බුදු දහම හදවතින් සහ මොළයෙන්.
මෑත කාලයේ දී තරම් බුදු දහමට කරදර පීඩා පැමිණෙන කාලයක් ලංකාවේ කාලිංග මාඝ යුගයේදී හෝ තිබූ බවක් පෙනී යන්නේ නැත. කාලිංග මාඝත් සමහර විහාර ආරක්ෂා කරනු ලැබුවේ ය. නමුත් වර්තමානයේදී සිංහලයන් විසින් ම බෞද්ධ විහාර නිධන් සොයමින් විනාශ කරන අතරේ බෞද්ධයන් අතරෙන් ම පැන නැගුණු මුග්ධයන් බුදු දහමේ මූලික හරයන් පවා වෙනස් කරමින් තම මතයන් ඇතුල් කරමින් බුදු දහම අන්තර්ධාන කිරීමේ උත්සාහයේ යෙදී සිටී. මේ තත්ත්වයන් නිසා විචක්ශනශීලීව බුදු දහම අනුගමනය කරන්නා වූ සහ බුදු දහම අනුගමනය කිරීමට උත්සාහ කරන්නන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. මීට මෑත කාලයෙන් ලැබෙන හොඳම නිදසුන එක්තරා මහණක් විසින් මුෂාවාදා කීමේ ප්‍රතිඵලයක් ලෙසින් ගැහැණු දරුවන් උපදින බව කීමත්, පසුව වැඩේ වැරදුන විට චේතිය ජාතකයට අනුව මුෂාවාදා කීමේ ප්‍රතිඵලයක් ලෙසින් පිරිමි දරුවන් ද උපදින බවට කීමට කටයුතු කිරීමයි. මේ කියනා සම්ප්රප්ඵලාපත් බුදු දහමැයි කියා අසන්නෝ සිටිති. ඒ තැනට අසන්නා පත් කිරීමට තරම් ධර්ම ප්‍රතිරූපකයෝ දක්ෂ ය. එය එසේ තිබියදෙන්.
මේ ලිපිය තුළින් මා සාකච්ඡා කිරිමට බලාපොරොත්තුවන්නේ බුදු දහම පිළිබඳව අතීත යුරෝපීයන් තුළ පැවැති දැක්ම පිළිබඳව ය. එහිදී විශේෂයෙන් ම යුරෝපය තුළ බුදු දහම ගැන කතිකා කළ අයුරු පිළිබඳව සටහන් තැබීමට අදහස් කරමි. එදා කතා කළ බුදු දහමත් අද කතා කරන බුදු දහමත් අතර යම් වෙනසක් පවතින්නේදැයි ඒ ඔස්සේ ඔබට මොළයෙන් කල්පනා කර බැලීමට අවශ්‍ය පාර කැපීමට මා උත්සාහ කරමි.
ශ්‍රී ලංකාවේ ඉන්නා එක්තරා කොටසක් කුමක් හෝ හේතුවකට මෑත කාලයේ දී බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ යැයි මතයක් ප්‍රචලිත කිරීමට දාඩිය මහන්සිය වගුරයි. ඒ සඳහා වාද විවාද කරයි. එය එසේ නොවන බවට වන වාද විවාද ය පවතී. බුදුරජාණන්වහන්සේගේ ධර්මය ශ්‍රී ලංකාවට පැමිණියේ වංශකතාවට අනුව ක්‍රි.පූ.2 – 3 සියවස්වල ය. ඒ දේවානම්පියතිස්ස රාජ කාලයේ දී මහින්ද රහතන්වහන්සේගේ පැමිණීමෙනි. කෙසේවෙතත් වංශකතාවම අපට කියන්නේ ක්‍රි.පූ.4 -5 සියවසේ දී බුදුරජාණන්වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කළ බවත්, ඒ අවස්ථාවලදී ධර්මය ඇසූ ලාංකිකයන් මාර්ග ඵල ලබා ගත් බවයි. අද අපි බැතියෙන් අදහන සුමන සමන් දෙවියන් ඉන් එක් අයෙකි. අටුවාවට අනුව සමන් දෙවියන් විසින් නිර්මාණය කළ මහියංගන සෑයට, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැවැති ධාතු බෙදා දීමේ දී ග්‍රීවා ධාතූන්වහන්සේ ලබා ගත් සරභු රහතන්වහන්සේ විසින් එය පරිත්‍යාග කර තිබේ. වංශකතාවේ දැක්වෙන ආකාරයට බුද්ධ කාලයේ දී ලංකාවේ චෛත්‍යන් කීපයක් ම නිර්මාණය වී ඇත්තේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි ස්ථානවලදී ය. ඒ නාගදීපයේ රාජායතනය, මහියංගනය, කැළණිය, කිරි වෙහෙර ඒ අතර වේ. මීට අමතරව ලෝකයේ මිනිසුන් විසින් ගෞතම බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් කළ මුල් ම චෛත්‍යය ඉදි වන්නේ ත් ලංකාවේ ය. ඒ තපස්සු භල්ලුක් වෙළඳ දෙබෑයන් විසිනි. මේවායේ ඓතිහාසික තත්ත්වය කෙසේවෙතත් වංශකතාවේ ඒ බව සඳහන් වේ. ඒ අනුව බැලූ විට දේවානම්පියතිස්ස කාලය වන විට ලංකාවේ යම් ආකාරයකට බුදු දහම නැත්නම් බුදුරජාණන්වහන්සේ ගැන දැනුමක් සිටි අය සිටි බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශේෂයෙන් ම නාග වංශිකයෝ සහ යක්ඛ වංශිකයෝ බුදුරජාණන්වහන්සේ ගැන දැනුවත්ව සිටි අය වේ. ඒ කෙසේවෙතත් දේවානම්පියතිස්ස සමයේ දී බුදු දහම අශෝක රජුගේ සහායකත්වයෙන් ලංකාවට ලැබුණු බව වංශකතාවේ දැක් වේ. අටුවාවේද ඒ බව සඳහන් වේ.
අශෝක රජුගේ රාජ්‍ය කාලයට පෙර මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව බලා ගමන ඇරඹූ අතර චන්ද්‍රගුප්ත නම් රාජ්‍ය කාලයේ දී ඔහුගේ මරණය ද සිදු වේ. චන්ද්‍රගුප්ත නැත්නම් චන්ද්රකොට්ටස් අශෝකගේ සීයා ය. මේ චන්ද්රෙකාට්ටස්ගේ රාජ සභාවේ සිටි එක් වැදගත් චරිතයක් වූයේ මෙගැස්තනීස් ය. මේ මෙගැස්තනීස් වැදගත් වන්නේ වෙනත් කිසිවක් නිසා නොව, ඔහු විසින් චන්ද්‍රගුප්ත ගැන පමණක් නොව ඒ කාලයේ දී ඔහුට අසන්නට දකින්නට ලැබුණු දේ ලියා තැබූ නිසාවෙනි. මොහුගේ කාලය ක්‍රි.පූ. 350 – 290 ලෙස සාමාන්‍යයෙන් පිළිගනී. මෞර්ය ඉන්දියාව තුළ මෙගැස්තනීස්, 1 වන සෙල්යුලස් නිකේටර්ගේ රාජ්‍ය දූතයා ලෙසින් කටයුතු කළේ ය. මොහු විසින් රචනා කළ ‘ඉන්දිකා‘ කෘතිය අද හැඳින්වෙන්නේ අතුරුදන් වූ කෘතියක් ලෙසිනි. ඉන්දිකා කෘතිය තුළ ඔහු දුටු ඉන්දියාව සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර තිබේ. අද අපි ඉන්දිකා ගැන කියවන්නේ ඒ පොතේ උපුටන රැගෙන පසු කාලීනව ස්ට්රාබෝ, දියොදෝරස් සික්යුලස්, ප්ලීනි, ඇරෙයන් ආදීන් ලියා ඇති කෘතීන් ඇසුරෙනි. මින් ඇරෙයන් ද ‘ඉන්දිකා‘ නමින් කෘතියක් ඉන්දියාව ගැන ලියා තිබේ. මින් මේ ලිපිය සඳහා මා ආශ්‍රය කරගන්නේ ස්ට්රාබෝ ‘ජියෝග්රෆි‘ කෘතියේ 15 වන වෙළුමේ දී උපුටා දක්වා ඇති ඉන්දියාව සම්බන්ධ කරුණු ය. එසේම එහිදීත් මා කථා කරන්නේ බුදු දහම ගැන හඳුනා ගත හැකි කරුණු සම්බන්ධයෙනි.