‘ඒකාබද්ධයේ මන්ත්‍රීලා දවසින් දවස ඒක අතහැර යන්නේ අනාගතයක් නැති බව තේරිලා‘ - එජාපය මහනුවර නගර සභාවට ඇප මුදල් තැන්පත් කරමින් කිරිඇල්ල කියයි
(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.16, ප.ව.10.40) පසුගිය කාලය තුළ අපි ශීලාචාර රජයක් බිහිකළා අපිට ආඩම්බර වියහැකි රටක් නිර්මාණය කරන්න අපි අත්තිවාරම දාලා තියෙනවා. මහනුවර එජාප ජනතා නියෝජිතයන් ඉහලින්ම දිනන බව දන්නවා යි පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (16) ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මහ නගර සභාව හා කඩවත්සතර ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ ඇප මුදල් තැන්පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
අපි චාරිත්‍රානුකුලව දළදා වහන්සේ වැඳ පුදාගෙන මේ මැතිවරණ සටන ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය යහපාලන රජයට ලැබෙන එක ඒකාන්තයි. පසුගිය කාලය තුළ අපි ශීලාචාර රජයක් බිහිකරලා තියෙනවා. අපිට ආඩම්බර වියහැකි රටක් නිර්මාණය කරන්න අපි අත්තිවාරම දාලා තියෙනවා. ඉතින් මහනුවර මහනගර සභාව විතරක් නෙමෙයි ලංකාව පුරාම අපේ මැතිවරණ සටනට දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබෙන එක ඒකාන්තයි.
ජනාධිපති මැතිවරනය අපි ඡන්ද අසූ එක්දහසකින් දිනුවා.. පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ලක්ෂ තිස්දහසකින් දිනුවා. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා ඒ ගැන කිසිදු සැකයක් නැහැ.
අද වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා දවසින් දවස ඒකාබද්ධ විපක්ෂය අත්හැරලා යනවා. අත්හැරලා යන්නේ ඒ තුළ අනාගතයක් නැති නිසා වෙන්නැති.
පළාත් පාලන මැතිවරණය සඳහා අපි පිරිසිදු අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තියෙනවා. ජනතාවට පුළුවන් අවශ්‍ය අයට ඡන්දය දෙන්න. අවසාන වශයෙන් ජනතාවගේ ඡන්දයෙන් මහජන නියෝජිතයින් තේරී පත්වෙනවා.
අපේ අපේක්ෂක ලැයිස්තුවේ සියළු ජාතින්, සියළු ආගම් නියෝජනය කරන අපේක්ෂකවරු ඉදිරිපත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය විදිහට අලියා ලකුණින් අපි ඉදිරිපත් වෙනවා.
මේ ආණ්ඩුව 2025 වෙනකම් තියෙනවා. ඉදිරි කාලයේදි අගමැතිතුමා මහනුවර නගරයට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න යනවා. ජපන් ආධාර වලින් මහනුවර නගරය දියුණු කරන්න කැපවෙලා තියෙනවා. ඒ නිසා මුළු රටේම සංවර්ධන වැඩකටයුතු කරගෙන යන්න එක්සත් ජාතික පෙරමුණ රජයක් බිහිකරන්න කියලා ජනතාවගෙන් මං ඉල්ලීමක් කරනවා.