බූන්දල ජාතික වනෝද්‍යානය

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    වර්ෂ 1993 ජනවාරි 04 දින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බූන්දල ජාතික වනෝද්‍යානය දකුණු මුහුදු තීරයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි,

    ▫️හම්බන්තොට නගරයට උතුරු දෙසින්ද,
    ▫️යාල ජාතික වනෝද්‍යානයට දකුණු දෙසින්ද,
    ▫️බටහිරින් හම්බන්තොට බූන්දල මහා මාර්ගයෙන්ද,
    ▫️නැගෙනහිරින් කිරිඳි ඔයෙන්ද

    මායිම් වී ඇති හෙක්ටයාර 6,216 වැනි විශාල නොවූ බිම් ප්‍රමාණයක පිහිටියද ජෛව විවිධත්වය වැඩිම අගයක් පෙන්නුම් කරනු ලබන ජාතික වනෝද්‍යානයකි.

    එසේම වර්ෂ 1990 ඔක්තෝබර් මස 15 දින දී ශ්‍රී ලංකාවෙන් ප්‍රථම අන්තර්ජාතික රැම්සා තෙත්බිම ලෙස බූන්දල ජාතික වනෝද්‍යානය ජාත්‍යන්තර ලේඛනයක් යටතට ගොනුකරනු ලැබූ රැම්සා ලේඛනයේ වටිනාම තෙත් බිම් අතරට එක්කරනු ලැබීය.

    ඉන්දු ආසියා පක්ෂි සංක්‍රමණික මාර්ගයේ අවසන් නවාතැන් කිහිපයෙන් එකක් වන බූන්දල හා ඒ අවට ඇති,

    ▫️මහලේවාය කලපුව
    ▫️කොහොලන්කල කලපුව
    ▫️මලල කලපුව
    ▫️ඇඹිලිකල කලපුව
    ▫️බූන්දල ලේවාය කලපුව

    ආදි කොට ඇති කලපු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ මූලික අරමුණ ඇතිව වර්ෂ 1969 දෙසැම්බර් මස 05 දින දී අභයභූමියක් ලෙස නම්කොට වර්ෂ 1993 ජනවාරි 04 දින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. එසේම මෙම වනෝද්‍යානය ආසන්නයෙන් "විල්මැන්න" අභයභූමිය ද පිහිටා ඇත.

    ඓතිහාසික වශයෙන් ගත්කල ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයකුගේ පොසිල සාක්ෂි හමුවීමෙන් පසු උද්‍යානය තුල ඇති පතිරාජ පෙදෙස පුරා විද්‍යාත්මකව අතිශය වැදගත් වූ පෙදෙසක් ලෙසට හඳුනා ගෙන ඇත.

    පතිරාජ ප්‍රදේශයෙන් හමු වූ සුවිශේෂී බොරළු හා පස් ස්ථර අවුරුදු 74,000 - 64,000 ත් අතර පැරණි ඒවා බව තහවුරු වී ඇත. කාබන් 14 පර්යේෂණ වලට අනුව මෙම බොරළු ස්ථර චාතුර්ථ යුගයේ ඉරණමඩු නම් සංයුතියට අයත් බවට හා මෙම බොරළු තට්ටු අතර තිබි හමු වූ ක්ෂුද්‍ර ගල් මෙවලම් අනුව ශිලා යුගයේ මේ ප්‍රදේශයේ මනුෂ්‍ය ජනාවාසයක් තිබු බවට සාධක පුරා විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.

    තවද බූන්දල ප්‍රදේශයේ වැලි කඳු ආශ්‍රිතව අඩසඳාකාර හා ත්‍රිකෝණාකාර ගල් මෙවලම් හමු වීමෙන් දිවයිනේ මානව ඉතිහාසය පිළිබදව වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනිමට හැකිව තිබේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) මගින් මිනිසා සහ ජෛව ගෝලීය රක්ෂිතයක් ලෙස (Man Biosphere Reserve) බූන්දල ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කර ඇත.

    බූන්දල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රිකයේ මාගම්පත්තුවට අයත් ප්‍රදේශයේය. පහතරට වියළි කලාපයට අයත් මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 107.4 ක් සහ සාමාන්‍ය උෂ්ණත්වය 27°C ක් පමණ වන නමුත් අප්‍රේල්, මැයි, ජූනි මාසවල උෂ්ණත්වය බොහෝ වැඩි අතර පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා වියළි කාලගුණික තත්වයක් පවතී.

    උද්‍යානයේ 1/3 ක් පමණ ප්‍රධාන කලපු ආශ්‍රිත ජලයෙන් යට වී ඇත. මෙයට අමතරව,

    ▫️ලවණ හැල්
    ▫️වැලි කඳු
    ▫️කඩොලාන
    ▫️තෘණ භූමි

    ආදියගෙන් ද සමන්විත වේ. මෙම උද්‍යානයේ පිහිටා ඇති ප්‍රධාන පාරිසරික කලාප වන්නේ කටු පඳුරු සහිත ලඳු කැලෑ සහ කලපු වේ. මෙම පාරිසරික පද්ධතීන්වලට අමතරව මෙහි හමුවන අනෙක් පාරිසරික පද්ධතීන් වනුයේ,

    ▫️ශුක්ෂ කලාපීය වනාන්තර (පලු ශාකය ප්‍රමුඛ වේ)
    ▫️වැලිතුඩු ආශ්‍රිත ශාක ප්‍රජාවන්
    ▫️වෙරළාසන්න ශාක ප්‍රජාවන්
    ▫️වෙරළබඩ තෘණ භූමි
    ▫️ගංගාධර වනාන්තර
    ▫️කලපු අන්දර ලදඳු කැලෑ,
    ▫️ලවණ වගුරු
    ▫️කඩොලාන
    ▫️වරින් වර ජලයෙන් යටවන වැව් සහ පොකුණු

    ආදිය ය. උද්‍යානයෙන් දකුණු සීමාවෙන් මුහුදට වැටෙන කිරිඳි ඔය දෙපස ගංගාධර වනාන්තර දැකිය හැක.

    මෙම පාරිසරික පද්ධතිවලින් සපුෂ්ප ශාක විශේෂ 383 ක් පමණ වාර්තා වී ඇත. ඒ අතුරින් ශාක විශේෂ 06 ක් ඒකදේශීය වන අතර විශේෂ 07 ක් වඳවීමේ තර්ජනයට මුහුණපා ඇත. ඒකදේශීය ශාක ලෙස,

    ▫️පලු
    ▫️මලිත්තන්
    ▫️කටුපිල
    ▫️රණවරා
    ▫️වීර

    ප්‍රමුඛ ශාඛ වේ. වෙරළබඩ ශාක ‍ලෙස,

    ▫️මහා රාවණ රුවුල
    ▫️මුහුදු බිම් තඹුරු
    ▫️විශ්ණුක්‍රාන්ති

    ආදිය ප්‍රධාන වේ. ආක්‍රමණික ශාක ලෙස පරිසර පද්ධතිය පුරා පැතිරි යන කලපු අන්දර සහ පතොක් උද්‍යානයේ ස්වභාවික ශාක සහ සත්ත්ව ප්‍රජාවේ පැවැත්මට තර්ජනයක් වී ඇත.

    සත්ත්ව විශේෂ සලකා බැලීමේදි ආසියානු අලියා ප්‍රධාන තැනක් ගනී. ස්ථිර නේවාසික අලින් 10-15 ත් අතර සංඛ්‍යාවක් සිටින අතර, වසරේ වරින් වර උද්‍යානය තුලට පිටතින් පැමිණෙන සංචාරක අලි කණ්ඩායම් 25-50 ක් දක්නට ලැබේ. වෙනත් ක්ෂීරපායි සතුන් ලෙස,

    ▫️තිත් මුවා
    ▫️වල් ඌරා
    ▫️හිවලා
    ▫️රිලවා
    ▫️හාවා
    ▫️අළු වදුරා
    ▫️කොටියා
    ▫️ඉත්තෑවා

    යන ක්ෂීරපායින් ද උරගයන් ලෙස,

    ▫️හැළ කිඹුලා
    ▫️ගැට කිඹුලා

    යන කිඹුල් විශේෂ දෙක ද සර්පයන් වන,

    ▫️පිඹුරා
    ▫️නයා

    සුවිශේෂී වේ.

    ▫️රජ සියක්කාරයා
    ▫️කළු පෙඳ ගොහොදු විත්තා

    උද්‍යානයට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් කිහිප දෙනෙක් වේ. රජ සියක්කාරයන්ගේ පරාදීසයක්ව පැවැති මෙම භුමි ප්‍රදේශය වර්තමාන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් කලපු තුලට මිරිදිය ජලය මුසුවීමෙන් ඇති වු ආහාර හිඟය මෙම පක්ෂීන්ගේ පැමිණීම අඩු වීමට බලපා ඇත.


    කොළඹ සිට ගාල්ල, තංගල්ල හරහා කතරගම මාර්ගයේ කි.මී. 256 ක් පමණ ගෙවා වැලිගත්ත මංසන්ධියෙන් දකුණට හැරී 1.6 km ක් ගිය පසු අවසානයේ උද්‍යාන මුලස්ථාන කාර්යාලය හමු වේ. මීට අමතරව ‍කොළඹ රත්නපුර මාර්ගයේ ඇඹිලිපිටිය නෝනගම හන්දිය හරහා කතරගම මාර්ගය ඔස්සේ 245 km ක් දුර ගෙවා බූන්දල ජාතික උද්‍යානයට ළඟා විය හැකිය.

    සංචාරක මධ්‍යස්ථානයක් ද, සිහිවටන අළෙවිසැලක් ද පිහිටුවා ඇති බූන්දල ජාතික උද්‍යානය තුළ කුරුල්ලන් නැරඹීම සදහා ඉදි කරණු ලැබූ විශේෂ කුරුළු අංගනයක් ද වේ. බංගලා පහසුකම් සලසා නොමැති අතර කඳවුරු බිම් කිහිපයක් ඇත.

    ©️ උපුටා ගැනීමකි 🌷