බොදු දෙව් රජ සක්දෙවිඳුන්
දෙදෙව් ලොවට ම අධිපති වූ බෞද්ධ දිව්‍ය රාජයාණන් පිළිබඳ ව පළ වන ලිපි පෙළක පළමුවැන්න යි මේ.
සක් දෙවිඳු ගැන අසා නැති බෞද්ධයකු අප අතර සිටී දැ යි සැක සහිත ය. ලක්දිව බෞද්ධයන් අතර ඉතා ප්‍රසිද්ධ දෙවි කෙනකු වන සක් දෙවිඳු ගැන ඔබ අසා ඇති නමුත් නොදන්නා කරුණු ද ඇතුවාට සැක නැත. එබැවින් අද අපි සක් දෙවිඳු ගැන පොත-පතෙහි සඳහන් කරුණු කිහිපයක් විමසා බලමු.
චාතුර්මහාරාජිකය හා තාවතිංසය යන දිව්‍යලෝක දෙකට ම අධිපති වන ශක්‍රයාගේ උත්පත්ති කථාව සම්බන්ධයෙන් බොහෝ ග්‍රන්ථයන්හි එක සමාන විස්තර දක්නට ලැබෙයි. සංයුත්ත නිකාය අට්ඨ කථාවෙහි දක්වා තිබෙන විස්තරය අනෙක් කථාවලට වඩා සම්පූර්ණ සේ හැඟෙන බැවින් එම කථාව මෙහි දක්වමු:
‘ශක්‍ර තෙම මනුෂ්‍ය ආත්මයක් ලැබූ මුල් අවස්ථාවේ දී මගධ රට මචලගම මඝ නම් මාණවක කුමාරයකු ව උපන්නේ ය. හේ පණ්ඩිත ය; බෝසත් සිරිතින් යුක්ත ය; බාල කාලයේ දී ම සත්පුරුෂ කාර්යයන්හි යෙදුණේ ය. ඔහුගේ යහළුවෝ තිස් දෙදෙනෙක් වූ හ. ඔවුහු ද මඝ මාණවකයා මෙන් ම පරාර්ථකාමී සිත් ඇත්තෝ වූ හ. කුඩා අවධියේ ම තම යහළුවන් සමඟ මඝ මාණවකයා ගම මැද මහජනයා ගැවසෙන තැන කුණු කසළ ඉවත් කොට සිත්කලු බිමක් කළේ ය; පසු ව එහි ම මණ්ඩපයක් කළේ ය; අනතුරු ව ශාලාවක් කළේ ය; ගව්වක් තැන් බිම සකස් කළේ ය. පසු ව යොදුනක් තෙක් සකස් කළේ ය. තරුණයෝ පිරිස ගමෙහි පාලම්, ඒදඬු, මණ්ඩප, ගිමන්හල් පොකුණු, උයන් ආදිය කරමින් බොහෝ පින්කම් කළාහු ය. මඝ තරුණයා එයට අමතර ව සප්ත ව්‍රත සමාදානයෙහි ද යෙදුණේ ය. මෙසේ පින්කම් කොට කෙළවර මරණින් මතු තව්තිසා භවනයෙහි උපන්නේ ය. ඔහුගේ යහළුවෝ තිස් දෙදෙන ද එහි ම උපන්හ.
ශක්‍රයා මඝ මාණවක කාලයෙහි පිරූ සප්ත ව්‍රත සමාදානය පිළිබඳ විස්තරයක් සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයෙහි එයි. එහි මෙසේ සඳහන් වෙයි: “මහණෙනි, ශක්‍රයා පෙර මනුෂ්‍ය ව උපන් කල්හි ව්‍රතයන් හතක් සම්පූර්ණයෙන් ම සමාදන් වූයේ ය. ඒ නිසා ම ඔහුට ශක්‍ර පදවිය හිමි වූයේ ය. මේ ව්‍රතයන් හත නම් දිවි ඇති තෙක් මවුපියන් පෝෂ්‍ය කිරීම, දිවි ඇති තෙක් කුල දෙටුවන් පිදීම, දිවි ඇති තෙක් මෘදු වචන කතා කිරීම, දිවි ඇති තෙක් පිසුණු වදන් නොබිණීම, දිවි ඇති තෙක් මසුරු මල දුරු කොට දාන පරිත්‍යාගයන්හි යෙදීම, දිවි ඇති තෙක් සත්‍ය වචන බිණීම, දිවි ඇති තෙක් ක්‍රෝධ නොකිරීම යන මේවා ය. (සංයුත්ත නිකාය, සක්ක සංයුත්තය)
ශක්‍රයා කෙලෙස් සහිත පුද්ගලයකු හෙයින් ඔහුගේ අදහස් හා නිගමන දොසින් තොර නොවිය හැකි බව බුදුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වෙන්නේ “මහණෙනි, ශක්‍රයා විසින් ප්‍රකාශ කරන ලද ගාථා මනා කොට ප්‍රකාශ නොකරන ලද්දේ ය. ඔහුගේ වචන යහපත් වූ නිවැරැදි වචන නොවිය හැකි ය. මන්ද? ශක්‍රයා පහ නොකරන ලද රාග, ද්වේෂ, මෝහ ඇත්තෙකි.” ශක්‍රයා කෙලෙස් සහිත පුද්ගලයකු හෙයින් ඔහුට ද පුහුදුන් අපට මෙන් ම භය, තැති ගැන්ම, සන්ත්‍රාසය ඇත්තේ ය. ඒ බව බුදුන් වහන්සේ ධජග්ග සූත්‍රයෙහි දී ප්‍රකාශ කොට ඇත.
බුදුන් වහන්සේ ශක්‍රයාගේ බුද්ධිමත් බව ගැන මහත් සැලකිල්ලක් දැක්වූ සේක. ශක්‍රයා කෙලෙස් සහිත පුද්ගලයකු වුවත් ඔහු බොහෝ අවස්ථාවල දී බුද්ධිමත් ව ක්‍රියා කළේ ය. ඒ නිසා ම බුදුන් වහන්සේට ශක්‍රයා ගැන මෙබඳු අදහසක් පහළ විය: “මේ ශක්‍රයා බොහෝ කාලයක් පිරිසිදු චරිත ඇත්තෙක් ව සිටී. කවර අවස්ථාවක දී හෝ මගෙන් ප්‍රශ්නයක් විචාරන්නේ නම් එය අර්ථදායී එකක් ම වෙයි. අනර්ථදායී හෝ අනවශ්‍ය දෙයක් නො විචාරයි.”
ශක්‍රයා ද බුදුන් වහන්සේ කෙරෙහි දක්වන ලද්දේ අප්‍රමාණ ගෞරව භක්තියකි. ඔහු උන් වහන්සේ ළඟට යන්නේ ඉතා ම භක්තිමත්, ශ්‍රද්ධාවත් උපාසක කෙනකු මෙනි. ඔහුගේ ආචාරශීලී බව හික්මුණු බව, එවැනි අවස්ථාවලදී අතිශයින් කැපීපෙනෙයි. වරක් ශක්‍රයාත්, වේපචිත්ත අසුරයාත් යන දෙදෙන බොහෝ සිල්වත් ඍෂීන් වාසය කරන ආරණ්‍යයත්නයකින් යන විට වේපචිත්ත අසුරයා කිසි ගරුසරුවක් නැති ව ගියේ ය. ශක්‍රයා හිස්වැසුම් හා පාවහන් ඉවත් කොට, එල්ලාගෙන තිබුණු කඩුව වෙන කෙනකුට දී කුඩය අකුළා තබා, කුඩා දොරටුවකින් අසපුවට ඇතුළු ව සිල්වත් ඍෂීන් වැඳ නමස්කාර කොට ගිය බව සක්ක සංයුත්තයේ දැක්වේ.
එක් අවස්ථාවක දී ශක්‍රයාට භාග්‍යවතුන් වහන්සේ හමු වීමට අවශ්‍ය විය. ඒ අවස්ථාව වන විට ඔහුගේ පින් පිරිහී තිබිණි. බුදුන් වහන්සේ හමු වී උන් වහන්සේගෙන් ආශීර්වාද ලබාගැනීමට ශක්‍රයාට වුවමනා විය. එහෙත් මෙම කටයුත්තේදී ශක්‍රයා කෙළින් ම උන් වහන්සේ හමු වීමට නොගොස් තමාගේ හිතවත් ම සේවකයා වූ පංචසිඛ දිව්‍ය පුත්‍රයා පළමු කොට යවා, පසු ව හෙතෙම උන් වහන්සේ හමු විය. මේ ගමනින් ශක්‍රයාගේ අභිමථාර්ථයන් සියල්ල ඉටු වූ බව සක්කපඤ්හ සූත්‍රයෙහි දැක්වේ.
ශක්‍රයා බුදුන් වහන්සේගේ ඉතා හිතවත් ශ්‍රාවකයකු, දායකයකු උපස්ථායකයකු, ආරක්ෂකයකු වශයෙන් කටයුතු කළේ ය. තමන්ට සැක සහිත කාරණයක් දැනගැනීම සඳහා අවස්ථාවක් එළැඹුණු කල්හි හෙතෙම උන් වහන්සේ හමු වීමට යයි; එසේත් නැත් නම් බුදුන් වහන්සේට තමන්ගෙන් කිසියම් කාර්යයක් ඉටු කරගැනීමට අවශ්‍ය යැ යි වැටහුණු හැම මොහොතක ම උන් වහන්සේ කරා පැමිණ එයට සහාය වීමෙන් උපකාර කරයි. බුදු වූ අලුත භාග්‍යවතුන් වහන්සේට දිය නෑමේ අදහසක් පහළ විය. එම අදහස දිවැසින් දැනගත් ශක්‍රයා වහා දෙව්ලොව සිට පැමිණ ළිඳක් මවා එහි දිය නෑම පිණිස උන් වහන්සේට ආරාධනා කළේ යැ යි මහාවග්ග පාළියෙහි දැක්වේ.
තව ද බුදු රජාණන් වහන්සේ මුල් වරට රජගහ නුවරට වැඩි අවස්ථාවේදී රැස් වූ අතිවිශාල මහජනයා හසුරුවාගැනීමටත්, එලෙස රැස් වූ මහ ජනයා මැදින් ගමන් මාර්ගය පිළියෙල කරගැනීමටත් ශක්‍රයා සහාය වූ බවත්, හෙතෙම රූමත් මාණවකයකුගේ වේශයක් මවාගෙන භික්‍ෂූ සංඝයා සමඟ වඩින භාග්‍යවතුන් වහන්සේට ඉදිරිපසින් ගිය බවත් මහාවග්ගයේ වැඩිදුරටත් දැක්වේ. අවස්ථා දෙකක දී ශක්‍රයා බුද්ධ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා යක්ෂාවේශයකින් පෙනී සිටියේ ය. ඉන් එක් අවස්ථාවක් සඳහන් වන්නේ දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයෙහි ය. ඒ අම්බට්ඨ මාණවකයා බුදුන් වහන්සේගේ වචනය නොපිළිගෙන සිටි අවස්ථාව ය. දෙවැනි අවස්ථාව සඳහන් වන්නේ මජ්ඣිම නිකායේ චූල සච්චක සූත්‍රයේ ය. ඒ සච්චකයා බුදුන් වහන්සේගේ වචනය දෙවරක් කියද්දීත් නොපිළිගෙන සිටි අවස්ථාවේ දී ය. මේ අවස්ථා දෙකේ දී ම ශක්‍රයා වජිරපාණී නම් යක්ෂාවේශයක් ගෙන කිසිවකුටත් නොපෙනෙන පරිදි අහසෙහි සිට දිලිසෙන යකඩ මුගුරක් ඇතැති ව ප්‍රතිවාදීන් බය කළ බව දැක්වේ.
එමෙන් ම බුදුන් වහන්සේ මාස 3ක් තව්තිසා දෙව් ලොව වැඩවාසය කරමින් අභිධර්මය දේශනා කළ අවස්ථාවේ, ඒ මුළු කාලය තුළ දී ම උන් වහන්සේට අවශ්‍ය සියලු ඇප-උපස්ථාන කරනු ලැබුවේ සක් දෙවිඳු ප්‍රමුඛ දෙවිවරුන් විසිනි.
තව ද, සිදුහත් බෝසතුන් පැවිදි වෙස් ගැනීමට පෙර කපාදමන ලද කෙස් කලඹ, සක් දෙවිඳුන් විසින් මහත් භක්තියෙන් යුතු ව ගෙන ගොස් තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි තැන්පත් කළ බවත්, සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරු ව ධාතු බෙදූ ද්‍රෝණ බ්‍රාහ්මණයාට ද හොර රහසේ දන්ත ධාතූන් වහන්සේ නමක් සොරකම් කරගත් ශක්‍රයා බුදුන් වහන්සේගේ එම දන්ත ධාතුව තව්තිසා දෙව්ලොවට වඩමවා දෙවියන්ගේ පූජෝපහාරය සඳහා සිළුමිණි සෑයෙහි ම තැන්පත් කරවූ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ.
ශක්‍රයා බුදුන් වහන්සේට පමණක් නො ව, උන් වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් ඉතා හිතවත් ව හා ගෞරවයෙන් විසූ බව බෞද්ධ පොත-පතෙහි දැක්වේ. කම්මාර දියණිය වූ සුභා තෙරණියට ශක්‍රයා නමස්කාර කරන බව එම මෙහෙණිය විසින් ම ථේරි ගාථාවල දී ද සැඩොල් කුලයෙහි උපන් සුනීත තෙරුන්ට ශක්‍රයා මහත් ගෞරව දැක්වූ බව උන් වහන්සේ විසින් ම ථේර ගාථාවල දී ද සඳහන් කොට තිබේ.
පිනට කැමැති, පින් කිරීමෙහි හා දන් දීමෙහි මහත් ඵලය දන්නා ශක්‍රයා මහා කාශ්‍යප හිමියන්ට පිණ්ඩපාතය ලබාදීම සඳහා ගත් උත්සාහයක් පිළිබඳව උදාන පාලියේ සඳහන් වේ. ශක්‍රයා දිනක් සුජාතා නම් අසුර කන්‍යාව සමඟ කාශ්‍යප හිමියන් පිඬු සිඟා වඩනා මහා මාර්ගයේ කොනක තමන් හඳුනාගත නොහැකි වන පරිදි රෙදි වියන්නකුගේ වේශයක් මවාගෙන සිට පිණ්ඩපාතය බෙදූ බව එහි සඳහන් වේ. පිණ්ඩපාතය ලබාගත් පසු මහා කාශ්‍යප හිමියෝ ශක්‍රයා හැඳින, කුමක් නිසා එසේ කළේ දැ යි විමසූ හ. එවිට ශක්‍රයා “ස්වාමීනි, අපට ද පින් අවශ්‍ය යි. අපට ද පිනෙන් ප්‍රයෝජන ඇත. ඒ නිසා එසේ කළෙමි” යි පිළිතුරු දුන් බව උදාන පාළියේ දැක්වේ.
ශක්‍රයා විඳින සැප-සම්පත්, ශක්‍රයාට පැවරී ඇති වැඩ-කටයුතු හා තවත් දේ පිළිබඳ ව ඉදිරි ‘නමස්කාර’ සඟරාවෙන් සාකච්ඡා කරමු.

Last edited: