මේ කතාව කාට හරි කියන්න හිතුන නිසා මෙතන කොටනවා.. මේක බීපුවම වෙච්චි ආතල් සිද්ධියක් නෙමෙයි. මේක බීපුවම හිතට ආපු මතකයන් ටිකක්.
කතාවේ නම "තල මාමා"
ඔව්... ඒ තල තමා. තලගුලි. අපි කන තලගුලි.
අපිට තල මාමා උනාට අපේ තාත්තා ඒ හාදයට කිව්වේ තලයා, තල කාරයා එහෙමත් නැත්තම් ආනන්ද කියලා. තල මාමගේ ඇත්ත නම ආනන්ද. හැබැයි සේදවත්ත, තොටලඟ පැත්තේ හැමෝම කිව්වේ තලයා කියලා. හේතුව තල මාමා ඉස්සර තලගුලි බිස්නස් එකක් කරලා තිබ්බා. ඊට පස්සෙ ඒක නවත්තලා ත්‍රීවීල් රස්සාව පටන් අරගෙන තිබ්බා. තල මාමට අවසානයට තිබුනේ 206- ත්‍රීවිල් එකක්. තලමාමාගේ ස්ටෑන්ඩ් එක නව කැළණිපාලම උඩ තිබුන ත්‍රීවිල් ස්ටෑන්ඩ් එක. ඒ ස්ටෑන්ඩ් එකේ පරණම සාමාජිකයන්ගෙන් කෙනෙක් තල මාමා. අපේ තාත්තා සහ අපේ ගෙදර හැමෝම ගමන් බිමන් ගියේ ඔන්න ඔය බේජ් පාට තල මාමගේ ත්‍රීවිල් එකේ තමා. මමයි නංගියි සමහර දවස් වලට ඉස්කෝලේ ගියේ ඔකේ. සිස්සත්ත පන්ති, සති අන්තෙට ගොල්ෆේස් හරි සතුටු උයන හරි, වෙසක් එකට තොරං බලන්න, අවුරුද්දට ඇදුම් ගන්න, මාතර අම්මලෑ ගමේ යනකොට මරදාන ඉස්ටේසමට උදේ පාන්දර කෝච්චියට අපිව ගිහින් දාන්නේ තල මාමා. හැම සති අන්තෙකම මාවයි නංගිවයි ගෝල්ෆේස් එකට හරි සතුටු උයනට හරි එක්කගෙන යෑම අපේ තාත්තාගෙ පුරුද්දක්. කීයක් ලැබෙන හයර් එකක් ආවත් ඒකට බෑ කියල අපි දෙන්නව සතුටු උයනේ එක්කං යන්න තල මාමා ආවා. තල මාමගෙ නිල ඇඳුම සුදු සරමයි, සුදු ශර්ට් එකයි. සුදු ශර්ට් එකත් අත් දිග එකක්. ඒක හිනියට අත් නවලා. ගෝල්ෆේස් එකෙන් බැස්සහම තාත්තා අම්මා එක්ක නෙමෙයි අපි ඇවිදින්නේ තල මාමා එක්ක. තල මාමගෙ අත් දෙකේ එල්ලිලා තමයි අපි දෙන්න ඇවිදින්නේ. තාත්තාගෙන් අයිස් ක්‍රීම්, ඉස්සො වඩේ ඉල්ලුවහම අපි තාත්තා අරන් දෙන්න කලින් අපි දෙන්නට තමන්ගේ මුදල් වියදම් කරලා අරගෙන දුන්නේ තල මාමා. හැබැයි ඒවට හයර් එකේ ගානට අමතරව එක සතයක් අයකරලා නැහැ. ඒවා මට ඒ කාලේ තේරුමක් නැහැ. අපි පොඩී. පස්සේ කාලෙක අම්මා තමා මට ඒ විස්තර කිව්වේ. යන හැම දවසකම මොකක්ම හරි දෙයක් මටයි නංගිටයි ඒ හිත හොඳ මනුස්සයා අරන් දීලා තිබුනා. මට මෙ දේවල් ඉස්සෙල්ලම මතක් වෙන්න ගත්තේ වෙසක් දවසේ. මගේ දුවව වඩාගෙන මම තොටලග තොරණ බලන්න ගියා. මම පුංචි කාලේ ඉඳන් නොවරදවාම බලන්න ගිය තොටලග තොරන ඉස්සෙල්ලම මගේ දූ දැක්කේ මේ පාර වෙසක් එකට. පොදිකන සෙනග අස්සේන් දුවවත් වඩාගෙන ඉස්සරහට යනකොට මට මතක් උනේ තලමාමා. නංගිව වඩාගෙන මාව එක අතකින් අල්ලගෙන අපි පොඩි කාලේ තොරණ ලගට එක්කන් ගියේ තල මාමා.
තල මාම අවසන් ගමන් ගියෙත් ත්‍රීවීල් එක ඇතුලේමයි. ත්‍රීවිල් එකේ පිටිපස්සේ සීට් එකේ නිදියගෙන ඉන්නකොට බොහෝම සාමකාමී විදියට අවසන් හුස්ම හෙලල තිබ්බා. කාටවත් කරදරයක් නැති හිත හොඳ මිනිස්සුගේ අවසානයත් එහෙමයි. මම තලමාමගෙ මලගෙදෙට්ට තාත්තා එක්ක ගියා. දින වකවානු මතක නැහැ. ඒත් මම ගියා. මට එ කාලේ මහා ලොකු විශේෂයක් දැනුනේ නැහැ. දන්න කෙනෙක්ගෙ මලගෙදරක් නිසා ගියා. එච්චරයි. ඒත් මට අද දැනෙනවා තලමාමා කොච්චර විශේෂද කියලා. අපිට කොච්චර කරුණාවෙන් ආදරෙන් සැලකුවද කියලා. මාමගෙන් පස්සේ තල මාමගේ ත්‍රීවිල් එක පැද්දෙ තල මාමගේ පුතා. මට වඩා වැඩිමල්. ඊයේ රැ කරටි කැඩෙන්න බීලා රෑ 12ත් පහුවෙලා අලුත් පාලම උඩින් ඇවිත් බහිනකොට ස්ටෑන්ඩ් එකේ තිබුනේ තල මාමගේ 206- ත්‍රීවිල් එක. මට ඒ වෙලාවේ ඒ ත්‍රීවීල් එක දැකීම ගොඩාක් විශේෂයි. මම ඒ වීල් එක දැක්කේ අවුරුදු 08කට විතර පස්සේ කියල නම් හොඳටම සුවර්. ඊට වැඩි මිසක් අඩු නැහැ. අනිත් එක තමා වෙසක් දවස් ටිකේම වෙසක් බලන්න එහෙ මෙහේ යද්දි මට මතක් උනේ තල මාමව. මම දුවල ඇවිත් තලමාමගේ පුතාටත් පිටට තට්ටුවක් දාං මාව ගෙදර දාන්න අයියේ කියාගෙන වීල් එකේ වාඩි උනේ අවුඩියක වාඩිවෙනවටත් වඩා සැටිස්ෆැක්ෂන් එකකින්. ඒ ත්‍රීවිල් එකේ යකඩ ඇතුලේ තියෙන්නෙ මගේ චූටිකාලේ සුන්දර මතකයන් ගොඩක්. නැති උන තාත්තත් හිතට ආවා. ඒ ඔක්කොටමත් වඩා තල මාමා අවසන් ගමන් ගියේ මම මේ වාඩිවෙලා ඉන්න සීට් ඒකේ නේද කියලත් හිතිල ගොඩක් දුක හිතුනා. "අපේ තාත්තගෙයි විජිත මාමාගෙයි (මගේ තාත්තා) තිබුනේ මාරම යාලුකමක් මල්ලි" තල මාමගෙ පුතා කියනකං මම වචනයක්වත් කතා නොකර ඔය මතකයන් හැම දෙයක්ම එකින් එකට ආවර්ජනය කරමින් හිටියා.
තල මාම ජීවත් වෙලා ඉන්නකන් මම කවදාවත් තල මාමට වැඳලා නැහැ. මට උන්දැට වදීන්න පුළුවන් උනේ පෙට්ටියේ ඉන්නකොට විතරයි. ඒක මට ලොකු බරක්. පසු තැවිල්ලක්.
දැං පාරේ තොටේ වීල් දුවන ටහුකන කැරි වේසිගේ පුතාලත් එක්ක බලනකොට තල මාමලා දෙවිවරු. නිකන් දෙවිවරු නෙමෙයි තවුතිසාවේ බුදුවෙන පෙරුම්පුරණ දෙවිවරු.