බදුල්ල නයිට්මේල් එකෙන් ඇල්ලට

Jayashantha84

Active member
  • Sep 18, 2021
    29
    207
    28
    ලකලෑස්ති වෙලා බත්තරමුල්ල හන්දියෙන් කොට්ට පොල් වගේ සෙනග පටවපු 190 බස් එකකට නැගල වවුලෙක් වගේ එල්ලිලා ඇවිත් කොටුවේ ස්ටේෂන් එක ළඟින් බහිද්දි හැන්දෑවෙ හතට විතර ඇති. මේ බ්‍රහස්පතින්ද දවසක්. පහුවදා සිකුරාද පාළොස්වක පෝය. දිග සති අන්තයක්. ඒකයි එච්චර සෙනග. බස් එකෙන් බැහැපු හැටියෙ, ස්ටේෂන් එකට යන මහ සෙනග මැද්දෙන් මම පණුවෙක් වගේ ඇඹරි ඇඹරි, ඇඳුම් පුරෝපු කලුයි නිලුයි බැක්පැක් එකත් පිටේ එල්ලගෙන, ස්ටේෂන් එකේ ලේක් හවුස් එක පැත්තෙ මායිමෙ තිබ්බ ඇඳුම් කඩේකට ගියෙ ජර්සි එකක් ගන්න. පිටකොටුවෙ වැඩිපුර ඉන්නෙ කාක්කො හින්ද මම සාමාන්‍යයෙන් ඔය කඩවලින් ගෙදරට අඳින්නා ෂෝටක්වත් ගන්නෙ නෑ. හැබැයි ජර්සියක් ඕනෙමයි. මම එදා හවස තලවතුගොඩින් බැලුවම ඒ කඩේටම තිබ්බ එකම ජර්සි එක රුපියල් හාරදාස් ගාණක්. මම හෙව්වෙ දාහකට එක්දාස් පන්සීයකට එකක්. ඒ හින්ද අයිස් කැප් එකක් විතරක් අරගෙන වෙලාවත් තිබ්බ හින්ද ජර්සි එකක් පිට්කොටුවෙන් ගන්න හිතුව.

    නිල්පාට ඩෙනිම් කලිසමට උඩින් කහපාටට හුරු මැද්දෙන් සුදුපාට ඉරි දෙකකුයි දුඹුරු පාට ඉරකුයි එක්ක දුඹුරු පාට බොත්තම් අල්ලල තිබ්බ අත්කොට කමිසයක් ඇඳලදුඹුරු පාට කැන්වස් සපත්තු දෙකක් දාල හිටපු හිනි උඩු රැවුලක් තිබුණ කඩේ මුදලාලි මට කාලෙකින් දැක්ක ප්‍රියතම නෑයෙකුට වගේ හරි ලෙන්ගතුව හිනාවෙලා ඇහුව "මහත්තෙයට මොනවද ඕනේ?' "ජර්සියක්" මුදලාලිට උත්තර දෙන අතරෙම මගේ ඇස් දෙක කඩේ පුරාම දුවලත් ඉවරයි. ජර්සි පේන්න නෑ. "මේ පැත්තෙන් එන්න මහත්තය" මමත් මුදලාලි පස්සෙන් ගිහින් නතර වුණේ බිම දාල තිබ්බ ජර්සි මිටියක් ළඟ. මම තෝරගත්තෙ දුඹුරු පාට හුඩී එකක් එහෙම තිබ්බ එකක්. ගාණ එක්දාස් අටසීයයි. ටිකක් අඩු කරල දෙන්න බැරිද කියල ඇහුවාම ජර්සි එකේ කොලිටි එක ගැන හෙන වරුණාවක් එහෙම දීල ගලෙන් පට්ටයක් ගහනව වගේ රුපියල් දෙසීයක් අඩු කලා. ඒක වැඩිම වුණොත් නමසීයක් වටී. ඒත් කේවල් කර කර ඉන්න වෙලාවක් තිබ්බෙ නැති හින්ද, ඒකත් අරගෙන කඩෙන් එළියට බැහැල මම මේන්ලයින් එකේ ටිකට් කවුන්ටරේ ගාවට ගියා. ගිහින් බදුල්ලට සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගත්ත. මම කඩේට යද්දිම වගේ කෝච්චි ස්ට්‍රයික් එකක කතාවකුත් ලාවට ඇහිල තිබුණ. හාවෙක් වගේ කණ් දික්කරල ඇහුවත් සම්පූර්ණ විස්තරේ අහගන්න බැරිවුණා.

    ටිකට් කවුන්ටරේ ළඟ ඉඳන් එහෙමම කෙලින්ම ඇවිදගෙන ගිහින් තුන්වෙනි වේදිකාවට ඇතුල් වෙන තැනින් වමට හැරිල කලබලෙන් එහෙටයි මෙහෙටයි ඇවිදින මිනිස්සු ගංගාව මැද්දෙන් පිපිඤ්ඤ ගෙඩියක් වගේ කූල් එකේ හිමින් හිමින් ඇවිදගෙන ගිහින් පළවෙනි වේදිකාවට වැටිල එතනින් ටිකක් ඉස්සරහට ගිහින් වොෂ් රූම් එකටත් ගිහින් ආපහු හිමින් හිමින් තුන්වෙනි වේදිකාවටම ආවා. තව වෙලා තියෙනව. කකුල් දෙකට මාරුවෙන් මාරුවට ඇඟෙ බර මාරු කර කර කෝච්චිය එනකල් ඩෙරික් එකක් වගේ මරදාන පැත්තට බෙල්ල දික්කරගෙන හිටිය. රිදෙන්න ගත්තම බෙල්ල කෙලින් කරගන්නව. ආයෙ ටිකකින් ඒ පැත්තට හරවනව. ඉඳගත්තෙ නෑ කෝච්චිය ආව ගමන් නැගල ඒකෙම ඉඳගන්න හිතාගෙන. ඔහොම ඉද්දි හතයි හතළිස් පහ වගේ වෙද්දි මරදාන යාඩ් එකේ ඉඳන් හූ කියාගෙන කෝච්චිය ආව. දෙය්යො සාක්කි! ජනෙල් ළඟ හැම සීට් එකේම කවුරුහරි වාඩි වෙලා. මම ඉස්සරහින් පාස් වුණු හැම පෙට්ටියෙම එහෙමයි. පන්ති භේදයක් නැතුවම.

    සීට් තුන හතරක් හරි ඇති කියන විශ්වාසෙට මාත් ඉතින් කෝච්චිය නවත්තපු සැණින් දුවල ගිහින් නැග්ග. වෙනදට හිමින් සීරුවෙ බයෙන් බයෙන් නගින පඩි තුනේ ඉණිමගේ විදුලි වේගෙන් නැගල සෙකන්ඩ් ක්ලාස් පෙට්ටියකට ඇතුල් වුණා. සීට් නම් තිබුණ. හැබැයි හැම සීට් එකේම කවුරුහරි ඉඳගෙන. තාක්ෂණික වශයෙන් කොළඹ කොටුව ස්ටේෂන් එකෙන් පටන් ගන්න කෝච්චිය මරදානෙ යාඩ් එකේ ඉඳන් කොටුව ස්ටේෂන් එකට එද්දිම සෙනග පිරිල. ඒක හරි අසාධාරණයි. ඒත් කිලෝමීටර් 292ක් දුර පැය 10කට වඩා දිග ගමනක් හිටගෙන යන්න පුළුවන් කාටද? ඒ හින්ද මේ ගැන දන්න අය වැඩේ නීතිවිරෝධි වුණත් (මම දන්න තරමින්) හොරෙන්ම මරදාන යාඩ් එකෙන්ම කෝච්චියට නැගල සීට් එකක් අල්ලගෙන එනව. මම කෝච්චියෙ ටිකට් බුක් කරල නැතුවයි යන්න හදන්නෙ කියල දැනගත්තම මටත් අපේ ඔෆිස් එකේ කවුරුහරි ඔය යෝජනාව කළා. ඒත් මම ඒක එච්චර බරපතලෙට ගත්තෙ නෑ.

    බැක්පැක් එක ගලවල උඩ රාක්කෙන් දාලා මම දැන සීට් එකක හෙඩ් රෙස්ට් එකක් අල්ලගෙන හිටිය. දැන් සෙනග පිරෙනව. සමහරවිට අනිත් පෙට්ටිවල හිස් සීටුත් ඇති කියල හිතිල මම බැක්පැක් එකත් අරගෙන සෙනග පීරගෙන ඉස්සරහට ගියා. ඒකෙ කෝච්චියෙ කැන්ටින් එක තිබ්බෙ. ඒකෙත් සෙනග පිරිල. එතනත් ටිකක් ඉඳල මම අමාරුවෙන් බැහැගෙන දෙපැත්තටම ඇවිදල බැලුව. සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් පෙට්ටි හැම එකේම කට කපල සෙනග ෆුට්බෝඩ් වල ඉඳන්. මම ආපහු බැස්ස දොරෙන්ම කෝච්චියට නැග්ග. බස් එකේ යන්න ගියත් ඒ වෙලාවෙ යන බස් පාන්දර තුන විතර වෙද්දි බදුල්ලෙ. එච්චර පාන්දර ගිහින් බස් ස්ටෑන්ඩ් එකේ තපින්නයි වෙන්නෙ. අනික එහෙම කලොත් කෝච්චියට ටිකට් එකට වියදම් කල සල්ලිත් අපරාදෙ. ඇරත් මම බදුල්ලට යන්නෙ පළවෙනි වතාවට. මේ සෙනග හැමෝම බදුල්ලට යනව වෙන්න බෑනෙ. යන්න ගත්තට පස්සෙ ටික ටික අඩුවෙයි. ඊට පස්සෙ ජනේලයක් ළඟ සීට් එකක ඉඳගෙන සීත සුළං වැදි වැදී යන්න පුළුවන්. ඔහොම හිත හිතා දොර ලඟින් පොඩ්ඩක් ඇතුලට වෙන්න කෝච්චි පෙට්ටි දෙකක් ජොයින් වෙන තැනට පොඩ්ඩක් මෙහා පැත්තෙ කෝච්චි පෙට්ටියෙ ඇතුලෙ අකුලපු දොරේ අයිනක් අල්ලගෙන බැක්පැක් එක බර හින්ද ගලවල බිමින් තියාගත්ත. ටිකකින් විසිල් ගහල හූ කියාගෙන පැද්දි පැද්දි හිමින් හිමින් කෝච්චිය යන්න පටන් ගත්ත. මම සාමාන්‍යයෙන් ඉඳගෙන යද්දි තියෙන ප්‍රශ්න - ඒ කියන්නේ කෝච්චිය ඉස්සරහට යනවද පස්සට යනවද? කොයි පැත්තෙද පාර ලස්සනටම පේන්නෙ?- මොනවත් දැන් මට නෑ. සීට් එකක් ඕනෙත් නෑ. අත පය දිග ඇරල එතන හිටගෙන ඉන්න පුළුවන් වුණා නම් හොඳටම ඇති.

    අකුලපු දොරේ රබර් තීරුවක් අලවපු දාරෙ මම අත් දෙකෙන්ම අල්ලගෙන හිටිය කූඩැල්ලෙක් වගේ. ඒ හරියේ හිටපු අනිත් හැමෝමත් මං වගේම දොරක් හරි කණුවක් හරි තදට අල්ලගෙන හිටිය. කෝච්චිය ටික ටික වේගෙ වැඩි කරද්දි, පැද්දිල්ලයි නැළවිල්ලයි වැඩිවුණා. මගේ කකුල් තිබ්බ තැනට අඩි භාගයක්වත් තිබ්බේ නෑ අමුණල තිබ්බ කෝච්චි පෙට්ටි දෙකේ තට්ටු දෙකේ තල දෙක එකට වදින තැනට. එතන සර්ජන්ගේ පිහියට වඩා ති‍යුණුයි.
    හැම අඟලකම සෙනග. කකුලක් ඉස්සුවොත් ආයේ ඒක තියාගන්න වෙන්නෙ එක්කො අනිත් කකුල උඩ නැත්නම් වෙන කාගෙ හරි කකුලක් උඩ. කෝච්චිය වැල් පාලම වගේ පැද්දෙද්දි වැනෙද්දි මාවත් පැද්දෙනව වැනෙනව මට දැණුන.

    කට්ටිය කතා වෙච්චි හැටියට එදා හවස කෝච්චි ඩ්‍රයිවර්ලගේ ස්ට්‍රයික් එකක් තිබිල පස්සෙ ඒක අත ඇරල. හැබැයි කොහොම හරි තලෙයිමන්නාරමට යන කෝච්චිය කැන්සල් වෙලා. ඒ සෙනගත් නැගල මේ කෝච්චියට මගින් බහින්න. ගම්පහට ආවම වගේ සෙනග අඩුවෙයි කියල මට එහා පැත්තෙ හිටපු ආණ්ඩුවෙ කන්තෝරුවක ලොක්කෙක් වගේ පෙනුමක් තිබ්බ කෙනෙක් තිබ්බ කෙනෙක් කිව්ව. ගම්පහට ආවම කට්ටියක් බැහැගත්ත. හැබැයි ගම්පහිනුත් කට්ටියක් නැග ගත්ත. කෝච්චියෙ සෙනග වැඩිවුණාද කොහෙද.

    වේයන්ගොඩ, රඹුක්කන, ඉහලකෝට්ටෙ කඩුගන්නාව ස්ටේෂන් එහෙමත් පහුකරගෙන කෝච්චිය කන්ද නැගගෙන තැන් තැන් වල හිට හිට පේරාදෙණිය හන්දියටත් ආව. එතකොට මහ රෑ දොළහත් පහුවෙලා. දැන් කොටුවෙන් පිටත්වෙද්දි හිටියටත් වැඩිය සෙනග පිරිල කෝච්චිය. කකුල් දෙකත් රිදිල රිදිල දැන් පදම් වෙලා. මම ඉන්න තැනට එලිය හොඳට පෙවුණා. වට පිටාව හොඳටම කළුවර හින්ද ඈත කඳුවල තිබ්බ සමහර ගෙවල්වල හරි හෝටල් වල හරි පත්තු කරල තිබ්බ ලයිට් අහසෙ තරු වගේ දිස්නෙට මට පෙනුණ.

    කළුවර ගැන කතාකරද්දි මට මතක් වෙනව මට හම්බෙලා තියෙන අපූරු කියවීම් දෙකක්. 2020 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනපු Louise Gluck කියන ඇමෙරිකානු කිවිඳිය එයාගේ Departure කියන කවිය මෙහෙම පටන් ගන්නව: “The night isn't dark; the world is dark.” ඒක මට කවදාවත් හිතිල තිබ්බ නැති වෙනස් අළුත් අදහසක්. මගේ කැමතිම ඇමෙරිකානු කතුවරියක් වෙන Toni Morrison එයාගේ Song of Soloman කියන නවකතාවෙ මෙහෙම ලියනව: "You think dark is just one color, but it ain’t. There’re five or six kinds of black. Some silky, some woolly. Some just empty. Some like fingers. And it don’t stay still. It moves and changes from one kind of black to another. Saying something is pitch black is like saying something is green. What kind of green? Green like my bottles? Green like a grasshopper? Green like a cucumber, lettuce, or green like the sky is just before it breaks loose to storm? Well, night black is the same way. May as well be a rainbow - ඔබ හිතන්නෙ කළු කියන්නෙ එක පාටක් කියලද? නෑ ඒක එහෙම නෙමෙයි. කළු පාට ජාති පහක් හයක් තියෙනව. සමහර එව්ව සිල්ක් වගේ. සමහර ඒව වූල් වගෙ. සමහර ඒව හිස්. සමහර ඒව ඇඟිලි වගේ. ඒ කළු පාට නිශ්චලව හිටින්නෙත් නෑ. ඒක සෙලවෙනව වෙනස් වෙනව එක කළු පාටකින් තවත් කළු පාටකට. මොකක් හරි දෙයක් තාර වගේ කළුයි ( pitch black) කියන එක හරියට ඒක කොළ පාටයි කියනව වගේ. මොන වගේ කොළ පාටක්ද? මගේ (වයින්) බෝතල් වගේ කොළ පාටද? තණකොලපෙත්තෙක් වගේ කොළ පාටද? පිපිඤ්ඤ ගෙඩියක් වගේ කොළ පාටද? සලාද කොළ වගේ කොළ පාටද? එහෙම නැත්නම් කුණාටුව එන්න කලින් මොහොතකට කලින් අහස වගේ කොළ පාටද? රෑ කළුවරත් ගැනත් කියන්න තියෙන්නෙ ඔය කතාවම තමයි. දේදුන්නක් වෙන්නත් පුළුවන්.” එහෙම හිතුවොත් රෑ ගැන, කළු පාට ගැන, කොළ පාට ගැන හිතන්න, කතාකරන්න, ලියන්න තව කොච්චර දේවල් තියෙනවද?

    දැන් අහසේ මුදුනට නැගල පහළ බැලුවොත් කඳු මැද්දෙන් එලපු මේන්ලයින් රේල්පාර යෝධ සර්පිලාකාර පඩිපෙලක්. අපේ කෝච්චිය ඒක දිගේ පහළ ඉඳන් හිමින් හිමින් පරිස්සමින් උඩට නගින පොඩි රෑ බදුල්ලෙක්. කීපදෙනෙක් ඇරුණාම අපි ඔක්කොම වගේ ඉන්නෙ ඒ රෑ බදුල්ලගේ ලයිට් දාපු ජනෙල් තියෙන බඩ ඇතුළේ. මේ කෝච්චියෙ වැඩිපුරම ඉන්නෙ කොළඹ හරි ඒ කිට්ටුව හරි නැවතිලා වැඩකරන දිග සති අන්තෙට උඩ පළාත්වල තියෙන ගම් ගෙවල්වලට යන කට්ටියයි, මං වගේ ට්‍රිප් එකක් යන කට්ටියයි. වැඩිපුරම ට්‍රිප් යන්නෙ එක්කො නානුඔයෙන් බැහැල නුවර එළිය පැත්තෙ. එහෙම නැත්නම් පට්ටිපොලින් හරි ඔහියෙන් හරි බැහැල හෝර්ටන් තැන්නට හරි බඹරකන්ද යකාගේ පඩිපෙළ පැත්තෙ හරි. එහෙමත් නැත්නම් දියතලාව හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල පැත්තට. රැල්ල යන්නෙ විශේෂයෙන්ම ඇල්ලට.
     

    Attachments

    • 52775061_10217867726826068_6481678224639131648_n.jpg
      52775061_10217867726826068_6481678224639131648_n.jpg
      77.8 KB · Views: 110
    • 52598908_10217867727106075_4896536083518455808_n.jpg
      52598908_10217867727106075_4896536083518455808_n.jpg
      101.1 KB · Views: 108
    • 52788229_10217867727706090_6655035620240392192_n.jpg
      52788229_10217867727706090_6655035620240392192_n.jpg
      39.6 KB · Views: 111

    Jayashantha84

    Active member
  • Sep 18, 2021
    29
    207
    28
    කෝච්චිය ගම්පොළ ස්ටේෂන් එක පහුකරද්දි පාන්දර එකට එක හමාරට වගේ ඇති. කෝච්චියෙ සමහරු හිටගෙනම නිදි. මේ සද්දන්ත යකඩ යකා එක්ක වුණත් හැප්පෙන්න බය නැති හිතුවක්කාර බලපුළුවන්කාර හුළඟ පුළුවන් හැම තැනකින්ම ඇතුළට එනව. සීතලම සීතලයි දැන් නම්. ඒ මදිවට සිග්නල් නැතුව කෝච්චිය හැම තැනම නවත්තනව. දෙතුන් තැනක පැය භාගෙකට වඩා නවත්තගෙන හිටිය. ආයෙ ඒ ට්‍රැක් එකේ තව කෝච්චියක් හරි දෙකක් හරි යනකන් අනිත් ට්‍රැක් එකට දාලා නවත්තල තිබ්බ. කෝච්චිය පැද්දි පැද්දි නවතින්න යද්දි ෆුට්බෝඩ් එකේ හිටපු මුස්ලිම් කොල්ලො කෑගහනව "හෝව්! හෝව්! ඇති ඇති!' කියල, ආයේ යන්න පටන් ගත්තම උන් කෑගහනව "හරි යන්! ඔහොම යන්! කියල. උන් කැගහන හැම පාරටම මට හිකිස් ගාලා හිනා යනව. අනිත් මිනිස්සුන්ටත් හිනා. සීතල කැපිල යන්නත් එක්ක මම සෙනග මැද්දෙන් පීරගෙන කැන්ටිමට ගිහින් පැය කාලකට වැඩිය පෝලිමෙ ඉඳල කිරිකෝපි එකක් බිව්ව. ඒ වෙලාවෙ ඒක මට අමෘතය වගේ.

    කෝච්චිය උලපනේ නාවලපිටිය ඉඟුරුඔය ස්ටේෂන් පහුකරගෙන වටවලට එද්දි තුන හමාරට හතරට විතර ඇති. ඒ වෙලාවෙම වගේ මම මගෙ ආඩම්බරකම පැත්තකින් තියල කකුල් දෙකත් හොඳටම රිදෙන හින්ද බිමින් ඉඳගෙන ජර්සියත් ඇඳගෙන අයිස්කැප් එකත් දාගත්ත. සීතල ජර්සිය පසාරු කරගෙන ඇඟට වැදුනත් කලින්ට වඩා හොඳයි දැන්. මම එතනින් නැගිට්ටේ වටෙන් ගොඩෙන් එළිය වැටීගෙන එද්දි. මහ රෑට වඩා පාන්දර සීතලයි. හැටන් තලවකැලේ, ග්‍රේට් වෙස්ටන් ස්ටේෂන් පහුකරගෙන අපි නානුඔය ස්ටේෂන් එකට එද්දි උදේ හයට විතර ඇති. නානු ඔයෙන් කට්ටියක් බැස්ස. දැන් කෝච්චියෙ තදබදය අඩුයි මිනිස්සු ගොඩක් හිටගෙන හිටියට. මම ෆුට්බෝඩ් එක ගාවට ආවා.

    ඔයිට මාස දෙක තුනකට කලින් දවසක් බදුලු කෝච්චියෙ යන්න තියෙන ආසාවටම සති මැද්දෙ පෝය නිවාඩුවක් වැටුණු දවසක උදේ පහයි පනස්පහට තියෙන පොඩි මැණිකෙ කෝච්චියෙ නැගල නානු ඔයට ඇවිදින් නානු ඔය ස්ටේෂන් එකේ පැයක් විතර ඉඳල බදුල්ලෙ ඉඳන් කොළඹට යන කෝච්චියෙ ආපහු ආව. ඒ හින්ද මම නානුඔයට එනකම් පාර දෙපැත්තම දැකල තිබුණ. හැබැයි නානුඔය ස්ටේෂන් එකෙන් එහාට මට පාර අළුත්ම එකක් මට. ඒ හින්දම සීතල හුළඟ අමතක කරල ෆුට්බෝඩ් එක ළඟම තිබ්බ කණුවක් අල්ලගෙන එලිය බලාගෙන ආවා.

    අයිස් වගේ හුළඟ ඇවිත් මගෙ මූණෙ හයියෙන් හැප්පෙනව. රේල්පාර දිගට කන්ද උඩට උඩට තේ වතු විහිදෙනව.ඒ ගොඩක් තේ පඳුරුවල මුල් දැක්කම, ඒව දළු කඩලයි පිළිවෙලට කප්පාදු කරලයි හින්ද මිටියට තිබ්බට, මෝරපු පරණ ගස් කියල පේනව. අතරින් පතර කැරට්, ලීක්ස්, ගෝවා පාත්තිත් තියෙනව. අතරින් පතර ඇස්බැස්ටො ගහපු පොඩි ගෙවල් තියෙනව.තැන් තැන් වල දිය පාරවල් තියෙනව. පොඩි පොඩි දිය ඇලිත් තියෙනව. බිංගෙවල් අස්සෙන් යන හැම වෙලාවෙම කෝච්චියෙ හෝන් එකටත් වැඩිය සද්දෙන් කොල්ලො හූ කියනව. සමහර තැන්වල කන්ද මතුවෙනව. තව තැනකින් හෙළ මතුවෙනව. තවත් තැනකින් කොළම කොළ පාටට කැලේ මතුවෙනව. නානුඔයයි අඹේවෙලයි ස්ටේෂන් අතර කෝච්චිය යද්දි ඈතින් කැලේ මැද්දෙන් පින්තූර පෝස්ට්කාඩ් එකක වගේ ලස්සන දියඇල්ලක් වැටෙනව. ඒ එල්ජින් ඇල්ල. මීදුම නැත්නම් එල්ජින් ඇල්ල කෝච්චියට පේනව. මේ ස්ටේෂන් දෙක අතරෙ පැරකුම්පුර කියල වැඩිය කවුරුත් දන්නෙ නැති පොඩි ස්ටේෂන් එකක් තියෙනව. පට්ටිපොලදි කෝච්චිය නවත්තල, පිටිපස්සෙන් තල්ලු කරපු එන්ජිම ගලවල ඉස්සරහින් අමුණනව.දැන් කෝච්චියෙ ඉස්සරහින් ඇන්ජින් දෙකයි. පට්ටිපොල සමිට් එකට පස්සෙ කෝච්චිය පල්ලම් බහින්න පටන්ගන්න හින්ද පිටිපස්සෙන් තල්ලු කරන්න ඇන්ජිමක් ඕනෙ නෑ.

    පට්ටිපොල ස්ටේෂන් එක පහුවුණාට පස්සෙ හම්බෙන ඔහිය ස්ටේෂන් එක මල් එහෙම වවල හරිම ලස්සනයි. ඔහියට පස්සෙ ඉදල්ගස් හින්න. ඒකත් හරිම අයස්කාන්තයි. ඉදල්ගස් හින්න කිට්ටුවදි ෆුට්බෝඩ් එකේ තනි අයිතිය මට හම්බුණා. දැන් සීට් ඕනෙ නෑ. සීට් වලට මෙච්චර් ලස්සනට පාර පේන්නෙත් නෑ. ඉදල්ගස් හින්නට පස්සෙ කෝච්චිය නවත්තන්නෙ හපුතලේ. තවත් හරිම ලස්සන ස්ටේෂන් එකක්. ඊළඟට දියතලාව. ඊටපස්සෙ බණ්ඩාරවෙල. අපි පොඩි කාලෙ බදුලු බණ්ඩාරවෙල යනව කියලනෙ කිව්වෙ මේ පැත්තට විනෝදගමන් හරි නෑදෑ ගමන් හරි එන එකට. ඇල්ල ගැන මම නම් දැනගත්තෙ බොහොම මෑතකදි.

    බණ්ඩාරවෙල ඉඳන් ඇල්ල ස්ටේෂන් එකට එන්න කලින් පොඩි ස්ටේෂන් තුනක් හම්බෙනව: කීනිගම, හීල් ඔය, කිතල ඇල්ල. මම ඇල්ලෙන් බහින්නෙ නැතුව කෝච්චියෙ ඉඳන්ම දෙමෝදර පාලම බලන්න හිතාගෙන බදුල්ලටම ගියා. ඒත් කෝච්චියෙ ඉඳන් දෙමෝදර පාලමෙ ලස්සන බලන්න බෑ. දෙමෝදරට පස්සෙ උඩුවර හාලි ඇල පහු කරල කෝච්චිය බදුල්ල ස්ටේෂන් එකේ නැවැත්තුවා. වෙලාව හරියටම උදේ දහයයි. දෙයියෝ සාක්කි! පැය 14ක් කෝච්චියෙ. බදුල්ලෙන් උදේ එකොළහට කොළඹ එන කෝච්චියෙ නැගල ආයෙත් සැරයක් කෝච්චියෙ ඉඳන්ම දෙමෝදර පාලමත් බලාගෙන මම ඇල්ල ස්ටේෂන් එකෙන් බැහැගත්තා.
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මාත් මේ ලඟදි ගියා.. $කය වගේ අත් කොට ශර්ට් එකක් ඇඳන් ගියෙ.. ඉදල්ගස්හින්නෙන් නවත්තපු වෙලාවෙ එලියට බැහැල බලද්දි ඇවිත් වැදුන හුලන් පාරක් ඇඟේ temperature control කුඩු.. :lol: ආයෙ එලියට බැස්සෙ ඇල්ල ස්ටේශන් එකෙන් එතකන් සීට් එකෙන් හෙල්ලුන්නෑ..
     

    Jayashantha84

    Active member
  • Sep 18, 2021
    29
    207
    28
    මාත් මේ ලඟදි ගියා.. $කය වගේ අත් කොට ශර්ට් එකක් ඇඳන් ගියෙ.. ඉදල්ගස්හින්නෙන් නවත්තපු වෙලාවෙ එලියට බැහැල බලද්දි ඇවිත් වැදුන හුලන් පාරක් ඇඟේ temperature control කුඩු.. :lol: ආයෙ එලියට බැස්සෙ ඇල්ල ස්ටේශන් එකෙන් එතකන් සීට් එකෙන් හෙල්ලුන්නෑ..
    At Nanuoya station, you'll shiver like in high fever in the midday if you're without a jersey or at least some thick clothing
     
    • Like
    Reactions: Walter White