වලංගු දුම්රිය ප්‍රවේශ පත්‍ර නොමැතිව පසුගිය පෙබරවාරි මාසයේ පමණක් මගින් 161 දෙනකු දුම්රියේ හොර රහසේ ගොස් ආරක්ෂණ නිලධාරීන්ට හසුව තිබේ. මෙම පිරිස එම මාසයේ දී කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියවලදී අල්ලා ගත් පිරිස පමණි.
මෙම පිරිසෙන් දඩ ලෙස රජයට රුපියල් හාරලක්ෂ අනූහය දහස් හාරසිය හැටක මුදලක් අය කරගෙන තිබේ.
මෙම වැටලීම්වලදී අනාවරණය වී ඇත්තේ කිසිදු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කළ අය මෙන්ම පහළ පන්ති ටිකට් ලබාගෙන ඉහළ පන්තිවල ගමන් කළ පිරිසක් ද සිටින බවය. මින් බහුතරය රජයේ සේවකයන් බවද පැවසෙයි.
එසේම මෙම පිරිසෙන් බහුතරය වී ඇත්තේ කාන්තාවන්ය.
පෙබරවාරි මාසයේ දී රඹුක්කන සිට කොටුව දක්වා ධාවනය වූ උදෑසන කාර්යාල දුම්රියේදී ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කොට හසුවූ හැටදෙනාගෙන් හතළිස්දෙනකුම කාන්තාවන් වන අතර පොල්ගහවෙල සිට කොටුව දක්වා හා රාගම සිට කොටුව දක්වා දහවනය වූ දුම්රියේ 66 දෙනකු හසු වී තිබෙන අතර ඉන් බහුතරය වී ඇත්තේ ද කාන්තාවන්ය.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මෙහෙයුම් ඒකකයේ කාර්ය භාර නිලධාරී පාලිත පුෂ්ප කුමාර මහතාගේ මෙහෙය වීම මත මෙම වැටලීම් සිදුකර තිබුණි.
ඔවුන් පවසන්නේ මේ ලෙස හොර රහසේ දුම්රියේ ගමන් ගන්නා මගීන් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල අලාභයක් සිදුවන බවත් ඒ අනුව මෙම වැටලීම් වැඩි කිරීමට පියවර ගන්නා බවත්ය.