වතයි සිතයි
බුදුහු සැවත දෙවිරම වැඩ වෙසෙද්දී දිනක් භික්ෂූන් ඇමතූ සේක.
"මහණෙනි, කිලිටිවු කුණු පැල්ලම් සහිත වස්ත්‍රයක් තිබේ. රජකයෙක් එය වර්ණවත් කිරීම සඳහා නිල් සායම් බඳුනකට දමයි. මනාව සායම් වැද ගනීද? මනාව වර්ණවත් වේද?"
"නැත ස්වාමීණි"
"රතු සායම් බඳුනකට දමයි. මනාව සායම් වැද ගනීද? මනාව වර්ණවත් වේද?"
"නැත ස්වාමීණි"
"දුබුරු පාට සායම් බඳුනකට දමයි. මනාව සායම් වැද ගනීද? මනාව වර්ණවත් වේද?"
"නැත ස්වාමීණි"
"මහණෙනි,කවර සායමක්වත් මනාව වැද නොගැනීමට, වස්ත්‍රය මනාව වර්ණවත් නොවීමට හේතුව කුමක්ද?"
"ස්වාමීණි, එම වස්ත්‍රය කිලිටියි, අපිරිසිඳුයි, කුණු පැල්ලම් සහිතයි. එබඳු වස්ත්‍රයකට සායමේ පැහැය නිසි ලෙස උරා ගන්නේ නැත."
"මහණෙනි,පිරිසිඳු නොකිලිටි වස්ත්‍රයක් ගෙන , රජකයා නිල් හෝ රතු හෝ ඳුඹුරු හෝ සායම් බඳුනකට දැමුවහොත්? එය සායම් වැද ගනීද? මනාව වර්ණවත් වේද?"
"ස්වාමීණි, එවිට නම් වස්ත්‍රයට මනාව සායම් වැද ගනී. මනාව වස්ත්‍රය වර්ණවත් වේ"
"ඊට හේතුව?"
"ස්වාමීණි,ඒ වස්ත්‍රය පිරිසිඳුයි, නොකිලිටි, එබැවින් මනාව සායම් උරාගනී. මනාව වර්ණවත් වෙයි"
"මහනෙණි, අපගේ සිතද එබඳුය. ජන්ද රාගය, විෂම ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, ගුණමකු බව, ඊර්ශාව, මායාව කපටිකම, මානය ආදියෙන් සිත කිලුටුව පවත්නා විට සදහම් මනාව වැද ගන්නේ නැත ඒවායින් තොරව පවිත්‍රව නොකිලිටිව සිත ඇත්නම් පමණක් සදහම් වැද ගනී"