බංගලියොත් කියනව ස' මීමෙක් කියල

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Tim Worstall විසින් ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ලියන ලද ලිපියක් Dhaka Tribuneහී පළවී තිබුනා. යට දැක්වෙන්නේ එහි පරිවර්තනයක්. අමුණා ඇති පිංතූරයද ඔවුන් පලකල පිංතූරයමයි. ඔරිජිනල් ලිපිය කමෙන්ටුවක් ලෙසින් අමුණා ඇති.

    මෙතැන් සිට පරිවර්තනය කියවමු.

    "ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර ආර්ථික කටයුතු සිදුවෙන ආකාරය පිළිබඳ ඇති දැනුම ඉතා අල්ප බව එය ඇදහිය නොහැකි තරමින් ප්‍රදර්ශනය කරමින් සිටියි. එහෙත් එය පුදුමයක් නොවන්නේ දේශීය ආර්ථිකය පිළිබඳවත් ඊට ඇති දැනුම ඉතා අල්ප බව රජය මෑතක සිට පෙන්වන නිසාය.

    උදාහරණයක් වශයෙන් සමස්ත කෘෂි ආර්ථිකයම කාබනික විය යුතු බවට ඔවුහු තීරණය කළහ. ඊට කම් නැත. එහෙත් ඇදහිය නොහැකි කාරණය වන්නේ එහි ප්‍රථිළුලයක් ලෙස හැම භෝගයකම අස්වැන්න අඩුවූ විට ඔවුන් පුදුමයට පත්වීමයි. ඉඩම් සහ පොහොර එකිනෙකට ආදේශන බව, එනම් පොහොර යොදන්නේ නැති නම් පෙර පැවති අස්වැන්න ලබා ගැනීම සඳහා ඉඩම් ප්‍රමාණය වැඩි කල යුතු බව හෝ එසේ ඉඩම් ප්‍රමාණය වැඩි නොකර පොහොර භාවිතය අත හරින්නේ නම් අස්වැන්න අඩුවන බව ප්‍රතිපත්තියට එලැඹීමේදී ඔවුන් අවබෝධ කරගත් බව පෙනෙන්නට නැත.

    විදේශ විනිමය හිඟයක් පිළිබඳවද ඔවුහු මැසිවිලි නගමින් සිටිති. එය විය හැක්කක් නොවේ. විදේශ විනිමය හිඟයක් පැවතිය හැක්කේ විදේශ මුදල් සඳහා අතාත්වික මිලක් නියම කර ඇති නිසාය. විසඳුම වන්නේ අය කරන මිල නිවැරදි කිරීමය. සරල උදාහරණයකින් පෙන්වූවොත් රත්‍රං අවුන්සයක් සඳහා මිල ඩොලර් 10,000/-ක් වශයෙන් නියම කලහොත් සැපයුම ඉහළ ගොස් වෙළඳපලේ රත්‍රං අතිරික්තයක් ඇතිවනු ඇත. අනෙක් අතට රත්‍රං අවුන්සයක මිල ඩොලර් 10ක් යැයි නිවේදනය කලොත් සැමදෙනාම ලාබයට රත්‍රං ගන්නට උත්සුක වී විශාල රත්‍රං හිඟයක් ඇති වනු ඇත. රත්‍රං අවුන්සයක මිල 10,000/- හෝ 10/- නොවී 2,000/- මට්ටමේ පවතින්නේ සහ ඒ මිල යටතේ හි⁣ඟයක් හෝ අතිරික්තයක් නොපවතින්නේ ඒ නිසාය. මේ කාරණයම විදේශ විනිමයටද අදාලය. විදේශ විනිමය යම් ප්‍රමාණයක් අවශ්‍ය නම් කල යුත්තේ ඊට සරිලන ලෙසින් ඩොලර් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය ඉහළ දැමීමය.

    අප හැදෑරූ මූලික ආර්ථික විද්‍යා ග්‍රන්ථ ආශ්‍රයෙන් අපට පෙන්වා දිය හැක්කේ ඔබ කිසියම් දෙයක මිල තීරණය කරන්නේ නම් ඔබට එහි අලෙවි වන ප්‍රමාණය තීරණය කල නොහැකි බවය. අනෙක් අතට ඔබ ප්‍රමාණය තීරණය කරන්නේ නම් එහි මිල තීරණය කරන්නට ඔබට නොහැකි බවය. ඔබ මේ දෙකම එකවර තීරණය කරන්නට ගියහොත් ඒ දෙකම ඔ⁣බේ පාලනයෙන් ගිලිහෙනු ඇත.

    විදේශ විනිමය සම්බන්ධයෙන්ද මේ කතාව සත්‍යය. ඔබ එහි මිල ස්ථාවරව තබාගන්නට උත්සාහ කරන්නේ නම්, විදේශ විනිමය හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

    මෙම සරල කාරණය නොදන්නා රජයක්..., ඔව්, එවැනි රජයක් ණය අර්බුදයකට මැදිවී සිටීම ගැන අප පුදුම විය යුතු නැත. ඔවුන් තමන්ට ගෙවා ගත නොහැකි තරම් ණය ලබාගෙන ඇති අතර, තවදුරටත් කෙනෙකු ඔවුනට ණය දෙන්නට පැකිලීම වටහා ගත හැකිය.

    ඉතින්, මෙම සරල කාරණය හැමටම තේරෙද්දී ශ්‍රී ලංකා රජය එය තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත. එහි අර්ථය නම් ශ්‍රී ලංකාව පාලනයට එරට රජයට වඩා අප සුදුසු බවය. නමුත් පවත්නා ජාත්‍යන්තර පරිසරය තුළ එවැන්නක් විය නොහැකිය. මේ තත්ත්වය නිවැරදි කර දීම සඳහා ශ්‍රී ලංකාව කොළණියක් ලෙසින් බංග්ලාදේශයට ඈඳා ගත හැකි නම් යැයි විහිළුවට මෙන් හිතුනත්, ප්‍රායෝගිකව එවැන්නකට ඉඩක් නැත.

    කෙසේවුවත්, තව කරුණක් සිහිපත් කල යුතු වෙයි. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මේ අවස්ථාවේදී තමන්ට අකටයුතුකම් කරනා බවට ශ්‍රී ලංකා රජය මැසිවිලි කියයි. ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතන තුනෙන් එකක් වන S&P විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ වර්ගීකරණය ඉතාමත් පහතට, කසල තත්ත්වයට (junk), දමා ඇති අතර එය "මොවුන්ට ණය දෙන්නට එපා" යැයි දැල් වූ රතු එළියක් වෙයි. නැතහොත්, අඩුතරමින් ශ්‍රී ලංකා රජය විශ්වාස කරන්නේ S&P විසින් එවැනි සංඥාවක් දී ඇති බවයි. නමුත් සත්‍යය එය නොවෙයි.

    ප්‍රධාන පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් කසල බැඳුම්කර (Junk bonds) වශයෙන් සලකුණු කර ඇති බැඳුම්කර වල ආයෝජනය කරන්නට ඇතැම් ආයෝජන අරමුදල්වලට අවසර නැති බව ඇත්තය. නමුත් වෙළඳපල හැසිරීම කෙරෙහි ණය වර්ගීකරණ ආයතන වල තීන්දුව බලපාන්නේ සුළු වශයෙනි. ඉහළ පොළියක් ගෙවීමට සූදානම් නම් ආයෝජකයන් එමටය.

    සත්‍යය නම්, කවුරුන් කවර පොළියකට ණයට දෙන්නේද යන්න ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් තීරණය නොකරන බවය. ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම්, සැබැවින්ම, කවරෙකු කවර මිලකට (පොළියකට) ණයට දුන්නේද යන්න මත තීරණය වෙයි. ඔවුන් වෙළඳපල විශ්ලේෂණය කරන්නන් මිස මෙහෙයවන්නන් නොවේ.

    එබැවින්, සත්‍යය නම්, S&P ආයතනය විසින් ශ්‍රේණිගත කිරීම පහතට දැමූ නිසා ආයෝජකයන් ශ්‍රී ලංකාවට ණය දෙන්නට මැළිවීය යන්න නොවේ. ආයෝජකයන් ශ්‍රී ලංකාවට ණය දෙන්නට මැළිවීම නිසා S&P විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ සිය ශ්‍රේණිගත කිරීම පහත දැමූ බවය සත්‍යය. ආයෝජකයන් ශ්‍රී ලංකාවට ණය දෙන්නට මැළි වන්නේ ඔවුන් එම ණය ගන්නේ පෙර ණය ගෙවීමට නිසාය. එම තත්ත්වය ඇති කලේ S&P නොවේ. ඔවුන් එය ප්‍රකාශ කලා පමණකි.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් කරනා ලද්දක් නොවන බව පැහැදිලිය. ඔවුන් ප්‍රශ්නය නිර්මාණය කලා නොව එය අධ්‍යයනය කොට ප්‍රකාශයට පත් කලා පමණි. එම වල කපාගන්නේ සිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති තුළින් ශ්‍රී ලංකා රජයමය.

    තමන්ගේ වරදකට අනුන්ට දොස් පැවරීම මුහුකුරා ගිය අයෙක් නොකරයි. එහෙත්, අවාසනාවකට, මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය කරමින් සිටින්නේ එයයි".


    www.dhakatribune.com
     
    • Haha
    Reactions: hasithayad