ඊළඟට ගැටගහන්න, බැඳලා තියන්න හිතුවට මේක අතට අහුවෙන, පේන දෙයක් වත් නෙවෙයි නේ... අනික තත්පරයකට කෝටි ප්‍රකෝටි වාර ගණනින්, ප්‍රමාණ කරන්නත් බැරි අධි සංඛ්‍යාත වලින් මේක දුවනවා! චේතනා පහල වෙනවා අරමුණු එනවා... චේතනා පහල කරනවා අරමුණු එනවා... නැවැතිල්ලක් නැහැ. හැබැයි අපිට මේ එන එන අරමුණු සේරටම මෙන්න මේක බලන්න, මෙන්න මේක කරන්න කියල වගේ මොකක්හරි වැඩක් බාරදෙන්න පුළුවන් උනා නම්, ඒ වැඩේ කරන්න ඕනේ හන්ද මේකට එහෙ මෙහෙ දුවන්න වෙන්නෙ නැහැ! ඒකියන්නේ එක තැනකට එන්න, එක විදියකට ඉන්න සිද්ධ වෙනවා! හැබැයි මේකේ වේගෙට හරියන විදියට, බලන බලන හැම මොහොතකදීම වෙනසක් පෙනෙන/තේරෙන දෙයකට මිසක්, සෑහෙන කාල පරාසයක වෙනස් නොවෙන දෙයකට හිත යොමුකලොත්, හිතට එක දිගටම කරන්න කියල වැඩක් නැහැනේ... එතකොට ඉතින් නොදැනුවත්වම අයාලේ යන්න ගන්නවා, නැත්නම් නින්ද යනවා, පවත්වාගන යන්න අමාරුයි. මුලදි මුලදී පුහුණුවක්, පාලනයක් කියල නාමයක් නැතිකොට, හිතල යමක් කරන්නත් පුළුවන් තත්වයක් නැහැනේ... ඉතින් මේකට අපේ මැදිහත්වීමකින් තොරව, නොකඩවා දිගින් දිගට, එකම රටාවකට සිද්ධවෙන දෙයක් අරමුණු කලානම් තමයි වැඩේ හරියටම කෙරෙන්නේ. අන්න ඒකට තමයි ඔය හුස්ම ඉහල පහල යන එක, පියවර තබන එක වගේ අපේ මැදිහත්වීමකින් තොරව සිද්ධවෙන මනසින් දකින්න පුළුවන් දෙයක් උදව් කරගන්නේ!
එතකොට අපි මොකද්ද දැන් එහෙම දෙයක් අරමුණු කරගන කරන්න තියෙන්නේ? ඔන්න මම දැන් හුස්ම ගන්නවා කියල උඩට ඇදගෙන ඇදගෙන යනවා... ආ ඔන්න දැන් පහල දානවා කියල අතහැරලා දානවා, ආයේ උඩට අදිනවා... පහලට දානවා... මයිනහම අදිනවා වගේ! හරිද එතකොට?? ආයේ ඇවිදිනවා කියමු, ආ ඔන්න වම් කකුල උස්සල ගන්න, ආ දැන් තියන්න... ආ දැන් දකුණු කකුල ගන්න, ආ තියන්න... එහෙමද ඒකෙදි වෙන්න ඕනේ? ඔයාලට කොහොමද මේවා ගැන තියන දැනුම කියල මම දන්නේ නැහැනේ... ඒත් කතාකරන්න ගියාම අපිට නම් හම්බ උනා එක එක ජාතිවල අය! අපි නම් ඔය කාත්එක්ක උනත් කතාවට වැටුනොත් කෑම බීම ජාති ගැන, ගෙවල් දොරවල්, සින්දු, films, cricketers ල ගැන එහෙම නැත්නම් දේශපාලන කතා වගේ ඒවා කෙරෙන්නේ නැහැ. ඒවා බුදුහාමුදුරුවෝ එපාය කියපු දෙතිස් කතා නේ... අපි කතාකලොත් මේ ධර්ම කතන්දරමයි. නැත්නම් ඔහේ අයිනක් අල්ලගෙන පාඩුවේ ඉන්නවා... මේ පොඩි අමතර කෑල්ලක්! කොහොම උනත් සමහරු භාවනාව කියන්නේ මොකද්ද කියල දන්නෙත් නැහැ! කරන්න ඕනේ කොහොමද කියල දන්නෙත් නැහැ! වෙන්නේ මොකද්ද කියල දන්නෙත් නැහැ! අවුල් ගොඩයි. තමන්ට හිතෙන හිතෙන විදියට භාවනවල් කරන්න ගිහිල්ල upset වෙච්ච එවුනුත් ඉන්නවලු, ඒත් එහෙම අයනම් හම්බවුනේ නැහැ. ටිකක් දුරට පිළිවෙලකට කරලා ඒත් අන්තිමේ ඒක ධර්මාවබෝධයක් ලැබෙන, බුදුහාමුදුරුවෝ කියල දීපු විදියට නැතුව වෙන වෙන පැතිවලට 'ගහගෙන ගියපු' අය නම් හම්බ උනා. මේවගේ 'අනාගත්තු' උදවියගේ කතාවලින් නම් අනික් අයට වෙන්නේ අවැඩක් මයි.
මට මේ භාවනා කතන්දර වලදී නම් බුදුහාමුදුරුවෝ උගන්වපු විදියට පාලියෙන්ම නම් මතක නැහැ! සමහර ඒවා දන්නෙත් යන්තම්, මම මේවට එලෙව්වේ නැහැ නේ... කොහොම උනත් ඒකෙන් අඩුවක් වෙන්නේ නම් නැහැ. අපේ හාමුදුරුවෝ භාවනා ගැන උපරිමයෙන්ම තෝරලා, විස්තර කරලා කියාදීපු දේශනා, ලියාපු පොත් ගොඩක් තියනවා, ඕනේ කෙනෙකුට හොයාගන අහන්න බලන්න පුළුවන්. මම, මට තේරෙන විදියටත් පොඩ්ඩක් විස්තර කරන්නම්. මෙහෙම කියල දීල කතන්දරේ නියමෙටම අල්ලගත්තු කට්ටිය ඉන්නවා... ඊට පස්සේ 'වැඩේ නැගල යනවා' කියල තේරුණා! දැන් මෙහෙමයි... අපි ඇවිදින නැත්නම් හුස්ම වැටෙන පිළිවෙල ගැන චුට්ටක් බැලුවොත් එකම දෙයක් නැවත නැවත වීමක් විතරයි නේ තියෙන්නේ... හරියටම කිව්වොත් රවුමක වටේට වටේට යනවා වගේ දෙයක්! ඕක ප්‍රස්ථාර ගත කලොත් නේ pure sine wave එකක් හැදෙන්නේ. මේවිදිය සිදුවීමකදී හැල හැප්පීම් නැහැ, ඒ කියන්නේ එක එක විදියට (random) වෙනස්වීම් නැහැ. කොයි වෙලේ කොතනකින් බැලුවත් එකම ගණනකට රටාවකට වෙනස්වෙවී දිගට දිගට යනවා. හැබැයි මේ ඇවිදින එකේදී නම් ගාල කඩාගත්තු හරක් වගේ, එහෙම නැත්නම් වල ගොඩැලි, කඳු පල්ලම් සහිත තැනක කරන එකක් නෙවෙයි, නිදහසේ ශාන්තව ඇවිදන් යන්න පුළුවන් තැනක්, වෙලාවක් උනොත් තමයි ගොඩක්ම හොඳ. ඊළඟට ඔය කවුරුහරි එක්ක කතා කර කර, එහෙම නැත්නම් මනෝ ගහන් ඇවිදින වෙලාවල ඇවිදින්නේ, ඇවිදින එක ගැන හිතන්නේ නැතුව... අන්න ඒවගේ ඇවිදින ගමන්, හිතින් බලන් ඉන්න කකුලක් තියනව, ඒකට ඇඟේ බර මාරුවෙනවා, ඊළඟට අනික් කකුල ඉස්සෙනවා, ඉස්සරහට ගමන් කරනවා, පොලවට වදිනවා, ඇඟේ බර ඒකට මාරුවෙනවා, ඊළඟට අනික් කකුල ඉස්සෙනවා, ඉස්සරහට ගමන් කරනවා, පොලවට වදිනවා, ඇඟේ බර ඒකට මාරුවෙනවා, ඊළඟට අනික් කකුල ඉස්සෙනවා, ඉස්සරහට ගමන් කරනවා, පොලවට වදිනවා, ඇඟේ බර ඒකට මාරුවෙනවා, ඊළඟට අනික් කකුල ඉස්සෙනවා, ඉස්සරහට ගමන් කරනවා, පොලවට වදිනවා, ඇඟේ බර ඒකට මාරුවෙනවා... ටිකක් නිදිමතයි නිදිමතයි වගේ නේද?