භයානක අභියෝගය

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    භයානක අභියෝගය

    ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේශන මධ්‍යස්ථානයේ සිදුවු සත්‍ය සිද්ධියකි..

    තරුණ වයසට බොහෝ දෙනකු යමක් දෙස බලන්නේ විමර්ශනාත්මකවය. එහි විශ්වාසයට වඩා සැකය පදනම් වී ඇත. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබා විශ්වවිද්‍යාලයට යන පිරිමි දරුවන් තුළ මේ ස්වභාවය පවතී. එහෙත් උපාධිය ලබා රැකියාවකට ගිය පසු බොහෝ දෙනකු තුළින් ඒ ගති පලා යයි. පරමාදරය, ප්‍රේමය, අමතක වෙයි. යටි සිත දෑවැද්දට ගෙයක්, වාහනයක් බලාපොරොත්තු වෙයි. විප්ලවය, පන්ති සටන, සාධාරණය, යුක්තිය කේඬෑරි වී යයි.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ කළුතර රාජිත දැන් තිස් වැනි වියේ පසුවෙයි. රැකියාවක් නොකරයි. හිටි හැටියේ හඬ නඟා හිනා වෙයි. ඉකිබිඳ හඬයි. බලාගත් අත බලා සිටී. ආහාර අරුචියෙන් පෙළෙයි. බඩේ දැවිල්ලකින් පීඩා විඳියි. ඔහු සිටින තැන දුඟදක් පැතිරෙයි. හීනෙන් බය වී කෑ ගසාගෙන අවදි වෙයි.
    මවුපියෝ ඔහුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. එහෙත් එයින් ඔහු තව තවත් කෘශ වූවා මිස සනීපයක් නොවුණි. අවසානයේ අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය. එයින්ද සුවයක් නොවූයෙන් මවුපියෝ ඔහු ආපසු ගෙදර ගෙනාහ. අවසානයේ මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන යෝගී වරයෙකු මුනගැසීමට ඔවුන් තීරනය කලහ. එසේ කළේ ඥාතියකුගේ උපදෙස් පරිදිය.


    රාජිත විශ්වවිද්‍යාලයේදී ජනසන්නිවේදන විෂය හදාරමින් "අභිචාර විධි" පිළිබඳ ගැඹුරින් ගවේෂණය කොට ඇත. සාම්ප්‍රදායිකව පැවැත එන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, පේන කීම් ආදිය ගැන දේවාල කරා ගොස් ගවේෂණය කළේය. එහෙත් ඔහු ඒවා විශ්වාස කළේ නැත. ගෞරව කළේ නැත. සුළුකොට තකා උපහාසයට ලක් කළේය. එහෙත් ගැඹුරින් හැදෑරීය. හිටි හැටියේ ඔහු වෙනස් වී උදේ හවස මල් පහන් පූජා කරන්නටත් සීනුවක් නාද කරමින් නටන්නටත් විය. අට වතාවක් සියදිවි හානි කර ගන්න තැත් කළේය. මේ විස්තර යෝගී වරයා සමඟ පැවැසූ රාජිතගේ මවුපියෝ ප්‍රතිකාර පැතූහ.
    යෝගී වරයා ශක්ති කිරණ එල්ල කරන විට රාජිත වෙව්ලන්නට විය. ඔහු ශාරීරිකව දුර්වලව සිටි නිසා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වන ලෙසත් පෝෂ්‍යදායක ආහාරවලින් මේ සති දෙක තුළ පෝෂණීය කොට නැවැත එන ලෙසත් උපදෙස් දුන්නේය.


    ඊළඟට පැමිණි දිනයේ රාජිත ප්‍රලය වී කෑ ගසන්නට විය.
    "මූ පණ්ඩිතයා, මම මූට උදවු කරන්නයි ආවේ. මූ යාළුවෙක් එක්ක ඇවිත් පූජාවක් තියලයි මාව ගෙන්නුවේ. මූ මගෙන් වැඩ ගන්න කැමැති වුණේ නෑ" යි භූතාත්මය කෑ ගසන්නට විය.

    රාජිත කළ දේවල් මොනවාදැයි මවුපියන් නොදන්න නිසා ඔහු සමඟ කටයුතු කළ යහළුවා සමඟ තවත් සතියකින් එන්නැයි උපදෙස් දුන්නේය.
    ඊළඟට පැමිණි දිනයේ රාජිතගේ මිත්‍රයා වූ සුසන්ත ද ඔවුන් සමඟ පැමිණියේය. යෝගී වරයා ඔහුගෙත් රාජිතගේ පසුගිය ක්‍රියාකලාපය පිළිබඳ විස්තර ඇසීය.
    "රාජිත කැම්පස් එකේදී ලංකාවේ අභිචාර විධි පිළිබඳ විෂයයක් ලෙස හැදෑරුවා. රටේ පවතින වත්පිළිවෙත් ක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් රාජිත විශ්වාස කළේ නෑ. උපහාසයට ලක් කළා. මේවා ගැන දේවාල ගාණේ ගිහින් ගවේෂණ කළා. මේ හැම දෙයක්ම පටිගත කළා. දවසක් මාතර ප්‍රදේශයේ වයස්ගත ඇදුරෙක් සොයාගෙන ගියා. රාජිත ඔහුට බොරුවට කීවා මට වරමක් ගන්න ඕනෑ. මළගිය ඥාතියෙක් හීනෙන් ඇවිත් කිව්වා වරමක් දෙන්න කැමැති බව. ඒ කතාවත් පටිගත කළා." රාජිත කිව්වා ඔහුට මුදලක් දෙන්නත් පුළුවන් කියලා.


    "ඒ වයසක මනුස්සයාට හිනා ගියා. ඔහු කල්පනා කරලා කිව්වා හොඳයි හොඳයි මට සල්ලි වුවමනා නෑ. මම මේ ළමයාට වරමක් අරගෙන දෙන්නම් හොඳ පලතුරු පූජාවකුත් අරගෙන එන්න කියලා. ඒ කියාපු විදියට පලතුරු පූජාවකුත් අරගෙන පස්සෙ දවසක අපි ගියා. කපු මහත්තයා පලතුරු පූජාව කැප කරලා මතුරන්න පටන් ගත්තා. ටික වෙලාවකට පස්සෙ" දැන් හරි - දැන් වරම හරි සදාකල් වරම තියේවි' කිව්වා. එදා රෑ රාජිත හීනෙන් බයවුණා කිව්වා එදා ඉඳලා තමයි රාජිත වෙනස් වුණේ. කලින් උපහාසයට ලක් කරපු දේවල්ම කරන්න පටන් ගත්තා. පූජා තිබ්බා. සීනුවක් ගගහා නටන්න හිටියා යි රාජිතගේ යාළුවා කීවේය.
    'වහාම ගිහින් ඒ කපු මහත්තයාව එක්කගෙන එන්නැ'යි යෝගී වරයා කීවේය.


    රාජිතගේ යාළුවා මාතර කපු මහතා සොයා ගෙන ගියත් ඒ වන විට ඔහු මියගොස් තිබිණි.
    තවත් සති දෙකකට පසු ඔවුහු යෝගී වරයා හමුවෙන්නට ගියහ. එදින රාජිත දිෂ්ටි ගන්වා ආවිෂ්ට වූ භූතාත්මය සමඟ යෝගී වරයා කතා කළේය.
    'කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?'
    'මම ජයසිංහ'


    'ජයසිංහ මේ රාජිතගේ කවුද?'
    'එහෙම කවුරුවත් නෙමෙයි. මාතර කපු මහත්තයා මුගේ ඇඟට මාව බැන්දුවා'
    'ඇයි එහෙම බැන්දුවේ?'
    'මූ කිව්වා වරමක් අරන් දෙන්න කියලා. ඉතින් කපු මහත්තයා මුගේ ඇඟට මාව දැම්මා'
    'ඔය කොයි කාලෙද?'

    'දැනට අවුරුදු හතරකට විතර කලින්'
    'ඇයි ඉතින් මෙයාට හිරිහැර කරන්නේ?'
    'මූ පණ්ඩිතයා. යක්ෂයො, භූතයෝ නෑ. තොවිල් පවිල් බොරු. ඇදුරො හොරු කියලා මේ සාස්තරේට අපහාස කරපු හිනා වෙච්ච කෙනෙක්. ඔය ඉන්නේ යාළුවා ළඟ. බොරු නම් අහන්න. මම කියන්නෙ බොරුද කියලා'යි භූතාත්මය කීවේය.


    'තමුන් මොනවා වෙලාද මළේ?'
    'කොයි කාලෙද?'
    'අවුරුදු එකොළහකට කලින්'
    'මොනවා වෙලාද මැරුණේ?'
    'සුනාමියට අහුවෙලා'


    'ඊට පස්සේ මොනවද වුණේ?'
    'අතරමං වුණා වගේ ඔහේ පාවෙවී හිටියා. එහෙම පාවෙනකොට කපු මහත්තයා යාතිකා කරනකොට එතැනට ඇදිලා ආවා. ඒ දේවාලෙ පුද පූජා තියනවා. ඒවා තමයි අපේ ආහාර. එතැන දාලා යන්න හිතුණේ නෑ. බැඳිලා වගේ හිටියා. ඔහොම ඉන්න කොට තමයි දවසක් මුන් දෙන්න හිනා වෙවී ආවේ. කපු මහත්තයා මුගේ ඇඟට මාව බන්ධනය කළා. දැන් මුගේ ඇඟ ඇතුළට වෙලා ඉන්නවා. මූ ලවා පූජාවල් තියලා ඒවා ආහාරයට ගන්නවා. ඒ සතුටට සීනු ගගහා නටනවා. මූ පණ්ඩිතයා. මූ වරමෙන් වැඩ ගන්නෙ නෑ' යි භූතාත්මය කීවේය.
    'දැන් ඉතින් මෙයාව අතහැරලා ආයෙත් මාතරට යන්න'යි යෝගී වරයා කීවේය.


    'බෑ......... බෑ.......... මට යන්න බෑ'
    'මෙයා පණ්ඩිත ළමයෙක්. නමුත් උදවු කරන්න හැදුවත් මෙයා කැමැති නෑ.
    අකැමැති තැනක ඉඳලා වැඩක් නෑ. තමුන්ට මෙතැන හිමි නැහැ. උචිත නැහැ. මෙතැන ඉඳලා තමුන්ට සේවයක් කරන්න බෑ. තමුන් විශාල ශක්තියක් තියෙන කෙනෙක්. ඒ ශක්තියෙන් මිනිසුන්ට සේවයක් කරන්න පුළුවන්. ඒක විශාල පිනක්. තමුන් හොඳ කෙනෙක්. මෙයාව අතහැරලා තමුන්ට ගැළපෙන කෙනෙක් සොයාගෙන ගිහින් ඒ සේවය කරන්න.'

    'හොඳයි මහත්මයා මහත්මයාත් වැදගත් කෙනෙක්. මාව අගය කළා. මට හරි සතුටුයි. මම මේ මෝඩයව අතහැරලා යන්න කැමැතියි. ඒත් මට යන්න බැරි මේ බන්ධනය නිසයි මහත්තයා මේ බන්ධනයෙන් මාව නිදහස් කරන්නැ'යි භූතයා ඉල්ලීමක් කළේය.
    යෝගී වරයා ආධ්‍යාත්මීය ශක්තියෙන් බන්ධනය පුපුරුවා හැරියේය. රෝගියාගේ චක්‍ර අවදි කළේය.
    රාජිත නින්දෙන් ඇහැරුණාක් මෙන් අම්මේ මට මොකද වුණේ?' යි කියමින් සුවපත් වී වටපිට බැලීය.
     
    Last edited: