බියගම කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය
අපට උදව් කළ ජයරත්න අයියාට මෙවන්
විපතක් වේය කියල කිසිවිටෙක හිතුවේ නෑ
- නැගණිය හඬාවැළපෙමින් කියයි
ජයරත්න මහතාගේ දේහය තැන්පත් කර ඇති අයුරු
ජල ක්‍රීඩා උළෙලකට තෑගි බෙදා දෙමින්
දුකින් තැවෙන මව සිරියාවතී
ඝාතනය ගැන පරීක්ෂණ
පෙරේදා (20 වැනිදා) පෙරවරුවේ ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයකු වන බියගම විලේජ් හෝටලයේ හිමිකරු වූ බියගම ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්. ඊ. බී. ජයරත්න නමැති 65 හැවිරිදි දෙදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. එස්. ඒ. සුජීව වික්‍රමාරච්චි මහතා විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් හිසට බරපතල ලෙස හානි සිදුවීමෙන් හා අධික ලෙස ලේ වහනය වීමෙන් මේ මරණය සිදුවී තිබෙන බවට වාර්තා කළේය.
මේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (20 වැනිදා) පෙරවරුවේ ගම්පහ රෝහලේදී පවත්වන ලදී.
මේ සිද්ධිය පිළිබඳව පැති කීපයක්ම ඔස්සේ දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. උදයකුමාර වූට්ලර් මහතා පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.
---------- ----------- ----------- -------------
සමාජ සේවා හා ආගමික කටයුතුවල නිරත වෙමින් සිය ධනය හා ශ්‍රමය ඒ වෙනුවෙන් කැප කළ බියගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු ඉතාමත්ම අමානුෂික අන්දමින් තියුණු ආයුධයකින් හිසට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ.
මේ අපරාධයෙන් කම්පාවට පත් බියගම හා අවට පෙදෙස්වල ජනතාව බියගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පෙරේදා (20 වැනිදා) පෙරවරුවේ සිට වැල නොකැඩී ඇදී එන්නට පටන් ගත්තේ දැඩි වේදනාවකිනි.
පෙරේදා (20 වැනිදා) උදෑසන 6.30 ට පමණ බියගම පිහිටි සිය ව්‍යාපාරික ස්ථානයේ සිට පහළ දොම්පේ ප්‍රදේශයේ තිබෙන සිය ඉඩමේ වගා කටයුතු පරීක්ෂා කිරීමට සිය කැබ්රථයෙන් එම ඉඩමට ගොස් සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් මුහුණ ආවරණය කරන ලද හෙල්මට් එකක් හිසට දමාගෙන කලු පැහැති ජැකට් එකක් පැළඳගෙන පැමිණි නාඳුනන තරුණයකු විසින් මෙසේ අමානුෂික අන්දමින් තියුණු ආයුධයකින් හිසට පහරදී ඝාතනය කර දැමුවේ බියගම ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වන බියගම විලේජ් හෝටලයේ හිමිකරු වූ ආර්. ඊ. බී. ජයරත්න නමැති 65 හැවිරිදි දෙදරු පියෙකි.
සහෝදර සහෝදරියන් හයදෙනකු සිටින පවුලේ වැඩිමලා වූ ජයරත්න මහතාගේ බිරිඳ වන ශීලා ජයරත්න මහත්මිය දැනට වසර එකහමාරකට පමණ ඉහතදී මියගියාය. ඔවුනට සුරංග ජයරත්න (40) හා සුරංගි ජයරත්න (35) යන නම්වලින් පුතෙක් හා දුවෙක් ද සිටිති. එම දෙදෙනාම විවාහකය. මව වන සිරියාවතී දේවරාජ මහත්මිය (83) ජීවතුන් අතර සිටී.
බියගම මහා විද්‍යාලයෙන්a අධ්‍යාපනය ලබා අ. පො. ස. උසස් පෙළ විභාගය සමත්ව ජයරත්න මහතා සිය පාසල් ජීවිතයට ආයුබෝවන් කීමෙන් පසුව නාවික හමුදාවට එක් විය. එහි වසර පහක පමණ කාලයක් සේවය කොට විශ්‍රාම ලැබූ ඒ මහතා ඉන්පසුව කොළඹ ඩොක්යාඩ් එකේ සේවයකොට පසුව ව්‍යාපාරික කටයුතුවල නියෑලුණේය. එම ව්‍යාපාරික කටයුතු ඉතාමත්ම සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යැමට සමත් වූ ජයරත්න මහතා පසුකලෙක ඉඩම් හිමි වැවිලිකරුවකු ද විය.
ඒ මහතා සිය ව්‍යාපාරික කටයුතුවල හා ඉඩම් හිමි වැවිලිකරුවකු ලෙස කටයුතු කරන අතරතුරම සමාජ සේවා හා ආගමික කටයුතුවලටද යොමු විය.
ඒ අනුව ජයරත්න මහතා විසින් කොට්ටුන්න ප්‍රදේශයේ තිබෙන තමාගේම භූමි භාගයක කොට්ටුන්න ශ්‍රී දේවමිත්ත යෝගාශ්‍රමය නමින් නව විහාරස්ථානයක් ඉදිකොට එය විචිත්‍ර ධර්ම කථික බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ට පූජාකරන ලදි.
තවද බියගම වෙළෙඳ සංගමය පිහිටුවීමට පුරෝගාමියකු වූ ඒ මහතා එහි ආරම්භයේ සිටම මියයන තෙක්ම පුරා වසර 12 ක්ම එම වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ද විය. මීට අමතරව නාවික හමුදාවේ 66 වන කණ්ඩායමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. බියගම විලේජ් හෝටලයේ ම මෙන්ම තවත් ව්‍යාපාර ආයතන කීපයකම හිමිකරුවකු වූ ඒ මහතා බියගම ප්‍රදේශයේ පොදු සමිති සමාගම්
රැසකම සභාපති ධුර දැරීය. කැලණි මිටියාවත සිංහ සමාජයේ ද හිටපු සභාපතිවරයා විය.
වසරක් පාසා බියගම විලේජ් හෝටලය අසල කැලණිගඟේ ජයරත්න මහතාගේ පුරෝගාමීත්වයෙන් පවත්වනු ලබන ජල ක්‍රීඩා උළෙල දිවයිනේ ප්‍රසිද්ධියට පත් වූ ජල ක්‍රීඩා උළෙලකි.
ප්‍රදේශයේ නිවාස නැති පවුල්වලට නිවාස තනා දීම, ඉඩම් නැති පවුල්වලට ඉඩම් කැබැලි ලබාදීම, දිළිඳු ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ප්රදානය කිරීම හා ගංවතුර ගලා ප්‍රදේශය යට වූ අවස්ථාවල අවතැන් වූවන්ට සහන සැලසීම ජයරත්න මහතාගේ ප්‍රජා සත්කාර සේවා වැඩසටහන්වල ප්‍රධාන තැනක් ගත්හ.
මේ අතර ජයරත්න මහතා පිහිනුම් හා කිමිදුම් ශූරයෙක් වශයෙන් ද ප්‍රසිද්ධියට පත්වූ අයෙකි.
ඒ මහතාගේ හදිසි වියෝව ගැන දුකින් තැවෙන ඒ මහතාගේ බාල නැගණිය වන ශ්‍රියානි මල්ලිකා මහත්මිය (56) හැඬූ කඳුළින් මෙසේ කීවාය.
ජයරත්න අයියා අපේ පවුලේ අපට උගන්වන්නට හරියට උනන්දු වුණා. මුදල් වැය කළා. අයියා කුරා කූඹියකුටවත් වරදක් කර නැහැ. ඉතින් එහෙම හිටිය අයියාට මෙවන් විපතක් සිදු වෙතැයි කියලා අපි කිසිවිටක සිහිනයකින්වත් සිතුවේ නැහැ.
මේ අතර සීමාසහිත බියගම වෙළෙඳ සංගමයේ ප්‍රධාන ලේකම් හේමන්ත අදිකාරී මහතා කියා සිටියේ දුප්පතුන්ට උදව් උපකාර කරමින් සමාජ මෙහෙවරක යෙදුන ජයරත්න මහතාගේ අභාවය ප්‍රදේශවාසී ජනතාවටද බලවත් පාඩුවක් බවය.
වෛරයේ ගිනි දැල්වලින් මිනිස් ජීවිතයක් ඉතාමත්ම අමානුෂික ලෙස ඝාතනය වූ ශෝකජනක පුවත මෙසේ අවසන් වුවත් තවත් බොහෝ කලකට මේ ෙ€දවාචකය බියගම හා අවට පෙදෙස්වල ජනතාවගේ සිත් සතන් තුළින් ඈත් නොවනු ඇත.
ජයරත්න මහතාගේ අවසන් කටයුතු හෙට (23 වැනිදා) පස්වරුවේ බියගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන හා මාකොළ - සචිත්ර ඇල්වලගේ
Code:
http://www.divaina.com/2012/02/22/news16.html