බිල්ලෝ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    88-89 මරණයේ දේශය ගැන...

    කැරළිකරුවන් මුළු රටම සිය අනසකට යටත් කරගෙන තිබුණි. දූෂිත මිනීමරු පාලකයින්ට කිසිවක් පාලනය කරගත නොහැකි විය. තරුණයින් අත්අඩංගුවට ගෙන මරාදමමින් භීෂණය වපුරා කැරළිකරුවන් බිය වැද්දීමේ ක්‍රමය අසාර්ථක වී තිබුණි. බොහෝවිට අත්අඩංගුවට ගෙන මරා දැමුවෝ පැවති පාලනයට විරුද්ධවූවන් වුව ද කැරළි කරුවෝ නොවීය. තවදුරටත් සිය පාලනය පවත්වාගෙන යාමටනම් කෙසේ හෝ කැරැල්ල මර්දනය කළ යුතු තැනට ආණ්ඩුව පත්විය. එයට අලුත් අලුත් අත්හදාබැලීම් එක් වී ක්‍රියාවට නැගින.

    1. එ.ජා.ප ප්‍රාදේශිය නායකයන් විසින් ලබාදෙන නාම ලේඛනයට අනුව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම.

    2. “බිල්ලා” මගින් කැරළිකරුවන් හඳුනා ගැනීම.

    3. අත්අඩංගුවට ගැනීමට නොහැකි කැරළිකරුවන් වෙනුවට ප්‍රාණ ඇපකරුවන් අත්අඩංගුවට ගැනිම.

    පළමු ක්‍රමයට එ.ජා.ප ප්‍රාදේශීය නායකයන් තමන්ගේ පුද්ගලික තරහකරුවන් ද, කැරළිකරුවෝ ලෙස උපකල්පනය කළ අය ද තමන්ගේ ආදිපත්‍යය බිඳ දමාවියැයි සැකයෙන් කැරැල්ලට කිසිසේත් සම්බන්ධ නොවූ, එහෙත් දක්ෂ සමාජ ක්‍රියාකාරීන් වූ තරුණ තරුණියන් ද ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ද සිය ජඩ වැඩ වලට එරෙහිව ඍජුව කතාකළ තරුණ භික්ෂූන් ද .... ලේඛන ගතකර වධකයින් වෙත ලබා දුනි.
    ඒ අනුව ක්‍රියාත්මක වූ ඝාතකයෝ ගම් බිම් පීරා ඉවක් බවක් නැතිව තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්හ. හමුදා කඳවරු හා පොලිස්ථාන වල ඉඩකඩ මදි වූ හෙයින් රට පුරා අලුත් හමුදා කඳවුරු හා වධකාගාර ඉදිවිය. ජීවිතය ඉල්ලා යදින තරුණ තරුණියන්ගේ වැළපීම් ද සාප කිරීම් ද ගහලයින්ගේ ගෝරනාඩු ද නිරන්තරයෙන්ම වධකාගර තුළින් නැගෙන්නට විය. මේ සියල්ල මධ්‍යයේ වුව ද කැරළිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය මදකට හෝ අඩු වූ බවක් දක්නට නොවීය. සිදු වූයේ ඒවා තව තවත් වර්ධනය වීම හා බිහිසුණු වීම පමණකි. ඒ අනුව දෙවන ක්‍රියාමාර්ගය හෙවත් බිල්ලා මගින් කැරලිකරුවන් හඳුනාගනීමේ ක්‍රමයට වධකයින් අවතීර්ණ විය.
    දෑසට පමණක් විවර දෙකක් තැබූ රෙද්දකින් මුළු ඇගම වසා ලූ බිල්ලා ලෙස පෙනී සිටියේ බොහෝවිට,

    1. ප්‍රාදේශිය එ.ජා.ප නායකයෙක්

    2. ග්‍රාම සේවක

    3. අත් අඩංගුවට ගත් කැරළිකරුවෙක්

    මෙම ක්‍රමය ක්‍රියාවට නගනුයේ බොහෝවිට නගරයේ ක්‍රීඩාපිටියක් වැනි ඉඩ කඩ ඇති ස්ථානයක දී ය. භීෂණය කෙතරම් උත්සන්න වී තිබුණ ද ඔබට අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නගරයට යාමට සිදුවනු ඇත. එවැනි අවස්ථාවක දී නගරයේ සැරිසරන්නන් සියල්ලම ක්‍රීඩා පිටියට ගාල්කර පෝලිම් ගස්සවා බිල්ලා ට පෙනෙන ලෙස ගමන් කරවයි. බිල්ලා තිරස්ව හිස වනන්නේනම් ඔබ නිදහස්ය. සිරස්ව හිස වනන්නේ නම්, ඒ ඔබ මෙලොව ජීවත්වන අවසාන දවස විය හැකියි.



    මේ වනවිට රටේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබුණි. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා තිබූ අතර ඒවා කිහිපයක් වධකාගාර හා සිර කඳවුරු බවට පත්කර තිබුණි. හන්දියක් හන්දියක් ගානෙ ටයර් සෑ ඉදිවිනි. ඒවා සමහරක් දොළොස්මහේ පහන් ලෙස නම් කෙරින. හිස සුන් තරුණ මළසිරුරක් පාව නොගිය ගගක් රටේ නොවීය. බල්ලන්ට ද කබරයන්ට හා කිඹුලන්ට ද අහාර අහේනියක් නොවිනි. ටයර් සෑ මත බාගෙට පිළිස්සුන මළසිරුරු බල්ලන්ගේ දෛනික ආහාර වේල සරිකරලීය. මෙසේ මිනීමසට ලොල් වූ බල්ලන් රංචු පිටින් පණ ඇති මිනිසුන් පසුපස හඹා ආ පුවත් ද පසු කළෙක අසන්නට ලැබිණි.
    වධකාගාර හා හමුදා කඳවුරු අසල අතුරුදහන් වූ දරුවන් සොයා යන දෙමව් පියන්ගේ පෝලිම තව තවත් දිග්ගැස්සිනි. කෙතරම් කන්නලව් කළ ද සිය දරුවන් ඔවුනට නොලැබිණි. සාප කිරීම් වලද අදෝනාවලද නිමක් නොවීය. කිසා ගෝතමියක් නොමැති ගෙයකින් අබැටක් සොයා ගැනීම අපහසු විය.
    මේ ’89 වසරේ අගභාගයයි, අරගලයේ නායකයින් බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වී හෝ ඝාතනය වී තිබුණි. ඒ අතර රෝහණ විජේවීරයන් ද උපතිස්ස ගමනායක, ආනන්ද ඉඩමේගම, උපාලි ජයවීර,එච්.බී. හේරත් වැනි ප්‍රධාන පෙළේ නායකයන් ද විය. මේ තත්ත්වය තුළ අරගලය පරාජය වන බවට තිසිදු සැකයක් නොවීය. සියළු සබඳතා ගිලිහුන කැරළි කරුවෝ කුඩා කණ්ඩායම් ලෙස තැන තැන හුදකලා සටන්වල නියැලිනි. ඔවුන් ඉතා ආරක්ෂාකාරී ලෙස සැගවී සිටි නිසා අත් අඩංගුවට ගැනීම පහසු නොවීය. එහෙත් මර්දනය සාර්ථක වන්නටනම් ඔවුන්ද අත්අඩංගුවට ගතයුතුවිය. ඒ සදහා ප්‍රාණ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමේ තෙවන ක්‍රියාමාර්ගය ද ක්‍රියාවට නැගින.