බයිපාස්, බයිපාස් කරන ඇල්දිය ප්ලාස්ටරේ වර&#3540

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බයිපාස්, බයිපාස් කරන ඇල්දිය ප්ලාස්ටරේ වර&#3540

    11745843_678445315621767_244412527042043586_n.jpg

    මිනිහෙක් ගොඩාක්ම අසරණ වෙන්නේ මොන වෙලාවටද... වෙන මොන වෙලාවට නැතත් ලෙඩක්, දුකක් හැදුණ වෙලාවට තරම් මිනිහෙක් අසරණ වෙන්නෙ නෑ කවදාවත්.... ලෙඩ දුක් කිව්වත් දැන් දැන් නම් ලෙඩවලටත් තියෙනවා දුප්පත් පෝසත්කමක්... ඊටත් වැඩිය වටිනාකමක්.... සමහර ලෙඩ ගැන සමහර අය කියන්නේ තමන්ගේ ගෙදරට වටින බඩුවක් ගෙනාව විදියට.... "අනේ මට ඩයිබෙටික් මෙයා... මගේ ෂුගර් ටිකක් වැඩියි... මට ගෑස්ටි්‍රක්නේ...

    බැදුම් කන්න බෑ මට කොලෙස්ටරෝල්...." මෙන්න මේ වගේ ලෙඩ නම් පෝසත් ලෙඩ විදියටයි සමහර අය හිතන්නේ... ඒ වගේ එකක් හැදුණාම නම් කට ඇරල කියන්න පුළුවන් වගේ ගතියක් තියෙනවා කියලයි හිතෙන්නේ. මේ මොන මඟුල හැදුනත් ලෙඩ කියන්නේ ඉතින් මනුස්ස සතා විතරක් නෙවෙයි තිරිසනාත් අසරණ කරන දෙයක්... ඕවා මේවා අතරේ හාර්ට් එකේ බයිපාස් ඔපරේෂන් එකක් එහෙම කරන්න වුණොත්.... ලක්ෂ කීයක් යනවද.... සමහර විට ලංකාවේ කරන්නත් බෑ... ඒ වගේම ඕන මනුස්සයෙක්ගේ ගාණ දැනගන්නත් මේ ලෙඩ තරම් උපකාරි වෙන්නේ නෑ වෙන මොනවත්... සමහර වෙලාවට ඒ බයිපාස් ඔපරේෂන් එකට යන වියදම ඒ මනුස්සයාගේ මුළු ජීවිත කාලෙම හම්බු කළ රුපියල් ගාණට සමානයි....

    එහෙම නැත්නම් ඒ ශරීරය එහෙම පිටින් විකුණුවත්, ඇස්, වකුගඩු, ලේ, පටක, තව තව හැමදේම විකුණුවත් අර ඔපරේෂන් එකේ ගාණ හොයන්න බෑ... මේක තමයි ලෝක සිස්ටම් එක... ඇත්තටම බැලුවොත් අපි කවුද... ඔබ හිතලා තියෙනවද කවදාවත් ඒක... හිතලා තිබ්බත් ඔබට හිතුණද මෙහෙම... අපි කාගේ හරි ජීව පරීක්ෂණ මෙවලමක් විතරයි කියලා... ඒ කියන්නේ.... අනේ අම්මෝ ගොඩාක් තියෙනවා. ඒ ගැන කතාකරන්න ගියොත්... ශරීර පරීක්ෂාව එකක්.... එතකොට හිත් පරීක්ෂාව... මේ දෙකම ලෙඩ වෙන්නේ එක දෙයක් හින්දා... ඒ තමයි ඉරණම... විශ්වාස කරන්න අමාරුයි නේද... කමක් නෑ මං දන්න, මට හිතෙන තරමින් මං කිව්වේ... ඒක ගැන තර්ක විතර්ක දාලා උත්තරේ හොයාගන්න එක ඔබටම බාර කරලා මං මගේ ආටිකල් එකට යන්නම්කෝ... මේ කතා කරන්නේ ඇල්දිය ප්ලාස්ටරේ ගැන... කුතුහලයක් ඇතිවුණ හින්දා මේ සතියේ මං ටිකක් ඔබෙන් අෑත් වෙනවා... හරි අපි යමුද ඔක්කම්පිටියට... එහේ ඉන්නවා ඔබට හොඳ තොරතුරු ගොඩාක් දෙන්න පුළුවන් දේශීය වෙද මහත්තයෙක්... එතුමාගේ නම එල්.එච්. ජිනදාස.... පාරේ බස් එකේ ගමන බිමන... කුඹුක්කන් ඔය අයිනේ සැහැල්ලු නිවෙස... ඒ ගෙපැල වට කොට වැඩුණු බේත් පැළ... ඔක්කොම එක්ක නිවිච්ච, සරල ගමේ කම... අපේ කතාවට ඉඩ දීලා වගේ ඉරත් හිටියේ වලාකුළු අස්සේ හැංගිලා....

    ඉතින් වෙද මහත්තයා....
    මේ ඇල්දිය පැලැස්තරේ කියන්නේ පාරම්පරික වට්ටෝරුවක්... මේක පිටත ආලේපනයක් විදියටයි පාවිච්චි කරන්නේ... ඒ කාලේ පුරාණේ මේක දැම්මේ කපු රෙදිකඩකට දාලා... අද ඉතින් තියෙනවානේ එක එක ජාති... මේකත් නවරත්න කල්කේ වගේ... පිටතයි ගාන්නේ... මේකට මාත්තුව විදියට ගන්නේ ඇල්වතුර....
    මාත්තු කිව්වේ වෙද මහත්තයා....
    ඇල්දියෙන් කොච්චර තෙමුවත් කමක් නෑ... ඒ කියන්නේ ඇල් දියෙන් තමයි මේ බේත ඇඟට අල්ලවන්නේ... මේක ආලේපනයක් වශයෙන් තියෙන්නේ... කොච්චර ඇල්දියෙන් තෙමුවත් යන්නේ නෑ... මේ බේත හදන්න ගන්නවා ජාති ගොඩාක්... විශේෂයෙන් හල් දුම්මල... හල් දුම්මල කියන්නේ දුම්මල වගේම ඒවායේ වීදුරු කෑලි වගේ ඒවා විතරයි ගන්නේ...

    හල්දුම්මල කියන්නේ මොනවද.
    මේවා ගොඩාක් තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ..... ඔය කැලෑවල ගිනිගත්හේන පැත්තේ... බලංගොඩ වේවැල්වත්ත පැත්තේ... කැලේ තමයි තියෙන්නේ... හල් ගස්වල හැදෙන්නේ... මිනිස්සු එක එක විදියට මේවා කඩා ගන්නවා... ලොකු ලොකු කුට්ටි කඩා ගන්නවා... හරි වෙහෙසක් දරන්න ඕනේ හොයා ගන්න... මේ ඇවිල්ලා ගස්වල මැලියම්... එතකොට ඒකෙන් අර විනිවිද පේන දුම්මල කෑලි තමයි ගන්නේ... එතකොට තව ගන්නවා බැද්දේ මීපැණි..... මේ මී පැණි, පෙට්ටි මී පැණි වගේ නෙවෙයි... පෙට්ටි මී පැණි කියන්නේ සමහර විට එකම මල් ජාතියේ පැණි විතරයි... එහෙම නැත්නම් සීනියි, වතුරයි.... මේ බැද්දේ මී පැණිවල තියෙනවා බේත් ජාති දාස් ගාණක්... මල් වර්ග දාස් ගාණක පැණි තමයි බැද්දේ බඳින මී වදවල තියෙන්නේ... ඒකයි බැද්දේ මී පැණි හොයාගන්නේ... අනික් මී පැණිවලින් මේ බේත් හැදුවොත් වැඩක් වෙන්නේ නෑ.... අනික තමයි එළඟිතෙල්... හැබැයි එළඟිතෙලුත් එහෙමයි... කැලෑ, කුඹුරේ, කමතේ ඇවිදලා කන හරක්ගේ කිරිවලින් තමයි ඒ එළඟි තෙල් ගන්න ඕනේ... එහෙම නැති වුණොත් බේතේ බලපෑමක්, ගුණයක් නෑ.

    මොකද වෙද මහත්තයා ඒ එළඟි තෙල්ම ගන්නේ....
    බැද්දේ මී පැණි වගේම, බැද්ද උලාකන හරකාගෙත් තියෙනවා වෙනසක්... උෟ එකම තණකොළ නෙවෙයි කන්නේ... බේත් පැලෑටි සිය ගණක් දවසකට කනවා.. මේ බේත් පැළෑටිවල ගුණ, උරාගෙන තමයි ඒ හරකාගේ කිරි නිපදවෙන්නේ... අන්න ඒකයි උන්ගේ කිරිවලින් හැදුව එළඟි තෙල් ගන්නේ... මේ එළදෙනුන්ගේ කිරි වැඩිය නෑ. තියෙන්නේ චුට්ටයි.. ඒ වගේම මේදය අධිකයි... ගුණ අධිකයි..... මෙන්න මේවා හරියටම ගත්තේ නැත්නම් බේත ගුණ නෑ..... එතකොට තව ගන්නවා රන්හිරියල්... පල්මානික්කම්...

    රන්හිරියල් කියන්නේ...
    විස ශෝදනය කරන ඔෟෂධයක්... මේවා ගේන්නේ ඉන්දියාවෙන්... රත්තරන් පාට කෑලි.... මේ දෙකම සංයෝග කරලයි ගන්නේ... පල්මානික්කම් කඩවල්වල ගන්න තියෙනවා... කාකපාෂානම් කියන්නේ..... පාෂානම් පස් වර්ගයෙන් දැනට ගන්න අපට තියෙන්නේ පල්මානික්කම් විතරයි....

    මොනවද පාෂානම් කියන්නේ....
    පාෂානම් තියෙනවා... වෙල්ලක් පාෂානම්, හවරි පාෂානම්, මයුර පාෂානම්, පාෂානම් කියන්නේ පොළොවෙන් ගන්න දේවල්. පාෂානම් විස නිසයි තහනම් කරලා තියෙන්නේ... අපට ගන්න ඉතිරි වෙලා තියෙන්නේ පල්මානික්කම් විතරයි.. දැන් මේ බේතට මේ දේවල් ගන්නේ විස අයින් කරලා... මේක කරන්නේ වතුරෙන් සෝදලා... මේ බේත සම්පූර්ණයෙන් හදන්නේ වතුරෙන් හෝද හෝද... එහෙම තමයි මේ ආලේපය හදන්නේ...
    එතකොට මොන වගේ අසනීපවලටද මේ ඇල්දිය පැලැස්තරේ ගන්නේ....

    මුලින්ම කතා කරමු අපි තෙල් ගෙඩි ගැන... දන්නවද මේ තෙල් ගෙඩි හැදෙන්නේ මේදය එකතු වෙලා.... මේදය හමේ යට එකතු වුණාම තමයි ගැට ගැට වගේ ගෙඩි හැදෙන්නේ... හමට යටින්... දැන් අපි නිකමට අපේ හම ඇදලා බැලුවොත් මේ වගේ ඇදෙන්නේ නැත්නම්... ඒ කියන්නේ කුට්ටි කුට්ටි අහුවෙනවා නම් ඒ කියන්නේ හමේ මේදය වැඩියි... හම අහුවෙන්නේ නෑ කියන්නේ ඇඟේ මේදය වැඩිවෙනවා කියන එකයි... ඒ කියන්නේ මේ මේදය හමේ තියාගන්න පුළුවන් කොටසක් තියෙනවා... ඒ පුළුවන්කම ඉවර වුණාම එය ලෙයට මුදා හරිනවා... අන්න එතකොට තමයි ලේ පරීක්ෂා කරලා කෙලෙස්ටරෝල් කියන්නේ... එතකොට වෙන්නේ මොකක්ද දන්නවද....

    නෑ...
    මෙන්න මේ ලෙයට එකතු වෙච්ච මේදය ගිහිල්ලා ගිහිල්ලා රුධිර නාළවල ඇතුළේ තැන්පත් වෙලා බැඳෙනවා... එතකොට ලේ ගමන සීමා වෙනවා... මේ නාළ දිගේ යන ලේ ගමන අඩාල වෙනවා... අන්න එතකොට හැදෙනවා ප්‍රෙෂර්... මේක එහෙම වෙලා වෙලා හෘද වස්තුවට බලපානවා... මොකද හෘදයේ අඩසඳ කපාටය වැඩ කරන්නේ නෑ හරියට... එතකොට ලබ් ඩබ් සද්දේ වෙනස් වෙනවා.. හෘදවස්තුව ඉදිමෙනවා.. ඊළඟට පපුව රිදෙන්න ගන්නවා.... ඒ වගේම හෘද වස්තුවට ලේ සපයන රුධිර නාළයක මේක බැඳුණාම අර වගේ වේදනාවක් නෑ... මොකද හෘද වස්තුවට ඒක බලපාන්නේ නෑ... හැබැයි රුධිර නාළයට ඒක බලපානවා... වේදනාව නැති වුණත් රුධිර නාළය ගොඩාක් වැහිලා නිසා හදිසියේම මේ තෙරපුම දරා ගන්න බැරුව පුපුරනවා... එතකොට ඉතින් එහෙමම මැරෙන්න පුළුවන්... ඒ වගේම තමයි මේ මේදය ගෙඩි වගේ හැදිලා හම යට ගැටිති වගේ හැදෙනවා... අන්න ඒ ගෙඩි සුව කරන්න මේ බේත් ආලේපය යොදාගන්න පුළුවන්... මං ලෙඩ්ඩු සියදාස් ගාණක් මේ ආලේපනයෙන් සුව කරලා තියෙනවා...

    මේ ගෙඩි හැදෙන්නේ හමට යටින්....
    ඔව්... ඒ කියන්නේ අතට අහුවෙන ගෙඩි... මේ තෙල් ගෙඩි සුව කරන්න කරන්නේ තුන් බෝ අත්තන, වේලා කොළ, මුරුංගා කොළ පොතු අරගෙන බෙහෙත් පොට්ටනියක් හදලා ඒක වණ්ඩුවේ තම්බලා ඒ පොට්ටනියෙන් අර තෙල් ගෙඩි හොඳට තවනවා.... ඊට පස්සේ අර බේත් ආලේප කරනවා... එතකොට වෙන්නේ අර තෙල් ගෙඩිය විසිරිලා යන එකයි... හැබැයි මේක කළාට තෙල් අඩුවීමක් වෙන්නේ නෑ... ශරීරයට තෙල් ඕනේ... ගෙඩිය අඩු වුණා කියන්නේ ඒ තෙල් ටිකත් රුධිරයට එකතු වුණා කියන එකයි... ඒ වගේම නහරවලත් තෙල් ගැටිති ඇතිවෙනවා... එතකොට අපි හිතමු එක්ස්රේ එකකින් හරි හරියට තැන දැනගත්තොත් අපිට පුළුවන් මේ බේත ඒ කියන්නේ ඇල්දිය පැලැස්තරේ දාන්න එතැනට... ඒක දාන්නේ පිටතින්...

    එතකොට වෙද මහත්තයා මේ තෙල් එහෙම නැත්නම් කොලෙස්ටරෝල් අඩු කරන්න විදියක් නැද්ද....
    මොකද නැත්තේ.. මේ කොලෙස්ටරෝල් කපා හරින්න, අවම කරන්න බේතක් තියෙනවා.. ඒකට ගන්නවා ගල් අන්නාසි ගෙඩි පහක යුෂ. මේකට කියන්නේ සාම්ප්‍රදායක අන්නාසි... ඔය දැන් තියෙන මැලේසියන් අන්නාසි නෙවෙයි... කොහොමටත් මේ දේශීය බෙහෙත් හරියට හදා ගන්න ගන්නේ සාම්ප්‍රදායික ඔෟෂධමයි... ඊට පස්සේ තව ගන්නවා පිරිසිදුම පොල් විනාකිරි බෝතල් දෙකක්... ඒකත් අර වගේ... හරිම දේ තමයි ගන්නේ... මේකට එකතු කරනවා එනසාල්, කරාබුනැටි, කරඳමුංගු, වසාවාසි වගේ කුළුබඩු සරක්කු වගයක් එකතු කරලා හදනවා අරිෂ්ටයක් වගේ දෙයක්... ඒක දෙන්නේ ශරීරයේ තෙල් ගතිය අඩු කරන්න... එතකොට මේ දෙකම කරන අතරේ අපි දෙනවා පෙතිතෝරයි, හීන් මුරුංගයි.... එවාත් අපේ ඒවා... මේ දෙක මළවලා කන්න දෙනවා... බත් එක්කයි කන්න දෙන්නේ... අර හදලා දෙන අරිෂ්ටයි, ආලේපයයි, මේ මැල්ලුමයි හරියට කළොත් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක්ගේ ඒ වැඩි මේදය දවස් පහළොවෙන් අවම වෙලා ශරීරය සමබර කරනවා....
    මේ බේත් හොයා ගන්නේ කොහොමද....

    අන්න ඒක තමයි අමාරුම වැඩේ... අපට මේ බේත් හරියට හොයාගන්න හරිම අමාරුයි.. මොකද මේ ඉපැරැණි බෙහෙත් වට්ටෝරුවලට අනිවාර්යයෙන් සාම්ප්‍රාදයික බෙහෙත් හොයාගන්න ඕනේ... ඒ වගේම තමයි මේ බෙහෙත් කොච්චර දුන්නත් වැඩක් තියෙනවද ඇඟට තෙල් එන මාර්ගෙ නැවැත්තුවේ නැත්නම්.. ඒ නිසා මුලින්ම මේ වගේ කොලෙස්ටරෝල් තියෙන කෙනෙක්ට අපි කරන්නේ ඒ කොලොස්ටරෝල් නැති කරන, ඇඟට එන එක නැති කරන එකයි...

    ඒ කියන්නේ...
    ඒ කියන්නේ මේ තෙල් හැදෙන්නේ තෙල් කෑම එක්ක... මස්, මාළු, කිරි, බිත්තර,..... ප්‍රෝටීන් බහුල ආහාර නතර කරන්න ඕනේ... කොච්චර ඇඟට බෙහෙත් දුන්නත් තෙල් වැඩිවෙනවා නම් කන කෑමෙන් වැඩක් තියෙයි... ලුණු.... මේවා කන එක නවත්තන්න ඕනේ.. එහෙම නොකර කොච්චර බෙහෙත් දුන්නත් ඇති වැඩක් නෑ... මොකද මෙහෙන් අඩු කරද්දි අනික් පැත්තෙන් තෙල් වැඩි වෙනවානේ. කන කෑමෙන් පරිස්සම් නොවුණොත්... ඒක හරියට කිව්වොත් කළේ බිඳලා වතුර පුරවනවා වගේ වැඩක්... මේ වෙදකම්වල තියෙන පළමුවැනි දේ පරිස්සම....

    ඒ කියන්නේ සදහටම පරිස්සම් වෙන්න කියන එකද...
    මෙහෙමයි... මොන දෙයක් වුණත් පරිස්සම් කළොත් තමයි පවතින්නේ... හැමදේම එහෙමනේ... බඩුවක්, ගෙයක් වුණත් එහෙමයි... ඒ වගේම තමයි ශරීරෙත්... පරිස්සම් වුණොත් පවතිනවා... එහෙම නැති වුණොත් ඉවර වෙනවා... හැබැයි මේක පාලනයක් ඇතිව කරගෙන ගියොත් හැමදේම සමබරව පවත්වාගෙන යන්න පුළුවන්.... මේක රෝගියාගේ විදිය අනුවයි වෙනස් වෙන්නේ...
    එතකොට වෙද මහත්තයා බයිපාස් ඔපරේෂන් එකකට කොහොමද....


    ඒක තමයි විශේෂත්වය... මං මේ පැලැස්තරේ දානවා බයිපාස් ඔපරේෂන් එකක් තියෙන ලෙඩෙකුට වුණත්... දැනටත් මම එහෙම ඔපරේෂන් කරන්න තිබුණු ගොඩකට මේ පැලැස්තරේ දාලා සුව කරලා තියෙනවා... මං ළඟ ඒ හැම ලෙඩෙක්ගෙම තොරතුරු තියෙනවා... මේක දාන්නේ සැත්කමට දවස් විස්සකටවත් ඉස්සර... බඩු ටික හරියට හොයාගෙන ආවොත් මට පුළුවන් මේ ආලේපය යොදලා ඒ තියෙන රුධිර අවහිරතාව සමනය කරන්න... හැබැයි මේ බේත හදන රහසකුත් තියෙනවා.. අන්න ඒක තමයි වටින්නෙම...

    හොඳයි දැන් ඔබ ඉන්නේ දෙලොවකනේ... එහෙම ඒවා වෙන්න පුළුවන්ද... පොඩ්ඩක් හිතන්නකෝ මේ ලෙඩ අලුත් ලෙඩ නෙවෙයිනේ... මිනිස් ශරීරයට මේද එකතු වෙන එක, අත පය කැඩෙන, කැපෙන එක අපට නුහුරු නෑනේ... අපේ ඉතිහාසය කියන්නේ කඩු, කිණිසි, හෙලි, පොරව, වෑය, කැති, මන්නාවලින් කැපුම් කෙටුම් වෙච්ච ඉතිහාසයක්.... එතකොට මේ ඉතිහාස යුද්ධ එක්ක කොච්චර ප්‍රමාණයක් තුවාල වෙලා ඉන්න ඇද්ද... ඒ අයගේ තුවාල කොහොම සුවපත් කරන්න ඇතිද... ඉතින් අපි ඒ ගැන ලබන සතියේ කතා කරමු... අනික මේ ලිපිය අකුරු කළ දැන් වේලාව දන්නවද කීයද කියලා.... උදේ පාන්දර තුනයි හතළිස් හතයි... තව ටිකකින් හතරයි... මං මහන්සි වෙන තරමට ඒකේ ප්‍රතිඵල ඔබ අත්විඳිනවට මං එකෙන්ම කැමැතියි... මට නම් ජීවිතේ කියන්නේ ගෙනියන දෙයක් මිසක් ගෙනාපු දෙයක් නෙවෙයි...

    කතාව - අනූ එදිරිසිංහ
    උපුටාගැනීම_ මව්බිම පුවත්පතින්