මට ධර්මය ගැන අවබෝධයක් නෑ. මෙතනදි අදාළ වෙන්නෙ නීතිය' - අගවිනිසුරු
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම සිදු කෙරිණි.අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
එහිදී පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා. 107 (5) ව්‍යවස්ථාව නීතියක් බවට පත් කළේ, මෙරට ජනතාව. එම නිසා එම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණ යි. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට රජය වෙත පනවා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙනවා" යනුවෙන් කරුණු දැක්වූ කස්සප හිමියෝ සුත්‍ර පිටකය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරිම සිදු කළහ.
ඒ අවස්ථාවේදී කස්සප හිමි ඇමතූ අගවිනිසුරුවරයා මෙසේ පැවසීය. "සමාවෙන්න ස්වාමීන් වහන්ස... මට ඔබ වහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොම ද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතිය යි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න."
ඉන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ඔස්සේ කරුණු දක්වන බව කස්සප හිමියෝ ප්‍රකාශ කළහ.
https://www.bbc.com/sinhala/articles/clyl42ke7j1o

