලු. බුදුන්ගේ මරණය ගැන මේ කතිසේරු තැන යමක් නොදන්නා බව මොහුගේ කතාවෙන්ම පෙනේ.

    හේ කෙසේද :- බුදුන්ගේ මරණය කාල තුනකට වේ. එයින් පළමුවෙනි මරණය නම් ක්ලේශ පරිනිර්වාණයයි. දෙවෙනි මරණය නම් ස්කන්ධ පරිනිර්වාණයයි. තුන්වෙනි මරණය නම් ධාතු පරිනිර්වාණයයි. එයින් පමුවෙනි මරණය වූ ක්ලේශ පරිනිර්වාණය බුදු වූ දවසේ බෝධි මුලයේදී වුයේය.එනම් සියලු කෙලෙස් නසා සර්වඥ තාවට පැමිණීමය. ස්කන්ධ පරිනිර්වාණය මල්ලව රජ දරුවන්ගේ සල් උයනේදීම වුයේය. එනම් පංචස්කන්ධය නිරිද්ධ වීමෙන් නිවනට පැමිණීමය. ධාතු පරිනිර්වාණය බුදුන් පිරිනිවී තැන පටන් අවුරුදු පන් දාහක් ගිය තැන බුදුන්ගේ සියලු ධාතු දඹදිව ජය ශ්‍රී බෝධි දෘම මුලයට පැමිණ එයින් ජීවමාන බුදුන්ගේ බුද්ධ රුපයක් නිර්මිතව ස්වල්ප කාලයක් දෙවියන්ට බන කියා ඉන්පසු ධාතු ආදාහනය වීමය. ඒ ධාතු ආදාහනය වීමට තවත් අවුරුදු දෙදාස් පන්සීය ගණනක් තිබේ.
    ඒ කාලය යනතුරු බුදුන්ගේ ධාතු තිබෙන නිසා බුදුන්ගේ පිරිනිවීමේ සම්පුර්ණ තීන්දුව වෙනස්වන්නේ නැත. එම නිසා බුදුන්ගේ පැවැත්ම දැනට ලෝකයේ නැතැයි කය මේ කතිසේරු තැන කීවා වැරදිය. සර්දාව ඇති අයට ජීවමාන බුදුන්ට වැඳ පුදා ලබන ආනිසංස සධාතුක චයිත්‍යාදියට වැඳ පුදාලාත් ලබාගන්ට පුළුවන. තවද බුදුන්ගේ ගුණ ශරීරය සිහිකරන්ට පුළුවන් අය යම් පමණ කාලයක් ඇතුව සිටිනවා නම් එපමණ කල් බුදු සරණ නැතිවෙන්නේ නැත.



     
    • Like
    Reactions: dehilu

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ධර්මයේ සරණ යනවා කියන්නේ බන පොත්වල සරණ යාම නොවේ. ධර්මය කියන්නේ බුදුන් වදාළ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයටය. ඒ ධර්මය බුදුන්ටත් ගුරුන් වේ. ඒ ධර්මය යමෙක් විශ්වාස කරනවා නම් එලෙස පිළිපදිනවා නම්, එයින් පරලොව ගැලවීම ලැබේ. ධර්මයේ සරණ යාමේ අදහස මෙයින් තේරුම් ගනිත්වා! ධර්මයේ සරණ යාමේ අදහස මෙයින් තේරුම් ගනිත්වා! සංඝං සරණා ගච්චාමි යන පදයට ඇතුලත් වෙන්නේ දැන් සිටින සංඝයා නොවේ. සංඝයා වනාහී ආර්‍ය ය සංඝයාය සම්මුති සංඝයාය කියා කොටස් දෙකක් වේ. එයින් ආර්‍ය ය සංඝයා කියන්නේ සතර මග සතර ඵලයට පැමිණි අශ්ටාචාර්ය පුද්ගල සංඝයාය. සම්මුති සංඝයාය කියන්නේ චතුර්විද විනය කර්මයට ඇතුලත් උපසම්පදා සංඝයාය. මෙකී ද්විප්‍රකාර සංඝයා අතුරෙන් ආර්‍ය සංඝයා සරණා ගැනීමට ඇතුලත් වේ. එබඳු උත්තමයන් විශ්වාස කිරීමෙන්ද, උන්වහන්සේලාට වන්දනා මාන ආදිය කිරීමෙන්ද, අනන්ත පින් ලැබේ. සංඝයාගේ සරණ යාමේ අදහස මෙයින් දැන ගනිත්වා.

    තවද මේ කතිසේරු තැන සියම්, අමරපුර, යන සමාගම් දෙකේ සංඝයාට දොස් කීම ගැන, ‘ලක් රිවිකිරණ’ පත්‍ර මාර්ගයෙන් කරන ලද උපසම්පදා වාදය ගෙන හැර දැක්වූවාය. ඒ වාදයට සියම්, අමරපුර, යන සමාගම් දෙකේ හිටින වැදගත් සංඝයා වහන්සේලා බැඳී නැත. ඒ වාදයෙන්, එයට බැඳී හිටින දෙදෙනාගේ මොකක්දෝ අදහසක් ඉෂ්ට කර ගැනීමට, හරි නම් වලින් ඉදිරියට නෑවිත්, සැඟවිලා හිටගෙන කරන මිත්‍යා වාදයක් බව පෙනේ. සර්වප්‍රකාරයෙන්ම ඒ බව ඔප්පු කරන්ට පුළුවන. එම නිසා ඒ වාදය කිරීමෙන්, අපේ මෙම සමාගම් දෙකේ සංඝයාට කිසිම කිළුටක් නැත. එබැවින් ඒ ගැන කරන කතාවද මෙයින් නවත්වමි.

    ආලාර කාලම, උද්දකරාම යන දෙදෙනා ගැන මේ කතිසේරු තැන කල කතාවට නිසි උත්තර මීට ප්‍රථම අපි දෙපක්ෂය අතරේ කල බද්දේගම වාදයේද, වෙනත් වාද වලදීද දීලා ඇත. ඒ ගැන අච්චු ගහපු පොත් පවා දැනට මා ළඟ තිබේ. එයින් පොතක් ක්‍රිස්තියානි ආගමට භාර දීම ඊට උත්තර වේය. නමුත් මට ලැබී තිබෙන පැය තව ඉකුත් නොවූ බැවින් ඒ ගැන මදක් කාරණා කියමි.

    බුදුන්ට නිතර පේන ඥානයක් ඇත්තේ නැත. උන්වහසේගේ සර්වඥතා ඥානය අවර්ජනාව පිලිබඳවය. එනම් උන්වහන්සේට යමක් බලන්ට ඔනෑ වූ විටක දීව්‍ය ඥානය නමැති ඇස ඈර බැලීමය. එසේ බැලූ කල්හි ඒ සියල්ල පේනවාය. මේ මනුස්‍යයන්ගේ ඇස් වලට නමුත් යමක් පෙනෙන්නේ ඇස් ඇර බැලුවාමය. ඇස ඇර නොබැලු යමක් නොදුටුවාම ඇස් තිබෙන කෙනෙකුන්ට ඇස් නැත කීම වැරදිය. ආලාර කාලාම උද්දක රාම යන තවුසන් දෙදෙනාට බන කියන්ට බුදුන් කල්පනා කළා මිස දිව්‍ය ඥාන නමැති ඇස ඇර බැලුවේ නැත. එකල ඒ දෙදෙනා මැරිලා බව දේවතාවෙක් විසින් කීවාය. ඉන්පසු දිව්‍ය ඥානයෙන් බලා ඒ දෙදෙනා උපන් තැන පවා දැනගත් බව බුද්ධ දේශනාවේ තිබේ. ඒ දෙදෙනාට බන කියන්ට බුදුන් සිතුවේ ඔවුන් ආශ්‍රය කරලා අඳුනන නිසාය. නිතර සියල්ල පෙනී පෙනී තිබෙන ඥානයක් යමෙකුන්ට ඇතුවා නම් ඒ ඇත්තාට නරකාදී දුකක් හා සමාන වේය. එබඳු ඥානයක් බුදුන්ට නැත. “යෙහොවාට එබඳු ඥානයක් තිබෙනවාය” යි ක්‍රිස්තියානි කාරයෝ කියති. එබඳු නිතර පෙනෙන ඥානයක් යෙහොවාට තිබෙන නිසා මේ ලෝකයේ මනුෂ්‍යයන් අතරේ පවතින ඇහැට දකින්ට අප්‍රිය වූ මල මුත්‍රා කිරීම් ආදී නින්දිත දේ පෙනී පෙනී ඉන්නවා සත්තකය. එසේ නින්දිත දේ පෙනී පෙනී ඉන්න යෙහොවාට ඇති දුක, නරකාදී දුකක් හා සමානය. බුදු රජානන්වහන්සේට එබඳු දුකක් ඇත්තේ නැත. මක්නිසාද නිතර සියල්ල පේන ඥානයක් උන්වහන්සේට නැති නිසාය. සර්වඥතා ඥානය ආවර්ජනාව පිළිබදවය. යෙහොවාගේ නිතර පේන ඥානය අවාසනාවත ඥානයක් බවත් ආවර්ජනාව සහිත බුදුන්ගේ ඥානය වාසනාවන්ත ඥානයක් බවත් මෙයින් ඔප්පු වේ. ආලාරකාලාම උද්දකරාම යන දෙදෙනා ගැන අසු ප්‍රශ්නවලට මේ උත්තර ඕනෑවටත් වැඩි නිසා මෙයින් නවතිමි. .
    මිත්‍ර වරුනි, මට කතා කරන්ට බලේ තිබෙන පැයෙන් තව ස්වල්ප කාලයක් ඉතිරිව තිබේ. ඒ කාලය තුල ක්‍රිස්තියානි ආගමේ තත්වය පෙන්වීම පිණිස මදක් කාරණා කියමි. ඒ යහපත්ව ඇසිය යුතු.
    ක්‍රිස්තියානි කාරයෝ මැවුන්කාරයා කව්ද කියා අඳුනන්නේ නැත. ඒ බවට සාක්ෂි බයිබලයෙන්ම මට පෙන්වන්ට පුළුවන. “දෙවියන් වහන්සේගේ ඉස්පිරිතුව ජාල මතුහෙහි හැසිරුණේය” කියා බයිබලයෙහි මුලම තිබේ. ඒ වචන ලිව්වාවූ බයිබල් කාරයාත් එපමණ මෝඩයෙක් නොවේය. මක්නිසාද ඉස්පිරිතුව ජල මතුයෙහි හැසිරෙන්නේ නැතුව යමක් හටගන්නට හෙවත් මැවෙන්ට බැරි නිසාය. ඒ බව හොඳට වැටහෙන්ට හෙවත් මැවෙන්ට බැරි නිසාය. ඒ බව හොඳට වැටහෙන්නට වැදගත් සාක්ෂියක් පෙන්වමි.

    මේ පොල් ගස්වල තිබෙන පොල්ගෙඩි මාස දොළහක් පමණ ගහේ තිබෙනවාය. ඒ ගෙඩියේ වතුර තිබෙන නමුත් ඒ වතුරේ පනුවෝ නැත එම පොල් ගෙඩිය හිල් කරලා කීප දවසක් තිබෙන්ට ඇරියොත්
    එහි පනුවෝ උපදිනවා සත්තකය. පොල් ගෙඩිය හිල් කරන්ට මත්තෙන් පනුවෝ නුපදන්නෙත් හිල් කළායින් පසු පනුවෝ උපදින්නේත් මක්නිසාද කියා කල්පනා කටයුතු. කොපමණ කාලයක් නමුත් හුළඟ නොවදින්නට වතුර තිබෙන්නට පුළුවන් නම් පනුවෙක්වත් එවෙන මොනයම් සතෙක්වත් එහි හට ගන්නේ නැත. හුළඟ වදින ලෙස ටික දවසක් වතුර යක් තැනක තිබුනොත් එහි පනුවෝ හටගනී. මක් නිසාද වායෝ, තේජෝ, ආපෝ, යන ධාතු තුන එකට සංසර්ගය වන නිසාය. “දෙවියන් වහන්සේගේ ඉස්පිරිත්තුව ජල මතුයෙහි හැසිරුනාය” කියා බයිබල් කාරයා ලීවේ යමක් හට ගැනීමට ඕනෑ කරන්නාවූ හේතුව පෙන්වීම පිණිස බව කොහෙත්ම සැක නැත. “වායෝ තේජෝ ආපෝ ” කියන හුලන්ගත්, ගිනිත්, වතුරත් යන ධාතු ත්‍රය නිසා සියල්ල හට ගන්නවා සත්තකය. එම නිසා මෙම ධාතු තුන මැවුන් කාරයෝ වේය. මේ ධාතුන්ගේ ආධාරය නැතුව ලෝකයේ කිසි දෙයක් පවතින්නට බැරිය. එබැවින් සියල්ල රක්ෂා කරන්නාවූ ආරක්ෂා කාරයොත් මේ ධාතු ම වේය තවද මේ කියන ලද ධාතු ත්‍රය සියලු තැනම පැතිරී තිබේ. එම නිසා “සියලු තැන පිරී වැඩ සිටිනවාය” කීවාටත් කොහෙත් වැරද්දක් නැත. තවද මේ ධාතුත්‍රයට පටන් ගැනීමක් හෝ අන්තිමයක් නැති නිසා නිතරම එකාබද්ධව පවතී. එම නිසා මේ තුන් දෙනාට “එක කෙනාය” කීවාටත් වරදක් නැත. මේකියන ලද ධාතු තුනට “පිතා පුත්‍ර, ඉස්පිරිතු සාන්තු” කියා අමුතු නම් තුනක් දමා ගෙන “එකම දෙවියෝය” යි කියා ක්‍රිස්තියානු ආගමේ උපදවා තිබේ. මේ ධාතු තරයට “බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර” කියා හෝ “පිතා, පුත්‍ර, ඉස්පිරිතු සාන්තු” කියා කොයි නාමයක් ව්‍යාවහාර කලත් මැවුන්කාරයෝ නම් මුන් වහන්සේලා තුන් දෙනාමය. වෙන මැවුන්කාර දෙවි කෙනෙක් ඇත්තේ නැත.
    තවද බයිබලයේ කියා තිබෙන තහනම් ගසත් ඒ ගහේ ගෙඩි කෑමත් ඒ ගෙඩි කෑමට උපක්‍රම යෙදු සර්පයාත් ඒ ගෙඩි කැ වැරැද්දට දුන් අච්චුවත් මොකද කියා ක්‍රිස්තියානි කාරයෝ පවා දන්නේ නැත. දන්නවා නම් “සියලු මනුෂ්‍යයන් මවන්නේ දෙවියෝය” කියා විශ්වාස කරන්නේ නැත. තහනම් ගහත් ගෙඩි කෑමත්, සර්පයාත් යන මේ ආදිය තේරුම් ගන්ට බැරි කමෙන් “මනුෂ්‍යන් මවන්ට දෙවි කෙනෙක් ඇත” කියා විශ්වාස කරති. එම නිසා ඒ ගැන මඳක් කාරණා කියමි. ඒ මනාකොට ඇසිය යුතු.
    තහනම් ගහනම් ආදම්ය. ගෙඩි කෑමට උපක්‍රම යෙදු සර්පයා නම් ඒවාගේ හිතේ පවතී රාග සිතය. ගෙඩි කෑවාය කීවේ නම් ඒ දෙදෙනාගේ එකතුවීමටය. මගේ මේ අභිප්‍රාව මෙලෙසම බවට තිබෙන වැදගත් සාක්ෂිය නම් ඒවා ගෙඩි කෑ වැරැද්දට ඇට ලැබුණු අච්චුවය. ඒ අච්චු නම් “ගර්භ දැරීමේ දුකත්, දුකින් දරුවන් වැදීමත්, ඒවාට සහ අයගෙන් පැවතෙන සියලු ස්ත්‍රීන්ට ලැබුණාය” කියා බයිබලයේ ලියා තිබීමයි. දැනට නමුත් ඔය ගෙඩිය කෑමෙන් ස්ත්‍රීන්ට ලැබෙන්නේ ගර්භිනීවීමත්, දුකින් දරුවන් වැදීමත්ය යන දෙක පමණි. මුලින් බයිබලය ලිව් තැනැත්තා මේ සියලු මනුෂ්‍යයන් දෙදෙනෙකුගෙන් පැවත එනවාය කියා සිතාගෙන මුලට “ආදම්, ඒවා” කියා දෙන්නෙක් නියම කොට ඒ දෙදෙනාගේ සංසර්ගයෙන් බෝවිල්ල වන බව හඟවන්නට ලිව් ලියවිල්ලක් බව නැවතත් ලෝකයාට තේරුම් ගන්ට පුළුවන. එසේ නොවේ නම් තහනම් ගහේ ගෙඩි කෑවාට , ගර්භ දැරීමත්, දුකින් දරුවන් වැදීමත්,, නියම කරන්ට කොහෙත් ඕනෑ කරන්නේ නැත. පුහුල් හොරා කරෙන්ම අඳුනන්ට පුළුවන් වාගේම ඒවාට දුන් අච්චුවෙන්ම, තහනම් ගහත්, සර්පයාත්, ගෙඩි කෑමත් මොකද කියා නැණවත් යට තේරුම් ගන්ට පුළුවන. මනුෂ්‍ය යන්ගේ බෝවිල්ල පෙන්වීම පිණිස බයිබලයේ තිබෙන උපමා කතාව තේරුම් නොගෙන මැවුන්කාර දෙවි කෙනෙක් ඇත කියා ක්‍රිස්තියානි කාරයෝ මුලාව සිටිති. ඒ මුලාවෙන් දුරුවීම පිණිස මින් ඉහත දැක්වූ කාරනා ඉතා ප්‍රයෝජනවත් වේය.
    මේ ආදී කාරණා වලින් ක්‍රිස්තියානි ආගම සැබෑ ආගමක් නොවන බවත් පරලොව ගැලවීම පිණිස විශ්වාස කරන්ට යුතු නැති බවත් මෙහි රැස්ව සිටින සමුහයා විසින් තේරුම් ගනිත්වා.

    තවද මට කථා කරන්ට ලැබී තිබෙන අන්තිම පැය තවම කෙලවර උනේ නැත. තව ස්වල්ප කාලයක් කථා කරන්ට මට බලය තිබේ. ඒ කාලය තුල තුන්ලෝකාග්‍රවු බුදුරජානන් වහන්සේගේ උත්තමකම ඔප්පු කිරීමට තිබෙන්නාවූ වැදගත් කාරණා වලින් ස්වල්පයක් ගෙනහැර දක්වමි. මේ සභාවේ සිටින සියල්ලන් විසින් එය මනා කොට ඇසිය යුතුය. මෙලොව ප්‍රයෝජනය ලැබීම පිණිස කරන්නාවූ වැඩේ ඉතා ප්‍රවේසමින් කටයුතුය. මක්නිසාද පරලොව වැඩ සිද්ධ කර ගැනීම පිණිස කරන ක්‍රියාව නම් සැබෑවූ ආගමක් සොයාගෙන ඇදහීමය. සැබෑවූ ආගමක් අදහා මිස වෙන මොනයක් දෙයක් කරලා වත් පරලොව වැඩක් සිද්ධ කරගන්ට බැරිය. එම නිසා සැබෑවූ ආගමක් සොයා ගැනීමට අප සියල්ලන්ටම යුතුය. රත් රන් බදු මිලේට ගන්නා ය රන් කරුවන් ලවා පරීක්ෂා කරවා ඒවායේ වටිනාකම දන මිලේට ගනිති. එසේ කරන්නේ ඒ බදු ගන්න තැනැත්තාට එයින් අලාභයක් පැමිනේදොයි යන භයින්ය. ඒ වාගේම ආගම්වල සත්‍ය අසත්‍ය කම පරීක්ෂා කිරීම පිණිස පළමු කොට පණ්ඩිතයන්ට භාර දීම යුතුය. පුරාණේ හිටිය ඉර්ෂිවරයාණන් වහන්සේලා නම් මහා පොලොව සමාන විශාලවූ ප්‍රඥාවකින් යුක්තව සියලු ලෝකයා විසින් ගරු කට යුතුව සියලු ශාස්ත්‍රයෙහි කෙලවරට පැමිණියාවූ උත්තමයන් වහන්සේලාය. ඒ උත්තමයන් වහන්සේලාගේ යටි පතුලේ ධුවිල්ලකට සමාන කරන්ට පුළුවන් පණ්ඩිතයෙක් දැනට ලෝකයේ නැත්තේය. එම නිසා උන්වහන්සේලා දැනට ලෝකයේ ජීවත්ව නැති නමුත් උන්වහන්සේලා විසින් කරපු පොත් පත් තවම තිබේ. එබැවින් ඒ පොත්වලින් කොයි ආගම සබැදි කියා පරීක්ෂා කිරීමයුතුය. පුරාන ඉර්ෂින් වහන්සේලා විසින් කරන ලද වේද පුරාන වෛද්‍ය නක්ශාස්ත්රආදී නොයෙක් පොත් තිබේ එයින් භගවත් පුරාණය කියන වේදව්‍යාස කියන උත්තම ඉර්ෂින් වහන්සේ විසින් කරන ලස්ද පොතක්ය. ඒ පොත දැනට මා ළඟ තිබේ. මේ පොතේ මේ ලෙස කියා තිබේ. “අතංක ලෞසංප්ර වෘත්තේ සම්මොහාය සුරද්විසාම්
    බුද්ධෝ නාම්නා ජින සුතන් කීකටේ ශුභ විශ්යාති”
    මේ පොත කරන ලද ව්‍යාස ඉර්ෂින් වහන්සේ ජීවත්ව හිටලා තිබෙන්නේ මේ දැන් පවතින කලියුගයට ප්‍රථම තිබුණු ද්වාපර යුගයේදීය. ඒ ද්වාපර යුගයේදී ජීවත්ව හිටිය ව්‍යාස ඉර්ෂි විසින් කියන්නේ ඒ කලියුග වර්ෂය පැමිණි කල්හි ගයා ශීර්ෂයෙහි බුදු කෙනෙක් පහල වන බවය. බුදුන් බුදු වෙන්ට බොහෝ අවුරුදු දහස් ගණනකට ප්‍රථම බුදුන් කියා ලොක්කොත්තම කෙනෙක් පහළවන බව, මෙබඳු උත්තමයන් පවා කියා තිබේ. මේ භගවත් පුරාණේ කියන මේ පොත, බන පොතක් නොවේය. මේ පොත ඉර්ෂි වාක්‍යක්ය. මෙබඳු උත්තම ඉර්ෂි වාක්‍යවලින් පවා බුදු කෙනෙක් ලෝකයේ පහළවෙන බව ඔප්පු වේය. යෙහෝවා කියා මවුන්කාර දෙවියෙක් වත් “ක්‍රිස්තුස් කියා ගැලවුම්කාර දේවපුත්රයෙක්වත්” ලෝකයේ හිටින බවක් මෙබඳු සෘෂි වාක්‍යකින් තබා පුරාන මොනයම් පණ්ඩිත වාක්‍යකින්වත් ඔප්පු කරන්ට බැරිය. ඔය දෙදෙනා ගැන යමක් ඔප්පු කරනවානම් පුළුවන්කම තිබෙන්නේ මස් කඩවල තිබෙන හරක් එළුවන් මැරු ගණන ලියා තිබෙන ගණන් පොතක් වැනි හරක් එළු බැටළු කොබෙයි පරෙවි ආදී සතුන් මැරීමේ ගණන ලිවීමෙන්ම පිරී තිබෙන බයිබල කබල පමණය. මේ බයිබල් කබල සැබෑ පොතක්ය කියා දැන් හිටින එරෝපාකාර කොයියම් පණ්ඩිතයෙක් වත් ඒත්තු ගන්නේ නැත බයිබලය හොඳට බලලා පුරුදු එරෝපාකාර පණ්ඩිතයෝ පවා ඒත්තු නොගන්නාවූ ක්‍රිස්තියානි ආගම අප රට වාසීන්ට ඒත්තු ගන්ට තිබෙන යුතුකම මොකද? කිසිත් යුතුකමක් නැත්තේය. එම නිසා ක්‍රිස්තියානි ආගම දුරින්ම දුරු කට යුතුයි.

    තවද වෛද්‍ය ශාස්ත්‍රය වනාහී ලෝකයාට කරුණාවෙන් පුරාණයේ සිටිය සෘෂින් විසින් උපදවපු ශාත්රයක්ය. එම ශාස්ත්‍රයෙන් පවා බුද්ධාගමේ උතුම් කම ප්‍රකාශ වේ. හේ කෙසේද:- “පිපාලි වෘෂ විහිෂකුෂදන් ධන්වායාස සහිතන් ශ්‍රතන්පයන් පිත්තකාශ විෂම ජ්වරන් ජයේත් ජාති ධුක්ක මිච සෞගතාමන් ” යන මේ ශ්ලෝකය හෛසජ්ජ කල්පයෙහි කාශ රෝග චිකිත්සාවේ තිබේ.
    මෙහි අභිප්‍රාව නම් ‘තිප්පලී, වන, අපල, බුළු, ඉඟුරු කසභිලියා යන මෙයින් කකාරන ලද කසායෙන් පිත්ත කාශයද විෂම උණද නැති කරන්නේ කෙසේද කීවොත් සංසාර දුක බුද්ධාගම ඇදහීමෙන් නැති කරන්නක් මෙනි’ යනුයි. මේ ආදී ශාස්ත්‍ර පොත්වල පවා බුද්ධාගමේ උතුම්කම සඳහන් වේ. මේ අර ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයද ප්‍රශස්ත සෘෂීන් විසින් කරන ලද ශාස්ත්‍රයක්ය. ඒ ශාස්ත්‍රයෙන්ද බුද්ධාගමේ සැබෑකම ඔප්පු වේ. හේ කෙසේද:-කේන්දරවල ග්‍රහයන් හිටින අන්දමින් පුර්ව ජාතියද ඒ ජාතියෙහි කලාවූ සුචරිත, දුශ්චරිත දෙකද, මෙහිදී කරන ලද පින් පව්ද, කියන්ට පුළුවන. ඊට සාක්ෂි ” පුත්‍ර දිත්වස්ව ලග්න ජම්ම යතේ ආදිත්‍ය භවනේ පනී. මාතෘ ඝාත පරාර්ථ වොරක්රතමුත් පාදෙව පූර්වේ නිරේ”. යනාදී කියමන්ය. මෙයින්ද ඔප්පුවන්නේ යමෙක් උපන් ලග්නයෙහි ශනිද, සිංහ රාශියෙහි රාහුද සිටියොත් ඔහු පූර්ව ජාතියෙහි දී මව් මරා අනුන් සතු වස්තුව සොරකම් කොට නරකාදියෙහි සිටිය බවය. මෙහිදීද එසේම පව් කොට දෙවනුත් රෞරව නිරයෙහි උපදින බවය. ඉතින් මේ අන්දමට සාක්ෂි වාක්‍ය වලින් පවා පූර්ව ජාතියක් තිබුන බව ඔප්පුවෙන හෙවත්, පූර්ව ජාතියක් ඇත කියන බුද්ධාගම සත්‍ය ආගමක් බවත් පූර්ව ජාතියක් නැත කියන ක්‍රිස්තියානි ආගම බොරු ආගමක් බවත් මේ සියල්ලන් විසින්ම දැන ගනිත්වා.
    තවද දශකුමාර චරිත කාව්‍යආධර්ෂ ආදී මහා ග්‍රන්ථයන් කලාවූ දන්දී නම් මහා කවීහු විසින් කරන ලද කාව්‍ය ධර්ශයෙහි ” සත්යමේ වාග සුගතන් සන්ස්කාරා නවීන ස්වරන්” යන්නෙන් සර්වඥයන් වහන්සේ සත්‍යම වදාල බව කියා තිබේ.

    එම ටීකාවෙහි “ක්ෂණ භාගවාදී නා සුගතානන් මතේ” යනාදියෙන් බුද්ධාගමේ ප්‍රශස්ත භාවයද කියන ලදී. සර්වඥයන් වහන්සේ ගේ දේශනාවේ තිබෙන සත්‍ය කම මේ ආදී අනන්ත කාරණා වලින් ඔප්පු වේ. එම නිසා බුද්ධාගම ඒකාන්ත සත්‍ය වූ ආගමක් වන්නේය. එබැවින් ක්‍රිස්තියානි ආගම ඇත හරින්ටත් සුද්ධ වූ ඒකාන්ත සත්‍යවූ බුද්ධාගම පිලිගන්ටත් මේ දැක්වූ කාරණා ඇති කියා සිතමි.
    තවද මේ පාදිලි තැන “නව යාත්‍රා කරන්නන්ට කිසි කලෙකවත් මහා මේර දකින්ට නොලැබුණු නිසා එබන්දුන්පර්වතයක් නැත” කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. දකින්ට නොලැබුන දේ නැති කීම පණ්ඩිත ගෝචර කියමනක් නම් කිසිවෙක් කිසි කලෙක නිදුටු තහනම් ගහත් නැතැයි කිව යුතුය. බොහෝ දුරට කාරණා සොයන ඉංග්‍රීසි කාරයෝවත් තහනම් ගහ තිබෙන තැන සොයාලා දැන ගත්තාද? නැත්තේමය. එම නිසා මේ පාදිලි තැන මහා මේර නැති බව ඔප්පු කරන්ට ගෙන හැර දැක්වූ කාරණා නිෂ්ඵල බව දෙවනුවත්, මේ සියල්ලන් විසින් දැන ගනිත්වා.
    මීට ඉහත මා විසින් කළාවූ කථා වලදී “ආත්මය, ප්‍රාණය” කියා ව්‍යවහාර කලා නම් ඒ ව්‍යවහාරයක් දැනට පවතින සම්මතයට එකඟ කොට කළ බවත්, මේ සියල්ලන් විසින්ම දැන ගනිත්වා. (කියා ඉන් පසු) යහපතක් දුටු කළ එය තදින් අල්ලා ගැනීම නුවනැත්තන්ගේ චාරිත්‍ර ධර්මයක් නිසා සැබෑව බුද්ධාගම පිළිගෙන, සසර දුකින් මිදී, උතුම් වූ නිර්වාන සම්පත් සිද්ධ කර ගැනීමට සියල්ලන් විසින් උත්සාහ කට යුතුය. (කියා මොහොට්ට්වත්තේ ගුණානන්ද උන්නාන්සේගේ අන්තිම පැයේ කතාව අත්හිටවන්ට යෙදුනා ඇත.)
    එකල එහි රැස්ව සිටිය දස දහසක් පමණ සේනාවෙන් ටික දෙනෙක් හැර බුද්ධ පක්ෂයෙහිද, ක්‍රිස්තියානි පක්ෂයෙහිද, රැස්ව සිටිය දෙ සෙනග අතරේ මහත් ලොකු සාධු කාර ශබ්දයක් පවත්වුවාය. ඊට ක්‍රිස්තියානි සමහරදෙනෙක් කෝප වූ බවද පෙනුනි. නමුත් ඒ ගැන කිසිම කෝලාහලයක් වුනේ නැත. ඒ කෝලාහලය වේගෙන යන අතරේ බුද්ධ පක්ෂයට කතා කළ මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ ඒ සමුහයා දෙස බලා ” සියල්ලන්ම නිශ්ශ්බ්ධ විය යුතුය” යි කියනවා සමගම ඒ මහත් සමුහයාගේ චංචල භාවය නැති වුනා සත්තකය. ඉන් පසු බුද්ධාගම්කාර සමුහයා මහත් ප්‍රීතියකින්ද, ක්‍රිස්තියනිකාරයෝ මහත් දොම්නසකින්ද විසිර ගියෝය.

    නිමි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නියම වැඩක්... ඇත්තම කියනවා නම් මමත් පානදුරා වාදය ගැන නූලක් අදින්න ලෑස්තිවෙලා හිටියේ.... උඹ වැඬේ හොදට කරල තියෙනවා.... :yes: රෙප් දෙන්න බෑලූ කලින් දීල තියෙන නිසා.... :sorry: