භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇති ආකාරයට අංග 5කින් යුක්ත දානය සත්පුරුෂ දානයකි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇති ආකාරයට අංග 5කින් යුක්ත දානය සත්පුරුෂ දානයකි. එනම් රූක්ෂ දෙයක් හෝ ප්‍රණීත දෙයක් හෝ දානයකට දෙන විට,

    1. සකස් කොට පිළිවෙළකට දෙයි.
    2. ගෞරවයෙන් දෙයි.
    3. සිය අතින් දෙයි.
    4. බැහැර නොකරන දෙයක් ලෙසින් (පරණ නොව ප්‍රයෝජනයට ගත හැකි අලුත් දෙයක්) දෙයි.
    5. ‘දෙන්නේ යම් සේ ද ලැබෙන්නේ එසේ ය.’ යන්න විශ්වාස කොට දෙයි.

    නම් එය සත්පුරුෂ දානයකි. එහි ආනිශංස ලැබෙන්නේ මේ අයුරිනි.

    ■ යම් යම් තැනක ඒ ඒ දානයෙහි විපාකය පහළ වෙයි ද ප්‍රණීත වූ බත් අනුභව කිරීමට, උදාර වූ වස්ත්‍ර හැඳීමට ඔහුගේ සිත නැමෙයි. උදාර වූ වාහනවලින් යන්නට ඔහුගේ සිත නැමෙයි. පංච කාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්නට ඔහුගේ සිත නැමෙයි.

    ■ ඔහුට යම් දරුවෝ, බිරින්දෑවරු, දාසයෝ, මෙහෙකරුවෝ, කම්කරුවෝ සිටිද්ද ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති වෙති. ඇහුම්කන් දීමට කන් යොමු කරති. කියන දේ තේරුම් ගැනීමට සිත පිහිටුවති.
    ඒ මක් නිසා ද යත්, සකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා ය.

    එහි දී අසත්පුරුෂ දානයේ අංගත්, එහි විපාකත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ අයුරිනි.

    “රූක්ෂ දෙයක් හෝ ප්‍රණීත දෙයක් දානයකට දෙයි නම් එය,

    1. නොසකස් කොට දෙයි.
    2. නොගරු කොට දෙයි.
    3. සිය අතින් නො දෙයි.
    4. බැහැරට දමන දෙයක් ලෙසින් දෙයි.
    5. ‘දෙන්නේ යම් සේ ද ලැබෙන්නේ එසේ ය’ යන්න විශ්වාස නො කොට දෙයි.

    යම් යම් තැනක ඒ ඒ දානයෙහි විපාකය පහළ වෙයි ද ප්‍රණීත වූ බත් අනුභව කිරීමට, උදාර වූ වස්ත්‍ර හැඳීමට, උදාර වූ වාහනවලින් යන්නට, පංච කාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්නට ඔහුගේ සිත නො නැමෙයි. ඔහුට යම් දරුවන් සිටිත් ද බිරින්දෑවරු සිටිත් ද දාසයෝ සිටිත් ද මෙහෙකරුවෝ සිටිත් ද කම්කරුවෝ සිටිත් ද ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති නො වෙති. ඇහුම්කන් දීමට කන් යොමු නො කරති. කියන දේ තේරුම් ගැනීමට සිත නො පිහිටුවති. ඒ මක් නිසා ද යත්, නොසකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා ය.