මකරා සහ මම

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මකරා සහ මම

    උපන් දා පටන් විවිද දේශපාලනඥයන්ගේ සුරංගනා කතා ඇසීම නිසා ලංකාවේ වැසියෝ සුරංගනා කතා ඇසීමට මහත් රුචිකත්වයක් දක්වන බව කවුරුත් දන්නා දෙයකි.. මමද ලංකාවේ වැසියෙක් නිසා එම තත්ත්වය මටද එලෙසම පොදුවේ බලපෑ බව කීමට කැමැත්තෙමි.. එම නිසා දිවා රෑ නැතුව සුරංගනා කතා පොත් බැලීම නිසා මගේ මනස ද තරමක් විකල් තත්වයේ පැවතුන අතර සුරංගනා කතා වල වැඩියෙන්ම ඉන්නේ ගම් වලට වැදී ගෙවල් දොරවල් ගිණි තබා විනාස කරන ගිණි පිඹින කඩප්පුලි ගිණි මකරුන් නිසා මටද ගිණි මකරකු වීමට ආසාවක් ඇති විය.. එහෙත් එම ආසාව කෙදිනක වත් ඉටු නොවන බව දන්නා නිසා පාඩුවේ සිටියෙමි..

    දිනක් අපේ නගරයටද ගිණි පිඹින මකරකු කඩාපාත් වී..ගම් බිම් වනසමින් ගිණි තබමින් පිස්සු නටන බව මට හදිසියේම ආරංචි විය.. නින්දේ සිටි මමද ඇඳෙන් පැණ ඇඳ පාමුල වැටී තිබූ සරමද අහුලා නැවත ඇඳගෙන හන්දියට යන විට මකරා සිටියේ හන්දියේ සෝමේ අයියාගේ චයිනීස් හෝටලය ආසන්නයේ යකා නටමිනි.. මකරාට නහුතෙට තද වෙලා අමු සිංහලෙන් බනි...

    " යකෝ මුං මොකුන්ද මේ බෝඩ් වල ඇඳලා තියෙන්නේ.. චයිනීස් හොටේල් කියලා බෝඩ් දාලා මකරු කියලා හැකරැල්ලෝ පත්තෑයෝ දියබරි වගේ උන්ගේ රූප ඇඳලා.. මකරුන්ට අපහාස කරන්ඩ හිතුවා මදි.. හිටපියවු තොපිට"

    කියා බූස් බූස් ගා පිඹින ගිණි දලු වලින් කඩේ බෝඩ් එක පවා දැවී හලු වී යයි..

    මකරාගේ මෙම කරදරකාරී හැසිරීම රටේ ජනාධිපති තුමා පුවත්පත් වලින් දැකීමේ ප්රතිඑලයක් ලෙස මෙම මකරා අල්ලා ජනාධිපති මන්දිරයට ගෙන එන අයෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවට එතුමා විසින් ෆේස් බුක් පණිවිඩයක්ද එවා තිබුණි..

    මෙම පණිවුඩය දැක රට පුරා සිටින විවිධ අයවලුන් සහ විවිධ පාර්ශවයන් මකරා අල්ලා දී ඇතෙක් බරට වස්තුව ලබාගනිමී යන තෘෂ්ණා භරිත සිතුවිල්ල පෙරදැරිව මකරා ඇල්ලීමට ගොස් විවිධ කරදර පීඩාවන්ට ගොදුරු විය..

    ඔනෙම පොරක් අපට සැරෙන්ඩර් කියා මකරා ඇල්ලීමට ගිය දාවිත් මාමා මකරා අසලට ගොස් මස් කට්ටක් විසි කර මකරා ඉජොහ් ඉජොහ් කියා හීලෑ කිරීමට ගොස් ආපසු ගෙදර ආවේ ගමේ මල් කැකුල මිලින වුනා කියා ලියූ බැනර් එකක්ද සමග පෙට්ටියකිනි..

    මේ ගමෙන් බාගයක් පිරිමි අල්ලපු මට මකරු මොකුන්ද කියා බුරිය පේන්නට රතු මල්ලොකු චීත්තයක් ඇඳගෙන උකුල පද්ද පද්ද මකරා ඉන්නා ඉසවුවට ගිය ඩයනා අක්කා අධික පිලිස්සුම් තුවාල සහිතව තවමත් දැඩි සත්කාර ඒකකයේ බාත් එකේ දාලාය..

    " ඕකට හරියන්නේ අර ධනුෂ්ක කියන හාදයා තමා.. මිනිහා දක්සයා මකරු දහයක් හරි අල්ලයි එක පාරින්.. "

    කියලා කවුද අලුගුත්තේරුවෙක් මට කෙලින්නට හිතාගෙන ජනාධිපති තුමාට පණිවුඩයක් යැවීම නිසා එතුමා මට

    " ධනුෂ්ක වහාම මකරා අල්ලනු නැතහොත් තොපගේ හිස ගසා දමමි "

    කියා මගේ හෑන්ඩ් පෝන් එකට මැසේජ් කර තිබු අතර මාස ගානකින් වතුර පොදක් නොදමා ඇති මගේ හිස ගසා දැමීම මම විසින් වත් නොකරන දෙයක් නිසා එය ජනාධිපති තුමා කලත් එතුමාද සිහි මූර්ජා විය හැකි බැවින් මම ඒ දුෂ්කර කටයුත්ත භාර ගතිමි...

    සුරංගනා කතා වල මකරු අල්ලන්නට යන පොර අඳින ඇඳුමක් මට නැති වුවත් හම්පඩ ඩෙනිම් කලිසමක් ඇඳගෙන සුපර් මෑන් අඳිනවා වගේ ලංකට් එකක්ද ඩෙනිමට උඩින් ඇඳගෙන පිටෙන් පහලට හුලඟේ ලෙලදෙන්නට අම්මාගේ චීත්ත දියරෙද්ද බෙල්ලේ බැඳගෙන විජ විජහට මකරා ඉන්න ඉසවුවට ගිය මම දන්න සෙල්ලම් දමා මකරා මේච්චල් කරගන්නට කල උත්සාහයන් සියල්ල වතුරේ ගියේය.. මා දැරූ සියලු උත්සාහයන් නිසා සිදුවුයේ මකරා පිඹින ගිණිදලු වලින් මගේ යට ඇඳුම ඇරෙන්නට අනිත් සියලු ඇඳුම් පිච්චී යාම පමනකි.. යට ඇඳුම පිච්චුනේ නැත්තේ ඒක සෑහෙන කාලයකින් නොසේදූ නිසාය...

    මෙසේ මකරා ඇල්ලිමේ නිරතව විඩාවට පත්ව මකරාට වච්චිල් කියා සටන් විරාමයක් ඉල්ලාගෙන බෝක්කුවක් උඩට වී ඉඳගෙනසිටි මගේ පිහිටට එතනට පැමිනි දේවතාවිය වූයේ වැඩ ඇරී ගෙදර එමින් සිටි මගේ බිරිඳය.. .මෙච්චර තඩි මකරෙක් මට එහා පැත්තේ ගිනි දලු පිඹ පිඹ සිටියද ඇයට ඌ පෙනුනේ නැත .. පෙනුනේ මම ලංකට් එක පිටින් පාරේ හිටපු එකය..

    " මොකද තමුසේ මේ බාගෙට හෙලුවෙන් ටවුම මැද කොහේ හරි ගේකට රිංගන්න ගිහින් ගෙදර එවුන්ට අහු වෙලා දුවගෙන ආවා නේද.... ඇත්ත කියනවා... මම මේ හොඳින් කියන්නේ..."

    " නැ නෑ මැණිකේ එහෙම එකක් නෙවේ ආං අර මකරා අල්ලන්ඩ කියලා රාජ අණක් මට ඇවිත් තියනවා මට නං බෑ ඌව අල්ලන්ඩ..."

    " හපෝ තමුසේ මහ ලොකු කවුන්සලර් නේද .. ඔය හිකනලා අල්ලන්න බැරිද... ඉන්නවා මම ඕකව අල්ලලා ගේන්න.. තියා ගන්නවා මෙන්න මේ හෑන්ඩ් බෑග් එක..ඕකේ තක්කාලි වගේකුයි බිත්තර වගේකුයි ඇති.. ඒවා තලන්ඩ එපා.."

    කියා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ ඊතල මිටිය වගේ කෙලින් අතට හිටවා ඇති මුරුංගා කරල් සහ කොල එලියට පැනපූ ලීක්ස් ගස් ඇති ඇයගේ හෑන්ඩ් බෑග් එක මගේ අතට දී මකරා ලඟට ගියේය..

    ක්ෂණික විපත් දැක ගැනීමට නොහැකි ආකාරයේ සංවේදී ජනක හදවතක් හිමි මා බිරිඳට මේ සිදුවන විපත දරා ගැනීමට නොහැකිව දුවගෙන දුවගෙන ගෙදර ගොස් මල්ශාලාවේ කිත්සිරි අයියාට ටෙලිපෝනයෙන් කතා කොට හවසට පොඩි වැඩක් තියෙනවා කියා ඉන්පසු ඇන්ටන් ජෝන්ස් මහත්මයාට කතාකර සින්දුවක් සෑදීමට අවශ්ය වන පරිදි බිරිඳගේ නම ලිපිනය අද දිනය ඇය පැමිණි බස් එකේ වර්ගය සහ නොම්බරය ආදී විස්තරද ලබා දුන්නේ මකරාට අසුවී වැනසුන තරුණියක ගැන සින්දුවක් ලිවීමට පහසු වීමටය..

    ගත වූයේ පැය බාගයක් පමණි.. පාර දෙසින් බිරිඳගේ කටහඬ සහ තවත් පිරිමි කටහඬක් ඇසුනි..

    " ඩ්රැගන් අයියා මේ තමා අපේ ගේ .. අයියා කලින් ඇවිත් නැතුවැති"

    " ඔවු නංගි... මේ හාල් ගෝනිය කොහෙන්ද තියන්නේ."

    " ආ ඕක කුස්සියෙන් තියන්න ඩ්රැගන් අයියා"

    මල කෙලියකි... මකරා අපේ ගෑණිට හීලෑ වෙලා විතරක් නොව නාට්ටාමියකු සේ බඩු මලුද කරගහගෙන අපේ ගෙදර ඇවිත්ය.. මේ සද්ද බද්දයට බිරිඳගේ අම්මා හෙවත් මගේ නැන්දම්මා ඉස්තෝප්පුවට ආවාය.. බිරිඳ මකරා අමතා

    " ඩ්රැගන් අයියා මේ මගේ අම්මා"

    කියත්ම මකරා නාය යන ඉඩමක ඇති පොල් ගහක් පෙරලෙන්නා වගේ නැන්දම්මාගේ පය පාමුල පතබෑවී දෙපා වැන්දේය..

    " අනේ කාගේ උනත් දරුවෙක්නේ මගේ ආයුසත් අරන් ජීවත් වෙයං "

    කියා මා දෙස බලා ගස්සමින්

    " කොහෙද මේ ගෙවල් වල ඉන්න එවුන්ට ගුණයක් දහමක් තේරෙන එකක්යෑ කීවාය..

    මකරා ගෙදරට පැමිණ අදට සති දෙකකි...

    දැන් ගෙදර තත්වය සමපූර්ණයෙන්ම වෙනස්ය... බිරිඳගේ බොඩී ගාඩ් අර කුප්ප මකරාය... හෙලුවෙන් සිටී මකරා දැන් අඳින්නේ මගේ සරම් ටීෂර්ට් ය.. මේ සැරේ පඩි ගත්තාම කඩවත කැන්ඩි එකට ගොස් මකරාට අලුත් ඇඳුම් අරන් දෙන්නටද බිරිඳ පොරොන්දු වී ඇත..

    බස් එකේදී බිරිඳට හේත්තුව දමන්නට ආ එවුන් දෙන්නෙකුට මකරා ලවුවා ගිණි පිඹ උන් දෙන්නා අලු කර දැමු බව බිරිඳ මා ඉදිරියේ කියන්නේ උත්කර්ෂයෙනි..

    වෙනදා වී තම්බන්නට දහ අතේ ඇවිදලා දර එකතු කරන නැන්දම්මා දැන් වී තම්බන්නේ දර වලින් නොවේ... ලිප ලඟින් මකරා බුදි කරන නැන්දම්මා ලිප උඩින් වී හැලිය තියා ඌට ඇහෙන්නට වෙස්සන්තර ජාතකය කියවයි.. වෙස්සන්තර කතාව ඇසීම නිසා දුකටත් නැන්දම්මාගේ ටකරං කටහඬ අසාගෙන ඉන්නට අපහසු නිසා ආතතියටත් පත්ව මකරා සුසුම් පිට කරන වීට නැගෙන ගිණි දලු වලින් ගාණට වී හැලිය තැම්බෙයි...

    දැන් බිරිඳ වැඩට යන්නේ නැත.. ඇය නිවසට වී අනුන්ගේ ගෙවල් ගිණි තැබීම් ආදී පාතාලේ කොන්ත්රාත් බාරගෙන මකරා ලවා ඒවා කර මුදල් උපයයි..

    බිරිඳගේ ගමේ කොත්තු කඩයක් කරමින් සිටි අයියාද කඩේ වසා දමා පැමිණ අපේ ගේ ලඟ කඩයක් හදාගෙන මකරාගේ ගිණිදලු වලින් මස් පුච්චා විකුනන බාබකිවු සීන් එකක් අරඹා ඇත..

    දවසක් නැන්දම්මාගේ ඇහැට රොඩ්ඩක් වැටී අනේ දුවේ මේ ඇහැට පිඹහන් කී විට වැඩි ලකුණු රැස් කර ගන්නට බිරිඳට කලින් එතනට ගිය මකරා ඇයගේ ඇහැට පිඹිම නිසා ගිණි දලු වලට පිච්චී ඇසද අන්ධ විය..

    අපේ වත්තේ ජම්බු ගස් වල ඕසෙට ජම්බු හැදුනද කිසිම දිනක මකරාට එම ජම්බූ කන්නට බැරි වන්නේ ජම්බු ගෙඩියේ කූඹි ටික ඉවත් කරන්නට ජම්බු ගෙඩියට පිඹීම නිසා ගිණි දලු වලට ජම්බුව පිච්චී යාම නිසාය..

    අල්ලපු ගෙදර මල්ලිකා අක්කාගෙන් පසුගියදා මකරා යාලු වෙන්නට අහලා ඇත.. එහෙත් ඇය

    " සොරි ඩ්රැගන් අපි යාලුවෝ වගේ ඉමු "

    කීම නිසා ප්රේම වේදනාවෙන් ඇඳේ උඩුබැල්ලෙන් වැතිරී මකරා විසින් හෙලන සුසුමින් මතු වන ගිණි දැල්ලට කාමරේ නෙට් එක සිවිලිම වහලය ආදියද පිච්චී ඇත..

    ජනාධීපති තුමා කීප වතාවක්ම

    " දනුෂ්කයෝ ඔය මකරා ඇල්ලුවා නං ගෙනත් දීපිය ඕකාව චීනෙට තෑග්ගක් විදිහට දෙන්ඩ "

    කියා මට පණිවුඩ එවා ඇත.. එහෙත් බිරිඳ කියන්නේ

    " ඩ්රැගන් අයියව දෙන්න බෑ තමුසේ ඕන්නං යනවා එහේ"
    කීයාය.

    නැන්දම්මා කියන්නේ

    "ජැගැං පුතා මෙහෙ උන්නාවේ උඹට ඕන්නං පලයං කියාය.. "

    ගමේ කොල්ලන් කියන්නේ

    " ඩ්රැගන් අයියා ගියොත් අපට බයිට් එකට බාබකිවු හදන්ඩ ගින්දර නැති වෙනවා ඒක නිසා අපට ඩ්රැගන් අයියා ඕන.. ධනුෂ්ක අයියා එපා කියාය..."

    අවසානයේදී මකරා මමයි කියා ජනාධිපති තුමාට බාර වීමට මම තීරණය කලෙමි.. මේ ලියන මොහොතේද මකරා කොටු කොටු සරමක් ඇඳගෙන බෝංචි කඩමින් දවල් කෑම උයන්නට උදවූ කරමින් සිටී...

    (ධනුෂ්ක කාංචන ජයවීර)​
     
    Last edited:

    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    .ඉස්කූටි සහ සුදු චූටිලා.......😂😂

    ඉස්සර නං අපේ රටේ මිනිසුන් කිසිම දේකට බය නැත.. ඒත් ඉතිං හොල්මනකට හෝ යකෙකුට නං නම ඇසූ පමණින් දෙ කන්සෙන් දාඩිය දමා සිරුර කිලිපොලා යන තරමටම මිනිස්සුන් බය බව අපි කවුරුත් දනිමු...

    " ආං අර ඉහල ගෙදර සොපියගේ කෙල්ලට යකෙක් වැහිලා "

    කියා කීවොත් ආයේ ඉතිං මුලු ගමේම එවුන්ගේ ඇඟේ මයිල් කම්බි කූරු වගේ කෙලින් වේ...හවස හයෙන් පස්සේ සොපියාගේ කෙල්ල ඉන්න ගේ හතරමායිමෙන් තියා ඒකි ඉන්න ගෙදර ලඟ පාරෙන් වත් කිසිවෙක් නොයන්නේ ඒ බයටමය..

    ඒ ඉස්සරය..

    එහෙත් දැන් කාලයේදී නං ඒ පරන යක්කුන් ගහපු බව ඇහුනාම බය වෙන සීන් කැලේය.. දැන් කාලේ නං..

    " ආං අර උඩහ ගෙදර කෙල්ලෙක් ඉස්කූටියක් අරං "

    යැයි කියන ආරංචිය ගම පුරා ලැවු ගින්නක් සේ පැතිරී යන්නේ මුලු ගමම භීතියට පත් කරලමිනි..
    එම ආරංචිය කන වැකෙත්ම බත් කමින් සිටින අයගේ අතින් බත් පිඟන් බිම අතහැරී යයි...
    වතුර බොන අයගේ වතුර පිටඋගුරේ යයි..
    මවු වරු වැලපෙමින් සිය දරුවන් ලෙහි හොවාගනිති..
    සියලු සත්වයන්ම ජීවිතයට ඇලුම් කරන බව පසක් කරමින් මිනිසුන් දේව රූප ලඟ වැටී යදිති..
    පියවරු සිය පවුලේ අයගේ කේන්දර කොපි රැගෙන ගුරුන්නාන්සේ හමු වී මාරක අපල ඇත්දැයි පරීක්ශා කර බලති..
    මහලු දෙමවුපියෝ සිය අන්තිම කැමැති පත්‍ර ලියා තබති...
    නිතර නිතර රාත්‍රියට උලමාගේ කෑගැසීම් ඇසෙන විට මිනිස්සු ස්කූටි කෙල්ල මතක් වී මරණ භයෙන් තැති ගනිති...
    මෙතෙක් දවස් කඩුල්ලෙන් පනිනවා දකිනකොටම කුනුහරපෙන් බැන එලවගන්නා රක්ශන විකුනන ටයි දාපු මහත්තයාට බලෙන්ම එන්ඩ කියා තමන්ගේ මුලු පවුලටම ජීවිත රක්ෂන දමා ගනිති..

    කෙල්ල ස්කූටිය ගැනීමත් සමගම කැලෑව තුල අඩිපාරවල් පාවිච්චිය වැඩිවන අතර මහ පාරවල් පාලු වී යයි..
    ගැමියන් ලඳු කැලෑ එලි පෙහෙලි කරගෙන කකුලේ කටු ඇනගෙන වුවද පාරෙන් නොයා කැලෙන් යන්නේ මහ පාරේ යන ස්කූටි කෙල්ලගෙන් සිය පණ කෙන්ද රැකගැනීමටය...
    මොනම උවමනාවකට හෝ මහ පාරට යන්නට සිදු උනොත් ඔවුන් අයියනායක දෙවියන් ඉදිරියේ කොල අත්තක් එල්ලා ස්කූටි කෙල්ලන් තමන් ඉදිරියට නොඑවන මෙන් දෙවියන්ට කන්නලවු කර බාරයක්ද වෙයි....
    ඉස්සර මහ පාරේ යන ගැමියෙකුට තවත් ගැමියෙක් හමු වුන විට

    " මල්ලියේ බලාගෙන පලයං ඔය පැත්තේ තනි අලියා හිටියලු"

    කීවද දැන් කියන්නේ

    " මල්ලියේ ඕං අර කෙල්ල ඉස්කූටිය පැදං උඩහට ගියා මෙලහට ආපහු එනවා ඇති... පරිස්සමෙන් පලයං " කියාය..

    පාරේ යන විට තනි අලියා හෝ වලහා හෝ ඉස්සරහට ආවොත් මොන සිල්පයක් දාලා හෝ උගෙන් බේරීමට හැකි වන නමුත් ස්කූටි පදින කෙල්ලෙක් ඉස්සරහට ආවොත් කිසිසේත්ම ජීවිත අවදානමෙන් මිදීමට නොහැකි බව දන්නා ගැමියන් ඇය තමන් ඉදිරියට බයිසිකලෙන් එනවා දුර තියා දකින විටම අසල ඇති විශාල ගස් වලට නැග සිය ජීවිතය බේරාගනිති.. ඉස්සර කාලේ මවු වරු දරුවා පාසැල් යනවිට හිස අතගා

    " මයෙ පුතේ ඉස්කෝලේ ඇරිලා පරෙස්සමට වරෙං.. තන්නාසි බිල්ලෝ ඉන්නවා .දන්නේ නැති අය අඬගැහුවට යන්න එපා ටොපි දුන්නට කන්න එපා " කී නමුත් දැන්

    " මයෙ පුතේ පාරේ එනකොට ඉස්කූටියක් පැදන් අක්කා කෙනෙක් උඹේ පැත්තට එනවා දැක්කොත් කැලේට හරි පැනලා බේරියං මයෙ අම්මා කියා අවවාද දෙන්නේ ඉස්කූටි නංගිලාගේ බයිසිකල් පැදිල්ල ඒ තරං ශුවර් නිසාය..

    ඉස්කූටි පදින නංගිලාගේ ගැම්ම රුසියාවේ ගුවන් යානා පදවන කාන්තාවන්ට වත් නැත.. වටපිට නොබලා ඉදිරියටම යන ඇයට මිහිපිට ඇති කිසිම වස්තුවක් බාදාවක් නොවේ.. තාප්ප ගස් ගල් කඳුවැටි නිම්න ආදී කිසිවකට ඇයගේ ගමන නවතා ලිය නොහැක.. ඇයට ඕනෑ පරිදි පාර පුරා ගමන් කර තමන්ට කැමති පැත්තකට එක වරම හැරවීම මගින් සිය එඩිතර කම හුවා දක්වන ස්කූටි නංගිලාගේ පණ කෙන්ද රැකෙන්නේ අනිත් වාහන වල බ්‍රේක් පද්ධතියට පින් සිදු වන්නටය... බයිසිකලේ හැඬල් එකේ ජාති ජාති බොත්තං රැසක් තිවුනද පදින නංගිලාට ඒවා අදාලම නැත.. එක නංගි කෙනෙකුගෙන් දිනක් මා

    " ඔය බයිසිකලේ පදින්න අමාරුයි ද" කියා ඇසූවිට ඇගේ පිලිතුර වූයේ..

    " අපෝ නෑ අයියා මේ බොත්තම ඔබලා ඉස්ටාට් කොරලා මේ බටේ ඔහෙක් කොරලා අඹරපුවාම හෝ ගාලා යනවා.. නවත්තන්න ඕනේ උනාම මේ අඬු දෙක මෙහෙක් කොරලා මිරිකනවා එච්චරයි "
    කියාය.. තවත් නංගි කෙනෙකුගෙන් පොලිස් රාලහාමි කෙනෙක්
    " නෝනා සිග්නල් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි බයිසිකලේ පදින වෙලාවට කියා ඇසූවිට

    " අනේ රාලහාමි උදේට කොහේ හරි බයික් එකේ යනකොට නං ඉතිං සිග්නල් පාවිච්චි කරනවා... ඒත් බයිසිකලේ පදින හැම වෙලාවෙම දත් මදින්න කොහෙද වෙලාවක් "
    කියාය..

    සාමාන්යයෙන් ඉස්සර කාලේ රිය අනතුරක් සිදු වන්නට නම් මහ පාරේ ගමන් කල යුතු වන අතර අද කාලයේ ස්කූටි පදින නංගිලාට පින් සිදු වන්නට ඔබට මේ පෘතුවි ගෝලය තුල ඕනෑම ස්ථානයකදී ස්කූටියකට යට වීමේ සුවිශේෂී අවස්තාව උදාවේ.. ස්කූටි පදින නංගිලාට යමෙකු යට කිරීමේදී එම තැනැත්තා සිටින ස්තානය කිසි සේත්ම අදාල නොවේ.. ඔබ සිටින්නේ සාලයේ ටීවී නරඹමින් වුවද ඇය පාරෙන් පැන ඔබේ දොර කඩාගෙන සාලය දිගේ පැමින ඔබව යට කරනු ඇත.. ඔබ සිටිනුයේ ඔබේ ලිඳ ඉසිමින් ලිඳ පත්ලේ වුවද ඇය පාරෙන් පැන වත්ත දිගේ පැමින ලිං ගැට්ට මතින් හෝ ලිං ගැට්ට කඩාගෙන හෝ ලිඳ තුලට සිය බයිසිකලයෙන්ම පැමිණ ඔබ හා ඒකාත්මික වනු ඇත ...

    ස්කූටි පදින නංගිලාට පින් සිදු වන්නට දැන් පාරවල් වල සෙනග නැති බවත් පාරවල් අයිනේ රස්තියාදු ගහන කොල්ලන් කුරුට්ටන් ඇහැටවත් දැකගන්නට නොමැත.. එයට හේතුව රස්තියාදු වට වඩා උන්ට තම ජීවිතය වටිනා නිසාය.. වෙනදාට හවසට පාර අයිනේ ගස් වලින් වතුසුදු මල් වට්ටියක් නෙලාගෙන පූජා කර අජරාමර නිවන් සුව පැතු කිරිඅම්මලා දැන් පිලිකන්නේ හැදෙන මොනවා හරි මලක් කඩා පූජා කර ඉස්කූටි පදින කෙල්ලන්ගෙන් සිය පවුලේ අයගේ ජීවිතේ රැකදෙන ලෙස ඉල්ලයි..
    ගමේ කෙල්ලෙක් ස්කූටියක් මිලදී ගත් වහාම ගමේ අනිත් එවුනුත් ලිග්ගල් යට වලලා තිබූ සල්ලි... දඹදිව යන්නට එකතු කල සල්ලි.. වැස්සිගේ කිරි ටික විකුනා ඉතිරි කල සල්ලි වියදම් කර ෆුල් ෆේස් හෙල්මට් මිලදී ගනිති..ඒ උනුත් බයිසිකල් ගන්නා නිසා නොව මහ පාරේ පයින් යන විට පැලඳ ගැනීමටය.. පයින් යන විට එම හෙල්මට් පැලඳගෙන යාම නිසා ඉදිරියෙන් එන ස්කූටි කෙල්ලෙකුගෙන් අනතුරක් උනහොත් අඩුම තරමින් සිය මුහුණ නාසය සහ දත් සැට් එක වත් ආරක්ශා කරගත හැකි වේ යැයි ඔවුහු විස්වාස කරති..
    සිරුරේ ලේ කිරි බවට පත් කිරීමේ උතුම් හැකියාව ඇත්තේ මවු වරුන්ට බව අපි දනිමු.. එහෙත් ලොමු දැහැගන්වන අත්දැකීම් ලබාදීම මගින් මුලු ලොවේම සුවහසක් මිනිසුන්ගේ සිරුරේ ලේ වතුර බවට පත් කිරීමේ සුවිශේෂී හැකියාවක් ස්කූටි පදින කතුන් සතු බව අවසාන වශයෙන් මෙහිලා කිව හැක..

    ..........ධනුෂ්ක කාංචන ජයවීර.....
     

    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    .....මනමාලියන් බැලීම......


    මනමාලියන් බැලීම වනාහි ත් එක්තරා අමුතුම මෙවුවා එකකි.. කොල්ලා ඉස්සර වගේ නැතුව නිකන් මෙවුවා වෙලා වගේ බව දෙමවුපියන්ට පෙනී යාම නිසා මේ කටයුත්තට මුල පිරීම සිදුවේ.. අල්ලපු ගෙදර ගෑනි ලිඳේ නාන විට කොල්ලාට ඒ පැත්තේ මිදුලේ හරියට වැඩය.. දබ වැස්සේත් ඌ ඒ පැත්තේ මල් ගස් වලට වතුර දායි... නැත්තං ඒ පැත්තේ අඹ ගහේ මුදුනේ පැහුන ගෙඩි සොයා ගස් බඩගායි..වෙනදා පත්තරේ අතට ගත්ත ගමන් පාතාලේ සැඟවුන කතා කියවන එකා දැං පත්තරේ අතට ගත්ත ගමන් මංගල කිංකිණි තීරුව කන්න වගේ බලයි.. උගේ මෙට්ටේ යට තිබී කලින් හමු වන්නේ පිලිවෙලකට දෙකට නමා ඇති ටියුලිප් බෑග් , නෝ ලිමිට් බෑග් වුවද දැන් මෙට්ටේ උස්සන මවට හෝ පියාට දැකගත හැකි වන්නේ අමු හෙලුවැලි රූප සහිත පත්තර කෑලිය... පෝන් එකේ වයර් කැලි දෙකත් කනේ ගහගෙන තිරේ කන්න වගේ බලාගෙන ඉන්න වෙලාවක මව හෝ පියා ආවොත් විජහට පෝන් එක තිරය නොපෙනෙන සේ මුනින් අතට ඇඳේ සතපවයි... මෙබඳු රෝග ලක්ශන දකින දෙමවුපියෝ මුගේ අතින් ඉස්ත්‍රී දූසනයක් වෙන්න කලින් මූට යකින්නක් හෝ හැපින්නක් හෝ එල දෙනක් හෝ මේ සියල්ල එකට කැටි කොට සෑදූ ගෑනියක් කසාද බන්දා දීමට කාලය හොඳ බව තේරුම් ගනී..
    කෙසේ හෝ කොල්ලා කොටු කරගන්නා මව සහ පියා නානා විධ ප්‍රශ්නාවලි ඔස්සේ පරීක්ෂාවට ලක්කර අවසානයේ... " හා හා අම්මටයි තාත්තටයි ඕනේ දෙයක් " යන දිව්යමය පිලිතුර ලබාගනී.. ඉන් අනතුරුව එදා වේල හොයාගන්නට බැරිව ගෙදරට වෙලා උදලු මිටවල් රැහැ රැහැ ඉන්න බංකොලොත් කපුවෙකුද වැඩේට අල්ලාගනී.. ඌ ඉතින් දහපදුරාවේ ඇවිද ගෙවල් වලට කූට්ටාලි වී සිටන ගෑණු කූරියන් දහ පහලොස් දෙනෙකුගේ පින්තූර හොයාගෙන දිනපතා කොල්ලාගේ ගෙදර බඩගා කොහොම හරි ඒ අතරින් එකක් බලන්නට යාමට සැට් කර ගනී....

    හොඳම ජෝගිය තියෙන්නේ මනමාලි බලන්ඩ යන දවසේ උදේටය.. උදේ හතරේ ඉඳං මවගේ ගෝරනාඩුවය.. " කොල්ලෝ අද ඉරිදා උනාට කමක් නෑ මතක් කරල දත් මැදගනිං.... ඔය මගුල් කොන්ඩේ තෙල් ටිකක් ගාලා රොදක් තියාගනින් උලමා වගේ නැතුව... තාත්තා කොල්ලාගේ සපත්තු දෙකකට අමාරුවෙන් කකුල ඔබාගෙන අන්ඩවාත රෝගියකු ලෙසින් අමාරුවෙන් ඇවිදී.. අම්මා තඩි රතු මනිපුරි සාරියකින් සැරසී පොල් ගෙඩි වලට වඩා පොඩ්ඩක් පොඩි ඇට මාලයක් ගෙල බැඳගන්නේ මේක අපේ හඟුරංකෙත නැන්දා ගෙනත් දුන්න මාලේ කියා උදම් අනමිනි... යම් හෙයකින් තාත්තා විසින් ." ඔයිට වඩා හොඳ මාලයක් අපේ අම්මා ඔයාට දුන්නේ " කියා කීවොත් මනමාලියන් බැලීම පැත්තක තියා ගල්ෆ් යුද්දය ඇරඹීමට අම්මා පසුබට නොවේ..

    "ඇඤේ ඇච්චජ....... තමුසෙගේ අම්මා දුන්න එක කොහෙද ඕයි මේ තරං වටින්නේ මේව අපේ පවුල් වලිං එන උරුම.. අපේ වලවු වල මේවා පරම්පරාවෙන් ආවේ.. මගේ කරුමෙට තමුසේ එක්ක ආවා මිසක් මෙහෙම ඉන්න ඕනෙ ගෑණියෙක් නෙවෙයි මම..." "ඔවු ඔවු තමුසේ මහ කුමාරිහාමිනේ මං නොදන්නවයැ ඒ බව." මෙසේ රිදී තිරය මත දිගහැරෙන අම්මාගේ සහ තාත්තාගේ වලිය තුල තාත්තා අම්මා බලන්නට ආ මුල්ම දවසේ ගෙනා සාරිය බාල එකක් බව... තාත්තාගේ නංගී කෙනෙකු අම්මාගේ මාලයක් ඉල්ලගෙන ගොස් ආපහු ගෙනත් දෙනකොට ඒකේ ගාංචුව කැඩී තිබූ බව.. තාත්තාගේ නංගි කෙනෙකු පැනලා ගිය කතාව ආදී මෙකී නොකී පුරාවුර්ත ඇතුලත් වේ..

    අම්මා කියන විදිහට චාල්ස් කුමාරයාට අම්මා නොබැඳ ඩයනා කුමරිය බඳින්නට සිදුව ඇත්තේ චාල්ස් කුමාරයා බඳින්න අම්මාට යෝජනාව එන විටත් අම්මා තාත්තාට බහ දී තිබුන නිසාය... කෙසේ හෝ මෙම කලිකලහය නිම වන්නේ මෙතෙක් ඉස්තෝප්පුවට වී සිටි මාමාගේ නැන්දා පැමින " යං යං ඒ පාර රණ්ඩු වෙන්න පටං ගත්තද" කියා බැනීමෙන් අනතුරුවය... ගමනට ඔක්කොම පිරිස හයකි.. අම්මා තාත්තා කොල්ලා කපුවා සහ කොල්ලාගේ සහයට නිබඳව වචනයෙන් දායක වන.. වැඳපුවාම මගේ අයුසත් අරං ජීවත් වෙයං කියා ආයුස දෙන්නට හදන ඒත් මගේ බැංකු පොතේ සල්ලි ඇති ඒකෙන් පන්දාහක් අරං ජීවත් වෙයං කියාලා වැරදිලා වත් නොකියන ගුරු වුර්තිය හෝ විදුහල්පති වුර්තියෙහි නියැලුන අම්මා ගේ සොයුරු අති පණිඩිත මාමා සහ පොරගේ නැන්දා නැමති ගිණි බෝම්බයත් ය..

    මනමාලිය බලන්නට යන සීන් එකේදී තැනට ගැලපෙන්නට කතා කරන්නට මාමා තරං වෙන උගතෙක් නැතැයි යන්න අම්මාගේ නිගමනයයි.. අම්මාට අනුව නම් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ශනය සොයාගෙන ඇත්තේ ද මාරි කිවුරි රේඩියම් සොයාගෙන ඇත්තේද නීල් ආම්ස්ට්‍රෝන්ග් තනියම හඳට ගොස් ඇත්තේද මාමාට පැපොල හැදී සිටි දවස් වලය....මාමාට පැපොල හැදුනේ නැත්නම් ගුරුත්වාකර්ශනය හොයාගන්නේ මාමාය... රේඩියම් හොයාගන්නේ මාමාය... නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ හාවා සමග කතා කරන්නට එක්ක යන්නේ මාමාවය....ටයිටනික් නැව හදන්නට උපදෙස් දී ඇත්තේද අපේ මාමා බව අම්මාගේ මතයයි.. බඩ මැද්දෙං කලිසම ඇඳගෙන අත් දිග කමිසය යට කර සිටින මාමා වරින් වර අත ඔහෙක් කර වෙලාව බලයි...පොර බැඳගෙන ඉන්නා පරන තාලේ ටයි පටියෙන් හදිසියකට කරදරයක් නැතුව අමුඩයක්ද ගසා ගත හැක....

    ටවුමේ පාක් එකේ ගුණයාගේ ලදරං හයිඒස් එකත් මිදුලට සම්ප්‍රාප්ත වන්නේ මේ ඇසිල්ලේමය.. පාරේ සිටම ඉස්සරහා සීට් එකේ ඉඳගෙන දොර කිහිල්ලේ ගහගෙන පැමිනි කපුවාට තරම් හදිසියක් වෙන එකෙකුට වත් නැත.. සුරංගනා කතා වල වගේ හරියට වෙලාව පැන්නාම මනමාලිය ගෙම්බෙක් වේවි යැයි බයක් කපුවාට ඇතැයි හිතෙන්නේ උගේ හදිසිය දුටු විටය.. " යං යං අතනක මෙතනකයැ" තාත්තා පුරුදු නැති සපත්තු දෙකත් දමාගෙන අමාරුවෙන් එහෙත් අමාරුව නොපෙන්නා ඇවිත් වෑන් එකේ අසල හිටගෙන සිටියි.. ටිකකින් ගෙදර දොරවල් වල ජනෙල් වල අගුල් සිය පාරක් පමණ අතගා හරියට වැසී ඇත්දැයි බලා සහතික කරගෙන මුතු ඇල්ලූ හෑන්ඩ් බෑග් එකත් කිහිලි ගන්නාගෙන අම්මා දුවගෙන එයි.. අම්මාගේ මූන කාඩ් කුට්ටමේ ජෝකර් කොලයේ ජෝකර්ගේ නැතහොත් ලිබ්බොක්කේ වැටුන එකෙකුගේ මූණ සිහිපත් කරවයි.. ඒ තරං පවුඩර්ය..

    අන්තිම මොහොතේ වාහනයට නගින්ඩ දුවගෙන එන කොල්ලා දකින මාමා සිය සුපුරුදු උපදේශනාත්මක වැඩසටහන අරඹයි.. "හා හා පුතා කෝ අම්මටයි තාත්තටයි වඳින්න...මෙහෙම ගමන් යනකොට එහෙමනේ.. මේ අලුත් පරම්පරාව කිසි දෙයක් දන්නේ නෑනේ අප්පා.. හැම වෙලාවෙම තරුණ පරපුර පෝන් වල .. අනේ මන්දා මෙහෙම ගියොත්.." තාත්තා විසින් නැති තැන " සුරුට්ටුවා " යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ අපූරු මාමාගේ අනට කීකරු වීමට කොල්ලාට හිතක් නැති උනත් මාමාට අකීකරු වීම අම්මාගේ මාතෲ උදහසට ලක් වීමට හැකි බව කොල්ලා දනී.. නන්දා මාලනියට මිහිමඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා උනත් කොල්ලාගේ අම්මාට අනුව නම් මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත මාමා ය.. මාමාගේ අණට කීකරු වී යන්තං දෙකට නැමී අම්මට තාත්තට වඳින කොල්ලා දකින මාමා නැවත සිය දේශනාව ඔස්සේ නූතන තරුණ පරපුර මුහුණ පා ඇති කේදවාචකය විස්තර කරයි.. අද කාලේ හැදෙන කොල්ලන්ට දනගහලා වැඳගන්නත් බෑ.. ඉස්සර අපේ අම්මා තාත්තා ලඟ අපි බිම පෙරලිලා වඳින්නේ.. අපරාදේ අර දොරමඩලාවට සූරියප්පෙරුම ගෙන්නන්නේ මේ යකාව ගෙන්නන්න තිබුනේ .. කියා සිතමින් කොල්ලා වාහනේට ගොඩ වූ පසු ඩයිවරයා පිටින් පැමින වාහනය අවුරුදු 30ක් පමන අලුත් නිසා කන් හිරිවට්ටමින් කරාස් දබෝං හඬින් දොර වසා දමා කොල්ලලා ගමනක් යන බව අසල්වාසීන්ගෙන් සඟවන්නට මෙන් මුලු වාහනයම කලු දුමාරයෙන් වැසී යන සේ ඔට්ටු වී ඉස්ටාට් කරගෙන වත්තෙන් එලියට ගන්නවාත් සමගම කොල්ලාට අම්මාගෙන් පලවෙනි අවවාදය ලැබේ....

    " තෝ එහෙ ගිහිං එහෙම ඕක සාක්කුවෙං එලියට අරං ඔබන්ඩ ගත්තොත් එහෙම මං නරක ගෑණි කියන්න එපා..." වාහනය පාරට වැටුන තැන ඉඳං අම්මාට අමුතුම රොගයක් හැදේ .. එම රෝගය නම් වයිද්ය වරුන් විසින් බනානා සින්ඩ්‍රෝම් ලෙසත් අපේ පැරැන්නන් විසින් රඹකැන් සන්නිය ලෙසත් සාමන්ය ගැමි වහරේ කෝලිකුට්ටු පිස්සුව ලෙසත් හඳුන්වන තත්වයයි... "ගුණේ ලමයෝ ඔය පලතුරු කඩයක් ලඟ පොඩ්ඩක් නවත්තන්නකෝ අර ගෙදෙට්ට ගෙනියන්න හොඳ කෝලිකුට්ටු ඇවරියක් ගන්ඩ.." අම්මා විසින් කියන ලද එම වාක්යයේ හොඳ කෝලිකුට්ටු යන වචන දෙක විග්‍රහ කිරීම මලල සේකර ශබ්දකෝශයට හෝ මදුර එකට කල නොහැක... සාමාන්ය පරිදි නම් අම්මා කියන හොඳ කෝලිකුට්ටු වල පහත සඳහන් ලක්ශන තිබිය යුතුය.. 1ගෙඩියක දිග අඩි දෙකක් වත් විය යුතුය
    2 මහත මෙගා බෝතලයක් තරම් විය යුතුය.
    3 ලෙල්ල ගැලවු විට ඇතුලේ තිබිය යුත්තේ කෙහෙල් නොව තනිකර පිටි ගොඩකි.

    මෙම නිර්ණායක වලට අනුකූල කෙහෙල් ඇවරි ඇත්තේ පූජියාමා කන්ද පාමුල ගිණිකඳු විදාරනයෙන් ගලාගෙන ආ ලාවා මුසු පසෙහි පමණකි.. කෙසේ හෝ එම නිර්නායක වලට කිට්ටුවෙන් යන කෝලිකුට්ටු ඇවරියක් සොයාගෙන වාහනයට ගොඩවන අම්මා සහ මාමා අතර ඇති වන්නේ තමන් කුඩා කාලයේ කෑ සුපිරි කෝලිකුට්ටු සහ ඒවාට සම්බන්ද පම්පෝරි ඇතුලත් විද්වත් කතිකාවන්ය..

    කෙසේ හෝ දුරු කතර ගෙවාගෙන කරුණාරත්න දිවුල්ගනේ නොකියම ආවට කොල්ලා ප්‍රමුඛ පිරිස දුරු කතර ගෙවාගෙන අදාල ඉස්තානයට යන්නේ කල් තියා කියලා නිසා අවුලක් නැත.. වාහනය නිවසට ලඟා වෙනවාත් සමගම නිවැසියන් එලියට එන්නේ වාහනයේ ඇංජිමේ සද්දයට නොව වාහනය අලුත් නිසා නිති නැගෙන කිරි කිරි සද්දයටය... කොල්ලලා වාහනයෙන් බහින විටම කොහෙදෝ ඉඳං ආව බල්ලෙක් බැහූඋ.... බැහූඋ... ගා බුරාවදින්නට පටන් ගත් නිසා නිවැසි පොරක්, කෙල්ලව මේ සැරේ වත් කොහොම හරි දීගන්ඩ හදන එක මේ බල්ලා බුරලා නැති කර දමතියි බියෙන් බල්ලා දෙසට දුවමින් බැලී ගියා හුක්... යයි නාද කර බල්ලා එලවා දමයි....
    ඉන් අන්තුරුව කොල්ලාගේ මාමාගේ අච්චුවේම කෙල්ලගේ පැත්තේ අති පන්ඩිත පොරක් සියල්ල මෙහෙයවීම අරඹයි.. පොර සුපුරුදු ගොන් ප්‍රශ්නය නගයි.
    "ගේ හොයාගන්ඩ අමාරු උනේ නෑනේ..."
    මෙයට පිලිතුරු ලෙස අපොයි නෑ හරවන තැනින් ඇහුවම පාර කීවා කියා කොල්ලාගේ මාමා කියත්ම කපුවා...
    " ඒ හරියෙත් ඉන්නේ මෙයාලගෙම අය තමයි එතන ඉඳං මෙතෙන්ටම එනකන් ඉඩකඩං මේ ගොල්ලංගේ" කියා සීන් එකට එන්ටර් වේ.. කොහොම කොහොම හරි ගෙට අඬගසා සෝපාවේ පතබෑවෙන දෙපිරිස අතර ඇති වන අල්ලාප සල්ලාප අති මනරම්ය.. කොල්ලා ඉඳගත් ගමන් කලිසම් සාක්කුවට අත දමනු ඌ ලඟම ඉඳගත් අම්මා විසින් දැකීමේ ප්‍රතිපලයක් ලෙස කොල්ලාගේ ඉල ඇට කූඩුව හරහා අම්මාගේ මුදු මොලොක් වැලමිට පැයට කිලෝ මීටර දෙසීයක පමණ වේගයෙන් ඇනීම නිසා කොල්ලාට පෝන් එක අමතක කර දැමීමට සිදු වේ..
    "මේ පුතා අද නිවාඩු දාලද ආවේ"
    කෙල්ලගේ මාමා තෝල්කයාගේ බූමිකාවේ සිට නගන පැනයට අම්මා විසින් පිලිතුරුදෙයි...
    "නිවාඩු කියන්නේ මේකනේ වැඩේ.. මෙයාට ඔපිස් එකේ බොස් නිවාඩු දෙන්නේ නෑ... මෙයා නිවාඩු ගියොත් බොස්ටත් වැඩ කරගන්න බෑ කියනවනේ.. මුලු ඔපිස් එකේම වැඩ මෙයා යටතේ තමයි තියෙන්නේ" අම්මාට අනුව නම් ඔපිස් එකේ බොසා වැඩ කරන විදිහ අහගන්නේ කොල්ලාගෙනි.. කොල්ලා නිවාඩු ගිය දවසට බොස් ඔපිස් එක වසා දමා පිස්සුවෙන් මෙන් ඉස හැරුන අතේ දිව යයි...

    කොල්ලාගේ මාමා නැගිට අත් දෙකත් පස්සට බැඳගෙන ඉස්තෝප්පුවේ හතර මුල්ලවල් වල විස්තර හොයයි.. මාමා ජනෙල් රෙදි අතගානවා දකින මනාලියගේ මාමා
    " මේ දුව තමයි ඔය සේරම මැහුවේ.. හරි දක්සයි මැහුම් වලට .. ගමේ ගෑනු පුදුම වෙනවා මෙයාගේ මැහුම් දැකලා"
    කියා පොඩි නයා පාරක් අරියි.. කෙසේ හෝ මුචලින්දගේ එක් කුස උපන් නයෙකු වන කොල්ලාගේ මාමා සහ නන්දෝපනන්ද නාරජු ගේ පුංචම්මාගේ පුතෙකු වන මනාලියගේ මාමා යන දෙපලට පින් සිද්ද වෙන්න පැය බාගයක් විතර ගෙවී ගිය පසු කොල්ලාගේ මිහිදුම් සිහින මදු සිහින සහරාවේ සිහින සැබෑකරමින් කෙල්ල ඉදිබුවකු කටුවෙන් මෑත් වෙන්නාක්මෙන් දොර රෙද්ද අස්සෙන් ඔලුව දමයි...

    ටිකෙන් ටික එලියට එන මනමාලිය ඇඹරෙන්නේ අත පය ගැට ගසා ඇති එකෙකුගේ පස්ස පැත්තට කිරිපණුවෙක් දැමූ කලක මෙන්ය... එය ලැජ්ජාව ඉකමවා ගිය විලි ලැජ්ජාවකි.. මනාලිය ඇඹරෙන්නේ හරියට මේ ඇවිත් ඉන්න එවුං ඉනෙං පහලට මොකවත් ඇඳලා නෑ වගේය..
    " මෙයා හරි ලැජ්ජා කාරි"
    මනමාලියගේ මාමා අඩුව පුරවන ගමන්ම.. ඒකි කොල්ලෝ එක්ක නටපු නාඩගං මුං දන්නවනං විනාසයි කියා හිත යටින් හිතයි....
    " මේ පුතා අරක්කු සිගරැට් එහෙම බොනවද?"
    මනාලියගේ මාමා විසින් නගන පැනයෙහි ගැබ්වූ අරක්කු යන වචනය ඇසෙත්ම සිරුර පුරා රෝමෝද්ගමනය වී පණ උපදන ලද ඉඳුරන් ඇති මනමාල තෙමේ
    " බොමු බොමු අංකල් මොනවද වර්ගේ"
    කියන්නට කලිං මාමා ඉස්සර වී...
    " පිස්සුද මේ ලඟදිත් මේ පුතා මගෙන් ඇහුවා මාමේ ඔය මිනිස්සු බොන අරක්කු මොන රහද කියලා..."
    කියත්ම කපුවාද මැදින් පනියි..
    " මේ මහත්තයට බාර් එකක් ලඟින් ගියත් අප්පිරියාව හිංදා වැඩ ඇරිලා එන්නෙත් රවුම් පාරෙන්"
    මේ පච කියවා අවසන් වන විට උගුර කට වියලී සෙප්පං නැතුව සිටින මාමලා දෙදෙනා සහ කපුවා කෑම මේසයේදී සිය කුසලතාවයන් මනාව ඔප්නංවාගනී..

    වෙනදා මනාලියගේ අම්මා අතින් දෙතිස් වදයෙන් එකක් වන ඇඟ මස් රැහීම සිහි ගන්වමින් ඇහේ දාන්නට තරං පොඩියට කපන මූදු මාලු කෑලි අද ටොම්බ සයිස් එකට කපා ඇත්තේ පනුවන් ඇමට යොදාගෙන අල්ලාගන්නා මාලුන් ඇමට යොදාගෙන, කපුවා කියා ඇති අන්දමට මේ බලවත් කුලවත් දනවත් පවුල බිලී බා ගැනීම ඇගේ ඒකායන පැතුම නිසාය... කන අතරේ කෑම හරි රසයි කියා පට්ට පල් කෙබර ඇද බෑමද .. කෑම සියල්ල සැකසුනේ මනාලියගේ අතින්ය යන සුලබ කෙබරයෙන් පිලිතුරු දීමද කෑම මේසයේ චාරිත්‍ර වලට අයත් වේ..
    ඉන් පසු තැන් තැන් වලට වී එක එකාගේ කේවල හපන් කම් කියන අතර කපුවා ඩ්‍රයිවරයා සමග විට කයි... මනාලයාගේ මාමාගේ පවුල හෙවත් නැන්දා ඔටා දමඤ්ඤං නටන්නට සූදානං වන වැද්දෙකු මෙන් හෙන තඩි කොල අතු මිටියක් නිවසේ ඇති මල් ගස් වලින් කඩාගනී.. අතු පැල වෙන්නේ නැති ගස් වලට පස් බැඳ මුල් අද්දවා දීමට මනාලියගේ අම්මා පොරොන්දු වන්නේ ..
    " දැං ඉතිං පිට මිනිස්සුයැ කොයි වේලේ එන්ඩ බැරි ද කියා අමතර සීන් එකක්ද දෙමිනි".

    ඉතා කෙටි කාලයක් තුල මෙසේ දෙපාර්ශවයන් රවටාගැනීම මනමාලියන් බලන්නට යෑම හෙවත් අහස් මාලිගා ලෙසත් රැවටීමේ ලඟ ප්‍රතිඵලය විවාහය හෙවත් මදුසමය ලෙසත් කියපු බොරු එලිවීම සිරියහන ගිනි ගනී ලෙසත් දෙපැත්තේ එවුං ගහමරා ගැනීම ඇගේ වයිරය ලෙසත් දෙපැත්තේ එවුං එකතු වී කපුවාට ගුටි බැට දී උගේ සරම ගලවා ඔලුවේ බැඳීම සලුපට අහසට ලෙසත් චිත්‍රපට වලට නගා ඇත....

    සියලු හිමිකම් ධනුෂ්ක කාංචන ජයවීර.....සතුය
     
    • Like
    Reactions: virajkavn

    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    ....මලගෙවල් හෙවත් ෆ්ලවර් හෝම්ස්...

    මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි...
    මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය..

    කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මාගේ හෝ සීයාගේ පෙන්ශන් එකෙන් ගානක් කොටාගෙන ජීවත් වූ මුණුබුරු මිණිබිරියන් හෝ එම මවගේ පෙන්ශන් එකෙන් සූරාගෙන කමින් අනිත් සහෝදරයන්ගේ විරුද්දතා මැද දිවි ගෙවූ අතිජාත පුත්‍ර රත්නයන් සහ දුහිතෲ වරුන්ය.. මෙබඳු කඩප්පුලියන් කීප වර්ගයකට හැරෙන්නට අන් අයට අතිශය මහලු අය මියගිය විට එය ලොකු වේදනාවක් නොවේ...

    ආච්චී මියගිය එකේ වැඩිම ප්‍රතිලාබ භුක්ති විඳින්නේ මුනුබුරු මිනිබිරියන්ය... මුනුබුරාට 18 පැනලා නං ආයෙ ඉතිං කතා කරලා වැඩක් නැත.. අඩෝ සජියගේ ආච්චි මැරිලා යන මැසේජ් එක අප්‍රිකාවේ මහා වනාන්තර වල පැතිරී යන ලැවුගින්නටත් වඩා වේගයෙන් කොල්ලන් සෙට් එක අතර පැතිරී ගොස් ඒකලා උඩින් ගොඩ බිමින් මුහුදෙන් ආදී සෑම මාර්ගයකින්ම මඩ් ගාඩ් ගලවපු පුට් සයිකලයේ සිට හොනට් එක දක්වා පරාසයක විහිදී යන බයිසිකල් වලින් මලගෙදරට සම්ප්‍රාප්ත වේ.. සජියාට නංගි කෙනෙකු සිටී නම් තත්වය මීට වඩා වෙනස්ය.. එසේ වූ කල්හි මලගේ ආරංචි උන ගමන් එකෙක් සැලුන් එකට දුවයි.. අනිකා බයිසිකලේ හෝදාගෙන එන්නට යයි.. නාලා කියලා කට්ටිය පැය හය හතකින් මලගේ පැත්තට සේන්දු වෙනකොට සෙට් එකක් මිදුලේ කොනක අන්තර්ජාතික ඔලිම්පික් කැරම් සූරතාවයට පුහුනු වීම් කටයුතු වල නියැලෙන අතර තවත් පිරිසක් බුලත් නිසා සවුක්යයට සිදු වන හානිය වැලැක්වීමේ පරම පිවිතුරු චේතනාවෙන් නොමිලේ ලැබෙන බුලත් වට්ටිය ඉක්මනින් ඉවර කරනු වස් වඳුරන් කොල කන්නා සේ කාගෙන කාගෙන යනු දැකිය හැක..

    ගේ ඇතුලේ සජියාගේ අම්මා සහ පුංචි අම්මා හරි හරියට අඬති... ඒ සජියගේ ආච්චී මල දුකට නොවේ... සජියාගේ පුංචි අම්මා ඉගෙනගත්තේ නැති හිංදා සජියාගේ සීයා තමන්ගේ පෙන්ශන් එකෙන් කොටසක් පුංචි අම්මාට හරවා තිබූ අතර සීයා මියගිය පසුද එය ආච්චී හරහා සජියාගේ පුංචිඅම්මාට මාස් පතා ලැබීම ඇයගේ බියුටි සැලුන් ගාස්තුවට රුකුලක් වීමත් හෙට සිට එම පෙන්ශන් එක නැති වීම පුංචි අම්මාගේ ලය පැලී යන්නට තරං ශෝකයක් වූ නිසා පුංචි අම්මා අඬන අතර ඇය එම වේදනාව දරාගත නොහී සජියාගේ අම්මා අමතා
    " අම්ම මගේ ලඟ හිටියා නං මෙහෙම වෙන්නේ නෑ "
    කියපු එකට සජියාගේ අම්මා පොලවෙ හැපී වැලපෙයි...
    ඒ මේ වැලපුම් අතර සජියාගේ නංගි ඇහි බැම දෙකත් පොල් අතු දෙකක් වගේ වෙන්නට හනි හනිකට සකසාගෙන නේචර් සීක්‍රට් පේසල් වොස් එකෙං මූන එහෙම හෝදලා රෝස් පවුඩර් තට්ටුවක් මූනේ උලාගෙන සුදු ඇඳුමකුත් ඇඳගෙන විජ විජහට ලෑස්ති වෙයි.. ඒ වෙන මොකවත් නිසා නොව මලගෙදරට එන එවුංගේ අවදානය මිනියට යොමු උනහොත් ඔවුන්ට දුක හිතී වැලපෙන නිසා ඔවුන්ගේ අවදානය තමන් වෙතට යොමු කරගෙන එම දුක තුනී කරන්නටය... සජියාගේ අම්මාගේ ඔපිස් එකෙන් එවලා මිදුලේ අඹ ගස් දෙකේ ගැටගසා ඇති තඩි පෑස් ලයිට් දෙකේ එලියට සජියාගේ නංගි නිකං චතුරිකා පීරිස් වගේ කොල්ලන් සෙට් එකට පෙනේ.. සජියාගේ අම්මාගේ වැලපීම ටික වේලාවකින් නතර වුවද පුංචි අම්මාගේ වැලපිල්ල දිගටම පවතින අතර මල ගෙදරට එන කවුරු හරි ලොකු බිස්කට් පෙට්ටියක් හෝ සන්ක්වික් බෝතල් දෙකක් විතර ගෙනත් සජියාගේ අම්මාට දෙන විට පුංචම්මගේ වැලපිල්ල මර ලතෝනියක් බවට පත් වේ.. එ වැනි අවස්තා වලදී

    " අනේ අම්ම මගෙ ලඟ හිටියානං මේවා මෙහෙම වෙන්නේ නෑනේ "
    කියා වැලපෙන පුංචම්මා දකින ජනතාව හිතන්නේ අනේ අම්මට වැඩියෙන්ම ආදරේ පොඩි දුව වෙන්න ඇති නේද කියාය...

    එක වරම මිදුලට හැරෙන පාරේ තඩි ඩබල් කැබ් එකක් නවත්තනු දකින සජියා මල් වැටට මුවා වී යාලුවන් සමග උරමින් සිටි පිල්ටර් කොටය විසි කර ගෙට දුව ගොස් අම්මාට කනට කර කියන දෙය කුමක් වුවත් අම්මාගේ ස්වරූපය සම්පූර්නයෙන් වෙනස් කරන්නට එම කියන දෙය සමත්ය... විජ විජහට කාමරයට පනින ඇය ලිප්ස්ටික් පාරක් උලාගෙන නැවත මිනිය අසලට පැන දොරකඩට කුරුමානං අල්ලාගෙන සිටී... බඩ තඩි බොසා විස්කෝතු පෙට්ටියත් රැගෙන ගෙට එනවාත් සමගම සජියාගේ තාත්තා ආයිබොවන් පාරක් දාන අතරම සජියාගේ අම්මා මංත්‍රී දේවියගේ වැලපිල්ල අරඹයි..
    " අනේ අම්මේ සාමාන්යාදීකාරිතුමා ආවා නැගිටින්ඩකෝ.... කාගේවත් මලගෙවල් වල යන්නේ නැති මෙතුමා අම්මව බලන්ඩ ඇවිල්ලා නැගිටින්ඩකෝ අනේ " කියා පොඩි සීන් එකක් දෙයි..
    සජියාගේ තාත්තාගේ කොම්පැනියේ යාලුවන් මල ගෙදරට එන්න කලින් දුක තුනී කරගනු වස් තුන් හතර දෙනා ගේට්ටුවට නුදුරේ වාහන වල ඩිකිය ඇරගෙන අඩියක් ගහන අතර උංගේ ඇමතුමෙන් එතෙන්ට පැන පිනට ශොට් එකක් ගහගැනීමේ බාග්යය සජියාගේ තත්තාට හිමි වේ... රෑ එකොලහ දොලහ පමන වන විට මෙබඳු මිතුරන් පස් හය ගොල්ලක් පැමිනීම කරන කොට ගෙන සජියාගේ පියා සහ මියගිය අත්තම්මා අතර දරුනු තරගයක් ඇති වේ... ඒ මල ගෙදර මිනිය වීමේ තරගයයි ... එන එවුංට සජියාගේ පියා මිනිය නොවන බව තේරුම් ගැනීමට හැකි එකම සාදකය පොර වැනි වැනී හෝ හිටගෙන සිටීමයි... මේ සීන් අතරේ සමනල් හැඟුමන් අතරේ සින්දුවට නටන කෙල්ලෝ රෑන සිහිපත් කරවන සජියාගේ නංගි සහ ඒ ලෙවල් පංතියේ කෙල්ලන් හෙවත් මැරුන ආච්චීට අනුව නම් කෙල්ලගේ යාලු තේඋඩිච්චි ටික නෙස් කැපේ බාර නිලදාරීනී තනතුරු හොබවයි.. ඔවුන් ට්‍රේ එකේ නෙස්කැපේ කෝප්ප ටිකක් තියාගෙන තමන් ශ්‍රීලංකන් ගුවන් සේවිකාවකැයි යන මානසිකත්වයක් උද්දීපනය කරගෙන ගැම්මට යනු දකින කැරම් ක්‍රීඩකයන් අමන්දානන්දයට පත් වේ...
    "නංගි අපටත් දෙන්නකෝ " යැයි පවසා නංගිව ලඟට ගෙන්නා ගන්නා ඔවුහු හෙට උදේට මලබද්දය හැදී මියගියත් කමක් නෑ මේ නංගිගෙ අතින් කෝපි බීලා... යන චේතනාව පෙරදැරි කරගෙන සිය දොලොස් වැනි හෝ පහලොස් වැනි කෝපි කෝප්ප හිස් කරයි... මල ගෙවල් වල බිස්කට් අල්ලන එකියන් කැරම් ක්‍රීඩකයන් සිටින ඉසවුව මගහැර යන්නේ එම ක්‍රීඩකයන් සිය ජයග්‍රහනයට අවශ්ය බලය ජවය ශක්තිය ආදී සියල්ල බිස්කට් වලින්ම ලබා ගැනීමට උත්සහ කරන නිසාය.. මහපටැඟිල්ලේ තුඩේ සහ දබරැඟිල්ලේ තුඩත් අතර දුරට අසු වන තරමක් බිස්කට් එක උඩ එක ගැසූ කනුවක් අරං කන ගමං නංගි වේපස් නැත්ද කියලා අහන ක්‍රීඩකයන් දකින යමෙකුට හිතෙන්නේ වේපස් කෙසේ වෙතට් මුන් තව දවසක් දෙකක් මෙහේ හිටියොත් එහෙම ගෙදර එවුන්ට පොලවේපස් කෑමට සිදු වන බවකි... මෙම අකටයුත්ත දරාගත හැකි සීමාව ඉක්මවා යන අවස්තාවේදී සජියාගේ මාමා කෙනෙකු පැමින...

    "පුතාලා බඩ්ඩිංගක් කමුද " අසත්ම තරුණයන් කැරම් බෝඩ් එකත් උඩ විසි වෙලා පොට් වෙලා හිටපු රෙඩාවත් ආපහු වලෙන් එලියට විසි වෙන තරම් වේගයකින් නැගිටින්නේ, " පුතාලා ඕං ඩයිනෝසරයෙක් එනවා පන බේරං දුවන්ඩලා" කියලා පනිවිඩයක් ලැබුන කලෙක මෙනි...

    කන්ඩ තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයටත් වඩා වියවස්තා සම්මත කරගෙන මහා සබා වාර පිහිටුවාගෙන ගමේ ප්‍රිසිපල් විසින් මුලසුන හොබවබ මරණාධාර හෙවත් හැමදාම හෙන ගාස්තු එකතු කරමින් මිනිස්සුන්ට මරණයට ආදාර කරන සී ඩ්‍රැගන්ස්... ඩෙඩ් මොන්ස්ටර්ස්... බෝන් බ්‍රේකර්ස්.. වැනි මනරම් නමකින් යුතු මරණාධාර සමිතියේ පූර්ණ දායකත්වය ඇතිව සාමාජික අංකල් ලා විසින් පොලට ගොස් වෙලඳ මහතුන් හමු වී කතිකා කර එම වෙලඳ මහතුන් විසින් එදින උදයේ හෝ පෙර දින රාත්‍රියේ විශේශ ඉල්ක්ට්‍රොනික පරීක්ශන වලට ලක් කර දැල් ගෝනි නම් වූ බහලුම් වල බහා ඌරු කොටු සඳහා යැවීමට තෝරාගත්, පෙනේර සිහිගන්වන ගෝවා කොල රැගෙන විත් ඒවා වලින් සාදාගත් ගෝවා කොල මැල්ලුම... සති පොලේ ඉතා මිල අදික එලවලු වන කැකිරි .. වට්ටක්කා මාලුවය.....ඒවා සමග කන්නට එවා ඇති බත් ද එයිට දෙවෙනි නැත.... සාමන්යයෙන් මෙම බත් සමිතියෙන් උයපුවා බව නොදන්නා කෙනෙක් සජියගේ ආච්චී විරුද්ද පක්ශයේ ඇමති කෙනක් වී ගමට හිරිහැර කරමින් සිටි අයෙක් බවත් ඇය මියගිය සතුටට ගම්මුන් විසින් කිරිබත් උයා එවා ඇතැයි සිතයි... ඒ තරම් බෙරි වෙලාය... එහෙත් වැලේ වැල් නැතුව මාරි වලින් පලි ගනිමින් සිටින සජියාගේ යාලුවන්ට ඒවා ප්‍රශ්න නොවේ.... මෙසේ ඇරඹෙන කෑම නතර වෙන්නේ ඒ ගෙදර කෙනෙක් පැමින... .

    "කන්ඩ කන්ඩ පුතාලා අපි ඔය පාන් රාත්තල් ටිකක් ගෙන්නන්නම්කො අනිත් අයට කන්ඩ "

    කී විටය....

    මල් වඩම් වලින් ශෝකය පල කිරීම නිශ්පල ක්‍රියාවක් බවත් ශෝකය පලකිරීමේ නිවැරදිම ක්‍රමය වන්නේ මල ගෙදරින් බඩ පැලෙන්නට කෑම බව ගම්යමාන කරමින් තියෙන ඒවා කාබී සබාතොමෝ සතුටින් විසිර යන අතර රෑ දොලහ පමණ පහු වන විට මලගෙදර ඉතිරි වෙන්නේ හෙටක් කියා දිනක් නොහඳුනන සජියාගේ පාප මිත්‍ර කැරම් ක්‍රීඩකයන් සහ මල ගේ කාගේදැයි වත් නොදැන යන්තං සුදු කොඩි රැලි පාලං දැක කාඩ් පැක් රැගෙන ස්වකීය බූරු කවුශල්යය ඔප්නංවාගනු වස් පැමිනෙන සිය කීර්ති කදම්බයෙන් අහල ගම් හතක බූරු මැන්ඩි ආලෝකවත් කළ වුර්තියමය බූරු ක්‍රීඩකයන්ය...

    මුලින්ම හට් එකේ හරි මැද ඉතා අහිංසක ලීලාවෙන් ජෝඩු බලන .. ඕමි ගහන... පොඩි එවුනට කාඩ් කුට්ට්මෙන් මැජික් පෙන්නන ඔවුහු මද්යම රාත්‍රිය එලඹීමත් සමගම පෘතුවියේ අංසක විසිතුනහමාරේ ඇලය නිසා ටික ටික හට් එකේ කෙලවරට තල්ලු වී යයි.. සජියාගේ ආච්චී මියගිය දුකට පෘතුවිය වෙනදාටත් වඩා වේගයෙන් කරකැවී තවත් ටිකකින් ඔවුන් අල්ලපු වත්ත කෙල්වරටම විසිවී එහි සිට ජයටම කෑකොස්සන් ගසමින් බූරු චැම්පියන් ලීග් කුසලානයට සටන් වදී...

    සජියාගේ ආච්චිගේ මරනයෙන් වාසි ගන්නට බලා සිටින්නේ මල් ශාලා කාරයා පමණක් යැයි සිතීම වැරදි බව පසක් කරමින් රාත්‍රි දොලහ පසු වන විට තවත් සංවිදානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වේ... එම කල්ලිය නම් සජියාගේ නංගි සහ නංගී යාලු වී සිටින කොල්ලා ප්‍රමුක මිතුරන් තිදෙනෙකුගෙන් සමන්විත පිරිසකි...
    නිවසට මෙතෙක් රහසක්ව පවතින පෙම් පලහිලවුවේ මූල බීජය සජියාගේ අම්මාට කාන්දු කරවීමේ නියම අවස්තාව මෙය බව වටහාගන්නා මහ මොලකාරිය වන සජියාගේ නංගී දෙන පණිවිඩය අනුව උදේ ඉඳං ලෑස්ති කරගෙන සිටින සුදු කමිසයත් ඇඳගෙන කොන්ඩේ ජෙල් ගා කූරු හදලා රැවුල කපලා ලස්සන වී ම්තුරන් සමග මලගෙදරට සේන්දු වන පෙම්වතා ගෙට ගොඩ වන විටම සජියාගේ නංගි විසින්..

    " අම්මේ මේ අපේ ක්ලාස් එකේ අයියා කෙනෙක්"

    කියා කියත්ම මුලින් කපා හෙලන ලද නාඹ තල් කඳක් පරිද්දෙන ස්වකීය අනාගත නැන්දම්මාගේ දෙපා මුල පතබෑවී පාද යුග්මය වන්දනාමානයේ යෙදෙන මේ යවුවනයා නිකන්ම නිකන් අයියා කෙනෙකු නොවන වග සිය තරුණ කාලයේ දහ අට පාලි නටා පෝරක හතෙන් වැටී පොල්පිති හත පහු කර සිටින සජියාගේ අම්මාට වැටහුනද මේ මලගෙවල් අස්සේ ඔවාට ඔට්ටු වීම නොහොබිනා බැවින්

    මේ පුතා කොහෙද...

    මොනවද ඉගෙන ගන්නේ...

    අම්ම තාත්තා මොකද කරන්නේ...

    ආදී කොට ඇති සරල පැනයන් කීපයකින් සහ අරූ ඒකට දෙන පම්පොරි සහිත තාර බර සමග දෙන පිලිතුරු වලින් සෑහීමකට පත් වන්නට සිදු වේ... පැය බාගයක් පමණ නිවසේ රැඳෙන එම යවුවනයන් තිදෙන පිටත් වී යන විට උන් සමග පසු ගමන් යන සජියාගේ නංගිගේ දසුන හට් එකේ කැරම් ගහන භද්‍ර යවුවනයන්ගේ නේත්‍රා යුග්ම වල අනින ලද කටු පොකුරු බඳු වූ නිසා දැදුරු වන ලදුව ලෝහිත දාරා ගලන හදවත් ඇතිව ස්වකීය කැරම් ක්‍රීඩාව අතරමග නිම කර ඔවුහුද නිවෙස් වලට පිටව යති... පහුවදා සතියේ දවසක් වන නිසා මල ගෙදර හෙවත් පුෂ්ප ගෘහය පාලු ස්වරූපයක් උසුලන බැවින් නිවැසියෝද දොරවල් වසා තන්හි තන්හි වැටී නිදි දෙවු දුව වැලඳගනිති....

    හොඳම ජෝගිය එන්නේ පහුවදාටය... ගමේ සුපිරිම බේබද්දන් ටික කනත්තේ වල කපන වැඩ වලට සිය රන් දෑතේ සවිය ලබාදෙන්නේ මිනී වලවල් කපන එක දිවිය සැප ලබා දෙන පුන්ය කර්මයක් වන නිසා මිසක වල කපන එවුන්ට අසීමිතව ලබාදෙන අරක්කු වලට ඇති ගිජු බව නිසා නොවේය... එහේ වැඩ එසේ යන අතර පාංසකූලයට එන හාමුදුරුවන් දෙන වර්ණනාව අනුව නම් මියගොස් ඇත්තේ සජියාගේ ආච්චී නොව සජියාගේ අම්මායැයි සිතන බොහෝ දෙනෙක් නැවත පෙට්ටිය විවුර්ත කර මිනිය බැලීමට අවශ්ය බව පවසා සිටින්නේ හරියටම ඉස්තීරවම එය දැනගැනීමටය..

    " අද මේ මියගොස් සිටින උපාසිකා මාතාව ඉතාම පින්වත් දරුවන් රැසක් සමාජයට දායක කර තිබෙන බව අපි හොඳින්ම දන්නවා.. ඉන් එක දියනියක් වන මේ නිවැසි අපේ කුමාරි නෝනා මහත්මිය නිතරම අපේ පංසලට එන අපට උදවු කරන පින්වත් දායිකාවක් කියා පටන්ගන්නා උන්වහන්සේගේ පැයක දේශනාව පුරා විසිරී පැතිරී ඇත්තේ සජියාගේ අම්මා විසින් පංසලේ මකර තොරනට පනස් දාහක් දුන්න එකයි රන් වැටක් හදලා දුන්න එකයි පහන් පූජාවට දායක උන එකයි කොහෙදි දැක්කත් කාර් එකේ දාගෙන එන එකයි මෙකී නොකී කතන්දරය...උන්වහන්සේගේ දේශනයෙන් අනතුරුව සජියාගේ අම්මාගේ ඔපිස් එක වෙනුවෙන් කරන කතාවෙන් පටන්ගන්නා කතා මාලාව අවසන් වන්නේ හන්දියේ මස් කඩයේ මුදලාලි ගේ කතාව ඇතුලු කතා හතලිස් පහක් පමන අවසන් කිරීමෙන් පසුවය..
    වල කපන තැන එවුන්ගෙන් බාගෙට බාගයක් මේ වන විටත් වල සරසන්නට ගෙනා ලී කුඩු ගොඩවල් උඩ සහ පරණ මිනී වලවල් වල පස් කඳු උඩ වැටී සිටින්නේ මිනී වලවල් කපන විට මතුවූ භූතාත්මයක පහරදීමක් නිසා මිසක පිනට ලැබුන අරක්කු බී වෙරි වෙලා නොවේය... පෙරහැර කනත්ත ලඟට එන විට ඔවුන් උස්සාගෙන ගොස් කනත්ත කෙලවරේ තැන්පත් කර වල සූදානම් කිරීමෙන් අනතුරුව ඉතිරි පිරිස එකත්පස්ව බිම බලාගෙන සිටින්නේ සජියාගේ ආච්චී මියගිය ශෝකයට මිසක් වෙරි නියාව සමාජයෙන් වසන් කිරීම සඳහා නොවේ... මුරුත කලේබරය බහාලූ පෙට්ටිය වලට බැස්ස්වීමෙන් අනතුරුව එලඹෙන්නේ පස් ගුලි වලින් පෙට්ට්යට රබන් පද ගහන්නාක් මෙන් දමා ගැසීමේ චාරිත්‍රයයි..
    මේ අහු අස්සේ සජියාගේ පුංචි අම්මාගේ පොඩි සීන් එකක් වල අසබඩ තිරගත වේ....

    " අනේ මට නං බැරියෝ මටත් අම්ම යන ලෝකෙටම යන්න ඕනේ .. අනේ මාවත් ඔය වලටම දාලා වහපියෝ... මට මැරෙන්න ඉඩ දීපියෝ "

    කියමින් ස්විමිං පූල් එකේ උඩ සවි කරන ලද ලැල්ලේ කෙලවරේ හිටගෙන පූල් එකට පනින්නට සැරසෙන ක්‍රීඩිකාවක් මෙන් මිනී වලේ ගැට්ටේ පස් ගොඩක් මත සිටගෙන වල දෙසට බර වී පනින්න දඟලන සජියාගේ පුංචි අම්මාගේ දසුන කාගේත් නෙත් කඳුලින් තෙත් කරන අතර ඇය වලට පැන සිය ජීවිතය නැතිකරගැනීම වැලකිවීම සඳහා සැමියා ඇතුලු හැඩිදැඩි පිරිමි දෙතුන් දෙනෙකු ඇයව තරයේ අල්ලාගෙන සිටිති.. වලට පස් මිටක් දමන්නට ආ පොඩි එකෙක් ලිස්සා ගොස් සජියාගේ පුංචි අම්මාගේ ඇඟේ හැපීම නිසා පුංචි අම්මා වලට නොවැටී අනූනමයෙන් බේරුන අතර මෙතෙක් වේලා වලට පැන දිවි පුදන්නට පොර කෑ ඇය පොඩි එකාගේ කන මිරිකමින් පැවසුවේ.

    "මොකද යකෝ වෙලා තියෙන්නේ .. මරන්ඩද හදන්නේ ..තව ඩිංගෙන් මං වලට වැටෙනවා හොඳ වෙලාවට දෙයියෝ බලලා බේරුනේ "

    කියාය...

    ධනුෂ්ක කාංචන ජයවීර
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    hak hak ela ela machan , , stress nathiwenawa ban mewa kiywaddi , , ela ela thawa liyapan , , Sherlock Holmes ta passe dakapu ela kathawak , , ,