සයුරෙන් එතෙර
පූටින් ඝාතකයෙක් - බයිඩන් ගෙන් චෝදනාවක්
March 18, 2021 10:07 amරුසියානු ජනාධිපතිවරයා "ඝාතකයෙක්" බවට තමා සිතන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ABC පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී තහවුරුකර තිබේ.
ඔහු එසේ පවසා ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත්වීමට රුසියානු ජනාධිපතිවරයා එරට නිලධාරීන්ට අනුමැතිය දී ඇතැයි අනුමාන කෙරෙන බවට අමෙරිකානු බුද්ධි අංශ වර්තාවක සඳහන් වීමත් සමගය.
ඒ පිළිබඳව අදහස් දක්වමින් බයිඩන් පවසා ඇත්තේ තම රටේ ජනාධිපතිවරණයට මැදිහත්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් ට වන්දි ගෙවීමට සිදුවන බවය.
එම බුද්ධි අංශ වාර්තාවට අනුව රුසියානුවන් ඩොනල්ඩ් ට්රම්ප් ට පක්ෂපාතී ලෙස මැතිවරණය හැරවීමට මැදිහත්වීමට උත්සාහ කර තිබේ.
මේ චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් අදහස් දැක්වීමත් සමගම දෙරට අතර මත ගැටුම් වර්ධනය වෙමින් පවතී.
ඊට ප්රතිචාර දක්වමින් ජනාධිපති පූටින් ගේ ප්රකාශක දිමිත්රි පෙස්කොෆ් පැවසුවේ එම චෝදනා සඳහා සාක්ෂි නොමැති බවත් එමගින් රුසියානු - අමෙරිකා සබඳතා තවදුරටත් පිරිහීමට ලක්වන බවත්ය.
එවැනි පසුබිමක, වොෂිංටන් නුවර සිටින රුසියානු තානාපතිවරයා ව නැවත කැඳවීමට රුසියාව තීරණය කර තිබේ.
රුසියානු - අමෙරිකා සබඳතා තවදුරටත් පිරිහීම වැළැක්වීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනටෝලි ඇන්ටනොෆ් ව සියරට කැඳවූ බව රුසියානු බලධාරීන් පැවසීය.