භාරතයෙන් පැමිණ ලාංකේය සංගීතය ආලෝකමත් කල ආර්. මුත්තුසාමි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,851
    113
    Colombo, Sri Lanka
    මධුර යාමේ සුව දේ සාමේ.............


    8OR1KVN.jpg



    මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකික සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සුවිශාල මෙහෙවරක් සිදු කල අග්‍රගණ්‍ය සංගීතවේදීන් රැසක් පිළිබඳව අපි අසා ඇත්තෙමු. වර්තමානයේ මෙන් සමාජ සහ ආර්ථික තත්ත්වය එතරම් දියුණුවකට පත් වී නොතිබූ පසුබිමක පවා ඔවුහු මෙරට සංගීත ක්ෂේත්‍රය අද දක්වා පැමිණි ගමන් මග පෝෂණය කිරීමට මිල කළ නොහැකි සේවයක් ඉටු කළෝය.

    විදෙස් රටක, එනම් අපේ අසල්වැසි මහා භාරතයේ උපත ලබා පසුකාලීන ව මෙරටට පැමිණ දශක ගණනාවක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ විශිෂ්ට ගණයේ සංගීත ශිල්පියකු ලෙස රාමායා මුත්තුසාමි, එසේත් නැත්නම් ඔබ අප කවුරුත් දන්නා ආර්. මුත්තුසාමි හැඳින්විය හැකි ය. මෙරටට පැමිණි දින පටන් සිය අභාවය දක්වා ම සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ඔහු පිළිබඳව යි මෙම ලිපිය.

    ඔහුගේ නිවැරදි නම ආර්. මුත්තුස්වාමි වන නමුත් මෙරට සාමාන්‍ය ජනවහරේ දී එය බොහෝ විට ‘මුත්තුසාමි’ යනුවෙන් භාවිත වන අයුරු දැක ගත හැකි ය.

    9csJOhQ.jpg

    චායරුපය - සරසවිය



    ළමා කාලය

    1926 වසරේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගර්කොවිල්හි දී උපත ලැබූ මුත්තුසාමිගේ පියා ඉසෙක්කි මුත්තු රාමයියා හෙවත් රාමයියා බගවතාර්ය විය. ඔහු දක්ෂ වයලින් වාදකයකු හා ගායකයකු ලෙස මහාරාජවරුන් හා ප්‍රභූන් අතර නමක් දිනා ගත් අයෙකි. මුත්තුසාමිගේ මව තංගම්මා ය.

    මුත්තුසාමි කවර පාසලක, කී වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා ද යන්න පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොමැත. පවුලේ එකම පිරිමි දරුවා වූ මුත්තුසාමිට කුඩා වියේදී ම වයලින් වාදනය පිළිබඳ ව ඉගැන්වීමට ඔහුගේ පියා කටයුතු කර තිබිණි. එහි ප්‍රතිපලයක් ලෙස වයස අවුරුදු දහය පමණ වන විට ඔහු වයලින් වාදනය මැනැවින් හදාරා තිබිණි.





    තරුණ කාලය

    පසු කලෙක තම උපන් නිවසින් පලා ගිය මුත්තුසාමි මදුරාසියේ තැනින් තැන ඇවිදිමින් කල් ගත කර ඇත. ඔහුගේ ඒ ගමන අවසන් වූයේ චිතල්කර් රාමචන්ද්‍රන් නම් ප්‍රකට ඉන්දීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයාගේ ආවතේවකරුවකු ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබීමෙනි. ඉන්සානියාත්, ස්ත්‍රී, අල්බේලා, අශාද් ආදී චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා වූ රාමචන්ද්‍රන්ගේ වාදක මණ්ඩලයට ආහාරපාන සැපයීමේ කටයුතුවල නිරත වෙමින් සිටි මුත්තුසාමි වාදක මණ්ඩලයේ විවේක කාලය තුළ සියලු දෙනාට හොරෙන් වයලීනය වාදනය කළේ ය. එය දුටු රාමචන්ද්‍රන් මුත්තුසාමිට උපකාර කළේ ය.

    PAEd2TC.jpg

    තරුණ මුත්තුසාමි – facebook.com/apsarasmohanraaj

    ශ්‍රී ලාංකික ව්‍යාපාරික එස්. එම්. නායගම් මදුරාසියේ චිත්‍රකලාය නමින් චිත්‍රාගාරයක් පිහිටුවමින් ‘කුමරගුරු’ නම් ද්‍රවිඩ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වුවත් එය නතර විය. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට පැමිණි නාරායන අයියර් හා එක් ව ඔහුගේ ප්‍රධාන සහායකයා ලෙසට කටයුතු කිරීමට මුත්තුසාමි යොමු කළේ නායගම් ය. මේ නිසා නායගම් ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ ඉන්දියාවේ නිෂ්පාදනය කරන විට එහි සංගීත අධ්‍යක්ෂ නාරයන අයියර්ගේ ප්‍රධාන සහායකයා හා වාද්‍ය මණ්ඩලයේ වයලීන් වාදකයා වීමේ අවස්ථාව මුත්තුසාමිට ලැබිණ.




    ලංකාවට පැමිණීම හා සංගීත ගමන් මග

    නායගම්ගේ ඇරියුමෙන් ලංකාවට පැමිණි මුත්තුසාමිට ග්‍රැමෆෝන් හා ගුවන්විදුලි පටිගත කිරීම්වලට සහාය වීමට ඉඩ අවස්ථාව ලැබුණේ බී. එස්. පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන යන සංගීතඥයන් නිසා ය. සුන්දර සවුන්ඩ් නම් චිත්‍රාගාරය පිහිටුවා එහි ශබ්ද පටිගත කිරීම් හා ගීත පටිගත කිරීම් සඳහා නිත්‍ය වාදක මණ්ඩලයක් ඇති කිරීමේ කාර්යභාරය නායගම් පැවරුවේ මුත්තුසාමිට ය. ඒ අනුව නායගම් නිෂ්පාදනය කළ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට පැමිණි නාරායන අයියර්ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වූ මුත්තුසාමි සෙසු වාද්‍ය ශිල්පීන් ලෙස එම්. කේ. රොක්සාමි සහ ආර් චන්ද්‍රසේන සහභාගි කර ගත්තේ ය. පසුව එම සංගීතඥයන් දෙදෙනා ද චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරු ලෙස විශිෂ්ට දස්කම් පෑහ.


    HRcflN8.jpg

    මුත්තුසාමි ගැන පළ වූ ලිපියක්- facebook.com/apsarasmohanraaj


    1953 වසරේ දී ‘ප්‍රේම තරංගය’ නම් සිංහල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා එහි අධ්‍යක්ෂවරයා වූ ගුණරත්නම්, මුත්තුසාමි තෝරා ගත් අතර එය ඔහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ පළමු සංගීත අධ්‍යක්ෂණය විය. එම චිත්‍රපටය සඳහා ගීත ගායනයට ධර්මදාස වල්පොළ සහ ලතා වල්පොළ යුවල ද එක් වූ අතර ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ ද මුත්තුසාමි ය.

    8GWlEMf.jpg




    ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ වාදක මණ්ඩල ප්‍රධානියා​

    ප්‍රේම තරගය චිත්‍රපටියෙන් පසුව අහංකාර ස්ත්‍රී (1953), මාතලන් (1955), සංදේශය (1961), අල්ලපු ගෙදර සහ චණ්ඩියා (1965) ආදී චිත්‍රපට 225කට ආසන්න සංඛ්‍යාවට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ මුත්තුසාමි ධර්මදාස සහ ලතා වල්පොල, මොහිදීන් බෙග්, ජේ.ඒ.මිල්ටන් පෙරේරා, එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, ජී.එස්.බී. රාණි වැනි ගායන ශිල්පින් සහ ශිල්පිනියන් රැසක් සමග ඉතා සමීප ව කටයුතු කළේ ය. චිත්‍රපට විශාල ප්‍රමාණයකට සංගීත අධ්‍යක්ෂණය කර රට පුරා ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිටි මුත්තුසාමි 1971 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ වාදක මණ්ඩලයේ ප්‍රධානියා බවට පත්ව වූ අතර ඔහු 1981 දී එයින් විශ්‍රාම ගත්තේ ය.

    L1l9R3i.jpg

    මුත්තුසාමි මදුරාසියේ දී (අසුන්ගෙන)/ ගාන්ධර්ව අපදානය 2- මහාචාර්‍ය සුනිල් ආරියරත්න

    රම්‍යලතා චිත්‍රපටය මෙරට චිත්‍රපට ඉතිහාසයේ ප්‍රථම වරට වැඩි ම වාදක මණ්ඩලයක් යොදා ගත් චිත්‍රපටය වූ අතර එහි ගෞරවය ද මුත්තුසාමි සතු ය. මේ සඳහා යොදා ගත් සාමාජිකයන් ගණන 33කි. වාද්‍ය භාණ්ඩ වැඩි ම ගණනක් වාදනය කළ හැකි ‘කී බෝඩ්’ මුල්වරට ලංකාවට රැගෙන ආවේ චිත්‍රපට නිෂ්පාදක විජේපාල හෙට්ටිආරච්චි වන අතර එය මුලින් ම අත්හදා බැලීමට ලැබුණේ ද මුත්තුසාමිට ය. මේ කීබෝඩයෙන් මුත්තුසාමි ප්‍රථමයෙන් ම වාදනය කෙට ඇත්තේ ‘සුදට සුදේ වලාකුළයි’ ගීතයේ අනුවාදනය වන අතර ‘ඔක්කොම හරි’ චිත්‍රපටයේ ගීත හා පසුබිම් වාදන සඳහා ද මුත්තුසාමි මෙම වාද්‍ය භාණ්ඩ භාවිත කර ඇත.

    සංගීත අධ්‍යක්ෂවරයකු පමණක් නොව දක්ෂ ගායන ශිල්පියකු ද වූ මුත්තුසාමි සුජාතා අත්තනායක සමග එක්ව ‘සිතක මහිම’ චිත්‍රපටය සඳහා ගායනා කළ ‘මදුර යාමේ’ ගීතය රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. ගිලුණා සෝක ගඟේ, ඔබ පානා ඔය බැල්මේ, මගෙ දෑසම පිය වී එන්නේ, ළිඳ තුළ මැදි වු මැඩියා යන ගීත ද ඔහු ගායනා කර ඇත.


    සිංහල චිත්‍රපට සංගීතය පිළිබඳ ව ඔහු කොතරම් ඇල්මක් දැක්වූයේද යත් වරක් මුත්තුසාමි මෙසේ ප්‍රකාශ කර තිබුණි.


    “මගේ අදහස ලංකාවට සංගීතයෙන් කිසියම් සේවයක් සිදු කිරීමට යි. සිංහලයාට තමාගේම භාෂාවක්, ඇඳුම්, කෑම යනාදි සියල්ල තිබිය දී තමාගේ කිව හැකි සංගීතයක් නැති වීම මට මහත් කනගාටුවකි. මාතලන් චිත්‍රපටයේ ‘දිනිදා උදයේ’, ‘උපත ලබා මේ ලෝකේ’, ‘සුභ නැකතින්’, සිරියලතා චිත්‍රපටයේ ‘ප්‍රීති හර්දේ පුරා’ විරිදුවලින් ද ප්‍රබන්ධ කළ ඒවා ය. එසේ තනු ප්‍රබන්ධ කිරීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටුයි. එම නිසා සිංහල සංගීතය කියා එකක් ඇති කිරීමට පුළුවන් බව මගේ අදහසයි,”


    සම්මාන


    JPt3Alk.jpg

    ලැබුණු සම්මානයක් – .facebook.com/apsarasmohanraaj

    මෙරටට පැමිණ සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සේවයට ගරු කිරීමක් වශයෙන් 1956 වසරේ දී එවකට අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල ඔහුට මෙරට පුරවැසිභාවය පිරිනැමී ය. වැඩි ම චිත්‍රපට සංඛ්‍යාවක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කිරීමට පිදෙන උපහාරයක් ලෙස 1974 වසරේදී ඔහුට ‘දීපශිකා’ සම්මානය හිමි විය. තවත් දෙස් විදෙස් සම්මාන ගණනාවකින් ද පිදුම් ලැබූ ඔහු සිංහල සිනමාවට සිදු කළ මෙහෙවර වෙනුවෙන් එක්වරක් සුප්‍රසිද්ධ OCIC ඇගයීමට පවා ලක් විය.



    පවුල් ජීවිතය

    pEd9IB0.jpg

    මුත්තුසාමි සහ නීලියා යුවළ - චායරුපය සරසවිය



    1961 දී මුත්තුසාමිට සිය අනාගත බිරිය හමු වන්නේ ද සංගීත ක්ෂේත්‍රයේ කටයුතුවල දී ම විම විශේෂත්වයකි. ඇය බමුණුකුල ආරච්චිගේ දෝන නීලියා පෙරේරා වූ අතර ඇගේ සොහොයුරා වූ හෙන්රි පෙරේරා ගැයූ ‘මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයිනේ ඔයා’ ගීතයේ තනු නිර්මාණය කළේ මුත්තුසාමි ය.

    rSX9hNK.jpg

    චායරුපය - සරසවිය



    මුත්තුසාමි සංගීත අධ්‍යක්ෂණය කළ ‘කුරුලු බැද්ද’ ගීත පටිගත කිරීම බැලීමට නීලියා සිය පියා හා සොහොයුරා සමඟ ගිය අතර එවකට ඇය කොළඹ විසාඛා විද්‍යාලයේ සිසුවියකි.

    මුත්තුසාමිට නීලියා පිළිබඳ සිතක් ඇති වූ අතර මාපියන්ගේ විරෝධතා මැද මුත්තුසාමි හා නීලියා අතර සම්බන්ධය 1961 වසරේ දී විවාහයකින් කෙළවර විය. මුත්තුසාමිට වඩා නීලියා වසර 26කින් බාල විය. මුත්තුසාමි යුවළගේ වැඩිමහල් පුතා මෝහන්රාජ් මුත්තුසාමි වූ අතර පසු ව ඔහු ද සිය පියාගේ අඩිපාරේ යමින් ‘අප්සරාස්’ නම් සංගීත කණ්ඩායමක් පිහිටැවූවේය. ඔහු පසු කලෙක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු වූයේ වීර උදාර, උතුර දකුණ, රජ කෙල්ලෝ, ලව් ඉන් බැංකොක් ආදී චිත්‍රපටවලට දායකත්වය ලබා දෙමිනි.

    නන්දා මාලිනී ගයන ළසොවින් හඬන්නී, ගොවිඳුනි මේ සිරි යහනෙ, සඳට නිගා දී සඳ අමනාපෙන් ආදී ගීත වල සංගීත නිර්මාපකයා ද ඔහු ය.





    අභාවය​

    පසු කලෙකදී ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඔහු ලවා සේවය ලබා ගෙන නිසි ලෙස මුදල් නොගෙවා මග හැරි අවස්ථා ද විය. මෙවැනි කටයුතුවලින් පීඩාවට පත් ඔහුට දියවැඩියා රෝගය වැලඳිණි. ඔහු පත් ව ඇති තත්ත්වය දුටු රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඔහුට උපකාර කළ අතර විජයගේ හදිසි මරණය මුත්තුසාමි තුළ විශාල කම්පාවක් ඇති කළේ ය.

    ඒ නිසා ම යටපත් ව තිබූ දියවැඩියා රෝගය උත්සන්න විය. ගායන ශිල්පියකු ලෙස මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදු කළ සංගීතඥ මුත්තුසාමි 1988 වසරේ ජූනි මස 27 වැනි දින අභාවප්‍රාප්ත විය.

    Il2c8uP.jpg

    මුත්තුසාමි යුවළගේ වැඩිමහල් පුතා මෝහන්රාජ් මුත්තුසාමි -acebook.com/apsarasmohanraaj



    ආර්. මුත්තුසාමි සමග සුජාතා පෙරේරා ගැයූ ගීයක්​






    මූලාශ්‍ර:
    ගාන්ධර්ව අපදානය 2 - මහාචාර්ය සුනිල් ආරියරත්න
    ප්‍රේම තරඟය බැලූ සර් ජෝන්ගෙන් පුරවැසිකම් ලැබූ මුත්තුසාමි- ඒ.ඩී.රන්ජිත් කුමාර
    රෝර් මීඩියා
    Facebook- The Cinema People
    Facebook- පැරැණි සිංහල ගී රසික හවුල
    Sarasaviya. lk
    infosys.lib.vpa.ac.lk
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    වටී මචං...👍👍
    ලස්සන සිංදු ටිකක් කරපු වැඩ කරුවෙක් තමයි...

    "අල්ලපු ගෙදර" ෆිලුමෙ සංගීතය කරා කියන්නෙ ලේසි නෑ...
    ඒ ෆිලුමෙ මරු සිංදු ටිකක් තියෙනව... සිංදු වළියකුත් තියෙනව...