ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ප්‍රමුඛ දේශප්‍රේමී "බඩ ඉරිඟු පරිප්පු" රසික රසිකාවනි,
මෙතැන් සිට ඔබවෙත දිග හැරෙන්නේ බඩ ඉරිඟු ජාතකයයි.
මධ්‍යම ඇමරිකාවේ සම්භවය වී ලොව පුරා ඉතා ජනප්‍රිය ආහාරයක් වී ඇති බෝගයක් බව ඔබ සැම දන්නවා ඇත. උද්භිද විද්‍යාත්මකව Zea mays නමින් හඳුන්වන බඩ ඉරිඟු භාවිතය අනුව මේ වෙද්දී ප්‍රධාන කාණ්ඩ 5කට බෙදෙනවා. Field corn එහෙම නැත්නම් flour corn. ඔන්න ඕක තමයි අපේ රටේ සාතිශය බහුතරයක් බඩ ඉරිඟු කියලා වගා කරන්නේ සහ අවසානයේ පරිප්පු වෙනුවට ආදේශකයක් වශයෙන් කන්න කියලා මහා සංවාදයක් ගොඩ නැගෙන වර්ගය. නමුත් අනෙක් රටවල මේ කාණ්ඩයේ ප්‍රභේද/දෙමුහුම් මූලිකවම වගා කරන්නේ සත්ව ආහාර වෙනුවෙන්. ඊට අමතරව කෝන් ඔයිල්, එතනෝල්, බඩ ඉරිඟු පිටි, ඉරිඟු පිටි ආශ්‍රිත කෝන් මීල් (Polenta) නිෂ්පාදන කරන්න මේවායෙන් පුළුවන්. අපේ රටේ මේ කාන්ඩයේ වැඩිපුරම වවන්නේ පැසිෆික් ඇතුළු ආනයනික දෙමුහුම්. දේශීයව සම්පත් සහ තවත් මහ ඉලුප්පල්ලම පර්යේෂණායතනය මඟින් හදපු දෙමුහුමක් තියෙනවා. හැබැයි ඒවායේ බීජ වගාව සඳහා හොයාගන්න එක විශාල අභියෝගයක්. දේශීය ප්‍රභේද ගත්තොත් රුවන් සහ භද්‍රා පමණයි ගොවීන් අතර ප්‍රචලිතව තියෙන්නේ.
බඩ ඉරිඟු කියන්නේ පිෂ්ටමය ආහාරයක්. කාබෝහයිඩ්‍රේට් තමයි වැඩිපුර තියෙන්නේ. ප්‍රෝටීන තියෙන්නේ 3%යි. අමතක කරන්නෙපා පරිප්පු වල ප්‍රෝටීන 8% ක් තියෙනවා. අන්න ඒ කාරණය මත කිසිසේත්ම බඩ ඉරිඟු පරිප්පු වලට ආදේශකයක් වෙන්නේ නෑ.
ලෝකේ බඩ ඉරිඟු කන රටවල් ඒත් එක්ක තවත් ප්‍රෝටීන ප්‍රභවයක්, විටමින් ප්‍රභවයක් එකතු කරගන්නවා මිසක් බත් හෝ තිරිඟු පිටි (කාබෝහයිඩ්‍රේට්) එකතු කරගන්නේ නෑ. දැන් අපේ රටේ තියෙන අඩු ප්‍රෝටීන හා වැඩි කාබෝහයිඩ්‍රේට් පරිබෝජනය ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා අපි බත් හෝ පාන් එක්ක බඩ ඉරිඟු කන්න ගියොත්. ගම්වල බඩ ඉරිඟු වලින් පිට්ටු හදනවා. ඒවා කන්නේ තවත් වෑංජන එක්ක මිසක් බත් එක්ක නෙමෙයි.
ලංකාවේ බඩ ඉරිඟු වැඩිපුරම වවන්නේ සත්ව ආහාර නිෂ්පාදනය වෙනුවෙන්. හැබැයි සත්ව ආහාර නිෂ්පාදකයන් වැඩිපුර කැමති ආනයනික බඩ ඉරිඟු වලට. හේතුව අඩු මිල, අඩු තෙතමන ප්‍රතිශතය හා වැඩි ප්‍රෝටීන ප්‍රතිශතය. ඒ කාරණා සත්ව ආහාර මිල හා ගුණාත්මය කෙරෙහි සෘජුව බලපානවා. ලංකාවේ බඩ ඉරිඟු වල තෙතමනයේ යම් ගැටලු තියෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ දියුණුවක් අපේක්ෂා කරනවා නම් බඩ ඉරිඟු වියලීම පිළිබඳ විශේෂයෙන් වැඩ කරන්න වෙනවා. ඒ සඳහා ලෝකයේ භාවිතා කරන නූතන ක්‍රම ගැන අන්තර්ජාලය පරිශීලනය කරන ඔබ ඕනෑම කෙනෙකුට සොයා බලන්න පුළුවන්. ඒ වගේම අනුරාධපුර ජයන්ති මාවතේ තියෙනවා පසු අස්වනු තාක්ෂණික ආයතනය. ඒ ආයතනය වෙත ගිහිල්ලා බලන්න පුළුවන් මේ වෙනුවෙන් ඒ ආයතනයට කරන්න පුළුවන් දේවල්. අවුරුදු ගාණක් තිස්සේ දිරාපත් වෙන සයිලෝ ඇතුළු යෝධ යන්ත්‍ර සූත්‍ර ඔබට මේ ඛේදවාචකයේ දිග පළල ගැන දැනගන්න උදව් වේවි.
බඩ ඉරිඟු අස්වැන්න නෙලන්න දළ වශයෙන් මාස 3ක් වත් යනවා. ඇත්තටම බඩ ඉරිඟු කියන්නේ ලේසියෙන් පාඩුවක් වෙන බෝගයක් නෙමෙයි. ගොඩක් වෙලාවට අපිට තම්බලා හෝ වෙළෙඳපොලේ හම්බවෙන බඩ ඉරිඟු කාරණා 4ක් නිසා තමයි වෙළෙඳපොළට එන්නේ. එයින් පලවෙනි කාරණය තමයි සත්ව ආහාර සඳහා අලෙවි කරන්න බැරි එයින් ප්‍රතික්ෂේප වුන කරල්. ඊළඟට බඩ ඉරිඟු වියළීමේ පහසුකම් නැති ගොවියන්ගේ නිෂ්පාදන. එහෙමත් නැතිනම් සත්ව ආහාර නිෂ්පාදකයින් හෝ වෙනත් ආහාර නිෂ්පාදකයින් සමග සම්බන්ධ විය නොහැකි ගොවියන්ගේ නිෂ්පාදන. නැත්නම් අඩු වපසරියක් වවන ගොවියන්ගේ නිෂ්පාදන. මේ සියලු ගොවියන්ට ලැබෙන මිල සාපේක්ෂව අඩුයි. ඒ ගොවියන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. එයින් එකක් තමයි ඔය බඩ ඉරිඟු ආශ්‍රිත අගය එකතුකළ නිෂ්පාදන සඳහා ආයෝජනය. ඒ වගේම සාම්ප්‍රදායිකව බඩ ඉරිඟු ආශ්‍රිතව කරන ආහාර නිෂ්පාදන සුලබ කිරීම. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන මේ ගොවියන්ගේ නිෂ්පාදන වියදම අඩු කරගන්න සහ ආදායම වැඩිකරගන්න උත්සාහ කරන්න.
අපි අමතක කරන්න හොඳ නෑ බඩ ඉරිඟු කියන්නේ ත්‍රිපෝෂ, සමපෝෂ වගේ ආහාර වලත් ප්‍රධාන අමුද්‍රව්‍යයක් බව. ඒ සමාගම් තමන්ගේ කර්මාන්තශාලා වල අඛණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් විශාල විදිහට ගොවියන් සමග ගිවිසුම් ගත වෙලා ඉන්නවා. කොටින්ම වගාව සඳහා අවශ්‍ය බීජ ඇතුළු යෙදවුම් අදාල සමාගම් වලින් ගොවියන්ට ලබාදෙනවා. එහෙම දෙන එකේ ප්‍රමුඛ අරමුණක් තමයි අදාල නිෂ්පාදනයේ ගුණාත්මය ඒකාකාරීව පවත්වා ගැනීම. තාමත් ඒ ඔක්කොම කර්මාන්තශාලා පවත්වා අඛන්ඩව පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් බඩ ඉරිඟු රටේ නෑ. ඒ නිසා තමයි ඉතිහාසයේ පලවෙනි වරට බඩ ඉරිඟු වෙනුවෙන් පත්කරපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා බඩ ඉරිඟු හෙක්ටයාර පන්ලක්ෂ දහදාහක් වගා කරන්න කඩිනමින් වගා කරන්න සැලසුම් කරන්නේ. ඉලක්කගත අස්වැන්න ටොන් එක්ලක්ෂ දහදාහක්. මේ වෙද්දී වියළි කලාපීය රජයේ ඉඩම් අතිවිශාල ප්‍රමාණයක් බඩ ඉරිඟු වගාව වෙනුවෙන් රජයෙන් නිදහස් කරමින් තියෙනවා. එතන යම් පාරිසරික ගැටලුවක් නෑ කියලා කියන්න බෑ. ඒ වගේම වන අලි ගැවසෙන ප්‍රදේශවල ඉඩම් වගාවන්ට නිදහස් කිරිමෙන් ආයෙත් පීඩා විඳින්නේ ගොවියාමයි. ඒ වගේම වන සතුන්.
වගකිවයුතු රජයක් රටේ වනසම්පත විනාශ කරලා කෘෂිකර්මය කරන්න යන්නේ නෑ. දැනට වගාවට යොදාගෙන තියෙන, එහෙත් ඵලදායිව වගා නොකරන ඉඩම් ටික හොඳටම ඇති රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට. අවාසනාවකට තවමත් දැනට වගාවට යොදවලා තියෙන ඉඩම් වල ඵලදායිතාවය ඉහළ නැංවීමට වැඩසටහනක් නෑ. වපසරිය ඉහළ නැංවීමෙන් තොරව අස්වැන්නේ ප්‍රතිශතාත්මක වර්ධනයක් ගන්න පැහැදිලිවම පුළුවන්. ඒකට ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය, ඒ කියන්නේ බීජ විශාල ලෙස බලපානවා. මම දන්නා තරමින් අර කිව්ව හෙක්ටයාර ලක්ෂ 5 ඇතුළේ දෙමුහුම් බීජ නිෂ්පාදනය සඳහා කිසිම වැඩසටහනක් නෑ.
දෙමුහුම්කරණය ලංකාවේදී අතිශය වියදම් අධික ක්‍රියාවලියක්. හැබැයි අපේ රටේ කෘෂි විද්‍යඥයින්ගේ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා වඩාත් ලාභදායි බීජ නිෂ්පාදන වැඩසටහනකට යන්න පුළුවන්. ඒ වෙනුවෙන් ආයෝජකයන් දිරිමත් කරන්න පුළුවන්. නමුත් එහෙම වැඩසටහනක සේයාවක්වත් පේන්න නෑ. ඒ නිසා අපිට සැලකියයුතු කාලයක් ආනයනික දෙමුහුම් බීජ මත යැපෙන්න වෙනවා. මම තරයේ විශ්වාස කරනවා දැනට තියෙන දෙමුහුම් වර්ග වලට වඩා ඉහළ අස්වනු ලබාදෙන වර්ග ලෝකයේ තියෙනවා. නමුත් අපේ රටට අලුත් බීජ වර්ගයක් හඳුන්වා දීමේ අතිශය දීර්ඝ වූත්, සංකීර්ණවූත් ක්‍රියාවලිය නිසා ගුණාත්මක බීජ ගොවියාට ලැබීමේ විශාල ප්‍රමාදයක් තියෙනවා. ඒක බඩ ඉරිඟු වලට විතරක් නෙමෙයි, අනෙක් සියළු බෝගවල බීජ සම්බන්ධයෙන් අදාල වෙනවා. බලධාරීන් ඒ නීති රීති තව තවත් තද කරමින් තම තමන්ගේ ආයතනවල බල පරාක්‍රමය පෙන්වන්න උත්සාහ ගනිමින් ඉන්නවා මිසක් රටේ නිෂ්පාදනය පුළුල් කරන්න ධනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා නෑ.
ඊළඟට පොහොර ගැටලුව. රටේ සාතිශය බහුතරයක් ගොවියන්ට ඔය පොහොර සහනාධාරය ඕන නෑ. ගොවියන්ට ඕන හොඳ ගුණාත්මක පොහොර. තව තවත් අපි NPK උගුලේ හිරවෙලා ඉන්න එක තේරුමක් නෑ. අංශුමාත්‍ර මූලද්‍රව්‍ය වලින් සමන්විත වුන සංයුක්ත පොහොර ලෝකයේ ඕනතරම් තියෙනවා. දැනට රටේ පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ අනුපාත වල පොහොර පමණයි කියන අවිද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැර වෙලා ගුණාත්මක පොහොර රටට ගෙන ඒමේ වැඩසටහන අරඹන ගමන් රට ඇතුලේ පොහොර නිෂ්පාදනය අරඹන්නත් ඕන. ස්ලින්ටෙක් වැනි ආයතන දැනටමත් ආරම්භ කරලා තියෙන පර්යේෂණ වැඩිදියුණු කරලා ගන්න අපිට පුළුවන්. ඒ වැඩසටහනත් තියෙන්නේ ඉතාම මන්දගාමී තැනක. ඊළඟට බඩ ඉරිඟු වල යාන්ත්‍රිකරණය. ඒක නම් යම් සුබවාදී තැනක තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් තවත් ඉදිරියට යන්න ඕන දෙයක්. විශේෂයෙන් කියන්න ඕන බඩ ඉරිඟු වල පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීම ගැන අපි සෑහෙන වැඩ කරන්න ඕන. වියළීමේ පහසුකම් වගේම ගබඩා කිරීමේ පහසුකම් දියුණු කිරීමට අපි උත්සාහ ගන්න ඕන.
දැන් ගොඩක් අය ස්වීට් කෝන් වලින් හදපු කෑම වල පින්තූර පෙන්නලා ඊනියා බඩ ඉරිඟු පරිප්පුව එක්ක සන්සන්දනය කරනවා. ඇත්තටම ලෝකයේ බහුතරයක් රටවල සාමාන්‍යයෙන් මිනිස්සු පරිබෝජනය කරන ස්වීට් කෝන් වර්ගය ලංකාවේ වවන ප්‍රමාණය නොගිනිය හැකි තරම් කුඩා එක්ක. කොටින්ම තාමත් අපි ස්වීට් කෝන් ඉන්දියාවෙන් ගේනවා. හෝටල් සහ සුපිරි අවන්හල් වලට ස්වීට් කෝන් සෑහෙන අවශ්‍ය වෙනවා. නමුත් රෝපණ ද්‍රව්‍ය හිඟවීම නිසා සහ මේ ගැන දැනුවත්භාවය නොමැති නිසා අපි ස්වීට් කෝන් වගාවෙන් ඈත්වෙලා ඉන්නවා. ඉතා පැහැදිලිව කියන්න ඕන මේ ස්වීට් කෝන් යනු කිරි කරල් නෙමෙයි. ඒක වෙනත් වර්ගයක්.
බේබි කෝන්වලට තියෙන්නෙත් ඔය සන්තෑසියමයි. තාමත් රටේ අවශ්‍යතාවය සපුරාගන්නේ ආනයනික බේබි කෝන් වලින්. ඔබ සුපිරි වෙළෙඳසැලක රවුමක් ගියොත් ඉහත කියපු වර්ග දෙක විතරක් නෙමෙයි, ආනයනික පොප් කෝන් පවා මිලට ගන්න පුළුවන්. ඔබ අපි කන සියළුම පොප් කෝන් ආනයනික ඒවා. පොප් කෝන් සඳහා ගන්නා කුඩා ඇට සහිත බඩ ඉරිඟු විශේෂ වල රෝපණ ද්‍රව්‍යයත් සුලබ නෑ.
ඔය ඉහත කියපු හැම වර්ගයකටම (Field corn, sweet corn, baby corn, pop corn) ඉහළ වාණිජ වටිනාකමක් තියෙනවා. නමුත් වාණිජ වටිනාකමක් නැති ornamental corn, එහෙම නැතිනම් flint corn කියලත් වර්ගයක් තියෙනවා. ඔබ ඉඳහිට විවිධ වර්ණවලින් දකින්නේ ඒ flint corn වර්ගයේ බඩ ඉරිඟුයි. ඒ වර්ගයේ බඩ ඉරිඟු ලෝකයේ බඩ ඉරිඟු වවන සෑම රටකම දැකගන්න පුළුවන්. ඒවා ඇත්තටම Heirloom ප්‍රභේද.
ඇමරිකාවේ තියෙනවා මීට අමතරව ජාන වෙනස් කරන ලද බඩ ඉරිඟු. එහෙම නැතිනම් genetically modified corn. ඒවා වලින් ප්‍රමුඛ වර්ගය Round up ready. සාමාන්‍යයෙන් ඇමරිකාවේ තියෙන්නේ හෙක්ටයාර දහස් ගණන්වල වගාවන්. ඒවායේ වැඩෙන වල් පැල මර්ධනයට යොදාගන්නේ ග්ලයිෆොසේට් එහෙම නැතිනම් මොන්සැන්ටෝ සමාගමේ නිෂ්පාදනයක් වුන රවුන්ඩ්අප් වල්නාශකය. සාමාන්‍යයෙන් රවුන්ඩ්අප් ගැහුවම සියළු ශාක මැරෙනවා. නමුත් මොන්සැන්ටෝ සමාගම විසින් රවුන්ඩ්අප් වලට ඔරොත්තු දෙන ජානයක් බඩ ඉරිඟු වලට ඇතුල් කරනවා. එතකොට ගුවන් යානා වලින් වගාවන්ට රවුන්ඩ්අප් යෙදුවා කියලා බඩ ඉරිඟු ගස් මැරෙන්නේ නෑ. හැබැයි අනෙක් සියලුම ශාක මැරෙනවා.
ඒ විතරක් නෙමෙයි, කෘමිනාශක ගුණයක් සහිත බඩ ඉරිඟු වර්ගත් ඔවුන් හැදුවා. ඒවාට කෘමීන් හානි කරාම උන් මැරෙනවා. මේවා ඇමරිකාවේ වගේම ලෝකයේ දැඩි කතාබහට ලක්වුන කාරණා.
කොහොම වුනත් ලෝකයේ බඩ ඉරිඟු වගාවේ තාක්ෂණය එක්ක අපි ඉන්නේ ඉතාම ප්‍රාථමික තැනක කියලා කියන්නම වෙනවා. ඒ වගේම බඩ ඉරිඟු ආශ්‍රිත නිෂ්පාදන අතරිනුත් අපි ඉන්නේ ප්‍රාථමික තැනක.
අපේ රටේ කහ තුනපහ ඇතුළු කුළුබඩු එක්ක පොල් කිරි දාලා ගත්තම කන්න පුළුවන් දේවල් අනන්තයි අප්‍රමාණයි. ඉතිං බඩඉරිඟු ඇට ටිකක් එහෙම කෑවම ඒක "මාර වැඩක්" වෙන්නේ නෑ. කණගාටුවට කරුණ තමයි මේ රටේ කන්න ඕනතරම් එළවලු පළතුරු ධාන්‍ය වර්ග තියෙද්දී තමයි අපි මේ එක එක රැළි පස්සේ යන්නේ.
Sanjana Ravindu