පැටවුන් රැකගන්න දිවි පුදන මාළු

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පැටවුන් රැකගන්න දිවි පුදන මාළු

    පැටවුන් රැකගන්න දිවි පුදන මාළු

    ‘සමුදුරු සුවිසැරිය’
    ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි

    image_54df213e3a.jpg


    සාගරයේ අරුමය ලොවට කියා පෑමට, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන බ්ලූ ප්ලැටන් වාර්තාමය වැඩසටහන් මාලාව සමත් වී ඇත. ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වී ඇතැයි පැවැසෙන අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් රූගත කර තිබේ. සාගර ජීවීන් සම්බන්ධයෙන් අප මෙතෙක් දැන නොසිටි, විස්මිත කරුණු කාරණා රැසක් ‘බ්ලූ ප්ලැනට් 2’ හරහා දකින්න ලැබේ. සාගර දිය රළ යටින් සැඟවුණු දේ බොහොමය. අපූරු ජීවීන්ගේ විස්මිත ජීවන රටා බ්ලූ ප්ලැනට් හරහා අපට දැක ගන්න ලැබෙයි. කොරල්පර ආශ්‍රිතව පමණක් නොව, කොරල්පරවලට ඔබ්බෙන් මුහුදේ ජීවත් වන මාළු අම්මලා සහ තාත්තලා පැටවුන් බිහි කිරීම වෙනුවෙන් කැප වෙන අයුරු පුදුමය. ඇතැම් මාළු තාත්තලා මාළු අම්මලාගේ වගකීම බාර ගනිමින් පැටවුන්ට රැකවරණය දෙද්දී, තවත් මාළු අම්මලා සහ තාත්තලා පැටවුන් බිහි කිරීම වෙනුවෙන් දිවි පුදති.

    image_89ce30596e.jpg


    මෝරු රංචුව

    ප්‍රංශ පොලිනීෂියාව යනු ප්‍රංශයට අයත් දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටි දූපත් සමූහයකි. ප්‍රංශ පොලිනීෂියාවට දූපත් සිය ගණනක් අයත් වෙයි. මේ දූපත් අතර පිහිටා ඇති කොරල් පර දකුණු පැසිෆික් සාගරයේ හදවත ලෙස සැලකෙයි. හුදෙකලාව පවතින හෙයින්, මේ කොරල්පර ඒවා බිහිවුණු දා මෙන් අදත් නිරෝගීය. නැවුම්ය. මෙම කොරල් පරය බොහෝ සාගර ජීවීන්ගේ නිවහනය. එම ජීවීන් අතර සිටින ‘මාබල් ගෲපර්’ (සිංහල බසින් කොස්සා) නමැති මාළුවා පැටවුන් බිහි කිරීම වෙනුවෙන් මරණය වැළඳ ගැනීමට පවා පසුබට නොවෙයි. අපේ කතාවේ නායකයා වන ‘ගෘෘපර්’ මාළුවා ද සෙසු ගෲපරයන් සේම වැඩිවියට පැමිණ සිටී. සහකාරියක සොයා ගනිමින් වර්ගයා බෝ කිරීම දැන් උගේ අරමුණය. සියලුම ගෲපර් මසුන් මෙන්ම සහකාරියක සොයා ගැනීමට, මේ ගෲපර් මාළුවාද කොරල් පරය අද්දරට පිහිනා යයි. කොරල් පරය අද්දර මුහුදු කලාපය වඩාත් අනතුරුදායක ස්ථානය ලෙස සැලකෙයි. අපේ කතාවට සම්බන්ධ ගෲපර් මාළුවා ද එය හොඳින් දනී. කොරල් පරය අද්දර මෙම අනතුරුදායක කලාපය අළු පාට ‘රීෆ් මෝරුන්’ ගෙන් පිරී පවතී. මෝරු සිය ගණනක් ඉහළින් මුර සංචාරයේ යෙදෙති. ඒ බොහොම සන්සුන්වය. මෝරුන්ට බඩගිනි දැනෙයි. ඒත් උන් සන්සුන්ය. මෝරුන්ට පහළින් සිටින්නේ ගෲපර් මාළුවන්ය. මෝරුන් පමණක් නොව ගෲපර් මාළුවන් ද මෙසේ බලා සිටින්නේ නියමිත අවස්ථාව උදා වෙනතුරුය.

    image_6cb4b2890d.jpg


    ගෲපරයෝ

    දහසකට වැඩි ගෲපර් මසුන්, මුහුදු පතුලේ ගල් සහ වැලි අතරේ පෙළ ගැසී සූදානමින් සිටී. අපේ ගෲපර් මාළුවා ද සෙමින් සෙමින් පිරිසට එක්වෙයි. බිත්තර පුරවාගත් ගැබ්බර ගැහැනු ගෲපර් මාළුවෝ ද එහි සිටිති. පිරිමි ගෲපර් මාළුවන් ගැහැනු මාළුවන්ගේ අවධානය දිනා ගත යුතු වෙයි. උන් එය කරන්නේ සිරුරු ගස්සමින් සහ නලවමිනි. අපේ කතානායකයා වන ගෲපර් මාළුවාට වාසනාව උදා වෙයි. ඌ ගැහැනු මාළුවකු තෝරා ගන්නා අතර, ගැහැනු මාළුවා ද ඌට කැමැති වෙයි. පැටවුන් බිහි කිරීමට දෙදෙනා සූදානම්ය. පැටවුන් බිහි කිරීමට නම්, ගැහැනු මාළුවා බිත්තර පිට කිරීම කළ යුතු අතර, පිටවන බිත්තර සරු වෙන්නේ පිරිමි මාළුවා පිට කරන ශුක්‍රාණුවලිනි. පිරිමි මාළුවන් සහ ගැහැනු මාළුවන් බලා සිටින්නේ සුදුසු අවස්ථාව ලැබෙනකල්ය. කුසගිනි මෝරුන් රංචුව සූදානමින් සිටින්නේ රස ආහාරයක් ලැබෙනකල්ය.

    නොසන්සුන්

    ඉහළින් කැරැකෙමින් සිටින මෝරුන් ටිකෙන් ටික නොසන්සුන් වෙයි. අවසන් ජවනිකාව රඟ දැක්වීමට නියමිත බව උන්ට ඉවෙන් මෙන් දැනෙයි. ගෲපර් මාළු අම්මලා සහ තාත්තලා බලා සිටින්නේ උදම් දිය රළ නැගෙන තෙක්ය. උදම් රළ සමඟ සාගරයේ සුළු කැළැඹීමක් වෙයි. බිත්තර පිටකිරීමට සුදුසු වෙලාව එය බව ගැහැනු ගෲපර් මාළුවන් දනී. එපමණක් නොව, සිටින තැනින් සෙලවුණොත්, මෝරුන් තමන් ගොදුරු කර ගන්නා බව ද ගැහැනු මාළුවන් පමණක් නොව පිරිමි මාළුවන් ද හොඳින් දනී. එසේ වුවත්, අනාගත පරම්පරාවේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පූජා කළ යුතු වෙයි.

    මරණය බලා පිහිනීම

    බිත්තර පිට කරමින් ගැහැනු ගෲපර් මාළුවන් වේගයෙන් ඉහළට පිහිනයි. උන් පිහිනා යන්නේ මෝරුන් වෙතටය. ගැහැනු මාළුවන් ඉහළට යන්නේ බිත්තර, වළාකුළු මෙන් වතුරට විදිමිනි. ඒ මොහොතේම, බිත්තර සරු කිරීමට බලාගෙන සිටින පිරිමි ගෲපරයන්, ගැහැනු මාළුවන් පසුපස හඹා යෑම අරඹයි. ගැහැනු මසුන් බිත්තර විදිද්දී, එම අවස්ථාවේදීම, පිරිමි මසුන් ශුක්‍රාණු පිට කරයි. පැටවුන් නිර්මාණය වීමට බිත්තර සාරවත් වෙද්දී, ගෲපර් අම්මලා සහ තාත්තලා මෝරුන්ගේ ගොදුරු බවට පත් වෙයි. මෝරුන්, ගෲපර් දඩයම අරඹයි. ගෲපර් මාළුවන් මෙසේ පැටවුන් බිහි කරන්නේ මිය යන්න සිදුවන බව දැන දැනය. මෝරුන්ට ගොදුරු නොවී බේරෙන්නේ ගෲපර් මාළුවන් දහසකගෙන් දෙදෙනකු හෝ තුන් දෙනකු පමණි.

    අලුත් පරම්පරාවක්

    අපේ කතානායක ගෲපර් මාළුවා ද මරණයට මුහුණ දීමට සූදානම්ය. ගැහැනු මාළුවා බිත්තර විදිමින් ඉහළට පිහිනද්දී, ඌ ද, සෙසු ගෘෘපර් මාළුවන් ද සමඟ ඇය පසුපස පිහිනයි. බිත්තර සරුවී අලුත් පරම්පරාවක ඇරැඹුම සිදුවෙද්දී, අපේ ගෲපර් මාළුවා සහ ගැහැනු මාළුවා මෝරකුගේ ගොදුරක් වී හමාරය. සාරවත් වන බිලියන ගණනක් බිත්තර මුහුදේ පාවී යයි. ඒවායින් බොහොමයක් කොරල් පරයේ නොයෙක් නොයෙක් ජීවීන්ගේ ආහාරය වෙයි. එසේ වුවත් සුළු ප්‍රමාණයක් කොරල් පර අතරේ ආරක්ෂාව ලබයි. මේ සුළු ප්‍රමාණය වාසනාවන්තය. නව ගෲපර් මසුන් පරම්පරාව බිහි වන්නේ ඒවායිනි. තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් මෝරුන්ට බිලිවන ගෲපර් මසුන්ගේ ඛේදනීය අවසානය සැබැවින්ම විස්මිතය.

    image_c62cfa3d29.jpg


    ක්ලවුන්ෆිෂ් සහ ඇනිමයිනයා

    මුහුදු ඇනිමනියන් යනුවෙන් හැඳින්වෙන්නේ, කෙටි සිලින්ඩරාකාර දේහයකින් සමන්විත, මුහුදු අපෘෂ්ඨවංශික ජීවියකුටය. ‘මුහුදු මල’ යනුවෙන් සිංහලෙන් මේ ජීවියා හැඳින්වෙයි. මෙම සාගර ජීවීන් අයත් වන්නේ ‘ඇක්ටිනියාරියා’ නමැති ගෝත්‍රයටය. මුහුදු ඇනිමනියන්ගේ කෙඳි මාරක විසය. මත්ස්‍යයන්ගේ ඇඟේ ඒවා ස්පර්ශවීම ඔවුන්ට මරණය ගෙන දෙයි. ඇනිමනියන්ගේ විසට ඔරොත්තු දෙන එකම එක මත්ස්‍යයකු සිටී. ඒ, ක්ලවුන්ෆිෂ් මත්ස්‍යයා ය. ඒ අනුව, ක්ලවුන්ෆිෂ් මසුන් සහ ඇනිමනියන් අතරේ සුහදත්වයක් පවතී. තමන් ගොදුරු කර ගැනීමට පැමිණෙන විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටත්, නිවහන ලෙස රැඳී සිටීමටත් ක්ලවුන්ෆිෂ් ඇනිමයිනයන් භාවිතා කරයි. ඇනිමයිනයන්ගෙන් ක්ලවුන්ෆිෂ්ට ආරක්ෂාව ලැබේ. ඒ වෙනුවෙන් ක්ලවුන්ෆිෂ් ඇනිමයිනයාට ප්‍රතිඋපකාර කරයි. ඒ, ඇනිමයිනයා පිරිසුදු කර, නිරෝගීව තබා ගැනීමෙනි.

    සැඩ්ල්බෑක් පවුල

    අපේ මේ කතාවට පාදක වන්නේ ‘සැඩ්ල්බෑක්’ වර්ගයේ ක්ලවුන්ෆිෂ් මසුන් පවුලකි. මේ සැඩ්ල්බෑක් ක්ලවුන්ෆිෂ් මසුන් පවුල ඔවුන්ටම කියා හරි අපූරු ඇනිමයින නිවසක ජීවත් වෙයි. මේ අැනිමයිනයා හැඳින්වෙන්නේ ‘කාපට්’ ඇනිමයිනයා කියාය. මෙම ජීවීයා එලෙස හැඳින්වෙන්නේ ඌ අප නිවෙස්වල කෙඳිවලින් පිරුණු කලාලයක් හා සමාන නිසාය. සැඩ්ල්බෑක් ක්ලවුන්ෆිෂ් මසුන් පවුලට ඇනිමයිනයාගෙන් ආරක්ෂාව ලැබෙන අතර, සැඩ්ල්බෑක් ක්ලවුන්ෆිෂ් මසුන් ද ඇනිමයිනයා පිරිසුදුව තබා ගැනීම කරයි. ක්ලවුන්ෆිෂ් පවුලක් යනුවෙන් හැඳින්වෙන්නේ, එක් ගැහැනු ක්ලවුන්ෆිෂ් මත්ස්‍යයකු සහ පිරිමි මසුන් තුන් හතර දෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායමකටය. ප්‍රමාණයෙන් විශාල ගැහැනු මාළුවා පවුලේ ප්‍රධානියාය. නායකයාය. මෙම සැඩ්ල්බෑක් ක්ලවුන්ෆිෂ් මසුන් පවුලේ ද නායකයා ප්‍රමාණයේ අනෙක් අයට වඩා විශාල ගැහැනු සත්වයෙකි. අපේ කතාවට සම්බන්ධ ගැහැනු මාළුවාගේ මුහුණ සෙසු මාළුවන්ගේ මෙන් නොව සුදු පැහැතිය. ‘ලොක්කි’ තමා යැයි පෙන්වීමේ සංකේතය එයයි. අනෙක් මසුන්ට ඇත්තේ කහපැහැති මුහුණකි. සීබ්‍රාවකුගේ මෙන්, සිරුරේ කළු සහ සුදු පටිවලින් අලංකාර වී ඇත. ‘ලොක්කිගේ’ සිත් දිනා ගන්න උත්සාහ කරන පිරිමි මාළුවන් නොසෑහෙන්න වැඩ කරයි. ඊට හේතුව වර්ගයා බෝ කිරීමේදී, ලොක්කිගේ වැඩි අවධානය දිනා ගන්නා මාළුවාට ඒ සඳහා අවස්ථාව හිමිවන නිසාය. එහෙයින්, පිරිමි මාළුවන් ලහිලහියේ ඇනිමයිනයා පිරිසුදු කරයි. ඒ, ලොක්කිට පෙනෙන ලෙසිනි. ඒ අතරින්, පිරිමි මාළුවන් අතර සිටින එක් මාළුවකු කැපී පෙනෙයි. ලොක්කි ඒ බව දනී.

    තැනක් සොයයි

    ලොක්කි බිත්තර දැමීමට සූදානමින් සිටී. පිරිමි මාළුවාගේ ප්‍රධාන අභියෝගය ‘ලොක්කි’ ට බිත්තර දැමීමට සුදුසු සවිමත් පෘෂ්ඨයක් ඇති තැනක් සොයා දීමය. කාපට් ඇනිමයිනයාගේ එවැනි සවිමත් පෘෂ්ඨයක් නැත. අවට දකින්න ලැබෙන බෙලි කටුවක් ඊට සුදුසු විය හැකිය. පිරිමි මාළු රංචුව බෙලි කටුව දෙස විපරම් කරයි. බෙලි කටුව කාපට් ඇනිමයිනයාගේ ආරක්ෂාව ලැබෙන සේ එය අසලට ගෙන ඒම අභියෝගයකි. බෙලි කටුව තල්ලු කිරීමට පිරිමි මාළුවන් එකිනෙකා උත්සාහ කරයි. කැපී පෙනෙන පිරිමි මාළුවා ද ඒ අතර සිටී. බෙලි කටුව තල්ලු කිරීම ඔහුට හෝ අනෙක් මාළුවන්ට හෝ කළ නොහැකිය. බර වැඩිය. ඒ විතරක් නොවේ, බෙලි කටුව තුළ කකුළුවකු සිටී. ඒ, බෙලිකටුව නිවහන කරගත් රතු පැහැති හර්මිට් (තාපස) කකුළුවෙකි. කකුළුවා සමඟ බෙලි කටුව ද එතැනින් යයි. වඩදිය බාදිය සමඟ පතුළේ වැලි මතුපිට ඇති ඇනිමයිනයා ද එහාට මෙහාට ගසාගෙන යයි. ඒ සමඟ අලුත් අවස්ථා උදාවෙයි. පරණ ප්ලාස්ටික් බෝතලයක් එතැනට ගසාගෙන එයි. එය බිත්තර දමන්න සුදුසු තැනක් වේවිද? නැහැ. පිරිමි මාළුවාට තල්ලු කරන්න සහ ඔසවන්න හැකි වුවත්, බිත්තර දමන්න පුළුවන් ශක්තිමත් තැනක් ලෙස ප්ලාස්ටික් බෝතලය සැලකෙන්නේ නැත.

    image_d4728157d4.jpg

    image_046faa7d47.jpg


    පොල් කටුව

    මේ අතරේ, පොල් කටුවක් එතැනට ගසාගෙන එයි. සොය සොයා සිටි දේ පිරිමි මාළුවාට හමුවෙයි. ‘ලොක්කි’ ට බිත්තර දාන්න කියාපු තැන මෙම පොල් කටුවය. එහෙත්, පොල් කටුව ඇත්තේ ඇනිමයිනයාගේ සිට අඩි කිහිපයක් දුරිනි. එය කෙසේ හෝ ඇනිමයිනයා මතට ගෙන ඒම කළ යුතුය. පිරිමි මාළුවාට තනිවම එය ඔවුන්ගේ නිවහන වන ඇනිමනියට ගෙන යාමට නොහැකිය. අනෙක් පිරිමි මාළුවන් ද උදව්වට පැමිණෙන අතර, පිරිස කණ්ඩායමක් සේ ක්‍රියා කරති. හැමෝම එක් වී පොල් කටුව පෙරළමින්, තල්ලු කරමින්, නිවහනට ගෙන එයි. ඇනිමයිනයාගේ කෙඳි එහාට මෙහාට කරමින් පොල් කටුව තැන්පත් කිරීමට තැනක් සකස් කිරීම ඉන්පසු සිදු වෙයි. ගැහැනු මාළුවා පොල් කටුව මතුපිට බිත්තර දමයි. රන්වන් පැහැති බිත්තර සිය ගණනක් පොල් කටුවේ ඇලෙයි. බිත්තරවලට දැන් ආරක්ෂාව හොඳින් ලැබෙයි.

    තාත්තා අම්මා වෙයි

    බිත්තර දැමීමට, සුදුසු ආරක්ෂිත තැනක් සකස් කර දුන් පිරිමි මාළුවාට, ගැහැනු මාළුවාගේ මනාපය හිමිවෙයි. ඒ අනුව, පොල් කටුව මතුපිට දමා ඇති බිත්තර පැටවුන් බිහිකිරීම වෙනුවෙන් සාරවත් කිරීමේ කටයුත්ත පිරිමි මාළුවාට පැවැරෙයි. ඉන්පසු දින 10ක් තිස්සේ, බිත්තර පුපුරා පැටවුන් එළියට පැමිණෙන තෙක් ඒවා පිරිසුදුව තබා ගනිමින්, ආරක්ෂා කිරීම පමණක් නොව, බිත්තර පුපුරා පුංචි පැටවුන් එළියට ආ විට පවා ඔවුන් ආදරයෙන් රැකබලා ගැනීමේ වගකීම ගැහැනු මාළුවා විසින් බාර දෙන්නේ, ඇය වෙනුවෙන් කැපවුණු පිරිමි මාළුවාටය. මාළු පැටවුන්ගේ අම්මා වෙන්නේ තාත්තාය.






    ලුසිත ජයමාන්න
    බී.බී.සී. ප්ලැනට් අර්ත් 2 ඇසුරිනි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ගරූපා කියන මාළු ස්ටීම් කරලා කනවා බන්.පට්ට රසයි.ඒ වගේම තමා ගාණත්.මෙන්න මේ රතු ගරූපා ඔය උඩ ඉන්න එකා වගේ දෙගුණයක් ගණන්.පණ පිටින් තමා විකුණන්න තියෙන්නේ ටැංකි වල දාලා..රති කෙළියට හොද කෑමක් තමා ගරූපා මාළු.:D;)


    ca-mu-do.jpg


    ca-mu-do-hap-xi-dau.jpg
     
    Last edited: