බොදු දෙව් රජ සක්දෙවිඳුන්

johnd82

Member
Oct 3, 2013
128
10
0
බොදු දෙව් රජ සක්දෙවිඳුන්

දෙදෙව් ලොවට ම අධිපති වූ බෞද්ධ දිව්‍ය රාජයාණන් පිළිබඳ ව පළ වන ලිපි පෙළක පළමුවැන්න යි මේ.

සක් දෙවිඳු ගැන අසා නැති බෞද්ධයකු අප අතර සිටී දැ යි සැක සහිත ය. ලක්දිව බෞද්ධයන් අතර ඉතා ප්‍රසිද්ධ දෙවි කෙනකු වන සක් දෙවිඳු ගැන ඔබ අසා ඇති නමුත් නොදන්නා කරුණු ද ඇතුවාට සැක නැත. එබැවින් අද අපි සක් දෙවිඳු ගැන පොත-පතෙහි සඳහන් කරුණු කිහිපයක් විමසා බලමු.

චාතුර්මහාරාජිකය හා තාවතිංසය යන දිව්‍යලෝක දෙකට ම අධිපති වන ශක්‍රයාගේ උත්පත්ති කථාව සම්බන්ධයෙන් බොහෝ ග්‍රන්ථයන්හි එක සමාන විස්තර දක්නට ලැබෙයි. සංයුත්ත නිකාය අට්ඨ කථාවෙහි දක්වා තිබෙන විස්තරය අනෙක් කථාවලට වඩා සම්පූර්ණ සේ හැඟෙන බැවින් එම කථාව මෙහි දක්වමු:

‘ශක්‍ර තෙම මනුෂ්‍ය ආත්මයක් ලැබූ මුල් අවස්ථාවේ දී මගධ රට මචලගම මඝ නම් මාණවක කුමාරයකු ව උපන්නේ ය. හේ පණ්ඩිත ය; බෝසත් සිරිතින් යුක්ත ය; බාල කාලයේ දී ම සත්පුරුෂ කාර්යයන්හි යෙදුණේ ය. ඔහුගේ යහළුවෝ තිස් දෙදෙනෙක් වූ හ. ඔවුහු ද මඝ මාණවකයා මෙන් ම පරාර්ථකාමී සිත් ඇත්තෝ වූ හ. කුඩා අවධියේ ම තම යහළුවන් සමඟ මඝ මාණවකයා ගම මැද මහජනයා ගැවසෙන තැන කුණු කසළ ඉවත් කොට සිත්කලු බිමක් කළේ ය; පසු ව එහි ම මණ්ඩපයක් කළේ ය; අනතුරු ව ශාලාවක් කළේ ය; ගව්වක් තැන් බිම සකස් කළේ ය. පසු ව යොදුනක් තෙක් සකස් කළේ ය. තරුණයෝ පිරිස ගමෙහි පාලම්, ඒදඬු, මණ්ඩප, ගිමන්හල් පොකුණු, උයන් ආදිය කරමින් බොහෝ පින්කම් කළාහු ය. මඝ තරුණයා එයට අමතර ව සප්ත ව්‍රත සමාදානයෙහි ද යෙදුණේ ය. මෙසේ පින්කම් කොට කෙළවර මරණින් මතු තව්තිසා භවනයෙහි උපන්නේ ය. ඔහුගේ යහළුවෝ තිස් දෙදෙන ද එහි ම උපන්හ.

ශක්‍රයා මඝ මාණවක කාලයෙහි පිරූ සප්ත ව්‍රත සමාදානය පිළිබඳ විස්තරයක් සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයෙහි එයි. එහි මෙසේ සඳහන් වෙයි: “මහණෙනි, ශක්‍රයා පෙර මනුෂ්‍ය ව උපන් කල්හි ව්‍රතයන් හතක් සම්පූර්ණයෙන් ම සමාදන් වූයේ ය. ඒ නිසා ම ඔහුට ශක්‍ර පදවිය හිමි වූයේ ය. මේ ව්‍රතයන් හත නම් දිවි ඇති තෙක් මවුපියන් පෝෂ්‍ය කිරීම, දිවි ඇති තෙක් කුල දෙටුවන් පිදීම, දිවි ඇති තෙක් මෘදු වචන කතා කිරීම, දිවි ඇති තෙක් පිසුණු වදන් නොබිණීම, දිවි ඇති තෙක් මසුරු මල දුරු කොට දාන පරිත්‍යාගයන්හි යෙදීම, දිවි ඇති තෙක් සත්‍ය වචන බිණීම, දිවි ඇති තෙක් ක්‍රෝධ නොකිරීම යන මේවා ය. (සංයුත්ත නිකාය, සක්ක සංයුත්තය)

ශක්‍රයා කෙලෙස් සහිත පුද්ගලයකු හෙයින් ඔහුගේ අදහස් හා නිගමන දොසින් තොර නොවිය හැකි බව බුදුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වෙන්නේ “මහණෙනි, ශක්‍රයා විසින් ප්‍රකාශ කරන ලද ගාථා මනා කොට ප්‍රකාශ නොකරන ලද්දේ ය. ඔහුගේ වචන යහපත් වූ නිවැරැදි වචන නොවිය හැකි ය. මන්ද? ශක්‍රයා පහ නොකරන ලද රාග, ද්වේෂ, මෝහ ඇත්තෙකි.” ශක්‍රයා කෙලෙස් සහිත පුද්ගලයකු හෙයින් ඔහුට ද පුහුදුන් අපට මෙන් ම භය, තැති ගැන්ම, සන්ත්‍රාසය ඇත්තේ ය. ඒ බව බුදුන් වහන්සේ ධජග්ග සූත්‍රයෙහි දී ප්‍රකාශ කොට ඇත.

බුදුන් වහන්සේ ශක්‍රයාගේ බුද්ධිමත් බව ගැන මහත් සැලකිල්ලක් දැක්වූ සේක. ශක්‍රයා කෙලෙස් සහිත පුද්ගලයකු වුවත් ඔහු බොහෝ අවස්ථාවල දී බුද්ධිමත් ව ක්‍රියා කළේ ය. ඒ නිසා ම බුදුන් වහන්සේට ශක්‍රයා ගැන මෙබඳු අදහසක් පහළ විය: “මේ ශක්‍රයා බොහෝ කාලයක් පිරිසිදු චරිත ඇත්තෙක් ව සිටී. කවර අවස්ථාවක දී හෝ මගෙන් ප්‍රශ්නයක් විචාරන්නේ නම් එය අර්ථදායී එකක් ම වෙයි. අනර්ථදායී හෝ අනවශ්‍ය දෙයක් නො විචාරයි.”

ශක්‍රයා ද බුදුන් වහන්සේ කෙරෙහි දක්වන ලද්දේ අප්‍රමාණ ගෞරව භක්තියකි. ඔහු උන් වහන්සේ ළඟට යන්නේ ඉතා ම භක්තිමත්, ශ්‍රද්ධාවත් උපාසක කෙනකු මෙනි. ඔහුගේ ආචාරශීලී බව හික්මුණු බව, එවැනි අවස්ථාවලදී අතිශයින් කැපීපෙනෙයි. වරක් ශක්‍රයාත්, වේපචිත්ත අසුරයාත් යන දෙදෙන බොහෝ සිල්වත් ඍෂීන් වාසය කරන ආරණ්‍යයත්නයකින් යන විට වේපචිත්ත අසුරයා කිසි ගරුසරුවක් නැති ව ගියේ ය. ශක්‍රයා හිස්වැසුම් හා පාවහන් ඉවත් කොට, එල්ලාගෙන තිබුණු කඩුව වෙන කෙනකුට දී කුඩය අකුළා තබා, කුඩා දොරටුවකින් අසපුවට ඇතුළු ව සිල්වත් ඍෂීන් වැඳ නමස්කාර කොට ගිය බව සක්ක සංයුත්තයේ දැක්වේ.

එක් අවස්ථාවක දී ශක්‍රයාට භාග්‍යවතුන් වහන්සේ හමු වීමට අවශ්‍ය විය. ඒ අවස්ථාව වන විට ඔහුගේ පින් පිරිහී තිබිණි. බුදුන් වහන්සේ හමු වී උන් වහන්සේගෙන් ආශීර්වාද ලබාගැනීමට ශක්‍රයාට වුවමනා විය. එහෙත් මෙම කටයුත්තේදී ශක්‍රයා කෙළින් ම උන් වහන්සේ හමු වීමට නොගොස් තමාගේ හිතවත් ම සේවකයා වූ පංචසිඛ දිව්‍ය පුත්‍රයා පළමු කොට යවා, පසු ව හෙතෙම උන් වහන්සේ හමු විය. මේ ගමනින් ශක්‍රයාගේ අභිමථාර්ථයන් සියල්ල ඉටු වූ බව සක්කපඤ්හ සූත්‍රයෙහි දැක්වේ.

ශක්‍රයා බුදුන් වහන්සේගේ ඉතා හිතවත් ශ්‍රාවකයකු, දායකයකු උපස්ථායකයකු, ආරක්ෂකයකු වශයෙන් කටයුතු කළේ ය. තමන්ට සැක සහිත කාරණයක් දැනගැනීම සඳහා අවස්ථාවක් එළැඹුණු කල්හි හෙතෙම උන් වහන්සේ හමු වීමට යයි; එසේත් නැත් නම් බුදුන් වහන්සේට තමන්ගෙන් කිසියම් කාර්යයක් ඉටු කරගැනීමට අවශ්‍ය යැ යි වැටහුණු හැම මොහොතක ම උන් වහන්සේ කරා පැමිණ එයට සහාය වීමෙන් උපකාර කරයි. බුදු වූ අලුත භාග්‍යවතුන් වහන්සේට දිය නෑමේ අදහසක් පහළ විය. එම අදහස දිවැසින් දැනගත් ශක්‍රයා වහා දෙව්ලොව සිට පැමිණ ළිඳක් මවා එහි දිය නෑම පිණිස උන් වහන්සේට ආරාධනා කළේ යැ යි මහාවග්ග පාළියෙහි දැක්වේ.

තව ද බුදු රජාණන් වහන්සේ මුල් වරට රජගහ නුවරට වැඩි අවස්ථාවේදී රැස් වූ අතිවිශාල මහජනයා හසුරුවාගැනීමටත්, එලෙස රැස් වූ මහ ජනයා මැදින් ගමන් මාර්ගය පිළියෙල කරගැනීමටත් ශක්‍රයා සහාය වූ බවත්, හෙතෙම රූමත් මාණවකයකුගේ වේශයක් මවාගෙන භික්‍ෂූ සංඝයා සමඟ වඩින භාග්‍යවතුන් වහන්සේට ඉදිරිපසින් ගිය බවත් මහාවග්ගයේ වැඩිදුරටත් දැක්වේ. අවස්ථා දෙකක දී ශක්‍රයා බුද්ධ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා යක්ෂාවේශයකින් පෙනී සිටියේ ය. ඉන් එක් අවස්ථාවක් සඳහන් වන්නේ දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයෙහි ය. ඒ අම්බට්ඨ මාණවකයා බුදුන් වහන්සේගේ වචනය නොපිළිගෙන සිටි අවස්ථාව ය. දෙවැනි අවස්ථාව සඳහන් වන්නේ මජ්ඣිම නිකායේ චූල සච්චක සූත්‍රයේ ය. ඒ සච්චකයා බුදුන් වහන්සේගේ වචනය දෙවරක් කියද්දීත් නොපිළිගෙන සිටි අවස්ථාවේ දී ය. මේ අවස්ථා දෙකේ දී ම ශක්‍රයා වජිරපාණී නම් යක්ෂාවේශයක් ගෙන කිසිවකුටත් නොපෙනෙන පරිදි අහසෙහි සිට දිලිසෙන යකඩ මුගුරක් ඇතැති ව ප්‍රතිවාදීන් බය කළ බව දැක්වේ.

එමෙන් ම බුදුන් වහන්සේ මාස 3ක් තව්තිසා දෙව් ලොව වැඩවාසය කරමින් අභිධර්මය දේශනා කළ අවස්ථාවේ, ඒ මුළු කාලය තුළ දී ම උන් වහන්සේට අවශ්‍ය සියලු ඇප-උපස්ථාන කරනු ලැබුවේ සක් දෙවිඳු ප්‍රමුඛ දෙවිවරුන් විසිනි.

තව ද, සිදුහත් බෝසතුන් පැවිදි වෙස් ගැනීමට පෙර කපාදමන ලද කෙස් කලඹ, සක් දෙවිඳුන් විසින් මහත් භක්තියෙන් යුතු ව ගෙන ගොස් තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි තැන්පත් කළ බවත්, සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරු ව ධාතු බෙදූ ද්‍රෝණ බ්‍රාහ්මණයාට ද හොර රහසේ දන්ත ධාතූන් වහන්සේ නමක් සොරකම් කරගත් ශක්‍රයා බුදුන් වහන්සේගේ එම දන්ත ධාතුව තව්තිසා දෙව්ලොවට වඩමවා දෙවියන්ගේ පූජෝපහාරය සඳහා සිළුමිණි සෑයෙහි ම තැන්පත් කරවූ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ.

ශක්‍රයා බුදුන් වහන්සේට පමණක් නො ව, උන් වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් ඉතා හිතවත් ව හා ගෞරවයෙන් විසූ බව බෞද්ධ පොත-පතෙහි දැක්වේ. කම්මාර දියණිය වූ සුභා තෙරණියට ශක්‍රයා නමස්කාර කරන බව එම මෙහෙණිය විසින් ම ථේරි ගාථාවල දී ද සැඩොල් කුලයෙහි උපන් සුනීත තෙරුන්ට ශක්‍රයා මහත් ගෞරව දැක්වූ බව උන් වහන්සේ විසින් ම ථේර ගාථාවල දී ද සඳහන් කොට තිබේ.

පිනට කැමැති, පින් කිරීමෙහි හා දන් දීමෙහි මහත් ඵලය දන්නා ශක්‍රයා මහා කාශ්‍යප හිමියන්ට පිණ්ඩපාතය ලබාදීම සඳහා ගත් උත්සාහයක් පිළිබඳව උදාන පාලියේ සඳහන් වේ. ශක්‍රයා දිනක් සුජාතා නම් අසුර කන්‍යාව සමඟ කාශ්‍යප හිමියන් පිඬු සිඟා වඩනා මහා මාර්ගයේ කොනක තමන් හඳුනාගත නොහැකි වන පරිදි රෙදි වියන්නකුගේ වේශයක් මවාගෙන සිට පිණ්ඩපාතය බෙදූ බව එහි සඳහන් වේ. පිණ්ඩපාතය ලබාගත් පසු මහා කාශ්‍යප හිමියෝ ශක්‍රයා හැඳින, කුමක් නිසා එසේ කළේ දැ යි විමසූ හ. එවිට ශක්‍රයා “ස්වාමීනි, අපට ද පින් අවශ්‍ය යි. අපට ද පිනෙන් ප්‍රයෝජන ඇත. ඒ නිසා එසේ කළෙමි” යි පිළිතුරු දුන් බව උදාන පාළියේ දැක්වේ.

ශක්‍රයා විඳින සැප-සම්පත්, ශක්‍රයාට පැවරී ඇති වැඩ-කටයුතු හා තවත් දේ පිළිබඳ ව ඉදිරි ‘නමස්කාර’ සඟරාවෙන් සාකච්ඡා කරමු.
 
Last edited:

johnd82

Member
Oct 3, 2013
128
10
0
ශක්‍රයා විඳින සැප සම්පත් ප්‍රමාණය සුළු-පටු නො වේ. හෙතෙම දිව්‍ය සම්පත් ලාභයෙන් අගතැන්පත් වූවෙකි. දහස් ගණන් දෙවඟනන් පිරිවරා දිව්‍ය සැප-සම්පත් අනුභව කරන ශක්‍රයා පංච කාම සම්පත්තිය ඉතා ඉහළින් ලබයි. දෙකෝටි පනස් ලක්‍ෂයක් දෙවඟනෝ ඔහුට භාර්යාවෝ වෙති. පන්සියයක් අප්සරාවෝ මාරුවෙන් මාරුවට ශක්‍රයාගේ සේවය පිණිස එති. ඔවුහු අතිශය සුන්දර සෝභා ඇත්තෝ ය. පරෙවි දෙපා වැනි සුලලිත කෝමල පා ඇති මෙම අප්සරාවෝ ශක්‍රයා සතුටු කරමින් ඔවුනොවුන් තරගයට මෙන් උපස්ථාන කරන බව උදාන පාළියේ දැක්වේ. මෙසේ දිව්‍ය සම්පත්තියෙහි ඇලී-ගැලී වාසය කරන ශක්‍රයා බුදුන් වහන්සේ හමු වීමට ද වරින් වර පැමිණ යම් යම් ධර්ම කථා ශ්‍රවණය කරයි; ප්‍රශ්න ද විචාරයි. දිනක් මුගලන් මහ තෙරුන්ට මෙබඳු සිතක් පහළ විය: ‘ශක්‍රයා වරින් වර බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණ ධර්ම කථා අසයි; ප්‍රශ්න ද විචාරයි. මේ අසන ධර්මය ඔහුගේ සිත්හි රඳා ඇත් ද?’ මෙසේ සිතූ මුගලන් මහ රහතන් වහන්සේ දිනක් ශක්‍රයා බුදු රජාණන් වහන්සේගෙන් ධර්මය අසා ගිය මොහොතකින් ඔහුව හමු වීමට දෙව්ලොවට වැඩියහ. “එන්න මුගලන් හිමියනි, ඔබේ පැමිණීම ඉතා යහපත. ඔබ බොහෝ කාලයකිනි පැමිණියේ. මුගලන් හිමියනි, පැනවූ අස්නෙහි වැඩ හිඳිනු මැනවි.” මෙසේ කියා ශක්‍රයා මිටි අසුනක වාඩි ගත්තේ ය. එවිට මුගලන් හිමියෝ මොහොතකට කලින් තමන් බුදුන්ගෙන් ඇසූ ධර්මය කුමක් දැ යි ශක්‍රයාගෙන් ඇසූ හ. එයට පිළිතුරු දුන් ශක්‍රයා මෙසේ කී ය: ‘මුගලන් හිමියනි, අපට බොහෝ කටයුතු ඇත; කළ යුතු දේ බොහෝ ඇත. ඒ වැඩ කටයුතු මගේ ම කටයුතු නො ව, වෙනත් දෙවියන්ගේ කටයුතු ය; තව්තිසා දෙව්ලොව කටයුතු ය. මුගලන් හිමියනි, අප යම් කිසිවක් හොඳින් ඇසුවත්, හොඳින් මතක තබාගත්තත්, හොඳින් සිත්හි ධාරණය කරගත්තත් ඒ සියල්ල අධික වැඩකටයුතු හේතුවෙන් මොහොතකින් අමතක වී යයි. ඒ නිසා බුදුන්ගෙන් ඇසූ කිසිවක් මට දැන් මතක නැත.” (මජ්ඣිම නිකාය, චූලතණ්හාසංඛය සූත්‍රය) ශක්‍රයාගේ හා දෙවියන්ගේ කටයුතු මොනවා දැ යි විස්තර කරන අටුවාව ශක්‍රයාගේ කටයුතු ටික බවත්, දෙවියන්ගේ කටයුතු බහුල බවත් පවසයි. අලුතෙන් උපදින දෙවඟනන් සම්බන්ධ කෝලාහල නඩුහබ බේරුම් කිරීමට ශක්‍රයාගේ කාලයෙන් වැඩි කොටසක් ගත වන බව එහි සඳහන් වෙයි. අලුතෙන් උපදින දෙවියන් හා දෙවඟනන් සම්බන්ධ ආරවුල් බොහෝ ය. දෙවියන්ගේ දූවරු ද පුත්තු ද ඇකයෙහි උපදිති. පාදපරිචාරිකාවෝ යහනෙහි උපදිති. අන්දවන පලඳවන පිරිවර සේවිකාවෝ සයනය හාත්පස උපදිති. කුදු මහත් කටයුතු කරන අය විමානය ඇතුළත උපදිති. මෙය සාමාන්‍ය රීතිය හෙයින් එහි ආරවුලක් නැත. එහෙත් සමහරු සීමා අතර උපදිති. එකල්හි මොහු මගේ ය, ඔහු ඔබේ ය යි බේරාගත නොහැකි ව කෝලාහල කරති. ශක්‍රයා ඉදිරිපත් ව මොහු උපන්නේ කාගේ විමානයට කිට්ටුව දැ යි අසා ඉතා ම කිට්ටු විමානය අයිති කෙනා හට දිව්‍ය පුත්‍රයා දෙයි. හරි හරියට ම විමන් දෙකක් මැද උපන්නේ නම් කාගේ විමානය දෙස බලාගෙන උපන්නේ දැ යි අසා ඒ විමානය අයිතිකරුට පුත්‍රයා බාර දෙයි. එක ම දිසාවක් දෙස වත් නොබලා උපන්නේ නම් කලහය අවසන් කරනු පිණිස ඒ දිව්‍ය පුත්‍රයා තමා සන්තක කරගනියි. මෙබඳු බොහෝ කාර්යයන් ශක්‍රයා සතු බව මජ්ඣිම නිකාය අට්ඨ කථාවේ දැක්වේ. ශක්‍රයා සම්බන්ධ ඉතා වැදගත් සිද්ධියක් නම් සුරාසුර යුද්්ධය යි. සුරාසුර යුද්ධයෙහි ආරම්භය ශක්‍රයා දෙව්ලොව ඉපදුණු දා පටන් ගැනෙයි. ශක්‍ර දේවේන්ද්‍රයා සක්දෙව් වීමට පෙර මඝ නම් මාණවකයකු ව සිටියේ ය. මෙම මඝ මාණවක තෙමේ සිය මිතුරන් සමඟ බොහෝ සමාජ සේවා කටයුතු ලාභ පරමාර්ථයකින් තොර ව පරාර්ථකාමී හැඟීමෙන් ම සිදු කළ බැවින් එම පිනෙන් ඔහු සහ මිතුරෝ තිස් දෙදෙන තව්තිසා දෙව්ලොව උපත ලැබූ හ. දෙවියන් තිස්තුන් දෙනාගේ ලෝකය තාවතිංසය විය. ඒ කාලයේ අසුරයෝ තව්තිසා භවනෙහි වාසය කළෝ ය. අලුත ආ දෙවියෝත් මුල පටන් සිටි අසුරයෝත් යන දෙපක්‍ෂය ම වර්ණයෙන්, ආයුෂයෙන් හා ආකාරයෙන් සම වූ හ. අලුතෙන් දෙව් ලොව උපන් පිරිස දුටු අසුරයෝ තමත් වෙත උපන් අලුත් පිරිසකැ යි බොහෝ සතුටු ව ඒ නිමිති කොට ගෙන ඔවුන්ට සංග්‍රහ කිරීම පිණිස ජය පානයක් පිළියෙල කළහ. ශක්‍රයා තම පිරිසට රහසින් මෙසේ කී ය: “අපි පින් කරන අවස්ථාවේ අනුන් හා සමාන වන ලෙස නොකළම්හ. තොප කිසිවෙක් ඒ ජය පානය නොබොව්. බොන ආකාරය පමණක් කරව්.” මෙසේ ශක්‍රයා පිරිසට අණ දුන් පසු දෙවියෝ අසුරයන් හා එක් ව ජය පානය නොබී බොන ආකාරය පමණක් දැක්වූ හ. අසුරයෝ කිසි වග විභාගයක් නොමැති ව ඇති තාක් ගණ්ඩ පානය කොට මත් වී නින්දට වැටුණා හ. එකල ඔවුන් තද නින්දට වැටුණු බව දුටු ශක්‍රයා තම පිරිසට සංඥාවක් දී සියලු අසුරයන් පාදවලින් ගෙන සිනේරු පර්වත පාමුල හෙළා ලූ හ. ඔවුන් වැටුණු තැන අසුර භවනය වී ප්‍රමාණයෙන් තව්තිසා දෙව් ලොව තරම් විය. අසුරයෝ කිසිත් නොදැන තමන් දෙව්ලොවින් පහත වැටුණු බව සලකාගත නොහී එහි ම වාසය කළාහු ය. අසුර භවනෙහි චිත්තපාටලී නම් ගසක් ඇත. එම ගසෙහි මල් පිපෙන කාලයෙහි අසුරයෝ තමන් වසන්නේ තව්තිසා දෙව්ලොව නොවන බව දැනගනිති. කලින් ඔවුන් දැක තිබුණේ තව්තිසා දෙව්ලොව පරසතු මල් ය. දැන් දකින්නේ චිත්තපාටලී නම් මල් ය. මේ සලකුණෙන් තමන්ට දෙව්ලොව අහිමි වී ඇති බවත් ශක්‍රයා ඇතුළු පිරිස තමන් රැවටූ බවත් අවබෝධ කොටගෙන ‘සුරයන් ගනිව්’ යැ යි කියමින්, වැසි වට කල්හි තුඹස උඩට නගින වේයන් මෙන් සිනේරු පර්වතය උඩට නැංගාහු ය; ඒ නැග; දෙවියන් සමඟ සටන පටන් ගත්හ. මේ සටනින් වරෙක දෙවියෝ දිනති; වරෙක අසුරයෝ දිනති. යම් කලෙක දෙවියෝ ජය ගනිත් ද අසුරයන් මුහුද දක්වා පලවාහරිති. යම් කලෙක අසුරයෝ ජය ගනිත් ද එකල දෙවියන් තව්තිසා දෙව්ලොව සීමාව දක්වා ලුහුබඳිති. එක් වරෙක දෙවියන්ට ජය ලැබුණෙන් ශක්‍රයා අසුරයන් මුහුද දක්වා පලවාහැර, නැවත එහි නොඑන ලෙස පස් පළක ආරක්‍ෂා තැබී ය. එසේ කොට තව්තිසා දෙව්ලොව සීමාවෙහි වජ්‍රායුධධාරී ශක්‍රරූප තැබී ය. අසුරයෝ කලින් කල උඩට නැගී ඒ ශක්‍ර රූප දැක ‘ශක්‍රයා දිවා රෑ සූදානමින් සිටී’ යැ යි සිතා ආපසු හැරෙති. මේ, සුරාසුර යුද්ධය ඇති වූ හේතුවත්, එය සිදු වුණු ආකාරයත් මජ්ඣිම නිකායෙහි චූලතණ්හාසංඛය සූත්‍රයට ලියූ අටුවාවෙහි විස්තර කර ඇති ආකාරය යි. ශක්‍රයාගේ වාසස්්ථානය වෛජයන්ත ප්‍රාසාදය යි. එය වනාහි සුරාසුර යුද්ධය ජය ගත් පසු තමාගේ වාසය පිණිස ශක්‍රයා විසින් නිර්මාණය කරගන්නා ලද්දකි. එම ප්‍රාසාදයෙහි මුදුන් සියයකි. එක එක මුදුනක කූටාගාර සත් සියයකි. එක එක කුළු ගෙයක දිව්‍ය අප්සරාවෝ සත් දෙන බැගින් වෙති. එක එක අප්සරාවකට සත් දෙන බැගින් සේවිකාවෝ ය. මෙම ප්‍රාසාදයෙහි කුලුනු රන් මුවා ය; රිදී මුවා ය; මැණික් මුවා ය; පබළු මුවා ය; ලෝහිත මුවා ය; මුතු මුවා ය; සත් රුවන් මුවා ය. එසේ ම රන් මුවා කලස් ව්‍යාඝ්‍ර රූපවලින් යුක්ත ය. මුගලන් හිමියන්ට තමන් බුදුන් වහන්සේගෙන් ඇසූ බණ දැන් මතක නැතැ යි කියූ ශක්‍රයා “ස්වාමීනි, ඒ බණෙන් දැන් වැඩක් නැත. මගේ වෛජයන්ත ප්‍රාසාදය බලන්නට එනු මැනවැ” යි ආරාධනා කළේ ය. උන් වහන්සේ එම ප්‍රාසාදය බලන අවස්ථාවෙහි දී ‘මේ යකා සැප සම්පත් නිසා ප්‍රමාද ව වසයි. ඔහුට හොඳ පාඩමක් උගන්වමි’ යි පය මහපටැඟිල්ලෙන් වෛජයන්ත ප්‍රාසාදය සෙලවී කැරකී කම්පනය වන අන්දමේ ඍද්ධියක් කොට ශක්‍රයා බිය ගැන්වූ හ. ශක්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ කුලුපග ශ්‍රාවකයකු තරමට ම නිතර නිතර ආශ්‍රය කිරීම නිසා ඔහු අරමුණු කොට උන් වහන්සේ සූත්‍ර බොහෝ ගණනක් දේ්ශනා කොට ඇත. ශක්‍රයාගේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද දීඝ නිකායෙහි සක්කපඤ්හ සූත්‍රය එයින් ප්‍රධාන තැනක් ගනී. අනෙක් සූත්‍ර රාශියක් එක් තැන් කොට සංයුත්ත නිකායෙහි සක්ක සංයුත්තය නමින් සූත්‍ර විසි පහකින් යුත් වෙන ම සංයුත්තයක ඇතුළත් කොට ඇත. ශක්‍රයාගේ වාහනය ලෙස යොදාගැනෙන්නේ ‘ඓරාවණ’ නම් හස්තියෙකි. සත්‍යය නම් ඓරාවණ යනු හස්තියකු නො ව, දිව්‍ය පුත්‍රයෙකි ය යන්න යි. මෙතෙම වනාහි ඓරාවණ නම් ඇති කාමරූපී දිව්‍ය විමානයක වසන දිව්‍ය පුත්‍රයෙකි. යම් දිනෙක ශක්‍රයා උද්‍යාන ක්‍රීඩාවට යනු කැමැත්තේ ද එකල්හි මේ දිව්‍ය පුත්‍ර තෙම යොදුන් එකසිය පනහක් විශාල ශරීරයක් මවාගෙන, කුම්භ තිස් තුනක් මවාගෙන ඓරාවණ නම් ඇතා බවට පත් වෙයි; ශක්‍රයා උයන් කෙළි නිම කළ කල්හි ඒ ඇත් වෙස අතහැර දිව්‍ය පුත්‍රයා බවට හැරෙයි (සුත්ත නිපාත අට්ඨ කථා). ඓරාවණ දිව්‍ය පුත්‍රයා මහාසමය සූත්‍රය ඇසීම පිණිස අනින් දෙවිවරුන් සමඟ බුදුන් වහන්සේ වෙත පැමිණි බව දීඝ නිකායේ මහාසමය සූත්‍රයේ දැක්වේ. ශක්‍රයාට වෛජයන්ත නම් රථයක් ඇත්තේ ය. එය යොදුන් එකසිය පණහක් දිග ය. පසුපස කෙළවර පණස් යොදුනකි. රථ ශීර්ෂය පණස් යොදුනකි (ඇතැම් තැනක මේ දිග ප්‍රමාණය දෙගුණ කොට යොදුන් 300ක් දිග යැ යි ද කියති). එම රථය මැද යොදුනක් විශාල ආසනයකි. එහි මුදුනේ තුන් යොදුන් සේසතකි. දහසක් අශ්වයන් විසින් අඳිනු ලැබේ. වෙනත් සැරසිලි ද අප්‍රමාණ ය. ශක්‍රයාගේ ධජය යොදුන් දෙසිය පණහක් දිග ය. එය සුළඟින් සෙලවෙන විට පඤ්චතූර්ය නාදය පැතිරෙයි (සංයුත්ත නිකාය අට්ඨ කථා). තව්තිසාවෙහි පරසතු රුක මුල ශක්‍රයාගේ ‘පාණ්ඩුකම්බල’ නම් ප්‍රසිද්ධ ශෛලාසනය පිහිටා තිබේ. එය වනාහි රතු පලස් බඳු හෝ ජය සුමන (බඳුවද) මල් ගොන්නක් වැනි වර්ණ ඇති හෙයින් ‘පණ්ඩුකම්බලසිලා’ යැ යි ව්‍යවහාර කැරෙන බව මජ්ඣිම නිකාය අට්ඨකථාවෙහි දැක්වේ. මනු ලොව සාධාරණ පින්වත් පුද්ගලයකුට කරදරයක් වූ විට මෙම අසුන රත් වන බවත් එවිට ශක්‍රයා මනු ලොව දෙස බලා ඔහුට පිහිට වන බවත් කියනු ලැබේ. වරෙක ශක්‍රයාගේ ආසනයෙහි එක්තරා යක්‍ෂයකු වාඩි වුණු බවත් ඔහු දුර්වර්ණ මිටි පිළිකුල් සහගත එකකු බවත්, ඔහු ක්‍රෝධ භක්‍ෂ නැත හොත් ක්‍රෝධය නිසා ජීවත් වන එකකු බවත් ශක්‍රයා ඔහු වෙත ගොස් තමා සක් දෙව් බව පැවසූ විට පලාගිය බවත් සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ දැක්වේ. ශක්‍ර නමින් තවත් යක්‍ෂයකු ගැන ද සංයුත්ත නිකායේ යක්ඛ සංයුත්තයේ දැක්වේ. මේ තෙම මාරපාක්‍ෂිකයකු බව අටුවාව කියයි. මුගලන් මහ රහතන් වහන්සේ කිහිප වරක් ම ශක්‍රයාට ‘යක්ඛ’ නාමයෙන් ඇමතූ බව චූලතණ්හාසංඛය සූත්‍රයෙහි දැක්වේ. ශක්‍රයාට පුතුන් දහසක් සිටි බව සංයුත්ත අටුවාව කියන අතර එයින් දෙදෙනකු ගැන සංයුත්ත නිකායෙහි සඳහන් වේ. ඒ සුසිර හා සුසීම යි. මේ හැර ශක්‍රයාගේ දූවරුන් සතර දෙනකු ගැන විස්තරයක් ජාතක පාලියෙහි එයි. ඔවුන් නම් ආසා, සද්්ධා, හිරි හා සිරි යනු යි (සුධාබෝජන ජාතකය). ශක්‍ර දේවේන්ද්‍රයාගේ කාර්ය මණ්ඩලය සුවිශේෂ දක්‍ෂතාවන්ගෙන් හෙබි දෙවිවරුන්ගෙන් සමන්විත විය. එතුමාගේ ප්‍රධාන කර්මාන්ත ශිල්පියා ‘විශ්වකර්ම’ නම් දෙවියෙක් විය. දෙව් ලොව යම් යම් දේ නිර්මාණය කිරීමේ, මැවීමේ කටයුතු සියල්ල විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් කරනු ලැබේ. චාතූර්මහාරාජික දෙව් ලොව වාසය කරන මෙම දිව්‍ය පුත්‍රයා ශක්‍රයාගේ විශ්වාසදායක හිතවතෙක් ද වෙයි. බොහෝ ජාතක කථාවන්හි බෝධිසත්ත්වවරුන්ට ආරාම පන්සල් ආදිය මවා දෙන ලද්දේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසිනි. ශක්‍රයාගේ අණ පරිදි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සුදස්සන රජුට මැවූ ‘ධම්ම’ නම් ප්‍රාසාදයෙහි විස්තර අඩංගු සිත් ගන්නාසුලු වර්ණනාවක් දීඝ නිකායේ මහා සුදස්සන සූත්‍රයෙහි ඇතුළත් වේ. එහි සඳහන් විස්තරය අවසන් වන්නේ “ආනන්දය, යම් සේ වර්ෂා ඍතුවෙහි අවසාන මාසයෙහි සරත් කල්හි නිර්මල වූ වලාකුළුවලින් තොර වූ අහසෙහි සූර්යයා නැගී සිටි කල්හි ඒ දෙස බැලීමට නොහැකි ව ඇස් අඳුරු වී යන්නේ යම් සේ ද, ධම්ම පාසාදය දෙස ඇස් ඇර බැලිය නොහැකි ව ඇස් අඳුරු වී යන්නේ ය” යනුවෙනි. ශක්‍රයාගේ වීණා වාදකයා ද දිව්‍ය පුත්‍රයෙකි. ගාන්ධර්ව කුලයට අයත් පඤ්චසිඛ (පන්සිළු) නම් මේ වීණා වාදකයා වීණා වාදනයෙහි පමණක් නො ව, ශක්‍රයාගේ සෙසු කුදු මහත් කටයුතුවලදී ද ඔහුට උපකාර වන හිතවත් සේවකයෙකි. මේ තෙම මිනිස් ලොව ඉපිද කරන ලද බොහෝ පින්කම් හේතුවෙන් මරණින් මතු චාතූර්මහාරාජික දෙව්ලොව අනූලක්‍ෂයක් අවුරුදු ආයුෂ ඇති ව උපන්නේ ය. තුන් ගව් පමණ උස් වූ රන් කඳක් වැනි ආත්ම භාවයක් හිමි මේ තෙම වරක් ශක්‍රයාව බුදුන් වහන්සේ සමීපයට කැඳවා ගෙන ගොස්, උන් වහන්සේගේ ආශීර්වාදය ලබා දුන්නේ ය යි දීඝ නිකායේ සක්ක පඤ්හ සූත්‍රයෙහි දැක්වේ. එම කාර්යයේ දී පඤ්චසිඛ දැක්වූ උද්‍යෝගිමත් භාවය හේතුවෙන් ශක්‍රයා තුළ ඇති වූ පැහැදීම නිසා ඔහුට විශේෂ දායාදයක් ද හිමි විය. ඒ අනෙකක් නො ව, සූරියවච්චසා නම් වූ සුන්දර භාර්යාව යි. පඤ්චසිඛ දිව්‍ය පුත්‍ර තෙමේ බුදුන් වහන්සේ සමඟ ඉතා ම විශ්වාසී ව කටයුතු කළේ ය. මේ නිසා ඔහුට කැමැති වේලාවක ගොස් උන් වහන්සේගෙන් ප්‍රශ්න විතෑරීමට හැකි විය. එක් අවස්ථාවක දී පඤ්චසිඛ බුදුන් වහන්සේ සමීපයට ගොස් මනහර ගීයක් ගායනා කළ බවත්, එය බුදුන් වහන්සේගේ පවා පැසැසුමට ලක් වූ බවත් බෞද්ධ පොතපතෙහි සඳහන් ය. පඤ්චසිඛ දිව්‍ය පුත්‍රයා හුදෙක් වීණා වාදනය පිණිස ම කැප වූවෙක් නො වේ. ඔහු බුදුන් වහන්සේගෙන් නොයෙක් ආකාර ගැඹුරු ප්‍රශ්න ද විතාළ නුවණැති දෙවියෙක් ද විය. පඤ්චසිඛගේ වීණාව ‘බේලුවපණ්ඩු’ නමින් හැඳින්වෙයි. එය ඉදුණු බෙලි ගෙඩියක පැහැය බඳු කහ (පණ්ඩු) පැහැය ඇත්තේ ය. වීණාවේ මැද කොටස රන් මුවාය; දණ්ඩ ඉන්ද්‍රනීලමය ය; තත් රජතමය ය; වේඨිකාව පබළුමය ය. එහි මුළු ප්‍රමාණය තුන් ගව්වක් බව දීඝ නිකාය අට්ඨ කථාවෙහි දැක්වේ. ශක්‍රයාගේ රථාචාර්යවරයා මාතලී නම් දිව්‍ය පුත්‍රයෙකි. මොහු ශක්‍රයාගේ වෛජයන්ත රථයෙහි රියැදුරු ලෙස සේවය කරයි. ශක්‍රයා උයන් කෙළියට, දේව සභාවට නැත හොත් සුරාසුර යුද්ධයට යන්නේ මාතලී සමඟ ය. පඤ්චසිඛ මෙන් ම මාතලී ද ශක්‍රයාගේ සේවකයකු පමණක් නො ව, සුහද හිතවතකු ලෙස ද ක්‍රියා කරයි. යම් යම් අවස්ථාවල දී ශක්‍රයාගෙන් ප්‍රශ්න ඇසීමත්, ශක්‍රයාගේ ක්‍රියාවන්හි හොඳ නරක ප්‍රකාශ කිරීමත් මොහුගේ සිරිත ය. දිනක් වේපචිත්ත නම් අසුරයා සුරාසුර යුද්ධයෙන් පැරදී දෙවියන් විසින් අල්ලාගන්නා ලදු ව, අත් පා බැඳ ශක්‍රයා ඉදිරියට ගෙනා අවස්ථාවේ දී හෙතෙම ඉතා කටුක වචනයෙන් ශක්‍රයාට බැණ වැදුණේ ය. ඒ බැණුම ඉවසා සිටිය නොහැකි තැන මාතලී ශක්‍රයාට කතා කොට මෙසේ කී ය: “ශක්‍ර දේවේන්ද්‍රය, ඔබ මේ අසුරයාගේ නොහොබිනා කටුක රොස්-පරොස් වචන ඉවසන්නේ ඔහු කෙරෙහි බියෙන් ද? නැති නම් ඔබ දුර්වල හෙයින් ද?” එවිට ශක්‍රයා තමා බය නැති බවත් ඉවසීම හොඳ ගුණයක් නිසා ඉවසන බවත් පැවසී ය. එයට විරුද්ධ වූ මාතලී සතුරා කෙරෙහි ඉවසීම කොහෙත් ම නුසුදුසු බවත්, මෝඩයාට ඉවසා අභය දීම නිසා ඔහු පසු ව කරෙහි නැගීමට එන බවත් ශක්‍රයාට පැවසූ බව සක්ක සංයුත්තයේ දැක්වේ. ශක්‍රයා වෙනුවෙන් ඔහුගේ නියෝජිතයා ලෙස මාතලී පෙනී සිටි අවස්ථා ද ඇත. බොහෝ අවස්ථාවන්හි දී ශක්‍රයා මාතලී සමඟ තමාගේ රථය මිනිස් ලොවට එවා ඇත. සාධින, ගුත්තිල, මඛාදේව, නිමි ආදි ජාතක කථාවන්හි එම රජවරුන් දිව්‍ය ලෝකයට කැඳවාගෙන යෑම පිණිස එවන ලද්දේ මාතලී දිව්‍ය පුත්‍රයා ය. ආටානාටිය සූත්‍රයෙහි දී මාතලී හැඳින්වෙන්නේ යක්‍ෂ ප්‍රධානියකු ලෙස ය. ශක්‍රයාගේ තාවතිංස දිව්‍ය ලෝකයෙහි ඔහු වෙනුවෙන් ම වූ වනෝද්‍යානයක් ඇත. එය ‘චිත්‍ර ලතා’ ලෙස හැඳින්වේ. මෙහි පරසතු මල් ගසක් ඇතැ යි ද එහි මල් පිපුණු කල එම මල් නෙළීමට අවශ්‍ය නැතැ යි ද ඒවා ඉබේ ම ගිලිහී දෝතට එන්නේ යැ යි ද පොතපතෙහි සඳහන් වේ. මෙයට අමතර ව ශක්‍රයාට ‘නන්දන උයන’ නම් වූ තවත් වනෝද්‍යානයක් ඇති අතර, චුත වීමට ආසන්න දෙවිවරුන්ගේ ශෝකය තුනී කරලනු වස් ශක්‍රයා විසින් ඔවුන් මෙම උයනට කැඳවන බව පැවසේ. එහි ඇති සැප-සම්පත් දැකීමෙන් හා විඳීමෙන් ඔවුන් චුත වීමේ ශෝකය තුනී කරගන්නා බව ද සඳහන් වේ. - See muf